සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

යම රජුගේ නඩු තීන්දුව - දේවදූත සූත්‍රය ඇසුරෙන්

බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති,
නාලන්දේ විමලවංශ හිමි

පුදුම සහගත සිදුවීම් අපට දිනපතා අසන්නට, දකින්නට ලැබෙයි. බොහෝ දෙය කවුරුන් හෝ බලාපොරොත්තු නොවුන මොහොතක, බලාපොරොත්තු නොවුන අයුරින් සිදුවෙයි. පසුගිය සුනාමි ව්‍යසනය අවස්‌ථාවේ වෙරළාසන්නයේ බිළිදකු බේසමක තබාගෙන නාවමින් සිටි මවකි. නොසිතූ අයුරින් සුනාමි රළ පැමිනුණි. මව සුනාමි රළට ගොදුරු වූවාය. එහෙත් බිළිඳා සහිත බේසම ගස්‌ මුදුනක දෙබලක්‌ අතර රැඳී 
දරුවාගේ ජීවිතය බේරුණි. එම දරුවා අදද යහතින් ජීවත් වෙයි. නෙදර්ලන්තයේ 'ඇම්ස්‌ටර්ඩෑම්' ගුවන් තොටුපලට දරුවකු රැගත් මවක්‌ පැමිණියේ මැලේසියාවේ ක්‌වාලාලම්පූර් ගුවන් තොටුපල බලා පියාසර කිරීමට නියමිත ගුවන් යානයට ගොඩවීමටයි. එහෙත් මාර්ග තදබදය නිසා ඇයට නියමිත වේලාවට ගුවන් තොටුපලට පැමිණිය නොහැකි විය. නියමිත වේලාවට පිටත්වූ යානය සෙසු මගීන් ද සමග අතුරුදන් විය. එම මවගේ සහ දරුවාගේ ජීවිත බේරුණි. පසුගිය සමයෙහි ලංකාවේ ඇතැම් ප්‍රදේශවල සිදුවූ නාය යාම් වලින් පවුල් පිටින් පස්‌ කඳු අතර සැඟවුණි. එහෙත් එම පවුල්වල ඇතැම් සාමාර්කයන් උදෑසන විවිධ කාර්යයන් සඳහා නිවාසවලින් පිටව ගොස්‌ සිටි බැවින් ඔවුන්ගේ ජීවිත බේරුණි. ඉතා මෑත සිදුවූ මීතොටමුල්ල කුණු කන්දට යටවී ජීවිත ගණනාවක්‌ අහිමි විය. එහෙත් ඇතැම් දෙනාගේ ජීවිත බේරුණි. භූමිකම්පා අවස්‌ථාවලදී ද ඇතැමුන් දින ගණන් කොන්ක්‍රීට්‌ තට්‌ටු යට සිරවී සිට දිවි බේරා ගත් අයුරු දැන ගන්නට ලැබුණි.
මෙවැනි දෙය සිදුවීමට හේතුවක්‌, කාරණයක්‌ හෝ නිර්මාණකරුවකු සිටිය යුතුය. මේවා ගැන දාර්ශනිකයෝ විවිධ මත පළ කරති. ඔවුන් සොයාගත් මූලධර්ම අතර පෙර කරන ලද කර්මය මූලික තැනක්‌ ගනියි. එහෙත් ඇතැම්හු මෙම කර්ම වාදය නොපිලිගනිති. එනමුත් ඉහත් සඳහන් සිදුවීම් වැනි සිදුවීම් හමුවේ ඔවුනට දිය හැකි පිළිතුරක්‌ නැත. බුදුදහම කර්මය ඉතා සියුම් ලෙසත්, ගැඹුරු ලෙසත් විග්‍රහ කරනු ලබයි. එහෙත් සියල්ල පෙර කරන ලද කර්මයන් නිසාම සිදු නොවන බව බුදු දහමෙහි පෙන්වා දෙයි. බුදු දහමෙහි උගන්වන්නේ ෙච්තනාවම කර්මය වන බවයි. දිට්‌ඨධම්මවේදනීය ආදී වශයෙන් විපාක දෙන කාලය සහ 
ආකාරය අනුව කර්මයෙහි ප්‍රභේද දක්‌වයි. එසේම දුක්‌ විපාක ලබාදෙන අකුසල කර්ම, සැප විපාක ලබා දෙන කුසල කර්ම, දුක්‌ මෙන්ම, සැප ලබා දෙන මිශ්‍ර කර්ම, දුක්‌ සහ ලෞකික සැප ලබා නොදෙන කර්ම වශයෙන් ද කර්මයෙහි ප්‍රභේද දක්‌වා ඇත. දුක ලැබීම මෙන්ම සැප ලැබීමද කර්ම විපාක වශයෙන් සැළකිය හැකිය. 
සොරකම , වංචාව වත්මන් සමාජයෙහි නිරතුරුවම අසන්නට දකින්නට ලැබෙන අකුසලයකි. සාමාන්‍ය ජනයා පමණක්‌ නොව, මහා ධනපතියන්, ඇතැම් දේශපාලකයන්, ආගමික නායකයන්, රජයේ උසස්‌ තනතුරු දරන්නන් ද සොරකමට වංචාවට පෙළඹී සිටින බව රහසක්‌ නොවේ. සොරකම් කිරීම වනාහී බරපතල පාප කර්මයකි. 
පස්‌ පව්වලට අයත් කාමයෙහි වරදවා හැසිරීම පාප කර්මයක්‌ මෙන්ම, පිරිහීමට ද හේතු වන කරුණකි. වැරදි ලෙස ඉඳුරන් පිනවීමට උත්සාහ කිරීම නිසා මිනිසුන් විවිධ අපරාධ සිදු කරති. සමාජ ප්‍රශ්නයක්‌ බවට පත්ව තිබීම සහ විවිධ ලෙඩ රෝග වැළඳීමෙන් අකාලයේ මරු වසඟයට යන පිරිස්‌ දිනෙන් දින වැඩිවන ප්‍රවණතාවක්‌ දැකිය හැක. බොරු කීම හෙවත් 
මුසාවාදය ද බරපතළ අකුසලයකි. බොරු කියන පුද්ගලයාට කළ නොහැකි අපරාධයක්‌ නැත. එවැන්නන්ට ලැබෙන දඬුවම් පිළිබඳ අප අසා ඇත්තෙමු. 'ලැදිව රජෙක්‌ බොරු බස්‌කීs විගසකයා - නැතිව රිද්දි බලයත් ඒ මිනිස්‌ කයා, පොළව පලාගෙන ගොස්‌ වැටුණි නරකයා - මෙලොව සතුනි ඉන් බොරු කීම නරකයා (ලෝවැඩ සඟරාව ) වැනි කවි මගින් පැවසෙන්නේ එම කරුණයි. 
මත් පැන් , මත් ද්‍රව්‍ය වත්මන් සමාජයේ මහත්ම බලවත් ප්‍රශ්නයකි. මෙම විපත පිළිබඳ නොදන්නා කිසිවෙකුත් නැත. එහෙත් එය පිටු දකිනු වෙනුවට එයට ගොදුරු වන පිරිස්‌ දින පතා වැඩි වීමේ ප්‍රවණතාවක්‌ ඇත. කෙසේ වෙතත් මෙම පස්‌ පව් කිරීමෙන් මෙලොව අපමණ දුක්‌ විඳීමට සිදු වෙයි. පරලොවදී ද දුක්‌ විඳීමට සිදුවෙයි. ' පස්‌ පව් කර මෙතනත් ලැබ සෝකය 'ගොස්‌ නිරයේ දුක්‌ විඳිති අනේකය ' (ලෝවැඩ සඟරාව) යනුවෙන් පවසා ඇත්තේ එම කරුණයි. 
භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ඡේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයක භික්‌ෂුන් වහන්සේලා අමතා 'මහණෙනි, සත්ත්වයෝ කාය දුශ්චරිතවත් වන්නේ නම් වාග් දුශ්චරිත වන්නේ නම් මනෝ දුශ්චරිත වන්නේ නම් ආර්යෝපවාද කලාහු නම් , මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු නම් ඔව්හු ඒකාන්තයෙන්ම මරණින් පසු ප්‍රේත ආත්ම ලබන්නාහුය. එසේම තිරිසන් ජාතියෙහි උපදින්නාහු ය. එසේම එවැනි මිනිසුන් මරණින් පසු අපායට නොහොත් නිරයට පැමිණෙන්නාහු ය. මහණෙනි, එවැනි නිරිසත්ත්වයන් යම පල්ලන් විසින් යම රජු වෙත පමුණුවති. එවිට යම රජු විසින් 'එම්බා පුරුෂය, තොප උඩුකුරුව මල මුත්‍ර ගොඩෙහි වැතිර සිටින ළදරුකු නොදුටුවෙහිද? 
යනුවෙන් ප්‍රශ්න කරයි. එවිට 'දුටුවෙමි ස්‌වාමීනී' යනුවෙන් පිළිතුරු දෙයි. එසේනම් තොපට මෙවැනි හැඟීමක්‌ ඇති 
නොවුණිද? මමත් මෙසේ අසරණව සිටියා නොවේද යන හැඟීම ඇති නොවුනාද? එසේ හැගීමක්‌ ඇතිව සිතින් කයින් මනසින් සිදු කරන වැරදිවලින් වෙන්වීමට අදහස්‌ නොකළේ මන්ද? එසේනම් තොපම දඬුවම් විඳිය යුතුය. හොඳයි කමක්‌ නැත. තොප දෙවන දේවදූතයා නොදැක්‌කෙහිද ? එනම් උපතින් අසූ වයස්‌ ඉක්‌මවූ, දිරාපත්වූ, වකුටුවූ, හැරමිටියක පිහිටෙන් ගමන් කරන, වෙව්ලන, දත් හැලුන, කෙස්‌ පැසුන, කෙස්‌ ගිලිහුන, සම රැලි වැටුන ස්‌ත්‍රියක හෝ පුරුෂයකු දකීමෙන් පසුව මටත් මෙලෙස සිදු වන්නේය. මෙසේ සිතා, කයින් වචනයෙන් මනසිaන් සිදු කරන වැරදිවලින් වෙන්ව කටයුතු නොකළේ මන්ද? එබැවින් තොපම මෙහි විපාක විඳිය යුතුය. 
එසේනම් එම්බල පුරුෂය, තොප තුන්වන දේවතාවා නුදුටුවෙහිද? තොප ආබාධයට ලක්‌වූ , ගිලංවූ , සිය මළමුත්‍ර ගොඩෙහි වැතිර සිටින්නාවූ පුරුෂයෙක්‌ හෝ ස්‌ත්‍රියක නොදැක්‌කෙහිද ? එසේ දැක මාද මෙලෙස ආබාධයට ලක්‌වෙමි කියන සිතුවිල්ලෙන් කයෙන් සිතින් වචනයෙන් සිදු කරන වැරදිවලින් මිදී කටයුතු නොකළෙහි නම් තොප විසින් දඬුවම් විඳිය යුතු වෙයි. එය වෙනත් කිසිවකු විසින් කරන ලද්දක්‌ නොව, තොප විසින්ම කරගන්නා ලද දෙයකි. කමක්‌ නැහැ තොප හතරවන දේවදූතයා නොදුටුවෙහිද? එම්බා පුරුෂය, මිනිස්‌ ලොව රජදරුවන් විසින් නොයෙකුත් අපරාධ කළවුන් අල්වා දෙතිස්‌ වදයට ලක්‌කරනු නොදුටුවෙහිද? එනම් කසයෙන් තැලීම, වේවැලින් තැලීම, පොලුවලින් පහර දීම, අත් සිදීම, පාසිඳීම, අත්පා සිඳීම, කන් නාසා සිඳීම, උල තැබීම, කඩුවෙන් ගෙල සිඳීම, මෙවැනි වද දීමෙන් දුක්‌ විඳින සත්ත්වයන් දැක දැකත් කයෙන්, වචනයෙන්, සිතෙන් අකුසල් කළානම් තොපම එයට විsපාක විඳිය යුතුය. කම් නැත, තොප පස්‌වැනි දේවදූතයා නොදුටුවෙහිද? එනම්, මරණයෙන් දිනක්‌ ඉක්‌මවූ, මැරී දින දෙකක්‌, තුනක්‌ ඉක්‌මවූ, ඉද්මී, නිල්වන් වූ, විකෘති වූ, මල සිරුරක්‌ දැකීමෙන් පසු වුව ද සිතින් කයින් වචකයෙන් යහපත් දෙය නොකලෙහි නම් එයට තොප විසින්ම දඬුවම් විඳය යුතු වෙයි. 
මෙසේ පවසා විනිශ්චය කර , එතැන් සිට එම නිරි සත්ත්වයා අනේකවිධ වධ බන්ධන වලට පමුණුවයි. කොතෙක්‌ වධ දුන්න ද ඔහු විසින් කරන ලද පාප කර්මය තිබෙනතාක්‌ මරණයට පත් නොවෙයි. අප්‍රමාණ ආයු කාලයක්‌ නිරයෙහි දුක්‌ විඳියි. දේවදූත සූත්‍රයෙහි ඒ පිළිබඳ දීර්ඝව විස්‌තර කර ඇත. අවසන නිරය පාලකයෝ එම නිරි සත්ත්වයාගෙන් කුමක්‌ කැමති වන්නේද'යි අසයි. හෙතෙම කුස ගිනි ඇති බව පවසයි. එවිට යම පල්ලන් ගිනියම් අඬුවෙන් ඔහුගේ මුව විවර කර ගිනිගෙන දිළිසෙන ලෝහ ගුලි මුඛය තුළට දමයි. එවිට මුඛය, උගුර, උදරය, අතුණුබහන් පිළිස්‌සී ගොස්‌ අධොමුඛයෙන් පිටව යයි. එහෙත් ඔහුගේ පාප කර්මය තිබෙන තුරු මරණයට පත් නොවේ. නැවත යමපල්ලන් විසින් ඔහුගෙන් කුමක්‌ කැමති වන්නෙහි ද'යි විමසයි. එවිට පිපාසිතයෙමි'යි කියයි. ඉන් පසු ගින්නෙන් දිළිසෙන යකඩ අඬුවලින් මුව විවර කර, ගිනිගෙන දිළිසෙන ලෝදිය මුව තුළට දමයි. එසේ මුවට දැමූ ලෝදිය මුඛය, උගුර, ආමාශය, ඇතුළු සියල්ල පුළුස්‌සා දමමින් අධෝ මුඛයෙන් පිටව යයි. 
පාප කර්ම කළ පුද්ගලයන් මෙසේ නිරයට වැද අපමණ දුක්‌ විඳිති. එසේම යම් පුද්ගලයකු එම උතුම් ආර්ය ධර්මයෙහි 
පිහිටා කටයුතු තරයි නම් ජාති, ජරා, මරණවලට හේතු වූ තෘෂ්ණාව සහ උපාදානය අත්හැර සියලු සසර දුක්‌ නැති කර උතුම් නිර්වාන සුවයට පත් වෙති.



¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පස්මහ බැලුම් බැලුවේ ඇයි?

රුහුණු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය, 
විලේගොඩ අරියදේව හිමි

බෝසත් දිව්‍ය රාජයණන් වහන්සේ මිනිස් ලොව මවුකුසක පිළිසිඳ ගන්නේ කාලය, දීපය, දේශය, කුලය , මව යන පස්මහ බැලුම් බැලීම හෙවත් පංච මහා විලෝකනය කිරීමෙන් අනතුරුවය. පස්මහ බැලුම් තුළ තිබෙන්නේ කිසියම් ඓතිහාසික වූ ද, පාරිසරික වූද, අධ්‍යාත්මික වූද හේතුන් කොටසකි.
බුදු කෙනෙක් ලොව පහළ වීම දුර්ලභ, අසීරුම අවස්ථාවකි. මනුලොව පරමායුෂ අවුරුදු විසිදහස, දස දහස පමස වන කාලයන්ද තිබේ. එවැනි කාලයක බුදු කෙනෙක් ලොව පහළ වන්නේ නැත. ඊට හේතුව ඒසා දීර්ඝ කාලයක් ජීවත්වන මිනිසාට ජාති, ජරා, ව්‍යාධි, මරණ යන ස්වභාවයන්හි ඇති දුක් සහිත බව වේදනා සහිත බව තේරුම් ගත නොහැකි වීමය. එහෙත් මිනිස් පරමායුෂ අවුරුදු සියයක් වන කල්හි ඒ සියල්ල අත්විඳින්නට ලැබේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත හැකි වන්නේද මේ පරමායුෂ සීමාවේදීය.
පස්මහබැලුම් තුළ වූ ‘කාලය’ නම් කාරණය තුළ ඇත්තේ එම පරමායුෂ සීමාවය.
එකල මිනිසුන්ගේ ජීවිතයන්හි ඉතා සංකීර්ණ බවක් තිබුණි. සිදුහත් කුමරු මහබිනික්මන් කළේ සතර පෙරනිමිති දැකීමෙන් පසුව බව අපි දනිමු. එහෙත් ඊට පෙර ජීවිතය ගැන අවබෝධ වන්නට, දුක හඳුනා ගන්නට කුමරු ප්‍රඥාවන්ත නොවූයේද? එලෙස එම සිදුවීම ලඝු කොට නොසිතිය යුතුය. සිදුහත් කුමරු දකින්නේ සතර පෙරනිමිති පමණද?
ක්‍රි.පූ. හයවන සියවසේ භාරතයේ රාජාණ්ඩු, ගෝත්‍රික , සමූහාණ්ඩු පැවතුණි. මානව ශිෂ්ඨාචාරයේ දියුණු වූ මහා ජනපද දහසයෙන් දාහතරක්ම අයත්වූයේ බුදුරදුන් පහළ වු දේශයටය. ඒ අතරින් නාගරික දියුණ ූ ශිෂ්ටාචාරයක් ඇති මගධය, කෝසලය ප්‍රධාන රාජාණ්ඩු බවට පත්විය. මේ රාජාණ්ඩු අතර සේම, කුඩා රාජ්‍ය අතරද පැවතියේ භයානක තත්ත්වයකි. ප්‍රධාන රාජාණ්ඩු නිතරම කුඩා රාජ්‍ය බිලිගන්නට යුද්ධ කළ අතර රාජාණ්ඩු අතරද සාගත, කැරලි කෝලාහල භයානක යුද්ධ ඇතිවුණි. උදාහරණ ලෙස රෝහිනී නදියට ශාක්‍ය කෝලිය දෙපිරිස යුද්ධ කරන්නට සැරසීම දැක්විය හැකිය.
අත්ථ දණ්ඩ සූත්‍රයේදී මේ සමාජ පාරිසරික තත්ත්වය ගැන බුදු හිමියන් විස්තර කළේ
“අත්ථ දණ්ඩං භයං ජාතං 
ජනං පස්සත මේධගං 
සංවේගං චිත්ත යිස්සාමී 
යතා සං විජිතං මයා...”

“ගිහිව සිටින කල කාය දුශ්චරිතවල යෙදෙන මිනිසුන් මම දුටුවෙමි. එකිනෙකා විනාශ කරගෙන කලහ කරන සැටි දුටුවෙමි. මට දැඩි සංවේගයක් ඇතිවුණි. භයක් ඇතිවුණි. ” යනුවෙනි.
මේ ලෙස බෝසතාණන් වහන්සේ තමන් ජීවත්වු ප්‍රදේශයේ තිබු සමාජ දේශපාලන. අර්බුදයන් දුටුවහ. ඒ ගැන කලකිරුණහ.

භයානකම දේ පියා මරා රජවෙන බල ලෝභී මානසිකත්වයකින් යුතු යුගයක් වීමය. එමෙන්ම කොසොල් රජු විඩූඪභ නිසා මරණයට පත්වන්නේ රජගහනුවර ප්‍රවේශ ද්වාරය අසළ සීතලෙන් ගැහි ගැහී සිටින අවස්ථාවකය. අජාසත් රජු ලිච්ඡවීන්ට එරෙහිව අවුරුදු හතක් යුද වැදුනි. මේ ලෙස දේශපාලන අවුල් වියවුල් නිසා, තෘෂ්ණාව නිසා අසහනකාරි ආදිනව විඳින යුගයකය, බුදුරජාණන් වහන්සේ මානව වර්ගයා අතරට එන්නේ. ‘දීපය’ ලෙස සලකනු ලැබුවේ මේ සමාජ, ආර්ථික , දේශපාලනික පරිසරයයයි.
එකල ඉන්දියාවම මහා දාර්ශනික ප්‍රබෝධයක් ඇතිවී තිබූ කාලයකි. ෂට් ශාස්තෘවරු පහළ වූ, හැට දෙකක් පමණ වූ දෘෂ්ඨීන්ගෙන් යුතු වූ , ජටිල, පරිබ්‍රාජක, නිගණ්ඨ. පබ්බජිත, අචේලක ආදි සම්ප්‍රදායන් රාශියක් තිබු යුගයකි. සමාජ, දේශපාලනික, ආර්ථික, අසහනකාරි ස්වභාවයන් නිසා මිනිසුන් ජීවිතයේ සැනසුම සොයා ගිය යුගයකි.
බෝසතාණන් වහන්සේ විසඳුම්, සොයන්නට පෙළඹෙන්නේ මෙසේ දිය සිඳුණූ විලක දඟලන මත්ස්‍යයන් සේ පීඩිත වු මිනිසුන් කෙරේ උපන් සංවේගයකිනි. එක පැත්තකින් අසහනකාරී බව තිබිය දි තවත් පැත්තකින් අධි සුඛෝපභෝගී ජීවිත ගෙවු පිරිස් වූහ. පාඨලී පුත්ත හරහා රජගහ නුවර දක්වා, තාම්රලිප්ත යේ සිට බරණැස දක්වා, සැවැත් නුවර සිට පකිස්ථානය දක්වා, රජගහනුවර සිට බරණැස් නුවර දක්වා ආදි ලෙස ප්‍රධාන වෙළෙඳ මාර්ග බිහි වී තිබුණි. ඒ පසුබිමත් සමඟ මිනිසුන් කාමසුඛල්ලිකානු යෝගී බවේ අන්තයටම ගමන් කළ කාලයකි. සිදුහත් කුමරුටද ඒ ජීවිතය අත්විඳින්නනට බල කළ ස්වභාවයක් අපි දකිමු. රම්‍ය, සුරම්‍ය, සුබ මාලිග, කාන්තාවන්ගේ නෘත්‍ය දර්ශන ආදි මේ සෑම දෙයක් තුළින්ම පසිඳුරන් පිනවීමට අවශ්‍ය වටපිටාව සැකසී තිබුණි. එහෙත් මේ ජීවිතය පිළිබඳ කළකිරුණූ, අසහනයට පත්වුණූ පිරිස්ද සිටියහ. කෝලිත, උපතිස්ස දෙදෙනාද ඊට අයත්ය. මේ අනුව බුද්ධිමත් තරුණ පිරිස් විඥානවාදී විසඳුම්වලින් පරම සැපතක් ලබාගන්නට පෙළඹුණු යුගයක් වු බවද පැහැදිලිය. අත්ථකිලමතානුයෝගීව ශරීරයට දැඩි දුක් දෙමින්, අජව්‍රැත, ගෝව්‍රැත වැනි විවිධ ව්‍රැත අනුගමනය කරමින් කළ අකුසල් කර්ම ගෙවා අවසන් කරන්නට උත්සාහ ගත් පිරිස්ද වූහ. සමහරු ඒ වෙනුවෙන් කටුක දුක් වින්දහ.
එවැනි සමාජයක, කාමසුඛල්ලිකානුයෝගී, ජීවිතයක් ගෙවූ, එහෙත් එහි තාවකාලික බව දැන සිදුහත් කුමරුට ගිහි ජීවිතය අත්හරින්නට ආසන්නතම හේතුව වූයේ සතර පෙරනිමිතිය. ඒ අතර රාහුල කුමරුගේ උපතද සිදුවේ. එයද සම්බාධකයක් විය. ගිහිගෙය හැර ගිය සිදුහත් කුමරු සත්‍ය සොයා ගියේ ආලාරකාලාම, උද්දකරාමපුත්‍ර, ගුරුවරුන් වෙතය. ඔවුන් සුළුපටු අයද නොවේ. අධ්‍යාත්මික ඉහළ ධ්‍යානවලට පත්වූ අයයි. බුදුරදුන් ලොවට බිහිවන්නේ . මෙලෙස දාර්ශනික ප්‍රබෝධයක් තිබූ දේශයකයි.
එමෙන්ම තවත් පැත්තකින් සමාජ අසාධාරණය ක්‍රියාත්මක වුණි. ආත්මාර්ථකාමී ලෙස වස්තු පරිහරණය කළ නිසා දුප්පත්කමේ අන්තයට ගිය පිරිස් ද වූහ. සිදුහත් කුමරු මේ අසංවිධිත අර්ථ ක්‍රමයේ ස්වභාවය දුටුවේය. ඊට විසඳුමක් ද සොයමිනි සිදුහත් කුමරු ගිහිගෙය හැර යන්නේ. මේ සියල්ල සිදුවන්නේ කර්මය නිසා යන මතය බැහැර, හේතුඵල දහමක් ඉදිරිපත් කරන්නේ, සර්ව සාධාරණ සමාජයක් සඳහා උපදෙස් දෙන්නේ ඒ අනුවය.
‘කුල’ ක්‍රමය සපුරා බැහැර කළ ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ උපත ලබන්නට ශාක්‍ය කුලය තෝරා ගන්නේ ඇයි? එකල සමාජයේ අතිශය පීඩාවට පත්වූවෝ ක්ෂුද්‍රයින්ය. සියල්ලන් අභිබවා සිටියෝ ක්ෂතී‍්‍රන්ය. දස දහස් ගණනින් සතුන් බිලිදෙමින්, ධන ධාන්‍ය ගින්නට දමමින් කළ යාගහෝම, පුද පූජා නිසා එකල සමාජ ආර්ථිකයට විශාල ගැටලු ඇතිවුණි, එසේම මෙවැනි ආගමික සංකල්ප, දේව නියෝග, කුල වාදය නිසා එකල සමාජය බොහෝ පීඩාවට පත්විය. ආජීවක,ජටිල, පරිබ්‍රාජක ආදි කණ්ඩායම් බිහිවන්නේ ඊට විරුද්ධවය. මෙවැනි පරිසරයක ශාක්‍ය වංශය ඉතා බලවත්විය. වංශවත් පවුලක ඉපදී කුලවාදය ප්‍රතික්ෂේප කිරීම පහසුය.එහෙත් එවැනි කාලයක ඉපදී වුවද ශාක්‍යයන්ගේ මානය නැති කරන්නට බුදුරජාණන් වහන්සේ ගත් උත්සාහයෙන් ම කුලවාදය මොන තරම් බලවත්වීද යන්න පැහැදිලිය. බුදුරජාණන් වහන්සේ වීදි දිගේ පිඬු සිඟා වඩිනවා දුටු සුද්ධෝදන පිය රජතුමා මොන තරම් දුකට, කණස්සල්ලට පත් වුණාද? උන්වහන්සේට සමානාත්මතා දර්ශනය ලෝකයට දේශනා කරන්නට හැකිවූයේ කුලවත්, වංශවත් පවුලක ඉපදී කුලය ප්‍රතික්පේෂ කළ නිසාය. පස්මහ බැලුම් අතර එන අවසාන කරුණ ‘මව’ය. මහාමායාදේවිය බුදු කෙනෙකුට මවක් වෙන්නට ප්‍රාර්ථනා කළ උතුම් කාන්තාවකි. වෙසෙස් පින්දහම් කළ තැනැත්තියකි. පංච ශීල ප්‍රතිපදාවේ පිහිටි, සිදුහත් කුමරු මව්කුස, පිළිසිඳගත් දා සිට අටසිල් සමාදන් වු කාන්තාවකි. බුදු කෙනෙකුට උපත දුන් ගර්භය තවත් කෙනෙකු පරිහරනය නොකළ යුතු වීම ඊට එක් හේතුවකි. මහා මායා දේවිය පුතු ඉපදී සය දිනකින් මිය යන්නට කර්ම ශක්තිය ඇති තැනැත්තියක ද වූවාය. එබඳු මවක් ද සොයමිනි. පංච මහා විලෝකනය අවසන් කළේ. මේ අනුව පස් මහ බැලුම් තුළ ඓතිහාසික හා සමාජයීය වශයෙන් යථාර්ථවාදී හේතු කොටසක් අන්තර්ගතවන බව පැහැදිලිය.

දැන දැන බොරුකීම චිත්ත දියුණුවට බාධාවක්

පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ජීවිතයට බොහෝ සෙයින් උපකාරි වන දෙයක් සත්‍ය කතා කිරීම. අද ඇතැම් දෙනෙකුට බොරු කීමට කිසිදු බයක් හෝ ලජ්ජාවක් නැහැ. බොරු කීමට බයක්, ලජ්ජාවක් නොමැති නිසාම බොහෝ දෙනෙක් බොරු කියනවා. නමුත් ඒ තුළින් අපේ ජීවිතයට සිදුවන හානිය බොහෝ බරපතල බව කිසිවෙකුටත් පෙනෙන්නේ නැහැ. සත්‍යවාදී නොවීම හේතු කරගෙන අපගේ ජීවිත අභ්‍යන්තරය තුළ සිදුවන පරිහානිය කෙබඳු දැයි මජ්ක්‍ධිම නිකායේ අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට පෙන්වා වදාළා.
දිනක් තථාගතයන් වහන්සේ රාහුල ස්වාමින් වහන්සේ බැහැ දැකීමට අම්බලට්ඨිකා කියන අඹ වනයට වැඩියා. රාහුල ස්වාමින් වහන්සේ දුටුවා තමන්ගේ කුටිය දෙසට තථාගතයන් වහන්සේ වඩින අයුරු. ඉතින් උන්වහන්සේ ඉක්මනින් ආසනයක් පනවා පා සෝදන්න වතුර බඳුනක් පිළියෙල කළා. බුදුරජාණන් වහන්සේ වැඩම කර ඒ ආසනයේ වැඩ හිඳ පා දෝවනය කළා. පා දෝවනය කරන්න වතුර ගත් භාජනයේ පැන් ස්වල්පයක් ඉතිරි වී තිබුණා. රාහුල ස්වාමින් වහන්සේ පැමිණ බුදුරජාණන් වහන්සේට වන්දනා කොට පැත්තකින් වාඩි වුණා.
බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල ස්වාමින් වහන්සේගෙන් විමසනවා
“රාහුලය, ඔබට මේ භාජනය පේනවාද?”
“එසේයි ස්වාමිනි”
“රාහුලය මේ භාජනයේ පැන් බොහෝම ස්වල්පයයි නේද? තිබෙන්නේ”.
“එසේයි ස්වාමිනි.” මෙහි දැන් පැන් තිබෙන්නේ බොහෝම ස්වල්පයයි.”
“රාහුලය, යම්කිසි භික්ෂුවක් දැන දැන බොරු කියනවා නම් ඔහුගේ මහණකම බොහෝම ස්වල්පයයි. එය දියුණු කරන්න පුළුවන් එකක් නොවේ යැයි බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ ස්වභාවය භික්ෂූන් වහන්සේට පමණක් උරුම දෙයක් නොවේ. එය අප කාගෙත් ජීවිතයට බලපාන පොදු ධර්මයක්.
ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ යම් කෙනෙක් දැන දැන බොරු කියනවානම් ඔහුගේ මහණකම ස්වල්පයයි කියා. එතැන උන්වහන්සේ මහණකම කියා අදහස් කළේ චිත්ත දියුණුවයි. යමෙක් දැන දැන බොරු කියනවා නම් ඔහුට චිත්ත දියුණුවක් සඳහා යන්න බැහැ. අපට වුවමනා නම් මානසික දියුණුවක් සඳහා යන්න බොරු කීමෙන් වැළකිය යුතුවෙයි.
චිත්ත දියුණුව සඳහා යන්න සත්‍යවාදී වීම ඉතා වැදගත්. සත්‍යවාදී වීම තුළ වැඩෙන්නේ පෞරුෂයයි. චිත්ත දියුණුව කියන්නේ පෞරුෂ වර්ධනයක්. එය අපට සත්‍යවාදී වීමට උපකාරි වෙනවා. නමුත් බොහෝ අයට සත්‍යවාදී වීමට තරම් පෞරුෂයක් නැහැ. පොඩි දෙයකටත් බොරු කියනවා.
ඉතින් බුදුරජාණන් වහන්සේ අර භාජනයේ තිබුණ ජලය ටික වීසි කළා. හිස් භාජනය පෙන්වා,
”රාහුලය, දැන් මේ භාජනයේ තිබුණු ජලය සියල්ලම පිටතට වීසිවුණා මේ භාජනය දැන් ඔබට පේනවාද?
”එසේය ස්වාමිනි.”
”රාහුලය, ඒ ආකාරයට යම් කෙනෙක් දැන දැන බොරු කියනවා නම් ඔහු තමන්ට මානසිකව දියුණු වෙන්න තිබෙන අවස්ථාව වීසි කළා වෙනවා.”
මේ කාරණය අපට ඉතා වැදගත්. සමහර විට අප අපගේ තත්ත්වය ආරක්ෂා කරන්න දැන දැන බොරු කියන්න පුළුවන්. බුුදුරජාණන් වහන්සේ වදාළා මනුස්සයෙකු දැන දැන බොරු කිව්වොත් ඒ තුළ ඔහුගේ චිත්ත දියුණුව ලබන්න තිබෙන අවස්ථාව වීසි කළා වෙනවා කියලා.
බොරුකීම ඔබගේ ජීවිතයට විශාල අනතුරක්. ඔබට යම්කිසි ආකාරයක හැදෙන්න අවස්ථාවක් තිබෙනවා නම් ඒ අවස්ථාව බොරු කීම නිසා මඟහැරී යනවා. අප ගත්තොත් පවුල් ජීවිත ගතකරන මව්පියන් අතර සම්පූර්ණයෙන් සාර්ථකත්වය තිබෙන්නේ එකිනෙකා තුළ තිබෙන විශ්වාසය මතයි. ඒ විශ්වාසය පළුඳු වෙන ප්‍රධානතම දෙය බොරුකීමයි. සමහර විට එකපාරක් බොරු කීව්වොත් ඊට පසු එය ජීවිත කාලයටම ප්‍රශ්නයක් වෙනවා. එනිසා යම්කිසි පුද්ගලයෙකුªට මානසිකව දියුණු වෙන්න තිබෙන හොඳම දේ බොරු නොකියා සිටීමයි.
ඊළඟට බුදුරජාණන් වහන්සේ අර හිස් භාජනය මුනින් අතට හැරවූවා. රාහුල ස්වාමින් වහන්සේගෙන් අසනවා “රාහුලය, මේ භාජනය දෙස බලන්න. දැන් මෙය තිබෙන්නේ මුනින් අතට හරවලා. ඔය වගේ රාහුලය, කවුරු හරි කෙනෙක් දැන දැන බොරු කියනවානම් ඔහුගේ මානසික වර්ධනය දියුණු වෙන්න තිබෙන අවස්ථාව මුනින් අතට හැරවූවා වගේ පිරිහී යනවා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ මුනින් හැරවූ භාජනය උඩු අතට හරවා රාහුල ස්වාමින් වහන්සේට වදාළා,
“රාහුල දැන් මේ භාජනයේ මොකුත් තිබෙනවාද?”
“ස්වාමින්වහන්ස මොකුත් නැහැ. මේ භාජනය හිස්.”
“රාහුලය, යමෙක් දැන දැන බොරු කියනවා නම් ඔහුගේ චිත්ත දියුණුවත් හිස්. ඔහුට මොකුත් නැහැ.”
බුදුරජාණන් වහන්සේ ඉන්පසු බොරුකීමෙන් වන හානිය තවත් උපමාවකින් මෙසේ පෙන්වා වදාළා.
“රාහුලය, රජ කෙනෙකුට ඇතෙක් සිටිනවා. ඒ ඇතා යුද්ධයට යවන්න පුළුවන් දක්ෂ ඇතෙක්. මේ ඇතා යුද්දේදී ඉස්සරහා කකුල්වලින් තාප්ප බිඳිනවා. වම් කඳින් බිත්තිවලට ගහනවා. දකුණු කඳින් බිත්තිවලට ගහනවා. පිටුපස කකුල්වලින් බිත්ති පෙරලනවා. ඊළඟට දළ දෙකින් දොරවල් කඩනවා. නමුත් මේ සියල්ලම කරද්දී ඇතා හොඬවැල පිළිබඳව කල්පනාවෙන් සිටින්නේ. හොඬවැල කිසිවකට යොදවන්නේ නැහැ. එවිට රජතුමා සිිතන්නේ මේ ඇතා යුද්ධයට ගිහින් ඉදිරිපස කකුල්වලින් ගහනවා. කඳෙන් ගහනවා. කඳේ දෙපැත්තෙනුත් ගහනවා. පිටුපස කකුල්වලින් ගහනවා. දළ දෙකෙන් ගහනවා. නමුත් මේ ඇතා හොඬවැළ ආරක්ෂා කරගෙන සිටින්නේ. ඒ නිසා මේ ඇතා මට ජීවිතය පරිත්‍යාග කර නොවෙයි සිටින්නේ කියා සිතනවා.
ඒ වගේම තවත් ඇතෙක් සිටිනවා. ඒ ඇතා ඉදිරිපස කකුල් දෙකෙන්, කඳේ වම් පැත්තෙන් ගහනවා. කඳේ දකුණු පැත්තෙන් ඔළුවෙන්, දළ දෙකෙන්, පිටිපස කකුල් දෙකෙන්, හොඬවැලෙන් ගසනවා. එවිට රජතුමා කල්පනා කරනවා මේ ඇතා පුදුම ඇතෙක්. මේ ඇතා ඉස්සරහා කකුල් දෙකෙන් ගහනවා. කඳේ දෙපැත්තෙනුත් ගහනවා. පස්ස කකුල් දෙකෙනුත් ගහනවා. දළ දෙකෙනුත් ගහනවා. හොඬ වැලෙන් ගහනවා. මේ සතාගේ ජීවිතයේ රකින්න කිසිම දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. මේ සතා නම් මා වෙනුවෙන් ජීවිතයම අත්හැරලයි සිටින්නේ කියා.
“රාහුලය, ඒ වගේ තමයි යම්කිසි කෙනෙක් දැන දැන බොරු කියනවා නම් ඔහුගේ ජීවිතයේ ගුණ ධර්ම දියුණු කරගන්න තිබෙන අවස්ථාව අත්හැරලා තියෙන්නේ. ඔහුට කරන්න බැරි පාපයක් නැහැ. රාහුලය, ඒ නිසා හොඳට හිතට ගන්න මම නම් බොරු කියන්නේ නැහැ කියා.”
එනිසා ඔබ කල්පනා කරන්න බොරු කීමට පෙළඹීම නිසා අපේ ජීවිතයට මොනතරම් හානියක් සිදු වෙනවද? මුසාවාදය නිසා අපට දියුණුවෙන්න තිබෙන අවස්ථාව අපෙන් ගිලිහිලා යන්නේ නො දැනීම නිසයි. ඒ නිසා අපි අධිෂ්ඨානයක් ඇති කර ගනිමු. අපේ ජීවිතය පරදුවට තබා අවසන් මොහොත දක්වා සත්‍ය වචනය පමණක් කියන්නට.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X