සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

කය ගිලන්වීම උරුමයයි මනස නොගිලන්ව පවත්වා ගනිමු

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක 
ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

අද සූත්‍ර දේශනාව සඳහා මාතෘකා කරගනු ලබන්නේ සංයුක්ත නිකායෙහි සළායතන වග්ගයේ වේදනා සංයුක්තයෙහි අඩංගු සල්ල සූත්‍ර දේශනාවයි.

සල්ල යනු හුලක් යන අදහසයි. හුලක් යන අදහස අපේ මතකයට නැඟෙන්නේ දුක්ඛ වේදනාවක් හා සමඟින්මයි. හුලක් ඇනුනොත් දැනෙන වේදනාව බොහෝමයි. එය ඇතැම් විට මරණයට පවා හේතුවන්නටත් පුළුවනි
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරනවා. මහණෙනි, ඇසූ පිරූ තැන් නැති පෘතග්ජන පුද්ගලයා සැප වේදනාවත්, දුක් වේදනාවත්, එලෙසම මධ්‍යස්ථ වේදනාවත් විඳිනවා. මහණෙනි, ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාත් ඒ සුව වේදනාවත්, දුක්ඛ වේදනාවත්, මධ්‍යස්ථ වේදනාවත් විඳිනවා. මහණෙනි, අන්න එම අවස්ථාවේදී ඇසූ පිරූ තැන් නැති පෘතග්ජන පුද්ගලයාගේ හා ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ වෙනස කුමක් ද? අදහස කවරේ ද? විශේෂය කුමක් ද පිළිබඳවයි.
මේ ආදී ලෙසින් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාගෙන් විමසන කල, ස්වාමීන් වහන්සේලා මෙසේ සඳහන් කරනවා. භාග්‍යවතුන් වහන්ස, අපගේ දහම පවතින්නේ භාග්‍යවතුන් වහන්සේ මුල්කරගෙනයි. භාග්‍යවතුන් වහන්සේ අපේ ශාස්තෘවරයාණන් වහන්සේ, අප භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට වාසය කරන්නේ. එම නිසා භාග්‍යවතුන් වහන්සේම එහි අදහස අපට දේශනා කරන සේක්වා.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන ලදී. මහණෙනි, ඇසූ පිරූ තැන් නැති පෘතග්ජන පුද්ගලයා දුක් වේදනාවක් ලබන විට ශෝක කරනවා. ක්ලාන්ත වෙනවා. වැළපෙනවා. ළයෙහි අත්ගසා ගන්නවා. මුලාවට පැමිණෙනවා. එවිට එම පුද්ගලයා කායිකව මෙන් ම චෛතසික වේදනාවත් යන වේදනා දෙකක් විඳිනවා. මහණෙනි, යම් සේ පුරුෂයකු හුලකින් විද්දාහු ද, එනම් හුලක් ඇනුනේ ද? ඒ ඔහු දෙවෙනි හුලකින් ද සමීපයෙහි විඳින්නේ ද? මහණෙනි, එසේ ම ඒ පුරුෂ තෙමේ හුල කරන කොටගෙන වේදනා දෙකක් විඳිනවා. අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා සියලු සංඛත සංස්කාර අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට දහම් ඇසින් හෙවත් පරමාර්ථ ධර්ම නුවණින් දැක ගැනීමෙහි සිත පුරුදු කරන ලද අයෙක් නොවේ. තවත් ආකාරයකින් සඳහන් කළොත් විදර්ශනා නුවණ ඇති පුද්ගලයෙක් නොවේ. මේ අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා ඇස, කන, ආදී ඉන්ද්‍රියන් මුල් කොටගෙන රූප, ශබ්ද ආදී ආරම්මනයන් හි ප්‍රිය අරමුණක් නම් එහි නිමිතිගෙන ඇලෙනවා. එනම් උපාධානයට පත් කරගන්නවා. අකැමැති අරමුණුවල ගැටෙනවා . අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා නිරන්තරයෙන් ඇලීමට සහ ගැටීමට පත්වෙනවා. ප්‍රිය අරමුණෙහි නිමිති ගෙන එනම්, පුද්ගලයෙක් නම් ශාරීරික අංග, ලීලාව ආදී වශයෙනුත් අවිඤ්ඤාණික වස්තුවක් නම් එහි හැඩතල ස්වභාවය ආදී වශයෙනුත් නිමිති ගෙන එහි සැප වේදනාවක් ලෙස සිතෙහි දැඩිව අරමුණ පවත්වාගන්නවා. එහි වඩ වඩාත් සතුටු වෙනවා. ඒ ගැනම කියනවා. ප්‍රාර්ථනා කරනවා. සිත නිරන්තරයෙන් එම ආරම්මනයෙහි ම ඔසවා තබාගන්නට උත්සාහ කරනවා. එනම් ඒ ගැනම මතක් කරගෙන තබා ගන්නට උත්සාහ කරනවා. අකැමැති අරමුණෙහි ගැටෙමින් ඒ ගැනම නැවත නැවත මෙනෙහි කරමින් සිත ඒ අකැමැති අරමුණෙහි ම පවත්වා ගන්නවා. මෙය සරලව සඳහන් කළොත් ප්‍රිය අරමුණෙහි රාගී සිතිවිලි සකස් කර ගන්නවා. අකැමැති අරමුණෙහි ද්වේෂ සහගත සිතිවිලි නිරන්තරයෙන් පවත්වා ගන්නවා.
අශ්‍රැතවත් පෘතග්ජන ස්වභාවයෙන් යුතු පුද්ගලයාට මෙවැනි වැටහීමක් පවතින්නේ නැහැ. ඒ කුමක් ද? මේ ඇස වගේ ම රූපයත්, චක්ඛු විඤ්ඤාණයත්, ස්පර්ශයත්, විඳීම් මේ සියල්ලම අනත්‍ය, දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත්ව පවතිනවා යන අදහසයි. ඒ සියල්ලම වෙනස්වන බව දන්නේ නම් වෙනස්වීමට උරුම බව සිහිපත් කරන්නේ නම් ඒ නිසා ම එහි දොම්නසට හේතුවිය හැකි බවත් තමා කෙරෙහි කිසිදු පැවැත්මක් වසඟයට පත්කර ගැනීමක් ඒ අරමුණෙහි නැති බවත්, පුරුදු කොට නැති නිසා ඔහු මමත්වයට පත් කරගෙන තිබෙනවා.
නමුත් ඒ රූපය, ශබ්දය වශයෙන් ඒ අරමුණු වෙනස්වීම නිසා ඔහුට හිමි වන්නේ ශෝකයක්, දුකක්, වේදනාවක් පමණයි. ඉහත භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළේ ඒ අදහසමයි.
"අස්සුතවා භික්ඛවේ පුථුජ්ජනො දුක්ඛාය
වේදනාය පුට්ඨෝ සමානො
සෝචති කිලමති පරිදේවති
උරත්තාළිං කන්දති සම්මෝහං ආපජ්ජති " යනුවෙනුයි.

මේ අශ්‍රැතවත් පුද්ගලයා මෙහි දී දුක්ඛ වේදනාව එනම් අකැමැති වේදනාව ස්පර්ශ කරමින්, එනම් මමත්වයට පත්කර ගනිමින් ශෝකයට පත්වෙනවා, හඬනවා. ක්ලාන්ත භාවයට පත්වෙනවා. ළයේ අත් ගසාගන්නවා. මුලාවට පත් වෙනවා කියන අදහසයි.
නැවතත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, මේ අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා විදර්ශනා නුවණින් මේ දුක්ඛ වේදනාව මෙනෙහි කරන්නට තරම් සිත පුරුදු නොකරන ලද නිසා ඔහු දුක් දෙකක් උපදවා ගන්නවා. කායිකව මුල් වෙච්ච දුක්ඛ වේදනාව අනිත්‍යවාදී ලක්ෂණ වශයෙන් යටත් කොට දකින්නට සිත පුරුදු නොකරන ලද නිසා මනසෙහි ඒ දුක්ඛ වේදනාව තැන්පත් කර ගන්නවා. කොහොමද, එය මගේය, මම වෙමි, ඒක මගේමයි කියන අදහසිනුයි. එහි දී චෛතසික වේදනාවක් හටගැනීමට පටන් ගන්නවා. සරලව සඳහන් කළොත් කයින් ලබන වේදනාවට අමතරව සිතිනුත් දුක් විඳින්නට පටන් ගන්නවා. නිදසුනක් ලෙස “යම් සේ පුරුෂයෙක් හුලක් ඇනී එම ස්ථානයේ ම දෙවැනි හුලකිනුත් ඇනෙනවා සේ මේ පුරුෂයා කායිකව ලබපු දුක්ඛ වේදනාව පමණක් නොවෙයි. මනසිනුත් දුක් විඳිමින් එනම් එකම අරමුණකින් දුක් වේදනා දෙකක් ලබනවා කියන අදහසයි”.
යම් කෙනෙක් ගිලන්වන විට ඔහුට හෝ ඇයට කායික අපහසුව වේදනාව දැනෙනවා. උපන් සියලු දෙනාටම දිරාගෙන යෑම, ලෙඩදුක්, මරණය ආදී වශයෙන් ලෝක ස්වභාවයට මුහුණපාන්නට වෙනවා. විදර්ශනා නුවණ ක්‍රම ක්‍රමයෙන් හෝ පුරුදු නොකරන ලද අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයෙක් මේ ගිලන්වීම දුක්ඛ වේදනාවක් සේම එය සිතින් මගේ කරගන්නට උත්සාහ ගන්නවා. එනම් මම ලෙඩ වුණා මට මහත් වූ වේදනාවක් දැනෙනවා. මට මේ දුක සැමදාම විඳින්නට වේවි. ඇයි මට මේ ආකාරයට දුක් විඳින්න වෙන්නෙ. මම කොයිතරම් නීරෝගීව සිටියද? ගිලන්වෙන්නට මත්තෙන් දුව, පැන කටයුතු කළ අයෙක් නොවෙයි ද? මට මේ ගිලන්බව නිසා ම බොහෝ කාලයක් දුක් විඳින්නට වෙයිද? මරණය පවා උරුම වෙයි ද? ඇස, කන, ආදී ඉන්ද්‍රියන්ගෙන් රූප ආදී අරමුණු ලබා සතුටු වූ ප්‍රීති වූ ජීවිතය මට අහිමි වෙලා යයි ද? මා සතුව පවතින කාම වස්තු තවදුරටත් මා සතුව පවත්වාගන්නට අපහසු වෙයිද? මගේ සිතේ පවතින බොහෝ බලාපොරොත්තු මට ඉටුකරගන්න බැරි වෙයිද? මේ ආදී වශයෙන් තමා මුල් කරගෙන කායික වේදනාව නිසා සිතිනුත් දුක් විඳින්නට වෙනවා. කයේ ගිලන්වීම නිසා ඇති වූ දුක පමණක් නොවෙයි මනසෙනුත් දුක් විඳින පුද්ගලයෙක් බවට පත්වෙනවා. තවදුරටත් මෙය පැහැදිලි කළොත් යම් කෙනෙකුට යම් වූ ද අසනීපයක් නිසා පාදයක ඇතිවන වේදනාවෙන් ඔහුට මනා සේ පාදය හසුරුවන්නට නොහැකි වෙනවා. ඔහු ඒ පාදයට බාහිරව ප්‍රතිකාර කරනවා සේම විදර්ශනා නුවණින් දැක ගන්නට නොහැකිවීම නිසා මනසෙනුත් දුක්විඳින්නට සිද්ධවෙනවා. විදර්ශනා නුවණ ඇති කරගන්න පුළුවන් ශ්‍රාවකයෙක්, පුද්ගලයෙක් වුණා නම් කයේ ගිලන්වීම පරමාර්ථ ධර්මයට හෙවත් විදර්ශනාවට අනුව දැකගෙන මනසට ගිලන් බවක් වේදනාවක් ඇති නොකර ගන්නට තරම් දක්ෂ බවක් තියෙනවා.
භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටාණන්ට දේශනා කළේ කය ගිලන් වූවත්, මනස ගිලන් කර නොගන්නා හැටියටයි. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අනුගමනය කරමින් සැරියුත් මහ රහතන් වහන්සේ ද අනේ පිඬු සිටාණන්ට කය ගිලන් වූවත් මනස ගිලන් නොකර ගන්නට අප අපේ සිත පුරුදු කළ යුතු බවයි පෙන්වා දුන්නේ. එහෙත් වැඩි ප්‍රමාණයක් අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයෝ සිත ඒ ස්වභාවයට පුරුදු නොකිරීම නිසා ඇසට කනට ආදී ඉන්ද්‍රියන්ට අරමුණුවන රූප ශබ්ද ආදී අරමුණු තමා බලාපොරොත්තු වූ ආකාරයට සිදු නොවන විට කයෙහි ඇතිවන දුක්ඛ වේදනාවක් වගේම ඊටත් වඩා මානසික වේදනාවක් බවට පත්කර ගන්නට පෙළඹෙනවා.
එම නිසා ධර්මය තුළින් අප දැකිය යුතු ගැඹුරු අදහස නම් ධාතු ස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගත මේ කය ගිලන්වීම උරුමයි. දිරාගෙන යාමට උරුමයි. කය ගිලන් වන්නේ නම් එයට ප්‍රතිකාර කළ යුතුයි. එහෙත් අවබෝධයෙන් යුතුව මනස නොගිලන්ව පවත්වා ගැනීමට තරම් මනසේ පුහුණුවක් පුරුද්දක් ඇති කරගත යුතු බවයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ජීවිතය අසාර්ථක නම් ... ධර්මයෙන් තොරයි

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ 
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ 
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය නිර්වාණගාමී ප්‍රතිපදාවට වැදගත් වන්නාසේම ගෘහ ජීවිතය සාර්ථක කරගැනීමටත් උපකාරී වෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය හැදෑරීම පුද්ගලයෙකුගේ අධ්‍යාපනික ජීවිතය දියුණුකර ගැනීමටත් හේතු වෙයි. සමාජ වටපිටාව සහසම්බන්ධකම් ,රැකිරක්ෂා කටයුතු වඩාත් සාර්ථකව ඉෂ්ට කර ගැනීමට නම්,ධර්මයෙහි උගන්වා තිබෙන ආකාරයට අනිවාර්යෙන්ම කටයුතු කළ යුතුයි.ධර්මයෙන් තොරව සාර්ථක ජීවිතයක් ගත කිරීම අපහසුයි. අසාර්ථක ජීවිත ගත කරන පුද්ගලයන් පිළිබඳව අධ්‍යයනය කරන විට ධර්මයෙහි ඇති වැදගත්කම දක්නට ලැබෙයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඇතැම් ධර්ම කාරණා භික්ෂුන් වහන්සේලාට පමණක් අදාළ වුවත් ගිහියන්ට අදාළ නොවෙයි.ඇතැම් දහම් කාරණා ගිහියන්ට දේශනා කළ අතර ඇතැම් දහම් කරනු භික්ෂූණ් වහන්සේටත් , ගිහියන්ටත් අදාළ අර්ථකාමී හිතකාමී වන කාරණා වෙයි.එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ භික්ෂූණ් වහන්සේලා අමතමින් මහණෙනි, “තීනි මානි භික්ඛවේ අකුසල මූලානී”අකුසල් මුල් තුනක් තිබෙනවා. “ලෝභෝ අකුසල මූලං” ලෝභය සිතෙහි තිබෙන එක අකුසල මූලයක් වෙයි. “දෝසෝ අකුසල මූලං” ද්වේෂයද සිතෙහි පවතින එක අකුසල මූලයක් වෙයි. “මොහෝ අකුසල මූලං” මෝහය කියන කාරණාවද සිතෙහි පවතින අකුසල මූලයක් වෙයි.මේ ලෝකයේ ජීවත් වන මනුෂ්‍යයන්ගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.

ලෝභය, ද්වේෂය, මෝහය මනුෂ්‍යය මනසෙහි තිබෙන අවස්ථා තුනක් වෙයි. වයස් මට්ටම අනුව හා ඔවුන්ගේ කාර්යභාරය අනුව පුද්ගලයන් බෙදා වෙන්කරනු ලැබුවද,බණ පොතෙහි සඳහන් වන අකුසල මුල් ස්වභාවය සැම දෙනාගේම මනසෙහි පවතින පොදු තත්ත්වයක් වෙයි. මෙම ස්වභාවය කුමක්ද? යන්න පිළිබඳව අවබෝධ කරගත යුතුයි.ඇඳුම් පැළදුම්,ආභරණ, බාහිර අලංකාරය සඳහා පරිහරණය කරයි.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන එම කාරණා තරමක් සියුම් වෙයි. අලංකාර ඇඳුමින් පැළඳුමින් සැරසෙමින් ආභරණ පළඳමින් ලස්සනට සිටීම ගිහියෙකුට අවශ්‍ය වෙයි. යම් පුද්ගලයෙකු දෙස බැලූ විට ඔහුගේ මුහුණ,ඇඳුම් පැළඳුම් හිස පීරා තිබෙන ආකාරය ,යාන වාහන, ඉඩකඩම්, ගේදොර ස්වභාවය අපට පෙනෙන්නට තිබෙයි. සෑම පුද්ගලයෙකුම මනුෂයෙකු ලෙස ගෙයක් දොරක් හදාගනී. පුංචි මනුෂ්‍යයා පවා තමාට ජීවත් වීම සඳහා කුඩා පැලක් හෝ ගොඩනඟා ගත්තත් ඇතැමුන්ගේ නාස්තිකාර වියදම් නිසා ගෙයක් දොරක් හදා ගැනීමටත් අපොහොසත් වෙයි. නමුත් මෙම කාරණා මනසට අදාළ නොවෙයි.
මනස ඇසුරු කරගෙන ලෝභය, දේෙවිෂය, මෝහය පවතී.මොළය ඇසුරු කරගෙන පුද්ගල සිතෙහි එම ස්වභාවය වර්ධනය වෙයි. ලෝභය යනු ,කුමක්ද?ලබාදුන් සියල්ල පරිත්‍යාගය නොවෙයි.අලුතෙන් හැදෙන වැඩෙන ඇතැම් ගැහැනු ළමුන් පිරිමි ළමුන් කුමන දෙයක් ඉල්ලා සිටියත් සියල්ල ලබාදෙයි. එය මෝඩකම මිස පරිත්‍යාගයක් නොවෙයි. මෝඩකමක්ද?පරිත්‍යාගයක්ද ? යන්න තීරණය කළ යුත්තේ එහි ස්වභාවය අනුවයි. යම් දෙයක් දුන් ගමන් එය පරිත්‍යාගය ලෙස අර්ථ දැක්විය නොහැකිය. බුදු දහමේ උගන්වන එම කරුණු සිතමින් බුද්ධිමත්ම වටහා ගත්තේ නැත්නම්, ධර්මය අවබෝධ නොවෙයි. තමන් දුක් මහන්සියෙන් හරිහම්බ කළ තමන් සතු දේ රැකගැනීම ලෝභකම නොවෙයි.යමෙකු පන්දහසක මුදලක් උපයනු ලැබුවා නම්,එම මුදල අනාගත ආයෝජනය සඳහා තබාගත්තා නම්, එය ලෝභකමක්ද?නැහැ. නමුත් ඔහු විවාහකයෙකු නම්,ඔහු තමන්ගේ බිරිඳ ,දරුවන් වෙනුවෙන් වියදම් කරන්නේ නැතිව මුදල තබාගෙන සිටිනවා නම්, එහි ලෝභකම පවතී. එම සිදුවීමට අදාළ වන ලෙස එය තේරුම් ගත යුතුයි. “දානං සීලං පරිත්‍යාගං” දානය වෙනම කාරණාවක් වන අතර පරිත්‍යාගය වෙනම කාරණාවක් වෙයි.
යමක් දීම දානයද?පරිත්‍යාගයද?අතහැරීම යනු තවත් අයෙකුට දීමක් නොවෙයි. අතහැරීම මානසික ක්‍රියාවලියක් වෙයි. බෞද්ධයන් ලෙස එම කරුණු පිළිබඳව ගැඹුරට සිතිය යුතුයි. සිතීමෙන් තොරව එම කාරණා තේරුම් ගැනීම අපහසු වෙයි. තේරුම් ගැනීමට නොහැකි පුද්ගලයාගේ මනසට ප්‍රඥාාෙවි ආලෝකයක් ලැබෙන්නේ නැහැ. ප්‍රඥාෙවි ආලෝකය නොලබන පුද්ගලයා මැරෙන තුරුම තේරුම් නොගත් බෞද්ධයෙකු ලෙස ජීවත් වූ පුද්ගලයෙක් වෙයි.
ඇතැම් පුද්ගලයන් ධර්මය ශ්‍රවණය කරමින් ධර්මය කට පාඩම් කරගෙන සිටියත් ධර්මය තේරුම් අරගෙන නැහැ. ඔහු ප්‍රකාශ කරන දේ සහ කරන දේ අනුවද, හැසිරීම අනුවද, ධර්මය තේරුම් ගත්තද? නැද්ද? යන්න වටහා ගත හැකියි.පුද්ගලයෙකුගේ මනසෙහි තිබෙනමුත් ,එක පාරටම අල්ලමින් පෙන්වන්න බැරි මානසික තත්වයක් ලෙස ලෝභය ,මෝහය, ද්වේශය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විග්‍රහ කර ඇත. ලෝභය යනු කුමක්ද?යම් පුද්ගලයෙකු යමක් ලබාදීමෙන් අනතුරුව ලබාදුන් දෙය පිළිබඳව සිත සිතා සිටියි. නැතහොත් ලබාදුන් දෙය ලබාගත් පුද්ගලයා පිළිබඳවසිත සිතා සිටී.ලෝභ ස්වභාවය පුද්ගලයෙකුගේ මනසට අහිතකර පිණිස, අවැඩ පිණිස පවතින අවස්ථාවන්හිදී ලෝභය අනවශ්‍ය කාරණාවක් වෙයි. තමන්ට අහිතකර පිණිස අවැඩ පිණිස ඇති නොවන ෙවිලාවන්හි ලෝභය අවශ්‍ය වෙයි.උදාහරණයක් ලෙස තමාගේ කොණ්ඩය පීරමින් ලස්සනට ගැටගසා පිළිවෙලකට තබාගෙන සිටිනවා නම්,එය කොණ්ඩයට තිබෙන ලෝභකමයි. එම කොණ්ඩයට තිබෙන ලෝභය සරල කරමින් කොණ්ඩයට තිබෙන ආශාව ලෙසද,තවත් සරල කරමින් කොණ්ඩයට තිබෙන ආදරය නිසා බව ප්‍රකාශ කරයි. එය කිසියම් ලෝභ කමක් වුවද, එය පුද්ගලයාට හානිකර නොවෙයි. නමුත් තමාගේ කොණ්ඩය පිළිබඳව ලොකුවට සිතමින් හොඳ කොණ්ඩයක් තමාට පමණක් තිබෙන බවට සිතීම උද්ධච්ච මානසික තත්ත්වයක් වෙයි. එය අකුසලයක් වෙයි. අකුසලය පවතින්නේ සිතිවිලි වල මිස කොණ්ඩය තුළ නොවෙයි. බෞද්ධයන් වශයෙන් පුද්ගලයාට හානිකර දේවල්් ඉවත් කරමින් හිතකර දේ පමණක් ළඟා කරගත යුතුයි. ලෝභය යන්න කුමක්ද?යන්න සිද්ධියක් පෙන්වා දිය හැකි වුවත්,සිතීමෙන් තොරව පිළිතුරු දිය නොහැකිය. ලෝභය පිටතට පෙන්නුම් නොවන තමාගේ මනසට පමණක් දැනෙන තත්ත්වයක් වෙයි.කළමනාකරණය කරගැනීම ලෝභය නොවෙයි. ගෙදර වතුර බිල, විදුලි බිල තරමක් හෝ පාලනය කරගැනීමට වෑයම් කිරීම ලෝභකම නොවෙයි. ඇතැම් දරුවන් එවැනි ක්‍රියාවන්වලදී අම්මා හරිම ලෝභයි යනුවෙන් ප්‍රකාශ කළත් එම ළමයින්ගේ නොදන්නාකම නිසා එය ලෝභකම ලෙස ප්‍රකාශ කරයි. ලෝභ අකුසල මූලය පිළිබඳව තවදුරටත් සිතිය යුතුයි. නොසිතන තාක්කල් එම කාරණාව නිවැරැදිව තේරුම් ගැනීම අපහසු වෙයි. බණ පොතෙහි පෙන්වාදෙන එම කාරණා සියුම්ව සිතමින් දැනුම් තේරුම් ඇති අයෙක් සමඟ සාකච්ඡා කළ යුතුයි. ජීවිතය අසාර්ථක නම් ධර්මයෙන් තොරයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ඇසුරු කරන්නා පිළිබඳ සැලකිලිමත් විය යුතුයි

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ 
පශ්චාත් උපාධි අධ්‍යයන ඒකකයේ අධ්‍යක්ෂ 
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ 
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි

"ධර්මය අවශ්‍ය වන්නේ ජීවිතය ලස්සන කරගැනීමටයි. ජීවිතය ලස්සන කරගැනීමට අවශ්‍ය නැත්නම් ධර්මය අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ එවැනි ආකාරයෙන් ධර්මය දේශනා කර තිබෙන්නේද සංසාරය තුළ ජීවත් වන විට සතුටින් ජීවත් වීම අවශ්‍ය නිසයි. යමෙකුට එම සතුට අවශ්‍ය නැත්නම්, ධර්මයත් අවබෝධයත් අවශ්‍ය නැහැ. කමින් බොමින් නිදියමින් කාලය ගත කළ හැකියි. ඇතැමි දෙනා ජීවත් වෙනවා යනුවෙන් සිතා සිටින්නේ එවැනි ආකාරයටයි. "
සමාජයක ජීවත්වීෙමිදී පුද්ගල ඇසුර ඉතාම වැදගත් වෙයි බුදුන් වැඳ,දෙවියන් වැඳ ,මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කර අවසානයේ සංසාරය පුරාම අපට හොඳ ආශ්‍රයක් ලැෙබිවා,නරක ඇසුර නොලැබේවා යනුවෙන් ගාථාවකින් ප්‍රාර්ථනා කරයි.
ඔබ කිසියම් කාරණාවක් පිළිබඳව දැනුවත් වුණා නම්, එම කාරණාව දැන ගැනීමට උගතෙකු ඇසුර කළ පුංචි වේලාවක විය යුතුයි. ඔබට කිසියම් දුර්ගුණයක් තිබෙනවා නම්, එම දුර්ගුණය ඔබට ලැබුණේ මෝඩයෙකු ඇසුරු කළ පුංචි ෙවිලාවක් තුළ විය හැකියි.තමා තුළ පවතින මෝඩ ගති සහ බුද්ධිමත් ගති තමා විසින් තමාට අවංකවම ලියා බලන්න. බුද්ධිමත් ගතිවලට වඩා මෝඩගති වැඩිවෙයි. අනුවණයා ඉක්මනින් කිපෙයි. මනුෂ්‍යයන්ට වෛර කරයි. තමා නිතරම නිවැරැදි පුද්ගලයා බවට සිතමින් සැමවිටම අනෙකා අසාධාරණ කරන බව සිතමින් සිටියි.සැම විටම අනෙකා හෙලා දකියි. එය අනුවණයාගේ මනසෙහි පවතින ස්වභාවයක් වෙයි. අනෙකාට නිවැරැදිව වැඩ කටයුතු කිරීමට බැරි බව ප්‍රකාශ කරයි . ඔහු හෝ ඇය අදක්ෂ බව ප්‍රකාශ කරයි. ඔහු හෝ ඇය බොහෝ සේ අයහපත් බව ප්‍රකාශ කරයි . මෙම වචන බොහෝ අවස්ථාවල සමාජය තුළින් ඇසෙයි. පිරිපුන් නොමැති මිනිසුන් අනෙක් පුද්ගලයා හෙලා දකියි. එය ඔවුන්ගේ ස්වභාවය වෙයි.
අපගේ සිංහල සමාජයෙහි ජීවත් වන ඕනෑම පුද්ගලයෙකුගෙන් යම් පුද්ගලයෙක් පිළිබඳව විස්තර විමසු විට කිසිම පැකිලීමකින් තොරව ඔහු හෝ ඇය පිළිබඳව විස්තර කරමින් තොරතුරු ප්‍රකාශ කරයි. ඔහු හෝ ඇය විෙවිචනය කරනු ලබයි. ඔවුන් එසේ කරනු ලබන්නේ එම තැනැත්තා හෝ තැනැත්තිය පිළිබඳව හැදෑරීමකින් තොරවයි. යමි පුද්ගලයෙකු කළ යහපත් ක්‍රියාවක් දුටුවත් ඔහු හෝ ඇය ඒ දෙස වෛරයෙන් බලයි. එම නිසා පින්කමක් කර අවසානයේ ප්‍රකාශ කරනු ලබන ප්‍රාර්ථනා ගාථාව එදා සිටම පැවතුණ පිළිවෙළ අනුව ප්‍රකාශ කරයි. (මා ෙමි බාල සමාගමෝ) මෝඩයෙක් ඇසුරු කිරීමට නම් ලැබෙන්න එපා යනුවෙන් ප්‍රාර්ථනා කරයි මෝඩයෙකුගේ පුංචි ඇසුරක් අයහපතකට ප්‍රමාණවත් වෙයි. එම අනුවණ තැනැත්තා ඔහු ළඟ තිබෙන දුර්ගුණයක් අපට ලබාදෙයි. අපගේ මනසට අයහපත් දේ ඉක්මනින් උරාගනී. අයහපත උරාගන්නා තරම් වේගයෙන් යහපත උරානොගනී. මෝඩයෙකු වීම අපහසු නැහැ.සතං සමාගමෝ හෝතු යනුවෙන් උගත්, වියත්, පණ්ඩිත, ප්‍රඥාවත් යහපත් මිනිසුන්ගේ ඇසුර සංසාරය පුරාම නිවන් දක්නා ජාති දක්වා මට ලැබේවා. යනුවෙන් ප්‍රාර්ථනා කරයි. තමන් තමන්ගේ අඩුපාඩු පිළිබඳව දිනපතාම විමසා බැලිය යුතුයි. අනෙක් පුද්ගලයාගේ වැරැදි අඩුපාඩු පමණක්ම සොයමින් සිටියි. වෙනත් පුද්ගලයෙකුගේ අඩුපාඩු කතා කරන තැනැත්තෙකු හෝ තැනැත්තියක සිටිනවා නම්, ඔහු හෝ ඇය ඇසුරු නොකළ යුතුයි. එම පුද්ගලයා ඉතාම භයානකයි. වෙනත් පුද්ගලයෙකුගේ අඩුපාඩුවත් ඔබත් සමඟ ප්‍රකාශ කරනවාසේම ඔබගේ අඩුපාඩුත් ඔහුත් සමඟ ප්‍රකාශ කරයි. මම මේ ඕපාදූප කේලම් කියනවා නොවෙයි. ඔයාට තිබෙන හිතවත් කමටයි මේ කාරණා කියන්නේ යනුවෙන් ප්‍රකාශ කරමින් හිතවත්කමක් පෙන්නුම් කරමින් කේලම ඇත්තක් ලෙස ප්‍රකාශ කරයි. මෝඩයා විසින් පරිසරය එවැනි ආකාරයට නිර්මාණය කරන විට දක්ෂයාට අවබෝධය ඇති තැනැත්තාට අවස්ථාව නැතිව යයි. ඇතැම් අවස්ථා තුළ ප්‍රධානියාට වැඩිපුරම කේලම් කියන පුද්ගලයින් වැඩියෙන් වැජඹෙයි.

පාසලක හෝ ආයතනයක ප්‍රධානියාට වැඩියෙන්ම කේලම් කීමේ දක්ෂ පුද්ගලයාට ඉහළම තනතුර ලැබෙයි දක්ෂයාගේ අවස්ථාව ගිලිහී යයි. එම නිසා සමාජය තුළ කිසියම් අවුලක් තිබෙන බව දක්නට ලැබෙයි. එම අවුල ගොඩනැගීමට බාල සමාගෙමි ඇසුර හේතු විය. එනිසාම සැමදා බුදුන් වැඳ අවසන් වුවාට පසුව ෙමි ප්‍රාර්ථනාව මනසට ලබාදෙයි. මට බාලයන්ගේ ඇසුර මෝඩයන්ගේ ඇසුර නොලැෙබිවා යන්නයි. මට බුද්ධිමතුන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ඇසුර ලැෙබිවා. ඇතැම් අම්මාවාරුන් කිසිම පොතක් පතක් කියවන්නේ නැහැ. අලුත් දැනුම ලබාගන්න උත්සාහ නොකර නිකරුණේ කාලය නාස්තිකරමින් සිටියි.විභාගයට පාඩම් නොකළ ශිෂ්‍යයෙකු විභාගය ලියන විට තමන් දන්නා කරුණු පිරිමසාගෙන විභාගය ලියූ බව ප්‍රකාශ කරයි. අපේ ඇතැම් මිනිසුන් ඒ වගේයි. දන්න දැනුම පිරිමසාගෙන සැම තැනටම යොදන්න උත්සාහ කරයි. දැනුම වැඩිකර ගැනීමට උත්සාහ කරන්නේ නැහැ. හොඳ පොත පත , ජීවිතාර්ථයක් ලබාදෙන නාට්‍ය,ප්‍රඥාව අවධිකරන චිත්‍රපටි වැනි දේ තුළින් සිතන්න, කල්පනා කරන්න පොළඹවනු ලබයි. බුද්ධිමත් ඇසුර තුළ එවැනි දේ ලැබුණත් මෝඩ ඇසුරෙන් එවැනි දේ ලැබෙන්නේ නැහැ. මෝඩයන් ඇසුරු කිරීමෙන් ජීවිතය තුළ කිසිදා දියුණුවක් ලබන්න බැහැ. විවාහ වන දවසේ සිටි බිරිඳට තිබුණ දැනුම හා අවබෝධයම තවත් අවුරුදු දහයක් ගිය පසුත් එවැනි ආකාරයෙන්ම තිබෙනවා නම් ඇති ඵලක් නැහැ. අවබෝධය ප්‍රඥාව වැඩි දියුණු වී නැත්නම් මෝඩයෙක් වගෙයි. එවැනි පිරිස හැන්ද වගේ මිනිසුන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හැන්ද හොද්දේ බැසගෙන සිටියාට හැන්ද හොදි රසය දන්නේ නැහැ. මෝඩයාත් ඒ වගේ බව බුදුරජාණන් වහන්සේ දේශනා කරයි. කවදාකවත් හොඳ ඇසුරක් තිබුණත් මෝඩයා හොඳ දේ් උරාගන්නේ නැහැ. තමන්ගේ අඩුව සොයමින් යහපත් දේ ලබාගෙන නිවැරැදි වන්නේ නැහැ. තමන් එවැනි ආකාරයෙන් කෑ කෝ ගසමින් හැසිරුණ ආකාරය වැරැදි බව සිතන්නේ නැහැ. තමන්ගේ අඩුව දකින්න කැමැති නැහැ. තමා ඉතාම නිර්දෝෂි පුද්ගලයෙකු ලෙස සිතා මෝඩයා අනෙකා හෙලා දකියි. එවැනි මිනිසුන් ඇසුරු කළ විට අනෙක් පුද්ගලයාත් ඒ ආකාරයට හැඩගැසෙයි. කිසිදිනක උගත් වියත් ප්‍රඥාවන්තයෙකුගේ ඇසුර ලබන්නේ නැහැ.
ධර්මය අවශ්‍ය වන්නේ ජීවිතය ලස්සන කරගැනීමටයි. ජීවිතය ලස්සන කරගැනීමට අවශ්‍ය නැත්නම් ධර්මය අවශ්‍ය නැහැ.බුදුරජාණන් වහන්සේ එවැනි ආකාරයෙන් ධර්මය දේශනා කර තිබෙන්නේද සංසාරය තුළ ජීවත් වන විට සතුටින් ජීවත් වීම අවශ්‍ය නිසයි. යමෙකුට එම සතුට අවශ්‍ය නැත්නම්, ධර්මයත් අවබෝධයත් අවශ්‍ය නැහැ. කමින් බොමින් නිදියමින් කාලය ගත කළ හැකියි. ඇතැමි දෙනා ජීවත් වෙනවා යනුවෙන් සිතා සිටින්නේ එවැනි ආකාරයටයි. ප්‍රඥාව වැඩෙන වැඩසටහනක් හෝ ප්‍රඥාව වැඩෙන බණ පදයක් ඇසීම තුළ ආගමික දැනුම ලැබෙයි.කෑම පිසීමට දක්ෂ කාන්තාවන් ලංකාෙවි සිටියත් ,අද වන විට රූපවාහිනියෙන් කෑම පිසීම වැඩියෙන් උගන්වනවා යනු වර්තමාන කාන්තාවන් කෑම පිසීමට නොදන්නා බවක් හැඟේ. අතීතයේ සිටි අම්මාවරුන් කෑම පිසින අවස්ථාවල එම පළාතම සුවඳ හමන බව අපේ සංස්කෘතිය ප්‍රකාශ කළා. කාන්තාවගේ ප්‍රධාන කාර්යභාරය රූපවාහිනියෙන් ඉගැන්විය යුතු තැනට පැමිණිලා.කාන්තාවකට කෑම පිසීමට බැරිබව ප්‍රකාශ වීම මාළුවාට පිහිනීමට බැහැ කියනවා වගේ වැඩක් වෙයි.ප්‍රඥාවතුන්ගේ බුද්ධිමතුන්ගේ ඇසුර වර්තමානය වන විට අඩුවක් දක්නට ලැබෙයි.
විදර්ශනා භාවනා කරනවා කියන ඇතැම් පුද්ගලයන් කුඩා කාරණාවකටත් කේන්ති ඇති කර ගනී. තමන් වැඩු විදර්ශනාෙවි තරම අවබෝධ වන්නේ එවිටයි.ඉවසීම අවබෝධය තිබෙනවා නම් පංවශීලය සමාදන් වුණත් ප්‍රමාණවත්.ඉවසීම අවබෝධය ,අනෙකා හෙලා නොදැකීම නිවන් දැකීමටත් ප්‍රමාණවත්. අනෙකාගේ අගුණම, අසුබ ම කතා කිරීම තමාටත් හොඳ නැහැ. මිනිසුන් තුළ කොතෙකුත් වැරැදි තිබිය හැකියි. එහෙත් අනෙකාගේ දුර්ගුණය ඉස්මතු

වන ආකාරයට කතා නොකළ යුතුයි.

ප්‍රඥාවන්තයන්ගේ බුද්ධිමතුන්ගේ ඇසුර වර්තමානය වන විට අඩුවක් දක්නට ලැබෙයි. බෞද්ධ රටක් වුවත්, ඇතැම් නගරවල වයින් ස්ටෝස් කීයක් නම්, දකින්න ලැබෙනවාද?ලංකාවේ කිසිම ස්ථානයක එවැනි පෝළිම් දක්නට නොලැබුණත් එවැනි තැන්වල කිසිදු විරෝධතාවයකින් තොරව බොහෝ ෙවිලාවක් පෝළිම්වල සිටියි.එවැනි මත්වූ මිනිසුන් සිටින රටක ජීවත් වන අප නිවැරැදි කල්පනාවෙන් සිටිය යුතුයි.

ඉස්සර සිටි මිනිසුන් කාටත් හොරෙන් කැලයට ගොස් මත්පැන් පානය කළත් මත්ගතිය මඟහැරී ගිය පසුව මනුෂ්‍ය වාසයට පැමිණෙයි.සිංහල සංස්කෘතිය කියන්නේ එවැනි ආකාරයෙන් පැවතුණ සමාජයක්. මත්ගතියෙන් බිරිඳ මුහුවීමත් ලජ්ජාවක් ලෙස සැලකුවා.වර්තමානය වන විට වීරයෙකු ලෙස මත්වී පැමිණෙයි. ලජ්ජා බය නැතිෙවිගෙන යනවා. අපගේ සිංහල සංස්කෘතිය තුළ ලජ්ජා බය ඇති සමාජයක් තිබුණා. නීත්‍යානුකූල මත්ද්‍රව්‍ය පානය කළත් ,නීතිවිරෝධි මත්ද්‍රව්‍ය පානය කළත් කිසිදු වෙනසක් නොමැතිව මත්වීමෙන් ජීවිත අවුල් වෙයි. දැකිය යුතු ඇත්තක් ෙමි සමාජය තුළ තිබුණත් එම ඇත්ත දකින්නේ නැහැ.ඇතැම් පුද්ගලයන් මත් ගතියෙන් ප්‍රශ්න විසඳීමට උත්සාහ ගනී.ඇතැම් දායකයන් පේරු දානය ගැන කතා කරන්න පන්සලට පැමිණෙන්නේත් මත් ද්‍රව්‍ය පානය කළ පසුවයි.
තැනකට ඉදිරිපත්වීමට තමන් තුළ ප්‍රඥාව නැති කමයි. එම නිසා බුද්ධිමත් ඇසුර සංසාරය පුරා එන සිදුවීමක්.මට ඇසුරට ලැබෙන්නේම මෝඩයන් බව ඇතැමුන් සමහර අවස්ථාවල ප්‍රකාශ කරයි.ඇතැමුන් බුද්ධිමතුන් ඇසුරු කළත් තමාගේ ජීවිතයට බුද්ධිමතුන්ගේ ස්වභාවය වැළඳ ගැනීමකින් තොරව මෝඩ ඇසුරටම යයි. තමාගේ ජීවිතයට හිතවත් ලෙස ඇසුරට ගන්නාවූ පිරිස පිළිබඳව බොහෝ සෙයින් සැළකිලිමත් විය යුතුයි. තමන් තවත් පුද්ගලයෙකුට උපදෙසක් දෙන විට හොඳට සිතා බලා අවබෝධය පිරුණ අවලංගු නොවන බුද්ධිමත් අදහසක් සමාජයට ලබාදිය යුතුයි. දරුවෙකුට උපදෙසක් දෙන විට ඔළුව කේන්තියෙන්, තරහවෙන්,වෛරයෙන් පුරවාගෙන උපදෙස් දීම සුදුසු නැහැ. එම නිසා මෙවැනි ගාථා ධර්මයක් අපට අවශ්‍ය වෙයි.
ඉමිනා පුඤ්ඤ කම්ෙමින 
මා ෙමි බාල සමාගමෝ 
සතං සමාගමෝ හෝතූ
යාව නිබ්බාන පත්තියා

ඇතැමුන් මෙම ගාථාව කියවගෙන ගියත් නිවැරැදි තේරුම දන්නේ නැහැ. එදිනෙදා කරන කටයුතු කොටස නිවැරැදිව කරන්නේ නැත්නම්, කුමන නිවනක්ද? තමාගේ පාසලේ අධ්‍යාපන කටයුතු ගෙදර ඇවිත් නිවැරැදිව නොකරන ළමයාට කුමන නිවනක්ද?ුධර්මය දන්නවා සේ කතා කළාට ධර්මය පිළිබඳව දැනුම අඩු පිරිසක් වර්තමානය තුළ සිටියි.
ජීවිතය ධර්මය අනුව හැඩගසා ගැනීමට ධර්ම දේශනා,සහ දහම් පොත පත කියවිම ඉවහල් වෙයි. පාරම්පරික හුරුවට අනුව ගිරවුන් වගේ කියවගෙන ගියාට ඇතැම් කාරණා පිළිබඳව අවබෝධයක් නැහැ. බෞද්ධයා යනු දන්න පුද්ගලයායි. දැනගැනීමට උත්සාහ කරන පුද්ගලයායි. සැමදාම කියවමින් හදාරමින් සැමදා ශිෂ්‍ය අවධිය ලෙස සිතා සිටින පුද්ගලයායි. බෞද්ධයන් ලෙස පොත පත කියවමින් ආගම දහම ජීවිතයට සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ යුතුයි. එය එක වතාවටම බැරි වුණත් ක්‍රමානුකූලව ජීවිතයට ගොඩනගාගත යුතුයි. පළමු කාරණාව ලෙස මනස නිවැරැදිව හදාගත යුතුයි. තමාට කෙතරම් දුරට ඉවසීම තිබෙනවාද? කේන්ති යනවාද කියා බැලිය යුතුයි.
දවසකට කේන්ති යන අවස්ථා ගණන කොපමණද ? කේන්ති යන වාර ගණන අඩුකර ගන්නේ කෙසේද? විදර්ශනා භාවනා කරනවා කියන ඇතැම් පුද්ගලයන් කුඩා කාරණාවකටත් කේන්ති ඇති කර ගනී. තමන් වැඩු විදර්ශනාෙවි තරම අවබෝධ වන්නේ එවිටයි.ඉවසීම අවබෝධය තිබෙනවා නම් පංවශීලය සමාදන් වුණත් ප්‍රමාණවත්.ඉවසීම අවබෝධය ,අනෙකා හෙලා නොදැකීම නිවන් දැකීමටත් ප්‍රමාණවත්. අනෙකාගේ අගුණම, අසුබ ම කතා කිරීම තමාටත් හොඳ නැහැ. මිනිසුන් තුළ කොතෙකුත් වැරැදි තිබිය හැකියි. එහෙත් අනෙකාගේ දුර්ගුණය ඉස්මතු වන ආකාරයට කතා නොකළ යුතුයි

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පාපයේ සාපයෙන් අපායේ සෝකයෙන්

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක 
ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

සැරියුත් මහරහතන් වහන්සේ විසින් ධනංජානි බමුණාගෙන් නැවතත් මෙසේ ප්‍රශ්න කරනවා. ධනංජානි කියන්න, මෙලොව යම් කෙනෙක් දැසි දස් කම්කරුවන් වෙනුවෙන් අධර්මයේ හැසිරෙනවා නම් නපුරු ලෙස හැසිරෙනවා නම් මරණය හා සමඟ නිරපල්ලන් විසින් ඒ අධර්මයේ හැසිරුණු නපුරු, නරක ලෙස හැසිරුණු පුද්ගලයා නිරයට ඇදගෙන යන විට මේ දැසි දස් කම්කරුවන් වෙනුවෙන් මම අධර්මයේ හැසිරුණෙමි. කෲර ලෙස නපුරු ලෙස හැසිරුණෙමි.
ඒ නිසා මා නිරයට නොගනිත්වායි පැවසුවත්, ඒ දැසි දස් කම්කරුවන් විසින් මේ අය අප නිසා අධර්මයේ හැසිරුණා, නපුරු ලෙස හැසිරුණා, මේ නිසා නිරයට ඇදගෙන යන්න එපා යැයි පැවසුවත් එය එසේ වෙයිද? සැරියුත් තෙරණුවන් වහන්ස, එසේ නොවන්නේය. මේ පුද්ගලයා හඬා වැළපී කෑ ගසද්දීම නිරපල්ලන් විසින් නිරයට අරගෙන යන බව ඉතා පැහැදිළියි.නැවතත් සැරියුත් තෙරණුවන් වහන්සේ මෙසේ ප්‍රශ්න කරනවා. ධනංජානි ඔබට කුමක් ද සිතෙන්නේ. මෙලොව යම් කෙනෙක් මැති ඇමැතිවරුන්, හිත මිතුරන් වෙනුවෙන් අධර්මයේ හැසිරෙනවා නම්, විෂමචාරීව හැසිරෙනවා නම් ඒ අය ඒ අධර්මයේ හැසිරීම නිසා නිරයට ඇදගෙන යන විට මම මේ පව් සිද්ධ කළේ අධර්මයේ හැසිරුණේ, මේ හිතමිතුරන් නිසා යැයි සඳහන් කළත්, ඒ හිත මිතුරන් විසින් මේ අය මේ වැරැදි දේ සිද්ධ කළේ අධර්මයේ හැසිරුණේ අප නිසා යැයි පැවසුවත්, නිරපල්ලන්ගෙන් සමාවක් ලැබෙයි ද? ඔහු නිරයෙන් ගලවා තබයි ද? එසේ නොවන්නේය, නිරපල්ලන් විසින් ඔහු නිරයට ම ඇදගෙන යන්නේය.

වර්තමාන පරිසරයෙහි යම් කෙනෙක් යහළු යෙහෙළියන් නිසා, තමාට වඩා ඉහළින් සිටින පිරිස යැයි රටක්, පළාතක් පාලනය කරන අය වෙනුවෙන් පස්පව්වල යෙදී සිටින බවක් පෙනේ. ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාමයේ වරදවා හැසිරීම, බොරුකීම විශේෂයෙන් වේගයෙන් පැතිරීගෙන යන සුරාවට මත්ද්‍රව්‍යයන්ට හුරුවීම් ආදී වශයෙන් මේවා ගැන සඳහන් කළත් ඒ පාපකාරී ජීවිතයේ ඵලයන් ලෙස නිරයෙන් ගැලවීමක් නම් නොවන්නේය. යහළු හිත මිතුරන් නිසා හෝ යම් අයෙක් වෙනුවෙන් යම් වූ පාපී ක්‍රියාවන් සිදු කළත්, තමා ගිලන්වන විට තමා දිරාගෙන යන විට මරණ මංචකයේ වැතිරී සිටින විට ඒ අයගෙන් තිබෙන පිහිට කුමක් ද? යම් විටක යම් මාත්‍ර උපකාරයක් කළත් එය තාවකාලිකම වන්නේය. මරණ මංචකයේ වැතිරී සිටින පුද්ගලයාගේ සිතට නැගෙන තමා කළ පස් පව් මතක් වන විට ඉන් ඇතිවන දැවෙන තැවෙන පිළිස්සෙන මානසික ස්වභාවයෙන් ගළවා ගැනීමට ඒ යහළු හිතමිතුරන්ට හැකියාවක් පවතියි ද? ඔවුන් විසින් ඔබ අමතක කොට දමනු ඇත. ඒ ලෝක ස්වභාවයයි. ඔබ විසින් පාපයේ යෙදුණු අන් අයත් අමතක කොට දමනු ඇත. පාපී පුද්ගලයන් මතකයේ තබා ගැනීම තමන්ට ම මානසික කරදරයකි. එකතු වී පාප කර්මවල යෙදෙන පුද්ගලයෝ ඒ පාප කර්මයේ යෙදෙන අවස්ථාවේ පමණක් ඔවුනොවුන් සම්බන්ධව සිට ඉන් පසුව හැකිතාක්දුරට උත්සාහ කරන්නේ වෙන්ව කටයුතු කිරීමටයි. එයට හේතුව පාපයෙන් ලැබෙන විපාකය මෙලොව හෝ පරලොව වශයෙන් බෙදාගැනීමට කිසිවකුත් කැමැති නොවීමයි. මේ පිළිබඳව මනාසේ සද්පුරුෂ ජනයා විසින් කල්පනා කොටගත යුතුමයි.
සැරියුත් තෙරණුවන් වහන්සේ නැවතත් ප්‍රශ්න කරති. ධනංජානි කියන්න කුමක් ද ඔබ මේ ගැන සිතන්නෙ. මෙලොව යම් කෙනෙක් ඥාතීන් වෙනුවෙන් හෝ පස්පව් දස අකුසල් කිරීම නම් අධර්මයේ හැසිරෙනවා නම්, විෂම වූ චරිත පැවැත්මක් ඇති කර ගන්නවා නම් ඒ පැවැත්ම නිසා නිරපල්ලන් විසින් නිරයට ඇදගෙන යන වෙලාවේ මම මේ සියල්ල සිද්ධ කළේ මේ ඥාතීන් වෙනුවෙන් යැයි පැවසුවත් ඒ ඥාතීන් විසින් මේ වැරැදි මේ පුද්ගලයා විසින් කරනු ලැබූයේ තමන් නිසා යැයි පැවසුවත් ඒ වැරැදි කළ පුද්ගලයාට ගැලවීමක් තිබෙයි ද? නිරපල්ලන්ගෙන් ගැලවීමක් පවතියි ද? නිරයට දැමීමෙන් බැහැරවීමක් පවතියි ද? එසේ නොවන්නේමය. ඒ පුද්ගලයා හඬත්දී, වැළපෙද්දීම, කෑගසද්දීම නිරපල්ලන් විසින් ඔහු නිරයට දමන්නේ ය.
සැරියුත් මහ රහතුන් වහන්සේ මේ ලෙසින් ආගන්තුකයන් වෙනුවෙන් අධර්මයේ හැසිරීම පිළිබඳවත් ඒ වගේ ම මිය ගිය ඥාතීන් වෙනුවෙන් කියා යාග හෝම කිරීම් වශයෙන් හෝ මිය ගිය ඥාතීන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම් වශයෙන් හෝ වෙනයම් සිරිත් විරිත් කිරීම් ආදී වශයෙන් හෝ පැවසීම් අවස්ථාව හෝ ඒ වගේ ම දෙවියන් වෙනුවෙන් හෝ ආගමික චාරිත්‍ර වෙනුවෙන් හෝ වැරැද්දේ යෙදෙනවා යැයි සඳහන් කළත් නිරයේ වැටීමෙන් නිරපල්ලන්ගෙන් බේරීමක් පවතියි ද? විශේෂයෙන් ම දෙවියන් වෙනුවෙන් අධර්මයේ හැසිරීමෙන් මරණ මංචකයේ වැතිරී සිටින ඒ පාපකාරී පුද්ගලයාට දෙවියන්ගෙන් ලැබෙන පිහිට කුමක් ද? දෙවියන් වෙනුවෙන් බිලි පූජා පවත්වන අය දෙවියන් වෙනුවෙන් යැයි කියා විවිධ චාරිත්‍ර වාරිත්‍ර කරන්නට සොරකම් කරමින් කටයුතු කරන අයට පවා නිරපල්ලන්ගෙන් සමාවක් නොලැබෙන බව මේ ධර්ම කතාවෙන් පැහැදිළි වන්නේ ය.
මේ පුද්ගලයා මේ විෂමචාරීව අධර්මයේ හැසිරුණේ අප නිසා යැයි පවසන්නට එම දෙවියන් ඉදිරිපත් වූවත් දෙවියන්ගේ වචනයට නිරපල්ලන් විසින් සවන් නොදෙන්නේ ය. ඒ නිසා ආගමික චාරිත්‍ර වෙනුවෙන් හෝ දෙවියන් වෙනුවෙන් හෝ ප්‍රාණඝාත, සොරකම් ආදී පස්පව්වලට යොමු නොවීම මේ ධර්ම කතාවෙන් වඩාත් ම මතුකොට දක්වන්නේ ය.කිසිදු ආගමික චාරිත්‍රයක් වෙනුවෙන් සිත කය වචනය යන තුන් දොර අධර්මයට යොමු නොකළ යුතු බව බුද්ධ ශ්‍රාවක, ශ්‍රාවිකාවන් විසින් වඩාත් ම සිත්හි දරා ගත යුතු වන්නේ ය. දෙවියන්ගෙන් යම් දෙයක් බලාපොරොත්තුවෙන්, තවත් කෙනෙකුට වෛර කිරීම්, පළිගැසීම්, නපුරුකම් කිරීම් ආදී දුෂ්චරිතයන්ට විෂමචාරී චරිතයන්ට යොමුවීමත්, හැසිරීම්වලට යොමුවීමත් නුවණින් කල්පනාකොට බලන්න. කෙනෙකු වෛරීව දෙවියන් ඉදිරියේ පොල් ගැසීම, දෙහි කැපීම ආදී වශයෙන් කටයුතු කිරීම මොනතරම් අකුසල චේතනාවක් දැයි නුවණින් කල්පනා කළොත් ඔබට මේ ගැටලුව විසඳාගත හැකි වන්නේ ය. තමාගේ සිතෙහි දූෂ්‍යවන යම් වූ ද පාපී සිතිවිල්ලක් ඇතිවන්නේ නම් ඒ කෙසේවත් නොඉවසිය යුතු බවත් එය බැහැර කළ යුතු බවත් ඉවත් කළ යුතු බවත් නැවත එවැනි පාපී සිතිවිල්ලක් හට නොගන්නා තත්ත්වයට පත් කරගත යුතු බවත් ධර්ම කතාව වන්නේ ය.
උප්පන්නං කාම විතක්කං
නාධිවාසේති පජහති විනෝදේති
බ්‍යන්ති කරෝති අනභාවං ගමේති
උප්පන්නං ව්‍යාපාද විතක්කං
නාධිවාසේති පජහති විනෝදේති
බ්‍යන්ති කරෝති අනභාවං ගමේති
උප්පන්නං විහිංසා විතක්කං
නාධිවාසේති පජහති විනෝදේති
බ්‍යන්ති කරෝති අනභාවං ගමේති

ඉපදුනා වූ එනම් තම සිතේ හටගත් දැඩි ආශාවෙන් යුක්ත කාම සිතිවිල්ල හෝ උපන්නා වූ ව්‍යාපාද හෙවත් තරහ සිතිවිල්ල හෝ උපන්නා වූ අනුන්ට කරදර කිරීමේ හෝ හිංසා සහගත සිතිවිල්ල හෝ සිතෙහි වැඩෙන්නට නොදිය යුතු බව එනම් නොඉවසිය යුතු බව සඳහන් වේ. එය බැහැර කළ යුතු වන්නේය. එය ගලවා දැමිය යුතු වන්නේ ය. එය ඉවත් කළ යුතු වන්නේ ය. නැවත සිතෙහි නො ඉපදිනා ආකාරයට සිත ශක්තිමත් කර ගත යුතු බවට පත් කරගත යුතු වන්නේ ය යනු එහි අදහසයි. එහෙම නම් දෙවියන් වෙනුවෙන් වූවද, රජුන් හෝ රටක් පාලනය කරන අය වෙනුවෙන් වූව ද අධර්මචාරීව හෝ විෂමචාරීව නොහැසිරිය යුතු බව ධර්ම කතාවේ ඉතාම හොඳින් පැහැදිලි වන්නේ ය. යම් කෙනෙක් එසේ අධර්මචාරීව හැසිරීමෙන් තමන්ට බොහෝ දුක්ඛ, දෝමනස්සයන්ට පැමිණීමත් අර තමන් තවත් අය වෙනුවෙන් කැප වුණා කියන තැනින් තමන්ට පසු කලෙක ලැබුණු ඵලය පිළිබඳවත් නුවණින් සිතා බලන්න. අධර්මයේ හැසිරීමෙන් ලැබෙන පංචස්තාපය විනා වෙන කිසිවක් ඉතිරි නැති බව සම්‍යක් දෘෂ්ඨියෙන් යුක්තව කර්මය හා ඵලය පිළිබඳ අවබෝධයෙන් යුක්තවම තේරුම් ගත යුතු වන්නේ ය. බොහෝ දෙනා තම තමන්ගේ ලාභ ප්‍රයෝජන පිණිස තවත් පිරිසක් අධර්මයට නතු කරගෙන අධර්මයෙන් තම බොහෝ සම්පත් රැක ගැනීමට උත්සාහ කරන බවත්, තමා විසින් ම තමාගේ ජීවිතයටත් තමන් ඇසුරු කරන පවුල් පරිසරය පටන් සියලු දෙනාටමත් යහපත පිණිස ධර්මයේ ම හැසිරිය යුතු බව මේ ධනංජානි බමුණාගේ කතාවෙන් පැහැදිලි වන්නේය. සැරියුත් මහරහතන් වහන්සේ විසින් පැහැදිලි කොට දේශනා කරන්නේ ද එම අදහසයි.
සැරියුත් මහ රහතන් වහන්සේ නැවතත් මෙසේ ප්‍රශ්න කරනවා. ධනංජානි ඔබට කුමක් ද හැඟෙන්නේ, එනම් මෙලොව යම් කෙනෙක් කය පිනවන්න කියා, කය වඩන්න කියා අධර්මයේ හැසිරෙනවා නම්, විෂම චාරීව හැසිරෙනවා නම් නිරපල්ලන්ගෙන් ගැලවීමක් ඔහුට තියෙනවාද? ඒ අධර්මයේ හැසිරීම නිසා තමන්ගේ කය පිනවීම, ජීවිතය පැවැත්වීම, කුසගින්න නැතිවීම ආදී වශයෙන් සඳහන් කොට පාප කර්ම කිරීම නිසා නිරයට ඇදගෙන යන විට ඔහුට ගැලවීමක් තිබෙනවාද? මම මේ සියල්ලම සිද්ධ කළේ මගේ ජීවිතය පවත්ව ගන්න, ජීවත්වන්න කියා සඳහන් කළත් ඒ නිසා මා නිරයට ගන්නට එපා කියා සඳහන් කළත් ඔහුට ගැලවීමක් තිබෙනවාද? ඔහුට කිසිසේත්ම නිරයේ වැටීමෙන් ගැලවීමක් නොවන්නේමය. නිරපල්ලෝ ඔහු නිරයට ම රැගෙන යන්නේ ය.ධනංජානි බ්‍රාහ්මණයා මෙසේ ද සඳහන් කරනවා. සැරියුත් තෙරණුවන් වහන්ස මට වැටහෙනවා මොනතරම් ඒ පුද්ගලයා හැඬුවත්, වැළපුණත්, කෑ ගැසුවත් නිරපල්ලන් විසින් ඔහු නිරයටම රැගෙන යනවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ශ්‍රේෂ්ඨ හැසිරීම වන්නේ කුමක් ද ?

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක 
ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

"අධර්මයේ හැසිරෙන අයහපත් වූ ජීවිතයකට වඩා ධර්මයේ හැසිරෙන යහපත් වූ ජීවිතයක් ම ශ්‍රේෂ්ඨවන බවයි. එසේ දැනුමක් පැවතුණු ධනංජානි බමුණා පවා, ‘අප්‍රමාදයට වෙලාවක් නැත. මවුපියන් අඹු දරුවන් ආදීන් වෙනුවෙන් අපගේ ජීවිතය පවත්වන්නේ’ යැයි පැවසුවේ ඉහත සඳහන් කළ ආකාරයෙන් ජීවිතය පිළිබඳව, ධර්මය පිළිබඳව, කර්මය හා ඵලය පිළිබඳව ඇති අනවබෝධය නිසාය."
සැරියුත් මහ රහතුන් වහන්සේ විසින් ධනංජානි බමුණාගෙන් අසන ලද ප්‍රශ්නවල පවතිනා උතුම් බව නුවණින් මෙනෙහි කොට බලමු. ධනංජානියනි, යමෙක් මවුපියන් හේතුවෙන් අධර්මචාරීව, විෂමචාරීව හැසිරීමත්, යමෙක් මවුපියන් වෙනුවෙන් ධර්ම චාරීව, සමචාරීව එනම් යහපත් වූ හැසිරීම්වලින් යුක්ත වීමත් අතරින් වඩාත් ශ්‍රේෂ්ඨවන්නේ කුමක් ද?
සැරියුත් තෙරණුවනි, මට වැටහෙනවා, ධනංජානි බමුණා සඳහන් කරනවා. යමෙක් මවුපියන් හේතුවෙන් අධර්මචාරීව, විෂමචාරීව හැසිරෙනවාද? එය කිසි විටක ශ්‍රේෂ්ඨ වන්නේ නැහැ. යමෙක් මවුපියන් වෙනුවෙන් ධර්මචාරීව, සමචාරීව හැසිරෙනවා ද? එයම ශ්‍රේෂ්ඨ වෙනවා. සැරියුත් තෙරණුවනි, අධර්මයේ හැසිරෙනවාට වඩා, නපුරු ලෙස හැසිරෙනවාට වඩා ධර්මයේ හැසිරීම, යහපතේ හැසිරීමම වඩා ශ්‍රේෂ්ඨ වෙනවා.
ධනංජානි, යම් කර්මාන්තයකින් මවුපියන් පෝෂණය කරන්නට, හැකිවෙනවාද? පව්කම් කරන්නට නොහැකි වෙනවාද? පුණ්‍ය ප්‍රතිපදා පිළිපදින්නට හැකිවෙනවාද? එබඳු අන්‍යය සහේතුක ධාර්මික කර්මාන්තයක් හෝ කර්මාන්ත බොහෝමය. ධනංජානි, කුමක් ද ඔබ සිතන්නෙ. යමෙක් අඹු දරුවන් නිසා හෝ අධර්මයේ විෂමචාරීව හැසිරෙනවාද? යමෙක් අඹු දරුවන් නිසා ධර්මචාරීව, සමචාරීව හැසිරෙනවාද? මෙයින් වඩා ශ්‍රේෂ්ඨවන්නේ කුමක් ද? අඹු දරුවන් වෙනුවෙන් වූවත්, අධර්මචාරීව, විෂමචාරීව හැසිරීම ශ්‍රේෂ්ඨ වන්නේ නැහැ. යමෙක් අඹු දරුවන් හේතුවෙන් හෝ ධර්මචාරීව, සමචාරීව එනම් යහපත් ලෙස හැසිරීම සිදු කරනවා නම් එයම ශ්‍රේෂ්ඨයි. අධර්මයේ හැසිරීමට වඩා ධර්මයේ හැසිරීම, යහපතේ හැසිරීම වඩා ශ්‍රේෂ්ඨ වෙනවා.
ධනංජානියනි, එසේ නම් පවසන්න, යම් කර්මාන්තයකින් අඹු දරුවන් පෝෂණය කරන්න හැකිවේද? පව්කම් නොකර සිටින්නට හැකිවේද? පුණ්‍ය ප්‍රතිපදා පිළිපදින්න හැකිවේද? අන්න එබඳු වූ සහේතුක සාධාරණ, ධාර්මික කර්මාන්ත බොහෝමයක් තියෙනවා. සැරියුත් මහ රහතුන් වහන්සේ ලබාදුන් පිළිතුර මෙහි දී ධර්මයට ගලපා ගත යුතුයි.
ශීලයේ පිහිටා, දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තේරුම්ගන්නා මනුෂ්‍යයෙකුට එමෙන් ම කර්මය හා ඵලය පිළිබඳව, හොඳ නරක විපාක පිළිබඳව තේරුම් ගන්නා වූ මනුෂ්‍යයෙකුට ධර්මානුකූල ව යෙහෙන් ජීවිතය පවත්වා ගැනීමේ අවස්ථා බොහෝමයක් සොයා ගත හැකියි. අධර්මයෙන් ජීවත්වනවාට වඩා ධර්මානුකූලව ජීවත්වීමේ අවස්ථාවන් වර්තමානයේ මෙරට පමණක් නොව ලෝකයේ ඕනම තැනක සොයාගත හැකියි.

ඉහතදීත් අප කතා කළ අයුරින් එක රාත්‍රියකින්, කෙටි කාලයකින් බොහෝ ධනය සොයා නොගත්තත්, සතුටින් ලද දෙයින් සතුටු වීමෙන් සැනසෙන්නට පුළුවන් ආකාරයෙන් ජීවත්වන්නට තරම් ධනයක් සොයා ගත හැකියි. මවුපියන්, ස්වාමිභාර්යා දරුවන් සියලු දෙනා වෙනුවෙන් කළ යුතු යුතුකම් කළ හැකි රැකියාවක් කර්මාන්තයක් සොයාගත හැකියි. එලෙසම පින් දහම්වල යෙදෙන්නට පුළුවන් සීලය සමාධිය වඩා ගැනීමට පුළුවන් රැකියාවක් වෘත්තියක් අනුගමනය කළ හැකියි. එවැනි බොහෝ ධාර්මික වූ පිරිස් හා රැකියා බොහෝමයක් ලෝකයේ කොතැනත් සුලභව තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ සම්මා ආජීවය ලෙස පැවැත් වූ කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, රාජ්‍ය සේවය හෝ දෑතේ බාහු බලයෙන් උත්සාහයෙන්, වීර්යයෙන්, දහදිය මහන්සියෙන් ධර්මානුකූලව ධනය සොයාගත හැකි රැකියා කර්මාන්ත බොහෝමයක් පවතිනවා. එමගින් මවුපියන්, අඹු දරුවන්, යහළු හිත මිතුරන්, දැසි දස් කම්කරුවන් වෙනුවෙන් යුතුකම් කළ හැකි වනවා.
සැරියුත් මහ රහතන් වහන්සේ පෙර පරිදිම නැවතත් අර ප්‍රශ්න සියල්ලම ධනංජානි බමුණාගෙන් ප්‍රශ්න කරනවා. හිතමිතුරන් වෙනුවෙන්, ඥාතීන් වෙනුවෙන්, ඥාතීන් නොවන යම් පිරිසක් වෙනුවෙන්, එනම් ගමේ, රටේ පළාතේ හිතවන්ත අය වෙනුවෙන් ආගන්තුකයන් වෙනුවෙන් අධර්මචාරීව, විෂමචාරීව හැසිරී යුතුකම් කිරීමද? කටයුතු කිරීමද ශ්‍රේෂ්ඨවන්නේ? එසේත් නොමැතිනම් ඒ අය වෙනුවෙන් ධර්මයේ හැසිරී. යහපතේ හැසිරී යුතුකම් කිරීම ද වඩා ශ්‍රේෂ්ඨවන්නේ?
ධනංජානි බමුණාගේ පිළිතුර වන්නේ ඒ සියලු දෙනා වෙනුවෙන් ම සියලු කටයුතු කිරීමේදී අධර්මයේ හැසිරී, අයහපතේ හැසිරී කටයුතු කිරීමට වඩා ධර්මචාරීව, යහපතේ හැසිරීමෙන් ම කටයුතු කිරීමම ශ්‍රේෂ්ඨ වන බවයි. මෙහි දී අපට පැහැදිලිවන කරුණ නම් බොහෝ පිරිසක් අධර්මයේ හැසිරෙන්නේ විෂමචාරීව ජීවිතය පවත්වන්නේ නොදැනීම නිසා නොවේ. ඔවුන්ට ඇති අනවබෝධය නිසයි. බුදු දහමට අනුව ගළපා බැලුවේ නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් ඇති කරගත්තා වූ ශ්‍රද්ධාව නොමැති නිසාය. තෙරුවන් කෙරෙහි ඇතිකර ගත්තා වූ ශ්‍රද්ධාව නැති නිසාය. ඒ වගේ ම සීලයේ ඇති උතුම් බව නො වටහා ගත් නිසාය. එමෙන් ම කර්මය හා ඵලය පිළිබඳව ඇති අනවබෝධය නිසා හෝ අවිශ්වාසය නිසාය.
කෙටියෙන් සඳහන් කළොත් දශ වස්තුක මිථ්‍යා දෘෂ්ටිය නිසාය. එනම් "දන් දීමෙහි, අනුන්ට උදව් උපකාර කිරීමෙහි ප්‍රයෝජනයක් නැත, සිරිත් විරිත්වල විපාකයක් නැත. වැඩිහිටියන්ට ගරු කිරීම වශයෙන් කටයුතුවල විපාකයක් හෝ හොඳ නරක බවක් හෝ නැත. හොඳ නරක කියා කර්මඵලයක් නැත. ක්‍රියාවක් නැත. මෙලොවක් කියා පරලොවක් කියා කිසිවක් නැත. මවුපියන් කියා විශේෂයෙන් උපස්ථාන කළයුතු යම් කෙනෙක් නැත. ඕපපාතික සත්ත්වයෝ යැයි පිරිසක් නැත. මෙලොව පරලොව මනා නුවණින් අවබෝධ කරගත් උතුම් මඟ පෙන්වාදෙන ශ්‍රමණ, බ්‍රාහ්මණයන් කියා පිරිසක් නැත" ආදී වශයෙනුයි.
මේ දශ වස්තුක මිථ්‍යා දෘෂ්ටියේ ප්‍රබල වශයෙන් ම මතුකොට දැක්වෙන්නේ මෙලොවක් නැත. පරලොවක් නැත කියන අදහස් පෙළයි. ඉන් අදහස් කරන්නේ ඉපදුනාට පසු කුමක් සිදුවේ දැයි කවුරු දන්නේ ද?. ජීවත්ව සිටින කාලය තුළ ඇස, කන ආදී ඉන්ද්‍රියන් පිනවා, මැරෙන්නට මත්තෙන් සතුටින් කෙසේ හෝ ජීවත්විය යුතුයි කියන අදහසේ සිටීමයි. වර්තමානයේ සමහර පිරිස් අතර පවා මේ අදහස මතුවේගෙන එන බව පෙනේ. මේ නිසා ඔවුන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් බැහැරවේ. සීල ප්‍රතිපදාවෙන් ඉවත් වේ. හොඳ නරක පිළිබඳව සිතන ස්වභාවය ඉවත් කරගෙන තිබෙන බව පෙනේ. සරලව සඳහන් කළොත් ‘තම කුස පිරේ නම් අන් අය ගැන සිතිය යුතු නොවන්නේය’ කියන අදහස මතුවීමක් පෙනේ.
ධනංජානි බමුණා පවා සැරියුත් තෙරණුවන් වහන්සේට සඳහන් කරන්නේ, අධර්මයේ හැසිරෙන අයහපත් වූ ජීවිතයකට වඩා ධර්මයේ හැසිරෙන යහපත් වූ ජීවිතයක් ම ශ්‍රේෂ්ඨවන බවයි. එසේ දැනුමක් පැවතුණු ධනංජානි බමුණා පවා, ‘අප්‍රමාදයට වෙලාවක් නැත. මවුපියන් අඹු දරුවන් ආදීන් වෙනුවෙන් අපගේ ජීවිතය පවත්වන්නේ’ යැයි පැවසුවේ ඉහත සඳහන් කළ ආකාරයෙන් ජීවිතය පිළිබඳව, ධර්මය පිළිබඳව, කර්මය හා ඵලය පිළිබඳව ඇති අනවබෝධය නිසාය.
සැරියුත් තෙරණුවන් වහන්සේ නැවතත් ප්‍රශ්න කරන්නේ දෙවියන් වෙනුවෙන්, මිය ගිය ඥාතීන් වෙනුවෙන් හෝ රජුන් වෙනුවෙන් හෝ ධර්මයෙන්, කරන කටයුතු ද, අධර්මයෙන් කරන කටයුතු ද, සමචාරීව හැසිරීම් ද විෂමචාරීව හැසිරීම් ද වඩා වැදගත් වන්නේ ද කියායි. ධනංජානි බමුණාගේ පිළිතුර වුනේ මිය ගිය ඥාතීන් වූව ද, ඒ වගේ ම රජය වෙනුවෙන් වූව ද යම් කෙනෙක් ධර්මානුකූලවම යහපත් ලෙස හැසිරීමෙන් යුක්තව කටයුතු කරන්නේ නම්, එයම ශ්‍රේෂ්ඨවන බවයි.
සැරියුත් තෙරණුවෝ අවසන් ලෙස ප්‍රශ්න කරන්නේ ධනංජානි ඔබ කියන්න, යමෙක් කය පිනවීම හේතුවෙන් කය පෝෂණය කරන්න ඕනෙ කියන හේතුවෙන්, අධර්මව, විෂමචාරීව හැසිරෙනවා නම් එය ශ්‍රේෂ්ඨද? එය ශ්‍රේෂ්ඨ වන්නේ නැහැ. යම් කෙනෙක් කය පිනවූවත්, ජීවිත පැවැත්ම පිණිස ධර්මචාරීව යහපත් ලෙස හැසිරීමෙන් කටයුතු කරන්නේ නම් එයම ශ්‍රේෂ්ඨවනවා. යම් කර්මාන්තයක්, යහපත් ලෙස සිදු කරමින් කය පිනවන්නටත්, වඩන්නටත්, ජීවිතය පවත්වන්නටත් පුණ්‍ය ප්‍රතිපදා අනුගමනය කරන්නටත් ඒ වගේ ම අන්‍ය සහේතුක ධර්ම ධාර්මිකව පවත්වාගත හැකි බොහෝ කර්මාන්තයෝ පවතිනවා.
එය එසේ ම කළ හැකි බව ඔබට වැටහෙන බව ඔබ පිළිගන්නේ දැයි සැරියුත් තෙරණුවන් වහන්සේ ප්‍රශ්න කරනවා. ධනංජානි බමුණා ඒ වදන් පිළිගන්නවා. එහි සතුටුවෙනවා. ඒ අනුමෝදන්ව සැරියුත් තෙරණුවන් වහන්සේට ගෞරව කොට පිටව යනවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X