සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

දිට්‌ඨිය නිවීම පිණිස නොවේ...

හිඟුල බෝධිමළු විහාරාධිකාරී, බෙලිගම්මන 
විද්‍යාභිවර්ධන, පරිවේණාධිපති ශාස්‌ත්‍රපති
පූජ්‍ය හීනාබෝවේ විමලකිත්ති හිමි

බුදුදහම මගින් පෙන්වා දෙන ආකාරයට දෘෂ්ටිය යන වචනය විවිධ සන්දර්භයන්හි විග්‍රහ කෙරේ. පාලි භාෂාව අනුව දිට්‌ඨි යනුවෙන්ද සංස්‌කෘත භාෂාවේදී දෘෂ්ටි වශයෙන්ද විග්‍රහ කෙරෙන අතර සිංහල වහරේදී දුටු දර්ශනය යනුවෙන් නිර්වචනය කෙරේ. මෙහිදී දෘෂ්ටි යනු දැකීම අර්ථවත් වන අතර එය කොටස්‌ දෙකකට බෙදේ. එනම් දැකීම නිවරදි හා වැරදි විය හැකිය. බුදු දහමට අනුව විමසා බැලීමේදී සම්මා දිට්‌ඨි හා මිච්ඡා දිට්‌ඨි යන්නයි. මෙහිදී දෘෂ්ටියක්‌ මුල්බැස ගැනීම සඳහා පුද්ගල කේන්ද්‍රීයාවය මුල්වේ. එය පුද්ගල මනසේ ගොඩනගා ගන්නා වූ සංකීර්ණ වූ ක්‍රියාවලියක්‌ ලෙස දැකිය හැකිය. විචාරශීලි බවේ හෙවත් බුද්ධියේ අවදිකමක්‌ නොමැති විටෙක දෘෂ්ටියට මඟ පෑදේ.

මිනිසා දුකට පමුණුවන ප්‍රබල සාධකයක්‌ ලෙස පෙන්වා දිය හැක්‌කේ උපාදානයයි. එම උපාදානය බොහෝ විට දෘෂ්ටියට මඟ පාදයි. තමා සමීපකර ගන්නා. දැඩිව එල්බ ගන්නා මතයක පිහිටා ක්‍රියාත්මක වීම මගින් දෘෂ්ටියට මග විවරවේ. මෙය මිනිසා දුකට පමුණුවන ප්‍රබල සාධකයක්‌ ලෙස බුදුදහම දකින්නේ අනුසයයි. එනම් මානසික සිතිවිලි නිදා සිටින අවස්‌ථාවයි. කරණීය මෙත්ත සූත්‍රය මගින් ''දිට්‌ඨිංච අනූපගම්ම සීලවා දස්‌සනෙන සම්පනෝ' යන විග්‍රහ පාඨය මගින් එය අවධාරණය කරයි. මිසදිටු බවට නොපැමිණ සිල්වත් වූයේ සම්‍යග් දර්ශන සම්පත්තියෙන් යුක්‌ත යහපත් පුද්ගලයකු ලෙස ජීවත්විය යුතු බවයි.

බුදුන් වහන්සේ සුත්ත නිපාතයේදී අට්‌ඨක පාරායන වග්ගවලදී පෙන්වාදුන් පරිදි සමකාලීන දෘෂ්ටි අරගලයන් තදින් මුල්බැස නොපැවතිණ. ඒවා විස්‌තර කර දෙන බුදුසමය මගින් ශාස්‌වත උච්ඡේද යන සියලු අන්තවාදයන් බැහැර කොට ඇත.

දෘෂ්ටිගතිකයාගේ ලක්‍ෂණය වන්නේ තමා එල්බගත් මතය කුමක්‌ වුවද එම මතයෙහිම පිහිටා ක්‍රියාකිරීමයි.අන් අයගේ අදහස්‌ වලට සවන් නොදෙයි. එහිදී සිදුවන්නේ විචාර පූර්වක බුද්ධිය අහෝසි වී යැමයි.

බුදුන් වහන්සේ අග්ගිවඡ්චගොත්තයනට වදාළේ වච්ඡය ලෝකය ශ්‍රාස්‌වතය යන මෙය දෘෂ්ටිගතයකි. දෘෂ්ටියෙහි එල්බ ගැනීමෙකි. දිට්‌ඨි සත්කාරයකි. දිට්‌ඨි සංයෝජනයකි. දුක්‌ සහගතය පීඩා සහිතය, ආයාස සහිතය, පරිදාන සහිතය, සසර දුකින් එතෙර වීම පිණිස හේතු නොවේ. භව නිරෝධය සඳහා හේතු නොවන අතරම සංස්‌කාරයන්හි නියම ස්‌වරූපය අවබෝධ කොට ගත නොහැකිය. නිවීම පිණිස හේතු නොවේ. උතුම් සම්මා සම්බෝධිය ලැබීමට හේතු නොවන්නකි. මෙය ඇසුරින් බුදුන් වහන්සේ අග්ගි වච්ඡගොත්තයනට පෙන්වා වදාළේ වච්ඡය මම මෙම ආදීනව දකිමින් සර්වප්‍රකාර ලෙස දෘෂ්ටිගතයන්ට නොපැමිණියේ වෙමි. එහිදී අග්ගිවච්ඡගොත්ත පිරිවැජියා බුදුන්වහන්සේගෙන් නැවත විමසා සිටියේ තවත් ගෞතමයන්ට නිසි දෘෂ්ටිගයක්‌ ඇත්ද යනුයි. බුදුන් වහන්සේ එහිදී තමන් වහන්සේ තුළ එවන් දෘෂ්ටියක්‌ නොවන බව පෙන්වා දුන්හ.

ම. ම. චූල මාලුඛක්‍යපුත්ත සූත්‍රයේදී චූල මාලුඛක්‍යපුත්‍රයන් ඇසූ දස අව්‍යාගත ප්‍රශ්න මගින්ද එහි ඇති අර්ථශූන්‍ය බව පැහැදිලි කරදී ඇත. ලෝකය සදාකාලිකද නැත්ද, ලෝකයේ කෙළවරක්‌ තිබේද නැත්ද, ශරීරයත් ජීවයත් එකමද නැත්ද? නැත්නම් දෙකක්‌ද? සත්වයා මරණින් පසු ඇතිවන්නේද නැත්ද? උපදින්නේද? නූපදින්නේද? යන්න බුදුන් වහන්සේගෙන් ඇසූ අවස්‌ථාවේදී බුදුන් වහන්සේ වදාළේ මාලුක්‍ය පුත්ත මා විසින් නොකියන ලද දෙය නොවිසඳන ලද දේ නොකියන ලදැයි සිහි තබා ගත යුතුයි.

කිනම් හෙයින් නොකියන ලද ද ලෝකය ශාස්‌වත යෑයි මවිසින් නොකියන ලදී. එපමණක්‌ නොව ලෝකය අශාස්‌වතයෑයිද මවිසින් නොකියන ලදී.

දෘෂ්ටියක එල්බගත් පුද්ගලයාගේ ස්‌වභාවය වන්නේ ස්‌වකීය මතය. ඉස්‌මතු කොට හුවා දක්‌වා පරමතය ගැරහීමත්ය. බුදුන් වහන්සේ දෘෂ්ටි ග්‍රහණයෙහි එල්බගැනීමෙන් ඇතිවන විවිධ හේතු ප්‍රත්‍යයන් විජානනය කරගත්හ. එහි ආදීනව සියලු අන්තවාදයන් නිස්‌සරණය කිරීම සඳහා මැදුම් පිළිවෙත් මාර්ගය අනුගමනය කළහ. සියලු දෘෂ්ටිවාදයන්හි සමුදය, අත්ථංගමය, අසසාදය ආදීනව, නිස්‌සරණය යථා පරිදි අවබෝධකොට ගත්හ. යමක හටගැනීම, අභාවය, දෘෂ්ටිවාදයන්හි එල්බ ගැනීමෙන් ලබන ප්‍රීතිය සුඛාස්‌වාදය එහි ඇති අනිත්‍ය, අසාර බව දෘෂ්ටිය මගින් සිදුවන අවැඩ ආදීනවය පෙන්වා වාදාළහ. එයින් මිදී ලබන සැපය නිස්‌සරණය පෙන්වා දුන්හ. අධ්‍යාත්ම සුභසිද්ධිය පිණිස ඉවහල් වන දැක්‌ම සම්‍යයක්‌ දැක්‌ම ලෙස දැක්‌වූ අතර ඊට හිතකර නොවූ දැක්‌ම මිථ්‍යා දැක්‌ම ලෙස පෙන්වා දුන්හ.

දෘෂ්ටි කෝෂ්ටාගාරයෙහි උපත ලෙස පෙන්වා දෙන මූලාශ්‍රය දී. නි. බ්‍රහ්මජාල සූත්‍රයයි. එහි දෘෂ්ටි දෙසැටක්‌ (62) ක්‌ ඉගැන්වේ. සර්ව දෘෂ්ටි ප්‍රදාහය සඳහා පෙන්වාදුන් තවත් මූලාශ්‍රයෙනි. නි. අලග දදූපම සූත්‍රය. එහි සඳහන්.

''ඉමං ච තුමෙහ භික්‌ඛවේ දිට්‌ඨං ඒවං පරිසුද්ධං

ඒවං පරියෝදාතං න අල්ලියෙථ න යොලොයෙථ

න ධනාටෙථ න මටායෙධ අපි නූ තුමෙහි

භික්‌ඛවේ කුල්ලුපමං ධම්මං දෙසිතං

අජානෙයථ නිථරණථාය

නො ගහණත්ථායනි''

එම විග්‍රහ පාඨය මගින් සඳහන් වන පරිදි එදිනෙදා ජීවිතයේදී බුදු දහම වුවද ප්‍රායෝගිකව උපයෝගී කොට නොගෙන දහම කෙරෙහි මමායනයක්‌ ඇතිකර ගෙන කටයුතු කිරීම සාවද්‍ය බවයි. ඒ අනුව අන්නුබෝදයෙහි පිහිටයි. දහමෙහි පවා නොඇලිය යුතුය. ගිජුකොට නොසිතය යුතුය. ධනයක්‌ කොට නොසිතිය යුතුය. මමායනය නොකළ යුතුය. එය අවබෝධාත්මක ප්‍රතිපාදන මාර්ගයක්‌ ලෙස ප්‍රයෝජන ගත යුතුය.

බුදුන් වහන්සේගේ අදහස වන්නේ මෝඩ මිනිසුන් ගේ ස්‌වභාවය ධර්මය ඉගෙන සමූහ වශයෙන් එක්‌රැස්‌ව වාද විවාද කරමින් කටයුතු කරන බවයි. අනෙක්‌ දහම් පහත්කොට තම මතවාදයම හුවා දක්‌වන බවයි. එය උපමා කොට ඇත්තේ සර්පයකු වැරදි ලෙස අල්ලා ගැනීම සමානවයි. වැරදි ලෙස අල්ලාගත් සර්පයා ආපසු හැරී එම පුද්ගලයාටම දෂ්ට කිරීමේ සම්භාවිතාවක්‌ ලෙසයි. එපරිදි දෘෂ්ටියෙහි තදින් එල්බගත් පුද්ගලයා එම දෘෂ්ටිවාදයෙන් මිදීගත නොහැකිව වැරදි අන්තයට වැටී විනාශ වෙයි.

විමසුමට ලක්‌ කළ යුතු මීළඟ කාරණය වනුයේ දාර්ශනික හා මනෝවිද්‍යාත්මක සාධකය දෘෂ්ටිය උද්ගතවන ක්‍රමවේදය සොයා බැලීමේදී මිනිසා තුළ ඇතිවන තණ්‌හාව ප්‍රධාන වෙයි. තණ්‌හාව නිසා ඇලීම් ඇතිකර ගනියි. මමත්වය තහවුරු කර ගනියි.

ඉධමේව සච්චං මෝස මඤ්ඤං

මෙයට සත්‍යයය අනෙක්‌වා අසත්‍යය. යන සංකල්පය ඔහු තුළ හටගනියි. තවද දෘෂ්ටියට හේතුව සංඥවේ බැඳීමයි.සංඥ විරන්තස්‌ස නසන්ති ගන්ථා යනුවෙන් බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ සංඥවේ නොබැඳුනසුළු වැළකුණාවූ බැඳීමක්‌ නොමැති බවයි.

තෙ ඝට්‌ට යන්තා විචරන්ති ලොකේ සංඥාවෙන් ග්‍රහණය කිරීම ගැටලුවලට මඟපාදයි.

පපංච සංඥ සමුදා චරන්ති

සියලු ගැටුම්කාරී ක්‍රියාවලට මූල හේතුව කෙළෙස්‌ය.

බුදුන් වහන්සේ පෙන්වා වදාළේ තමන් වහන්සේ කිසිම විටෙක ලෝකයා සමග වාද විවාද නොකරන බවයි. නමුත් ලෝකයා තමන් සමග වාද විවාද කරන බව පෙන්වා දුන්හ.

නාහං භික්‌ඛවේ ලෝකේන විවදාමි

ලෝකොච භික්‌ඛවේ මයා විවාදතී

යන විග්‍රහය මගින් ජීවිතයේ යථාර්ථය අවබෝධ කොට ගැනීමට මග හසර පෙන්වා දෙයි. මේ අනුව සර්ව දෘෂ්ටි ප්‍රහාණය සඳහා බුදු දහම මගින් අනුපූර්ව ප්‍රතිපදා ශික්‍ෂණ මාර්ගය ප්‍රගුණ කළ යුතු බව පෙන්වා දෙයි.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X