සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

ඤාති සංග්‍රහය දහම් ඇසින් දකිමු

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක 
ආචාර්ය 
ඕමල්පේ සෝභිත නා හිමි

" ඤාති සංග්‍රහය ධර්මානුකූල වූවක් ම විය යුතු ය. අධාර්මික ඤාති සංග්‍රහය බුදු දහම ප්‍රතික්ෂේප කරයි. සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් ආකාරයට ඤාතීන් වෙනුවෙන් නිවැරදි පිළිපැදීම ධර්මානුකූල ඤාති සංග්‍රහයයි. ඤාතීන් වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් හා වගකීම් පැහැර හැර ක්‍රියා කිරීම අධාර්මික ඤාති සංග්‍රහයයි."
ඤාති සංග්‍රහය නම් වූ උදාර මානව ගුණධර්මය අද බොහෝ සෙයින් විපරිත ආකාරයට ක්‍රියාත්මක කරන අයුරු එදිනෙදා අසන්නට දකින්නට ලැබෙන පුවත් මගින් පැහැදිලි වේ. බොහෝ සෙයින් දේශපාලන ක්ෂේත්‍රය තුළ නිරත වූවන් කටයුතු කරන ආකාරය මෙයට කදිම නිදර්ශනයකි.
තමන්ට බලය ලැබුණුවිට බොහෝ අනුවණ දේශපාලකයෝ වැඩි වැඩියෙන් ඤාති සංග්‍රහය සිදුකරති. මොවුන් ඒ සඳහා මහජන දේපළ අවභාවිතය කරති. නුසුදුස්සන්ට තනතුරු ප්‍රදානය කරමින් වරදාන ලබාදෙමින් මොවුන් සිදුකරන අධාර්මික ඤාති සංග්‍රහය නිසා පීඩාවට පත්වන්නේ පොදු මහජනතාවයි. ඇතැම් ආගමික නායකයින්ද දේශපාලකයින් හා සමානව ම තම ආගමට දහමට මුවා වී අදැහැමි ඤාති සංග්‍රහයක නියැලී සිටින අයුරු ද දැකිය හැකිය. බොහෝ දෙනා නිවැරදිව වටහා නොගත්තා වූ ද නිවැරදිව ක්‍රියාත්මක නොකළා වූ ඤාති සංග්‍රහය වනාහි ඉතා උතුම් වූ මානව ගුණ ධර්මයකි. මෙය වටහා නොගැනීම හා නිවැරදිව ක්‍රියාත්මක නොකිරීම මත බොහෝ සමාජමය අර්බුධ පැනනැගී ඇත. මේ හේතූන් නිසා බුදු දහමට අනුව ධර්මානුකූල ඥාති සංග්‍රහය කුමක්ද? යන්න විමසා බලා පැහැදිලි කරදීම මෙම ලිපියේ අරමුණයි.
මිනිසා ශිෂ්ටාචාරවත් වූ දා පටන් ඤාති සබඳතා ගොඩනඟා ගත්තේ ය. මව, පියා, බිරිඳ හා දූදරුවෝ ළඟම ඥාතීහු වෙති. සමාජයේ කුඩාම ඒකකය පවුල් ඒකකයයි. මෙම පවුල් ඒකකය රඳා පවතිනුයේ ඤාති සබඳතා මතය. ඤාති සබඳතා නොමැතිකල පවුල් ඒකකය බිඳ වැටෙනු ඇත. එවිට සමාජයද පිරිහී යයි. ඤාති සබඳතා රඳා පවතිනුයේ ඔවුනොවුන් මත බැඳුනු යුතුකම් හා වගකීම් සමුදායක් මතය. යුතුකම් හා වගකීම් නිසිලෙස ඉටුකරන කල්හි ඤාති සබඳතා ද ශක්තිමත් වේ. ඒවා නොමැති කල්හි ඤාති සබඳතා බිඳවැටේ.
ඤාතීන් යනු පුද්ගලයාට සම්පතකි. එය අංගුත්තර නිකායේ දී බුදුන් වහන්සේ ‘ඤාති සම්පදා’ යනුවෙන් පඤ්චවිධ සම්පත්තීන්ගෙන් එකක් ලෙස දේශනා කොට ඇත. කෙනෙකුට තනිව සමාජයේ ජීවත්වීම අපහසුය. විපත් කරදර දුක් ගැහැට පැමිණෙන විට තවකෙනකුගේ උදව් උපකාර අත්‍යවශ්‍යය. මෙබඳු අවස්ථාවන්හිදී පිහිටට පැමිණෙන්නේ මව, පියා, බිරිඳ, දරුවන් ආදී වූ සමීපතම ඤාතීන්ය. ඤාතීන් සම්පතක් හැටියට දේශනා කළේ එබැවිනි. ඤාති සබඳතා බිඳවැටෙන්නට නොදී පවත්වාගෙන යාමට නම් ඔවුන් වෙනුවෙන් ඉටුකළයුතු යුතුකම් හා වගකීම් සමුදායක් පවතී. මේ යුතුකම් හා වගකීම් මැනවින් ඉටුකිරීම ඤාති සංග්‍රහය ලෙස බුදුදහම නිර්වචනය කරයි. ‘ඤාතකානඤ්ච සංගහෝ’ යනුවෙන් මහා මංගල සූත්‍රයේදී ඤාතීන්ට සංග්‍රහ කිරීම මංගල කරුණක් ලෙස දේශනා කොට තිබේ. එමෙන්ම තම සමීපතම ඤාතීන් වන මව්පියන්ට, අඹුදරුවන්ට සැලකීමද වෙන වෙනම මංගල කරුණු ලෙස ‘මාතා පිතූ උපට්ඨානං පුත්ත දාරස්ස සංගහො’ යනාදී වශයෙන් දක්වා තිබේ. බුදු දහම උගන්වන ‘පඤ්චබලි’ අතුරින් පළමුවැන්න ඤාතිබලී නම් වේ. මින් අදහස් කරන්නේ ද ඤාතීන්ට සංග්‍රහ කිරීමයි. මෙකී කරුණු අනුව පැහැදිලි වන්නේ බුදුදහම ඤාති සංග්‍රහය ඉතා වැදගත්කොට සැලකූ බවයි.
ඤාති සංග්‍රහය කෙසේ විය යුතුද? යන්න පැහැදිලි කරන ඉතා වැදගත් දේශනාවක් ලෙස දීඝ නිකායේ ඇතුළත් සිඟාලෝවාද සූත්‍රය සඳහන් කළ හැකිය. සිඟාලෝවාද සූත්‍රයේදී සිඟාල පුත්‍රයාගේ සදිසා නමස්කාරය අර්ථගන්වන බුදුරජාණන් වහන්සේ නිවැරදි සමාජ සබඳතා ගොඩනගා ගන්නා ආකාරය එමගින් පැහැදිලි කර දෙයි. මව්පිය දූදරු සබඳතාවය මෙන්ම අඹු සැමි සබඳතාවය ද සිඟාලෝවාද සූත්‍රයෙහි පෙන්වාදෙන ඉතා වැදගත් ඤාති සබඳතාවයන් ය. මෙම සබඳතා ඉතා මැනවින් පවත්වාගෙන යාම සඳහා ඔවුනොවුන් මත බැඳුනු යුතුකම් හා වගකීම් වෙන වෙනම දේශනා කොට තිබේ. ‘මාතා පිතා දිසා පුබ්බා’ යනුවෙන් මව්පියන් පූර්ව දිශාවට හෙවත් නැගෙනහිර දිශාවට ආදේශ කොට පෙන්වාදී ඇත්තේ ඉතා වැදගත් අරුතකින් ය. එනම් ‘ඉමස්ස ලෝකස්ස දස්සෙතාරා’ දරුවන්ට මෙම ලෝකය අවබෝධ කරවනුයේ උගන්වනුයේ පුබ්බාචරිය නම් වූ මව සහ පියා වන බැවිනි.
දෙමව්පියන්ගෙන් දරුවන්ට ද දරුවන්ගෙන් දෙමව්පියන්ට ද ඉටුවිය යුතුකම් හා වගකීම් ඔවුනොවුන් අතර බැඳියාව වැඩිදියුණු කරන කාරණාවන්ය. ඒවා අතර දරුවන් පවින් වැළැක්වීම, යහපතෙහි යෙදවීම, ඉගැන්වීම්, ආවාහ විවාහ කරදීම, දායාද පවරාදීම දෙමව්පියන්ගේ යුතුකම් වේ. මව්පියන් පෝෂණය කිරීම, ඔවුන්ගේ කාර්යයන් ඉටුකර දීම, කුලපරපුර රැකීම, දායාද ඇතුළු චංචල නිශ්චල දේපල සම්පත් නිසි පරිදි පරිහරණය හා ආරක්ෂා කිරීම, මව්පියන් මියපරලොව ගියකල්හි පින්දීම දෙමව්පියන් වෙනුවෙන් දරුවන් විසින් ඉටුකළ යුතු යුතුකම් ය.
‘පුත්තදාරා දිසා පච්ඡා’ යනුවෙන් අඹු දරුවන් පශ්වීම හෙවත් බටහිර දිශාවට ඇතුළත් කොට දේශනා කරමින් අඹු සැමි සබඳතාව ශක්තිමත්ව ගොඩනඟා ගනිමින් පවත්වාගෙන යාමට අවශ්‍ය කාරණා පැහැදිලි කරදී තිබේ. එහිදී සැමියා බිරිඳ කෙරෙහි පිළිපැදිය යුත්තේ ගරු කිරීමෙන්, අවමන් නොකිරීමෙන්, පරදාර සේවනය නොකිරීමෙන්, ඇයට වගකීම් පැවරීමෙන් මෙන්ම ඇඳුම් පැළඳුම් ආදිය සපයා දීමෙන් බව පෙන්වා දී ඇත. ස්වාමියාගෙන් නිසි ගෞරවය ලබන භාර්යාවද පෙරලා ස්වාමියා කෙරෙහි යුතුකම් පහක් ඉටුකළ යුතු ය. එනම් ගෙදර කටයුතු මැනවින් සංවිධානය කිරීම, ඇසුරු කරන පිරිසට මැනවින් සංග්‍රහ කිරීම, පරපුරුෂ සේවනය නොකිරීම, උපයන ලද ධනය ආරක්ෂා කිරීම හා සෑම කටයුත්තකදීම දක්ෂ වීම අලස නොවීම යන කරුණු පහයි.
සිඟාලෝවාද සූත්‍රයේදී පෙන්වාදෙන ඉහත සඳහන් යුතුකම් හා වගකීම් ඤාතීන් වශයෙන් ඔවුනොවුන් අතර ඉටුවිය යුතු කාරණාවන්ය. ඤාති සබඳතා ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා ඉටුකළ යුතු ඉහත කී යුතුකම් ඤාති සංග්‍රහය ලෙස අර්ථ ගැන්වීම නිවැරදිය.
ඤාති සංග්‍රහය ධර්මානුකූල වූවක් ම විය යුතු ය. අධාර්මික ඤාති සංග්‍රහය බුදු දහම ප්‍රතික්ෂේප කරයි. සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් ආකාරයට ඤාතීන් වෙනුවෙන් නිවැරදි පිළිපැදීම ධර්මානුකූල ඤාති සංග්‍රහයයි. ඤාතීන් වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් හා වගකීම් පැහැර හැර ක්‍රියා කිරීම අධාර්මික ඤාති සංග්‍රහයයි. තම ඤාතියෙකු අසරණවූ විට, එම ඤාතියාට පිහිටවිය යුතු ය. එවැනි විපත් කරදර අවස්ථාවන්හි දී ඔවුන්ගේ ගෙවල්වලට යාම ඒම උදව් උපකාර කිරීම සුවදුක් විමසා බැලීම නිවැරදි ඤාති සංග්‍රහය වේ. සැපතේ දී මෙන්ම විපතේ දී ද එක හා සමානව කටයුතු කරන තැනැත්තා යහපත් ඤාතියෙකි. ඇතැම් ඤාතීන් සැපතේ දී ළංව සිටියද විපතේදී දුරස්ව යනු දැකිය හැකි ය.
බුදුරජාණන් වහන්සේ ඤාති සංග්‍රහය සිදුකළ යුතු ආකාරය දේශනා කළා මෙන්ම තම චරිතය තුළ ආදර්ශයෙන්ද එය පෙන්වා දුන්හ. කිඹුල්වතින් හමන සුළඟත් සැප යැයි සඳහන් කළ බුදුන් වහන්සේ තම ඤාති වර්ගයාට කරදරයක් විපතක් පැමිණි අවස්ථාවන්හි දී ඔවුන් ඉන් මුදවා ගැනීමට ක්‍රියා කළේ ය. තමන්ගේ කම අගය කිරීම තමන්ගේ වර්ගයා කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වීම යනු අන්‍ය වර්ගයා පහත්කොට තැකීමක් නොවිය යුතුය. බුදුන් වහන්සේ එය තම චරිතය තුළ ආදර්ශයෙන්ම පෙන්වා වදාළහ.
බුදුන් වහන්සේ තනතුරු ප්‍රදානයේ දී ඤාතිකම් සැලකිල්ලට නොගත්හ. නන්ද, ආනන්ද, රාහුල, දේවදත්ත ආදී හිමිවරු තම සමීප ඤාතීන් වුවද ඔවුන්ට සැලකිලි දැක්වූයේ අන්‍ය ශ්‍රාවකයන්ට හා සමානවමය. ඔවුන්ට ඤාති සංග්‍රහය ලෙස සිදුකළේ විමුක්ති ලාභය ලබාදීමයි. ඒ හැර වෙනත් ලාභයක් ඔවුන්ට බුදුරජාණන් වහන්සේගෙන් නොලැබුණි. දෙව්දත්තෙර සංඝභේදය සිදුකළේ ද බුදුරදුන්ට වෛර කළේද මේ හේතුව නිසාම ය.
ඤාති සංග්‍රහය පිළිබඳ විශිෂ්ට ආදර්ශ බෝධිසත්ව චරිතය මගින් ද ලබා ගත හැකිය. බෝසතාණන් වහන්සේ පෙර විසූ ආත්මභාවවල තමන්ගේ වර්ගයාට නායකත්වය දෙමින් ඔවුන්ව විපත් කරදර වලින් ආරක්ෂා කරගත් ආකාරය බොහෝ ජාතක කතාවල සඳහන් වේ. නලපාන ජාතකය, ඡත්දත්ත ජාතකය, සෝණ ජාතකය, උම්මග්ග ජාතකය වැනි ජාතක කතා ඒවා අතර ප්‍රධාන වේ. ඡත්දන්ත ජාතකයේදී ඇත් පිරිසක නායක ඇතා ලෙස සිටිමින් තම වර්ගයාගේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ දළ පරිත්‍යාග කළේ ය. සෝණ ජාතකයේදී තමන්ගේ සුනඛ වර්ගයා වෙනුවෙන් නායකයෙකු ලෙස ජීවිතය පරදුවට තබා රජුට කරුණු පැහැදිලි කිරීමට ක්‍රියා කළේ ය. නායකයෙකු ලෙස තමන්ගේ පිරිස සතුරු උපද්‍රව වලින් ආරක්ෂා කරගැනීමේ විශිෂ්ට නිදර්ශනය ලබාදෙනුයේ උම්මග්ග ජාතකය තුළිනි. බෝසතාණන් වහන්සේ මනා බුද්ධියක් මෙහෙයවමින් තමන්ගේ රාජ්‍ය හොර සතුරන්ගෙන් ආරක්ෂා කරගත් ආකාරය එහි විස්තර වේ. එහිදී බෝසතුන් කටයුතු කළේ වෛරයෙන් ක්‍රෝධයෙන් නොව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණය පෙරදැරි කරගෙනය.
බෝධිසත්ව ආදර්ශය අනුව ජීවත්වන සෑම බෞද්ධයකුගේම යුතුකම තමන්ගේ වර්ගයාට නායකත්වය, සැලකිල්ල ආරක්ෂාව ලබාදීමයි. ඒ තුළ අන්‍ය වර්ගයා නොපෙළීමයි. පහත් කොට නොසැලකීමයි. තමන්ගේ ජාතිය, තමන්ගේ ජන වර්ගයා පිළිබඳ විශේෂ කරුණාවක්, සැලකිල්ලක් දැක්වීම අනිවාර්ය මානව ගුණ ධර්මයක් විය යුතු යි. එහිදී සිංහලයෙකු ජාතිවාදී වීම වැරදි නොවේ. ජාතිවාදී වීම යනු තමන්ගේ ජාතිය, තමන්ගේ වර්ගයා ගැන සිතිවිලි උපදවා ගැනීමයි. හැඟීමක් ඇතිකර ගැනීමයි. වරද වන්නේ ජාතිභේද වාදයයි. බෞද්ධයන් වූ අපට බෞද්ධ ආගම්වාදී වීම වරදක් නොවේ. අපගේ ලබ්ධිය, අපගේ පිළිගැනීම, අපගේ සංස්කෘතිය, විශ්වාස ගැන කතා කිරීම ඒ වෙනුවෙන් ක්‍රියා කිරීම, ඒවා සංරක්ෂණය කිරීම වරදක් නොවේ. වරද වන්නේ ආගම්භේද වාදයයි.
තමන්ගේ ජාතිය හෝ තමන්ගේ වර්ගයා විශිෂ්ට යැයි කියමින් අන් ජාතීන්ට අවමන් කිරීම, ඔවුන් පහත්කොට සැලකීම වැරදිය. තමන්ගේ ආගම පමණක් උසස් ය. අන්‍ය ආගම් පහත් ය, තමන්ගේ ශාස්තෘවරයා පමණක් උසස් අන්‍ය ශාස්තෘවරු පහත් ය යනාදී වශයෙන් සිතීම, ක්‍රියා කිරීම වැරදිය. ‘අත්තුක්කංසන පරවම්බන’ යනුවෙන් එය පෙන්වා දී තිබේ. තම ඤාති වර්ගයා කෙරෙහි මෙන්ම අන්‍ය වර්ගයා කෙරෙහි ද මෙත් කරුණා හැඟුම් පෙරදැරිව සාධාරණ ලෙස සිදුකරනු ලබන ඤාති සංග්‍රහය ධර්මානුකූල ඤාති සංග්‍රහය ලෙස බුදු දහමට අනුව අරුත් ගැන්විය හැකිය.
ඤාති සංග්‍රහය ධර්මානුකූල වන්නේ ඡන්දා, දෝසා, භයා, මෝහා යන සතර අගතියෙන් තොරව ක්‍රියා කිරීමෙනි. එහිදී ඡන්දය යනු තමන්ගේකම නිසා, ඇල්ම නිසා විශේෂ සැලකිලි දැක්වීමයි. දෝසා යනු අනිත් අයගෙන් පළිගැනීමේ අදහසින් තම ඤාතියාට සැලකීමයි. භයා යනු ඤාතීන්ට බියෙන් ඔවුන් ඉල්ලන ඉල්ලන ආකාරයේ වරදාන ලබාදීමයි. මෝහය යනු සෑම වරදකටම මුල්වන මෝඩ සිතිවිලිය. මේ සතර අගතියෙන් යුතු ඤාති සංග්‍රහය නිසාම රජවරුන්ට සිහසුන අහිමි වූ අයුරුත්, පාලකයන්ට පාලන බලය අහිමි වූ අයුරුත් ඉතිහාසයේත් වර්තමානයේත් අපි මනාසේ අත්දකිමින් සිටිමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X