සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

යමක ප‍්‍රාතිහාර්ය ඥානය

ඕපල්ගම චන්දරතන හිමි
පොල්ගොල්ල ශාස්ත‍්‍රාරවින්ද විද්‍යායතන පිරිවෙන් ආචාර්ය

ප‍්‍රාතිහාර්ය ද්වයක් එකවර එකවිට දැක්වීමට ශක්‍යතාවය උදාකරන ඥානය යමක ප‍්‍රාතිහාර්ය ඥානය ලෙස හැඳින්වේ. මෙය බුදුරජාණන් වහන්සේලාට පමණක් ලැබිය හැකි සුවිශේෂී ඥානයකි. අතිශය දුෂ්කර කාර්යයක් වන ප‍්‍රාතිහාර්ය පෑම රහතන් වහන්සේලාට අර්හත්වයේ අනුහසින් කළ නොහැකිය. එබැවින් රහතන් වහන්සේලා සහ පසේබුදුවරයන් වහන්සේලා යමක ප‍්‍රාතිහාර්ය පෑමට අසමත් හූ වෙති.

“ඉධ තථාගතො යමක පාථිහීරං කරෝති අසාධාරණං සාවකෙහි, උපරිම කායතෝ අග්ගික්ඛෙන්‍ධා පවත්තති, හෙට්ඨිමකායතො, උදකධාරා පවතතාති, හෙටඨිම කායතො අගගිකඛෙන්‍ධා පවත්තති, ...... පවත්තති....”

“මෙහි තථාගත තෙම ශ‍්‍රාවකයන් හා අසාධාරණ වූ යමක ප‍්‍රාතිහාර්ය ය කෙරෙයි. උඩුකයින් ගිනි කඳ පවත්වයි, යටි කයින් දිය දහර පවත්වයි, යටි කයින් ගිනි කඳ පවත්වයි, පසු පසින් දිය දහර පවත්වයි, පසු පසින් ගිනි කඳ පවත්වයි ....


බුද්ධ චරිතයේ කිහිප අවස්ථාවෙක දීම යමාමහා පෙළහර පෑ බුදුරජාණන් වහන්සේ සත්වයන් සුමගට යොමු කළ අයුරු දැකිය හැකිය. ශාක්‍යයන් බුදුරජාණන් වහන්සේගේ වයස් බාල බව සලකා මහත් මානයෙන් හැසිරුණු අවස්ථාවෙහි දී තථාගත බුදුරජාණන් වහන්සේ යමා මහා පෙළහර හා වදාළ බව සඳහන් වේ. විද්‍යා චක‍්‍රවර්තීන් බුත්සරණෙහි බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද යමක මහා ප‍්‍රාතිහාරිය විස්තර කරනුයේ මෙපරිද්දෙනි.

“ශී‍්‍ර ශරීරයෙන් නාභියෙන් මත්තෙහි තුන්ලොව බබුලුවන්නා වූ මහා ගිනි කඳක් නැගෙන්නට වන. නැවත නාභියෙන් පාත ශී‍්‍ර ශරීරයෙන් ආකාශ ගංගා ප‍්‍රවාහයක් සේ මහා දිය කඳක් හෙන්නට වන. නැවත ගිනි කඳ නැගී ඌර්ධ්ව කායෙන් දිය කඳෙක් නැගෙන්නට වන...”

මහා වංශාගත තොරතුරුවලට අනුව බුද්ධත්වයෙන් නව වැනි මස ලක්දිවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ මහියංගණයේ දී යක්‍ෂයන් දමනය උදෙසා යමා මහ පෙළහර පෑ බවට තතු විස්තර සපයාගත හැකිය.

තේජෝ කසින සමාපත්තියට සමවැදී ශරීරයේ රෝමකූප අතරින් ගිනි කඳක් ද, ආපෝ කසින සමාපත්තියට සමවැදී ශරීරයේ රෝමකූප අතරින් මහා ජල කඳක් ද පිට කිරීමට මෙම ඥානයේ බලයෙන් හැකිවේ. ධ්‍යානලාභී වූ ඇතැම් පෘථග්ජනයන් විසින් ද ප‍්‍රාතිහාර්ය කරනු ලැබේ. එහෙත් ධ්‍යානලාභී වූ පමණින්ම ප‍්‍රාතිහාර්ය කළ නොහැකිය. ප‍්‍රාතිහාර්ය කිරීම සඳහා තුදුස් ආකාරයෙන් පුරුදුකොට ගත් රූපාවචර අරූපාවචර පඤ්චමධ්‍යාන චිත්තයේ බලය අවශ්‍ය බව යමක ප‍්‍රාතිහාර්ය ඥානය පිළිබඳ තම “සූවිසි ගුණය” ග‍්‍රන්ථයේ දී රේරුකානේ චන්දවිමල නා හිමියෝ මෙසේ සඳහන් කරති.

“එසේ දියුණු කළ පඤ්චමධ්‍යාන චිත්තය අභිඥාචිත්ත නම් වේ. යමක ප‍්‍රාතිහාර්ය ඥානය යැයි කියනුයේ ලොව්තුරා බුදුවරුන්ගේ අභභිඥාචිත්ත සම්ප‍්‍රයුක්ත ඥානයට ය. අභිඥාලාභියෙකුට මෙබඳු දෙයක් වේවායි නිකම්ම සිතීමේ මාත‍්‍රයෙන් යම්කිසි ප‍්‍රාතිහාර්යයක් නොකළ හැකි ය. ඒ ඒ ප‍්‍රාතිහාර්යයන් කිරීමට ද, වෙන වෙනම පුරුදු කළ යුතුය. යම්කිඪි ප‍්‍රාතිහාර්යයක් කිරීමට වුවමනා ඒ කරුණ සිදු කිරීමට නිසි කසිනයෙක් හී පඤ්ඤමධ්‍යානයට සමවැදිය යුතුය.”

මෙහිදී ගිනි කඳක් මැවීමට තේජෝ කසින පඤ්චමධ්‍යානයට සමවැදිය යුතුය. එසේම ජල කඳක් මැවීමට ආපෝකසිනය සමාපත්තියට සම වැදිය යුතුය. ඒ ඒ ප‍්‍රාතිහාර්ය පෑමේ දී අදාළ සමවතට සම වැදී ඉන්නැගීමට අධිෂ්ඨාන චිත්තයට බලය ගත යුතුය. ඉන් අනතුරුව සිතෙහි පවතින අධිෂ්ඨාන ශක්තියේ බලයෙන් රූපාවචර අභිඥාචිත්තය නැවත ඇති වී අධිෂ්ඨාන කළ ප‍්‍රතිහාර්ය ඇති වේ.

එකකට එකක් මාරුවෙන් මාරුවට සමාපත්ති වල, සම වැදීම, නැගිටීම, අධිෂ්ඨානය ඉතා වේගයෙන් සිදු කරන නිසා බලා සිටින්නෙකුට හැඟෙනුයේ ගිනි කඳක් සහ ජල කඳක් එකවිට පිට වන්නාසේ ය. එකකට එකක් අනතුරුව සමාපත්ති මාරුකිරීමේ ඉතා වේගය සතුවන්නේ බුදුරජාණන් වහන්සේ නමක් සතුව පමණි. ධ්‍යානයෙහි වශී භාවය මද අයට ඉක්මනින් ප‍්‍රාතිහාර්ය කළ නොහැකි ය. බුදුරජාණන් වහන්සේ සතුව සමාපත්ති විෂයෙහි අධික වශීභාවයක් පවතින බැවින් එක විටෙක සිඳුවන්නක් ලෙස විද්‍යාමාන වන සේ ප‍්‍රාතිහාර්යදවයම සිදු කළ හැකිය.

“ලොම කූපතො ලොම කූපතො අග්ගිඛකෙන්‍ධ¤ පවත්තති, ලෝමකුපතො ලෝමකුපතෝ උදකධාරා පවත්තති ජනනං වණ්ණානං නීලානං, පීතකානං, ලෝහිතකානං, ඕදාතානං මඤ්ජිට්ඨානං පභස්සරානං...”

තේජෝ හා ආපෝකසිනයන් හී අතිශය වශීභාවයෙන් දිය කඳෙන් හා ජල කඳෙක් පිට කරමින් සිදු කරන ප‍්‍රාතිහාර්ය අතර තථාගතයන් වහන්සේ මුළු සක්වලම මැඩගෙන දිවෙන සේ, නීල, පීත, ලෝහිතාදී ෂඩ් වර්ණයන් ගේ රැස් මාලාවන් උත්පාදනය සඳහා ඒ ඒ කසින වලට ද සම වදින බව පටිසම්භිදා මග්ගයෙහි සඳහන් වේ. බුත්සරණ කතුවරයා ඒ පිළිබඳව සඳහන් කරනුයේ පහත අයුරිනි.

“.... එකී එකී ජලස්කන්‍ධයට ආපෝකසින සමවත් සමවදිනා සේකෑ. සවනක් ඝන බුදු රැස් පිණිසැ වෙන වෙන නීල කසින, පීත කසිනා දී සමවත් සමවදනා සේකැ....”

මුළු ලොවම විශ්මයාවහ ලෙස සාධුකාර දෙමින් රැඳීහුන් කල තථාගතයන් වහන්සේ තවත් ප‍්‍රාතිහාරියක් දැක්වූ බව සඳහන් වේ. විද්‍යාචක‍්‍රවර්තීන් එය අපූරු උපමාවකින් විස්තර කරයි. එක ඇතෙකු සිටින තැනෙක තවත් ඇතෙකු නගාසිටුවන්නාසේ තවත් නිර්මිත බුදුරුවක් මවා පා දැක්වූ අයුරු පටිසම්භිදා මග්ගයෙහි මෙසේ සඳහන් වේ.

“භගවා චවකමති, නිමමිතො තිටඨති මා නිසීදති වා සෙය්‍යං වා කපෙපති...”

බුදුහු සක්මන් කෙරෙති. නිර්මිත බුදුහු සිටිති. හිඳිති. සයනය හෝ කෙරෙති...

මෙලෙස සමාපත්තීන් හී අතිශය වශීභාවයෙන් ප‍්‍රාතිහාර්ය පෑම හුදෙක් සත්ව සන්තාන බියෙන් අළලා ළාමක අරමුණු උදෙසා සිදු නොවන්නකි. සත්වයින් ගේ මෙලොව පරලොව සුගතිගාමීත්වය උදෙසා මහා කාරුණිකයන් වහන්සේ අවැසි තැන අවැසි පරිදි යමා මහා පෙළහර පා වදාළ බව පෙන්වාදිය හැකිය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පුද්ගලයාටත් පරිසරයටත් හානි කරමින් උපයන ධනය අධාර්මිකයි

කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත 

උඩුහාවර ආනන්ද හිමි

බුදුරදුන්ගේ ඉගැන්වීම පරලොව දියුණුව පමණක් අරමුණු කරගත් එකක් ලෙස සිතන අය සිටිති. ඒ අයගේ ආකල්පය වන්නේ දුක පිළිබඳ අවධාරණය කරන ආගමකින් මෙලොව සැප පිණිස හේතුවන කිසිවක් නූගන්වන බවයි. සැබැවින්ම බුදුරදුන්ගේ කේන්ද්‍රීය ඉගැන්වීම වන්නේ දුක හා එයින් මිදෙන මග පැහැදිලි කිරීමයි. එය බුදුරජාණන් වහන්සේ නිතරම අවධාරණය කළ සේක.
එහෙත් කාලයත් සමඟ උන්වහන්සේගේ ධර්මයට සවන් යොමුකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් විශාල ගිහි අනුගාමිකයන් පිරිසක් ඇති විය. මෙම පිරිසට අයත් සියලු දෙනාගේම ඒකායන අරමුණ වූයේ නිවන් අවබෝධ කිරීම නොවේ. ඔවුන්ගෙන් ඇතමෙකු නිවන් අරමුණු කරගෙන පූර්ණකාලීනව කටයුතු කළ අතර තව පිරිසක් පින් දහම් රැස්කරමින් සසර සැපවත් කරගැනීමට කටයුතු කළහ. එම පිරිසගේ අවශ්‍යතාව වූයේ සැපවත් ගිහි ජීවිතයක් ගත කිරීම සඳහා බුදුරදුන්ගේ සදාචාර ප්‍රතිපත්ති භාවිතයට ගැනීමයි. මෙම අරමුණ ඇතිව කටයුතු කළ ගිහි පිරිසේ සිටි අය අතරින් දීඝජානු කෝලිය පුත්‍රයා නම් කළ හැකිය. ඔහු බුදුරදුන් වෙත පැමිණ ඉල්ලා සිටියේ දෙලොව දියුණුව පිණිස හේතුවන ප්‍රතිපදාව පැහැදලි කරදෙන ලෙසයි. බුදුරජාණන් වහන්සේ ඔහුට දෙලොව පිණිස හේතුවන ගිහි ප්‍රතිපදාව කවරේදැයි පැහැදිලි කළ සේක. එම ගිහි ප්‍රතිපදාවට ආර්ථික සමෘද්ධිය පිණිස ඉවහල්වන ප්‍රතිපත්තිද ඇතුළත් වේ. මේ අනුව ආර්ථික සමෘද්ධිය පිණිස ඉවහල්වන සදාචාර ප්‍රතිපත්ති සමූහයක් බුදුරජාණන් වහන්සේ ගිහි සමාජයට හඳුන්වා දුන් සේක.
එම සදාචාරාත්මක ප්‍රතිපත්ති යටතේ දැහැමින් ධනය නිෂ්පාදනය කරන්නේ කෙසේද? (ධම්මේන භොගෙ හරියෙසති) එය පරිභෝජනය කරන්නේ කෙසේද, (අත්තානං සුඛෙති පීණෙති– එය කළමනාකරණය කරගන්නේ කෙසේද (සංවිභජති පුඤ්ඤානි කරොති) එය පරිභෝජනය කිරීමේදී ඇතිකරගත යුතු ආකල්ප සම්පත්තිය කුමක්ද? ආදී වශයෙන් ධන නිෂ්පාදනය හා පරිහරණ කිරීමට හා අදාළ ඉගැන්වීම් සමූහයක් ගිහි සමාජය සඳහා ඉදිරිපත් කර තිබේ. විමුක්තිය ඒකායන අරමුණ කරගත් පැවිදි සමාජයට භෞතික නොවන ආධ්‍යාත්මික ධනය වශයෙන් සැලකෙන සප්ත ආර්ය ධනය රැස්කළ යුතුයැයි අනුශාසනා කළහ. භෞතික ධනය එක්රැස් නොකරන පැවිද්දාගේ මූලික අවශ්‍යතා සැපයෙන්නේ ගිහි සමාජයෙන්ය. ගිහි සමාජය ධනය නිෂ්පාදනය නොකළහොත් ආධ්‍යාත්මික සමාජයේ පැවැත්ම අර්ථවත් නොවේ.
අනෙක් අතට ආධ්‍යාත්මික ධනය පදනම් කරගත් පැවිදි සමාජයෙන් ලැබෙන පූර්වාදර්ශය වන අල්පේච්ඡතාව සුභරතාව වැනි පරමාදර්ශයන් හේතුවෙන් ගිහි සමාජයට ධන නිෂ්පාදනයට අයත් දැහැමි පිළිවෙත පිළිබඳ අවබෝධයක් ලැබේ. කෙසේ වෙතත් බුදුරදුන්ගේ ඉගැන්වීම අනුව ධන නිෂ්පාදනය දැහැමින් සිදුකළ යුත්තක් වේ. (ධම්මේන භෝගේ පරියේසති) ධම්ම යන අතිශය ගැඹූරු අර්ථයකින් මෙන්ම විශේෂ අර්ථයකින් පිටක ග්‍රන්ථවල භාවිතා වේ. බුදුසමයට අනුව ධම්ම යන්න යම් වචනයකට හෝ සංකල්පයකට මුලින් හෝ අගින් යෙදුන විට එයින් විශේෂ අර්ථයක් ඉදිරිපත් වෙයි. භොගේ පරියෙසති යන්නෙහි මූලික අර්ථය ධන සම්පත් සෙවීම යන්නයි. එසේ කීවිට එයින් කවර ආකාරයේ හෝ ධනය සෙවීමක් අදහස් වේ. එහෙත් ධම්ම යන්න එයට එක්කළ විට එයින් ධාර්මික ධනෝපාර්ජන ක්‍රමය පමණක් අදහස් වේ. ඒ අනුව බුදුරදුන්ගේ ඇගයීමට ලක්වන්නේ දැහැමින් ධනය ඉපැයිය හැකි මාර්ග පමණි. දැහැමි ක්‍රමයකින් මෙපමණ ප්‍රමාණයක් ඉපැයිය යුතුයැයිද සීමාවක් දක්වා නැත. ගිහි බෞද්ධයාට දැහැමි ක්‍රමයකින් උපරිම ලෙස ධනය ඉපැයිය හැකිය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් ගිහි බෞද්ධයාට ධනය ඉපැයීමට කිසිදු තහංචියක් පනවා නැත. එහෙත් එය ධාර්මිකව කළ යුතුය යන කොන්දේසිය බුදුසමයෙන් හඳුන්වා දී තිබේ. ඒ අනුව ධනය ඉපැයීම දැහැමි ක්‍රමයක් උපයෝගී කරගෙන කළ යුතුය යන්න බුදුසමයේ පිළිගැනීමයි.
දැහැමි ක්‍රමයකින් තොරව වැරදි පිළිවෙතකින් ධනය ඉපැයීම ගිහි බෞද්ධ ප්‍රතිපදාව අනුව වරදකි. ගිහි සැප හා පැවිදි සැප යනුවෙන් සැප වර්ග දෙකක් පිළිබඳ දහමෙහි සඳහන් වේ. ගිහි ජීවිතයෙන් අපේක්ෂිත සැපය සඳහා ධනය අත්‍යාවශ්‍ය වේ . ප්‍රමාණවත් ධනයක් නොමැති තැන ගිහි සැපතක් අපේක්ෂා කළ නොහැකිය. මෙනිසා දිළිඳුබව ගිහි ජීවිතයට දුකක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඒ අනුව බුදුසමය ආධ්‍යාත්මික මෙන්ම භෞතික අංශයෙන්ද ඇතිවෙන දිළිඳුකම පිටුදකින ඉගැන්වීමකි. බුදුසමය ආධ්‍යාත්මික ධනය මෙන්ම භෞතික ධනයත් අගයකොට සලකනු ලැබේ.මෙම පසුබිම යටතේ බුදුසමය ආර්ථික සමෘද්ධිය ඇතිකරගැනීමට අවශ්‍ය මගපෙන්වීම මැනවින් ලබාදෙයි. ධනය ඉපැයීම හා පරිහරණය පිළිබඳ බුදුරදුන් විසින් නොයෙක් පුද්ගලයන් අරභයා කළ දේශනා එක්රැස්කළ විට බෞද්ධ ආර්ථික දර්ශනයක් සකස්කරගත හැකිවේ. ඒ සියල්ල සදාචාරාත්මක පදනමකින් යුක්තව ඉදිරිපත්කර තිබීම බෞද්ධ ආර්ථික දර්ශනයේ සුවිශේෂී ලක්ෂණයයි.
සදාචාරාත්මක පදනමකින් තොරව සොයා සපයාගන්නා ධනය අදහැමි ධනයක් ලෙස අර්ථකථනය කෙරේ. ධම්මපදයේ දැක්වෙන පරදි නුවණැති පුද්ගලයා තමා නිසාවත්, අනුන් නිසාවත් පව්කම් නොකරන්නේය. එසේම අධාර්මික ක්‍රමයකින් ලැබෙන ධනයද රටද සමෘද්ධියද කිසිවිටෙකත් කැමැති නොවෙන්නේය.ඒ අනුව අධර්මයෙන් ලබන සමෘද්ධියක් බුදුසමයෙන් අගය කරනු නොලැබේ. බුදුසමයෙන් අගයන්නේ ධාර්මිකව ලබන සමෘද්ධියයි. එහෙත් එය පහසු කටයුත්තක් නොවන බව බුදුසමයේ පිළිගැනීමයි.අධාර්මික ක්‍රම මගින් ඉක්මනින් පොහොසත් විය හැකිය. ධම්මපදයේ වෙනත් ගාථාවක දැක්වෙන පරිදි පවට ලජ්ජා භය නැති කපුටෙකු මෙන් ගසා කෑමෙහි දක්ෂ පුද්ගලයාට පහසුවෙන් ජීවත් විය හැකි වුවත් එය කිලිටි ජීවිතයක් ලෙස සලකනු ලැබේ.අධර්මයෙන් ධනය සෙවීම පහසු කටයුත්තක් වුවද එය භුක්ති විඳීමේදී සැබෑ සුවයක් හා ආශ්වාදයක් ලැබිය නොහැකිය. අධර්මයෙන් ධනය උපයාගත් පුද්ලයාගේ හෘදය සාක්ෂිය විසින් නිතර ප්‍රශ්න කරනු ලැබීම හේතුවෙන් ඔහුට මානසික වශයෙන් නිදහසක් හෝ සතුටක් භුක්තිවිඳිය නොහැකිය. පුද්ගලයා විසින් සිදුකළ පාප කර්මයේ බලපෑමෙන් කෙසේවත් ඔහුට නිදහස් විය නොහැකිය.කල්ගත වී නමුත් එහි විපාක විඳීමට සිදුවෙයි. අධර්මයෙන් ධනය සොයාගෙන සමෘද්ධිමත් වූ පුද්ගලයන් පසුකලෙක එහි විපාක වශයෙන් පීඩාවට පත්වන ආකාරය එදිනෙදා සිදුවීම්වලින් තහවුරු කරගත හැකිවේ.
අල්ලසින්, දූෂණයෙන් හා අයථා ක්‍රම මගින් දිනාගත් කීර්තිය හා සමෘද්ධිමත්බව දීර්ඝ කාලීන එකක් නොවේ. එය කෙටිකලකින්ම අවසන් විය හැකිය. එහෙත් සෙමින් යන ගමනට දීර්ඝ කාලීන පැවැත්මක් තිබේ. බුදුසමයෙන් ඉගැන්වෙන දැහැමින් ධනය ඉපැයීම සෙමින් සිදුවන්නකි. සිඟාලෝවාද සූත්‍රයෙහි පෙන්වා දෙන්නේ බඹරෙකු මල නොතලා රොන් ගන්නාක් මෙන් සමාජයට හා පරිසරයට හානි නොකර ධනය උපයන පුද්ගලයාගේ එම ධනය තුඹසක් වැඩෙන්නාක් මෙන් වර්ධනයට පත්වන බවයි. තුඹසක් නිර්මාණය කරන වේයා එය එක් දිනකින් නිමා නොකරයි. ඒ සඳහා දිගු කලක් ගත කරයි. මෙය තුඹසක් නිරීක්ෂණය කිරීමෙන් වටහා ගත හැකිවේ. එහෙත් එසේ දිගු කලක් තිස්සේ ගොඩ නගන තුඹස ශක්තිමත් එකකි. එය ශක්තිමත් පදනමකින් යුක්ත වේ. එසේම බෞද්ධ සදාචාර ප්‍රතිපදාව අනුව දැහැමි පිළිවෙතක පිහිටා සෙමින් ධනය සොය සපයා ගන්නා පුද්ගලයාගේ සමෘද්ධිමත් ජීවිතය ශක්තිමත් එකකි. එය පහසුවෙන් විනාශ කළ නොහැකිය. බෞද්ධ ප්‍රතිපදාව අනුව බෞද්ධයෙකුට ලොව ප්‍රධානතම ධනවතා බවට පත්විය හැකිය.
බුදුන්සරණ යන ගිහි ශ්‍රාවකයෙකු තමන් ආර්ථික වශයෙන් දිළිඳු යැයි පවසන්නේ නම් එය බුදුරදුන්ගේ ධර්මයට කරන නිගාවක් වේ. ලොව අනෙකුත් ජාතීන්ට මෙන්ම ආගමිකයන් අබිබවා ආර්ථික වශයෙන් සමෘද්ධිමත් ජීවිතයක් හා රටක් නිර්මාණය කිරීමට බුදුරදුන්ගේ මගපෙන්වීම ප්‍රමාණවත් වේ. එබැවින් නුවණැති බෞද්ධයන් මේ පිළිබද දීර්ඝ වශයෙන් කල්පනා කළ යුතුවේ. 
කාමභෝගී ගිහි සැප භෞතික ධනය මත පදනම් වන හෙයින් එය නොමැති තැන ගිහි සැපත අර්ථවත් නොවේ. ගිහි ජීවිතය අර්ථවත් කරගැනීමට ධනය අවශ්‍ය බව පිළිගන්නා බුදුසමය ධන නිෂ්පාදනය සඳහා දැහැමි ක්‍රමයක් යෝජනා කරයි. සංයුත්ත නිකායේ රාසිය සූත්‍රයෙහි මෙම ක්‍රමවේදය ඇතුළත් වේ.
ඒ අනුව බුදුරදුන්ගේ ඇගයුමට ලක්වන්නේ සහසික නොවී ධනය නිෂ්පාදනය කිරීමයි. (ධම්මේන භොගෙ පරියෙසති අසාහසෙනාති) අසහාසික යන්නෙන් අදහස් වන්නේ සහසික නොවන ආකාරයෙන් ධනය ඉපැයීමයි. වචනාර්ථය අනුව සහසික වීම යනු ප්‍රචණ්ඩකාරී ස්වභාවයයි. ඒ අනුව යමෙක් පරිසරය හෝ මානව වර්ගයා වෙත ප්‍රචණ්ඩවෙමින් ඒවාට හානිකරමින් සූරාකමින් අධාර්මික ලෙස ධනය උපයන්නේ නම් එය සහසිකව ධනය ඉපැයීමක් ලෙස නම් කළ හැකිය. වෙනත් අයුරකින් පවසන්නේ නම් පුද්ගලයාට හා පරිසරයට හානිකරමින් ධනය නිපදවීම අධාර්මික වේ. ධන නිෂ්පාදනය ධාර්මිකව කළයුතුය යන්න මෙයින් ගම්‍ය වේ. බුදුසමය ධන නිෂ්පාදනය සඳහා කෘෂිකර්මය (කසියා) වෙළෙඳාම (වණිජ්ජා) ගවපාලනය (ගොරක්ඛ) ආරක්ෂක සේවය (ඉස්සත්ථ) රාජ්‍ය සේවය (රාජපොරිස) වෙනත් ශිල්පකර්මාන්ත (සිප්පඤ්ඤතරෙන) යනුවෙන් අවස්ථා හයක් ව්‍යග්ඝපජ්ජ සූත්‍රය යටතේ හඳුන්වාදෙයි. මෙම ධන නිෂ්පාදන අවස්ථා බුදුසමය උදාවන අවදියේ දැහැමි රැකියා වශයෙන් පිළිගෙන තිබේ. හයවන අවස්ථාව තරමක් පූළුල් අයුරින් වටහාගත යුතුවේ. මුල් පහට අයත් නොවන වෙනත් පෞද්ගලික ආයතනගත දැහැමි රැකියා මෙන්ම දැහැමි ස්වයං රැකියා ද එයට අන්තර්ගත කළ හැකි වේ. කවර රැකියාවක් වුවද එය ඉහතින් දැක් වූ පරිදි ධාර්මික හා සහාසික නොවීම අවශ්‍ය වේ.
එසේම වාණිජ ව්‍යාපාරයකින් ධනය ඉපැයීමේදී බෞද්ධයෙකු විසින් අනුගමනය නොකළ යුතු ව්‍යාපාර පහක් උපාසක අකරණීය සූත්‍රයේ දැක්වේ. ඒ අනුව බෞද්ධ ව්‍යාපාරිකයෙකු විසින් අවි ආයුධ වෙළෙඳාම (සත්ථ වණිජ්ජා) වහල් වෙළෙඳාම (සත්ත වණිජ්ජා) මස් පිණිස සතුන් වෙළෙඳාම (මංස වණිජ්ජා) මත් ද්‍රව්‍ය වෙළෙඳාම (මජ්ජ වණිජ්ජා) සහ විෂ වෙළෙඳාම (විස වණිජ්ජා) නොකළයුතුවේ. වර්තමාන ලෝක තත්ත්වය අනුව මෙම වෙළෙඳාම් දේශීය මෙන්ම විදේශීය වශයෙන් ක්‍රියාත්මක වේ. පළමුවැන්න වන සත්ත වණිජ්ජා යන්නෙන් සියලු ආයුධ අදහස් නොවේ. ගෘහ අවශ්‍යතා සඳහා නිෂ්පාදනය කරනු ලබන කැති, උදළු ආදී විවිධ උපකරණ තිබේ. සත්ථ වනිජ්ජා යන්නෙන් අදහස් කෙරෙන්නේ සෘජුවම මිනිස් ඝාතනය අරමුණු කරගෙන නිපදවන අවි ආයුධය. අටිඨකතා විවරණය අනුව දෙවැන්නෙන් අදහස් වන්නේ මිනිස් වෙළෙඳාමයි. (මනුස්සවික්කයො) සත්ත යන පදය මිනිසා ඇතුළු සෙසු ජීවීන් හැඳින්වීම පිණිසද පිටක ග්‍රන්ථවල භාවිත කොට තිබේ. ඒ අනුව එයින් මිනිසුන් හා සතුන් යන දෙවර්ගයම අදහස් කළ හැකිය. මිනිසුන් වහල් මෙහෙය පිණිස අලෙවි කිරීම යුරෝපයේ පැවතී තත්ත්වයකි. ලංකාවේ වහල් මෙහෙය සඳහා මිනිසුන් අලෙවි කළ බවක් ඓතිහාසික වශයෙන් වාර්තා නොවෙන්නේ බුදුසමයේ ආභාසය නිසා විය හැකියි. සෙසු වෙළෙඳාම අතරින් මස් පිණිස සතුන් වෙළෙඳාම, මත්ද්‍රව්‍ය හා මත් පැන් මෙන්ම විෂ වෙළෙඳාම ද මූලික බෞද්ධ ඉගැන්වීම්වලට අනුකූල නොවේ. මෙම පංචවිධ ව්‍යාපාර බෞද්ධයන් නොකළයුතු ව්‍යාපාර ලෙස පිළිගෙන තිබේ. අටුවාවෙහි දැක්වෙන පරිදි එම ව්‍යාපාර තමා විසින් හෝ අනුන් ලවා හෝ නොකළ යුතුයැයි පිළිගෙන තිබේ. ඉහතින් සඳහන් කළ දැහැමි ධනෝපාර්ජන ක්‍රම හය අනුගමනය කිරීමේදී එම ව්‍යාපාර වඩාත් ඵලදායී අයුරින් පවත්වාගෙන යාමට අවශ්‍ය දිරිය ලබාදෙන උපදෙස් රැසක් දහමෙහි ඇතුළත් වේ.

බෞද්ධ සදාචාර දර්ශනයෙන් අවධාරණය කරන්නේ ධනෝපාර්ජනය සඳහා භාවිත කරන ක්‍රමවේදය දැහැමිවිය යුතු බවයි. බුදුසමයට අනුව යම් ව්‍යාපාරයක දැහැමි හෝ අදහැමි බව තීරණය කිරීමේදී එම ව්‍යාපාරය පුද්ගලයාට හා පරිසරයට කුමන ආකාරයේ බලපෑමක් කරන්නේද යන්න සැළකිල්ලට යොමු කෙරේ. එසේම එම ව්‍යාපාරය මූලික බෞද්ධ ඉගැන්වීම්වලට කොතෙක්දුරට අනුකූල වන්නේද යන්නද සළකා බැලේ. පව හා අකුශලය දුරින්ම දුරුකළ යුතුය යන්න බුදුසමයේ මූලික පිළිගැනීමයි. ඒ අනුව පවට හා අකුශලයට අනුබල සැපයෙන කිසිඳු ක්‍රියාවක් බුදුදහමින් අනුමත නොකරයි. කොතෙක් ලාභදායක වුවත් අදැහැමි ධනෝපායන ක්‍රමයකට බෞද්ධ ආර්ථික ප්‍රතිපදාවෙන් ඉඩක් නොලැබේ. අධාර්මික ක්‍රියාවෙහි අනිටු විපාක වර්තමාන ජීවිතයට පමණක් නොව මතු ජීවිතයටද අදාළ වේ. කර්මය පිළිබඳ බෞද්ධ ඉගැන්වීමෙන් පෙන්වා දෙන්නේ මෙම යථාර්ථයයි. කර්මය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම පුද්ගලයා අධෛර්ය කරන්නක් නොවේ. එය පුද්ගලයාට අර්ථවත් නිවැරදි ජීවිතයකට මඟ පෙන්වන ඉගැන්වීමකි.කර්මය හා කර්මඵල විශ්වාසය ඇතිවිට පුද්ගලයා කොතෙක් ලාභදායි වුවත් අධාර්මික ධනෝපාර්ජන ක්‍රමයක් අනුගමනය නොකරයි. ධනය අවශ්‍ය වන්නේ මෙලොව ජීවිතය සැපවත් කරගැනීමටය. දීර්ඝ කාලීන වශයෙන් එය පරලොව සැපත පිණිස හේතුවන පින් රැස් කරගැනීමටද කිරීමටද උපයෝගී වේ. එහෙත් අධාර්මික ධනය නිසා මෙලොවදී යම් සැපතක් ලැබුණත් කර්ම කර්මඵල විශ්වාසය අනුව එය පුද්ගලයාට දෙලොවින්ම පරාජය අත්පත්කරදෙනු ඇත. අධර්මයෙන් ධනය සොයා සපයා ගත් පුද්ගලයන්ට විඳීමට සිදුවී තිබෙන විවිධ දුක්ඛදායක තත්ත්වයන් දෙස බැලීමෙන් මෙය වටහා ගත හැකිවේ.
ධන නිෂ්පාදනයේදී එය කෙසේ කළ යුතුද? යන්න සම්මා ආජීවය යටතේ සාකච්ඡාවට භාජනය කර ඇති අයුරු මහාචත්තාරීසක සූත්‍රයෙන් පැහැදිලි වේ. ව්‍යාපාරික ලෝකය තුළ භාණ්ඩ නිෂ්පාදනයේදී මෙන්ම ඒවා අලෙවි කිරීමේදී විවිධ කූට උපක්‍රම භාවිතා කරනු ලැබේ. ලාභයම අරමුණු කරගත් මෙම ව්‍යාපාර මඟින් පාරිභෝගික අයිතීන් දැඩි ලෙස උල්ලංගනය කෙරේ. උක්ත සූත්‍රයේ පෙන්වාදෙන ආකාරයට ලාභාපේක්ෂාවෙන් කෙරෙන විවිධ රැවටීම් කුහනා යනුවෙන් නම්කර තිබේ. එසේම නිෂ්පාදන භාණ්ඩ පාරිභෝගිකයාට හඳුන්වාදීම සඳහා මාධ්‍ය භාවිතය අවශ්‍ය වේ. එහෙත් භාණ්ඩයේ අන්තර්ගත තත්ත්වය හා ප්‍රයෝජනයට වඩා වැඩි යමක් මවාපාමින් පාරිභෝගිකයා මුලාවට පත් කිරීම ලපනා ලෙස නම්කළ හැකිය. එසේම තමා නිපදවන ලද භාණ්ඩ අලෙවියේ දී ඒ හා සමාන වෙනත් නිෂ්පාදක ආයතන මඟින් ඉදිරිපත් කරන ලද භාණ්ඩ අවතක්සේරු කරමින් තම නිෂ්පාදනය පමණක් හුවා දැක්වීම නිප්පේසිකතා ලෙස හැඳින්විය හැකිය. කවර භාණ්ඩයක් වුව අලෙවි කිරීමේදී එයින් යම් ප්‍රමාණයක ලාභයක් අපේක්ෂා කිරීම වරදක් නොවේ. එහෙත් ලාභයම ඒකායන අරමුණ කරගෙන භාණ්ඩ අලෙවි කිරීම වරදක් වේ. ඒ අනුව ලාභයෙන් ලාභය සෙවීම (ලාභෙන ලාභං නිජිගිංසනතා) අදහැමි ක්‍රියාවකි. භාණ්ඩ අලෙවියේදී සිදුකරනු ලබන වංචනික ක්‍රියා රැසක් සමඤ්ඤඵල සූත්‍රයේ තුලාකූට යටතේ ඉදිරිපත් කරතිබේ. මෙම ඉගැන්වීම් පෙරටත් වඩා නූතන වෙළෙඳ ලෝකයට අදාළ වන්නේ එහි දැක්වෙන කූට උපක්‍රම භාණ්ඩ නිෂ්පාදනයේ දී මෙන්ම අලෙවි කිරීමේදීත් බහුල වශයෙන් සිදුවන හෙයිනි. මිනිස් පරිභෝජනයට නුසුදුසු, විවිධ විෂ ද්‍රව්‍ය යෙදූ ආහාරපාන රැසක් වෙළෙඳ පොලේ දක්නට ලැබේ. එවන් තත්ත්වයක් නිර්මාණය වී තිබෙන්නේ මිනිස් ජීවිතයේ වටිනාකම, සදාචාරය හා නීතිය යුක්තිය පසෙකලා ලාභයම ඒකායන අරමුණකරගත් වෙළෙඳ ප්‍රජාවක් බිහි වී තිබීම නිසයි. බුදුරදුන් පෙන්වා වදාළ දැහැමි ආර්ථික පිළිවෙත අවබෝධ කරගැනීමෙන් හා ක්‍රියාවට නැංවීමෙන් මෙම දුර්වලතා යම්පමණකට හෝ පාලනය කරගත හැකිවේ. බුදුරදුන්ගේ අනුශාසනාව පරිදි මල නොතලා රොන් ගන්නා බඹරෙකු සෙයින් ස්වභාවික පරිසරයට මෙන්ම මානව වර්ගයාටත් හානි නොකර දැහැමි ක්‍රමයකින් දැහැමි අයුරින් ධනය නිෂ්පාදනය කිරීම බෞද්ධ පිළිවෙත වේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සතුට නඩත්තු කිරීම

කැලණිය විශ්ව විද්‍යාලයේ 
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය 
ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගෞරවනීය ස්වාමීන් වහන්ස , ජීවත්වීෙමිදී සතුට අවශ්‍යම වන කාරණාවක්. එම සතුට ලඟා කරගනිමින් සතුට නඩත්තු කරගන්නේ කෙසේද?
නඩත්තු කිරීම යන වචනය කතා කරනවිට සාමාන්‍යයෙන් අපගේ මතකයට නැගෙන්නේ නඩුවක් පිළිබඳව අදහසක් හෝ වාහනයක් නඩත්තු කිරීම, ඇන්ජිමක් නඩත්තු කිරීම, නිවසක බ්ත්ති නඩත්තු කිරීම ,වහළ නඩත්තු කිරීම වැනි භෞතික ක්‍රියාකාරකමක් ලෙසයි. එසේ වුවත් සතුට නඩත්තු කිරීම වැනි කාරණාවක් තිබිය හැකිද?සතුට නඩත්තු කරන්නේ කොහොමද? කියා හැඟෙනවා වගේම දැනෙනවා. ඒත් සතුට නඩත්තු කරනු ලබන රටවල් ලෝකය තුළ ඕිනෑ තරම් තිබෙනවා. බොහෝ රටවල මිනිස්සු සතුට නඩත්තු කරනවා. කියුබාව, දකුණු කොරියාව, ජපානය වැනි රටවල සතුට නඩත්තු කරනවා වගේම සතුට නඩත්තු කරනු ලබන ඇතැමි සමාජ හා කුල ගෝත්‍රද දක්නට ලැබෙනවා. ඔවුන් ජීවිතය තුළ වැඩිපුරම සතුට නඩත්තු කරනවා මිස ගෙවල් දොරවල් නඩත්තු කිරීම එතරමි වැදගත් දෙයක් ලෙස සිතන්නේ නැහැ. ගෙදරක සිටින සියලු දෙනාම එම ගෙදර නඩත්තු කළද, එක සමාජිකයකු එම ගෙදර අවුල් කරමින් හැඩි කරනවා නම් නඩත්තු කිරීමේ තේරුමක් නැතිව යයි. ගෙදරක් නඩත්තු කරගෙන යාමේදී එම ගෙදර තුළ සාමාජිකයන් දස දෙනකු 
සිටිනවා නමි,එම දස දෙනාම එම ගෙදර පිරිසුදු කළත් එක් අයෙකුට හැඩි කර දැමීමට පුළුවන් . එක් අයෙකුට ගෙදර අතුගාන්නේ නැති ව සිටිය හැකියි. තවත් අයෙකුට කුස්සිය සුද්ධ පවිත්‍ර නොකර සිටිය හැකියි. එසේ වුණාට සියලු දෙනාම පිරිසුදු කළත් ප්‍රතිලාභය සියලු දෙනාටමයි. පිරිසුදුකම පවුලේ සියලු දෙනාටමයි. යමි කිසි නිවසක් අපිරිසුදු කරනු ලැබුවහොත් එම නිවසෙහි අපිරිසුදු කමත් එම පවුලේ සියලුම දෙනාටමයි. පොකුණක් තිබෙනවා යැයි අප අනුමාන කළහොත් එම පොකුණ වෙටිට දස දෙනෙකු වාඩි විී සිටිනවා නමි එම දස දෙනාම පොකුණෙන් ජීවත් වෙනවා නම්,පොකුණේ වතුර බොනවා වුණාට එතන සිටින එක් අයෙකුට එම පොකුණට ගලක් ගසා පොකුණ බොරකළ හැකියි. එම ගල ගැසූ නිසාම එම පොකුණේ වතුර බොරවූ විට දස දෙනාටම බීමට වන්නේ එම බොර වතුරයි. ඒ වගේ යමි කිසි පවුලක් තිබෙනවා නම්, එම පවුලේ සතුට එම පොකුණ වගෙයි. පවුල පොකුණ වෙටි සිටිය පිරිස වගෙයි. පොකුණේ ජලය සියලු දෙනාම සතුටින් බුක්ති විඳින්නා සේ පොකුණේ ජලය සියලු දෙනාම සතුටින් බුක්ති විඳින විට එක් අයෙකුට බොරකළ හැකිවාසේ පවුලේ සියලු දෙනා සතුට බුක්ති විදින විට පොකුණ බොර කළා සේ සතුට අසතුට බවට පත්කිරීමේ හැකියාව එක් අයෙකුට කළ හැකියි. සතුට නඩත්තු කිරීම පවුලේ සියලු සාමාජිකයන්ගේ සාමූහික වගකිමක් සේම ඒකාබද්ධ වගකීමක් වෙයි.

ගෞරවනීය ස්වාමීන් වහන්ස, සතුට නඩත්තු කිරීමට කළ යුත්තේ කුමක්ද?
අපට ශරීරයක් තිබෙන්නා සේම එම ශරීරය තුළ පණක් තිබෙනවා. එම පණ ශරීරය තුළ ම ගැට ගසා ගැනීමට අප කනවා , බොනවා, බේත් හේත් කරනවා යාන වාහන ගන්නවා රැකි රක්ෂා කර මින් හමිබ කරනවා .මෙතරම් අති බහුතර වැඩ කොටසක් අප කරනු ලබන්නේ අප ගේ ශරීරය තුළ පණ ටික සුවදායිව තබා ගැනීමටයි. කනවා යනු අපගේ ශරීරය තුළ තිබෙන පණ ගැට ගසා ගැනීමට කරන වැඩක්. බෙහෙත් කරනු ලබන්නේ ත් ශරීරය තුළ තිබෙන පණ ගැට ගසා ගැනීමට කරනු ලබන්නාවු සාමූහික ක්‍රියාදාමයක්. ජීවත් වෙනවා යනුවෙන් වෙනම කාරණාවක් තිබෙනවා. ශරීරය තුළ තිබෙන පණ ශරීරය තුළ ම ගැට ගසා ගැනීම ජීවත් වෙනවා යනුවෙන් ප්‍රකාශ කරන්න බැහැ. living  කියන්නේ නැහැ  living යනුවෙන් වෙන වැඩ පිළිවෙලක් තිබෙනවා. සත්තුන්ට ශරීර තිබෙනවා,පණ තිබෙනවා ශරීරය තුළ පණ ගැටගසා ගැනීමට වෙන වැඩපිළිවෙලවල් තිබෙනවා. සත්තුන්ට ජීවිත නැහැ. සත්තු අතර භාර්යාවරු ස්වාමිපුරුෂවරු නැහැ සත්තු අතර ගැහැණු සතා සහ පිරිමි සතා සිටිනවා. ගැහැණු සතාටත් පිරිමි සතාටත් හැඟීමි නැහැ. දැනීමි නැහැ. වීඳීම තිබෙනවා. ගැහැණු සතාට පිරිමි සතා අතහැර ගිය හැකියි. පිරිමි සතාට ගැහැණු සතා අතහැර ගිය හැකියි. හැඟීමි දැනීමි නැති නිසාම සත්තුන් තුළ ශෝකයක් කනගාටුවක් නැහැ. එක ම වෙලාවට එකම කුසකින් දරුවන් බිහිවූවිට ඔවුන්ට සහෝදරවරු කියනවා. එක කුසකින් බිහිවූ විට සහෝදරයන් ලෙසද එක කුසකින් එකම වෙලාවට බිහිවුණ විට නිවුන් සහෝදරයන් ලෙස හඳුන්වනවා. බල්ලන් බළලුන් එක වෙලාවට බිහිවුණත් ඔවුන් නිවුන් සහෝදරවරු වෙන්නේ නැහැ. ඔවුන් ළඟ සහෝදරකම නැහැ. එම නිසා ඔවුන් දරුවන් වන්නේ නැහැ ඔවුන් පැටවුන් වෙයි. පැටවු යනු දරුවන් නොවෙයි. දරු පැටවි යනුවෙන් අප ප්‍රකාශ කරන්නේ ආදරයට යි සත්තු ලඟ අමිමාකම තාත්තාකම සහෝදරකම නැහැ අම්මා තාත්තාව හඳුනන්නේ නැහැ තාත්තා අම්මාය හඳුනන්නේ නැහැ. අම්මා තාත්තා දරුවො දරුවො වශයෙන් හඳුනන්නේ නැහැ. කාලයාගේ අවෑමෙන් අයියාට නංගි නංගිට අයියාව, මල්ලිට නංගි හඳුනගන්න බැරි වෙනව. සත්තුන් ගේ හැසීරිම රටාව දෙස බලන විට සත්තු අතර සහෝදරකම් නැහැ. සහෝදරකම තිබෙන්නේ ජීවිතය තුළයි. අමිමා අප්පචිචිකම තිබෙන්නේ ජීවිතය තුළයි. කන්නේ බොන්නේ අඳින්නේ පළඳින්නේ ජීවිතයට නොවෙයි ශරීරයටයි. එම නිසා , ශරීරය තුළ පණ රඳවා තබාගැනීමට ශරීරය නඩත්තු කරනවා කියලා කියනවා. ලෙන්ගතු කම් සහෝදරකම් අමිමා අප්පච්චිකම් ආදරය කරුණාව ලෙන්ගතුකම් දයාව මෛත්‍රිය විශ්වාසය යන සියල්ලම අයිති වන්නේ ජීවිතයටයි. මෙම නිර්ණායක දෙස මේ ආකාරයෙන් බලාගෙන යන විට තමන්ට තිබෙන්නේ ශරීරයක්ද?ශරීරය තුළ පණ ගැටගසා ගැනීම උදෙසා වන ව්‍යාපෘතියක්ද? නැතහොත් ජීවිතයක්ද? කියා තමන්ටම ස්ෙවිච්ජාවෙන් ම බලාගත හැකියි. සාමාන්‍යයෙන් ඉස්සර කාලය තුළ ජීවත් වුණ මිනිස්සුන්ට ජීවිත තිබුණා.එම නිසා සෑම හැන්දෑවකම මිනිස්සුන් සන්තෝෂයෙන් ජීවත් වුණා. සතුට නඩත්තු කළා. අප බොහෝ දෙනා උදේ සිට රෑ වන තුරු හම්බ කරනු ලබන්නේ සතුට නඩත්තු කිරීමට නොවෙයි. එම නිසා දරුමල්ලන් පිළිබඳව අමිමාට තාත්තාට සොයා බලන්න වෙලාවක් නැහැ. නඩත්තු කරන්නේ සතුට නොවෙයි. නඩත්තු කරන්නේ ශරීරයක්. අමිමාට තාත්තා පිළිබඳව සොයන්න අවශ්‍යත් නැහැ තාත්තාට අමිමා පිළිබඳව සොයන්න අවශ්‍යත් නැහැ. අමිමා තාත්තා ආශ්‍රය නිශ්‍රය කරනු ලබන්නේ කවුරුන්ද යනුවෙන් එකිනෙකාට සොයා බැලීමට වුවමනාවකුත් නැහැ.ශරීරය නඩත්තු කර තිබෙනවා මිස සතුට නඩත්තු කර නැහැ. සතුට නඩත්තු කරනවා යනු ජීවිතය නඩත්තු කිරීමයි. එම නිසා ජීවිතය නඩත්තු කිරීමයි, ශරීරය නඩත්තු කිරීමයි අතර වෙනස මිනිස්සු තේරුමි ගන්නේ නැහැ. ශරීරය නඩත්තු කිරීම පිළිබඳ අර්බුද ලෝකය තුළ ඕනෑ තරමිි තිබෙනව. එය ජීවිත ගැටළු ලෙස හඳුනා ගතහැකියි. එය ශරීරය නඩත්තු කිරීමට අදාළ වන්නාවූ ප්‍රශ්න සමූහයක්. ආර්ථිකය භූගෝලය ජීව විද්‍යාව රසායන විද්‍යාව යන සියලු විෂයයක්ම උගන්වන්නේත් ඉගෙන ගන්නේත් ශරීරය නඩත්තු කිරීම උදෙසායි. සත්‍ය වශයෙන්ම ජීවිතය නඩත්තු කිරීම යන මාතෘකාව යටතට විෂයයන් නැති තරමි. ජීවිතය නඩතත්තු කිරීමට සතුට ලෙන්ගතුකම දයාව වැනි කාරණා අවශ්‍ය වෙයි. එම සියල්ලෙන්ම සතුට නඩත්තු කිරීමත් සමඟම නඩත්තු වන්නේ ශරීරය නොවෙයි සිතයි. එම නිසා ජීවිතය නඩත්තු කිරීම කියන කාරණාව ඉතාම වැදගත් . ඉස්සර කාලය තුළ ජීවත් වුණ මිනිස්සුන්ට විශාල ගෙවල් දොරවල් තිබුණෙ නැහැ. ලොකුවට යාන වාහන තිබුණෙ නැහැ. ඒ මිනිස්සු සතුට නඩත්තු කළා ගිනි මැළයක් ගසාගෙන ජාතක පොත් වහන්සේ කියවගෙන රාත්‍රියට ආදරණිය දරු මල්ලන් හදා වඩාගෙන ජීවත් වුණා. සමහර අමිමා අප්පච්චිලා බිමට ගොම ගාගෙන වහළයට පිඳුරු සෙවිලි කරගෙන පුංච් පැලේ දරුවන් දහ දොළොස් දෙනා හදාවඩා ගත්තා. එම දරුවන්ට හොඳට ආදරය කළා. ඔවුන් සියලු දෙනාටම වෙහෙස මහන්සි වෙලා අධ්‍යාපනය ලබා දුන්නා. ඔවුන් ගේ ශරීරයට සැප නැති බව ඇත්ත.ඒත් ඔවුන්ට ජීවිත තිබුණා.
සුඛේා්පභෝගී ජීවිතය සහ සැනසිලි දායක ජීවිතය නැතහොත් සංතෘප්ත ජීවිතය යනුවෙන් ජීවිත දෙකක් තිබෙනවා. සුඛෝපභෝගී ජීවිතය තිබෙන්නේ ශරීරයට සැනසිලිදායක ජීවිතය හෙවත් සංතෘප්ත ජීවිතයට සතුට තිබෙනවා. සංතෘප්ත විම ජීවිතයට ලඟා කරගත හැකි කාරණාවක්.සුඛෝපභෝගීකම ජීවිතය තුළ කවදාකවත් ලඟාකරගෙන අවසන් කරන්න බැහැ. ලංකාව තුළ තිබෙන ගෙදරක සියලු සැප එක්කාසු කරගත හොත් එයට එක තරුව සැපක්ද, බොහෝ වෙහෙස මහන්සි වී හමිබකළහොත් තරු දෙකක සැපක්ද ,සමහර විට ඒ අතර තුර සොරකමි කරනු ලැබුව හොත් තරු තුනක සැපක්ද, රාජ්‍ය දේපළ කොල්ලකනු ලැබුව හෝත් තරු හතරක සැපක්ද,හෝටලයකට ගොස් තරු පහක සැපක්ද,ලංකාවෙන් පිට ගිය විට තරු හයේ සැපක්ද, ඩුබායි වලට ගිය විට තරු හතේ සැපද,ලබාගත්තත් තරු අවසන් නැහැ. සුඛෝපභෝගී වීමේ සිමාව අවසන් නැහැ. සුඛෝපබෝගී විම වැඩි වන විට ආහාර අඩුුවෙනවා ගනු ලබන්නාවූ බෙහෙත් පෙති ප්‍රමාණය වැඩි වෙනවා ඔළුව ලොකු වෙනව. බඩ කුඩා වෙනවා. අතපය හීනවෙලා ඇවිදින්න අවශ්‍ය වෙන්නේ නැති වෙනවා. ඒ තරමටම මිනිසා යාන්ත්‍රික වෙනවා. සුඛෝප බෝගීකම ලඟාකරගෙන අවසන් කිරීමට බැරි වුණත් සංතෘප්ත හෙවත් සැනසිලිදායක කිසියමි තැනක නැවතිය හැකියි. එම නිසා මිනිස්සු සැප සොයලා සොයලා සොයාගැනීමට බැරී වූවිට කිසියමි තැනක හිරවෙනවා. නිවන නමින් හදුන්වන සමිපූර්ණයෙන්ම ආසාව මුලිනුපුටා දැමීමට නොහැකි නම්,කිසියමි තැනක දී හෝ මෙම එක්රැස් කිරීම දැන්වත් ඇති බවට සිතා එය නවත්වා ගත යුතුයි. ඇති යන සීමාව තුළ එක්රැස් කිරීම නවතා දෑමූ විට මිනිසුන්ට සතුට සඳහා වෙලාව ලැබෙයි. පත්තර පොත් පත් කියවීමට වෙලාව, පවුලේ සාමාජිකයන් සමඟ කතාබහ කරකර සිටීමට වෙලාව, දූ වා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ස ඳහා කාලය වෙන්කිරීමට වෙලාව තිබෙනවා . එසේ නැති වුණහොත් උදේ සිට රෑවනතුරු හමිබකරනවා රූ සිට එළිවනතුරු හමිබකරන එක පිළිබඳව සිතනවා. එසේවන විට මිනිස්සුන්ට ජීිවිතය නැති වෙලා ශරීරය පමණක් ඉතිරි වෙනව.එම නිසා සංතෘප්ත ජීවිතය හෙවත් සතුට නඩත්තු කිරීම ඉතාම වටිනා කාරණාවක් . සේම එය අත්‍යවශ්‍ය කාරණාවක්ද වෙයි. එසේ සතුට නඩත්තු කරන රටවල් , පවුල්, පවුල් සම්ප්‍රදායන් තිබෙනවා. සතුට නඩත්තු කරන සතුටු දායක මිනිස්සුන්ට සැනසිල්ලලේ ජීවත් වීමේ හැකියාව තිබෙනවා. ඔවුන් හරිම සුවදායි ජීවිත ගත කරනවා.සමහර වෙලාවට ඒ මිනිස්සුන්ට තටිටු ගෙවල් නොතිබෙන්න පුළුවන්.බිමක් නැති නිසා බිමට ටයිල් අතුරා නොතිබෙන්න පුළුවන්.වහලක් නැති නිසා සිවිලිමි ගසා නොතිබෙන්න පුළුවන් . කාමරයක් නැති නිසා ඔවුන් වායුසමනය කර නොතිබෙන්න පුළුවන්. එහෙත් ඔවුනගේ සිත තුළ තිබෙන්නාවූ සුවදායි බවය එලෙසින්ම තිබෙනවා. එය ලෙන්ගතු ආදරණීය පිවිතුරු හා විකසිත ජීවිතයක්. සුඛොපබෝගීම නොවී මිනිස්සු සුඛෝපබෝගී වූවාට කමක් නැහැ, සංතෘප්තද වෙනවා නමී පමණක්.

දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව

රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති 
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක 
අග්ගමහා පණ්ඩිත 
පල්ලත්තර ශ්‍රී සුමනජෝති නා හිමි

ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා යොචායං කාමෙසු කාම සුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනී කො අනරියො අනත්ථ සංහිතො. යොචායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථ සංහිතො. එතෙ තෙ භික්ඛවෙ උභො අන්තේ අනුපගම්ම මජ්මා පටිපදා තථාගතෙන අභි සම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. ති.
අදට වසර 2645 ට පෙර ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පහළ වූ සේක් වෙසක් පුන් පෝ දිනකය. උන්වහන්සේ තමන් දුෂ්කරක්‍රියා කරන සමයෙහි තමන්ට හමුවූ බුද්ධිමතුන් අතුරින් අඤ්ඤාකොණ්ඩඤ්ඤාදි පස්වග තවුසන් බරණැස ඉසිපතනයේ සිටිනු දැක තමන් වහන්සේ අවබෝධ කරගත් අතිශය ගැඹුරු දහම හෙවත් ධම්ම චක්ක දේශනාව පවත්වන්නට උරුවෙල් දනවුවේ සිට බරණැසට පා ගමනින් වැඩම කළහ. බුදුහු ඉසිපතනයට ළඟාවත්ම පස්වග තවුසන් කතා කරගත්තේ ගෞතම තාපසයෝ අත්තකිලමථානු යෝගය බැහැර කොට සුවපහසු දිවියක් ගෙවමින් යළිත් අපෙන් උපස්ථාන ලබා ගැනීමට අප කරා එනවය. ඔහු උසස් කුලිකයෙකු බැවින් පිළිගනිමු. එහෙත් අපි වැඳුම් පිදුම් ආදී ආචාර සමාචාර නො පවත්වමු කියල. එහෙත් උන්වහන්සේ අසපුවට ළඟාවත් ම සිය කතිකාවත්හි නොසිටිය හැකි වූ තවුසෝ පා දෝවනයට දියබඳුන තබා අසුනක් පනවා සාදරයෙන් පිළිගත්හ.
බුදුන් වහන්සේ හා තවුසන් අතර සතුටු සාමිචි කතාවේ දී තමන් වහන්සේට සම අය අමතන ආවුසො වාදයෙන් තවුසන් අමතන විට උන්වහන්සේ වදාළ තවුසෙනි, බුද්ධත්වයට පත් තථාගතවරයෙකුට ‘ආවුසො’ යයි ඇමතීම නො හොබනේය කියා. එසේ කියාත්, නොපිළිගත් තවුසන්ගෙන් ප්‍රශ්න කළ මා මෙයට පෙර කිසිවිටක ඔබලාට මා බුදුවෙලයි කියල කීවද? නැත. එසේ නම් මේ අවස්ථාවේ මා බුදුවෙලයි කියල කියන්නේ බුදුවූ නිසාම යයි වදාළහ. තවුසෝ ඒ අසා උන්වහන්සේ බුදු වී ඇති බව පිළිගත්හ. ඉක්බිති එසේනම් මහණෙනි, මාගේ පළමුවන දම්සක් පැවැතුම් (සමස්ත ලෝකයම ආවරණය වන ධර්මය නමැති චක්‍රය) දේශනාව අහන්න මහණෙනි, ලොව තිබෙන අන්ත යක් නැති (අනන්ත) අන්තදෙක වූ (සත්වයන් සදා සසර බැඳ තබා දුක් දෙන (ඔවුන් විසින් සත්ත්වයාගේ කෙළවරයි කියා වැරදි සේ පිළිගත්) කාමසුඛයෙහි ඇලි ගැලී සිටින උච්ඡේද දෘෂ්ටිය (උපන් භවය පමණකි, අනතුරු භවයක් නැතැයි සිතා ලැබූ ජීවිතයට හැකිතාක් හොඳින් හෝ නරකින් හෝ සැප දියයුතුයි. උපන් මේවායෙන් තම දිවි නිරුද්ධ වේයයි සිතා හැකිතාක් ඉඳුරන් පිනවන්න. මහණෙනි, එය පහත් අයගේ ක්‍රියාවකි. උතුමන්ගේ ක්‍රියාවක් නොවේ. අශිෂ්ට (ග්‍රාම්‍ය) ක්‍රියාවකි. පුහුදුන්ගේ ( කෙලෙස් බර අයගේ) ක්‍රියාවකි. ආර්යයන්ගේ ( නිවන් අවබෝධ කරගන්නට උත්සාහ කරන්නන්ගේ) නොව අනාර්යයන්ගේ ක්‍රියාවකි. එය අර්ථකර (උසස් ප්‍රතිඵල සහිත) ක්‍රියාවන් නොව අනර්ථකර (සසර දුක් දිගුකරන) ක්‍රියාවකි. එමෙන්ම අනෙක හෙවත් අත්තකිලමථානුයෝගය නම් මේ ශරීරකූඩුව තුළ සදා නොනැසෙන ආත්මයක් හෙවත් ජීවශක්තියක් තිබේ. එය කෙලෙස් මළින් පිරිසුදු කිරීමේ උපක්‍රමයක් යයි සිතන වැරදි ශීල වැරදි ව්‍රත අනුගමනය කිරීම නමැති සිය ආත්මය තැවීමේ පිළිවෙතයි. එය උපාදානස්කන්ධයට ඉමහත් දුකයි. එය දුක්ඛ සහගතයි. එසේම එය ආර්ය ප්‍රතිපදාවක් නම් නොවේ. එයිනුත් වන්නේ අනර්ථයක් (සසර දිග්වීමක් ) මිස අර්ථයක් (සසර කෙටිවීමක්) නම් නොවේ. එහෙයින් මහණෙනි, තථාගතයෝ එම අන්ත (කෙළවරවල්) දෙකම (අත්හදා බලා ඒවා මිථ්‍යා ප්‍රතිපදා මිස සම්‍යක් ප්‍රතිපදා නොවන බව පසක්කොට අන්තයක් නොවන මේ දෙකින් බැහැර වූ ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව අනුගමනය කළහ. මැදුම් පිළිවෙත සේ සැලකිය හැකි එම ප්‍රතිපදාව තථාගතයන් විසින් විශිෂ්ටඥානයෙන් අවබෝධ කරගන්නා ලදී. ඒ මඟ දෘෂ්ටියක් මාගේ මැදුම් පිළිවෙත ලෝකෝත්තර ප්‍රඥාව ඇති කරන්නකි. නුවණ ඇතිකරන්නකි. චතුරාර්ය සත්‍යය වටහා දෙන්නකි. නිවන් පිණිස හේතුවන්නකි. යනුවෙන් වදාළහ. මේ සූත්‍රයෙහි පළමු කොටසෙහි අර්ථයයි. මෙයයි මැදුම් පිළිවෙත .එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. කවරේද? සම්මා දිට්ඨි (නිවන් සඳහා බවුන් වඩන යෝගියාගේ අවිද්‍යාව නසන විද්‍යා නම් ප්‍රඥා ඇස සම්මාදිට්ඨි (නිවැරදි දැකීම) යයි. සම්මා සංකප්ප (ගිහිබවින් නික්මීම හිංසාවෙන් හා ව්‍යාපාදයෙන් තොරවීම යන යහපත් සංකල්පනා තුළින් නිර්වාණාවබෝධය සඳහා යෝගියා මෙහෙයවන නිවැරදි සංකල්පනාවයි. සම්වාවාච (සම්මාදිට්ඨි සම්මාසංකල්පයන්ගෙන් යෝගියාගේ මිථ්‍යාවාචාදී සිව්වැදෑරුම් වාචසික සිත්වලින් වැළකී වාග් පාරිසුද්ධියය.) සම්මා කම්මන්ත(මිථ්‍යා වචනයෙන් වෙන් වූ යෝගියාගේ හා බැඳුනු ප්‍රාණඝාතාදී ත්‍රිවිධ කායික දුසිරිත්වලින් වැළකීමයි. සම්මා ආජීව (යෝගියා කුහකකම්, චාටු කතා නිමිතිකතා දියෙන් ආහාර පානාදිය වැරදි සේ ලබා ගැනීමට දරන මිථ්‍යා ජීවිකාවෙන් වෙන්වීමයි. සම්මාවායාම (සම්මාවාචා, කම්මන්ත, ආජීව යන්ගෙන් යුක්ත) සිල්වත් වූ යෝගියාගේ සියලු අකුසල් නසන කුසීත බව දුරුකරන වීර්යය යි. එනම් නූපන් අකුසල් නූපදවීම උපන් අකුසල දුරු කිරීම නූපන් කුසල් උපදවීම, උපන් කුසල් රැකගැනීම යන සම්‍යක්ප්‍රධානයයි. සම්මා සති (යෝගියා කායාදී අසුභ දෑ සුබයයි වැරදි සේ දැකීමාදිය දුරුකරන අරමුණේ යථාස්වභාවය වටහා දෙන සිතේ මුළා බව නසන නිවැරදි සිහියයි. සම්මා සමාධි (යෝගියාගේ ස්මෘතිය හා බැඳුනු මිථ්‍යා සමාධිය නසනා නිවැරදි සිතේ එකඟතාවයි. මහණෙනි, මේ ප්‍රඥාව ඇති කරන නුවණ ඇතිකරන මැදුම් පිළිවෙත තථාගතයන් විසින් අවබෝධ කරන ලදී. එය විශේෂඥානය පිණිස චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස පවතින්නකි.
අනතුරුව චතුරාර්ය සත්‍යය හෙළිකරමින් බුදුන් වහන්සේ පළමුව දුක්ඛ සත්‍ය මෙසේ හඳුන්වා දුන් සේක. ‘ජාතිපි දුක්ඛා’ යනුවෙන් බුදුන්වහන්සේ සත්වයාගේ උපත, ජරාව හෙවත් දිරීම ‘ව්‍යාධිය (රෝගීවීම මරණය පි‍්‍රයයන්ගෙන් වෙන්වීම අපි‍්‍රයයන් හා එක්වීම, කැමතිදෑ, නොලැබීම, දුක් බව වදාරා ‘සංඛිත්තෙන පඤ්චු පාදානක්ඛන්ධා දුක්ඛා’ යනුවෙන් රූපාදී උපදානස්කන්ධ පහම (ඒකීය වශයෙන් ගෙන) දුක්ඛස්කන්ධයැයි වදාළහ. අනතුරුව දුක්ඛ සමුදයාර්ය සත්‍යය විස්තර කරමින් සත්වයන්ගේ පුනර්භවය ඇතිකරවන සසර බැඳ තබන උපනූපන් භවය පි‍්‍රයකරවන කාම තෘෂ්ණාව, භවයෙහි ඉපදීමට ඇති ආශාව භව තෘෂ්ණාව පුනර්භවයක් නැත යන විශ්වාසයෙන් උපන් භවයෙහි හැකිතාක් සතුටින් විසීමට සිතන විභව තෘෂ්ණාව යන ත්‍රිවිධ තෘෂ්ණාවයි. දුක්ඛ සමුදයාර්ය සත්‍යයයි. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය ඉහත කී ජාත්‍යාදී දුක් නිරුද්ධ කිරීමෙන් කෙලෙසුන්ගෙන් මිදුන සිතේ තත්ත්වය හෙවත් නිවණ විරාගී බව, තෘෂ්ණාවගේ හැරදැමීම තෘෂ්ණාවෙන් මිදීම සසර නොඇල්ම දුක්ඛ නිරෝධාර්ය සත්‍යයයි වදාළහ. අවසානයෙහි දුක්ඛ නිරෝධගාමිනි පටිපදාර්ය සත්‍යය විස්තර කරමින් ඉහත සඳහන් කළ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති මධ්‍යම ප්‍රතිපදාව දේශනා කළහ.
මහණෙනි, මම පෙර නොදැනසිටි දුක්ඛාර්ය සත්‍ය මේ යයි දැන ගනිමි. නුවණැස පහළවිනි. ප්‍රඥාව උපන්, දෙවනුව එය පිරිසිඳ දතයුතු යයි නුවණ පහළවිය. ඥානය පහළවිය. අවිඥා අඳුර පහ විය. ආලෝකය උපනි. තෙවනුව එම සත්‍යය පිරිසිඳ දැනගතිමියි අවබෝධ කළෙමි. මෙසේම දුක්ඛ සමුදය සත්‍යය (තෘෂ්ණාව) එය ප්‍රහාණ කළයුතු යයි ද එය ප්‍රහාණ කළෙමියි ද නුවණ පහළ විය. තෙවනුව දුක්ඛ නිරෝධ සත්‍යය (නිවණ) මෙ බඳු යයි පෙර නොවුවිරූ නුවණ පහළ විය.
එය ප්‍රත්‍යක්ෂ කළයුතු යයි පෙර නොවූ විරූ නුවණ පහළ විය. අනතුරුව එය (නිරෝධ සත්‍යය) අවබෝධ කෙළෙමියි පෙර නොවූ විරූ නුවණ පහළ විය. ඉක්බිති දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා සත්‍යය කවරේදැයි ප්‍රත්‍යක්ෂ කොට දැනගනිමි. එම ප්‍රතිපදාව වැඩිය යුතුයයි නුවණ පහළවිය. අනතුරුව එම මධ්‍යම ප්‍රතිපදාව වූ අරිඅටඟි මඟ වැඩුවෙමියි පෙර නො ඇසූ විරූ ධර්මයන්හි පැණැස පහළ විය. ප්‍රඥාව පහළ විය. මහණෙනි, මෙකී පරිවෘත්ත (පෙරළෙන චක්‍ර) තුනකින් යුත් දොළොස් ආකාර වූ යථාභූතඥානදර්ශනය (චතුරාර්ය සත්‍යාවබෝධය යම්තාක් කල් සුපිරිසුදු නොවී ද ඒතාක් කල් දෙවියන් සහිත මරුන් බඹුන් හා මහණ බමුණන් සහිත වූ දෙවි මිනිසුන්ට මම ශ්‍රේෂ්ඨ සමාන සම්බෝධිය අවබෝධ කෙළෙමියි පිළිණ නොකෙළෙමි.යම් අවස්ථාවක තත්ත්වාකාර සම්මාබෝධි ඥාන දර්ශනය සුපිරිසුදු වීද ඉක්බිති මම අනුත්තර සම්මා සම්බෝධිය වෙසෙසින් අවබෝධ කළෙමි යි ප්‍රතිඥා කෙළෙමි. දැන් ඤාණදර්ශනය පහළ විය. සිත කෙලෙසුන්ගෙන් මිදිනි. අර්හත් ඵල සමාධිය තහවුරු විය. මේ මාගේ අවසන් උපතයි. පුනර්භවයන් නැතැයි අවසාන වශයෙන් වදාළසේක. යමක් ඇතිවේ නම් ඒ සියල්ල නැසෙනසුළුය යන නුවණින් පස්වග මහණහු සතුටු සිතින් දේශනාව පිළිගත්හ. මේ ධර්මය ඇසූ බූමාටු දෙවියන් ප්‍රමුඛ අකනිට්ඨාවාසී බ්‍රහ්මයන් තෙක් සියලු දෙවි බඹහු මෙවැනි දහමක් ලොව ශ්‍රමණ බ්‍රාහ්මණ මාර බ්‍රහ්මාදී කිසිවකුට නො පැවැත්විය හැකියයි කියා පැවැත් වූ සාධුනාදය ඇසුන ඇසූ පරිදි සාධු කියා සතුට පළ කළහ. ලෝක ධාතුව කම්පාවිය. වෙව්ලීය. දේව තේජානුභාවය ඉක්මවා ඉමහත් ආලෝකයක් ලොව පැතිරිණි. ඉක්බිති බුදුන් වහන්සේ මෙම උදානය (පී‍්‍රතිවාක්‍යය) පළ කළහ. ‘අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤො අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤ’ ඔබට මෙය වැටහුණේ ද ඔබට මෙය වැටහුනේ ද? මෙතැන් පටන් කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේට “අඤ්ඤාකොණ්ඩඤ්ඤ” යන නම ව්‍යවහාර විය. සෝතාපත්තිඵලයට පත් වූ උන්වහන්සේ බුදුන්ගෙන් පැවිද්ද හා උපසම්පදාව අයැදූහ. ‘එව මහණ’ යයි බුදුහු ඒහි භික්ෂු උපසම්පදාව දුන්හ. මේ ධර්මය ස්වාක්ඛාත යි. මනාව දුක් කෙළවර කිරීම සඳහා බඹසර වසන්න යි වදාළහ. එයම සෝතාපත්ති ඵලයට පත් වූ ප්‍රථම භික්ෂුව වන අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන්ගේ උපසම්පදාව විය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ආශ්වාදය දිය බිඳකි ආදීනව මහ සයුරකි

ස්වල්ප වූ ද හීන වූ ද කාමාස්වාදය, බියකරු ආදීනව රාශියකට හේතු වන අයුරු පැහැදිලි කැරෙන ලිපියකි.
විදර්ශනා භාවනාවෙහි යෙදෙන යෝගාවචරයාට දුක පිරිසිඳ දැකගන්නට යෝග්‍ය උතුම් භාවනාමය කමටහනෙකි මජ්ඣිම නිකායේ එන මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය. බුදු රජාණන් වහන්සේ මෙහිදී පංචකාමයෙහි ආස්වාදය දක්වන්නේ මෙසේ ය:
‘මහණෙනි, කාමයන්ගේ ආස්වාදය නම්, චක්ඛු විඤ්ඤාණයෙන් රූප දැක, රූප කාමයේ ආස්වාදය විඳ, සෝත විඤ්ඤාණයෙන් ශබ්ද අසා, ශබ්ද කාමයේ ආස්වාදය විඳ, ඝාන විඤ්ඤාණයෙන් ගඳ සුවඳ විඳ, ගන්ධ කාමයේ ආස්වාදය විඳ, ජිව්හා විඤ්ඤාණයෙන් රස විඳ, රස කාමයේ ආස්වාදය විඳ, කාය විඤ්ඤාණයේ පහස විඳ, ස්පර්ශ කාමයේ ආස්වාදය විඳ කාම සැප ලබන්නේ නම් එය කාමයාගේ ආස්වාදය යි.’
කාමයේ ආස්වාදය ස්වල්පයකි; ආදීනව නම් මහා භයානක ය. එහෙත් ඒ බිඳක් වූ කාම ආස්වාදය මිනිසා අන්ධයකු කරයි; අපාගාමී කරයි. ඕලාරික වූ කාම ආස්වාදයෙන් නොමඟ යා නොදී, මනස ලෝකෝත්තර වූ වේදනාවේ ආස්වාදයෙන් නිවා ලනු පිණිස මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය බුදු පියාණන් වහන්සේ දේශනා කළ සේක.
“මහණෙනි, කාමයාගේ ආස්වාදය, ආදීනවය සහ නිස්සරණය මනා කොට විඤ්ඤාණයෙන් පිරිසිඳ නොදකී නම් ඔහුට ජීවිතය විදසුන් නැණින් අවබෝධ කොටගත නොහැක්කේ ය.
“මහණෙනි, රූපයාගේ ආස්වාදය නම් කවරේ ද? සොළොස් හැවිරිදි වූ, ඉතා උස් නොවූ, ඉතා මිටි නොවූ, කෙට්ටු නොවූ, මහත් නොවූ, ඉතා කළු නොවූ, ඉතා සුදු නොවූ ක්ෂත්‍රිය හෝ බ්‍රාහ්මණ හෝ ගහපති හෝ කන්‍යාවක් වේ ද ඇයගේ ඒ ලස්සන රූපය නිසා සැපයෙක් සොම්නසෙක් උපදී ද ඒ රූපයාගේ ආස්වාදය යි.’
මේ සුළු ආස්වාදය ද අනිත්‍ය ය; එනම් වෙනස් වනසුලු ය; දුකට ම හේතු වෙයි. බුදු හිමියන් දක්වා වදාළ මේ ආස්වාදයේ දුර්-විපාක ජාතියේ විනාශය දක්වා ම විහිදී ගොස් ඇත. විශ්ව ගම්මාන නමැති මිථ්‍යා සංකල්පයක විපාක වශයෙන් ඒඩ්ස් නමැති මරළතෝනියෙන් මිනිසා ඔත්පළ ව සිටී. මේ අනිත්‍ය වූ ද දුක්ඛ වූ ද ආස්වාදයේ අමිහිරි කථාවක් 2012 දෙසැම්බර් මාසයේ ‘නමස්කාර’ සඟරාවේ පළ වී තිබිණි. ඒ ගැන විමසා බලන්නට පෙර මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයේ දේශිත කාමයේ ආදීනව අපි දකිමු.
නැවැත බුදු රජාණන් වහන්සේ රූපයාගේ ආදීනව මෙසේ දක්වන සේක:
“මහණෙනි, රූපයෙන් පැහැපත් ආස්වාදනීය වූ එම නැගණිය ම සැත්තෑ, අසූ හැවිරිදි වයස්ගත වූවා, ජරා ජීරණ භාවයෙන් වැසුණි, වක් වූ කොන්දෙන් පීඩිත ව සැරයටියෙන් යන්නී දකින්නා තුළ කුමන නම් සිතිවිල්ලක් හට ගන්නේ ද? තව ද ඇඟ රැලි වැටී ඇති, පෙර වූ යොවුන් බව තුරන් වී ඇති ඒ නැගණිය කෙරේ පෙර හටගත් ඒ ආස්වාදය දැන් පවතින්නේ ද?
“නැවත ද මහණෙනි, දැඩි ලෙස ගිලන් වූ, තමන්ගේ ම මල මූත්‍රයෙහි ගැලී හොවින, අනුන් විසින් නැගිටුවනු ලබන එම නැඟණිය ම දකින්නේ ද කුමක් නම් සිතේ ද?
“මහණෙනි, මැරී දවසක්, දෙකක්, තුනක් ගත වී ගිය ඉදිමී නිල් වූ සොහොනෙහි දැමූ මළ සිරුරක් වූ එම නැඟණිය ම දක්නේ නම් හට ගන්නේ පිළිකුල ම ය. එය ද රූපයේ ආදීනවය වෙයි.
“එම නැගණියගේ ම වූ, කපුටන්, හිවලුන් කාදමන්නා වූ, සොහොනෙහි ලූ කුණු වී ගිය මළ සිරුර දක්නේ; එය ද රූපයේ ආදීනවය යි.
“මහණෙනි, නැවත ද ඇටසැකිල්ලක් වූ නහරවැලින් බැඳී ඇති මස් නැති ලේ නැති එම නැඟණියගේ ම සිරුර දක්නේ ද එය ද රූපයාගේ ආදීනවය යි. තව ද විසිර ගිය හිස් කබල එක් තැනක ය, අත් ඇට තව තැනක ය, පා ඇට තව තැනක ය. උකුල් ඇට තව තැනක ය. මෙසේ විසුරුණු ඇට ඇති, සොහොනෙහි දමන ලද එම නැඟණියගේ ම සිරුර දක්නේ, කුමක් හඟිණේ ද? මෙය ද රූපයාගේ ආදීනවය යි. අවුරුදු ගණන් ගෙවී ගිය හෙයින් සුදුවන් පැහැගත්, දිරාගිය එම ඇට කැබැලි දක්නේ, එය ද රූපයේ ආදීනවය යි.” (මජ්ඣිම නිකාය 1 - මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය, බුද්ධ ජයන්ති සිංහල පරිවර්තනය ඇසුරෙනි).
බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආස්වාදය සහ ආදීනවය පිළිබඳ ව යමක් සංවේදී මනසින් දකින්නට කවුරුන් හෝ සමත් වෙති යි මම සිතමි. අද බොහෝ දේශනා සිදු කැරෙන්නේත්, අසන්නේත් පරමාර්ථ ධර්මය අනුව නොවන නිසා ය. එහෙත් අපි මේ ගැන මඳක් සාකච්ඡා කරමු. දෙසැම්බර් මාසයේ ‘නමස්කාර’ සඟරාවේ 69 පිටුවේ ‘මට හිතෙන හැටි’ ලිපිය ගැන මට හිතෙන හැටි ය මේ. මේ සිදුවීම සත්‍යයක් ම යැ යි මම සිතමි. එසේ නම් එය ආස්වාදයේ තවත් පැතිකඩෙකි; වෙනත් ලෙසකින් කීවොත් මිනිස් සිතෙහි ජඩ ස්වභාවය කියා පෑමෙකි. සිහි නුවණින් මිදුණ මිනිස් සතා නන්දි රාගයෙන් මත් වූ කල ආදීනවය තුළින් ආස්වාදය ලබයි. කාමයෙන් ඔද්දල් වූ සිත ඕනෑ ම කසළ ගොඩක ම අමිහිරි සුවය ආස්වාදය කරයි; රස විඳියි.
“ඒ ගැහැනිය මෙසේ හඬා, දොඩයි: “අනේ! බුදු මහත්තයෝ... ගෙදර මාස එකහමාරක කිරි දරුවෙක් ඉන්නවා. දරුවො තුන් දෙනෙක් ඉස්කෝලෙ යනවා. මගෙ අම්මගෙ ඇස් පේන්නෙ නැහැ. මිනිහා දාල ගිහින්... මට අච්චු කරන්න එපා. බුදු බව ලැබෙයි. වඳින්නම්...”
ලොව පැරැණිතම වෘත්තියේ යෙදීමේ වරදට (ආස්වාදයට නො වේ) තෙමසකට බන්ධනාගාරගත වූ මැදිවියේ ස්ත්‍රියකගේ විලාපයේ කොටසකි ඒ උපුටා දැක්වූයේ.
දැන් දකින්න යෝනිසෝමනසිකාරයෙන්, දුක්ඛ වේදනාවේ ‘සැපය’ ලබන්නට සිරස් ව යන මිනිස් සතා ‘තිරස් ව යන සතකු’ වූ සැටි:
“රජ, සිටු, මැති, ඇමැති මන් කලඹවාලූ අනගි වස්ත්‍රාභරණයෙන් සැරැසුණු සුරූපී ලාලිත සිරුරෙන් හෙබි නගරශෝභිනියන් ගැන බණ කථා මම අසා ඇත්තෙමි. මම මඳකට මේ අසරණ ස්ත්‍රිය පිරික්සීමි. ගොමස්කඩ කඩමාලු හැට්ටයකින් හා කිලිටි රෙදි කඩෙකින් වැසුණ ඇයගේ සිරුර කුමන නම් ජීවියකු තුළ කාමෝද්දීපනයක් ඇති කළා දෝ යි මට නොවැටැහිණි.”
ඉන් නොනවතින ලේඛිකාව මිනිසාගේ කාමාස්වාදයේ අන්ධස්වභාවය මෙසේ ද තහවුරු කරයි:
“බුලත් කහටින් දුර්වර්ණ වී ගිය දෙතොල ද දින කීපයකින් සබන් වතුර නොපෙන්වූ මුහුණ ද, අවුල් වී ගිය හිසකෙස් ද, යාර කීපයක් දුරට විහිදුණ ඩහදිය කුයිල ද, කොයි ආකාරයකින් නම් පිරිමියකු වසඟ කෙරේ දැ යි යන්න ගැන අංශු මාත්‍රයක සේයාවකින් හෝ අදහාගැනීමට මම අපොහොසත් වීමි.”
මිනිස් සිතේ හටගන්නා ඕලාරික වූ ආස්වාදය නම් වූ පංචකාම තණ්හාව, විටෙක කොතරම් ගිනියම් වූයේ ද යත්: ඒ නිසා ම බුදු රජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේ අරභයා දැඩි විනය නීති පවා පනවන්නට සිදු විය. මිය ගිය ස්ත්‍රී ශරීරය පවා කාමෝද්දීපනය සඳහා සුන්දර වස්තුවක් වෙද්දී උපසම්පදා භික්ෂුත්වයෙන් පාරාජික වීමේ විනය නීතියක් ද එදා පැනැවිණි.
එසේ බලන විට මිනිසාගේ කාමාස්වාද අන්ධභාවය අද මෙන් ම එදා ද නොතිබුණා නො වේ. ශික්ෂණය නොවූ මිනිසාගේ චක්ඛු විඤ්ඤාණය අන්ධ ය; සෝත විඤ්ඤාණය බිහිරි ය; ඝාණ විඤ්ඤාණය දුබල ය; ජිව්හා විඤ්ඤාණය කුණු රස ය; කාය විඤ්ඤාණය ගොරෝසු ය; මනස විකෘති වී ඇත.
අර අහිංසක ස්ත්‍රිය එය කර ඇත්තේ මා සිතන සේ නම් ආස්වාදය පිණිස නො වේ; කාමාතුර පේ‍්‍රතයකුගේ නීච රස වින්දනය සපුරා, අහිංසකයන් කීප දෙනකුගේ කුසගින්න නිවීමේ අභිප්‍රායයෙනි. එහෙත් මෝහයෙන් මුළාවට ගියවුන්ගේ කාම ආස්වාදය නම් ඉතා පහත් ය.
අසුභය වඩා නිවන් අවබෝධය ලබන්නට සිතා සොහොනේ දමන ලද මිනී කුණක් සොයා ගිය භික්ෂුවක පණුවන් ගැවැසුණු ගැහැනු සිරුරක් දැක විදසුනෙන් මිදුණේ තමන්ගේ ගිහි කල යෙහෙළියගේ රූසපුව සිහිපත් වූ හෙයිනි.
තව ද භික්ෂුවක් සොහොන් පාලිකාව අමතා මෙසේ කී සේක: “නැගණිය, විදසුන් වඩන්නට නිසි මළ කුණක් දුටු දා මට කියන්න.” ඇයට දිනක් එබන්දක් හමු විය. ඒ හිමියනට ගොස් කාරණය දැන්විණි. උන් වහන්සේ රූමතියකගේ ඒ මළ කුණ දැක, “නැඟණිය, අසුභය දකින්නට සුදුසු විටක මට දන්වන්න” යි කී සේක. ඇය නුවණ ඇත්තියකි. ඕතොමෝ එම දේහය දර සොහොනක තබා ගිනි දල්වා භික්ෂූන් වහන්සේට දැන්වූවා ය. උන් වහන්සේ රූපස්කන්ධයාගේ ආදීනවය විදසුන් කොට ලොවුතුරු ආස්වාදයෙන් සැනැසී නිවීගිය සේක.
පුරුෂයකුට ස්ත්‍රියක නිසා හටගන්නා පංචකාම රසයත් ස්ත්‍රියකට පුරුෂයා නිසා හටගන්නා පංචකාම රසයත් තරම් ඕලාරික වූ සුඛ වේදනාවක් නැති බව බොහෝ සූත්‍ර දේශනාවන්හි බුදු හිමියන් දේශනා කර ඇත.
මිනිසා මුළා වූ සිහියෙන් තණ්හාව උපාදානය කරගෙන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයෙහි ඇලී සිටින තාක් ඔහු දුක නො දකී. හේ මාරයාගේ ග්‍රහණයෙන් නොමිදෙනු ඇත. පටිච්ච සමුප්පන්න ව (හේතු ඵල න්‍යායයෙන්) භවගත වූ මේ සම්මුති සත්ත්වයා අවිද්‍යාවෙන් හා තෘෂ්ණාවෙන් නොමිදුණේ නම් ඒකාන්තයෙන් ම ජරාව ව්‍යාධිය සහ මරණය උරුම කරගත්තේ අනන්ත වූ සංසාරයේ සැරි සරනු නියත ය. දෙතිස් කුණපයක් වූ තම කයට, තවත් කුණපගොඩක ස්පර්ශයෙන් ලබන ස්වල්ප වූ ද හීන වූ ද කාමාස්වාදය මාරයාගේ ආශීර්වාදය පිණිස ම වනු නියත ය.
දුසිරිත සහ සුසිරිත යන සංකල්ප දෙක ලෝකයේ විද්‍යමාන ය. ලෝකයේ ආගම් පහළ වූයේ මිනිසා දුසිරිතින් මුදනු පිණිස ය. සුසිරිතෙහි ඇලුණ අය ස්වර්ග සම්පත්ති ලබන බවත් දුසිරිතේ යෙදුණ අය අපා දුක් විඳින බවත් ඒ ඒ ශාස්තෲහු පෙන්වා දුන්හ.
එහෙත් පරමාර්ථ වශයෙන් සත්ත්වයකු නො ව, නාමරූප දෙකක එක් වීමත් බිඳීයෑමත් පටිච්ච සමුප්පාද න්‍යායය ඇසුරෙන් ප්‍රත්‍යක්‍ෂ ඥානයෙන් අවබෝධ කළ බුදුහිමියෝ චේතනාව කර්මය වශයෙන් දේශනා කළ සේක. බුදු දහම ප්‍රඥාවෙන් දකින්නා ඒකාන්ත වශයෙන් මෙසේ දකිනු ඇත: නාම - රූප දෙකකි. ‘ඇය’ ධාතු මාත්‍රයක් පමණි
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X