සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

තමන්ට වැරදුණත්, අනුන් ගේ වැරැද්දෙනුත් දෙකෙන් ම සසරට යන්නේ අපයි

ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ 
ධර්මාචාර්ය 
පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි
කාමයන් ගෙන් එතෙර වීම නිසා හටගත්ත ප්‍රමෝදයෙන් පටන්ගන්න සමාධියට කියනවා "විවිචෙචව කාමෙහි විවිචෙචව අකුසලෙහි - කාමයන් ගෙන් වෙන් වීම, අකුසලයන් ගෙන් වෙන් වීම නිසා හටගත්ත විවේකයෙන් උපන්න ප්‍රීතිය හා සැපය මුල් කරගත්ත සමාධියක්‌ ය" කියලා. ඒ සමාධිය හටගත්තහ ම මේ සිතේ තාවකාලිකව ඇති වෙච්ච සතුටු ගතියක්‌ ගැන නො වෙයි මේ ධ්‍යානය කියන්නේ. මේ කයෙන් ම සැප විඳිනවා. අද අපි ධ්‍යාන දකින්නේ අවස්‌ථාවට හිතේ විතක්‌කයක්‌ තියෙයි, විචාරයක්‌ තියෙයි, ප්‍රීතියක්‌ තියෙයි, සුඛයක්‌ තියෙයි කියලා නේ. නැහැ. එහෙම තැනකින් නො වෙයි. ඒ ධාන අංග යෙදෙන්න පුළුවන්, නමුත් ධ්‍යානය කියන්නේ වෙන එකක්‌. 

මේ ධ්‍යානය වෙන මුකුත් නො වෙයි. "මේ ඉදිරියට පෙනෙන අරමුණ අරභයා කාමසහගත සංයෝජනය නැතිකම නිසා ම, නීවරණ නැතිකම නිසා ම" - විවිචෙචව කාමෙහි විවිෙච්චව අකුසලෙහි - වත්ථුකාම, ක්‌ලේශකාම - ක්‌ලේශකාමයට තමයි නීවරණ කියලා කිව්වේ. වත්ථුකාම කියලා කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්‌ඨබ්බ ධර්මයන්ට එල්ල වී පවතින මනස. වත්ථුකාම, ක්‌ලේශකාම කියන දෙකෙන් මිදීමට තමයි විවිචෙචව කාමෙහි විවිෙච්චව අකුසලෙහි - කාමයන් ගෙන් වෙන් ව, අකුසලයන් ගෙන් වෙන් ව- කාමයයි, නීවරණයයි දෙක නැතිකම නිසා හටගත්ත ප්‍රමෝදයටයි ප්‍රීතිය. ප්‍රමෝදය මේ ප්‍රීතිය. ඒ ප්‍රීතිය නිසයි සැපය.

එතකොට මේ සාමාධිය විතක්‌ක සහිතයි, විචාර සහිතයි, හැබැයි ප්‍රීතියකින්, සැපයකින්, යුක්‌ත එකක්‌ බවකුත් තියෙයි. අන්න ඒ සමාධියට පෙනෙනවා මේ පඤ්චඋපාදනස්‌කන්ධය කියන තැන සත්ත්ව - පුද්ගල නො වූ ධර්මතාවක්‌ තියෙන්නේ, හේතු ප්‍රත්‍යයයි. විඤ්ඤාණය නිසයි නාමරූප, නාමරූප නිසයි සළායතන, සළායතන නිසයි ඵස්‌සය, ඵස්‌සය නිසයි වේදනාව. තව පැත්තකින් ගත්තොත්, විඤ්ඤාණය නිසයි මේ සිතේ තියන නාම ධර්මයි, රූපයි පවතින්නේ. ඒ නාම රූප දෙක නිසයි සිත පවතින්නේ. සිතිවිලිවලට රූපයයි, සිතයි උපකාරයි, සිතට නාමරූප දෙක උපකාරයි. රූපයට සිතයි සිතිවිලියි උපකාරයි. ඔවුනොවුන් ඔවුනොවුන්ට උපකාර කරගත්ත පැවැත්මක්‌ තියෙන්නේ. 

ලිප් ගල් තුනක්‌ උඩ මුට්‌ටියක්‌ තියෙනකොට මුට්‌ටිය උඩ තියාගෙන ඉන්නේ එක ගලකින් නො වෙයි. ගල් දෙකකිනුත් නො වෙයි. මේ ගල අනෙක්‌ ගලට උපකාර වෙලා, අනෙක්‌ ගල අනෙක්‌ ගලට උපකාර වෙලා, අනෙක්‌ ගල අනෙක්‌ ගලට උපකාර වෙලා තුන්දෙනා සමගි ව බෙදාගෙන තමයි මුට්‌ටිය උඩ තියලා තියෙන්නේ. මුට්‌ටිය උඩ තියෙන එක මේ ගල් තුනේ ක්‍රියාවට පෙර වත් පසු වත් නැහැ. එක ගලක්‌ අහකට ගත්තොත් මුට්‌ටිය වැටෙයි. ගල් දෙකක්‌ අහකට ගත්තොත් මුට්‌ටිය වැටෙයි. ගල් තුන ම අහකට ගත්තොත් මුට්‌ටිය වැටෙයි. මේ තුන් දෙනා මුට්‌ටිය උඩ තියාගෙන ඉන්න හොඳ සමගි බවක්‌ කරලා තියෙන්නේ. එක එක්‌කෙනා පැත්තට ඇද්දොත් ඇද වෙනවා මුට්‌ටිය. ඔවුනොවුන්ට උපකාර වෙලා. අඤ්ඤමඤ්ඤයි කියලා තියෙන්නේ. මේ ගල උපකාරයි මුට්‌ටිය උඩ තියාගෙන ඉන්න, මේ දෙන්නත් උදවු කරලා තියෙන්නේ. ඒ දෙන්නා උපකාර කරලා තියෙන්නේ එකක්‌ එකකට, දෙකක්‌ එකකට, මේ විදිහට ඔවුනොවුන්ට උපකාර කරගෙන තමයි මේ මුට්‌ටිය උඩ තියාගෙන ඉන්නේ. 

ඒ වගේ සිත සිතිවිලිවලට, සිතිවිලි සිතට, ඒ දෙන්නා රූපයට, රූපය ඒ දෙන්නාට උපකාර කරලා තමයි මේ පවත්වාගෙන ඉන්නේ, මෙතන මෙහෙම පැවැත්මක්‌ තියෙන්නේ. ඔය ටික පෙනෙනවා. එහෙනම් මේ ආහාර ප්‍රත්‍යයෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්‌ස, වේදනා කියන ටික ඔවුනොවුන්ට උපකාරීව වැටෙන්නට නො දී මුට්‌ටිය උඩ තියලා වගේ මේ ජීවිතය පවත්වලා තියෙනවා. මැරෙන්නේ නැහැ. ජීවත් වෙනවා. 

මේ මුට්‌ටිය උඩක තියෙන්නේ මුට්‌ටියේ බලයකින් නෙවෙයි කියන එක මතක තියාගන්න. මේ තුන්දෙනා ගේ සමගියෙන්. මේ මැරෙන්නේ නැහැ කිsයන ටික තියෙන්නේ "තමන්" මැරෙන්නේ නැතිකම හින්දා නො වෙයි. "තමන් ගේ" ජීවිතයේ හැකියාවක්‌ හින්දා නො වෙයි - විඤ්Æණය නාමරූප දෙකටත්, නාමරූප දෙක විඤ්Æණයටත්, නැත්නම් චිත්ත චෛතසික රූපයටත්, රූපය චිත්ත චෛතසික ටිකටත් කියලා ඒ තුන් දෙනා ගේ සමගි බව නිසයි. ඔය තුන්දෙනා ඔවුනොවුන්ට කරන උපකාරය, උපස්‌ථානය නිසයි මේ ජිවිතීන්ද්‍රිය පවතින්නේ. ජීවත් වෙනවා කියන්න තියෙන සාක්‌ෂිය ජීවත් වෙන එක. ඔය ටික පෙනෙයි.

එහෙම වුණහම මේ තුන් දෙනා මෙතැන සමගිය පවත්වනවා කියන ටික වෙනවා. මෙතැන හැදෙන්න හේතුව මොකක්‌ ද? පෙරත් මේ වගේ ම සමගි බවින් පවත්වද්දී ඒ සිද්ධිය නො දැන කෙනෙක්‌ ජීවත් වෙනවා කියන වැරැදි අදහස මත ඇති කරගත්ත ක්‌ලේශය හේතු වුණා මේ වගේ ධර්මතා ටිකක්‌ හදන්න කියන ටික පෙනෙයි මේ පින්වතුන්ට. 

අදත් මේ ධර්ම තුන ඔවුනොවුන්ට උපකාරීවයි මේ ජීවිතය කියන එක පවත්වලා තියෙන්නේ, මුට්‌ටියක්‌ උඩ තියාගෙන වගේ. අද මේ ටික නො දැක්‌කොත්, අද ඇති කරගත් "පුද්ගලයෙක්‌" ජීවත් වෙනවා, "මම" ජීවත් වෙනවා., "මම" මේ වැඩ කරනවා කියන මේ වැරැද්ද හේතුවෙන් කෙළෙස්‌ ඇති කරලා, නැවතත් මේ මුට්‌ටියක්‌ උඩ තියාගෙන ඉන්නවා වගේ මේ හේතු තුන පවත්වන්නේ කියල දකිනවා කියන එක වෙයි. අන්න ඒ දැකීම කියන ඒ දැකීමට කියනවා "දිට්‌ඨිසම්පන්නයි" කියලා. 

එදාට බුදුහාමුදුරුවෝ කිව්වාට නො වෙයි, කවුරුවත් කිව්වාට නො වෙයි, මේ සත්ත්වයෙක්‌ පුද්ගලයෙක්‌ ඉන්නවා කියලා කියන්නේ නැහැ. සක්‌කායදිට්‌ඨිය කියන එක නැත්තේ, විචිකිච්ඡාව කියන එක නැත්තේ බුදුහාමුදුරුවෝ කෙරෙහි විශ්වාසයකින් නො වෙයි. බුදුහාමුදුරුවෝ කිව්වා නම් ඇත්ත වෙන්න ඇති කියන තැනකිsන් නො වෙයි. ඇදහීමක්‌ නො වෙයි තියෙන්නේ. තමන් ම දකිනවා ප්‍රත්‍යක්‌ෂ ඥනයෙන්. 

ඊට පස්‌සේ එතැන ඉඳලා එයාට ඒ දර්ශනය පුන පුනා දැනිලා තියෙනවා. ඒකේ තවත් ප්‍රභේද තියෙයි. 

සෝවාන් වෙනකොට විතරක්‌ මේ ඕදාරික නාමරූප දෙකට පටිච්චසමුප්පාද ධර්මතාව දක්‌නවා "පෙර ජීවිතයෙන්". 

ඊට පස්‌සේ සකදාගාමී, අනාගාමි වෙද්දී "අරමුණක්‌ අරමුණක්‌ ගානේ" නාමරූප දෙකක්‌ තියෙනවා කියන තැනකින්a පඤ්චඋපාදානස්‌කන්ධ දුක්‌ දකිනවා. පටිච්චසමුප්පාදය දකිනවා ඒ අරමුණට, ඊට ඉස්‌සෙල්ලා අරමුණත් පෙර අවිද්‍යා සංඛාරයි කියලා "ක්‌ෂණිකව ජීවිතයට" දකිනවා. ඒ තරම් ඕනේ නැහැ. මේ පැවැත්ම න්‍යාය එක මයි. එතකොට ඒ ටිකට නුවණ මේ පින්වතුන්ට පහළ වෙයි අපහසුවකින් තොර ව. 

දැනට මෙන්න මේ ධර්මතා ටික තේරුම් කරගන්න. නිවන් දකින්න කියලා මොනවා හරි දෙයක්‌ කරන්න එපා. නිවන් දකින්න මොකක්‌ ද කළ යුත්තේ කියන ටික ඉස්‌සෙල්ලා බලන්න කියන එක මතක්‌ කරනවා. මොකද මෙහෙම පැවැත්මක්‌ තියෙන නිසා. 

පින්වතුන් පාර මැද්දේ ගිහිල්ලා වාහනයකට හැප්පුණොත් මැරෙන්නේ තමන් මයි. මේ පින්වතුන් බොහෝම බයෙන් පාරේ අයිනට ම වෙලා ගියත්, වාහනයේ කෙනා ගේ 

වැරැද්දෙන් ඇවිල්ලා ඇගේ හැප්පුණොත්, අනුන් ගේ වැරැද්දෙන් හැප්පුණත් මැරෙන්නේ තමන් නිසා අපට වෙනවා, අපි නිවැරැදි වුණත් අනෙක්‌ කෙනාට වරදියි ද කියලා බලාගෙන ඉන්න. 

ඒ වගේ නිවන් දකින්න යන ගමන් මාර්ගයේ දී තමන්ට හම්බවෙන දෙය එහෙම ම ගන්නේ නැති ව මේක මෙහෙම වෙන්න පුළුවන් ද කියන එක ටිකක්‌ විමසිලිමත්ව බලන එක හොඳයි. තමන්ට වැරදුණත්, අනුන් ගේ වැරැද්දෙනුත් දෙකෙන් ම සසරට යන්නේ අපි නිසා. මේ පින්වතුන්ට සමාවක්‌ නැහැ. මට බණ කියලා දුන්න කෙනා කියා දුන්න ක්‍රමය වැරුදුණා නේ කියන තැනකින් තමන්ට වැරැදුණත්, අනිත් අය ගේ වැරැද්දෙනුත් සසරට යන්නේ මේ පින්වතුන් නිසා. මම කියලා දෙන දෙය වැරදුණා කියලා මේ පින්වතුන්ට සමාවක්‌ නැහැ, අනේ අපි දන්නේ නැහැ. අපට කියලා දුන්න දෙය නේ අපි කළේ කියන තැනකින් අපට සමාවක්‌ නැති නිසා සුදුසුයි ටිකක්‌ විමර්ශනය කිරීම, සුදුසුයි ටිකක්‌ සිතීම.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සිංහල බුද්ධාගමේ විශේෂතා

කැලණිය විශ්ව විද්‍යාලයේ 
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය 
ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ලෝකයේ බෞද්ධ සම්ප්‍රදායන් අතරින් ලංකාවේ බුදු දහම තරමක වෙනස් ස්වරූපයක් ගනී. එසේ වෙනස් වනු ලබන්නේ කාරණා කිහිපයක් මතයි. ලංකා බුදු දහම දාර්ශනික ආගමික හා සංස්කෘතික සංයුතීන්ගෙන් සමන් විතයි. බටහිර ලෝකයේ බුද්ධාගම දාර්ශනික පදනමක් මත පවතින්නක්. භාවනාව, ආර්ය සත්‍යය , අනිත්‍යය, පටිචිච සමුප්පාදය වැනි දාර්ශනික ප්‍රපංච වැඩිපුර හදාරමින්ද, භාවනාව ප්‍රායෝගිකව කරමින්ද,බටහිරයන් විසින් බුද්ධාගම භාවිත කරනු ලබයි. ඔවුන් එසේ කරනු ලබන්නේ හදවත් රෝග,කොලෙස්ටරෝල් , දියවැඩියාව , වැනි රෝගවලට ප්‍රතිකාරයක් ලෙස භාවනාව භාවිත කිරීමට හැකියාව ඇතැයි දැනගත්ත දින සිටම බුද්ධාගම තවත් එක්තරා රෝග නිවාරණ වැඩ සටහනක් සහ රෝග නිවාරක ක්‍රමෝපායන් සහිත ඉගැනිවීමක් ලෙස විශ්වාස කිරීම නිසායි. සාංඝික දාන, බෝධිපුජා , බුද්ධ පූජා, වන්දනා ගාථා කීම් , පිරිත් සජ්ඣායනා ඔවුන් තුළ නැති තරමි ඔවුන් විසින් හදාරනු ලබන්නාවූ බුදු සමයෙහි විශේෂයෙන්ම දක්නට ලැබෙන්නේ දාර්ශනික ප්‍රස්තුතයන් හැදෑරීමයි. . පටිච්ච සමුප්පාදය, හේතුඵල නියාමය පිළිබඳ හැදෑරීම බුදුපියාණන් වහන්සේගේ ලෝකය සත්ත්වයා හා පිළිබඳ සැබෑව සාකච්ජා කරනු ලබන ධර්ම පර්යායන් සාකච්ජා කිරීම වැනි කරුණු ඉතා පහසුවෙන් ස්වකැමැත්තෙන් හැදෑරීමට ඔවුන් පෙළඹෙයි. පෙරහර , කඨීන උත්සව බුද්ධ පූජා, බෝධි පූජා වැනි ශාන්ති කර්ම ඔවුන් තුළ නැති අතර ඔවුන් බහුල වශයෙන් සාහිත්‍යාගත කරුණු, ජාතක කතා ධම්මපද අටුවා කතා , වැනි කතාන්තර විශේෂයන් සමඟ හැදෑරීම් කරනු ලබන්නේ අල්ප වශයෙන්. එකී රටවල විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ෙ හී පර්යේෂකයන් විසින්, යමි තරමක් හැදෑරීම් කරන බව සත්‍යය වුවත් ඔවුන් අතර ආගමක් වශයෙන් ඇදහීමක් ලෙස කරුණු සාකච්ජා කරනු ලබන්නේ ධර්ම කාරණා සම්බන්ධව පමණයි.

ආසියාවෙහි තායිලන්තය , කොරියාව, වැනි රටවල බුදු සමය පවතින්නේ කොටස් ලෙස නොවෙයි. මහායාන බුදු සමය සහිත කොරියානු දේශයෙහි එකසිය අටවරක් බුද්ධ වන්දනා කරම්න් යෝග ව්‍යායාමයක ස්වභාවය කින් ඔවුන් බුදුසමය භාවිත කරයි. එහිදී ඔවුන් ගැඹුරු ගාමිභීර ධර්ම ප්‍රස්තුතයන් සාකච්ජා කරන්නේ නැහැ. එකසිය අටවරක් දණ්ඩ නමස්කාර කිරීම ඔවුනගේ ලොකු ආගමික කාර්යයක් ලෙස ඔවුන් සලකයි. තායිලන්තය වැනි රටක ඉතාම බහුල වන්දනා සහ පුද පූජා මූලස්ථාන යෙහිලා ක්‍රියාකිරීම , රත්තරන් පත්‍රිකා පිළිමවල ඇලවීම, මියගිය ඥාතියාගේ මිනිය මාස ගණන් තබාගෙන බුදුවරයකුගේ නමක්ද ආරෝපණය කොටගෙන පරිත්‍රාණ සජ්ඣායනා කිරීම විශාල වශයෙන්, උත්සව පැවැත්වීම විශාල වියදමක් දරා දම්පහන් පූජා කිරීම, වැනි වත් පිළිවෙත් පිළිබඳව ඔවුන්ගේ දැනුම, ඔවුන්ගේ හැසිරීම ප්‍රබලයි. ඒ අනුව ඔවුන් අතරද, මේ කියන්නාවූ ආගමික ස්වභාවයක් තියෙනවා.
පෙර කී යුරෝපීය ජාතිකයන් අතර බුදු සමය දාර්ශනික පදනමක් මත ව්‍යාප්තව තිබෙද්දීත් බොහෝ ආසියාතික රටවල පුද පූජාමය වන්දනාමය චර්යාවන්, ශාන්තිකර්ම ප්‍රමුඛ කොටගෙන බුදු සමය පවතිද්දී වර්ග කිලෝමීටර් හැටපන් දහස් හයසිය තිස් දෙකක සමුද්‍රයෙන් වටවූ මනස්කාන්ත පින්බිමක් වන ශ්‍රී ලංකාවේ බුද්ධාගම පවත්වාගෙන එනු ලබන්නේ සංස්කෘතික සුවඳ සහිත ඉගැන්වීමක් ලෙසයි .
ලංකාවේ ස්වාමීන්වහන්සේලා, ලංකාවේ බෞද්ධයන් බුදු සමය දකින්නේ ඔවුන්ගේ ප්‍රාණය ලෙසයි. තවත් ආකාරයකින් කියනවා නම්, තායිලන්තය තුළ 96%ක් 97% ක් පමණ බෞද්ධයන් වුවත් ඔවුන්ගෙන් 98%ක් 99%ක්ම මස් ආහාරයට ගනු ලබයි. ස්වාමීන්වහන්සේ නමක් ග්‍රාම සංවර්ධන සමිතියක සාමාජිකයකු ලෙසවත් ක්‍රියාකරන්නේ නැහැ. අවම වශයෙන් මූලාසනයකටවත් ගනු ලබන්නේ නැහැ. මෙම සියයට අනූවට වැඩි බෞද්ධ රටෙහි කිසිදු ස්ථානයක් බෞද්ධ කොඩිය දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම කිසිඳු ස්ථා නයක දන්සැල් තොරණ පවත්වන්නේ නැහැ. රජයේ නිවාඩු දිනයක් ලෙස පොහොය දවසට අප වගේ පන්සල් යනු ලබන්නේ නැහැ. ඒ අය බුදු සමය ඉතාම ශ්‍රද්ධාවෙන් පමණ ඉක්මවා යන ප්‍රමාණාතික්‍රාන්ත භක්තියෙන් වන්දනා කිරීම ඔවුන්ගේ සිරිතක් . විශාල වශයෙන් වියපැහැදම් කරමින් මහා සංඝයාට පුද පූජා පැවැත්වීම සිරිතක්. කාන්තාවක් කිසිඳු පූජාවක් සිය අතකින් ස්වාමීන්වහන්සේලාට පූජා කරන්නේ නැහැ. ඒ තරමට ඔවුන් බණ අහන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ලා බණ දේශනා කරන්නේ නැහැ. ඒ නිසා සමාජයේ නියාමන බලයක් භික්ෂූන් වහන්සේට උරුම නැහැ. කිසිදු ස්ථානයක් සමාජ නායකත්වයක් ස්වාමීන් වහන්සේලාට නැහැ. ඒ අනුව අප රටතුළ පවතින්නේ විශාල වශයෙන්ම සුවිශේෂී වූ බුදු දහමක්. එම සුව්ශේෂී වූ බුද්ධාගමේ තිබෙන ලක්ෂණ අතරට සාමාන්‍ය ගමක පන්සලෙහි ස්වාමීන් වහන්සේ ගමේ නායකවත්ය උසුලමින් , ගමෙහි සමිති සමාගම්වල අනුශාසකත්වය දරමින්, ගමෙහි ශාන්ති කර්මවලට උපදෙස් දෙමින් , ගමේ දරුවන්ට නම් තබන්නේත්, දරුවන්ට අකුරු කියවමින් පන්සලේ ස්වාමීන් වහන්සේයි. ගමේ දැවැන්ත වැඩ කොටසක්, ඉටුකරමින් පවුලේ සාමාජිකයකු සේ නායකත්වය රැගෙන කටයුතු කරනු ලබයි. පසුගිය දශක ගණනාවකට පෙර එක් දහස් අටසිය ගණන් වල අගභාගයෙහි සහ එක්දහස් නවසිය ගණන්වල මැද භාගය වන තෙක්ම ස්වාමීන් වහන්සේලා ග්‍රාම සංවර්ධනයෙහි මංමාවත් තැනීමෙහි, පාසල් තැනීමෙහි, ගම් පුළුල් කරමින් වෘත්තීය නිපුණයන් බවට පත්කරමින්, ග්‍රාමීය ස්වයං රැකියා බිහිකරමින් ගම් දනවි දියුණු කරමින් ඉතාම ඉහළ වැඩ කොටසක් කරනු ලැබුවා වගේම උන්වහන්සේලා දේශපාලනයෙහිද නියුක්ත වුණා. දේශපාලන ව්‍යාපාරයක් සමඟ භික්ෂුන් වහන්සේලාගේ සමාජ නායකත්වය ක්‍රමයෙන් අඩු වුණත්, අද වන තෙක් උන්වහන්සේලා සංස්කෘතික බුද්ධාගමක් ලෙස මෙරට පවත්වාගෙන යයි. අපේ අය අතරින් බහුතරයක් සංස්කෘතික බෞද්ධයන් වන අතර ඔවුන් අතර නිර්වාණය , විමුක්තිය , මෝක්ෂය. පටිච්ච සමුප්පාදය, ආර්යය සත්‍යය චතුස්කය අෂ්ටාංගික ආර්යය මාර්ගය, වැනි මාතෘ කා පිළිබඳව දාර්ශනික ඤාණයක් නැහැ. එහෙත් ඔවුන් අතර බෝධි පූජා, පිරිත් සජ්ඣායනා , බහුල වශයෙන් තිබෙන අතර එම දෙකටම අමතරව ස්වාමීන් වහන්සේලාගේ සමාජ නායකත්වය ඔවුන් විසින් පිළිගනු ලබනවා. මේ සියල්ල සිදුවන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ලංකාව තුළ ඇතිකළ විශේෂ බුද්ධාගම හේතු කොටගෙන. බුදු හාමුදුරුවන් ගේ බුද්ධාගමටත් වඩා මිහිඳු මහ රහතන් වහන්සේ ලාංකේය බුද්ධාගමක් නිර්මාණය කළ බව කිව යුතුයි. උන්වහන්සේ විශේෂයෙන්ම සිතාමතාම දේවදූත සූත්‍රය දේශනා කළා විය හැකියි. අපාය, යමලෝකය පිළිබඳ විශාල විස්තරයක් දේවදූත සූත්‍රය තුළ අන්තර්ගතයි. මිහඳු මහ රහතන් වහන්සේ වැඩි විට මේ රෙටි මිනිසුන් මිලේච්ජයන් හෝ සත්ත්ව ඝාතකයන් ව හෝ සිටියා කියා කිව නොහැකියි. දේවානම් පියතිස්ස රජතුමා දුණු ඊතල රැගෙන මුවා පසුපස එලෙවීමේ කතාපුවත මගින් පමණක් සමස්තය තීන්දු කිරීමෙහි හැකියාවක් නැහැ. එම නිසා මිලේච්ජ පරිසරයක් තිබුන බවට කිසිසේත්ම ප්‍රකාශ කළ නොහැකි තරමට දියුණු ජනතාවක් වාසය නොකළා නමි, රජ්ජුරුවන්ගේ ප්‍රශ්න වටහා ගැනීමේ හැකියාව සහ මහජනතාවට පාලියෙන් දේශනා කරනු ලැබුවාවූ බණ තේරුම් ගැනීමේ හැකියාව පිළිබඳව ප්‍රශ්න කළයුතුයි. මේ සමිබුද්ධ ශාසනය හොඳින් වැළඳගනු ලැබුවේද හොඳ අවබෝධයක් තිබුණ නිසයි. එවකට සංවිධිත ආගමක් නොතිබුණ නිසාම බුදු දහම සංවිධිත ආගමක් සේ මෙහි මුල් බැස ගත්තාය කියන නිගමනයට වඩ ා මිනිසුන් වඩාත් යහපත් ස්ථානයක් බුදු සමය තිබෙන බවට එම ජනතාව තේරුම් ගත්ත බව සිතිය හැකියි. අරිටිඨ කුමාරයා , අනුලා කුමරිය ඇතුළු පිරිස පැවිදි වෙන්නේ එම නිසයි. ඒ වගේම ධර්මාශෝක අධිරාජ්‍යයාගේ අධිරාජමය බලාරෝපණය හේතු කොටගෙන, මිහිඳු මහ රහතන් වහන්සේ ධර්ම නියෝජිතයකු ලෙස නොව. රාජ්‍ය නියෝජිතයකු ලෙසට සිතීමට පත් දේවානම් පියතිස්ස රජතුමා විසින් පිළිගත්තාය කියන තැනට වඩා යුක්ති සහගත සාධාරණ වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ශාන්තියේ ධර්මය වඩාත් ආදරයෙන් සහ අවබෝධයෙන් පිළිගත් බවයි.
දේවදූත සුත්‍රය වැනි දේශනා කර දෙමවිපියන්ට ගරුකිරීම, ඥාතීන්ට ගරු කිරීම, වැඩි හිටියන්ට ගරු කිරීම, දේව දූත ස්‍රත්‍ර පර්යාපන්න යම ලෝකය පිළිබඳව විස්තරය මගින් මිහිඳු මහ රහතන් වහන්සේ අපේක්ෂා කරන්නට ඇත්තේ වඩාත් ආචාරශිලී සමාජයක් නිර්මාණය කරගැනීමයි. . චුල්ල හත්ථී පදෝපම සූත්‍රය වැනි සූත්‍රද දේශනා කරමින්, අනත්ත ලක්ඛණ සූත්‍ර ඛණ්ඩය වැනි ගාමිභිර ධර්ම පර්යායන් දේශනා කරන අතර වාරයේ සමාජය යහමගට ගැනීමට යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසා තරමක, ශික්ෂණයකට පත් වෙමින් සිටින්නාවූ ජනතාවට පාපය පිළිබඳව භීතිය ඇතිකිරීමට දේවදූත සූත්‍රය වැනි සූත්‍ර දේශනා කරන්නට ඇති. පසුකාලීනව ඉතාම හොඳින් සංවර්ධනය වුණ යමලෝකය පිළිබද ච්ත්‍ර, දේවදූත සූත්‍රය මැනවින් අන්තර්ගතයි.
ලංකාව තුළ “වහන්සේ ”යනුවෙන් සඳහන් කරනු ලබන්නේ පොත් දෙකයි. ධම්ම පදයටවත් ධම්මපද වහන්සේ යනුවෙන් හඳුන්වන්නේ නැහැ. “වහන්සේ ”යන වචනයට ඉංග්‍රීසි තේරුමක්ද, නැතිවාසේම එම වචනය ඉංග්‍රිසියටද පාලියටද පරිවර්තනය කළ නොහැකියි. පාලියෙන් බුද්ධෝ යනුවෙන් බුදු රජාණන් වහන්සේ හඳුන්වන අතර සංස්කෘතියෙන් බුද්ධං යනුවෙන් හඳුන්වයි. ඉංග්‍රීසියෙන් ද ලෝඩි බුද්ධ යනුවෙන්ද සිංහලයට බුදුරජාණන් වහන්සේ යනුවෙන්ද අමාමෑණිබුදු පියාණන් වහන්සේ යනුවෙන්ද මවටද එහා ගිය පියාටද එහා ගිය ස්ථානයක තබා වැඳුම් පිදුම් කිරීම ලංකාව තුළ ජීවත් වන මිනිසුන් ගේ ක්‍රමයයි.
ලංකාව තුළ “වහන්සේ ”යන වචනය පාවිච්චි කරනු ලබන්නේ පොත් වලින් “පිරුවාණා පොත් වහන්සෙටයි, ජාතක පොත් වහන්සේටයි” පමණයි. පිරුවාණා පොත් වහන්සේ විසින් ලංකාවේ සංස්කෘතියද ජාතක පොත් වහන්සේ විසින් ලංකාවේ සාහිත්‍යයද නිර්මාණය කළා. හිසින් පිරුවට ඔතාගෙන පිරුවට යට පාවඩ මත තබා වඩම්වන ලද පොත් දෙක පිරුවානා පොත් වහන්සේ සහ ජාතක පොත් වහන්සේයි.එම පොත් දෙකම ලංකාව තුළ සාදා නිමකරනු ලැබුවත් එම පොත් දෙකම ත්‍රිපිටකය තුළ තිබෙන පොත් නොවෙයි. මහ පිරිත් පොත් වහන්සේ නිර්මාණය වී අවසන් වූයේද මිහිඳු මහ රහතන් වහන්සේගේ කාලයේ සිට නොවන අතර එය මහනුවර යුගයට අයත් වූවක් වෙයි. ඒ්තරමට පිරිත් පොත ලාංකේය වී අවසානයි. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ලංකාවට ලාංකේය බුදු දහමක් හෙවත් සිංහල බුද්ධාගමක් හදුන්වා දුන් බව සදහන් කළ යුතුයි. අතු ඉති ලියලා මහා දැවැන්ත වෘක්ෂයක් සේ හැදී වැඩී අද වන විටත් මේ රටට මහා වෘක්ෂයක් සේ සෙවන දෙන්නේ එකී මිහිඳු මහ රහතන් වහන්සේගේ සිංහල බුද්ධාගමයි

වහ වහා ඉවත් කළ යුතු සැකය

කඩුගන්නාවේ මුදලිවත්ත 
දීපාලෝක විහාරාධිපති 
නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි

සැකය නම් සිතිවිල්ලකි. යමක් හෝ යමෙක් පිළිබඳ නිශ්චිත වැටහීමක් ,අවබෝධයක් නැති විටෙක උපදින්නේ සැකයයි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම පිළිබඳ සැකයෙන් උන්වහන්සේ වෙත ආ බමුණන්, නිගණ්ඨයින් වැනි අය තථාගත දේශනාව අවසානයේදී, යටිකුරු කරන ලද්දක් උඩුකුරු කළාසේ, වසා තුබූ දෙයක් විවර කළ දැක්වූවාසේ, මංමුලා වූවෙකුට මග කියා දුන්නාසේ, අඳුරෙහි සිටියෙකුට පහනක් දැල්වුවාසේ ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම වැටහුණේයැයි, කරන ලද ප්‍රතිචාර දැක්වීමෙන් පෙනෙන්නේ දේශනාව අවසන සැකය තුරන් වු බවයි.
අනවශ්‍ය හෝ නිෂ්ප්‍රයෝජන දෙයක් ළඟ තබා ගැනීම හිරිහැරයකි. එනිසාම එවැනි දේ බැහැර කිරීමට අපි හුරු වී සිටිමු. භෞතික වස්තූන් පිළිබඳ මෙය අනුගමනය කළත් බොහෝ දෙනෙකු නොදන්නා කරුණ නම්, අප හැම කෙනෙකුගේම සිත්වලත් එවැනි අනවශ්‍ය නිශ්ප්‍රයෝජන දෑ තිබෙන බවයි. බුද්ධ දේශනාව පැහැදිලි කරන ක්‍රමයට අප හැම දෙනාගේම සිත්වල අවශ්‍ය හා අනවශ්‍ය යන දෙයාකාර සිතිවිලි උපදී.ඒවා වෙන්කර හඳුනා ගත හැක්කේ ප්‍රත්‍යවේක්ෂණය හෙවත් සිතිවිල්ලක් ඇති වූ විට ඒ සිතිවිල්ල දෙස නුවණින් විමසා බලන්නෙකුට පමණි.
සිත කිලිටි කරන, අපිරිසුදු කරන සිතිවිලි කෙලෙස් යනුවෙන් දහමෙහි සඳහන් වෙයි. ඒ අතරින් ඉතා භයානක සිතිවිලි පහක් නීවරණ යනුවෙන් දැක්වෙයි. ඒවා කාමච්ඡන්ද , ව්‍යාපාද, ථීන මිද්ධ, උද්ධච්ඡ, කුක්කුච්ඡ, විචිකිච්ඡා යනුවෙන් උගන්වයි. මේ අතරින් විචිකිච්ඡා යනුවෙන් දැක්වෙන්නේ සැකයයි. අට්ඨ කථාව සැකය පිළිබඳ ඉදිරිපත් කළ අර්ථ දැක්වීම් දෙකක් මෙහි ලා දක්වමි. “සභාවං විචිනන්තෝ තාය කිච්චති කිලමතීති විචිකිච්ඡා ‘යමක නියමධර්ම ස්වභාවයක් සොයාගැනීම සඳහා, සංකා සහිත ඇතිකර ගනු ලබන සිතිවිල්ල සැකය නම් වන බව අට්ඨ කතාවේ අර්ථ දැක්වීමයි.

සැකය ප්‍රභේද වශයෙන් අවස්ථා අටක් හැටියට අභිධර්මයේ දැක්වෙන අතර, සබ්බාසව සූත්‍රයේ 16 ආකාර වශයෙන් දැක්වෙයි. ශාස්තෘවරයා පිළිබඳ ඇති කරගනු ලබන සැකය, ධර්මය පිළිබඳ ඇති සැකය, සංඝයා පිළිබඳ ඇති සැකය, ශික්ෂා පිළිබඳ සැකය, අතීත භවය හා අනාගත භවය, පිළිබඳ සැකය,අතීතානාගත භව පිළිබඳ සැකය හා හේතු ඵල ධර්මය පිළිබඳ සැකය යන මේ අවස්ථා පිළිබඳ ඇතිකරගනු ලබන සැක සහිත බව බුද්ධාදී අටතැන උපදින සැකය ලෙස දහමෙහි සඳහන් වෙයි. මේ අවස්ථාවන්හි කෙනෙකු තුළ සැකය පහළවන්නේ කෙසේදැයි විමසාබැලීම වැදගත්යැයි සිතමි. තථාගතයන් වහන්සේ සියල්ල දක්නා නුවණක් ඇති සර්වඥය, එමෙන්ම දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හා අනු ව්‍යංජන ලක්ෂණ අසුවකින් සමන්විත යැයි කියති. මෙවැනි අසිරිමත් ලක්ෂණ ඇති මිනිසුන් පහළවිය හැකිදැයි කෙනෙකුට සැක ඇති කළ හැක. එය ශාස්තෘන් වහන්සේ පිළිබද සැක කිරීමයි. දහමෙන් කියවෙන්නේ කෙලෙස් තවන නිවන් මගයි. කෙලෙස් නැති කරන තැනැත්තා ක්‍රමයෙන් සෝවාන් ආදි මාර්ග හා ඵල පිළිවෙලින් ලබයි. ඒ තුළින් සියලු දුක් නැතිකර දමන බව කියවෙයි. මේ ලොව්තුරා දහමෙහි ඇති විශේෂතාවයි. මෙය ඇත්තක්ද? එලෙස කෙලෙස් සංසිඳවාලීමට හැකියාවක් ඇද්ද? ආදි වශයෙන් සැක ඇති කළ හැක. ඒ දහම පිළිබඳ උපදනා සැකයයි. සතර මගපල ලද සඟුන් සිටිය හැකිද ඔවුන් සුපටි පන්නාදී ගුණ වලින් සමන්විතද? දන් දීමාදියෙන් පින් සිදු කරගත හැකිද? ආදි වශයෙන් ඇති කරගනු ලබන සැකය තෙවැන්නයි. සීල සමාධි, පඤ්ඤා යන කරුණු දහමෙහි දැක්වෙන්නේ ශීක්ෂණ ධර්ම වශයෙනුයි. පුද්ගලයෙකු ශික්ෂණයට පත් කරනු ලබන බැවින් ඒ නම භාවිත කෙරේ. එකී ශික්ෂණ ධර්ම අනුගමනය කිරීමෙන්, ශික්ෂණයට පත්විය හැකිදැයි ඇති කරගනු ලබන සැකය, සික්ඛාය කංඛති යනුවෙන් දැක්වෙයි. අතීතයේ මා විසුවේද? නොකඩවා එන භව ගමනක් ඇද්ද?
එසේ නොවේද ආදි වශයෙන් අතීත භවය පිළිබඳ ඇතිවන සැකය, පුබ්බන්තේ කංඛති යනුවෙන් දැක්වෙයි. එමෙන්ම මරණින් පසු ජීවිතය පිළිබඳ ඇතැමුන්ට සැක මතුවිය හැක. මරණින් පසු නැවත භවගාමී ජීවිතයකට හිමි කමක් තිබේද? නැද්ද? ආදී වශයෙන් ඒ පිළිබඳ සැක මතු කෙරේ. ඇතැමුන්ට මෙලෙස අතීත හෝ අනාගත භව පරපුරක් තිබේදැයි සැකයක් මතුවීමටද පුඵවන. බුද්ධ කාලයේදීද එවැනි සැක මතුකළ අවස්ථා පිළිබඳ සුත්‍රදේශනාවලද සඳහන් වෙයි.අතීත හා අනාගත භවයන් පිළිබඳ ඇති කරගනු ලබන සැකය, පුබ්බාපරන්තේ කංඛති යනුවෙන් දැක්වෙයි. සත්වයාගේ උපත හේතු ඵලසමවායක ප්‍රතිඵලයක් යැයි ඉදිරිපත්වූ බෞද්ධ මතය පිළිබඳවද , බොහෝ දෙනා තුළ සැක මතුවිය. විශේෂයෙන් නිර්මාණවාදී සංකල්ප සමාජගතව තිබුණු අවදියක, හේතු ඵලවාදි ඉගැන්වීම දෙස සැකයෙන් බැලීම පුදුමයට කරුණක්ද නොවේ. පටිච්ච සමුප්පාද දහම පිළිබඳ සැකය, ඉදප්පච්චයතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු කංඛති යනුවෙන් දහමෙහි සඳහන් වෙයි.
සැකය නම් සිතිවිල්ලකි. යමක් හෝ යමෙක් පිළිබඳ නිශ්චිත වැටහීමක් ,අවබෝධයක් නැති විටෙක උපදින්නේ සැකයයි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම පිළිබඳ සැකයෙන් උන්වහන්සේ වෙත ආ බමුණන්, නිගණ්ඨයින් වැනි අය තථාගත දේශනාව අවසානයේදී, යටිකුරු කරන ලද්දක් උඩුකුරු කළාසේ, වසා තුබූ දෙයක් විවර කළ දැක්වූවාසේ, මංමුලා වූවෙකුට මග කියා දුන්නාසේ, අඳුරෙහි සිටියෙකුට පහනක් දැල්වුවාසේ ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම වැටහුණේයැයි, කරන ලද ප්‍රතිචාර දැක්වීමෙන් පෙනෙන්නේ, දේශනාව අවසන සැකය තුරන් වු බවයි. අවශ්‍ය තැනදී සැක කිරීම ප්‍රයෝජනවත් බව දහම පිළිගනී. ඒ බව කාලාම සූත්‍රයෙන් පැහැදිලි වෙයි. භේසකලා වනයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි කාලාම වැසියෝ තම ගමට පැමිණෙන ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් එකම දේ පිළිබද විවිධ මත පළ කළ බැවින්, ඒ පිළිබඳව ඔවුන් තුළ සැක මතුවී ඇති බව පවසති. බුදුරදුන් ඔවුන් සැක කළ යුතු තැන සැක කර ඇති බව වදාරති. එයින් ගම්‍ය වන්නේ ස්ථානයේ එනම්, අවශ්‍ය තැනදී සැක කිරීම කළ යුතු බවයි. යම් යම් අවස්ථාවන් වලදී සැකය පදනම් කරගෙන පුද්ගලයින් පරීක්ෂා කිරීමට ද ලක් කෙරේ. ඊට ද දිගු ඉතිහාසයක් තිබෙන බව පෙනෙයි. ජාතක පොතේ එන සීලවිමංස ,පුචිමන් ද හා කෝටිසිම්බලි වැනි ජාතක කතා තුළින් එය තහවුරු වෙයි.කොසොල් රජුගෙන් ලැබෙන එක් උපාසකයෙකි. ඔහු වේදයේ පරතෙරට ගිය අයෙකි. නිති පන්සිල් රකියි. ඔහුගේ ගුණවත්කම නිසාම රජු ඔහුට විශේෂ සැළකිල්ලක් දක්වයි. රජතුමා තමා කෙරෙහි දක්වන විශේෂතාවය, තමාගේ කුලයට ද නැතිනම් ගුණයටදැයි සැක ඇතිකරගත් උපාසකතුමා, මෙය සැක හැර නිශ්චය කර ගැනීමට උපායක් යෙදීය. එනම් රජුගේ රන්කම් කරන තැනින් දිනක් එක් රන් කහවනුවක් හොරකම් කළේය. එය රන්කම් කරන්නා දුටුවත්, උපාසකතුමාට රජතුමා විශේෂයෙන් සලකන නිසා නොදුටු ලෙසින් සිටියේය. දෙවෙනි දින කහවනු දෙකක්ද, තෙවෙනි දින තුනක්ද, සොකරම් කළ බැවින්, රන්කරුවා විසින් ඔහුව අල්ලා රජු වෙත ඉදිරිපත් කළේය. උපාසකතුමන් හොරකම පිළිබඳ පුවත අසා පුදුමයට පත් රජතුමා උපාසකගෙන් කරුණු විමසීය. උපාසකතුමාගේ පිළිතුරවූයේ , තමාට සලකන්නේ ගුණයට ද නැතිනම් කුලයටදැයි පිරික්සීමට තමන්ට වුවමනා කළ බවයි. මේ සීලවිමංස ජාතකයේ එන පුවතයි. එයින් පැහැදිලි වන්නේ ස්ථානයේ සැකය ප්‍රයෝජනවත් බවත්, අස්ථානයේ සැක කිරීම නිෂ්ප්‍රයෝජන බවත්ය.
අපරාධ කොට සැඟවී සිටින බොහොමයක් අපරාධකරුවන්, නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකි වී ඇත්තේද, ඔවුනගේ හැසිරීම් සැකයෙන් යුතුව නිරීක්ෂණය කිරීමේ ප්‍රතිඵල වශයෙනි.අවාසනාව නම් අවශ්‍ය අනවශ්‍ය හැම විටකමත්, යෝග්‍ය අයෝග්‍ය හැම අවස්ථාවකමත් සැකයෙන් යුතුව බැලීමට යාම නිසා, බොහෝ පවුල්තුළ අවුල් සහගත ස්වභාවයක් ඇතිවීමයි. එසේ නොකර අවශ්‍ය තැනදී අවශ්‍ය පරිදි,අවශ්‍ය ආකාරයට සැක කිරීමට හැකි නම් එයින් යහපතක් මිස අයහපතක් සිදු නොවේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X