සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

මම පලවා හැරීම


ඔබ මහා ප්‍රපාතයකට මහා අඳුරු අගාධයකට ඇඳ වැටීමට ආසන්නයයි හිතන්න. මහත් ව්‍යසනයෙන් යුත් තැනකට පත්වීමට ආසන්නයයි හිතන්න. මේ අවස්‌ථාවේදී කළ යුත්ත හිතා ගැනීමට වත් සිහි එලවා ගැනීමට නිමේෂයක්‌ වත් නොමැති තැන ඔබ අභීත එඩිතර මනා පෞරුෂයත්වයෙන් යුත් සතිමත් බුද්ධිමතෙක්‌ විය යුතුමය. කොතරම් නිල බලය ධන බලය සේනා බලය වෙන මොන යම් හෝ බලයක්‌ ඔබ සන්තකයේ තිබුණත් ඒ කිසිම බලවේගයකට මේ අභියෝගය ජයගත නොහැක. ඒ භයානක සසර ඕඝය මැයි. එහෙත් හිත හදාගත්තොත් ඔබට ජය නොගත හැකි අභියෝගයක්‌ නොමැත. ඒ හිත හදා ගැනීමට බාධක මග හැර සැනසිල්ල උදාකර ගැනීමට අවශ්‍ය මග කියා දෙන්නේ තථාගත ශාන්ති නායක බුදු පියාණන් වහන්සේය. උන්වහන්සේ සියලු ව්‍යසනයන්ගෙන් අත් මිදීමේ මාර්ගයට ඔබ අවතීර්ණය කරනු ඇත. එසේ හෙයින් ඔබ කිසිවක්‌ ලෞකික වශයෙන් අපේක්‍ෂා නොකළ යුතුය. නිරපේක්‍ෂකව සිටීමට ඉටා ගත යුතුය. ලෞකික වශයෙන් කිසියම් හෝ සෙතක්‌ ශාන්තියක්‌ ආරක්‍ෂාවක්‌ මතු දියුණුවක්‌ අනාගත සුබසිද්ධියක්‌ අපේක්‍ෂා නොකළ යුතුය. අපහසු නමුත් කළ යුත්ත එයයි. ඒ පළමු පූර්ව කෘත්‍යයයි. එසේ අපේක්‍ෂා නොකළ යුත්තේ සියලු අපේක්‍ෂා බලාපොරොත්තු "ලෞකිකත්වය පදනම්" සිදුවන නිසාය. ලෝකය තුළ කිසිදා සිතූ පරිදි බලාපොරොත්තු ඉටු නොවනු ඇත. ඒ ලෞකික ලෝකයේ ස්‌වභාවයයි. ලෝකයෙන් එතර වීමේදී අධ්‍යාත්මික ගුණ වගාවේදී නිසි ප්‍රතිඵල බලාපොරොත්තු වන්නේ නම් සියලු ඕනෑකම් ආශාවන් අතහැරීමම වහල් බවෙන් මීදීම වේ. අතහැරීම මතින්මයි නිදහස උදාවනුයේ.


ඔබ මෙතෙක්‌ කල් සංකල්ප ගතව සිටි මම, මගේ මගේම, මම වෙමි. අප, අපේ, අපගේම, අපිම වෙමු, ගැන හොඳින් නිරීක්‍ෂණය කරන්න. කුමන පදනමක සිට කුමන කරුණක්‌ නිසා මේ පනවා ගැනීම් කලාද? පිළිගත හැකි සාධාරණ හේතු තිබිය යුතුය. නැත. එසේ හෙයින් පළමුව නිවනට බාධක වූ "මම" ඉවත් කරන්න. ඔබගෙන් "මම" නැමැත්තා හෙවත් කරන්නා" ඉවත් කිරීම පමණකින්ම ඔබ ඔබගෙන් නිදහස්‌ වනු ඇත. ඔබ තුළ නිදන් ගතව "මම" ඉන්න තාක්‌ කල් ඔබට "නිවනක්‌" නැත. "මම" ද ''පින පව" පනවනු ඇත. "මම" "කුසල් - අකුසල්" පනවනු ඇත. හෙවත් කරනු ඇත. එනිසාවෙන් ඔබට එහි විපාක වාරයෙන් නිදහසක්‌ ඇති වේද? ඔබගෙන් "මම" ඉවත් කර කපා හැර සැහැල්ලු වන්න. එවිට ''මම" ඔබගෙන් හිස්‌ වනු ඇත. එවිට ක්‍රියාත්මක භාවයක්‌ සිදුවීම් සමූහයක්‌ ස්‌වභාවධර්මයට අනුගත වීමක්‌ පමණක්‌ දැකිය හැක. එහි "මම" නැත. "කරමි" "කරමු" පනවන්න එහි අවකාශ නැත. ඉඩ නැත. ශූන්‍යත්වයේ යථාර්ථයට ඔබ කෙමෙන් කෙමෙන් පියමං කරනු ඇත. අවිද්‍යාවෙන් (සක්‌කාය දිට්‌ඨියෙන්) මිදී විද්‍යාවට (සම්මා දිට්‌ඨියට) සම්ප්‍රාප්ත වනු ඇත. අඳුරෙන් ආලෝකයට පත් වේ. ඔබ ඔබගේ ක්‍රියා දාමය තුලම හැසිරීම් ස්‌වභාවය තුළම සතිමත්ව සිටිනු දකින විට ඔබ තමාට අයිති නැති දෙයක්‌ ලංකර ගෙන ප්‍රපංචනය කරගෙන මෙතෙක්‌ දුර මෙතෙක්‌ කල් දිගු සසර ගමන යෙදුන හැටි අවබෝධ වනු ඇත.

පුද්ගලයෙක්‌ ආත්මක්‌ විශ්වාස කරන තාක්‌කල් "මම" නැමැති හොල්මන ඔබ බියට පත් කරනු ඇත. එසේ නම් "මම" නැමැති රුවටිලිsකාරයා වංචාකාරයා දැන් අත්හරින්න. "මම" නොයෙදෙන තැන රැදෙන්න උත්සාහ කරන්න. එතැන ප්‍රාර්ථනා නැත. කුසල් අකුසල් නැත. බිය සංකා නැත. රහත් භූමිය එතැනයි. පරම නිවීම එතැනයි.

"මම" හැඟීම් හා හාද වී ඇලෙනවා. "මම" ගැටීම් හා උරණ වී ගැටෙනවා. "මම" නැති තැන ඇලීම් හා ගැටීම් නැත. (තණ්‌හාව නැත) හැඟීම්වලට වහල්වීම "මම" පනවා ගැනීමයි. එවිට අවිද්‍යාව රජ කරයි. "මම නැති නැති විද්‍යාවයි. ලෝකයෙන් ඉවත්වීම යනු "මම" ගෙන් ඉවත් වීමමයි. "මම" නැති තැන "ජීවත්වෙමි" නොයෙදේ. උපත විපත නොයෙදේ. එලෝ - පරලෝ - මෙලෝ කිසිත් නැත. මේ මානසික තත්ත්වය තුළ කායික රූප සංඥා වශයෙන් ස්‌ත්‍රී සංඥා පුරුෂ සංඥා දෙව් බඹුන් මරුන් සංඥා මිනිස්‌ තිරිසන් සංඥා වෙනත් කිසිදු සංඥාවක්‌ නොයෙදෙන තැනට ඔබ පත්කරනු ඇත. ස්‌වභාව ධර්මයක්‌ පමණි. "මම" නැති තැන හිස්‌ බවයි. මේ හිස්‌ බවට බොහෝ දෙනා බියවෙති. පොතක්‌ සඟරාවක්‌ බලන්නේත්, ගුවන් විදුලිය අහන්නේත්, රූපවාහිනිය නරඹන්නේත් "මම" නමැති පුද්ගලයා තනි නොකිරීමටයි. ඕපදූප කථා කරන්නේත් කෙනෙක්‌ බලාපොරොත්තු වන්නේත්, ආයතන සම්බන්ධ කරගෙන (චජධු ආයතනාදිය) ආහාර ගන්නේත් තනි පංගලමේ කාන්සිය මග හරවා ගැනීමටයි. "ඇයි තවම මම ළංකරගෙනම ඉන්න නිසානේ භෞතික වස්‌තු එහාට මෙහාට කරමින් මෙවලම් පරිහරණය කරන්නේ ඒ සඳහා නොවේද? මම අවදිව සිටින විට කිසිත් නොකර සිටිය හැක්‌කේ ශුන්‍යත්වයට බිය නිසාය. ආයතන පිනවන්නේ ශූන්‍යත්වයට අකමැති නිසාය. අඬ දබර කල කොලාහල කරන්නේත් එනිසාය. "ශූන්‍යත්වයේ අගය වටිනාකම උසස්‌ බව ශ්‍රේෂ්ඨත්වය "මුනිබවට" පත් උතුමන් හැර පුහුදුන් අය දන්නේ නැත. උත්තම නිහඬ බවට පත් මහා ශාක්‍ය මුනිද්‍රයාණන් වහන්සේ ඒ සඳහා අපට අවශ්‍ය මග පෙන්වා වදාලහ. අප කෙසේ හෝ එතැනට යා යුතුමයි. එසේ නොමැතිව ලෝක ධර්මයන්ගෙන් නිදහස්‌ව ලබන " නිවන" වෙත "මම" නැති " නිවන" වෙත කෙසේ නම් ළං වෙන්නද?

විඤ්ඤානයාගේ සැපයුම් මාර්ග සිඳලන විට අපට මහත් භයක්‌ දැනෙනවා. සැපයුම් මාර්ග කෙසේ හෝ සපුරාලන්න අප නිතරම සූදානමින් ඉන්නේ. ඒ "මම" රජ කරන නිසා. විඤ්ඤානයාගේ ආහාරය "ඵස්‌සයයි" රූප - ශබ්ද - ගන්ධ, රස පොට්‌ඨබ්බ ධම්ම සම්පාදනය කරමින් " මම" පෝෂණය කරනවා. එයාගේ පැවැත්මටයි. "මම" තනි වෙන නිසාය. එසේම ඒ සියල්ල කරන්නේ ලෞකික ලෝකය පදනම් කරගෙනය. ලෝකය තුළ සිටගෙනය.

ලොකෝත්තර මහා නිහඬ බවේදී සියලු සැපයුම් මාර්ග අවහිර කර ඇති නිසා "ඵස්‌ස නිරෝධයෙන් විඤ්ඤාන නිරෝධය" වන බැවින් ලොකෝත්තර සිතේ සැනසිල්ල උදාවනු ඇත.

ඔබ නිදාගන්නේ ඇයි? හිස්‌ බවට බියෙනි. සුරංගනා ලෝකයක්‌ තුළ විඤ්ඤානයාගේ පැවැත්මට අවශ්‍ය සැපයුම් මාර්ග විවෘතව ඔබේ තනි බව මග හරවාලයි.

අඹු දරුවන් දෙමාපියන් දැසි දස්‌සන් ඥති-මිත්‍රාදීන් ගේ-දොර, ඉඩ-ඉඩකඩම් යාන වාහන ඔබ ළංකර ගෙන සිටින්නේ මේ හිස්‌ බවට බියෙනි. එහෙත් භෞතික ලෝක ධර්මයන් ළංකරගෙන සිටිනතාක්‌ බුද්ධාදි උතුමන් සම්ප්‍රාප්ත වූ මහා නිහඬ බවට මහා ශූන්‍යත්වයට මුනි බවට පත්විය නොහැක. එසේ හෙයින් බුද්ධාදි උතුමන් අනුගමනය කළ ප්‍රතිපදාව හරි හැටි අවබෝධ කර ගන්න. තමාට තමා වංචා නොකර ගන්න. ලෝක ධර්මයන් අත් හරින්න. එසේ කිරීමෙන් මහා නිහඬ බවට පත්වීමට උත්සාහ කරමු.

පළමුව " මම" නම් නොවටිනා වචනය කපා හැරීමට උත්සාහ ගන්න. හේතුව " මම" පදනම්ව" අහංකාරකම" ඇති වේ. එම නිසාම කර්ම රැස්‌ කරමින් අපායාදී දුගතීන්හි අනන්ත දුක්‌ විඳිමින් පරක්‌ තෙරක්‌ නොපෙනෙන ගමනක යැමට සිදුවේ. "මම" සංකල්පය ලෝකයා විසින් ඔබට පටබැඳ ආරෝපණය කර ඔබව ''මෝඩයාට අන්ඳවා" ඇත. නැති " මමෙක්‌" ඇත මතය දී වෙස්‌ ගන්වා ඇත. මේ යථාර්ථය බුද්ධිමත්ව අවබෝධ කටයුතුය. "මම" යන මෝඩයාට ඇන්ද වූ ඔබ එතැන් සිට අසත්‍යම කරපින්නා ගත්තා. හැම නිගමනයක්‌ම ලෞකික ධර්ම පදනම්ව තීරණය කරන නිසා දෘෂ්ටි ජාලයක පැටලී ඇත. මේ "හීන මන්දබුද්ධික" තත්ත්වයෙන් ඔබව මුදා ගන්නේ තථාගත දර්ශනයයි.

සියලු ආගමික ඉගැන්වීම් අන්තගාමී නොවිය යුතු බව බුද්ධිමත් ඔබ තීරණය කරනු ඇත. ශාන්ති නායකයාණන් වහන්සේ ගුරුවරයෙක්‌ නොව මග පෙන්වන්නෙකි. ඒ තවමත් ඔබ නොමග යන නිසාය. "නොමග යනු ලෞකිකත්වයයි" හරි මග නියම මඟ නිවන් මග බුදුමග "ලෝකෝත්තරයයි"

තුම්මෙහි කිච්චං ආතප්පං

අක්‌ඛාථාරො තථාගතා"

තථාගත දර්ශනය තුළ ඔබ ආගම අදහන වහලෙක්‌ බවට පත් නොකරනු ඇත. "අණ" දෙන්නෙක්‌ බුදුදහම තුළ නැති නිසා ඔබ වහලෙක්‌ නොවේ. ආගම නමින් ආණ්‌ඩු කරන, පාලනය කරන පාලකයන් ඔබට හමුවේ. එහිදි ඔබ ඔවුන් හමුවේ අණපනත් හමුවේ අන්ධාණුකරණයට යටත් වූවෙක්‌ වේ. අධම තත්ත්වයට පත්වේ. එනිසා නිවන් මග අහුරා ගනු ඇත. බුදු දහම ආගමක්‌ නොවේ. ලෝක ධර්මයන් ළංකර ගැනීමෙන් නිරායාසයෙන් නොදැනුවත්වම ඔබ ස්‌වාමියෙක්‌ බවට පත් වේ. නොවටිනා දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම උපත් වටිනා දේ විදිහට ඔබට ඒත්තු ගන්වයි. කලකදී ඔබ සේවකයෙක්‌ බවට පත්වනු ඇත. එතැනින් දුකින් දුකට පත් වේ.

- කිසිදාක හෝ නිදහස කැමැති නම් දුකෙන් අත් මිදීමට කැමැති නම් ස්‌වාමියෙක්‌ නොවන්න අත්හරින්න මහා කාරුණිකයෙකු වන්න.

- ඇස පිනවූ නයනානන්දනීය වූ ලාලිත්‍යයයි නැඟුනාවූ රූපයේ අතීත, අනාගත, වර්තමාන වශයෙන් ඇලීම් නොකරන්න. නිහඬ වන්න. හඬ නොතලන්න.

- කණ පිනවූ මිහිරි යෑයි කිවූ කන්කළු යෑයි කිවූ ශබ්දරූප අතීත අනාගත වර්තමාන ලැබීම් හෝ ලැබූ ප්‍රාර්ථනා ආවර්ජිනා නොකරන්න. නිහඬ වන්න

- ගන්ධය පිළිබඳ ප්‍රිය අප්‍රිය බව මතකයේ රදවා මිහිරි අමිහිරි වින්දනාත්මක වේදනා සුඛ දුක්‌ඛ උපේක්‍ෂා වශයෙන් කිසිත් මනසිකාරය නොකරන්න.

- දිව පිනවූ රස ගුණ අතීත වර්තමාන අනාගත ලැබූ හෝ ලැබීම් ආවර්ජනා නොකරන්න.

ෆ කායික පහසේ මිහිරි අමිහිරි සුඛ දුක්‌ඛ වේදනා ආවර්ජනා මනසිකාරය නොකිරීමට වග බලා ගන්න. තුන්කල්හිම නොයෙදෙන්න.

ෆ මනෙන් මෙනෙහි කිරීමෙන් පුනරාවර්ජනය නොකරන්න. මනනන්දනීය බව ඔබට අපත්‍යයි. නිහඬ බවට මුල් තැන දෙන්න. බන්ධන මුදා හරින්න.

ආර්ය උත්තම භූමිය තුල ආදරය ප්‍රේමය කෑදරකම වුවමනාව ගිජුකම නැත. මෙතැනින් ඔබ පහළට ගියහොත් වහලෙක්‌ බවට පත්වනු ඇත. තුන් කල්හිම මනෝභාවයන්ගෙන් නිදහස්‌ වීම විමුක්‌තිය වේ. මළ අතීතයත් නො උපන් අනාගතයක්‌ නොමැති තැන වර්තමානය නැත.

මේ මනඃකල්පිත තුන් කල් පදනම් කර ගෙන අමනෝඥ බැඳීම් සංකල්ප වශයෙන් ගොඩනඟාගෙන වහලුන් බවට පත් වේ. මෙහිදී " නිසොල්මන්" වීම හැර ඔබට අමුතුවෙන් කල යුතු කිසිවක්‌ නැත.

මන නිතරම ආවේගකාරිය. හැඟêම්වලට වහල් වේ. අකුසලයට බොහෝ විට බරය. දොඩමළු වීමට කැමැතියි. රංචු ගැසීමට කැමතියි. දෙවැන්නෙක්‌ගේ පැමිණීම නිතරම අපේක්‍ෂා කරයි. උද්වේග කර හැඟêම් ඇලීම් ගැටීම් මනේ ක්‍රියාකාරිත්වයට පැවැත්මට අදාළ කර ගනී. නිතරම අරමුණු කරා ගමන් කරයි. වහා ග්‍රහණය කර ගනී.

මෙහි යථාර්ථය හරි හැටි තේරුම්ගෙන ක්‍රියාදාමයට අවදිමත් වීම තුළින් ඔබ මහාමුනි බවට ඔසවා තබනු ඇත. නිශ්චලතාවයට - නොසෙලවෙන බවට - අමනසිකාරයට - ශුන්‍යත්වයට ඔබව ළංකරනු ඇත. නිසල මන යනු රූප - වේදනා - සංඥ - සංඛාර - විඤ්ඤාන යන ලෝක ධර්මතා ක්‍රියා විරහිතභාවයට පත් වීමේ ස්‌වභාවයයි. කර්තෘ විරහිතයි. මම විරහිතයි. රූප සංඛාර හට නොගන්නා තැන යථා භූත යෝනිසෝ මනසිකාරය නම් වේ. සංඥ විරහිත බව යනු රූප සංඛාර නොපැනවීමයි. රූප සංඥ නොවන විට විඤ්ඤාන යාගේ ප්‍රකටවීම හටගැනීම සිදුනොවේ. මෙය පටිච්ච සමුප්පන්න ශුන්‍යත්වය පදනම් වූ නිදහස්‌ මනසයි.

'මම' ඇති තැන උපත - මරණය පනවා ගනී. 'මම' නැති තැන ජාතිය නොමැති නිසා උපත - මරණය පැනවිය නොහැක. මෙයයි විශ්වයේ යථාර්ථය. මේ ස්‌වභාවධර්මයට අනුගතවීම යථාභූත ඥාන දර්ශනය මතින්ම සිදුවේ.

ප්‍රඥාවේ වර්ධනයට හේතුවන ධර්මයෝ

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනස්ථ තරුණ සීල සමාදානයේ අනුශාසක හා 
සිරි වජිරඤාණ ධර්මායතනස්ථ භික්ෂු අධ්‍යයනාංශයේ 
ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත

මහඔය අනුරුද්ධ හිමි

සසර බියකරුය. එබැවින් එය අසුරුසණක් ගසන මොහොතකුදු හොඳ යැයි බුදුපියාණෝ වර්ණනා නොකරති. විෂම කණු කටු ගල්මුල් වලින් පිරි විෂකුරු සර්පාදී සතුන්ගෙන් ගහණ වූ කැලෑ මගෙක රාත්‍රියෙහි ගමන් ගන්නා කෙනෙකුට ගිනි හුල මහත් උපකාරයෙකි. එලෙසින් අවිද්‍යා අන්ධකාරයෙන් වැසී තිබෙන සංසාර නමැති අති භයානක දුර්ග මාර්ගයෙහි ගමන් කරන පුහුදුන් මිනිසාට ද ලෞකික සම්පත් මෙන් ම ප්‍රඥාවේ වර්ධනයට හේතුවන ධර්ම කාරණා වඩා වර්ධනය කැර ගැනීම සසර ගමන පහසුවෙන් කර ගැනීමට හා සසර කතරින් එතෙරව ලබන නිවන පසක් කැර ගැනීමට මහත් පිටුබලයක් වෙයි.
දිනක් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ පාදයේ මහපට ඇඟිල්ලේ නියපොත්ත මතට පස් ටිකක් ගෙන සත්ත්වයන් අතරින් මියගොස් නැවත මනුෂ්‍යයන් වන්නේ නියපොත්ත මත තිබෙන පස් ටික මෙන් ඉතා ස්වල්ප දෙනෙකු බවත්, මහ පොළොවෙහි තිබෙන පස් ප්‍රමාණයක් කළ නොහැක්කා සේ, බොහෝ දෙනෙකු මිය ගොස් මනුෂ්‍යාත්ම භාවයෙන් තොර වෙන වෙන දුගතිවල උපදින බවත් වදාළහ. කාණ කච්ඡෝපමාවෙන්ද පැහැදිලි වන්නේ මිනිසත් බවක් ලබා ගැනීමේ ඇති දුර්ලභ බවය. එබඳු දුර්ලභ මිනිසත් බවක් ලද සත්වයන් ඒ දිවියෙන් නියම ප්‍රයෝජන ගත යුතු ය. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි සද්පුරුෂ ආශ්‍රයත්, බණ ඇසීමත්, නුවණින් මෙනෙහි කර කටයුතු කිරීමත් හා ධර්මානුකූල දිවි පැවැත්මත් කළ යුතු ය.

සප්පුරිස සංසේවෝ - සද්පුරුෂ ආශ්‍රය

ආශ්‍රය මිනිසාගේ දියුණුවට මෙන්ම පිරිහීමටත් හේතු වෙයි. මිනිසා තුළ ධනය, බලය, ඤාණය ආදී ගුණ දහම් දියුණු වන්නේ ආශ්‍රයෙනි. ඒවායෙන් පිරිහී අවාසනාවන්තයෙකු වන්නේත් ඇසුරෙනි. එයට මූලික හේතුව වන්නේ ආශ්‍රය කරන්නා තුළ පිහිටි ගුණ හෝ අගුණ ආශ්‍රය ලබන්නා තුළ නිතැතින්ම පිහිටීමයි. ඔබ අප ජීවත් වන නූතන මිනිස් සමාජය ම සද්පුරුෂ හා අසද්පුරුෂ යනුවෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. එයින් සද්පුරුෂ ගණයට ඇතුළත් කළ හැකි පිරිස ඉතා අල්පය. කෘතගුණ දන්නා අනුන්ට හිංසා පීඩා නොකරන පුද්ගලයෝ සද්පුරුෂයෝ ය. ඊට හාත්පසින් ම විරුද්ධ අකෘතඥ පරපීඩාකාරී පුද්ගලයෝ අසද්පුරුෂයෝ ය. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ සද්පුරුෂ අසද්පුරුෂ දෙවර්ගය මෙයට වඩා පුළුල්ව හා විස්තරාත්මක ව පැහැදිලි කරති. යමෙක් ධර්මය තුළින් යම්කිසි දියුණුවක් බලාපොරොත්තු වන්නේ නම් ඒ හැම දියුණුව ම ලබාගත හැකි වන්නේ සද්පුරුෂාශ්‍රයෙනි. සද්පුරුෂයා සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම යන පස් දුසිරිතෙන් වැළකුණෙකි.
බුදුදහම ප්‍රථමයෙන් ම සියලු සතුන් කෙරෙහි දයාව දක්වන්නටත් අවිහිංසාව පුරුදු පුහුණු කරන්නටත් උගන්වයි. සතුන් නොමැරීම යනු සත්ත්ව ඝාතනයෙන් වැළකීම පමණක් නොව සියලු සත්ත්වයන් කෙරෙහි කරුණාව, මෛත්‍රීය, අවිහිංසාව ආදී මානුෂික ගුණාංග පැතිරවීමයි. යමෙක් දැන දැන යම් සතෙකුට හිංසා පීඩා කරයි ද, ඔහු තුළ මනුෂ්‍ය ධර්මයක් නො පවතී. සොරකම යනු කෙනෙක් වෙහෙස මහන්සි වී සොයා සපයා ගත් වස්තුව තවත් මනුෂ්‍යයකු විසින් පැහැර ගැනීමයි. යමෙක් අන්සතු වස්තුව එසේ පැහැර ගනීද උදුරා ගනී ද එබඳු පුද්ගලයන් තුළ මිනිස්කම නැත. අප සමාජයෙහි බොහෝ දෙනකුන් තමන් සොයා සපයා ගන්නා වස්තුව රැක ගන්නට ගෙදර දොර වැට කඩොලු බැඳ ගනිති. මෙයට හේතුවී ඇත්තේ සමාජයේ මින්නිසුන් අතර මිනිස්කම, ගුණ ධර්ම නැතිවීමයි. සොරකම් නොකිරීම යන්නෙන් අදහස් කරනුයේ අන්සතු වස්තුව පැහැර නොගැනීමත්, සමාජය තුළ අනුනට බිය සැක නැතිව ජීවත්වීමට අවස්ථාව සැලසීමත් ය.
අපි අපේ ගේ දොර, යාන වාහන, ඇඳුම් පැළඳුම් ශරීරය මේ හැම දෙයක් ම පිරිසුදුව තබා ගැනීමට කැමැත්තෙමු. ඒ හැමටම වඩා වෙසෙසින් පිරිසුදුව තබාගතයුතු වන්නේ තම චරිතයයි. යුග දිවියට ඇතුළත් නොවූ හැමදෙනා තුළ ම පිරිසුදු බ්‍රහ්මචර්යාවක් තිබිය යුතු ය. ලෙඩට බෙහෙත් ඇත ද ලෙඩ වූ චරිතයට බෙහෙත් නැත. මිනිසාගෙ බාහිර මෙන් ම අධ්‍යාත්මික පාරිශුද්ධිය කාමයන්හි වරදවා නොහැසිරීම තුළින් ගම්‍යමාන වෙයි. බොරු කීම යනු සත්‍යයෙන් තොර වදන් ප්‍රකාශ කිරීමයි. බොරු කියන්නාට කළ නොහෙන අපරාධයක් නැත්තේ ය. බොරු නොකීම යනු අසත්‍යයෙන් වෙන්වීමයි. සච්චං භණේ සත්‍යවාදී වන්න යනු බුද්ධ දේශනාවයි.
මත් වතුර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තැනැත්තාගේ ධනය, බලය, ගුණය පිරිහීම වැළැක්විය නොහැකිය. තම බිරිඳ දූ දරුවන් නොමග ගමන් කිරීම, කෝලාහල කිරීම, රෝග පීඩාවන් බහුලවීම, නුවණ දුබල වීම, ලජ්ජා රහිතව හැසිරීම මත්පැන් පානයේ ආදීනවයෝ වෙති. වත්මන් තරුණ පරපුරෙහි පැහැදි අය විපතට හෙළා ඇති භයානක උවදුර මත්පැනයි. මෙබඳු මත්පැනින් වැළකීම කරණකොට ගෙන මිනිසා නිරවුල් නිකලැල් මනසක් ඇත්තකු බවට පත් කරයි. පස්පවින් වැළකීම යනුවෙන් අදහස් කරනුයේ මෙබඳු උතුම් ගුණ සමූහයක් තම තමන්ගේ චිත්ත සන්තානයන්හි ඇතිකර ගැනීමයි. එබඳු ගුණයන් ගෙන් පිරිපුන් තැනැත්තා ඒකාන්තයෙන් ම සද්පුරුෂයෙකි.
සද්පුරුෂ හා සද්පුරිසතර යනුවෙන් බුදුපියාණෝ සද්පුරුෂයා කොටස් දෙකකට බෙදා දක්වති. තමා වරදින් වැළකීම සද්පුරුෂයෙකු වීමට හේතු වෙයි. අනුන් වරදින් වැළැක්වීම සද්පුරුෂතරයෙකු වීමට හේතු වෙයි. පස් පවින් දස අකුසලයෙන් වැළකීම පමණක් සද්පුරුෂයෙකු වීමට ප්‍රමාණවත් නොවෙයි. ඒ සඳහා වඩාගත යුතු ප්‍රගුණකර ගතයුතු ගුණධර්ම රාශියෙකි. මවුපියන්ට සැළකීම. කුල දෙටුවන් පිදීම, වැඩිහිටියන්ට ගරු කිරීම. නිතර හොඳ වචන කතා කිරීම, අනුන් බිඳවන කොටවන කේළාම් බස් නොකීම, මසුරුකමින් තොරවීම, සත්‍යවාදී වීම, ක්‍රෝධ නොකිරීම ආදිය එසේ ජීවිතය තුළ පුරුදු පුහුණූු කැරගතයුතු ගුණ ධර්මයෝ වෙති.

සද්ධම්ම සවණං - බණ ඇසීම

බෞද්ධයාගේ ගුණ ධර්ම දියුණු වන්නේ ධර්ම ශ්‍රවණය තුළිනි. ධර්මය යනු දියුණු වන්නට යථා තත්ත්වය වටහා ගන්නට ලබාදෙනු කාරුණික උපදේශයයි. අනුත්තරිය ධර්ම අතර සවණානුත්තරිය යනුවෙන් සඳහන් කළේ ද මේ කරුණ මැයි සද්ධම්ම සවණං පමජ්ජති යන දේශනා පාඨය අනුව බණ නො අසන්නා සද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා යන පඤ්ච සම්පත්තියෙන් ම පිරිහෙයි. එකී පඤ්ච ගුණයෙන් පරිහීම බෞද්ධයාගේ ලොකුම පිරිහීම වෙයි.
සුත යනු ඇසීමයි. ඇසිය යුතු වන්නේ කුමක්ද? බුද්ධ දේශිත ශ්‍රී සද්ධර්මයයි. තථාගත ධර්මය ඇසියයුතු වන්නේ සසර දුකින් එතෙර වන්නට ඇති එකම මඟ එය වන බැවිනි. බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයේ දී ධම්මකාමෝ භවං හෝති ධම්ම දෙස්සී පරාභවෝ ආදී වශයෙන් ධර්මයට කැමැතිවන්නා දියුණුවන බවත් ද්වේෂ කරන්නා පිරිහෙන බවත් වදාළහ. සද්ධම්මං සෝතුමිච්ඡති යන දේශනා පාඨයට අනුව සැදැහැවතාගේ මුලික ලක්ෂණ අතර බණ ඇසුමට ඇති කැමැත්ත ප්‍රධාන වෙයි. ධර්ම ශ්‍රවණය කරන්නා බුදු දහමේ ඇති හරය අගය තේරුම් ගනියි. එයින් සිත ප්‍රසාදයට පත්කැර ගනියි. එම ප්‍රසාදය තුළින් ගුණ ධර්ම දියුණු කැර ගැනීමටත් නැඹුරු වෙයි. ඒ තුළින් උතුම් මිනිස් ගුණ දහම් දියුණු කැර ගනියි.

යෝනිසෝ මනසිකාරය 
නුවණින් මෙනෙහි කර කටයුතු කිරීම

‘මනසිකාරය’ යනු මෙනෙහි කිරීමයි. මෙනෙහි කිරීම් දෙකකි. එනම් යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරය යනුවෙනි. තත්ත කතමෝ භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ මහණෙනි යෝනිසෝ මනසිකාරය යනු කුමක්ද? යමෙක් අනිත්‍ය වූ සංස්කාර අනිත්‍ය වශයෙන් දකියි ද එය යෝනිසෝ මනසිකාරයයි. යමෙක් අනිතය දේ නිත්‍ය වශයෙන් දකියි ද ඒ අයෝනිසෝ මනසිකාරයයි. එසේ ම දුක දුක වශයෙන් දකියි ද අනාත්ම දේ අනාත්ම වශයෙන් දකියි ද අසුබ දේ අසුබ වශයෙන් ද දකියි ද ඒ යෝනිසෝ මනසිකාරයයි.
යමෙක් සිහි නුවණින් මෙනෙහි නොකොට හුදෙක් දැනුම සඳහා ම ධර්ම ශ්‍රවණය කරයි ද ඔහුට ප්‍රත්‍යක්ෂ වශයෙන් ධර්මය අවබෝධ නොවෙයි. කරන්නන්වාලේ කටයුතු කිරීම නුවණ දියුණුවීමට හේතු නොවෙයි. යම්කිසි ක්‍රියාවක් කරනවිට එම ක්‍රියාව තමන්ට හා අනුන්ට යහපත පිණිස පවතී ද, අයහපත පිණිස පවතී ද, යනුවෙන් කල්පනා කිරීම ඉතා අඩුය. නුවණින් මෙනෙහි කර කටයුතු කිරීම යනු යම් දෙයක් කරනවිට එය තමන්ට හා අනුන්ට යහපත පිණිස වන්නේදැයි සලකා බැලීමයි. තමන්ට යහපතක් හා අනුන්ට අයහපතක් වන කි‍්‍රයාව ද, අනුන්ට යහපතක් වී තමන්ට අයහපත පිණිස පවත්නා ක්‍රියාව ද, උභය පක්ෂය ම අයහපත පිණිස පවත්නා වූ ක්‍රියා ද නුවණින් කැරෙන ඒවා ය. යම් දෙයක් කිරීමෙන් තමන්ට මෙන් ම අනුන්ටත් යහපතක් වන්නේ නම් එය නුවණින් මෙනෙහි කැර කරන ලද ක්‍රියාවකි.

ධම්මානුධම්ම පටිපත්ති ධර්මානුකූල දිවි පැවැත්ම

එනම් දස කුසල ධර්මයන් පුරමින් යහපත් ජීවිතයක් ගත කිරීම මෙයින් අදහස් කැරෙයි. තවත් අයුරකින් සඳහන් කළහොත් ධම්මානුධම්ම පටිපත්ති යනු නිවන් යෑමට අවශ්‍ය වූ නිවැරැදි මාර්ගය අනුගමනය කිරීමයි. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමයි. එසොව මග්ගෝ නත්ථඤ්ඤෝ යන දේශනාවට අනුව නිවන් යෑමට වෙන මඟක් නැත්තේ ය.
නූතන සමාජයේ ජීවත් වන මිනිසා තම දිවි පැවැත්ම උදෙසා බොහෝ දේ කරයි. ඒ අතර බුදු දහමට පටහැනි දෑ බහුල වෙයි. බුදුරජාණන් වහන්සේ විසින් ධර්මානුකූල ජීවිතයක් ගත කරන තැනැත්තා විසින් ප්‍රධාන වශයෙන් ම නොකළයුතු වෙළෙඳාම් පහක් ගැන දේශනා කරන ලදී. එනම් ආයුධ, වහල්, මස්, මත්පැන් හා විෂ වර්ග වෙළෙඳාම යන මේවාය. යමෙක් මෙවැනි වෙළෙඳාමකින් දිවි පවත්වයි ද, එය අධාර්මික දිවි පැවැත්මකි. එයට හේතුව වනුයේ මේ සෑම ක්‍රියාවකින් ම තමන්ට පව් රැස්වීම සිදුවන බැවිනි. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දී සම්මා ආජීව යන්නෙන් මේ කරුණ අවධාරණය කළහ.
එවැනි අධාර්මික මාර්ගයන් ගෙන් තුරන්ව දැහැමි දිවියක් ගෙවන්නා ධර්මය විසින් ම ආරක්ෂා කරන බව බුද්ධ දේශනාවයි. දැහැමි දිවියක් ගෙවන්නා මෙලොව හා පරලොව යන දෙලොව ම සුවසේ වෙසෙන බව ධම්මචාරී සුඛං සේති අස්මිං ලෝකේ පරම්හි ච යන බුද්ධ දේශනය තුළින් පැහැදිලි ය. දහමට පටහැනිව දිවි ගෙවන්නට සිදු වන්නේ මෙලොව හා පරලොව යන දෙලොවම තැවී දුගතිගාමීව තව තවත් තැවීමට ය. දැහැමි තැනැත්තා දෙලොව ම සතුටු වී සුගතිගාමීව බොහෝ පින් කළ බව සිතමින් තව තවත් සතුටට පත් වෙයි. කරුණු මෙසේ හෙයින් යමෙක් ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි නො යෙදෙයි ද එවැන්නන් ට නිවන් පසක් කළ නොහැකිමය. එබැවින් යමෙක් ප්‍රඥාවේ වර්ධනයට හේතුවන මේ දහම් කරුණු තම දිවිය තුළ සජීවී කර ගනියි ද ඔහුට නිවන් දොර ඈත නොවේ.
නිබ්බාණ පච්චයෝ හෝතු

මුණින්ද්‍රයන් වහන්සේගේ මහා කරුණාව

කරුණාව යනු අනුන් ගේ දුකෙහි දී හදවත කම්පා වීම යි. මෙකී කරුණාව ලෝකයෙහි බොහෝ දෙනෙකු තුළ ඇත්තේ ය. ඔවුහු දුකට පත් වූවන් දැක කම්පා වෙති. කඳුළු වගුරුවති. ඒ දුකට පත් වූවන් නඟා සිටුවීමට නන් අයුරින් පිහිට වෙති. තමා පිහිට වූ පුද්ගලයන් ගෙන් පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවෙති. සැබැවින් ම මෙය කරුණාවකි. එහෙත් මෙයට අප “මහා කරුණාව” යැයි නො කියමු. මේ කරුණාව නිසා ජීවිතයේ ඇතැම් ගැටලුවලට කිසියම් උපකාරී වීමක් ලැබෙයි. එහෙත් ඉන් එහාට කිසිවක් අපගේ මේ කරුණාවෙන් කළ නො හැකිය.
බුදුරජාණන් වහන්සේගේ කරුණාව එබඳු ලෞකික උපකාරයක් මත රැඳුනක් නොවේ. එය අසිරිමත් කරුණාවකි. මහා කරුණාවකි. එයට හේතුව කුමක් ද? නො නැවතී ඉපදෙමින් මැරෙමින් යන සසරගත ජීවිත පුරා වැළඳගෙන ඇති මහා දුක් උන්වහන්සේට පෙනීම යි. සසර පුරා පැතිරී ඇති මහා දුකක් අපට නො පෙනේ. අපට පෙනෙන්නේ මේ ජීවිතයේ මිනිසුන් අත්විඳින යම් යම් දුක් කම්කටොළු පමණි.
දිනක් සිදුහත් කුමරු උයන් කෙළියට යමින් සිටියේය. එක්වරම තම නෙතට අමුතු දසුනක් මුණ ගැසුනි. ඒ ඉතා දරුණු ලෙස ජරාජීර්ණ වී එක්තැන්ව මළ මුත්‍රා පහකරමින් සිටින මහල්ලෙකි. මේ දර්ශනයෙන් කුමරුගේ ඇඟ කිළිපොළා ගියේය. ජීවිතය මෙතරම් පිළිකුල් ස්වභාවයට පත්වන්නේ මන්දැයි කුමරුන්ට සිතාගත නොහැකි විය.
ඊළඟ වතාවේ සිදුහත් කුමරු දුටුවේ බිහිසුණු ලෙස රෝගීව සිටින්නෙකි. රෝ දුකින් පීඩිත හේ බැගෑ හඬ නඟමින් කඳුළු වගුරුවයි. මේ දැක්මෙන් කුමරු කම්පනයට පත්විය.
තුන්වෙනි වතාවේ කුමරුන් දුටුවේ වෙනත් දෙයකි. ඒ මළ සිරුරකි. එය වටකොට ගත් ඥාතීහු කෙස් කඩා විසුරුවා ගනිමින් නොයෙක් අඳෙීනා නඟමින් ඒ වියෝව ඉවසාගත නොහැකිව හඬා වැටෙමින් සිටියහ. සාමාන්‍ය මිනිසුන්හට මේ දර්ශනයන් නිතර ඇස ගැටෙන නමුත් මේ තුළින් සිදුහත් කුමරුගේ හදවත දැඩි කම්පනයට පත්කරවීය. අහෝ. . . උපන් මිනිසා කෙමෙන් කෙමෙන් ජරාජීර්ණ වෙයි. නොයෙක් ලෙඩ රෝගවලට බඳුන් වෙයි. නොයෙක් ක්‍රමයෙන් මරණයට පත්වෙයි. මෙය ඉක්මවා යා ගත නොහැක්කේ ද?
සිදුහත් කුමරු තුළ හටගත් මේ කල්පනාවෙන් එක්තරා විසඳුමක් ලැබුණි. එනම් ඊළඟ වතාවේ ශ්‍රමණයෙකු දැකීමයි. ශ්‍රමණයා යනු ගිහි ජීවිතය අත්හළ කෙනෙකි. ඉහත කී ගැටළුවට විසඳුමක් ඔහු තමා තුළින්ම සොයයි. එය කුමරු ගේ සිත් ගත්තේ ය. සිදුහත් කුමරා ද ගිහි ජීවිතය අත් හළේය. ශ්‍රමණයෙකු බවට පත්වූයේය.
සිදුහත් කුමරු ශ්‍රමණයෙකු බවට පත් වූ ඒ කාලය ඉන්දියාවට උදා වූ අමුතුම කාලයකි. බොහෝ දෙනෙක් ඉපදෙන මැරෙන ස්වභාවයට විසඳුම සොයමින් සිටියහ. ජීවිතයේ ඇත්ත කුමක්දැයි සොයමින් සිටියහ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේද ඒ මඟට බැස ගත්හ. ජීවිතයේ ඇත්ත සොයන්නට මහන්සි ගත්හ. ඒ වෙනුවෙන් උන්වහන්සේ නොයෙක් අන්දමේ බරපතල දුෂ්කර ක්‍රියා කළහ. ඒ කිසිවකින් තමන්ට සත්‍යාවබෝධ නොවෙන බව තේරුම් ගන්නට තරම් උන්වහන්සේ මහා ප්‍රඥාාවකින් යුක්ත වීම ලෝවැසියන්ගේ භාග්‍යයකි.
එක්තරා පොහෝ දිනක වෙසක් සඳ උදා වූයේය. ඒ අසිරිමත් රාත්‍රියෙහි ශ්‍රමණ ගෞතමයාණෝ දැඩි අදිටනකින් ඇසතු රුක් සෙවනේ වාඩි වී සිටියහ. තමන් ව සොයා ගත් මඟකින් සිත, කය, වචනය මෙහෙය වූහ. සිත මැනැවින් සමාධිමත් කළහ. ප්‍රඥාව ද දියුණු කළහ. මෙතෙක් නොවූ විරූ ඉතා විස්මිත වූ අවබෝධ-යකට පත් වූහ. එය සම්මා සම්බුදුවරයෙකු ගේ පහළවීම ය. මහා කාරුණිකයෙකු ගේ පහළවීම ය. ආශ්චර්යවත් මිනිසෙකු ගේ පහළවීම ය. ලොවට අමෘතය බෙදන්නෙකු ගේ පහළවීම ය.
මෙසේ අප බුදුරජාණන් වහන්සේ බුදුබවට පත්වීමේදී ලද අවබෝධය පුදුම සහගත දෙයකි. ආශ්චර්ය දෙයකි. අද්භූත දෙයකි. ඒ අවබෝධය තුළින් ම උන්වහන්සේ සසර දුකින් නිදහස්ව ගියහ. ජරා මරණයෙන් නිදහස්ව ගියහ. ඉන්පසු උන්වහන්සේ විසින් කරන ලද්දේ ඒ අවබෝධය මත පිහිටා ලෝක සත්ත්වයා දෙස බැලීමයි. සාමාන්‍ය මිනිසෙකුට තබා ලොවෙහි කිසි දෙවියෙකුට බ්‍රහ්මයෙකුටවත් ඒ අයුරින් ලෝක සත්ත්වයා දෙස බැලීමේ හැකියාවක් නැත්තේය. උන්වහන්සේ ලොව දෙස බලන්නේ බුදු ඇසිනි. ඒ බුදු ඇසින් ලෝක සත්ත්වයා දෙස බලද්දී ලෝක සත්ත්වයා ගේ නො නැවතී ඉපදෙන මැරෙන සසර දුක පිළිබඳ දුක්ඛිත කථාන්දරය උන්වහන්සේ ඉදිරියේ මැනවින් දිග හැරී ගියේය. ලෝක සත්ත්වයා ගේ සැබෑ දුක මැනැවින් දුටුවෝ බුදුරජාණන් වහන්සේ පමණි. උන්වහන්සේ ඒ සසර දුකින් එතෙර වී සිටිති. එහෙත් බොහෝ සත්ත්වයෝ සසර දුකක් ඇති බවක්වත් නො දනිති. ලෝක සත්ත්වයාට සසරේ යථා ස්වභාවය නො පෙනීම ගැන උන්වහන්සේ තුළ මොනතරම් අනුකම්පාවක් ඇතිවන්ට ඇත්ද?
බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සත්‍යයක් යැයි අදහාගත් සිය ශ්‍රාවක භික්ෂූන්ට උන්වහන්සේ මේ සසර දුක පහදා දෙන්නට මහන්සි ගත් සේක.
මහණෙනි, මේ නොනැවතී ඉපෙදන මැරෙන ස්වභාවය උරුම කරගෙන සිටීමට අතිදීර්ඝ කාලයක් ගෙවී ඇත්තේ ය. මේ සා දීර්ඝ කාලයක් මුළුල්ලේ තරහකාරයන් හා එක්වීම නිසාත්, ආදරය කළවුන්ගෙන් වෙන්වීම නිසාත් ඉතා දුකට පත්ව බොහෝ හඬා වැළපී ඇත්තේ ය. එසේ හඬා වැටෙද්දී ඔබේ නෙතින් ගලා හැලුනු යම් කඳුළක් ඇද්ද එයම ඉතා බොහෝ ය. මහ සාගරයේ ජලය එතරම් නැත්තේය.
මහණෙනි, මෙසේ වන්නට හේතුව කුමක්ද? මේ නො නැවතී ඉපෙදන මැරෙන ස්වභාවය පටන්ගත් මුල් අවස්ථාව දැක්ක නොහැකි තරම් ඉතා දීර්ඝ නිසාය. චතුරාර්ය සත්‍යාවබෝධ කරගන්නට නො හැකිවීම නමැති අවිද්‍යාවෙන් මෙහි සත්‍යය වැසී ඇති නිසාය. එනිසා ම තෘෂ්ණාවෙන් බැඳී ඇති නිසාය. එනිසා ම අතිදීර්ඝ කලක් තිස්සේ නො නැවතී ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනක ඔබ පැටලී ඇති නිසාය. මහණෙනි, ඔබ විසින් මේ අති දීර්ඝ කාලය පුරා බොහෝ දුක් කම්කටොලු විඳින ලද්දේය. එහෙයින් මහණෙනි, මේ හටගෙන ඇති සියලු උපත් කෙරෙහි සියලු දේ කෙරෙහි ඇල්ම ඇති නොකර ගැනීම ඉතා සුදුසුය. මේ ගැන කලකිරීම ඉතා සුදුසුය. මෙහි නො ඇලීම ඉතා සුදුසුය. මේ දුක්ඛිත පැවැත්මෙන් නිදහස් වීම ඉතා සුදුසුය යනුවෙනි. (අස්සු සූත්‍රය සංයුක්ත නිකාය)
බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට පැවිදි බව ලබා දුන්නේද මහා කරුණාව නිසාය. උන්වහන්සේ විසින් සොයාගන්නා ලද දහම් මඟෙහි ගමන් කොට මේ බිහිසුනු සසරින් එතෙර වීම පිණිස ය. ශ්‍රාවක භික්ෂූන් වහන්සේට විනය ශික්ෂාපද පණවන ලද්දේ ද මහා කරුණාව නිසාය. ඒ ශික්ෂාපද තුළින් සිය ශ්‍රාවකයන් ගේ දහම් මඟ ආරක්ෂා කරදීම පිණිස ය.
බුදුරජාණන් වහන්සේ තරම් තම ශ්‍රාවකයන් උත්සාහවත් කළ ධෛර්යමත් කළ වීර්යවත් කළ වෙනත් ශාස්තෘවරයෙක් ලොව නැත්තේ ය. වරෙක උන්වහන්සේ ශ්‍රාවකයන්ට වදාරන්නේ මහා ඇත් රජෙක් බට පතුරින් කළ ගෙයක් සුණුවිසුනු කර දමන සෙයින් කෙලෙස් නසා දමන්න කියාය. තවත් වරෙක වදාරන්නේ අභීත යුද සෙබලෙක් යුද්ධය දිනා ජය කෙහෙළි නංවන හෙයින් කෙලෙස් යුද්ධය දිනා ගන්නා ලෙසටය. තවත් වරෙක උන්වහන්සේ මෙසේ වදාරති.
”මහණෙනි, තම ශ්‍රාවකයන්ට ආදරය ඇති කරුණාව ඇති, දයාව ඇති ශාස්තෘවරයෙක් යමක් කළ යුතුද, මා විසින් ඔබට එය කරන ලද්දේය. මහණෙනි, අර තිබෙන්නේ රුක් සෙවනය. අර තිබෙන්නේ නිදහස් තැන්ය. දැහැන් වඩවු. ප්‍රමාදයට පත් නොවන්න. ප්‍රමාද වී මේ අවස්ථාව ගිලිහි යාමෙන් ඔබ මහත් ශෝකයට පත්වන්නට එපා” යනුවෙනි.
අපගේ බුදුරජාණන් වහන්සේ ගේ මහා කරුණාව නිසාම සසර දුකින් පීඩිිත සත්ත්වයෝ එයින් මිදී පිරිනිවී ගියාහුය. තව පිරිසක් අනාගාමි සුද්ධාවාස බඹලොව උපන්හ. තව පිරිසක් සකදාගාමිව දෙව්ලොව උපන්හ. තව පිරිසක් සෝවාන්ව ආත්ම හතක් ඇතුළත පිරිනිවන් පාන බවට පත්වූහ. තව පිරිසක් දෙව්ලොව උපන්හ. මගඵලලාභී සියලු ශ්‍රාවක පිරිස සතර අපා දුකින් සදහටම නිදහස් වී ගියහ. එය මහා කරුණාවේ මහිමය යි. බුදු කෙනෙක් මිස එබඳු දෙයක් ලොව වෙන කවුරු නම් කරත් ද?

සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වයට පත්වීම

මෙයින් වසර දෙදහස් හයසිය සතරකට පමණ පෙර සිදුහත් බෝසතාණෝ භාරත වර්ෂයේ මධ්‍ය දේශයේ නේරඤ්ජරා නදිය අසබඩ ගයා ශීර්ෂයේ දී ලොව්තුරා බුද්ධත්වයට පත් වූ සේක. “මහණෙනි යම් කලෙක මට චතුරාර්ය සත්‍යය මෙසේ තිපරිවට්ට හා දොළොස් අයුරකින් ඇති ඥාන දර්ශනය තතු සේ අවබෝධ වීද මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයේ මහණ බමුණන් හා දෙවි මිනිසුන් සහිත ප්‍රජාව අතරේ උතුම් වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළෙමියි ප්‍රතිඥා කරමි.” බුද්ධත්වය හෙවත් බුදුවීම යනුවෙන් අදහස් කරන්නේ කුමන තත්ත්වයක් දැයි මෙම සංයුක්ත නිකායේ අන්තර්ගත ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව අනුව පැහැදිලි වේ.
මේ අනුව දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්මයන් තිපරිවට්ට එනම් සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය වශයෙන් එක් එක් ආර්ය සත්‍යයන් දොළොස් ආකාරයෙන් යථාභූතව අවබෝධ කොට ගැනීම බුද්ධත්වය ලැබීම යනුවෙන් අදහස් කෙරේ. සංයුක්ත නිකායේ අභිසම්බුද්ධ සූත්‍රයෙහි ද “මහණෙනි මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තත් වූ පරිදි විශේෂයෙන් අවබෝධ කළ හෙයින් තථාගතයන් වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්ධ යයි කියනු ලැබේ” යි යනුවෙන් සඳහන්ය. මෙලෙස ඕනෑ තරම් නිදසුන් සූත්‍රනයින් ඉදිරිපත් කළ හැකිය. ඉහත සඳහන් චතුරාර්ය සත්‍ය තිපරිවට්ට ද්වදසාකාර වශයෙන් අවබෝධ කිරීම යනු කුමක්දැයි මෙහි දී විවරණය කිරීමට අවකාශ නොමැත.
පටිසම්භිදාවග්ගපකරණයේ ආනාපාන සති කථාවෙහි දී ‘බුද්ධ’ යන පදය විවරණය කරන්නේ මෙසේය. “බුද්ධෝති යො සෝ භගවා සයම්භූ අනාචරියකො පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු සාමං සච්චානි අභිසම්බුජ්ක්‍ධි තත්ථ ච සබ්බඤ්ඤුතං පත්තො බලෙසු ච වසිහාචං” යනුවෙනි. මෙම පාලිපාඨයේ සාමාන්‍ය අදහස පමණක් මෙහි සටහන් කරන්නේ සාමාන්‍ය පාඨකයාට අවබෝධ වීම පිණිසයි. එනම් “පෙර නො ඇසූ වීරූ චතුරාර්ය සත්‍ය ධර්මය කිසිදු ගුරුවරයෙකුගේ මග පෙන්වීමකින් තොරව, තම නුවණින් ම අවබෝධ කළ එම සිව්සස් දහම් සියලු ආකාරයෙන් දත්, බලධර්මයන්ගේ වශීභාවයට පත් තැනැත්තා බුද්ධ නම් වන බවයි” එමතුදු පමණක් නොව බුදුරජාණන් වහන්සේ යනු කවරෙකුදැයි තවදුරටත් එහි විවරණය කරන්නේ මෙසේය. එනම් ‘කෙනට්ටෙන බුද්ධො’ කවර අරුතින් බුද්ධ නම් වීද යත් චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ බුද්ධ නම්ය. ප්‍රජාවට අවබෝධ කරනුයේ බුද්ධ නම්ය. සර්වඥ බැවින් බුද්ධය, සියල්ල දක්නා හෙයින් බුද්ධ නම් වේ, වෙනත් කෙනෙකු විසින් අවබෝධ නොකරවිය යුතු නිසා බුද්ධ නම්ය, විවිධ ගුණ පහළ කරන නිසා බුද්ධ නම් වේ, සියලු කෙලෙස් නැති කළනිසා බුද්ධ නම් වේ, නිරුපක්ලේස සංඛ්‍යාවෙන් බුද්ධ නම්වේ, ඒකාන්තයෙන් රාගය දුරු කළ ඒකාන්තයෙන් ද්වේෂය දුරු කළ ඒකාන්තයෙන් මෝහය දුරු කළ හෙයින් බුද්ධ නම් වේ. එකලාව (හුදකලාව) අනුත්තර වූ සම්‍යක් බෝධිය අවබෝධ කළෝ බුද්ධ නම් වේ. අබුද්ධිය නෑසූ බැවින් බුද්ධි ප්‍රතිලාභ හෙයින් බුද්ධ නම් වේ.
පටිසම්භිදාමග්ගය මෙන්ම චුල්ලනිද්දෙස පාලියේ දක්නට ලැබෙන මෙම විස්තරයෙහි බුද්ධ යන නාමය තැබුවේ කවුරුන් විසින් දැයි තවදුරටත් විවරණ කරන්නේ මෙසේය. “බුද්ධ යන මෙම නාමය මැණියන්, පියාණන්, සහෝදරයෙකු සහෝදරියක, යහළුවන්, නෑයන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන්, දෙවියන් විසින් නොකරන ලදී. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ යම් බුද්ධ යන නමක් වේ නම් අර්හත්ඵලය අන්තයෙහි උපන් නාමය බෝමැඩදී සර්වඥතාඥානය ලැබීමත් සමඟ අර්හත්ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියකි.”අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ හෝ ද්‍රෝණ ලොක සූත්‍රයෙන් ද තමන්ට ‘බුද්ධ’ යන නාමයෙන් අමතන ලෙස (බුද්ධොති මං බ්‍රාහ්මණ ධාරෙහි) ද්‍රෝණ බමුණාට බුදුරජාණන් වහන්සේ වදාළහ.බුධ ධාතුවට ත පත්‍ර්‍යය වී සෑදුන අතීත කෘදන්ත නාමයක් වන බුද්ධ ශබ්දය බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර (ප්‍රාග් බෞද්ධ යුගයේ) සිට පවතින වචනයක් ලෙස පෙරපර දෙදිග බොහෝ විද්වත්හු විවරණය කරත්. සෘග්වේද සංහිතාවේ පස්වන මණ්ඩලයේ බෝධීන් යන වචනය, බෝසතුන්ට නම් තබන අවස්ථාවේ අංග ලක්ෂණ ශාස්ත්‍රකරුවන්ගේ අදහස්, භගවත් ගීතාවේ අන්තර්ගත කරුණු ආදී අවස්ථා ඒ සඳහා ප්‍රමාණ කරති. එහෙත් තථාගතයන් වහන්සේම තමන් වහන්සේ ලොවට හඳුන්වාදීම සඳහා බුද්ධ යන වචනය ව්‍යවහාර කොට ඇති හෙයින් ඉහත අදහස් සනාථ කිරීමට වඩා අනාථ කිරීමට ථෙරවාද ත්‍රිපිටකයෙන් කරුණු ඉදිරිපත් කළ හැකිය.
තථාගතයන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කොටගත් ආකාරය පිළිබඳ විස්තරයක් මජ්ක්‍ධිම නිකායේ මහාසච්චක සූත්‍රයෙහි ඇතුළත් වෙයි. එනම් අග්ගිවෙස්සන, මම ඕලාරික ආහාර ගැනීමෙන් කායබල ලබාගෙන කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීති සැප ඇති ප්‍රථම ධ්‍යානය ලබා වාසය කළෙමි. අග්ගිවෙස්සන උපන්නා වූ මෙබඳුවූද සැප වේදනාව මාගේ කුසල සිත විනාශ නොකරයි... මෙලෙස දෙවන, තුනවන, සතරවන ධ්‍යාන උපදවා වැඩ සිටින සේක. ඒ අවස්ථාවෙහි දී “ඒ මම මෙසේ සිත සමාධියෙන් එකඟ වූ කල්හි පිරිසුදු වූ කල්හි දීප්තිමත් වූ කල්හි, රාගාදී කෙලෙස් රහිත වූ කල්හි, පහවූ අඳුර ඇති වූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසු වූ කල්හි, සිත ස්ථිර වූ කල්හි, පෙරජාති දැනීමේ (පුබ්බේනිවාසානුස්සති) ඥානය පිණිස සිත් යොමු කළෙමි. මම විවිධ වූ පෙර විසීම් සිහි කරමි... අග්ගිවෙස්සන මා විසින් රාත්‍රියේ පළමුවන යාමයෙහි මේ පළමුවන විද්‍යාව ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නේය ආලෝකය උපන්නේය. රාත්‍රියෙහි මැදයාමයෙහි දී චුතූපපාත (සත්ත්වයා චුතවීම් මැරෙන ඉපදීම්) ඥානය ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. දෙවන විද්‍යාව ලබන ලදී. අග්ගිවෙස්සන ඒ මම සිත සමාධියෙන් එකඟ වූ කල්හි, පිරිසුදු වූ කල්හි... ආසවක්ඛය ඥානය සඳහා සිත යොමු කළෙමි.ඒ මම මේ දුකයයි තතුසේ දැන ගතිමි. මේ දුක ඉපදීමට හේතුවයි තතුසේ දැන ගතිමි. මේ දුක නැති කිරීමයි තතුසේ දැන ගතිමි. මේ දුක නැතිකිරීමේ මගයි තතුසේ දැනගතිමි. මේ ආසවයයි තතුසේ දැන ගතිමි. මේ ආසව සමුදයයි තතුසේ දැනගතිමි. මේ ආසව නිරෝධයයි තතුසේ දැනගතිමි. මේ ආසව නිරෝධගාමිනි පටිපදාවයි තතුසේ දැන ගතිමි. (ආසව යනු කෙලෙස්ය. ඒවා නැති කිරීමෙන් ලබන ඥානය ආසවක්ඛය ඥානය හෙවත් ආශ්‍රවක්ෂයකර ඥානයයි)
“අග්ගිවෙස්සන : මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මාගේ සිත කාමාසවයන්ගෙන් මිදුණේය. භාවාසවයන්ගෙන් මිදුනේය. අවිජ්ජාසවයන්ගෙන් මිදුණේය. මිදුණු කල්හි මිදුණේය කියා ඥානය පහළ විය. ඉපදීම (ජාතිය) නැති කරන ලදී. බඹසර වැස නිමවන ලදී. කළ යුතුතාක් කරන ලදී. මේ භවය මිස වෙනත් භවයක් නොමැතයි මැනවින් දැන ගතිමි. මෙසේ රාත්‍රී පශ්චිම යාමේදී මට තුන්වන විද්‍යාව ලැබිණි. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපනි. අන්ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය.”
මහාසච්චක සූත්‍රය මෙන්ම ත්‍රිපිටකයේ තවත් විවිධ තැන්වල සඳහන් වන පරිදි ත්‍රිවිද්‍යාව වශයෙන් හැඳින්වෙන මෙම පුබ්බේනිවාසානුස්සති ඥානය, චුතූප්‍යපාත ඥානය හා ආසවක්ඛය ඥානය ලැබීමත් සමඟ බුද්ධත්වයට පත් වූ බව ප්‍රකට වන කරුණකි. එම නිසා සියලු ආස්‍රව ක්ෂය වීමත් සමඟ අප මහ බෝසතාණෝ ලොව්තුරා බුද්ධත්වයට පත් වූ සේක.
බුදුරජාණන් වහන්සේ දෙවියෙකුට හෝ මනුෂ්‍යයෙකුට හෝ වෙනත් කවරෙකුට හෝ සම කළ නොහැක්කේ කාමාදී සකලවිධ ක්ලේශ ධර්මයන් ප්‍රහීණ කළ බැවිනි. එම නිසා අසම නම් ගුණයෙන් යුක්ත වේ. ඥානලෝක සූත්‍රයෙහි පමණක් නොව තවත් විවිධ දේශනාවන්හි අන්තර්ගත වන පරිදි උපුලක් (උප්පලං) හෝ සුදුනෙළුමක් (පුන්ඩරීකං) හෝ පියුමක් (පදුමං) හෝ දියෙහි හට ගෙන දියෙහි වැඩී, දියෙන් පැන නැගී, දියෙහි නොගෑවී තිබෙන්නාක් සේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ මිනිසුන් අතර ඉපිද මිනිසුන් අතර වැඩී ලෝකයාගෙන් මිනිසුන්ගෙන් ඉස්මතු වී ලෝකයා සමඟ නොගැටී, නොගෑවී, නොබැඳී සිටින සේක. එනිසා උත්තරමනුස්ස නමින්ද හඳුන්වා ඇත.සංයුක්ත නිකායේ ඛන්ධක සංයුක්තයට අයත් සම්බුද්ධ සූත්‍රය අනුව තථාගතයන් වහන්සේ හා රහතන් වහන්සේ අතර වෙනස පැහැදිලි වේ. එනම්,මහණෙනි තථාගතයන් වහන්සේ රූප - වේදනා - සඤ්ඤා, සංඛාරා විඤ්ඤාණ යන පඤ්චස්කන්ධයෙහි කලකිරීමෙන්, නොඇලීමෙන්, නිරෝධයෙන්, අනුපාදානයෙන් විමුක්ත වූ බැවින් සම්මාසම්බුද්ධයයි කියනු ලැබේ. පඤ්චස්කන්ධයෙහි කලකිරීමෙන් නිරෝධයෙන්, අනුපාදානයෙන්, විමුක්ත වූ භික්ෂුනමක් පඤ්ඤාවිමුක්තයයි කියනු ලැබේ. මෙහිලා සම්මාසම්බුදුරජාණන් වහන්සේගේත් පඤ්ඤාවිමුක්ත රහතන් වහන්සේලාගේත් විශේෂය වෙනස කුමක්ද? භික්ෂූන් වහන්සේ අයැද සිටියහ. තථාගතයන් වහන්සේ “මහණෙනි, සම්මාසම්බුදුරජාණන් වහන්සේ නූපන් මඟ උපදවති. නොහටගත් මඟ හටගන්වති. නොදෙසූ මඟ දේශනා කරති. මඟ දනිති. මඟ අවබෝධ කළහ. මඟ නිපුණයහ. ශ්‍රාවකයෝ මඟ අනුගමනය කරති. පසුව මාර්ගයෙහි යෙදී වාසය කරති. සම්මාසම්බුදුරජාණන් වහන්සේගේත් පඤ්ඤාවිමුක්ත රහතන් වහන්සේගේත් අතර වෙනස වදාළ සේක.තථාගතයන් වහන්සේ අවබෝධ කළ ධර්මය ප්‍රමාණ කළ නොහැකිය. එහෙත් උන්වහන්සේ පන්සාලිස් වසක් (අවුරුදු 45) වැඩ වෙසෙමින් දෙව්මිනිසුන්ට වදාළ ධර්මය ස්වල්පයකි. සංයුක්ත නිකායේ සිංසපා සූත්‍රය අනුව ඒ බව මනාව වැටහේ. එහෙත් දේශනා කළ ධර්මය නිර්වාණාවබෝධය පිණිස ප්‍රමාණවත් වේ.

නිවන් මඟ

නිවනට මඟ හෙළි කරගන්නා අන්දම සරල ලෙස පහදන පූජ්‍ය අජාන් චා තෙරණුවෝ ඒ සඳහා සිත පුහුණු කරන අන්දම මේ ලිපියෙන් පහදති.
අභිධර්මය හැදෑරීම ඔබට යහපත සලසනවා විය හැකියි. එහෙත් එය කළ යුත්තේ පොත්-පත්වලට ඇලීමෙන් නොවේ. ඒවා කියවන ඔබ සිතන්න ඕනෑ දුක වටහාගෙන එය අබිබවා යෑමටයි ඔබ එය ඉගෙනීමෙහි යෙදෙන්නේ යන්න. මේ කාලයේ විපස්සනා භාවනාව උගන්වන ගුරුවරු බොහෝය. විපස්සනා භාවනාවෙහි යෙදෙන ක්‍රමද එමටය. එහෙත් විපස්සනා පුහුණුව එතරම් පහසු නැත. ශීලය නමැති ශක්තිමත් අත්තිවාරම නොමැතිව හිටි-හැටියේ එය ආරම්භ කිරීම උගහටය.
ඔබ අත්හදා බලන්න. යහපත් පැවැත්ම, පුහුණුව පිළිබඳ නීති මාලාවන් හා හැසිරීම පිළිබඳ උපදෙස් විපස්සනා පුහුණුව පිළිබඳ වුවමනා කරනවා. ඔබේ ක්‍රියාවන් හා වචනය පුහුණුවෙන් තොර නම්, අසංවර නම්, ඔබගේ මග ඔබට පල ලබා දෙන්නේ නැහැ. ඇතැමුන් කියනවා සමථ භාවනාව වුවමනා නැහැ කියා. කෙළින්ම ඔබට විපස්සනාවට පිවිසිය හැකි වෙයි කියා. ඔවුන් කියන්නේ පුහුණුවට ශීලය අනවශ්‍ය බවයි. එහෙත් ශීලයේ පිහිටීම පහසු දෙයක් නොවේ. ඉබේ එය සිදු වන්නේ නැහැ. ශීලයේ නොපිහිටා ඔබට පුහුණු වන්නට ඕනෑ නම්, මුළු පුහුණුවම ඔබේ පහසුවට ඇති වූ අපහසුතාවක් ඇති වුව හොත් එය ගැන නොසලකා එය අමතක කිරීම කොතරම් පහසු දෙයක්ද? අපහසු දෑ අමතක කරන්නට අකැමැති වන්නේ කවුද?
එක්තරා පැවිද්දෙක් ඔහුට දහම් පුහුණුවේ යෙදෙන්නට ඕනෑය කියා මගේ ආශ්‍රමයේ සිටින්නට අවසර ඉල්ලුවා. ඔහු විපරම් කළා පැවිද්දන් අනුගමනය කළ යුතු, ඔවුන්ට බලපාන නීති-රීති. මා ඔහුට පැහැදිලි කළා අපි මෙම ආරාමයේ විනය නීති අනුගමනය කරනවා. එනිසා මිල-මුදල් හා පෞද්ගලික භාණ්ඩ තබාගැනීම තහනම් බව. ඔහු කියා සිටියා තමා නෑලීම පුහුණු කරන්නෙක්ය කියා. මා ඔහුට දුන් පිළිතුරක් නම් ලුණු රස නැති ලුණු ලබාගෙන එය පරිහරණය කළ හැක්කේ යම් සේද, ඒ අන්දමට මුදල්ද ඔහුට පරිහරණය කළ හැකි බව.
ඔහුට ඕනෑ කළේ වචනයෙන් අනුන් රැවටීමටයි. ඔහු වටිනාකමක් නැති ලෙස සලකන නීති මාලාවලින් බැඳී කල් ගත කිරීමට මැළි, වචනයෙන් පමණක් නෑලීම ගැන කථා කරන අයෙකි. ලුණු ගතිය නැති ලුණු ඔහුට සොයාගැනීමට හැකි වූවා නම් මට ඔහු කියන දෑ පිළිගන්නට ඉඩ තිබුණා. එවැනි ලුණු ඔහුට ලබාගන්නට හැකි වූවා නම් ඔහුට ඒවා ගොඩක් ගෙන රස බලන්නට ඉඩ තිබුණා. ඒවායේ ලුණු රස නොමැතිද? නෑලීම ගැන වචනවලින් පමණක් කතා කරන්නට හෝ එහි යථා තත්ත්වය දකින්නට පුළුවන්කමක් නැහැ. එය ඒ වගේ නොවේ. ඔහු පුහුණුව පිළිබඳ ඉහත කී අදහස් ප්‍රකාශ කොට සිටි කල්හි ඔහුට පැහැදිලි වූවා මෙහි රඳා සිටින්නට නොහැකි බව. ඒ නිසා ඔහු යන මඟ යන්නට ගියා.
ශීලය හා ධුතාංග පුහුණුවට ඔබ වෙහෙසෙන්න ඕනෑ. ගිහියන්ටත් එසේමයි. ඔබ ගිහියෙක් නම් අවම වශයෙන් පන්සිල් රක්ෂා කළ යුතුයි. ඔබගේ කය හා වචනය සංවර වන්නට ඕනෑ. එවිට ඔබේ පුහුණුව ක්‍රමයෙන් දියුණුව කරා යයි.
සමථ භාවනාව දියුණු කිරීමට ඔබ දිරි වඩා පල රහිත වූවායයි සිතමින් එය අත්හරින්නට හොඳ නැත. එසේ කිරීම වැරදියි. ඔබ කලක් එය පුහුණු කරන්නට ඕනෑ. ඇයි එසේ කාලයක් ගන්නේ? කල්පනා කර බලන්න. පුහුණුවේ නොයෙදී ඔබ කොපමණ කාලයක් ගත කර තිබේ ද? සිතිවිලි ඇති වී ඒවා ඔබ සිත එක පැත්තකට ඇදගෙන යන විට ඔබ ඒ දෙසට ගමන් කරනවා. සිතිවිලි ඔබේ සිත තවත් පැත්තකට යොමු කරන විට ඔබ ඒවා පසුපස ගමන් කරමින් සිතිවිලි පරම්පරාවන් බිහි කරනවා. මාස කීපයකින් එය කරන්නට බැහැ. මේ ගැන සිතා බලන්න.
ඔබේ සිත අත්දකින සිතිවිලිවලින් කම්පාවට පත් නොවී නිසලව සිත තබාගන්නට හැකි නම්, එවැනි සිතක් ඇති කරගැනීමට ඔබ කොපමණ වෙහෙස විය යුතුද යන්න කල්පනාවට නගන්න. ඔබ මුලින් පුහුණුවේ යෙදෙන විට සිත අරමුණක ගැටුණු වහාම කම්පනයට හා අවුලට පත් වෙනවා. ඊට හේතුව කුමක්ද? ඔබේ සිත තණ්හාවේ යටතට පත් ව තිබීමයි. ඔබේ ආශාව සිතේ සිතිවිලි නතර කරන්නයි. මෙම ආශාව තණ්හාවේ වෙන මුහුණුවරකි. එනම් විභව තණ්හාවයි. යම් කිසි සිදුවීමක් ඔබට සිදු නොවිය යුතුයි යන තණ්හාව ලෙසය මෙය හඳුන්වන්නේ. ඔබගේ සිතේ කම්පනය හා අවුල්බව නැති කිරීමට නම් ඔබ ආශා කරන්නේ, එම ආශාව තිබෙන තාක් කම්පනය හා සිතේ අවුල් බව ඔබව අත්හැර යන්නේ නැහැ.
 ඔබ කියනවා, “මට මෙවැනි කම්පනයක් හා අවුල් සිතිවිලි ඕනෑ නැහැ. ඇයි ඒවා පහළ වන්නේ? ඇයි මගේ සිත මේ වගේ අසහනයට පත් වන්නේ? ඇයි එසේ සිදු වන්නේ?” ඔබේ සිත ශාන්ත තත්ත්වයට පත් කිරීමටයි ඔබේ තණ්හාව. ඊට හේතුව ඔබේ සිත ගැන ඔබේ නොදැනීමයි. එය පිළිබඳ සිතිය යුත්තේ එපමණයි. සිතේ තිබෙන තණ්හාවට ඔබ යට වෙනවා, එහෙත් ඔබ එය වටහාගැනීමට හිතන්නත් බැරි තරම් දිගු කලක් ගත කරනවා. මේ ගැන ඔබ පැහැදිලිව කල්පනා කරනවා නම්, ඔබේ සිතේ කම්පනය හා නොසන්සුන් බව ඔබේ ආරාධනය මතයි ඇති වන්නේ. ඔබේ තණ්හාව සිත ශාන්ත කරන්නටයි, අසහනයෙන් හා කම්පනයෙන් මිදී. මෙය ඇත්තෙන්ම මුළුමනින්ම තණ්හාව ලෙස දකින්නට ඕනෑ.
ඒවා කුමක් වුවත් කම් නැත. ඔබේ පුහුණුව ඉදිරියටම ගෙනයන්නට ඕනෑ. සිතේ සිතිවිල්ලක් ඇති වූ විට එය කල්පනාවට ගෙන එහි අනිත්‍යභාවය, දුක් ගෙනදෙනසුලු බව, හා එය අනාත්ම නොහොත් තමාට හිමි නොවන බව ඔබ දකින්ට ඕනෑ. මනසට අරමුණක් පහළ වූ විට එය ඔබ දකින්නට ඕනෑ. මනසට අරමුණක් පහළ වූ විට එය සිතිවිලි ගොඩනගනවා. ඒ සිතේ අරමුණුවලට ලබා දෙන ප්‍රතිචාරයයි. සාමාන්‍ය සිතිවිලි හා ප්‍රඥාව මුල් කරගෙන ඇති වන සිතිවිලි එකිනෙකට වෙනස්. සාමාන්‍ය සිතිවිලි නැවතීමක් නැතිව වර්ධනය වෙනවා. මනසේ ඇති වන අරමුණු ඔබව ඔබ-මොබ දුවවනවා. ඔබ ඒවා මඟින් පාලනය වෙනවා.
ප්‍රඥාවෙන් යුත් සිත සිතිවිලි පරම්පරාවන් ගොඩනැංවීම වළක්වනවා. සිත නිසල කළ විට එහි දිවීම සිදු වන්නේ නැහැ. ඔබ ඔබේ සිතේ පහළ වන අරමුණක් දකිනවා පමණයි. ඔබේ සිත නොයෙක් අන්දමේ අරමුණු අත්දකින විට ඔබගේ හැඟීම්වල වෙනස්කම් ඇති කරනවා. එහෙත් ඒ සිතුවිලි ඔබ නුවණින් දැක බලාගෙන, ඇති වන සියලු සිතිවිලි හා සිතිවිලි පරම්පරාවන් හා ඒවා ගෙන දෙන දුක් හෝ සැප වේදනාවන් සියල්ල හිස්, යමෙකුගෙන් තොර ලෙස ඔබට දකින්නට හැකි වෙනවා.
ඒවා සියල්ල අනිත්‍ය, දුක් හා අනාත්ම ලෙසය, ඔබ වටහාගන්නේ. පුහුණුව ඇති කරගත යුත්තේ එවැනි සිතිවිලි පරම්පරාවන් ගොඩනැගෙනවාත් සමඟම ඉහත සඳහන් ලක්ෂණ තුන ඒවාට බලපාන බව කල්පනාවට ගැනීමෙනි. එසේ කිරීමෙන් එවැනි සිතිවිලි දුබල වී බල රහිත වෙනවා. ඉන් පසු ඔබ භාවනාවේ යෙදෙන විට ඔබේ සිතේ කම්පනය ඇති වුව හොත් එවැනි සිතිවිලි ඇති වීමෙන් එවිටද ඔබ පෙර මෙන් ඒවායේ අනිත්‍යභාවය, දුක් ගෙනදෙනසුලු බව හා අනාත්ම බව දැකිය යුතුයි.
උපමාවක් මඟින් මෙය පැහැදිලි කරනවා නම් එය හරියට මී හරකෙක් පාලනය කරනවා වගෙයි. මී හරකෙක් ඉන්නවා. ඌට හිමිකරුවෙක් ඉන්නවා. ගොයම් පැළද තිබෙනවා. ගොයම්පැළ කෑමට මී හරකුන් කැමැතියි. ඒවා ඔවුන්ගේ ආහාරයක්. ඔබේ සිත සමාන කළ හැකියි මී හරකාට. සිතට යොමු වන අරමුණු ගොයම් පැළවලට සමාන කළ හැක්කේය. ඔබේ සිතේ ප්‍රඥාව තිබෙන කොටස නොහොත් ‘දන්නා අය’ මී හරකාගේ හිමිකරුය.
ඔබගේ දහම් පුහුණුව මීට සමාන වෙනවා. කල්පනාවට ගන්න: ඔබ මී හරකෙක් පාලනය කරනවා නම් කුමක්ද කරන්නේ? ඌට ඔබ-මොබ නිදැල්ලේ යන්නට ඉඩ හැර ඌ පිළිබඳව කල්පනාකාරීව ඉන්නවා. ඌ ගොයම් පැළවලට කිට්ටු වෙනවාත් සමඟ කෑගසමින් ඌ ගොයම් පැළ කෑමෙන් වළක්වන්නට වෙහෙසෙනවා. ඔබේ කෑගැසීම නිසා ඌ ගොයම් පැළ දෙසට නොගොස් නතර වෙන්ට ඕනෑ. නැත් නම් ආපසු යන්න ඕනෑ. එහෙත් ඔබට නොසැලකිලිමත් වන්නට ඉඩක් නැහැ. ඌ ඔබේ කෑගැසීම නොසලකා ඉදිරියටම යන්නේ නම් කෙවිටක් ගෙන ඌට පහර දෙන්නට ඕනෑ. එවිට ඌ පැළ තිබෙන දෙසට ගමන් කරන්නේ නැහැ. ඔබ ගහක් යටට වී නිදිකිරන්නේ නම් ඌ ඔබේ ගොයම් පැළ කාදමනවා.
මේ වගේ තමා පුහුණුව. ඔබගේ සිත පිළිබඳව ඔබ පරීක්ෂාවෙන් ඉන්නවා නම් සිතේ ‘දන්නා අය’ යි එහි යෙදෙන්නේ. සිත කෙරෙහි අවධානයෙන් සිටින අය මාරයාගේ බන්ධනයෙන් නිදහස ලබයි. එහෙත් ඔබට ගැටලුවක් ඇති වන්නට ඉඩ තිබෙනවා. සිත කියන්නේ සිතටයි. එසේ නම් සිත පිළිබඳ අවධානය ඇති කරගන්නේ කවුද? සිත එකක්. සිත පිළිබඳව ‘දන්නා අය’ තව එකක්. එහෙත් එය දන්නා අය සිත තුළමයි බිහි වන්නේ. සිත පිළිබඳව දන්නා සිත ‘දන්නා අය’ ලෙස හැඳින්වේ. සිත අරමුණු ගන්නා විට ඒවා සිතෙන් වෙන් වෙන්ව දකින්නේ සිතේම කොටසක් වන ‘දන්නා අය’ යි. සිතේ මේ කොටස බුදු රදුන් හැඳින්වූයේ ‘දන්නා අය’ ලෙසයි.
‘දන්නා අය’ යි සිත පිළිබඳව අවධානය ඇති කරගන්නේ, ප්‍රඥාව බිහි කරනනේ මෙම අවධානයෙන්ය. සිත ලෙස හඳුන්වන්නේ සිතීම හා සිතිවිලිය. සිතට අරමුණුක් ලක් වුණ විට ඒ අරමුණු ඔස්සේ සිත දුවනවා. තවත් අරමුණක් ඇති වුවාම ඒ ඔස්සේ සිත දුවනවා. එය හරියටම අර මී හරකා වගේ ගොයම් පැළ කෑමට ඌ සැරසෙනවා. ඌ නිදැල්ලේ හැසිරුණාට හැමවෙලේම ඌ කෙරෙහි ඔබ ඇහැගහගෙන ඉන්නට ඕනෑ. ගොයම් පැළ දෙසට ඌ ගමන් කරන්නේ නම් ඔබ ඌට අනතුරු අඟවනවා. ඔබේ කෙවිට දික් කරමින් ඌව පුහුණු කිරීමට නම් ඌගේ ආශාවන් මුදුන්පත් කරගැනීමට ඉඩ නොදී ඌට දුක් දෙන්නට සිදු වෙනවා.
සිත පුහුණු කිරීමද මේ වගේ සාමාන්‍යයෙන් සිත අරමුණක් සමඟ ගැටුණාම එය ඩැහැගන්නවා. ‘දන්නා අය’ සිතට එවිට උගන්වන්නට ඕනෑ. සිතේ අරමුණු යහපත් හෝ අයහපත් යනුවෙන් වෙන්ව දකිමින් නුවණින් එය පරීක්ෂා කරන්නට ඕනෑ. සිත පි‍්‍රය කරන අරමුණු අත්දැකීමේදී සිත දුව ගොස් ඒවාට ඇල්ම කරනවා. ‘දන්නා අය’ එවිට සිත වරින් වර කරුණු පහදා දෙන්නට ඕනෑ. එවිටයි සිත ඒවා අත්හරින්නේ. මේ අන්දමින් සිත නිසල කිරීමට ඔබ වෙහෙසෙන්නට ඕනෑ. ඔබ ඇල්ම ඇති කරගන්නා අරමුණු සියල්ල ඇත්තෙන්ම අහිතකර ඒවාය. ඔබේ පුහුණුවේ ඵලය වන්නේ සිත තුළ සිතිවිලි පරම්පරාවන් ගොඩනැඟීම වහා නතර කිරීමයි. සිත එවිට ඒවා පසු පස දුවන්නේ නැහැ. ඊට හේතුව ‘දන්නා අය’ සි නිතරම විවේචනයට හා අවධානයට ලක් කිරීමයි. ඇත්තෙන්ම ඔබ, සිතට වද දෙන්නට ඕනෑ. ඔබේ හදවතට එම ඉගැන්වීම් එකතු වෙන තුරු එය සිදු වෙනවා. එමඟින් සිත පුහුණු කළ හැක්කේ.
මේ අන්දමට මා වනගත වූවාට පසු මගේ පුහුණුවේ යෙදුණේ. පැවිදි අයට මා උගන්වන විටද මා එසේය ඔවුන්ට කියා දුන්නේ. මට ඕනෑ කරන්නේ සත්‍යය ඔබටම දකින්නට සලස්වන්නටයි. පොතේ තිබෙන ඒවා පිළිබඳ දැනුම ලබා දීමට නොවෙයි. කෙලෙසුන් සහිත සිතිවිලිවලින් ඔබේ සිත නිදහස් වී නැද්ද යන්න ඔබේ මනස තුළම ඔබ දකින්නට ඕනෑ. කෙලෙසුන්වලින් ඔබේ සිත නිදහස් වී නැත් නම් නුවණින් ඔබ කල්පනා කොට සත්‍යය ඇති තතු දැනගන්නට ඕනෑ. ඔබට සිතිවිලි පිළිබඳ තියුණු දැකීම පහළ වී නම් ඒවායින් ඔබ්බට යෑම ඉබේම සිදු වන්නක්. වරින් වර කෙලෙස සිතිවිලි ඔබ තියුණු නුවණින් දැක ඒවා සියල්ල අබිබවා යන තෙක් ඔබේ පුහුණුව නතර කළ යුතු නැත. නැවත නැවතත් ඔබේ සිතට පැනයන්නට ඉඩ නොදී එය පුහුණු කරන්නට ඕනෑ. මේ අන්දමටය මගේ සිත මා පුහුණු කළේ. බුදු රදුන් ඉගැන්වූවා ‘පච්චත්තං වේදිතබ්බෝ විඤ්චඤූහි.’ තමාම අවබෝධය ලබාගත් අයය නැණවතුන් වනනේ මෙහි තේරුම් නම් ඔබේම පුහුණුවෙන් ඔබ තියුණු දැනීම ලබාගන්නට ඕනෑ. ඔබ වටහාගත යුත්තේ ඔබ පිළිබඳවයි.
ඔබට ඔබ කෙරෙහි විශ්වාසය තිබෙනවා නම්, ඔබ ඔබගේ සිත පිළිබඳව දන්නවා නම්, ඔබට අසහනයක් දැනෙන්නේ නැහැ. අන් අය ඔබව විවේචනය කරනවා නම්, එසේ නැත් නම් ඔබේ ගුණ කියනවා නම්, එවිටද ඔබේ සිත සැලෙන්නේ නැහැ. ඔවුන් කුමක් කීවත් ඔබේ සිත දුකට පත් නොවී එහි ඇති ශාන්තිය දකිනවා. ඇයි ඔබට එසේ කළ හැකි වන්නේ? ඔබ ඔබ ගැන දන්නා නිසයි. අන් අය ඔබගේ ගුණ කියන විට එවැනි ගුණ ඔබට නැත් නම් ඔබ ඒ අයව විශ්වාස කරනවාද? එසේ කරන්නේ නැහැ. ඔබේ පුහුණුව කරගෙන යෑමෙන් ඒ පිළිබඳව ඔබේම තීරණය ඔබ වැදගත් ලෙස සලකනවා. පුහුණුවේ පදනමක් නැති සමහරුන් පිළිබඳ ගුණ ඔවුන්ට අසන්නට ලැබුණාම ඔවුන් සතුටට පත් වෙනවා. ඔවුන්ගේ සිත එයින් මත් වෙනවා. ඔබට කෙනෙක් චෝදනා කළ විට ඔබේ සිත තුළට එබිකම් කොට විමසිලිවත්ව බලන්න ඕනෑ. ඔවුන් වරැදි වන්නට ඉඩ තියෙනවා.
ඔවුන් ඔබට දොස් පැවැරුවාට ඔබ නිදොස් විය හැකියි. එසේ නම් ඔබ තරහාගන්නට ඕනෑ නැහැ. ඔවුන් කියන්නේ ඇත්ත නොවේ. එහෙත් ඔවුන් කියන දෑ සත්‍ය නම්, ඇත්තෙන්ම ඔබ අත වරදක් නම්, ඔබට තරහ යන්නට කොහොමටත් හේතුවක් නැහැ. මේ අන්දමින් ඔබ කල්පනා කරන්නේ නම්, ඔබේ සිත නොසැලී සියල්ල ධර්මතාවන් ලෙස ඔබට දැකිය හැකියි, ඔබගේ කැමැත්ත හා තීරණවලට සිතට බලපාන්නට ඉඩ නොදී. මේ අන්දමින්ය මා පුහුණු වන්නේ. මේ තමා ඍජු, කෙටිම පුහුණුවේ මඟ. ඔබ මා වෙතට පැමිණ අභිධර්මයේ උගන්වන ඇතැම් කරුණු පිළිබඳ මා සමඟ වාදයට පැමිණිය හොත් මා ඊට සහභාගි වන්නේ නැහැ. එසේ නොකොට ඔබට මා කියනවා හේතු සාධක ඇතිව ඔබට මා කිව යුතු දෑ.
දහම් පුහුණුවේ හදවත වන්නේ අත්හැරදැමීමයි; ඇලීම නැති කිරීමයි. එය කළ යුත්තේ නොදැනීමෙන් නොව අවබෝධයෙන්ය. මී ගොනුන් හා දෙනුන් කිසිවක් ගැන උනන්දුවක් නොවන නිසා උන් දක්වන නෑලීම නොවේ ඔබේ නෑලීම හා අතහැරීම. එය හරි මඟ වන්නේ නැහැ. ඔබ කිසිවකට නෑලෙන්නේ සම්මුති හා සිතිවිලිවලින් පිරුණු ලොව පිළිබඳව ඔබට ඇති තියුණු දැකීම, නෑලීම පිළිබඳව ඔබේ ඇති ගැඹුරු අවබෝධය නිසාය.
මගේ පුහුණුවේදී ධර්මය අවබෝධ කරගැනීමට අනේකවිධ ආකාරයෙන් වෙහෙස මහන්සි වී උපරිම උත්සාහයෙන් ක්‍රියා කළා. එය කළ හැකි වූයේ දහම් මග පිළිබඳව, එම මගෙහි ගමන් කිරීමෙන් ලැබෙන ඵලය හා නිවන පිළිබඳව මා තුළ තිබූ අචල විශ්වාසය නිසයි. මා මගේ මුළු ජීවිතයම දහම් පුහුණුවට කැප කළා. ඇත්තෙන්ම දහම් මඟ, එහි ගමන් කිරීමෙන් ලැබෙන ඵලය හා එය කෙළවර වීමෙන් ලබන නිවන ප්‍රත්‍යක්ෂ දෑ ලෙස මා දකිනවා. බුදුදහමේ උගන්වන මේවා, ඔබ වෙහෙස මහන්සි වී පුහුණුවේ යෙදෙනවා නම්, ඔබට ළඟා කරගන්නට හැකි වෙනවා. කෙලෙසුන් පරදවාලීමට හා ඒවා පලවාහැරීමට ඔබගේ සිත තුළ ධෛර්යය තිබෙනවා නම් ධර්මය පිළිබඳ විමසිලිමත්ව ඔබගේ සිත හා දැකීම මුළුමනින්ම වෙනස් කිරීමට ඔබ මැළි නොවන්නේ නම්, නොබියව දහම් පුහුණුවේ යෙදෙන්නේ නම්, ඔබට මාර්ගය, ඵලය හා නිවන අත් වෙනවා.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X