සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

ප්‍රඥාවේ වර්ධනයට හේතුවන ධර්මයෝ

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනස්ථ තරුණ සීල සමාදානයේ අනුශාසක හා 
සිරි වජිරඤාණ ධර්මායතනස්ථ භික්ෂු අධ්‍යයනාංශයේ 
ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත

මහඔය අනුරුද්ධ හිමි

සසර බියකරුය. එබැවින් එය අසුරුසණක් ගසන මොහොතකුදු හොඳ යැයි බුදුපියාණෝ වර්ණනා නොකරති. විෂම කණු කටු ගල්මුල් වලින් පිරි විෂකුරු සර්පාදී සතුන්ගෙන් ගහණ වූ කැලෑ මගෙක රාත්‍රියෙහි ගමන් ගන්නා කෙනෙකුට ගිනි හුල මහත් උපකාරයෙකි. එලෙසින් අවිද්‍යා අන්ධකාරයෙන් වැසී තිබෙන සංසාර නමැති අති භයානක දුර්ග මාර්ගයෙහි ගමන් කරන පුහුදුන් මිනිසාට ද ලෞකික සම්පත් මෙන් ම ප්‍රඥාවේ වර්ධනයට හේතුවන ධර්ම කාරණා වඩා වර්ධනය කැර ගැනීම සසර ගමන පහසුවෙන් කර ගැනීමට හා සසර කතරින් එතෙරව ලබන නිවන පසක් කැර ගැනීමට මහත් පිටුබලයක් වෙයි.
දිනක් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ පාදයේ මහපට ඇඟිල්ලේ නියපොත්ත මතට පස් ටිකක් ගෙන සත්ත්වයන් අතරින් මියගොස් නැවත මනුෂ්‍යයන් වන්නේ නියපොත්ත මත තිබෙන පස් ටික මෙන් ඉතා ස්වල්ප දෙනෙකු බවත්, මහ පොළොවෙහි තිබෙන පස් ප්‍රමාණයක් කළ නොහැක්කා සේ, බොහෝ දෙනෙකු මිය ගොස් මනුෂ්‍යාත්ම භාවයෙන් තොර වෙන වෙන දුගතිවල උපදින බවත් වදාළහ. කාණ කච්ඡෝපමාවෙන්ද පැහැදිලි වන්නේ මිනිසත් බවක් ලබා ගැනීමේ ඇති දුර්ලභ බවය. එබඳු දුර්ලභ මිනිසත් බවක් ලද සත්වයන් ඒ දිවියෙන් නියම ප්‍රයෝජන ගත යුතු ය. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි සද්පුරුෂ ආශ්‍රයත්, බණ ඇසීමත්, නුවණින් මෙනෙහි කර කටයුතු කිරීමත් හා ධර්මානුකූල දිවි පැවැත්මත් කළ යුතු ය.

සප්පුරිස සංසේවෝ - සද්පුරුෂ ආශ්‍රය

ආශ්‍රය මිනිසාගේ දියුණුවට මෙන්ම පිරිහීමටත් හේතු වෙයි. මිනිසා තුළ ධනය, බලය, ඤාණය ආදී ගුණ දහම් දියුණු වන්නේ ආශ්‍රයෙනි. ඒවායෙන් පිරිහී අවාසනාවන්තයෙකු වන්නේත් ඇසුරෙනි. එයට මූලික හේතුව වන්නේ ආශ්‍රය කරන්නා තුළ පිහිටි ගුණ හෝ අගුණ ආශ්‍රය ලබන්නා තුළ නිතැතින්ම පිහිටීමයි. ඔබ අප ජීවත් වන නූතන මිනිස් සමාජය ම සද්පුරුෂ හා අසද්පුරුෂ යනුවෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. එයින් සද්පුරුෂ ගණයට ඇතුළත් කළ හැකි පිරිස ඉතා අල්පය. කෘතගුණ දන්නා අනුන්ට හිංසා පීඩා නොකරන පුද්ගලයෝ සද්පුරුෂයෝ ය. ඊට හාත්පසින් ම විරුද්ධ අකෘතඥ පරපීඩාකාරී පුද්ගලයෝ අසද්පුරුෂයෝ ය. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ සද්පුරුෂ අසද්පුරුෂ දෙවර්ගය මෙයට වඩා පුළුල්ව හා විස්තරාත්මක ව පැහැදිලි කරති. යමෙක් ධර්මය තුළින් යම්කිසි දියුණුවක් බලාපොරොත්තු වන්නේ නම් ඒ හැම දියුණුව ම ලබාගත හැකි වන්නේ සද්පුරුෂාශ්‍රයෙනි. සද්පුරුෂයා සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම යන පස් දුසිරිතෙන් වැළකුණෙකි.
බුදුදහම ප්‍රථමයෙන් ම සියලු සතුන් කෙරෙහි දයාව දක්වන්නටත් අවිහිංසාව පුරුදු පුහුණු කරන්නටත් උගන්වයි. සතුන් නොමැරීම යනු සත්ත්ව ඝාතනයෙන් වැළකීම පමණක් නොව සියලු සත්ත්වයන් කෙරෙහි කරුණාව, මෛත්‍රීය, අවිහිංසාව ආදී මානුෂික ගුණාංග පැතිරවීමයි. යමෙක් දැන දැන යම් සතෙකුට හිංසා පීඩා කරයි ද, ඔහු තුළ මනුෂ්‍ය ධර්මයක් නො පවතී. සොරකම යනු කෙනෙක් වෙහෙස මහන්සි වී සොයා සපයා ගත් වස්තුව තවත් මනුෂ්‍යයකු විසින් පැහැර ගැනීමයි. යමෙක් අන්සතු වස්තුව එසේ පැහැර ගනීද උදුරා ගනී ද එබඳු පුද්ගලයන් තුළ මිනිස්කම නැත. අප සමාජයෙහි බොහෝ දෙනකුන් තමන් සොයා සපයා ගන්නා වස්තුව රැක ගන්නට ගෙදර දොර වැට කඩොලු බැඳ ගනිති. මෙයට හේතුවී ඇත්තේ සමාජයේ මින්නිසුන් අතර මිනිස්කම, ගුණ ධර්ම නැතිවීමයි. සොරකම් නොකිරීම යන්නෙන් අදහස් කරනුයේ අන්සතු වස්තුව පැහැර නොගැනීමත්, සමාජය තුළ අනුනට බිය සැක නැතිව ජීවත්වීමට අවස්ථාව සැලසීමත් ය.
අපි අපේ ගේ දොර, යාන වාහන, ඇඳුම් පැළඳුම් ශරීරය මේ හැම දෙයක් ම පිරිසුදුව තබා ගැනීමට කැමැත්තෙමු. ඒ හැමටම වඩා වෙසෙසින් පිරිසුදුව තබාගතයුතු වන්නේ තම චරිතයයි. යුග දිවියට ඇතුළත් නොවූ හැමදෙනා තුළ ම පිරිසුදු බ්‍රහ්මචර්යාවක් තිබිය යුතු ය. ලෙඩට බෙහෙත් ඇත ද ලෙඩ වූ චරිතයට බෙහෙත් නැත. මිනිසාගෙ බාහිර මෙන් ම අධ්‍යාත්මික පාරිශුද්ධිය කාමයන්හි වරදවා නොහැසිරීම තුළින් ගම්‍යමාන වෙයි. බොරු කීම යනු සත්‍යයෙන් තොර වදන් ප්‍රකාශ කිරීමයි. බොරු කියන්නාට කළ නොහෙන අපරාධයක් නැත්තේ ය. බොරු නොකීම යනු අසත්‍යයෙන් වෙන්වීමයි. සච්චං භණේ සත්‍යවාදී වන්න යනු බුද්ධ දේශනාවයි.
මත් වතුර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තැනැත්තාගේ ධනය, බලය, ගුණය පිරිහීම වැළැක්විය නොහැකිය. තම බිරිඳ දූ දරුවන් නොමග ගමන් කිරීම, කෝලාහල කිරීම, රෝග පීඩාවන් බහුලවීම, නුවණ දුබල වීම, ලජ්ජා රහිතව හැසිරීම මත්පැන් පානයේ ආදීනවයෝ වෙති. වත්මන් තරුණ පරපුරෙහි පැහැදි අය විපතට හෙළා ඇති භයානක උවදුර මත්පැනයි. මෙබඳු මත්පැනින් වැළකීම කරණකොට ගෙන මිනිසා නිරවුල් නිකලැල් මනසක් ඇත්තකු බවට පත් කරයි. පස්පවින් වැළකීම යනුවෙන් අදහස් කරනුයේ මෙබඳු උතුම් ගුණ සමූහයක් තම තමන්ගේ චිත්ත සන්තානයන්හි ඇතිකර ගැනීමයි. එබඳු ගුණයන් ගෙන් පිරිපුන් තැනැත්තා ඒකාන්තයෙන් ම සද්පුරුෂයෙකි.
සද්පුරුෂ හා සද්පුරිසතර යනුවෙන් බුදුපියාණෝ සද්පුරුෂයා කොටස් දෙකකට බෙදා දක්වති. තමා වරදින් වැළකීම සද්පුරුෂයෙකු වීමට හේතු වෙයි. අනුන් වරදින් වැළැක්වීම සද්පුරුෂතරයෙකු වීමට හේතු වෙයි. පස් පවින් දස අකුසලයෙන් වැළකීම පමණක් සද්පුරුෂයෙකු වීමට ප්‍රමාණවත් නොවෙයි. ඒ සඳහා වඩාගත යුතු ප්‍රගුණකර ගතයුතු ගුණධර්ම රාශියෙකි. මවුපියන්ට සැළකීම. කුල දෙටුවන් පිදීම, වැඩිහිටියන්ට ගරු කිරීම. නිතර හොඳ වචන කතා කිරීම, අනුන් බිඳවන කොටවන කේළාම් බස් නොකීම, මසුරුකමින් තොරවීම, සත්‍යවාදී වීම, ක්‍රෝධ නොකිරීම ආදිය එසේ ජීවිතය තුළ පුරුදු පුහුණූු කැරගතයුතු ගුණ ධර්මයෝ වෙති.

සද්ධම්ම සවණං - බණ ඇසීම

බෞද්ධයාගේ ගුණ ධර්ම දියුණු වන්නේ ධර්ම ශ්‍රවණය තුළිනි. ධර්මය යනු දියුණු වන්නට යථා තත්ත්වය වටහා ගන්නට ලබාදෙනු කාරුණික උපදේශයයි. අනුත්තරිය ධර්ම අතර සවණානුත්තරිය යනුවෙන් සඳහන් කළේ ද මේ කරුණ මැයි සද්ධම්ම සවණං පමජ්ජති යන දේශනා පාඨය අනුව බණ නො අසන්නා සද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා යන පඤ්ච සම්පත්තියෙන් ම පිරිහෙයි. එකී පඤ්ච ගුණයෙන් පරිහීම බෞද්ධයාගේ ලොකුම පිරිහීම වෙයි.
සුත යනු ඇසීමයි. ඇසිය යුතු වන්නේ කුමක්ද? බුද්ධ දේශිත ශ්‍රී සද්ධර්මයයි. තථාගත ධර්මය ඇසියයුතු වන්නේ සසර දුකින් එතෙර වන්නට ඇති එකම මඟ එය වන බැවිනි. බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයේ දී ධම්මකාමෝ භවං හෝති ධම්ම දෙස්සී පරාභවෝ ආදී වශයෙන් ධර්මයට කැමැතිවන්නා දියුණුවන බවත් ද්වේෂ කරන්නා පිරිහෙන බවත් වදාළහ. සද්ධම්මං සෝතුමිච්ඡති යන දේශනා පාඨයට අනුව සැදැහැවතාගේ මුලික ලක්ෂණ අතර බණ ඇසුමට ඇති කැමැත්ත ප්‍රධාන වෙයි. ධර්ම ශ්‍රවණය කරන්නා බුදු දහමේ ඇති හරය අගය තේරුම් ගනියි. එයින් සිත ප්‍රසාදයට පත්කැර ගනියි. එම ප්‍රසාදය තුළින් ගුණ ධර්ම දියුණු කැර ගැනීමටත් නැඹුරු වෙයි. ඒ තුළින් උතුම් මිනිස් ගුණ දහම් දියුණු කැර ගනියි.

යෝනිසෝ මනසිකාරය 
නුවණින් මෙනෙහි කර කටයුතු කිරීම

‘මනසිකාරය’ යනු මෙනෙහි කිරීමයි. මෙනෙහි කිරීම් දෙකකි. එනම් යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරය යනුවෙනි. තත්ත කතමෝ භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ මහණෙනි යෝනිසෝ මනසිකාරය යනු කුමක්ද? යමෙක් අනිත්‍ය වූ සංස්කාර අනිත්‍ය වශයෙන් දකියි ද එය යෝනිසෝ මනසිකාරයයි. යමෙක් අනිතය දේ නිත්‍ය වශයෙන් දකියි ද ඒ අයෝනිසෝ මනසිකාරයයි. එසේ ම දුක දුක වශයෙන් දකියි ද අනාත්ම දේ අනාත්ම වශයෙන් දකියි ද අසුබ දේ අසුබ වශයෙන් ද දකියි ද ඒ යෝනිසෝ මනසිකාරයයි.
යමෙක් සිහි නුවණින් මෙනෙහි නොකොට හුදෙක් දැනුම සඳහා ම ධර්ම ශ්‍රවණය කරයි ද ඔහුට ප්‍රත්‍යක්ෂ වශයෙන් ධර්මය අවබෝධ නොවෙයි. කරන්නන්වාලේ කටයුතු කිරීම නුවණ දියුණුවීමට හේතු නොවෙයි. යම්කිසි ක්‍රියාවක් කරනවිට එම ක්‍රියාව තමන්ට හා අනුන්ට යහපත පිණිස පවතී ද, අයහපත පිණිස පවතී ද, යනුවෙන් කල්පනා කිරීම ඉතා අඩුය. නුවණින් මෙනෙහි කර කටයුතු කිරීම යනු යම් දෙයක් කරනවිට එය තමන්ට හා අනුන්ට යහපත පිණිස වන්නේදැයි සලකා බැලීමයි. තමන්ට යහපතක් හා අනුන්ට අයහපතක් වන කි‍්‍රයාව ද, අනුන්ට යහපතක් වී තමන්ට අයහපත පිණිස පවත්නා ක්‍රියාව ද, උභය පක්ෂය ම අයහපත පිණිස පවත්නා වූ ක්‍රියා ද නුවණින් කැරෙන ඒවා ය. යම් දෙයක් කිරීමෙන් තමන්ට මෙන් ම අනුන්ටත් යහපතක් වන්නේ නම් එය නුවණින් මෙනෙහි කැර කරන ලද ක්‍රියාවකි.

ධම්මානුධම්ම පටිපත්ති ධර්මානුකූල දිවි පැවැත්ම

එනම් දස කුසල ධර්මයන් පුරමින් යහපත් ජීවිතයක් ගත කිරීම මෙයින් අදහස් කැරෙයි. තවත් අයුරකින් සඳහන් කළහොත් ධම්මානුධම්ම පටිපත්ති යනු නිවන් යෑමට අවශ්‍ය වූ නිවැරැදි මාර්ගය අනුගමනය කිරීමයි. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමයි. එසොව මග්ගෝ නත්ථඤ්ඤෝ යන දේශනාවට අනුව නිවන් යෑමට වෙන මඟක් නැත්තේ ය.
නූතන සමාජයේ ජීවත් වන මිනිසා තම දිවි පැවැත්ම උදෙසා බොහෝ දේ කරයි. ඒ අතර බුදු දහමට පටහැනි දෑ බහුල වෙයි. බුදුරජාණන් වහන්සේ විසින් ධර්මානුකූල ජීවිතයක් ගත කරන තැනැත්තා විසින් ප්‍රධාන වශයෙන් ම නොකළයුතු වෙළෙඳාම් පහක් ගැන දේශනා කරන ලදී. එනම් ආයුධ, වහල්, මස්, මත්පැන් හා විෂ වර්ග වෙළෙඳාම යන මේවාය. යමෙක් මෙවැනි වෙළෙඳාමකින් දිවි පවත්වයි ද, එය අධාර්මික දිවි පැවැත්මකි. එයට හේතුව වනුයේ මේ සෑම ක්‍රියාවකින් ම තමන්ට පව් රැස්වීම සිදුවන බැවිනි. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දී සම්මා ආජීව යන්නෙන් මේ කරුණ අවධාරණය කළහ.
එවැනි අධාර්මික මාර්ගයන් ගෙන් තුරන්ව දැහැමි දිවියක් ගෙවන්නා ධර්මය විසින් ම ආරක්ෂා කරන බව බුද්ධ දේශනාවයි. දැහැමි දිවියක් ගෙවන්නා මෙලොව හා පරලොව යන දෙලොව ම සුවසේ වෙසෙන බව ධම්මචාරී සුඛං සේති අස්මිං ලෝකේ පරම්හි ච යන බුද්ධ දේශනය තුළින් පැහැදිලි ය. දහමට පටහැනිව දිවි ගෙවන්නට සිදු වන්නේ මෙලොව හා පරලොව යන දෙලොවම තැවී දුගතිගාමීව තව තවත් තැවීමට ය. දැහැමි තැනැත්තා දෙලොව ම සතුටු වී සුගතිගාමීව බොහෝ පින් කළ බව සිතමින් තව තවත් සතුටට පත් වෙයි. කරුණු මෙසේ හෙයින් යමෙක් ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි නො යෙදෙයි ද එවැන්නන් ට නිවන් පසක් කළ නොහැකිමය. එබැවින් යමෙක් ප්‍රඥාවේ වර්ධනයට හේතුවන මේ දහම් කරුණු තම දිවිය තුළ සජීවී කර ගනියි ද ඔහුට නිවන් දොර ඈත නොවේ.
නිබ්බාණ පච්චයෝ හෝතු
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X