සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

වැළකිය යුත්තේ මාංශ අනුභවයෙන්ද? ප්‍රාණඝාතයෙන් ද?

පූජ්‍ය වැල්ලවායේ සුමනබෝධි හිමි
මාංශ අනුභවය යන මේ කාරණය අතීතයේ පටන් ගැටලුවට තුඩු දුන් හා නිසි විසඳුම සහිත ගැටලුවකි. එනමුත් ඒ නිසි විසඳුම පිළිගැනීමට මැලිකමක්‌ දැක්‌වීම නිසා මේ ගැටලුව නැවත නැවත ද සමාජය තුළ කතාබහට ලක්‌වෙයි. එබැවින් අපගේ මේ උත්සාහය පිරිසිදු බුද්ධ දේශනාව අනුව ගැටලුව දෙස බලා අදහසක්‌ දැක්‌වීමයි.
සැබෑවටම මාංශ අනුභවය නොකළ යුතුමද?
මේ ගැටලුවට පිළිතුරු සඳහා පෙළෙහි කථා වස්‌තු දෙකක්‌ දක්‌වමු. පළමු වැන්න මෙසේයි.
”දීතේන ඛෝ පන සමයේන අඤ්ඤතරස්‌ස භික්‌ඛුනෝ අමනුස්‌සිකාබාධෝ හෝති. තං ආචරියුපජ්Cධායා උපට්‌ඨහන්තා නාසක්‌ංසු අරෝගං කාතුං. සෝ සූකරසුනං ගන්ත්වා ආමකමංසඤ්ච ඛාදී. ආමකලෝහිතඤ්ච පිවි. තස්‌ස සෝ අමනුස්‌සිකාබාධෝ පටිප්පස්‌සම්භි. භගවතෝ ඒකමන්තං ආරෝෙච්සුං. අනුජානාමි භික්‌ඛවේ අමනුස්‌සිකාබාෙදි ආමකමංසං ආමකලෝහිතන්ති.” (මහාවග්ග පාලි, භෙසජ්ජක්‌ඛන්ධක.)
එකල්හි එක්‌තරා භික්‌ෂුවකට අමනුෂ්‍යා බාධයක්‌ වෙයි. ආචාර්ය උපධ්‍යායයෝ ඔහුට උපස්‌ථාන කළේද නීරෝගී කිරීමට සමත් නොවූහ. ඒ භික්‌ෂුව ඌරන් මරණ තැනකට ගොස්‌ අමු මස්‌ ද කෑවේය. අමු ලේ ද බිව්වේය. ඔහුගේ ඒ අමනුෂ්‍යාබාධය සන්සිඳුනේය. භාග්‍යවතුන් වහන්සේට මේ බව සැළ කළහ. ‘මහණෙහි අමනුෂ්‍යයන් නිසා හටගත් රෝගයන්ට අමු මස්‌, අමු ලේ අනුදැන වදාරමි.’
මෙහි අටුවා අර්ථය මෙසේයි.
‘ආමකමංසඤ්ච ඛාදි. ආමකලෝහිතඤ්ච පිවිත්ති න තං භික්‌ඛු කාදි. න පිවි. අමනුස්‌සෝ ඛාදිත්වා පිවිත්වා ච පක්‌කන්තෝ.” අමු මස්‌ ද කෑවේය. අමු ලේ ද බිව්වේය. යනු, ඒ භික්‌ෂුව නොකෑවේය. නොබීවේය. අමනුෂ්‍යයා කා බී යැම දැක්‌වෙයි.
මෙහිදී අමනුෂ්‍යයාට ආහාර පිණිස භික්‍ෂුවට මස්‌ හා ලේ පොවයි. එනමුත් එය අනුභව කරන්නේ අමනුෂ්‍යයා විසිනි. ඒ අනුව පෙනෙන්නේ අමනුෂ්‍යයන් අධිගෘහිත වී පීඩා කරන කල ඔවුන්ට අමු මස්‌ හා අමු ලේ ලබාදීම උදෙසා අමු මස්‌ හා අමු ලේ භාවිතයට ගැනීම සුදුසු බවයි.
දෙවැනි කථා වස්‌තුව නම් සුප්පියා කථා වස්‌තුවයි.
‘තේන ඛෝ පන සමයේන අඤ්ඤතරේන භික්‌ඛුනා විරේචනං පීතං හෝති. අථ සෝ භික්‌ඛු සුප්පියං උපාසිකං ඒතදවෝච. මයා ඛෝ භගිනි විරේචනං පීතං. අත්තෝ මේ පටිච්ඡාදනීයේනාති. සුට්‌ඨු අය්ය ආහරීයිස්‌සතීති ඝරං ගන්ත්වා අන්තේවාසිං ආණාපේසි ගච්ඡ භණේ පවත්තමංසං ජනාහීති.” (මහාවග්ග පාලි, භෙසජ්ජක්‌ඛන්ධක.)
එකල්හි එක්‌තරා භික්‌ෂුවක්‌ විසින් විරේක බෙහෙතක්‌ බොන ලද්දේ වෙයි. ඉක්‌බිති ඒ භික්‌ෂුව සුප්පියා උපාසිකාවට, නැඟණියනි, මවිසින් විරේක බෙහෙතක්‌ බොන ලදී. මට මස්‌ රසයෙන් ප්‍රයෝජන වෙයි” යනුවෙන් පැවසීය. ”යහපති ආර්යයන් වහන්ස. ගෙනෙනු ලබන්නේය” යෑයි නිවසට ගොස්‌ අතවැසියකුට ‘සගය, යව කඩපිලෙහි විකුණන මස්‌ ගෙනුව’ යෑයි අණ කළාය.
ඉන් පසු කතා වස්‌තුව බොහෝ දෙනෙකු දන්නා බැවින් හා මෙයට අත්‍යවශ්‍ය නොවන බැවින් නොදක්‌වමු. කෙසේ වුවද මෙයින් පෙනී යන්නේ යම් රෝගාබාධයන්ට මාංශ ආහාර සුදුසු බවයි. තවද පෙර භවයක බෝසතාණන් වහන්සේගේ මෑණියන්ට ඇතිවූ රෝගයකට ප්‍රතිකර්ම ලෙස සා මස්‌ නියම කිරීමක්‌ද මෙතැන සිහිපත් කරනු කැමැත්තෙමි.
තවද බුදුරජාණන්වහන්සේ විසින් අකැප මස්‌ දසයක්‌ දක්‌වා ඇත. අකැප මස්‌ දසයක්‌ තිබෙනවා යනු ඒ දසය හැර අනෙක්‌වා කැපය යන්නයි. එසේම දෙව්දත් තෙරුන් විසින් ඉල්ලන ලද ඉල්ලීම් පසෙහි වූ දිවි ඇතිතාක්‌ නිර්මාංශ වීම ප්‍රතික්‌ෂේප කොට ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය අනුදැන වදාරා ඇතැයි දේශනා කළ සේක. ඒ ත්‍රිකෝටික එනම් අන්ත තුනකින් පිරිසිදු වූ මස නම් අදිට්‌ඨ, අසුත, අපරිසංකිත වූ මාංශයයි. අදිට්‌ඨ යනු තමා වෙනුවෙන් මරණ බවක්‌ නොදුටු යන්නයි. අසුත යනු තමා උදෙසා මැරූ බවක්‌ නොඇසූ යන්නයි. අපරිසංකිත යනු තමා උදෙසා මරණ ලද්දේ යෑයි සැක නොමැති වීමයි. මෙසේ තුන් කෙළවරින් පිරිසිදු වූ මාංශය වැළඳීම තුළින් තමන්ට ප්‍රාණඝාත ආදී අකුසලයක්‌ නොවේ. එබැවින් එබඳු මසක්‌ අනුභවය ගැටලුකාරී නොවේ.
මේ ආදී හේතු නිසා බුද්ධ දේශනාව අනුව මාංශ අනුභවය නොකළ යුතුමය කියා පැවසීමට හේතුවක්‌ නොමැත.
වැළකිය යුත්තේ කුමකින්ද?
මේ මාංශ අනුභවය ගැන කතා කරන සියල්ලන්ම පාහේ පවසන්නේ සත්ත්ව හිංසනය පිළිබඳවයි. ඒ ඔවුන්ගේ අනවබෝධය මත සිදු වන්නකි. සැබෑවටම ඝාතනය කරන සෑම සතකුම ඝාතනය කරන්නේ මස්‌ පිණිසමද?
මඳක්‌ සිතන්න. සත්ත්වයින් අනේකාකාර වේ. අපා දෙපා සිවුපා බහුපා ආදී ලෙසද දිය ගොඩ ආදී ලෙසද මනුෂ්‍ය අමනුෂ්‍ය ලෙසද තිරිසන් ආදී ලෙසද බෙදිය හැකිය. මෙයාකාර සත්ත්වයින් ඝාතනය කරන්නේ මස්‌ පිණිසමද?
පිස්‌සු හැදිලාය කියා සුනඛයන් මරා දමන්නේ මස්‌ පිණිසද? වගාවන්ට හානි කරනවා කියා කෘමිනාශක ඉසින්නේ කෘමීන්ගේ මස්‌ පිණිසද? නිවසට අලාභ කරනවා කියා මීයන් මරන්නේ මස්‌ පිණිසද? ලෙඩ බෝ කරනවා කියා මදුරුවන් මරන්නේ මස්‌ පිsණිසද? තවද කැරපොතු, උකුණු, මකුණු, කුහුඹු ආදී සත්ත්වයින් වනසා දමන්නේ මස්‌ පිණිසද? හොඳම කාරණාව නම් මහපොළව බෙදා ගැනීමට නොහැකිව රට රටවල් යුද්ධ කරමින් මිනිසුන් මරා දමන්නේ මස්‌ පිණිසද? වැට ඉන්නට, කොස්‌ ගෙඩියට, පොල් ගෙඩියට මිනිසුන් මරන්නේ මස්‌ පිණිසද? මංකොල්ලකරුවන් මිනිසුන් මරන්නේ මස්‌ පිණිසද?
මෙසේ බැලූ කල අවිහිංසාව මුලට දමාගෙන මස්‌ කෑම ගැන කතා කිරීම යනු විහිළුවක්‌ පමණකි. අවිහිංසාව නම් සියලු සතුන් කෙරෙහි විය යුතුය. මස්‌ කන සතුන් ගැන පමණක්‌ අවිහිංසාවක්‌ කුමටද? එසේම එබඳු ඇතැමෙක්‌ ගවයන් වැනි සතුන්ට පමණක්‌ අභය දෙනු පෙනෙයි. ඌරන්, කුකුළන්, මත්ස්‍යයන් නොපෙනෙයි. එබඳු තැනක සැබෑ අවිහිංසාවක්‌ තිබිය හැකිද?
තවද අවිහිංසාව යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි නෙක්‌ඛම්ම සංකප්ප යටතේ එන සංකල්පනාවකි. එය එක්‌ අංගයක්‌ පමණි. එය පරමාර්ථය ලෙස ගනිමින් අවිහිංසාවාදී වීම දෘෂ්ටිගතික වීමකි. එය නිවන් මග නොවන්නේය.
නමුදු අපි ප්‍රාණඝාතයෙන් වළකිනවා නම් ඉහත ආකාර වූ අනේක සත්ත්වයන්ට අභය දානය දිය හැකිය. අපටද අකුසලයෙන් මිදිය හැකිය. නමුදු මාංශ අනුභවයෙන් වෙන්වී ප්‍රාණඝාතයේ නිරත වනවා නම් මඟ හසර වරදවා ගනිමින් අපාගාමී වනු ඇත.
ඉදින් මේ මාංශ අනුභවය හා ප්‍රාණඝාතය යන කාරණා දෙක දෙස ගැඹුරින් බලන කල වටහා ගැනීමට හැකි වන්නේ මාංශ අනුභව කරන සෑම විටම ප්‍රාණඝාතයක්‌ සිදු නොවන බවත් මාංශ අනුභවයට වඩා ප්‍රාණඝාතය බරපතල බවත්ය. අපි ප්‍රාණඝාතයෙන් වළකින්නේ නම් ඒ හරහා බොහෝ වූ අභය දානයන් කළ හැක. සීලය දියුණු කරගත හැකිය. කරුණා මෛත්‍රිය වර්ධනය කළ හැක. එතුළින්ම නිර්වාණයද සාක්‍ෂාත් කළ හැකිය. ඒ නිවනට මග නම් සීල, සමාධි, ප්‍රඥා මිසෙක අවිහිංසාවාදය නොවන බැවිනි.

නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X