සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

දිට්‌ඨිය නිවීම පිණිස නොවේ...

හිඟුල බෝධිමළු විහාරාධිකාරී, බෙලිගම්මන 
විද්‍යාභිවර්ධන, පරිවේණාධිපති ශාස්‌ත්‍රපති
පූජ්‍ය හීනාබෝවේ විමලකිත්ති හිමි

බුදුදහම මගින් පෙන්වා දෙන ආකාරයට දෘෂ්ටිය යන වචනය විවිධ සන්දර්භයන්හි විග්‍රහ කෙරේ. පාලි භාෂාව අනුව දිට්‌ඨි යනුවෙන්ද සංස්‌කෘත භාෂාවේදී දෘෂ්ටි වශයෙන්ද විග්‍රහ කෙරෙන අතර සිංහල වහරේදී දුටු දර්ශනය යනුවෙන් නිර්වචනය කෙරේ. මෙහිදී දෘෂ්ටි යනු දැකීම අර්ථවත් වන අතර එය කොටස්‌ දෙකකට බෙදේ. එනම් දැකීම නිවරදි හා වැරදි විය හැකිය. බුදු දහමට අනුව විමසා බැලීමේදී සම්මා දිට්‌ඨි හා මිච්ඡා දිට්‌ඨි යන්නයි. මෙහිදී දෘෂ්ටියක්‌ මුල්බැස ගැනීම සඳහා පුද්ගල කේන්ද්‍රීයාවය මුල්වේ. එය පුද්ගල මනසේ ගොඩනගා ගන්නා වූ සංකීර්ණ වූ ක්‍රියාවලියක්‌ ලෙස දැකිය හැකිය. විචාරශීලි බවේ හෙවත් බුද්ධියේ අවදිකමක්‌ නොමැති විටෙක දෘෂ්ටියට මඟ පෑදේ.

මිනිසා දුකට පමුණුවන ප්‍රබල සාධකයක්‌ ලෙස පෙන්වා දිය හැක්‌කේ උපාදානයයි. එම උපාදානය බොහෝ විට දෘෂ්ටියට මඟ පාදයි. තමා සමීපකර ගන්නා. දැඩිව එල්බ ගන්නා මතයක පිහිටා ක්‍රියාත්මක වීම මගින් දෘෂ්ටියට මග විවරවේ. මෙය මිනිසා දුකට පමුණුවන ප්‍රබල සාධකයක්‌ ලෙස බුදුදහම දකින්නේ අනුසයයි. එනම් මානසික සිතිවිලි නිදා සිටින අවස්‌ථාවයි. කරණීය මෙත්ත සූත්‍රය මගින් ''දිට්‌ඨිංච අනූපගම්ම සීලවා දස්‌සනෙන සම්පනෝ' යන විග්‍රහ පාඨය මගින් එය අවධාරණය කරයි. මිසදිටු බවට නොපැමිණ සිල්වත් වූයේ සම්‍යග් දර්ශන සම්පත්තියෙන් යුක්‌ත යහපත් පුද්ගලයකු ලෙස ජීවත්විය යුතු බවයි.

බුදුන් වහන්සේ සුත්ත නිපාතයේදී අට්‌ඨක පාරායන වග්ගවලදී පෙන්වාදුන් පරිදි සමකාලීන දෘෂ්ටි අරගලයන් තදින් මුල්බැස නොපැවතිණ. ඒවා විස්‌තර කර දෙන බුදුසමය මගින් ශාස්‌වත උච්ඡේද යන සියලු අන්තවාදයන් බැහැර කොට ඇත.

දෘෂ්ටිගතිකයාගේ ලක්‍ෂණය වන්නේ තමා එල්බගත් මතය කුමක්‌ වුවද එම මතයෙහිම පිහිටා ක්‍රියාකිරීමයි.අන් අයගේ අදහස්‌ වලට සවන් නොදෙයි. එහිදී සිදුවන්නේ විචාර පූර්වක බුද්ධිය අහෝසි වී යැමයි.

බුදුන් වහන්සේ අග්ගිවඡ්චගොත්තයනට වදාළේ වච්ඡය ලෝකය ශ්‍රාස්‌වතය යන මෙය දෘෂ්ටිගතයකි. දෘෂ්ටියෙහි එල්බ ගැනීමෙකි. දිට්‌ඨි සත්කාරයකි. දිට්‌ඨි සංයෝජනයකි. දුක්‌ සහගතය පීඩා සහිතය, ආයාස සහිතය, පරිදාන සහිතය, සසර දුකින් එතෙර වීම පිණිස හේතු නොවේ. භව නිරෝධය සඳහා හේතු නොවන අතරම සංස්‌කාරයන්හි නියම ස්‌වරූපය අවබෝධ කොට ගත නොහැකිය. නිවීම පිණිස හේතු නොවේ. උතුම් සම්මා සම්බෝධිය ලැබීමට හේතු නොවන්නකි. මෙය ඇසුරින් බුදුන් වහන්සේ අග්ගි වච්ඡගොත්තයනට පෙන්වා වදාළේ වච්ඡය මම මෙම ආදීනව දකිමින් සර්වප්‍රකාර ලෙස දෘෂ්ටිගතයන්ට නොපැමිණියේ වෙමි. එහිදී අග්ගිවච්ඡගොත්ත පිරිවැජියා බුදුන්වහන්සේගෙන් නැවත විමසා සිටියේ තවත් ගෞතමයන්ට නිසි දෘෂ්ටිගයක්‌ ඇත්ද යනුයි. බුදුන් වහන්සේ එහිදී තමන් වහන්සේ තුළ එවන් දෘෂ්ටියක්‌ නොවන බව පෙන්වා දුන්හ.

ම. ම. චූල මාලුඛක්‍යපුත්ත සූත්‍රයේදී චූල මාලුඛක්‍යපුත්‍රයන් ඇසූ දස අව්‍යාගත ප්‍රශ්න මගින්ද එහි ඇති අර්ථශූන්‍ය බව පැහැදිලි කරදී ඇත. ලෝකය සදාකාලිකද නැත්ද, ලෝකයේ කෙළවරක්‌ තිබේද නැත්ද, ශරීරයත් ජීවයත් එකමද නැත්ද? නැත්නම් දෙකක්‌ද? සත්වයා මරණින් පසු ඇතිවන්නේද නැත්ද? උපදින්නේද? නූපදින්නේද? යන්න බුදුන් වහන්සේගෙන් ඇසූ අවස්‌ථාවේදී බුදුන් වහන්සේ වදාළේ මාලුක්‍ය පුත්ත මා විසින් නොකියන ලද දෙය නොවිසඳන ලද දේ නොකියන ලදැයි සිහි තබා ගත යුතුයි.

කිනම් හෙයින් නොකියන ලද ද ලෝකය ශාස්‌වත යෑයි මවිසින් නොකියන ලදී. එපමණක්‌ නොව ලෝකය අශාස්‌වතයෑයිද මවිසින් නොකියන ලදී.

දෘෂ්ටියක එල්බගත් පුද්ගලයාගේ ස්‌වභාවය වන්නේ ස්‌වකීය මතය. ඉස්‌මතු කොට හුවා දක්‌වා පරමතය ගැරහීමත්ය. බුදුන් වහන්සේ දෘෂ්ටි ග්‍රහණයෙහි එල්බගැනීමෙන් ඇතිවන විවිධ හේතු ප්‍රත්‍යයන් විජානනය කරගත්හ. එහි ආදීනව සියලු අන්තවාදයන් නිස්‌සරණය කිරීම සඳහා මැදුම් පිළිවෙත් මාර්ගය අනුගමනය කළහ. සියලු දෘෂ්ටිවාදයන්හි සමුදය, අත්ථංගමය, අසසාදය ආදීනව, නිස්‌සරණය යථා පරිදි අවබෝධකොට ගත්හ. යමක හටගැනීම, අභාවය, දෘෂ්ටිවාදයන්හි එල්බ ගැනීමෙන් ලබන ප්‍රීතිය සුඛාස්‌වාදය එහි ඇති අනිත්‍ය, අසාර බව දෘෂ්ටිය මගින් සිදුවන අවැඩ ආදීනවය පෙන්වා වාදාළහ. එයින් මිදී ලබන සැපය නිස්‌සරණය පෙන්වා දුන්හ. අධ්‍යාත්ම සුභසිද්ධිය පිණිස ඉවහල් වන දැක්‌ම සම්‍යයක්‌ දැක්‌ම ලෙස දැක්‌වූ අතර ඊට හිතකර නොවූ දැක්‌ම මිථ්‍යා දැක්‌ම ලෙස පෙන්වා දුන්හ.

දෘෂ්ටි කෝෂ්ටාගාරයෙහි උපත ලෙස පෙන්වා දෙන මූලාශ්‍රය දී. නි. බ්‍රහ්මජාල සූත්‍රයයි. එහි දෘෂ්ටි දෙසැටක්‌ (62) ක්‌ ඉගැන්වේ. සර්ව දෘෂ්ටි ප්‍රදාහය සඳහා පෙන්වාදුන් තවත් මූලාශ්‍රයෙනි. නි. අලග දදූපම සූත්‍රය. එහි සඳහන්.

''ඉමං ච තුමෙහ භික්‌ඛවේ දිට්‌ඨං ඒවං පරිසුද්ධං

ඒවං පරියෝදාතං න අල්ලියෙථ න යොලොයෙථ

න ධනාටෙථ න මටායෙධ අපි නූ තුමෙහි

භික්‌ඛවේ කුල්ලුපමං ධම්මං දෙසිතං

අජානෙයථ නිථරණථාය

නො ගහණත්ථායනි''

එම විග්‍රහ පාඨය මගින් සඳහන් වන පරිදි එදිනෙදා ජීවිතයේදී බුදු දහම වුවද ප්‍රායෝගිකව උපයෝගී කොට නොගෙන දහම කෙරෙහි මමායනයක්‌ ඇතිකර ගෙන කටයුතු කිරීම සාවද්‍ය බවයි. ඒ අනුව අන්නුබෝදයෙහි පිහිටයි. දහමෙහි පවා නොඇලිය යුතුය. ගිජුකොට නොසිතය යුතුය. ධනයක්‌ කොට නොසිතිය යුතුය. මමායනය නොකළ යුතුය. එය අවබෝධාත්මක ප්‍රතිපාදන මාර්ගයක්‌ ලෙස ප්‍රයෝජන ගත යුතුය.

බුදුන් වහන්සේගේ අදහස වන්නේ මෝඩ මිනිසුන් ගේ ස්‌වභාවය ධර්මය ඉගෙන සමූහ වශයෙන් එක්‌රැස්‌ව වාද විවාද කරමින් කටයුතු කරන බවයි. අනෙක්‌ දහම් පහත්කොට තම මතවාදයම හුවා දක්‌වන බවයි. එය උපමා කොට ඇත්තේ සර්පයකු වැරදි ලෙස අල්ලා ගැනීම සමානවයි. වැරදි ලෙස අල්ලාගත් සර්පයා ආපසු හැරී එම පුද්ගලයාටම දෂ්ට කිරීමේ සම්භාවිතාවක්‌ ලෙසයි. එපරිදි දෘෂ්ටියෙහි තදින් එල්බගත් පුද්ගලයා එම දෘෂ්ටිවාදයෙන් මිදීගත නොහැකිව වැරදි අන්තයට වැටී විනාශ වෙයි.

විමසුමට ලක්‌ කළ යුතු මීළඟ කාරණය වනුයේ දාර්ශනික හා මනෝවිද්‍යාත්මක සාධකය දෘෂ්ටිය උද්ගතවන ක්‍රමවේදය සොයා බැලීමේදී මිනිසා තුළ ඇතිවන තණ්‌හාව ප්‍රධාන වෙයි. තණ්‌හාව නිසා ඇලීම් ඇතිකර ගනියි. මමත්වය තහවුරු කර ගනියි.

ඉධමේව සච්චං මෝස මඤ්ඤං

මෙයට සත්‍යයය අනෙක්‌වා අසත්‍යය. යන සංකල්පය ඔහු තුළ හටගනියි. තවද දෘෂ්ටියට හේතුව සංඥවේ බැඳීමයි.සංඥ විරන්තස්‌ස නසන්ති ගන්ථා යනුවෙන් බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ සංඥවේ නොබැඳුනසුළු වැළකුණාවූ බැඳීමක්‌ නොමැති බවයි.

තෙ ඝට්‌ට යන්තා විචරන්ති ලොකේ සංඥාවෙන් ග්‍රහණය කිරීම ගැටලුවලට මඟපාදයි.

පපංච සංඥ සමුදා චරන්ති

සියලු ගැටුම්කාරී ක්‍රියාවලට මූල හේතුව කෙළෙස්‌ය.

බුදුන් වහන්සේ පෙන්වා වදාළේ තමන් වහන්සේ කිසිම විටෙක ලෝකයා සමග වාද විවාද නොකරන බවයි. නමුත් ලෝකයා තමන් සමග වාද විවාද කරන බව පෙන්වා දුන්හ.

නාහං භික්‌ඛවේ ලෝකේන විවදාමි

ලෝකොච භික්‌ඛවේ මයා විවාදතී

යන විග්‍රහය මගින් ජීවිතයේ යථාර්ථය අවබෝධ කොට ගැනීමට මග හසර පෙන්වා දෙයි. මේ අනුව සර්ව දෘෂ්ටි ප්‍රහාණය සඳහා බුදු දහම මගින් අනුපූර්ව ප්‍රතිපදා ශික්‍ෂණ මාර්ගය ප්‍රගුණ කළ යුතු බව පෙන්වා දෙයි.

බුදුරදුන් පිළිතුරු නොදුන් ප්‍රශ්න දහය

මහාචාර්ය
විලේගොඩ අරියදේව හිමි

බුදුරජාණන් වහන්සේ ලොව සියල්ල අතැඹුලක්සේ දුටුවාහ. උන්වහන්සේ දතයුතු සියල්ල දත්තාහ. උන්වහන්සේගේ ඥාන සීමාව ඉක්මගිය ඥාන පථයක් නොමැත්තේ ය.
බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයේ කිසිදු තැනක පැටලීමක් හෝ පැකිලීමක් නැත්තේ ය.ඒ නිසා බුදුරදුන්ගේ ඥාන විෂය ආචින්තනීය වන අතර උන්වහන්සේ දුටු ලෝකය ද, උන්වහන්සේ දුටු පරිදි සත්ව විෂය ද, කර්ම විෂය ද ලෝක විෂය ද සිතා කෙළවරක් කළ නොහැකි අචින්තනීය දේය. මේ අචින්තනීය ලෝක විෂය සත්ව විෂය කර්ම විෂය බුදුරජාණන් වහන්සේ තතු පරිදි සර්වඥතා ඥානයෙන් දුටු නිසා පුහුදුන් මිනිසාට ඇතැම් කරුණු අවිෂය නිසා එබඳු ප්‍රශ්න නඟනවිට උන්වහන්සේ නිශ්ශබ්ද වූහ. ඒ බුදුරදුන් මුනිවතරැකි අව්‍යාකත නම් වූ ප්‍රශ්න දහය පිළිබඳව කිසියම් අවබෝධයක් ඇති කර ගැනීම මෙහිලා වැදගත් වනු ඇත.

එම ප්‍රශ්න දහය මෙසේ ය.
1. ලෝකය සදාකාලිකද? (ශාශ්වතද?) 
2. ලෝකය සදාකාලික නොවේද? (උච්ඡේදද?) 
3. ලෝකයේ කෙළවරක් තිබේද? (අත්තවත්ද) 
4. ලෝකයේ කෙළවරක් නැතිද? (අනන්තවත්ද?) 
5. මනස හා ශරීරය එක්ව පවතීද? 
6. මනස හා ශරීරය වෙන් වෙන්ව පවතීද? 
7. තථාගතයන් මරණින් පසු සිටීද? 
8. තථාගතයන් මරණින් පසු නොසිටීද? 
9. තථාගතයන් මරණින් පසු සිටී හා නොසිටින තත්ත්වයක්ද? 
10. තථාගතයන් මරණින් පසු සිටින්නේත් නොව නොසිටින්නේත් වේද?

මෙකී ප්‍රශ්න දහයට අප බුදුන්වහන්සේ (එකාංශික) එකහෙලා පිළිතරක් නොදුන්නේ, ඔව් හෝ නැත යනුවෙන් පිළිතුරක් නොදුන්නේ ඇයිද යන්න පිළිබඳව උගත්තු විවිධ මත දක්වති. රාධ ක්‍රිෂ්ණන් හා කීත් වැනි උගතුන් කියන්නේ බුදුන්වහන්සේ මේ සඳහා පිළිතුරු නොදත් නිසා නිහඬ වූ බවයි. එය අඥෙය වාදිය නම් වූ දර්ශනා පථයට අයත් වෙයි. ඒ අනුව බුදුරදුන් මේ ප්‍රශ්න කෙරෙහි අඥයවාදී ස්වභාවයක් දරන, බව ඔවුන්ගේ හැඟීමයි. කොන්යේ හා ටී. ආර්.වී. මූර්ති වැනි උගතුන් දක්වන්නේ මීට වඩා වෙනස් අදහසකි. බුදුරදුන් මේ ප්‍රශ්නවලට පිළිතුරු දැන සිටියහ. එහෙත් මේ ප්‍රශ්නවලට පිලිතුරුදීම තුළින් අසන්නා තවත් අවුලකට පත් වෙයි. එසේම මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයායාම පුද්ගලයාගේ සසර දුකින් නිදහස්වීම සඳහා කිසිසේත්ම අදාළ නොවේ. ඒ නිසා බුදුන් වහන්සේ මෙකී ප්‍රශ්න දහය අව්‍යාකත ප්‍රශ්න ලෙස සලකා පිළිතුරුදීම ප්‍රතික්ෂේප කළහ. මෙම අව්‍යාකත ප්‍රශ්නවලට තවත් නමක් නම් “ඨපනීය ප්‍රශ්න” යන්නයි.

බුදුරජාණන් වහන්සේ කෙනෙකු අසන ප්‍රශ්නයන්ට දෙන විසඳුම් ක්‍රම සතරකි. ඒ මෙසේ ය.
1. ඇසූවිට එකවර පිළිතුරු දෙන ප්‍රශ්න 
2. ප්‍රශ්නයක් ඇසූවිට බුදුන්වහන්සේ ද ප්‍රශ්නයක් නඟා පිළිතුරු දීම. 
3. ප්‍රශ්නයකට විග්‍රහකොට පිළිතුරුදීම. 
4. පිළිතුරු නොදී අතහරින ප්‍රශ්න.

1. එකංග ව්‍යයකරණීය, 
2. පටිපුච්චා ව්‍යාකරණීය, 
3. විභජ්ජව්‍යාකරණීය, 
4. ධපනීය යනුවෙන් බුදුරදුන් දස කෙනෙක් අසන ප්‍රශ්නයේ ස්වභාවයට අනුව පිළිතුරු දුන් බව මෙයින් පෙනේ.

ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නවලට පිළිතුරු එකහෙළා නොදී බැහැරකළේ ඇයි ද යන්න විමසිය යුතු ය. එය උගතුන් දක්වන පරිදි නිවනට අදාළ නොවන නිසාද නැතිනම් ලෝක විෂයේ අචින්තනීය බව සලකා බුදුරදුන් එහි ආරම්භය හා කෙළවර නොදත් නිසාද? නැතහොත් මේ ප්‍රශ්න වැරැදි ලෙස නැඟූ ප්‍රශ්න නිසා ඒ පිළිතුරුවලින් තවත් මිථ්‍යා දෘෂ්ටිවලට වැටෙන නිසාද? එසේත් නැතිනම් වෙනත් හේතුවක් නිසා මේ ප්‍රශ්නවලට ඔව් හෝ නැත යනුවෙන් පිළිතුරක් නොදුන්නාද යන්න විමසා බලමු.
බුදුරදුන් දුටු ලෝක විෂය කෙනෙකුගෙන් අසා දැනගත් දේ නොව ස්වයං ප්‍රත්‍යක්ෂයෙන් දුටු දෙයකි. භෞතික ලෝකයේත්, සත්ව ලෝකයේත් මූල ධාතූන් පිළිබඳව එහි හටගැනීම, පැවැත්ම හා අභාවයට පත්වීමත් අන්තය අනන්තය පිළිබඳව මිනිසා තුළ ඇතිවන දෘෂ්ටි වාදවලට හේතුවත් බුදුරදුන් මැනවින් දුටු නිසා උන්වහන්සේ ලෝකවිදූ නම් වන්නාහ. එබඳු ලෝකවිදූ බුදුකෙනෙක් මේ ප්‍රශ්නවලට පිළිතුරුදීම අත්හළේ ඇයි ද යන්න පැහැදිලි වේ.
පුහුදුන් ලෝකවාසීහු හැමවිටම ඇත හා නැත යන අන්ත දෙකට ඇදීයති. තථාගතයන් වහන්සේ මේ අන්ත දෙකෙන් බැහැරට මධ්‍යම තත්ත්වයේ සිට දහම් දේශනා කරති. “ මේ ප්‍රකාශය තුළින් පැහැදිලි කෙරෙන්නේ ලෝකයා අන්තවාදී දෘෂ්ටි දෙකක ගැලී සිටියදී බුදුරදුන් ඒ දෘෂ්ටිවලින් බැහැරව ලෝකය සාපේක්ෂකව දක්නා බවයි. ආත්මයක් ඇත යනු එක ප්‍රශ්නයකි. ආත්මයක් නැත යනු තව අන්තයකි. මනස හා ශරීරය එකට පවතී යනු එක අන්තයකි. මනස හා ශරීරය වෙන්ව පවතී යනු අනෙක් අන්තයයි. ලෝකය අන්ත යනු එක් අන්තයකි. ලෝකය අනන්තවත්ය යනු අනෙක් අන්තයයි. මෙලෙස එකිනෙකට විරුද්ධ අන්ත දෙක පුද්ගලයා ගැලී සිටීමට හේතු විවරණය කොට දැක්වූහ. බුදුරදුන් මේ අව්‍යාකත ප්‍රශ්න ඉහත කී අන්ත දෙක භාජනය කරන නිසා එම අන්ත දෙකෙන් බැහැරවූ මාධ්‍යමික ධර්මයක පිහිටා සිටියහ. ඒ මාධ්‍යමික තත්ත්වය යනු සියලු අන්තවාදී දෘෂ්ටිවලින් බැහැරවීම මිස එහි මැද සිටීම නොවේ. බුදුරදුන් සියලු හැට දෙකක් දෘෂ්ටි මෙසේ ප්‍රතික්ෂේප කළත් හැට තුන්වෙනි දෘෂ්ටියක් පිහිටවූයේ නැත.
බුදුරජාණන් වහන්සේ ලෝක විෂය ගැන නොදැන මේ ප්‍රශ්නවලට පිළිතුරු නොදුන්නා නොවේ. උන්වහන්සේගේ ලෝක විෂය පිළිබඳව ලෝක ධාතු පිළිබඳව කළ විවරණය නූතන විද්‍යාව අභිභවා යන තරම්ය. ඉරු දහසකින් සමන්විත කුඩා ප්‍රමාණයේ ලෝක ධාතුන්ගෙන් සමන්විත මූල නිකා ලෝක ධාතුවත් එබඳු චූලනිකා ලෝක ධාතුන් දහසක් ගුණ කිරීමෙන් යුත් මධ්‍යම ලෝක ධාතුන් පිළිබඳවත් එය දහසකින් ගුණ කිරීමේ ප්‍රමාණයකින් යුත් මහා සහස්සී ලෝක ධාතූන් පිළිබඳ කළ විවරණ විශ්මය ජනකය. මේ විශ්වයේ අවකාශය කොතරම් අචින්තනීයද යන්න බුදුරදුන් දැන හා දැක ප්‍රකාශ කළ බැවින් බුදුරදුන් මේ ප්‍රශ්නයට පිළිතුරු දැන සිටි බව පෙනේ. නමුත් ඒ පිළිතුර අසන්නට සත්‍ය ද අසත්‍යද යන්න පරීක්ෂා කර බැලීමට නොහැකි නිසා බුදුරදුන් එයට ඒකාංගික පිළිතුරක් නොදුන්නාහ. මක් නිසාදයත් බුදුරදුන් හැමවිටම යමක් පැහැදිලි කළේ කෙනෙකුට ඉන්ද්‍රිය ඥානයෙන් හෝ අභිභ්‍රමනින් ප්‍රත්‍යක්ෂ කළ හැකි දේ නම් පමණි. මේ නිසා ලෝකයේ අන්තය අනන්තය පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු බුදුරදුන් දේශනා කළත් ශ්‍රාවකයාට එය තම ඉන්ද්‍රියන්ගෙන් ප්‍රත්‍යක්ෂ කළ නොහැකි නිසා උන්වහන්සේ පිළිතුරු නොදී නිහඬවූහ.
“චූල මාලුංක්‍ය” සූත්‍රයෙහි දැක්වෙන පරිදි දිනක් මාලුංක්‍ය පුත්ත නම් භික්ෂුවක් බුදුරදුන් හමුවට පැමිණ මේ ඉහතකී ප්‍රශ්න දහයට බුදුන් වහන්සේගෙන් පැහැදිලි පිළිතුරක් නොලැබේනම් තමන් සිවුරු හැරයන බව අවධාරණය කළේ ය. එවිට බුදුන් වහන්සේ මාලුංක්‍ය පුත්තට පැහැදිලි කළේ ඔබට මා විසින් මේ ප්‍රශ්න දහයට පිළිතුරක් දෙන්නේ ය යන පොරොන්දුව පිට පැවිදි වූවා නම් එසේ සිවුරු හැරයාම සාධාරණයි. මා එබඳු පොරොන්දුවක් නොවූ නිසා එයට පිළිතුරුදීමට මම බැඳී නැති බව උන්වහන්සේ පැවසූහ. ඔබ පැවිදි වූයේ සසර දුක නැතිකර ගැනීමේ අරමුණින් නම් මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා යාම ඊට කිසිසේත් අදාළ නොවන බව බුදුරජාණන් වහන්සේ මාලුංක්‍ය පුත්තට උදාහරණයක් මඟින් පැහැදිලි කළහ.
මාලුංක්‍ය පුත්ත යම් පුද්ගලයෙක් දිනක් කිසිවකු විසින් විදින ලද ඊතලයකින් පහර කෑවේ ය. හේ අතිශය වේදනාවෙන් කෑගසමින් සිටින විට ඔහුගේ නෑහිත මිතුරන් වහා ඔහුව වෛද්‍යවරයකු කරා ගෙනයාමට සූදානම් වෙති. එවිට මේ තුවාල ලැබූ තැනැත්තා එය වළකාලමින් “ මේ ඊතලය විද්දේ කවුරුන්ද?” ඔහු ජාතිය කුමක්ද? ඊතලය තැනුවේ කවුරුන්ද? කුමන ලෝහයකින් එය තැනුවාද? එහි දුන්න සාදා ඇත්තේ කුමකින්ද, දුන්නේ දුනුදියට යොදාගෙන ඇත්තේ මොනවාද? මේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනතුරු මම වෛද්‍යවරයා වෙත නොයමියි, මෙසේ නෑයන් වළක්වන්නේ නම් ඔහු එයින් ජීවිතක්ෂයට පත්වන්නේ ය. මෙම උපමා කථාවෙන් අව්‍යාකත ප්‍රශ්නවලට බුදුරදුන් පිළිතුරු නොදුන්නේ, පැහැදිලිවම එය නිවනට අදාළ නොවන බව පැහැදිලි වේ. ඹපොට්ඨපාද සූත්‍රයට අනුව අව්‍යාකත ප්‍රශ්න කිසිදු ප්‍රයෝජනයක් නැති එසේම ධර්මයට අනුකූල නොවූ ලෝකයේ යථා ස්වභාවයට අනුකූල නොවූ මිනිසා උත්තම චර්යාව හෙවත් බ්‍රහ්ම චර්යාවටද අදාළ නොවන බවත් මෙසේ “න අත්ථ සංහිතං න ධම්ම සංහිතං, නාදි බ්‍රහ්මචරියකං” යනුවෙන් පැහැදිලි කර ඇත.
මජ්ක්‍ධිම නිකායේ පංචත්තය යනුවෙන් හා සංයුක්ත නිකායේ ගද්දූලබද්ධ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ මේ ඇත, නැත, අන්ත, අනන්ත, ශාශ්වත, අශාශ්වත, ජීවය හා ශරීරය, එකක්ය. දෙකක්ය. යන මෙකී සියලු විවාද බිහිවන්නේ සක්කාය දිට්ඨිය වූ පංචස්කන්ධයෙහි ඇලී ගැලී සිටීම නිසා බවයි. මෙම කරුණු අපූරු උදාහරණයක් මඟින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ. “සුනඛයෙකු කණුවක බැඳ තැබූ අවස්ථාවේ සුනඛයා කඹය දිග තිබෙන ප්‍රමාණයට ඇවිදිමින් කණුව වටේම ගමන් කරයි. එහි ලැග සිටියි. එයින් පිටට ඌට ගමන් කිරීමක් හැකියාවක් නැත. මෙලෙස දස අව්‍යාකත ප්‍රශ්න අප රවුමක් ලෙස ඇඳ මැද කණුවක් සලකුණු කර එහි ගැට ගැසූ සුනඛයාද චිත්‍රයට නඟා බලමු. සුනඛයන් වරක් එක් අන්තයකටත් තවත් වරෙක අනෙක් අන්තයට ගමන් කරන බව පෙනේ. බුදුරජාණන් වහන්සේ දැක්වූ පරිදි සුනඛයා කණුවට බැඳ සිටින්නා සේ පෘථජ්ජන මිනිසා සක්කායදිට්ඨිය නම් වූ කණුවෙහි බැඳී ඒ අන්තයටත් මේ අන්තයටත් ගමන් කරයි. මෙසේ මිනිසා ලෝකය හා සත්වයා, සදාකාලිකය ආත්මය සදාකාලිකය යනුවෙන් ගැනෙන ශාශ්වත වාදයටත්, මරණින් මතු සියල්ල අවසන් වේ. ලෝකය සදාකාලික නොවේ යන උච්ඡේද වාදයටත් ගමන් කරයි. ලෝකයේ කෙළවරක් පිළිබඳවත් අන්තය අනන්තය පිළිබඳව නිගමනයටත් මිනිසා එළඹෙන්නේ තමන් කේන්ද්‍ර කරගෙනය. සත්වයා හා ලෝකය නිරන්තරයෙන් හේතු ප්‍රත්‍ය ධර්මයන්ගෙන් සකස්වෙමින් හැමවිටම ගලායන ප්‍රවාහයක් ලෙස පවත්නා භවයක මෙසේ ලෝකය පිළිබඳ එළඹෙන්නේ රූප, වේදනාව, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධය නිත්‍යයයි, මමයයි මගේ යයි සලකන සක්කාය දිට්ඨිය නිසාවෙනි.
මේ නිසා අව්‍යාකත ප්‍රශ්න හා එමඟින් එළැඹෙන දෘෂ්ටිවලින් මිනිසා දෘෂ්ටි ග්‍රහනයක යෙදෙයි. බුදුන් වහන්සේ පුහුදුන් ලෝකයාට මේ ප්‍රශ්නවලට ඒකාංගිකව පිළිතුරු නොදුන්නේ ඔහු ඇත, නැත යනුවෙන් සැලකෙන අන්ත දෙකෙහි ස්වභාවයෙන්ම ගැලී ඒ අනුව සිතන නිසාය. සක්කායදිට්ඨිය ප්‍රහීන වූ පුද්ගලයාට මේ අව්‍යාකත ප්‍රශ්න කිසිවක් පැන නොනඟී. මේ අනුව බුදුරදුන් මේ ප්‍රශ්නවලට පිළිතුරු නොදීමට හේතු ගණනාවක් තිබූ බව පැහැදිලි වේ.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X