සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

බ්‍රහ්මචර්යාව පිරීම යනු නිවන් මඟට පිවිසීමයි

අනුරාධපුර 
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි

බ්‍රහ්මචර්යාව යන මේ වචනයේ සරල තේරුම නම් උසස් හැසිරීම යන්නයි. අප කවුරුත් උසස් හැසිරීමක් ඇතිව ජීවත් වෙන එක සමාජයට බොහොම වැදගත් වෙනවා. සැබෑවට ම මේ බ්‍රහ්ම චර්යාව යන වචනයෙන් අදහස් වන්නේ ඒ සාමාන්‍ය අර්ථයට වඩා එහා ගිය වැඩිමනත් දෙයක් යන්න මෙහිදී සිතට ගත යුතු වෙනවා. අප බෞද්ධයන් වශයෙන් පුරුදු වී සිටින වැදගත් දෙයක් තමා සෑම වැදගත් කටයුත්තක් ම ආරම්භ කරන්නට පෙර පන්සිල් සමාදන් වීම.
මේ අනුව සමහර විට එක ම දවසේ වුණත් වැදගත් කටයුතු දෙකතුනක් ම යෙදී තිබෙනවා නම් ඒ හැම අවස්ථාවකදීම මුලදී අනුගමනය කෙරෙන චාරිත්‍රය තමා පිරිස පන්සිල් සමාදන් වීම. එයින් අදහස් කරන්නේ එවැනි සෑම කටයුත්තක් ම සිල්වත්ව නිවැරදිව ධාර්මිකව සිට එම කාර්යයට මුල පිරීමයි. මේ අනුව සමහර දෙනෙක් කියන කරුණක් නම් සිල්පද පහ කැඩෙන්නේ නැතිව අප ජීවත් වෙනවා නම් මොකට ද නිතර නිතර පන්සිල් සමාදන් වන්නේ කියලා. සත්‍ය වශයෙන් ම කියනවා නම් අපි අපේ ජීවිත හොඳ සිහි බුද්ධියෙන් පවත්වා ගෙන යමින් සිල් පද පහෙන් එකක්වත් කැඩෙන්නට ඉඩ නොදී ජීවත් වෙනවා නම් එහෙම නිතර නිතර පන්සිල් කියවමින් සමාදන් වීම අවශ්‍ය වන්නේ නැහැ. එසේ වුවත් නොයෙක් ගැටලු ප්‍රශ්නවලින් කැකෑරෙමින් අරුම පුදුම දේ නිතර සිදුවන වර්තමාන ලෝකයේ ජීවිත ගත කරන උදවියට දවසේ කටයුතු කරගෙන යන කොට එකම අරමුණක සිහිය පිහිටුවා ගැනීමේ හැකියාව අඩු වෙනවා. මෙවැනි අවස්ථාවල සිල්පද එකක්, දෙකක් ඉබේටම සිහියෙන් ගිලිහී ගොස් තමා නොදැනුවත්වම එවැනි සිල්පද කැඩෙන්නට, බිදෙන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා නිතර පන්සිල් පද කියා සමාදන් වෙනවා නම් ඒ තත්ත්වය මඟ හැරෙනවා. එයට හේතුව තමා සිල්පද හැමවිටම හැම වැඩක් කරන්නට පෙර සිහිපත් වීම. ඒ නිසා පන්සිල් නිතර සමාදන් වෙනවා යන්නෙන් අප අදහස් කළ යුතු වන්නේ ඒ ඒ එක් එක් සිල්පදය එසේත් නැතිනම් එයින් කියැවෙන අදහස සිහියට නගා ගෙන ම දවස ගත කිරීමයි. එහෙම වුණත් මේ කොපමණ වතාවක් සිල්පද පහ කීවත් එයත් හොඳ සිහියෙන් කීවේ නැතිනම් එයින් ද පලක් වන්නේත් නැහැ. සිල්පද පහේ තිබෙන තෙවැනි සිල් පදය රැකීම මගින් සාමාන්‍යයෙන් අදහස් වන්නේ පර පුරුෂ පර ස්ත්‍රී සේවනයෙන් වැළකීම අනුගමනය කරනවා කියන එකයි. එහෙත් එයට වඩා තවදුරටත් එහා ගිය පුළුල් අදහස් එහි තිබෙනවා. එම සිල්පදය ගැන මෙහි විස්තර කිරීමට අදහස් කරන්නේ නැහැ.

එය එසේ වුවත් පන්සිල් සමාදානයෙන් එහා ගිය අටසිල් සමාදානයේ දී හෝ දසසිල් සමාදානයේ දී පන්සිල් පද අතර ඇති තෙවන සිල්පදය වූ “ කාමෙසු මිච්ඡාචාරා වෙරමණි සික්ඛාපදං සමාදියාමි” යන්න වෙනුවට සඳහන් වන්නේ “ අබ්‍රහ්මචරියා වෙරමණී සික්ඛා පදං සමාදියාමි” යන සිල්පදයයි. මෙම සිල්පදය අටසිල්, ගිහි දසසිල්, සමාදානයේ දීත්, සාමණේර දසසිල් සමාදානයේදීත් ඒ විදියට ම සඳහන් වෙනවා. මෙහි එන බ්‍රහ්මචරියාව හෙවත් අබ්‍රහ්මචරියාවෙන් වැළකීම යන්නෙන් වඩාත් පුළුල් අර්ථයක් දැක්වෙනවා. එය සාමාන්‍ය කතාබහේ දී බ්‍රහ්මචරියාව යන්නෙන් ඉදිරිපත් වන අර්ථයට වඩා වෙනස් වූ අර්ථයක්. උපසම්පන්න භික්ෂූන් වහන්සේගේ බ්‍රහ්මචර්යාව මෙයටත් වඩා දැඩි වූවක් වෙනවා.
වරක් ජේතවනාරාමයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ හමුවීමට ජානුස්සෝණි නම් වූ බමුණා පැමිණියේ උන්වහන්සේගෙන් මේ බ්‍රහ්මචර්යාව පිළිබඳ ප්‍රශ්නයක් අසා විමසා දැන ගැනීමටයි. බමුණා උන්වහන්සේ සමඟ සතුටු සාමිචි කතාබහක යෙදිලා අසා සිටිනවා මෙන්න මේ වාගේ ප්‍රශ්නයක්. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්ස, “ ඔබවහන්සේත් තමන්වහන්සේ බ්‍රහ්මචාරී වූවෙක් වෙමියි” කියා ප්‍රතිඥා දෙනවා නේද? කියලා. මෙයට බුදුරජාණන් වහන්සේ විසින් දෙනු ලබන පිළිතුරෙන් තේරුම් ගත හැකි වෙනවා. උන්වහන්සේ එහිදී ප්‍රකාශ කරනවා ‘බමුණ, යම්කිසි අයෙක් යම් පුද්ගලයෙකු ගැන කැඩීමක් නැතිව, කබර වැනි අඩුපාඩු නැතිව, චරිතය පිළිබඳ වෙනත් පැල්ලම් නැතිව, නොකැළැල් වූ පරිපූර්ණ, පිරිසුදු, බ්‍රහ්මචර්යාව රකිනවා කියා කියයි නම් ඒ අන්කිසිවෙකු ගැන නොව මා ගැනමයි” යන පිළිතුර. මෙයින් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ හැම අතින් ම අංගසම්පූර්ණ වූ උතුම් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරනවා කියන අදහසයි. මෙම පිළිතුරත් සමඟ ආරම්භ වන සාකච්ඡාව තුළින් පැහැදිලි වෙනවා මෙම ‘බ්‍රහ්මචාරී’ යන වචනය මොනතරම් පුළුල් අර්ථයක් ගන්නවා ද කියලා. මේ අවස්ථාවේ දී බමුණා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. “ භවත් ගෞතමයන් වහන්ස, එසේ නම් එම කැඩීමක් නැතිව, සිදුරක් සොයා ගත හැකි හෙවත් අඩුපාඩුවක් නැතිව, කබර වැනි තත්ත්වයක් නැතිව, චරිතය පිළිබඳ වෙනත් පැල්ලම් නැතිව නොකැළැල් වූ පරිපූර්ණ, පිරිසුදු බ්‍රහ්මචර්යාව කුමක්ද? යන්න මට එහෙමනම් පැහැදිලි කර දෙන්න” කියා. එහිදී බුදුරජාණන් වහන්සේ මෙම බ්‍රහ්මචර්යාව විස්තර විභාග වශයෙන් පැහැදිලි කර දෙන ආකාරය අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සඳහන් සත්තමෙථුන සූත්‍රයෙන් අපට දැක ගත හැකි වෙනවා.
මෙම සූත්‍රදේශනාව අනුව බ්‍රහ්මචර්යාව අංග සම්පූර්ණ වීමට නම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට පියවර හතක් දුරට, ඈතට තවදුරටත් පුරුදු පුහුණු කළ යුතු වෙනවා. සාමාන්‍යයෙන් පොදුවේ තේරුම් ගෙන ඇති පරිදි බ්‍රහ්මචර්යාවෙන් අදහස් කරන්නේ මුලින් ම පෙන්වා දුන් ආකාරයේ සාමාන්‍ය අර්ථයට එහා ගිය වඩාත් පුළුල් අර්ථයක්.
“යම්කිසි අයෙක් ඉහත සඳහන් ආකාරයට මෙම බ්‍රහ්මචර්යාව අනුගමනය කරමින් ස්ත්‍රී පුරුෂ සම්භෝගයක් නොමැතිව, එහි කැඩීමක් නැතිව, සිදුරක් සොයා ගත හැකි හෙවත් අඩුපාඩුවක් නැතිව, කෙනෙකුගේ පැහැපත් සමක් මතුපිට ඇති වන කබර වැනි පලුද්දක් වැනි තත්ත්වයක් නැතිව, චරිතය පිළිබඳ වෙනත් පැල්ලම් නොකැළැල් වූ පරිපූර්ණ, පිරිසුදු බ්‍රහ්මචර්යාව ආරක්ෂා කර ගෙන ජීවත් වන විට ඔහු මෙම බ්‍රහ්මචර්යාව අනුගමනය කරන අයෙක් කියා අපට ප්‍රකාශ කළ හැකි ය. ඒත් ජානුස්සෝණී බමුණ, මේ තත්ත්වය බ්‍රහ්මචර්යාවේ එක් පියවරක් පමණයි.” යනුවෙන් බුදුරජාණන් වහන්සේ මෙයින් පැහැදිලි කරන අදහස නම් එපමණකින් ම බ්‍රහ්මචර්යාව සම්පූර්ණ නොවෙනවා කියන එකයි.
දෙවනුව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දෙනවා යම් අයෙක් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරම්යි කියා කිසියම් ප්‍රතිඥාවක් දී එසේ එවැනි ස්ත්‍රී පුරුෂ වශයෙන් සම්භෝගයක් ඇති වෙන්නේත් නැහැ. එසේ වුවත් ස්ත්‍රියක් ලවා තම ශරීරය ඉළීම, පිරිමැදීම, නැහැවීම, අත්පා මිරිකීම ආදී කිසිවෙකුත් නො කළත් ස්ත්‍රියක් සමඟ අනවශ්‍ය ලෙස සිනාසෙමින්, උකුලු මුකුලු කරමින්, අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින් නොයෙක් විනෝද ජනක ක්‍රීඩා කරමින් මහහඬින් කාලය ගෙවයි නම් එයින් බ්‍රහ්මචර්යාව ආරක්ෂා වෙන්නෙත් නැහැ කියා.
තෙවැනි අවස්ථාව ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මුලදී පෙන්වා දුන් තත්ත්වයකට වුවත් පත් නොවී බ්‍රහ්මචර්යාව ගත කරන බවට ප්‍රතිඥා දුන් අයෙක් ස්ත්‍රියක් දෙස මහත් ඕනකමින් බලයි නම් එයිනුත් බ්‍රහ්මචර්යාව ආරක්ෂා වන්නේ නැහැ.
සතරවැනි අවස්ථාව ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ස්ත්‍රියක් පිළිබඳ මෙතෙක් කී කිසිදු ක්‍රමයක් අනුගමනය නො කළත් ස්ත්‍රියක් ප්‍රාකාරයකින් හෝ බිත්තියකින් හෝ පිටත සිට හෝ නොපෙනෙන තැනක වූවත් සිට සිනාසෙන, අඬන, ගී ගයන හඬ අසමින් තෘප්තියක් ලබනවා නම් එයිනුත් බ්‍රහ්මචර්යාව ආරක්ෂා වන්නේ නැහැ.
පස්වැනි අවස්ථාව ලෙස මෙතෙක් කියූ හැම අවස්ථාවකින් ම බ්‍රහ්මචර්යාව රැකගෙන සිටියත් මුලින් පැහැදිලි කරලා දුන් ආකාරයට බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දුන් අය මීට පෙර යම් අවස්ථාවක මුලින් කී ආකාරයට නොපෙනෙන තැනක සිට සිනාසෙන, අඩන, ගී ගයන හඬ අසමින් තමන් කාලය ගත කළ අයුරු නැවත සිහි කරමින් කාලය ගත කරයි නම් එයිනුත් බ්‍රහ්මචර්යාව ආරක්ෂා වෙන්නේ නැහැ කියා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා.
සයවැනි අවස්ථාව ගතහොත් මෙතෙක් කී කිසිදු අඩුපාඩුවක් නැතිව බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන බවට ප්‍රතිඥාවක් දුන් යම් අයෙක් පස්කම් සැපයට (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ) ගොදුරු වූ එයින් ම සතුටට පත්ව හුදු විනෝදයෙන්, ඊට ගිජුකමින් ජීවත් වන ගිහි ජීවිතයක් ගත කරන ස්ත්‍රියක හෝ පුරුෂයෙකු දැක ඒ පිළිබඳ සතුටක් ඇති කර ගනී නම් එයිනුත් බ්‍රහ්මචර්යාව ආරක්ෂා වුණා කියලා කියන්ට බැහැ.
අවසාන හෙවත් හත්වන අවස්ථාව වශයෙන් බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මචර්යාව ආරක්ෂා වීමට අවශ්‍ය කාරණයක් පෙන්වා දෙනවා. එය නම් යම්කිසි අයෙක් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන බවට ප්‍රතිඥාවක් දී මෙතෙක් විස්තර කළ සෑම අවස්ථාවකින් ම සම්පූර්ණ වුවත්, තමා ඒ විදියට බඹසර ආරක්ෂා කරගෙන ප්‍රසිද්ධ හෝ අප්‍රසිද්ධ දෙවියෙකු බවට පත්වීමේ ප්‍රාර්ථනාව ඇති කර ගන්නවා නම් එයින් ද බ්‍රහ්මචර්යාව ආරක්ෂා නොවන බව.
මෙතෙක් විස්තර කළ අවස්ථා හත දෙස බලන විට පෙනී යන ඉතා වැදගත් කාරණය වන්නේ සාමාන්‍ය මිනිස් හැසිරීම ඉක්මවා උසස් හැසිරීමක් ඇති බ්‍රහ්මචර්යාව ආරක්ෂා කිරීම ඉතා සියුම් සුවිශේෂ ප්‍රතිපත්තියක් පිරීම බවයි. අෂ්ටාංග සීලය ද ඇතුළුව ඊටත් ඉහළ යන සීලමය ප්‍රතිපදාවක් පිරීමට ගිවිස ගන්නා සෑම ගිහිපැවිදි අයෙක් ම මෙම ශික්ෂාපදය සමාදන්වීම තුළින් බුදුදහමේ ඉගැන්වෙන අවසාන විමුක්තිය වන නිර්වාණය අරමුණු කොට අපේ සිතට එන කෙලෙස් කසට නිසා එම විමුක්තියට බාධාවක් වන රාගය නමැති සිතිවිල්ල මූලික වශයෙන් යටපත් කරවීම මෙයින් බලාපොරොත්තු වන අරමුණ බවයි. ඒ හැරුණු විට එම රාගය තවදුරටත් වර්ධනය වීමකට ඉඩ නොතබා රාගාදී කෙලෙස් යටපත් කිරීමට මේ බ්‍රහ්මචාර්යාව පුරුදු පුහුණු කිරීම හේතු වන බව මෙයින් පැහැදිලි කර දෙනවා.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X