සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

වස්සානයේ ආරම්භය

වස්සානය එළඹීමත් සමඟ තනිව හෝ සාමූහිකව භික්ෂූන්වහන්සේලා වස් සමාදන් වී තම ආධ්‍යාත්මික පුහුණුව වෙනුවෙන් කැපවී ක්‍රියා කළහ. විශේෂයෙන්ම ආධ්‍යාත්මික ජීවිතයට යොමු වූ නිසා මේ කාලය තුළ රහතන් වහන්සේලා වැඩි වශයෙන් බිහිවිය. එසේම ආධ්‍යාත්මික කාලය උපරිම ප්‍රයෝජන ගත් නිසා ගිහි අය අතරිනුත් මාර්ගඵලලාභීන් දක්නට ලැබුණි.

“වස්සානය” යනුවෙන් අදහස් කෙරෙන්නේ වැසි කාලයයි. සසුන ආරම්භක අවදියේ භික්ෂූන් වහන්සේලා චාරිකා ජීවිතයක් ගතකළ අතර බුදුරජාණන් වහන්සේද භික්ෂූන් ඒ කෙරෙහි උනන්දු කළ සේක. ප්‍රථම රහත් සැට අමතා කෙරෙන බුද්ධානුශාසනයෙන් පැහැදිලි වන්නේ ධර්මය ප්‍රචාරය කිරීම චාරිකාවේ ප්‍රධාන අරමුණ වූ බවයි.
වර්තමාන භික්ෂුව මෙන් නොව සංකීර්ණ සමාජ වගකීම් හෝ යුතුකම්වලින් ආරම්භක ශ්‍රාවකයන් වහන්සේලා නිදහස් වු අතර කඩිනමින් තම විමුක්තිය සම්පාදනය කරගෙන සමාජයට ධර්මය කියාදෙමින් ගිහි පිරිස පවින් වළක්වා ස්වර්ග මාර්ගයට යොමුකරවීම උන්වහන්සේලාගේ ප්‍රධාන කාර්ය වූ බව පෙනේ. (සිඟාලෝවාද සුත්ත) සිව්පසය අවම ආකාරයෙන් සම්පාදනය කරගත් අතර අපිස් සතොස් දිවිපෙවෙතක් තුළින් ආධ්‍යාත්මික සුවය අත්දැකීමක් කරගෙන වාසය කළහ. මේ ආකාරයට බැඳීම් නැති සරල ජීවිතයක් ගතකළ එකල භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධාන අරමුණ වූයේ කඩිනමින් නිවන් අවබෝධකරගැනීම සහ ධර්මය ප්‍රචාරය කිරීමයි. මේ අරමුණු දෙකම උන්වහන්සේලාගේ චාරිකා ජීවිතය තුළින් සම්පූර්ණ කරගත්හ. එහෙත් ඉන්දියානු ආගමික, සමාජයීය, භෞගෝලීය,දේශගුණික බලපෑම් හේතුවෙන් මෙම නිදහස් චාරිකා සමය වස්සානය තුළදී තාවකාලික වශයෙන් නතර කරන්නට සිදුවිය. විශේෂයෙන්ම මහජනයාගෙන් හා වෙනත් ආගමික කණ්ඩායම් වලින් ලැබුණ පැමිණිලි හේතුවෙන් බුදුරජාණන් වහන්සේ වස්සාන ශික්ෂා පදය පැනවූ බව විනය පිටකයේ මහවග්ගපාලියෙන් පැහැදිලි වේ. එතැන් සිට සෑම වස්සාන සමයකම භික්ෂූන් වහන්සේලා සුදුසු සෙනසුනක් සොයාගෙන වැසි තුන් මස වස්සාන ශික්ෂා පදය සමාදන් වෙමින් එහි තම අධ්‍යාත්මික පුහුණුව සම්පූර්ණ කරගත්හ.

සරලව සකස් වු සිව්පසය

සසුන ආරම්භයේ සිටම භික්ෂුන් වහන්සේගේ සිව්පසය සකස් වූයේ ඉතාමත් සරල ආකාරයෙනි. උන්වහන්සේලා පාංශකූලය හෙවත් ඉවත දමන ලද මළමිනී ඔතන ලද වස්ත්‍ර සොයාගෙන ඒවා මැනවින් පිරිසුදුකොට පඬුපොවා චීවර වශයෙන් සකස්කරගෙන පරිභෝජනය කළහ. එහි අරමුණු වුයේ කය වසා ගැනීම පමණයි. (කායපරිහාරෙන චීවරෙන) තම ආහාර පාන සපයා ගත්තේ පිණ්ඩපාත චාරිකාවෙන්ය. එහි අරමුණ කුස ගිනි නිවා ගැනීම පමණයි. (කුච්ඡිපරිහාරෙන පිණ්ඩපාතෙන) ස්ථිර වාසස්ථානයක් නොමැති නිසා මුල් අවදියේ රුක් මුල් වන ලැහැබ් ගල් ගුහා ආදි ස්ථාන වාසය සඳහා යොදාගත්තේය. එසේම සෑම රෝගයකටම පාහේ භාවිතා කළ හැකි පූතිමුත්ත නම් ඖෂධය භාවිතා කොට ලෙඩරෝග පාලනය කරගැනුණි. එහෙත් මෙම ආරම්භක සරල භික්ෂු සමාජය පවත්වාගෙන යන්න හැකි වූයේ ටික කලක් පමණි. පළමු වතාවට බිම්බිසාර මහා රජතුමා විසින් වෙළුවන උද්‍යානය පූජා කළ අතර රජගහ සිටුවරයා විසින්ද ස්ථිර කුටි සකස්කෙට පූජා කරන ලදී. මෙයින් අනතුරුව සැදැහැති බෞද්ධයෝ ආරාම සකස්කරමින් භික්ෂූන් වහන්සේලාට පූජා කළ අතර උන්වහන්සේලා එහි වාසයකරමින් ධර්ම චාරිකාවේ නිරත වූහ. එහෙත් වස්සානය සමඟ මේ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් විය. වස්සාන ශික්ෂා පදය පැනවීමත් සමඟ චාරිකා ජීවිතයට මාස තුනක විරාමයක් හිමි විය. වස්සානය එළඹීමත් සමඟ තනිව හෝ සාමූහිකව භික්ෂූන්වහන්සේලා වස් සමාදන් වී තම ආධ්‍යාත්මික පුහුණුව වෙනුවෙන් කැපවී ක්‍රියා කළහ. විශේෂයෙන්ම ආධ්‍යාත්මික ජීවිතයට යොමු වූ නිසා මේ කාලය තුළ රහතන් වහන්සේලා වැඩි වශයෙන් බිහිවිය. එසේම ආධ්‍යාත්මික කාලය උපරිම ප්‍රයෝජන ගත් නිසා ගිහි අය අතරිනුත් මාර්ගඵලලාභීන් දක්නට ලැබුණි.

අධ්‍යාත්මික කාලය

වස් ආරාධනාවක් ලැබුණත් නැතත් භික්ෂූන් වහන්සේලා වස් සමාදානය කළ යුතුයි. එසේ නොවුණොත් එය බුද්ධ නීතියට පිටුපෑමක් වේ. ආරම්භයේ සිටම භික්ෂූන් වහන්සේලා වස් සමාදන් කරවා ගැනීමට සැදැහැති බෞද්ධයන් විශේෂ උනන්දුවක් දැක්වූහ. එයට හේතුව එම කාලය තුළ තමන්ට ද ආධ්‍යාත්මික ජීවිතයකට යොමුවෙන්න අවස්ථාව උදා වුණ නිසයි. වර්ෂයේ සෙසු කාලය තුළ භික්ෂූන් වහන්සේලා ධර්ම චාරිකාවේ නිරත වු නිසා නිසි පරිදි ගිහි පින්වතුන්ට උන්වහන්සේලාගේ ඇසුර මඟපෙන්වීම ලබා ගන්නට නොහැකි විය. මෙනිසා වස්සානය එළඹීමත් සමඟම බෞද්ධ ජනයා ඒ සඳහා සූදානම් වී උන්වහන්සේලාට අවශ්‍ය සෙනසුන් සකස්කොට වැසි සළු පිළිගන්වා ආරාධනා කළහ. මෙම වැසි සලුව යනුවෙන් හැඳින්වෙන වස්ත්‍රය භික්ෂූන් වහන්සේලාට ස්නානය කිරීම සඳහා වෙන්වූවක්. වර්තමානයේ එය නානකඩය යනුවෙන් හඳුන්වනවා. එය භික්ෂූන් වහන්සේලා ස්නානය කිරීමේදි භාවිතා කරන්නක්. දැහැත් ගොටුවක් සමඟ මෙම වැසි සළුව පූජා කිරීමෙන් භික්ෂූන් වහන්සේට ආරාධනා කරමින් වස්සානය තුළ උන්වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරන්නට පොරොන්දු වේ. මෙම ආරාධනය නිහඬව ඉවසා වදාරන භික්ෂූන් වහන්සේලා උපෝසථාගාරයට රැස්වී පොහොය කර්මය කොට විනයානුකූල පාරිශුද්ධත්වය ඇතිකරගෙන ඇසළපුර පෝයට පසු දිනයේ මධ්‍යම රාත්‍රියට පෙර බුද්ධ වන්දනා හා වතපිරිත දේශනා කොට දෙවියන්ට පින් අනුමෝදන් කිරීමෙන් තුන් මාසය තුළ සියලු කටයුතු සඵල කරගැනීම පිණිස දෙවියන්ගේ ආරක්ෂාවෙන් ලබාදෙන ලෙස සිහිපත්කොට වස්සාන ශික්ෂා පදය සමාදන් වී ආධ්‍යාත්මික කාලය ආරම්භ කරති. පසුදින සිට දින හතක් යනතුරු කිසිම හේතුවක් නිසාවත් ආරාමයෙන් බැහැර නොවී ආරාමය තුළම රැඳෙමින් තම වත පිළිවෙතෙහි ආරම්භක දින කීපය ගත කරති.

වැසි සළු පූජාව

වස්සාන ශික්ෂා සමාදන් වන භික්ෂූන්ට වැසි සළු පූජා කිරීම සුවිශේෂි පින්කමක් වශයෙන් දැක්වේ. මෙම චාරිත්‍රය මුල්වරට ආරම්භකර තිබෙන්නේ විශාඛා මහ උපාසිකාවයි. ඇය වරක් බුදුරජාණන් වහන්සේගෙන් වර අටක් ඉල්ලුවාය. එනම් දිවි ඇති තෙක් සංඝයාට වැසි සළු පූජා කිැරීමට,ආගන්තුකව පැමිණෙන භික්ෂූන්ට දන් පූජා කිරීමට, දුර ගමන් වඩින භික්ෂූන්ට මගදී වැළදීම පිණිස දන් පූජා කිරීමට, ගිලන් භික්ෂූන්ට යෝග්‍ය ආහාර පාන පිළිගන්වන්නට, ගිලනුන්ට උපස්ථාන කරන භික්ෂූන්ට දන් පිළිගන්වන්නට, ගිලන් භික්ෂූන්ට අවශ්‍ය බෙහෙත් පිළිගන්වන්නට, කැඳ පූජා කරන්නට සහ භික්ෂුණීන් වහන්සේලාට වැසි සළු පූජා කරන්නට යන ඉල්ලීම් අටයි. අනතුරුව බුදුරජාණන් වහන්සේ විශාඛා මහ උවැසියගේ ඉල්ලීම්වලට අනුමැතිය ලබාදුන් සේක. දෙවනුව මෙවැනි පිළිවෙත් පිරීමෙන් ලැබෙන කුමන ආනිසංසයක් සළකාගෙන එසේ කරන්නේ දැයි විශාඛා මහ උවැසියගෙන් විමසූ සේක. බුදුරජාණන් වහන්සේගේ පැනයට පිළිතුරු දෙමින් මහා උවැසිය ප්‍රකාශ කළේ සැවැත්නුවරට වැඩි කිසියම් භික්ෂූන් වහන්සේ නමක් අනාගතයේ මතු යම් දිනෙක ධර්මය ප්‍රගුණ කිරීමෙන් මාර්ගඵලවලට පත්ව මියගියේ හෝ පිරිනිවන් පෑවේ නම් ඒ සියලුම ස්වාමින් වහන්සේලා ඇය විසින් පූජා කරන ලද වැසි සළු ආගන්තුක බත්, ගිලන් බත්, බෙහෙත් කැඳ ආදිය වළදා තිබෙන හෙයින් ඇයට මහත් සතුටක් ඇතිවන බවත් එම සතුට මූලික කරගත් පී‍්‍රතිය නිසා ඇයට සිත එකඟ කරගෙන පංච ඉන්ද්‍රිය පංච බල හා සප්ත බොජ්ඣංග ධර්ම වැඩීම පහසුවන බවත්ය (විනය පිටකය චුල්ලවග්ගපාලි) විශාඛා උවැසියගේ උක්ත පුණ්‍ය කර්ම මගින් ඈ ලද මානසික සුවය කොතරම්දැයි මෙයින් පැහැදිලි වේ. ශ්‍රද්ධාවන්ත උපාසිකාවකට හෝ උපාසකයෙකුට වස් කාලය තුළ මෙකී පින්කම් අටෙන් බොහෝමයක් සිදුකරගැනීමට අවස්ථාව උදාවේ. ඒ සඳහා විශේෂ කාලයක් හෝ විශාල වියදමක් දරන්න අවශ්‍ය වන්නේ නැත. මෙනිසා වස්සානය ආධ්‍යාත්මික සුවය සොයන භික්ෂුවකට මෙන්ම ගිහි ශ්‍රාවකයාට තම ස්වර්ග මාර්ගය ආලෝකවත් කරගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් වශයෙන් සළකන්න පුළුවන්
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X