සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

දෙවියන්ගේ ගැටලුවලට බුදුරදුන් දුන් පිළිතුරු

දිව්‍ය ලෝකවල වෙසෙන දෙවියන්ද මනුෂ්‍ය ලෝකයේ වෙසෙන මිනිසුන් මෙන් නොයෙක්‌ ප්‍රශ්න ගැටලු ගැන සාකච්ඡා කරනවා. නමුත් සමහර ගැටලු හා ප්‍රශ්නවලට නිසි පිළිතුරු ඔවුන් තීරණය කරන්නේ වැඩිදෙනාගේ සම්මතයෙන්. නමුත් ඒවා නියම පිළිතුරු නොවෙයි. බුදුරජාණන් වහන්සේ නමක්‌ ලොව පහළවූ විටයි, උන්වහන්සේවෙත එළඹ නියම පිළිතුරු දැනගන්නේ. මහාමංගල සූත්‍ර දේශනාව මෙයට කදිම නිදසුනක්‌ දිව්‍යලෝක වර්ෂවලින් වසර දහ අටක්‌ම මංගල කාරණා මොනවාද කියා තීරණයර ගැනීමට දෙවියන්ට නොහැකිවුණා. බුදුන් වහන්සේගෙන් තමයි නියම පිළිතුරු දැනගත්තේ. මෙවැනි අවස්‌ථා බොහොමයක්‌ බෞද්ධ සාහිත්‍යයේ ඇතුළත්ව තිබෙනවා.

මේ අයුරින් දෙවියන් අතරවූ සාකච්ඡාවකදී ප්‍රශ්න හතරක්‌ මතුවුණා. ඒවා නම්,

1. උඩට යන දේ අතර අග්‍ර දේ මොනවාද?

2.පහළට යන දේ අතර අග්‍ර දේ 

මොනවාද?

3. ඇවිදින අය අතර අග්‍ර වන්නේ කවුද?

4. කතා කරන අය අතර අග්‍රවන්නේ කවුද?

මේ ප්‍රශ්නවලට එක්‌ දිව්‍ය පුත්‍රයෙක්‌ හොඳට හිතාබලා පිළිතුරු හතරක්‌ ඉදිරිපත් කළා. වැඩි දෙනාගේ දැනුම හා අවබෝධය මත ඒ පිළිතුරු හතර සම්මත කර ගත්තා. 

1. උඩට යන දේ අතර අග්‍ර දේ බීජය හෙවත් පැළය.

2. පහළට යන දේ අතර අග්‍ර දේ වැහි බිංදු

3. ඇවිදින අය අතර අග්‍ර වන්නේ ගවයා

4. කතාකරන අය අතර අග්‍රවන්නේ පුතා.

බැලු බැල්මට මේ පිළිතුරු හතර නිවැරැදි යෑයි අපටත් හිතෙනවා. බීජය හෙවත් පැළය ක්‍රම ක්‍රමයෙන් ඉහළට ගොස්‌ වර්ධනය වී මල් හා පල ලබාදෙනවා. ඒවා සත්වයින්ට ඉමහත් ප්‍රයෝජනයක්‌ ලබාදෙනවා. ඒ වගේම උඩ සිට පහළට ඇද හැලෙන වැහි බිංදු හෙවත් වර්ෂාව නිසා පොළව සශ්‍රීක වෙනවා. ගංගා ඇළදොළ වැව් පොකුණු පිරී පරිසරය වගේම ජීවිත සාර්ථක කරනවා. සත්ව ප්‍රජාවගේ පැවැත්මට ජලය අත්‍යවශ්‍ය සාධකයක්‌. ඒ නිසා ඒ ප්‍රශ්නයට පිළිතුර හරි බව අපිටත් හිතෙනවා. දෙවියන්ද ඒ අනුව එය සම්මත කරගත්තා. ඇවිදින අය අතර අග්‍රය වන්නේ ගවයා බවට තීරණය කරගත්තේ ගවයා හැමතැනම ඇවිද හොඳ තණකොළ භුක්‌ති විඳ පස්‌ගෝරස ලබාදී ලොකු සේවයක්‌, කරන සතෙකි. කතාකරන අය අතර පුතා අග්‍ර බවට තීරණය කරගත්තේ ලෝක ප්‍රජාව ඉදිරියට පවත්වාගෙන ගෙනයැමට පරම්පරාව ඉදිරියට ගෙන යැමට මූලිකයා වන්නේ පුතා නිසා විය හැකියි. (පුත්තා වත්ථු මනුස්‌සානං ලෙස බුදුන් වහන්සේද දේශනා කර ඇත.)
කෙසේ වෙතත් මේ පිළිතුරු හතර පිsළිබඳව විවිධ මත භේද කතාබහ ඇතිවුණා. එක්‌ දෙවියෙක්‌ මේ පිළිතුරු හතර භාරගැනීම ප්‍රතික්‌ෂේප කළා. මෙසේ කාලයක්‌ ගතවෙද්දී බුදුරජාණන් වහන්සේ නමක්‌ මිනිස්‌ ලොව පහළවී ඇති බවත්, උන්වහන්සේ සියල්ල නිවැරැදිව දන්නා බවත් දිව්‍ය ලෝකවල පතළ වුණා. පෙරකී දිව්‍ය පුත්‍රයා සියල්ල දන්නා බුදුන්වහන්සේ වෙත තවත් දිව්‍ය පිරිසක්‌ සමග පැමිණියා.
එසේ පැමිණ දිව්‍ය පුත්‍රයා ඉහත ප්‍රශ්න හතර හා දිව්‍ය සභාව මගින් සම්මත කරගත් පිළිතුරු හතරත් ප්‍රකාශ කළා. ඒවා නිසි පිළිතුරුදැයි උන්වහන්සේගෙන් අසා සිටියා.
එහිදී බුදුරජාණන් වහන්සේ එම ප්‍රශ්නවලට නිසි පිළිතුරු ඒවා නොවන බව වදාරා නිසි පිළිතුරු දේශනා කළා.
''දිව්‍ය පුත්‍රය උඩට යන දේ අතර අග්‍රවන්නේ බීජය නොව විද්‍යාවයි. හෙවත් අවබෝධයයි. දැනුම වැඩිකර ගැනීම නිසා, බහුශ්‍රැතභාවය නිසා ඔවුන් ප්‍රඥවන්තයින් බවට පත්වෙනවා. ඒ නිසා ඔවුන් දිනෙන් දින ඉහළට යනවා. දියුණුවට යනවා. වීර්යය වඩනවා. අත්හළ යුතු දේවල් අත්හැර වැඩිය යුතු, පිළිපැදිය යුතු දේවල් ප්‍රගුණ කරනවා. ඒ මගින් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නවා. ඒ නිසා ඉහළම යන දේ අතර විද්‍යාව අග්‍රවෙනවා' යෑයි වදාළහ.
'සාදු, සාධු, බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේගේ පිළිතුර අපි භාරගන්නවා. හරි අගේ ඇති පිළිතුරක්‌. ඉතින් බුදුරජාණන් වහන්ස, පහළට යන දේ අතර අග්‍රවන්නේ කුමක්‌දැයි දැනගැනීමට සතුටුයි. එයත් පහදා දෙන සේක්‌වා''.
''පින්වත් දිව්‍ය පුත්‍රය, පහළට යන දේ අතර අග්‍රවන්නේ ඔබලා මෙතෙක්‌ කලක්‌ සම්මත කරගෙන සිටි වැහි බිංදුව නොවෙයි. අවිද්‍යාවයි. අවිද්‍යාව හෙවත් අනවබෝධය නිසා සත්වයින් දිනෙන් දින පහළට වැටෙනවා. පිරිහීමට පත්වෙනවා. මේ නිසා ක්‍රම ක්‍රමයෙන් තම දියුණුව නැතිකර ගන්නවා. අන්තිමේදී නිරයට වැටෙනවා. නිරයට වැටුණොත් නැවත ගොඩ ඒමට දුෂ්කරයි. කාලාන්තරයක්‌ නිරයේ ගතකිරීමට සිදුවෙනවා. ඒ නිසා අවිද්‍යාව දුරුකර ගැනීමට උත්සාහ ගත යුතුයි.
මේ පිළිතුරෙන් සතුටට පත් එම දිව්‍ය පුත්‍රයා ''භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඔබවහන්සේගේ පිළිතුර හා පැහැදිලි කිරීම හරිම ශ්‍රේෂ්ඨයි. දිව්‍යලෝකයේ උපත ලැබ සිටියත් අප මෙතෙක්‌ කලක්‌ හිටියේ අවිද්‍යාවේ ගැලී. අප දැරුවේ මිත්‍යා මත. ඉතින් බුදුරජාණන් වහන්ස, ඇවිදින අය අතර අග්‍රවන්නේ ගවයා හෙවත් හරකා කියලයි දෙව්ලොව පිරිස්‌ විශ්වාස කරන්නේ.මම නම් එ යපිළිගන්නේ නැහැ. නමුත් නියම පිළිතුර දන්නෙත් නැහැ. ඔබවහන්සේ එයටත් නිසි පිළිතුරක්‌ වදාරන සේක්‌වා''.
''පින්වත් දිව්‍ය පුත්‍රය, ඇවිදින අය අතර අග්‍රවන්නේ භික්‌ෂුන් වහන්සේලායි. මාගේ ශ්‍රාවක භික්‌ෂුන් වහන්සේලා නිතරම ගම් නියම්ගම් සිසාරා ඇවිදිමින්, දුකින් වෙලී සිටින සත්වයින්ට ධර්මය කියාදී, ධර්ම අවබෝධ කරදී ඉන් මුදවා ගන්නවා. එය ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්‌. භික්‌ෂුන් වහන්සේලා හැර වෙනත් කිසිවෙක්‌ අන් අයගේ යහපත, දියුණුව උදෙසා ඇවිදින්නේ නැහැ. බොහෝ දෙනාගේ හිත සුව පිණිස ගමන් කරන නිසයි ඇවිදින අය අතර භික්‌ෂුන් වහන්සේලා අග්‍රවන්නේ'' යෑයි වදාළහ.
'භාග්‍යවතුන් වහන්ස, මෙතෙක්‌ කලක්‌ අඳුරේ සිටි අපට ඔබවහන්සේ හොඳ ආලෝකයක්‌ ලබාදුන්නා. එසේ නම් කතාකරන අය අතර අග්‍රවන්නේ කවුරුන්දැයි ප්‍රකාශ කර වටහාදෙන සේක්‌වා''.
''පින්වත් දිව්‍ය පුත්‍රය, කතාකරන පිරිස්‌ ඕනෑතරම් සිටිනවා. එහෙත් ඒවා කෙනකුගේ දියුණුවට හේතුවන්නේ නැහැ. ඒ නිසා මෙලොව පරලොව දෙකේම දියුණුවට හේතුවන දේ කතාකරන බුදුරජාණන් වහන්සේ කතාකරන අය අතර අග්‍රවෙනවා. උන්වහන්සේලා කතාකරන දේ මිනිසුන් දෙවියන් වගේම බ්‍රහ්මයන්ද අහනවා. ඒ අනුව පිළිපදිනවා. එදා බුදුන්වහන්සේලා කතාකළ දේවල් අදත් පවතිනවා. එදා වගේම අදත් ඉන් ප්‍රයෝජන ලබනවා. ඒ දහම අකාලිකයි. එදා වැඩ සිටි බුදුරජාණන් වහන්සේලා කතා කළ දේවල් නිසයි සත්වයින් සැනසිල්ල ලැබුවේ. ලොව පහළවන සියලුම බුදුරජාණන් වහන්සේලා කතාකරන දේ හෙවත් දේශනා කරන දේ එකයි. දියුණුවන මග හෙවත් නිවන ගැනයි දේශනා කළේ. එයින් සැනසිල්ල ලැබූ පිරිස අනන්තයි. මේ නිසා කතාකරන අයර අතර බුදුන්වහන්සේලා අග්‍ර වෙනවා' යි වදාළහ.
'හරිම අගෙයි, හරිම අපූරුයි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස. හරිම ආශ්චර්යයි. ඔබවහන්සේ දේශනා කළ දේවල් මට හොඳට වැටහුණා. අද තමයි නියම අවබෝධයක්‌ ලැබුවේ. අන්ධකාරයට පහනක්‌ දැල්වුවා වගෙයි'' යනුවෙන් බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කර එම දිව්‍ය පිරිස බුදුන්වහන්සේට නමස්‌කාර කර අතුරුදන් වුණා.
ගුණපාල කාරියවසම්
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X