සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

ප්‍රභාස්වර සිත යනු කුමක්ද?

බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරි, 
මහාචාර්ය 
බෙල්ලන්විල විමලරතන අනු නා හිමි

ත්‍රිලක්ෂණයෙන් යුත් ලෝකයෙහි ආත්ම වශයෙන් ගත යුතු හෝ ගත හැකි කිසිවක් හෝ කිසිවකු නොමැති බව බුදුදහමෙහි මූලික ඉගැන්වීමයි. මෙය කාගේ නොසතුටට, අවාසියට, අමනාපයට හේතු වුවත් එනයින් හැඳින්වෙන්නේ ස්කන්ධ සංස්කෘතියක් පමණි. මෙහි ස්වරූපය, ප්‍රවෘත්තිය පෘථුල අන්දමින් විග්‍රහ කරන බුදුදහම ස්කන්ධ ඒකකය නාම රූප වශයෙන් දෙකකට බෙදා දක්වයි. සත්ව පුද්ගල නාමයෙන් හඳුන්වාලන ස්කන්ධ ඒකකයෙහි චෛතසිකමය අංශය නාම නමින් සහ කායිකමය අංශය රූප නමිනුත් ගැනේ.
නාම රූප දෙක එකවිට සක්‍රීයත්වයට පත්වන තරමට දැඩි සම්බන්ධතාවයක් ඇත්තේය. එය උපමාවකින් පැහැදිලි කරතොත් බිත්තරයක කටුව හා කහමදය වෙන් වෙන් වශයෙන් ඇති නොවී එක විටම ඇතිව වර්ධනය වන්නාක් මෙනි. නාමයේ පැවැත්ම ඇති විටම රූපයේ පැවැත්ම සිදුවන බව සහ නාමයෙන් තොරව රූපයට හෝ රූපයෙන් තොරව නාමයට නොපැවැතිය හැකි බව මෙයින් අනාවරණය වන අනිත් කරුණයි. නාම රූප වශයෙන් ගැනෙන ස්කන්ධ සංයුති ඒකකය කොටස් පහකින් යුක්තය. එනම් රූප, වේදනා සංඥා , සංකාර , විඤ්ඤාණ යන පහයි. මේ සියලු ස්කන්ධ පිළිබද කරුණූ සලකා බැලීම මේ කෙටි ලිපියේ අරමුණ නොවන අතර සිතේ එක් අවස්ථාවක් සලකා බැලීම නිසා මේ කරුණු ටික එයට පසුබිමක් වශයෙන් පවතී.

නාම කොටසට අන්තර් ගත වන විඤ්ඤාණය ලෙස දක්වා ඇත්තේ සිතයි. සිතට බුදු දහමේ යෙදී ඇති නම් අතර චිත්ත, මනෝ විඤ්ඤාණ යන නම් ප්‍රධාන තැනක් ගෙන තිබේ. සිත හැදින්වීම සඳහා යෙදී ඇතත් ඒ පද බෙදී තිබෙන අවස්ථා හොඳින් පරීක්ෂාකර බැලීමෙන් එක්තරා ප්‍රමාණයකින් ආවස්ථක අසමානර්ථක බවක් ද ඇති බව අමතක කළ යුතු නොවේ. බෞද්ධ මනෝ විද්‍යාව පුළුල් ලෙස හදාරන වියතුන්ට ඒ සියුම් අවස්ථාව දැක ගැනීමට අවස්ථාව යෙදෙනු ඇත. ලෝකයෙහි පවත්නා ධර්ම දර්ශන අතර බුදුදහම තරම් සිත පිළිබද මූලික ස්ථානයක් දෙමින් විග්‍රහයෙනි යෙදෙන වෙනත් කිසිම ආගමක් නොමැති බව විද්වතුන් පිළිගත් කරුණකි. විශ්වයෙහි පවත්නා විවිධ ගැටලු අතර මිනිසාට මුහුණ පෑමට සිදුවී ඇති පොදු දුක් සංසිඳුවාලීම මේ ධර්මයේ පරමාර්ථයකි.
මානුෂික දුක්ගැහැට වල යථාර්ථය අනාවරණය කොට ඔවුන්ට යථාභූතය ක්ෂාත්ෂාත් කර දීමට නම් නාම රූපයන් පිළිබඳ යථාවබෝධය අනිවාර්ය වෙයි. එබැවින් සිත එහි ක්‍රියාකාරිත්වය සංවර්ධනය හා සංයමය පිළිබඳ අර්ථවත් අවබෝධයක් ලබාදීම සඳහා බුදුසමයෙහි සිත පිළිබඳ ඉගැන්වීම බහුලවීම පුදුමයක් නොවේ. මිනිස් ක්‍රියාකාරිත්වයෙහි ප්‍රමුඛස්ථානයක් ගන්නා සිත පිළිබඳව බුදුරදුන්ගේ ඉගැන්වීම් අර්ථකථන විශ්ලේෂණ මගින් පැහැදිලි කර ගැනීමට පශ්චාත් කාලීන විවිධ බෞද්ධ නිකායිකයින් විසින් දරා ඇති ප්‍රයත්නයද සුළුපටු නොවේ. මෙහිදී බෞද්ධ මනෝවිද්‍යාව අගය කරන්නවුන් වශයෙන් එක් වැදගත් කරුණක් අප විසින් අමතක නොකළ යුතුය. අතීත හෝ වර්තමාන හෝ පෙරදිග හෝ අපරදිග හෝ කවරම හෝ මනෝවිද්‍යාවක අඩංගු කරුණූ හෝ විග්‍රහ විශ්ලේෂණ බෞද්ධ මනෝවිද්‍යාවේ ඇත්ද නැද්ද සෙවීමට දරන ප්‍රයත්නයට වඩා බෞද්ධ මනෝවිද්‍යාව අපට පෙන්වීමට අදහස් කළ යථාර්ථය කුමක්දැයි ප්‍රායෝගිකව පසක් කිරීමට ප්‍රයත්න දැරීම වඩා ඵලදායි බව එම කරුණුය. බුදුරජාණන් වහන්සේ සිදුකළේ ආත්මවාදීන් අතරට අනාත්මවාදී දර්ශනයක් තුළින් යථාර්ථවාදී ධර්ම මාර්ගයකින් මිනිසා මුහුණ පා ඇති විශ්ව සාධාරණ පොදු දුක් ගැහැට සංසිඳුවා නිවී සැනසීමට පත් කිරීම වන හෙයිනි. අරූපී නාම ධර්මයක් වන සිත මේ වගේ යැයි කියාපෑමට අපට පුළුවන්කමක් නැත. එහෙත් එහි ක්‍රියාතාරිත්වය අනුව මුලික ලක්ෂණ මෙබඳු යයි දැක්විය හැකි දේශනා පිටක සාහිත්‍යයෙහි දක්නට ලැබේ. මේ සිත සත්වයෙකු හෝ පුද්ගලයෙකු නොවන අතර අනවරතයෙන් වෙනස් වන ප්‍රතීත්‍ය සමුප්පන්න ධර්මයයි. සන්තති වශයෙන් ක්‍රියාත්මක වන සිත සංජාන වේදනා හා චේතනා වලට මුල්වෙයි.
විෂය විෂයීය සමවාසයෙන් එසේත් නැත්නම් ආධ්‍යාත්මිකව බාහිර ආයතන පදනම් කරගෙන ඉන්ද්‍රිය ඤාණය ගොඩනැගෙයි. මේ සඳහා ගතවන කාලය විත්තක්ෂණ දාහතකි. මේ අනුව විෂය ලෝකය ඉඳුරන් මගින් සංජානනය කිරීම සිතේ කාර්යයි.
ඉන්ද්‍රිය ගෝචර බාහිර විෂය ලෝකය අත්දැකීම ඉන්ද්‍රියානුන භූතීයයි. තදනන්තරව සිදුවන චිත්ත ක්‍රියාකාරිත්වය චේතනා නමින් හැදින්වෙන කර්ම රැස්කිරීම පදනම් වෙයි. උපක්ලේශයන්ගෙන් සිත අපිරිසුදු බවට පත්ව දුක් උදාවට මාර්ගය සැලසේ. මේ තත්වයෙන් සිත මුදා ගැනීම දුක්ඛ නිරෝධයට මාර්ගයයි. චිත්ත පාරිශුද්ධිය බෞද්ධයෙකු විසින් ලැබිය යුතු ඉතාම උසස් සම්පත හැටියට විස්තර වන්නේ එය එම ධර්මයෙන් පෙන්වා දෙන පරම නිවී සැනසීම පසක් කිරීම අනිවාර්ය වන හෙයිනි.
උපක්ලේශයන් ගෙන් මිදුණු සිත පිරිසුදු සිතයි. ප්‍රතිසන්ධියේදී අප ලබන සිත ඉතා පිරිසුදුය. මෙය ප්‍රභාස්වර චිත්ත යනුවෙන් හඳුන්වනු ලැබේ. අංගුත්තර නිකාය චිත්ත නිපාතයේ සුත වග්ගයේ 9-10 සූත්‍ර වලින් බුදුරදුන් උගන්වා ඇත්තේ පභස්සර චිත්තයෙහි තත්වයයි. “මහණෙනි, මේ සිත ප්‍රභාස්වරය, මෙය ආගන්තුක උපක්ලේශවලින් මිදී ඇත. “මේ සිත කියා හඳුන්වන්නේ භවාංග සිත බව අටුවාව විස්තර කරයි. මනෝරථ පුරණි අංගුත්තර නිකාය අටුවාව මෙසේ සඳහන් කරයි. පභස්සර යනු පණ්ඩරයි. පිරිසුදුයි. චිත්ත යනු භවාංග සිතයි. කුමක්ද සිත වර්ණයක් තිබේද? නැත නිල් ආදි යම්කිසි වර්ණයක් තිබුණත් නැතත් පිරිසුදු බව නිසා පභස්සර යයි කියනු ලැබේ. මේ සිතත් උපක්ලේශ රහිත බැවින් පිරිසුදුයි. ප්‍රභාස්වරයි.” ප්‍රභාස්වර සිත නම් භවාංග සිත බව මෙයින් පැහැදිලිව දක්වා තිබේ. සහජයෙන්ම භවාංග සිත පිරිසුදු නමුත් ආගන්තුකව ඒහා යෙදෙන උපක්ලේශ වලින් අපිරිසුදු බවට පත්වෙයි. චිත්ත පාරිශුද්ධිය අපේක්ෂා කරන්නන්ගේ කාර්යය විය යුත්තේ අමුතුවෙන් පැමිණි සිත කිලිටි කරන උපක්ලේශ වලට එහි ඉඩක් නොතැබීමයි.
භවාංග සිත ප්‍රභාස්වර වන්නේ එය විපාක සිතක් වන හෙයිනි. පටිසන්ධිය විපාකයකි. විපාක සිතක් වන පටිසන්ධි සිතම භවාංග සිතද වෙයි. එහි විපාක සිතෙහි කිසි විටෙකත් සහජාන වශයෙන් අකුශලයන් හෝ උපක්ලේශයන් නොයෙදේ. ඒවා පසු පසුව අමුතුම ආගන්තුකව සිත හා යෙදේ. ඉන්ද්‍රියානුභූතියට අනතුරුව චිත්ත ක්‍රියාකාරිත්ව උපක්ලේශ වලින් සිත කිලිටිවීමට පාදක වෙයි. නාම රූප ඇති තාක් අපට විෂය ලෝකයට මුහුණ නොදී නොසිටිය හැකිය. විෂය ලෝකයේ සැරිසරන අප ඉන්ද්‍රිනුභූතියෙන් ප්‍රජනනය කරන විෂයයන් පිළිබඳව යොදන චිත්ත ක්‍රියාකාරිත්වයට අනුවම අපේ චිත්ත පාරිශුද්ධිය හෝ අපාරිශුද්ධිය රඳා පවතී. ඉන්ද්‍රීය දමනය සඳහා භාවනායෝගීව සිටි පැවිදි නමක් ගැහැනියක් සොයා යමින් සිටි පුරුෂයෙකුගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ගැහැනිය බව හෝ පුරුෂයෙකු බව නොදන්නා බවත්, ඇටසැකිල්ලක් ගිය බවක් ප්‍රකාශ කළ බව අපේ බෞද්ධ කථාවක සඳහන් වේ. එයින් පැහැදිලි වන්නේ අරමුණු වල හෙවත් විෂය ලෝකයෙහි සිත හසුරුවන ආකාරයට අනුව මිනිසාගේ ශුද්ධිය හෝ අශුද්ධිය ගොඩනැගෙන බවයි.
මජ්ක්‍ධිම නිකාය වත්ථූපම සුත්‍රයෙහි සිත කෙලෙසන කරුණු දහසයක් දක්වා තිබේ. එයට ලෝභය, ව්‍යාපාද, ක්‍රෝධය, බද්ධ වෛරය, මකුබව, පලාසය, ඊර්ෂ්‍යාව මසුරුකම, මායාව, ශඨබව, උථම්භ, සාරම්භ, මාන, අභිමාන, මද, පමාද යනු ඒ සොළසයි. මේවා සිත කෙලසන කරුණු බව දැන ඒවා ඉවත් කිරීම මේ ධර්මය සමාදන් වන්නවුන්ගේ කාර්යයි. ඒවා පහවීමෙන් සිත සමාහිත වෙයි. මෙවැනි සමාධි ප්‍රඥා ඇත්තෙකුට කවර සුව පහසුවක් ලැබුණත් එය අන්තරාය සඳහා හේතු නොවෙයි. මෙත්තා, කරුණා. මුදිතා,උපේක්ෂා යන බ්‍රහ්ම විහරණයෙන් යුතුව සිව්සස් දැක දැන සියලු ආසාවන්ගෙන් සිත මුදාගෙන කරණීයත්වයට පත්ව සැනසෙයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කර්ම චක්‍රයෙන් - ධර්ම චක්‍රයට

ගරුතර නායක ස්වාමීන් වහන්සේ වෙත...
... මේ ලිපිය ලිවීමට ප්‍රධාන හේතුව වූයේ මට ඔබ වහන්සේගෙන් ඇසිය යුතු වැදගත් කාරණාවක් නිසාය. මගේ සිත ඉතාම පැහැදිලිව, ප්‍රභාවත්ව, නිශ්චලව නිතර තිබෙන නමුදු එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය ප්‍රශ්ණ වල දී පාලනය කර ගත නොහැකි කෝපජනක අවස්ථාවන් සිතේ පැන නගී. එවිට මම මෝඩ, ශික්ෂණයක් නැති, දඩබ්බර ගැහැණියක් මෙන් මුර ගාමි. මේ නිසා පවුලේ අප්‍රසාදයට ද, අවට අයගේ අප්‍රසාදයට ද පත් වෙමි. මට මාව ම එපා වේ. එහෙත් ඉතා ඉක්මණින් යළිත් සිත ‘කෝප පිස්සුවෙන්’ මිදේ. යළි ප්‍රභාවත් වේ. මට සිද්ධිය ද අමතක වේ. මෙය හරියට නිශ්චල ජල තටාකයක, උඩින් හමා යන සුළං පහරක් වැනිය. සුළං පහරට කැළඹෙන ජලය සුළං පහර හමා ගිය පසු යළි නිසල වේ. කැළඹීම ගැඹුරු නැත.
මෙය මට බලනොපෑවාට, මා අවට අයට තදින් බලපායි. ‍මා මෙන් මෙය ඉක්මණින් අවසන් කිරීමට ඔවුන් සතුටු නැත. ලේස්තිද නැත. මේ නිසා එදිනෙදා ජීවිතයේ මම සතුරන් සාදා ගනිමි. අප්‍රසාදයට පත් වෙමි. මේ අප්‍රසාදජනක ගතිගුණයෙන් මට ගැලවීමට උවමනාය.
ඒ සඳහා ඔබ වහන්සේගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙමි. මෙවන් සිද්ධිවලින් පසු ප්‍රබලව මට ඒ සිද්ධිය විස්තර කිරීමට හැක. මගේ දුර්වලතාවය හොඳින් පෙනේ. දුර්වලතාවය මතු වූ අන්දම ද පෙනේ. එයට පැටළුණු අයගේ දුර්වලතා ද පෙනේ. මා පාලනය කර ගන්නට තිබුණා නේද කියා සිතේ. ඒත් යළි යළිත් මම මේ වැරදි දේ කරමි. එය දැන් පුරුද්දක් මෙන් මතු වේ. වරකට මට මෙය පිටස්තර බලවේගයක් ද කියා ද සිතේ. පිටස්තර බලවේගයක් වූවත් එයට අසු වෙනවා නම් එය මාගේ දුර්වලතාවයකි. ‍
මේ පැහැදිලි කිරීමට තවත් අතුරු කතාවක් මා ඔබ වහන්සේට කිව යුතු ය. ස්වාමීන් වහන්ස, දොළොස් දහසක් වර්ෂයන් ඈතට මට පසුගිය ආත්ම පෙනේ. සියලුම ආත්ම නොව මේ ආත්මයට බලපාන කුසල අකුසල කර්ම කළ ආත්මයන් ය. ඉන් ඉතා ප්‍රබලව බලපාන ආත්ම තුනකි.
1. වසර දොළොස් දහසකට පෙර අත්ලාන්තික් සාග‍රයේ තිබූ ඉසුරුමත් රාජ්‍යයක රාජ කුමරියක් වූ ආත්මය.
2. ඉන් අනතුරුව ලංකා පුරයේ (ලක්දිව) ඉතාම නැණවත්, රූමත්, පිරිමියෙකු ලෙස, දැඩි ප්‍රතාපයෙන් යුත් තේජවන්ත රජ කුමරියක වූ ආත්මය.
3. දෙවන පෑතිස් රජු කල අනුලා බිසවගේ පාරිචාරිකාවක ලෙස සිට ඇය හා මහණව, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ මහණ දම් පිරූ ආත්මය (මේ කුසලය බොහෝ කලකට බලපායි. සසර හරි මඟට ගෙන යන්නේ මේ කුසලය මතුපිට එන කුසල චිත්තයන් යැයි මට වැටහේ)
මේ ආත්මයේ මම 18 වසරක් තිස්සේ, අන්ත කටුක මානසික පීඩා කරදර මැද හිරකාරියක සේ අප්‍රමාණ වද වේදනා විඳිමින් සිටිය ද, හැම දේකම වැරැද්ද, ප්‍රසිද්ධ අවමානය, තනිවීම, සමච්චලයට ලක් වීම වැනි දේට මුහුණ දුනිමි. මේ, ලංකා පුරයේ රජ කුමරියක වී සිටියදී කළ බරපතල පාපකර්මයේ අවසාන පියවරයි. ඒ කර්මය මා ගෙවා නිම කල ද, තවමත් ටිකක් තිබේ. ගිනි පුපුරු නිවී ගිය ද ඇති උණුසුම මෙනි. මෙහි අන්ත දුක දකුණු ඉන්දි‍යාවේ දේවාලයක දේවදාසියකව ගෙව්වෙමි. එය තිරිසනෙකු සේ වද වින්ද ආත්මයකි. මම අන් ස්ත්‍රියකගේ පුරුෂයාට ලොල්ව, පලි ගැනීමක් වශයෙන් මාගේ රාජ බලය ද, දැඩි ප්‍රතාපය ද යොදවා, ‍මාගේ ‍සහෝදරයා ලවා (අප සමපාලකයෝ වීමු) යට කී පතිභක්තිමත්, සියුමැලි, රූමක් කාන්තාව සිරකාරියක කළෙමි. ඈ බලවත් සේ කම්පාව, තනි ව, භීතියෙන් වද වින්දා ය. ඈට වද දීම (මානසික වධ), මට විනෝදයක් විය. ඈ මේ නිසා සමාජයේ අවමානයට ලක් වූවාය. සැමියා ඇයට ම පරිභව කර ඈ නෙරපා දැමීය. ඈ එවිට ගැබ්බරව සිටියා ය. තනිව ඒ දුක අවමානය ද වින්දා ය. අසරණව මිය ගියා ය.
මම යස රඟට මේ ආත්මයේ ඒ කර්මයේ ශේෂය ගෙවූයෙමි. තනි වීමි. නින්දා ලැබීමි. සැමියා විසින් ද, ඔහුගේ වර්ගයා විසින් ද දරුණු ලෙස පරිභව කරනු ලැබීමි. දරුවන් හා තනිව දුක් ‍වින්දෙමි. නොකළ වැරදි වලට සමා‍ජයේ ගර්හාවට ලක් වීමි. ප්‍රකටව ම පරිභව ලැබීමි. හිරකාරියක වීමි. දරුවන් හා තනිව සිටිමි (සැමියා මා පලවා හැරියේ ය).
මේ දුක් පීඩා එන විට මම කුසල බලය (සිල් රැකීමේ බලය) මතු වීමෙන් මෙයට හේතුව සොයන්නට වීමි. බෞද්ධ දර්ශනයේ ගැඹුර සෙවීමටත්, සත්‍යය සොයමින් යෑමටත්, කියවීමටත්, පින් දම් කිරීමටත්, ධර්මයට ඇලීමටත් පුරුදු වීමි. මාගේ මනැස ද, නැණැස ද ඇරුණේ ය. කර්ම වේගය කෙතරම් බරපතල ලෙස ගෙව්වත් අද මට ඒ ශේෂයක්වත් මනස් පීඩාවක් නැත. දුක් පීඩා මතක නැත. කිසිම වේදනාවක් නැත.
අත්ලාන්තික් සාග‍රයේ රාජ කුමරියක වූ මාගේ නම ‘ඇනීහා’ විය. අවුරුදු 14 දී වෛද්‍ය පූජකවරියක ලෙස පූජකාරාමයට ඇතුළු කරන ලදී. නිල් මහනෙල් තටාකයක් ඉදිරියේ දී කසිණයක් පුහුණු වීමට මට සිදු විය. මට නිල් කසිණ පුහුණු කළෙ, ශල්‍ය කර්මවලට භාජනය වන රෝගීන්ගේ තුවාල සනීප කිරීමට හා වේදනාව නැති කිරීමට මගේ මනසින් ‘නිල් ආලෝක ධාරා’ නිකුත් කිරීමට ය. ඒ යුගයේ වෛද්‍ය විද්‍යාව, මානසික බලය හා සම්බන්ධව කෙරුණේ ය. නිල් ආලෝක ධාරා නිකුත් කිරීමට මට විශේෂ බලයක් තිබුණු බැව්, අධිමානසික බල තිබූ පූජකවරු දැන ගත්හ. එහෙත් පුහුණු වූයේ අවුරුදු 4 ක් පමණි. මට අවුරුදු 18 දී පූජකාරාමයෙන් ද, රටින් ද පැන ගියෙමි.
මේ ආත්මයේ මට නිල් පාට දුටු විටම සිත පහන් වේ. එකඟ වේ. ප්‍රභාමත් වේ. උද්වේගයෙන් පිම්බී යයි. සිත ශාන්ත වේ. නිවේ. නිල් මහනෙල් මල මට ඉතා ප්‍රිය ය. අහස් නිල ඉතා ප්‍රිය ය.
මේ ආත්ම තුන මා දැක්වූයේ, ඒ මේ ආත්මයට ඉතා සම්බන්ධ බැවිනි. 
1. මට මතුවන ‘කෝප පිස්සුව’ මගේ අකුසල කර්මයේ කොටසක් ද?
2. නීල කසිණය යළි වැඩීමෙන් මගේ සිත නිවා ගත හැකි ද?
බොහෝ දේ ලිවීම ඔබ වහන්සේට මහත් කරදර බව දනිමි. කරදර කරනවාට දෙපා නැමැද සමාව ඉල්ලමි.
ප.ලි.
පසුගිය ආත්මවල දැන හැඳින සිටි අය මට මේ ආත්මයේ දී හඳුනා ගත හැක. ළඟින්ම සිටින්නෝ කල්‍යාණ මිත්‍රයෝ ය. තවත් ළඟින් සිටින කොටසක් පරම හතුරෝ ය. මට මේ දෙකොටසම කෙරේ ඇත්තේ, එකම හැඟීමකි.
මේ හැර මේ සංඥා තලයට අයත් නැති නොපෙණෙන කල්‍යාණ මිත්‍රයෝ සිටිති. ඇතැම් ආත්ම (මට මතකයට නොඑන) ගැන ඔවුහු මට කියති. අවුරුදු දොළොස් දහසකට පෙර මා චාතුර්මහාරාජික දෙව්ලොවේ සිට පොළෝ තලයට ආ බවත්, යළිත් මේ ආත්මයෙන් පසු එහි එන බවත් මට දන්වා ඇත.
ඉදිරියේ ඇති ආත්ම දෙකක් මට පෙනේ. එකක් මොළය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු (ශල්‍ය) ලෙස උපත ලැබීම. ඉන්පසු ආත්මය මහණ දම් පිරීම. මේ ආත්ම දෙක ම පිරිමි ආත්ම ය. ප්‍රබල කුසල බලපාන ආත්මයන් ය. මේ ආත්මයත්, ඊළඟ ආත්මයත් අතර ලොකු පරතරයක් පෙනුන ද, ඒ කා‍ලයේ මා ඉන්නේ කොහේ ද කියා මට නොපෙනුනේ ය. දැන් මට දන්වා ඇති පරිදි ඒ චාතුර්මහාරාජිකයේ ය. මනස ඉතා පැහැදිලි විට ඔවුහු මට කතා කරති. 
මේ හැර ආලෝක වර්ෂ 500 ක් ඈත, මේ චක්‍රාවා‍ටයේ ම (වෘෂභ තාරකා මඩුල්ලේ හත්දින්නත් තරු පොකුරේ) තාරකාවක් වටා ඇති ග්‍රහලෝකයකින් එන පණිවුඩ මට ලැබේ. තව වසර දහයකින් මට ඒ ග්‍රහලොවට මට එන්නට පවා හැකි වේ යැයි, ඔවුහු මට කියති. අධිමානසික තරංග මත ගමන් කිරීමේ ශක්තිය මේ ග්‍රහ ලොවේ වැසියන්ට තිබේ. ඔවුහු විද්‍යා ඥානයෙන් ද, මානසික බලයෙන් ද අති ප්‍රබල ය. මනැස් සංඥාවෙන් කතා කරති. මේ කල්පයේ වැදගත් සිදු වීම් ඔවුන් ‘ටෙලිවිෂන්’ සේ චිත්‍රගත කර ඇත. ඒ අතර ගෞතම බුදුන් වහන්සේගේ ධර්ම දේශනා ඇතැම් කොටස් එහි ඇත.
මේ ගැන සෙවූ මට තාරකා විද්‍යාඥයින් මේ තරු පොකුරේ සෞර ග්‍රහ මණ්ඩලයක් තිබෙන බව සැක කරන බව තාරකා විද්‍යා පොත්වල දක්නට ලැබුණි. විද්‍යාඥයින් සැක පහළ කරන්නේ තර්කානුකූලව ඔප්පු කළ සාධක ඇත්නම් පමණි. හේතු ඇත්නම් පමණි.
මම ද මේ ගැන විමසිලිමත් වෙමි. ඔවුන් ආශ්‍රයට සුදුසු ප්‍රබල මනස් ඇතියවුන් බැවින් ඒ මට මහත් ප්‍රීතියකි. පසුගිය කාලයේ මාස හතරක් තිස්සේ මේ සංඥා මට ලැබුණේ ය. දැන් ඒවා නැවතී ඇත. මගේ කර්ම වේගය හීන වී, මගේ මනැස පැහැදිලි වන තෙක් මට සංඥා දීමට ඔවුන් බලා සිට ඇත.
මේ සියල්ල මට අරුම විශේෂ සිද්ධීන් ලෙස නොදැනේ. මේ සංසාරය විහිදී යන දුර පමණක් පැහැදිලි වේ. දැන් මහ පොළොවේ සිටියත්, එන ආත්මයේ චාතුර්මහාරාජිකයේ උපන්නත් මට එක සේ දැනේ. විශේෂ ප්‍රීතියක් නැත. මේ සියල්ල මනස නම් මායාමය බලවේගය මවන මායාවන් නොවේ ද?
ම‍ගේ එකම අධ්‍යාශයත්, උවමනාවත් සර්වඥතා ඥාණය ප්‍රත්‍යාක්ෂ කිරීම පමණි. මේ මගේ අන්තිම ස්ත්‍රී ආත්මය යි. සසර බරපතල පව් මම මේ ආත්මයේ දී ගෙවා නිම කරමි. ඉන්පසු සසර ඉදිරි මග පැහැදිලි විසල් ඍජු ගමන් මගක් ලෙස මට දැනේ. බාධක කිසිත් නැත. මගේ සිත පැහැදිලි අහසක් මෙන් විශාලව පැතිරී යයි. සියල්ල එක නිමේෂයකට එක්වර මම දකිමි. ඉන්පසු සිත වැසී යළිත් නිශ්චල වෙයි. මෙය ඉතා ප්‍රබලව දැන් මට දැනේ.
මේ ගමන් මගට සුදුසු ධර්ම දානය දෙන ලෙස මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. සසර මේ සන්ධිස්ථාන‍යේ දී මාර්ගෝපදේශකයා ඔබ වහන්සේ ම විය යුතු ය.
මේ දීර්ඝ ලිපිය ලියා ඔබ වහන්සේට කරදර කරනවාට දහස් වරක් සමාය ඇයැදිමි.
ප.ලි.
මේ ලිපිය ලියූ පසු මට කරුණක් නිරවුල් විය. කෝප පිස්සුව බරපතල කර්මය කළ ආත්මයේ තිබූ චරිත ලක්ෂණයකි. එය අද මට මා කෙරේ ම නින්දා පමුණුවන, ගර්හාවට ලක් කෙරෙන ආයුධයක් විය. කර්ම පල දෙන හැටි! දැන් මා මෙයට ප්‍රතිවිරුද්ධව නැගී කර්ම වේගය සිඳිය යුතු ය. එය කරන්නෙ කෙසේ ද? මෙය මතුවන්නේ මා නොසිතූ විට ය. හදිසි කුණාටුවක් මෙනි.
සසර ගමනේ මගේ ස්ත්‍රී භාවය නිමා වූ අන්දම ඔබවහ‍න්සේ හමු වූ විටෙක කියමි. එය කර්ම‍ වේගය පිළිබ ඳ විචිත්‍ර කතාවකි.
-----------------
මෙය කටුකුරුන්දේ ඥාණනන්ද ස්වාමීන්වහන්සේගේ ගුරු ස්වාමීන්වහන්සේට ලැබුණු ලිපියකි. මේ උතුම් කත තවමත් ජීවතුන් අතර සිටියත්, චාතුර්මහාරාජිකයේ සිටියත් ඇයට මේ ධර්ම දානමය පින අනුමෝදන් කරමු. මේ උතුම් බුද්ධෝත්පාද කාලය අප්‍රමාදීව ගෙවන්නට සියලු දෙනාට මේ කථාව දහම් පඬුරක් වේවා !!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නාගයෝ ගැන බුදුදහමින්

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන ලද සමයේ සිට වාසය කළ යක්ෂ නාග සහ දේව යන කොට්ඨාස පිළිබඳ අපි අසා ඇත්තෙමු. මේ අයගෙන් වඩා රසවත් තොරතුරු හමුවන්නේ නාගයන් පිළිබඳව ය.

නාගයන් නොනැසිය යුතු කොටසක් ලෙස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබෙන බව දැක්වෙයි. සමහර නාගයෝ බුදුරජාණන් වහන්සේට විරුද්ධ වූහ. ඒ අතර බොහෝ නාගයෝ බුදුරජාණන් වහන්සේ සරණ ගියහ. බෞද්ධ සාහිත්යයේ සඳහන්වන නයින් කෙබඳු කොට්ඨාසයක් දැයි අප විමසා බැලිය යුතු ය.
නයා - අප සාමාන්යයෙන් නයා වශයෙන් හඳුන්වන්නේ අපගේ ඉඩ කඩම්වලදී දක්නට ලැබෙන නයින් ය. මොවුන් අතර සිටින සුදු නයි පිළිබඳව ගැමියෝ විශේෂ සැලකීමක් දක්වති. කළු නයි නපුරු යැයි කියති. කෙසේ වෙතත් ගැමියාට හමුවන නයා ඔවුන් ඇමතුවේ නයි හාමි යනුවෙනි. එයට හේතු වූයේ තම මිය ගිය ඥාතීන් නයින්ව ඉපදෙන බවට ඔවුන් අතර පැවැති විශ්වාසයයි.
විෂඝෝර නයි
ආසි විසෝපම සූත්රයෙහි විෂඝෝර නයි සතර දෙනෙක් පිළිබඳව හඳුන්වා දෙයි. ඔවුන් දෂ්ට කිරීමෙන් මිනිස් ජීවිතවලට හානි සිදුවෙයි.
1. කට්ඨ මුඛ - මොවුන් දෂ්ට කළ විට සිරුර දර ලීයක් මෙන් වෙයි.
2. පුති මුඛ – දෂ්ට කිරීමෙන් ශරීරය කුණු වෙයි.
3. අග්රා මුඛ – දෂ්ට කළ විට සිරුර කැබලි වලට කැඩෙයි.
4. සත්ථ මුඛ - දෂ්ට කළ මොහොතේම මියයයි.
මෙම වර්ග සතර දේශීය වෛද්ය ශාස්ත්රයෙහි දක්වා ඇත්තේ රජ ඔටුණු වෙළඳ සහ ගොවි වශයෙනි.
නාගයා
නාගයා, නයාට වඩා විශාලය. වනාන්තර වල සහ වෙහෙර විහාර දේවාල ආශි්රතව වෙසේ. මොවුන් නිදන් ආරක්ෂා කරන බව සමහරු විශ්වාස කරති.
දිව්ය නාගයින්
මොවුන් මිනිස් ඇසට නොපෙනේ. මනුෂ්ය වෙස් ගැනීමට පුළුවන.මුචලින් ද නා රජු ඊට නිදසුනකි.
නාග ගෝත්රය
නාග ගෝත්රිකයෝ දඹදිව මෙන්ම ලක්දිව මෙන්ම ලක්දිව විසූ මනුෂ්ය කොට්ඨාසයකි. ඔවුහු රාජ්ය පාලනය කළහ. ලක්දිව සිටි චූලෝදර, මහෝදර එවැනි නා රජවරු ය. මෙම නාග ගෝත්රිකයෝ කොටස් දෙකක් වූහ.
1. සමුද්ර වාසී
මොවුහු ධීවර කර්මාන්තය සහ වෙළඳාම කළහ. ඔවුන්ට නාවික යාත්රා තිබිණි. අගනා වෙළෙඳ භාණ්ඩය මැණික් ය.
2. ගොඩබිම් වාසි
මෙම කොටස කෘෂි කර්මාන්තය සහ සත්ව පාලනයෙහි නියුක්ත විය.
රාජ්ය බලයෙන් පිරිහුන බලවත් නයි පසු කළ ආරක්ෂකයෝ වූහ.
නාග ලෝකය
වංශ කතාවල සඳහන් වන ආකාරයට නාග ලෝකය පිහිටියේ මහා පෘථිවියේ සාගර පත්ල යටය. නාගයෝ එහි සිට මනු ලොවට පැමිණියහ. නාග ලෝකය පිහිටි ස්ථානය පිළිබඳව ඇතැමුන් අතර මත පවතී. ලෝකය නැඟෙනහිර සහ බටහිර වශයෙන් කොටස් දෙකකි. එයින් බටහිර රටවල් අපර දිග ලෝකය වශයෙනුත් නැඟෙනහිර රටවල් පෙරදිග ලෝකය වශයෙනුත් හැඳින්වෙයි. ඒ අනුව නාගයින් වාසය කළ ප්රදේශය හැඳින් වූයේ නාගලෝකය නමින් ය. ඒ අනුව නාග ලෝකය පිහිටියේ ද මෙම පෘථිවි තලයේමය. එම ප්රදේශයට දඹදිව සහ ලක්දිව කොටස් ද සම්බන්ධ විය. එහි විශාල ප්රදේශයක් පසුකල සාගර ජලයට යටවිය.
නාග නාමය
නාගයින් සමග සම්බන්ධ වූ ප්රදේශ වලට නාග නම ද එකතු විය. නාග ලෝකය නාග දීපය, නා ගොඩ නාපාන, නාලන්ද උදාහරණ වේ. නාග නමින් නාගයින් හැඳින් වූ අතර ඇතාද නාග නම් වෙයි. උපසම්පදාව අපේක්ෂිත සාමණේරයන් වහන්සේ ද නාග නමින් හැඳින්වෙයි.
බෞද්ධ සාහිත්යය
බෞද්ධ සාහිත්යයේ නාගයින් හා සම්බන්ධ වූ තොරතුරු රාශියකි. බුදුරජාණන් වහන්සේ කිරිපිඬු වැළඳූ පාත්රය නේරංජනා ගංඟාවේ උඩු ගං බලා ගොස් මදක් නතරව සිට වැටුණේ නාග ලෝකයටය.
“ඒ නිල් දිය මුදුනට දැමූ රන් තලිය සරත් කාලයෙහි හිරු මඬල මෙන් උඩු ගං බලා ගොස් ටිකත් සිට කාල නාග රාජයාගේ භවනයට වැද”......... (ථූප වංශය 31 පිටුව)
මේ අතර දිව්ය නාගයන් ගැන ද සඳහන් වේ. ඔවුන්ට මිනිස් වෙස් ගැනීමට පුළුවන. මුචලින්ද නා රජ එවැන්නෙකි. සයවන සතිය අවසානයේ දී මුචලින් ද නා රජ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියේ මනුෂ්ය වේශයෙනි.
“සතිය අවසන වැසි නැවති කල්හි නාග රාජයා මානවක වේශයක් ගෙන ඉදිරියට අවුත් බුදුන්ට නමස්කාර කරමින් සිටියේ ය.”
බුද්ධ ධර්ම සංග්රහය, ස්වභාෂා ප්රකාශන මුද්රණාංශය, කොළඹ 10 
1964 අගෝස්තු
උරුවෙල් දනව්වට වැඩි බුදුරජාණන් වහන්සේ රාත්රියෙහි ගිණිහල් ගෙහි සිට එහි වූ නාගයා දමනය කර පාත්රයෙහිලා පසුදින උදයේ උරුවෙල කාශ්යප දැක්වූහ.
ඒකරක පත්ර නා රජු බුදු කෙනෙක් ලොව පහළ වී දැයි දැන ගැනීමට ගංඟා නම් ගං තෙරට පැමිණ සිය දියණියට ගීතයක් උගන්වා තම විශාල පෙන ගොබය මත නටන්නට සැලැස්වීය. එම ගීතයට පිළිතුරු සපයන කෙනෙකුට දියණිය විවාහ කර දෙන බව ප්රකාශ කළේ ය. සංඛ පාල නා රජු පොහොය දිනවල දී මනු ලොවට පැමිණ සිල් සමාදන් විය. අප බෝසතාණන් වහන්සේ අතුල නම් නා රජව සිටියදී දහ නවවන නියත විවරණ ලද්දේ විපස්සි බුදුරජාණන් වහන්සේගෙනි. අනුරුද්ධ මහ රහතන් වහන්සේට ඇති වූ උදරාබාධයට පැන්ගෙන ඒමට ගිය සුමන සාමණේරයන් වහන්සේට පැන් නොදීමට අනවතත්ත විල පෙන ගොබයෙන් වසා ගත්තේ පන්ථක නම් නා රජු ය.
එවිට සාමණේරයෝ, දොළොස් යොදුන් මහ බඹ වෙසක් මවාගෙන ඔවුගේ පණස් යොදුන් පණ ගබ පිට බැසලා සත්ගවු හමාරක් දිග ඇති පතුල් දෙකින් ඉක්මන් නොවී සක්මන් කරන සේක... එකෙණෙහි නයි හුස්මන හඬක් මඩනා වේලෙහි ඵණය සුළං ගන්නා හඬක් අහස් ගිගුම් හා මුහුදු රළ ගිඟුම් හා එක එල්ලයට පැමිණ ගියා සේ ඉතා මහත් වූ ඝෝෂා විය. එකෙණෙහි ම නාග රාජයාගේ ඵණය මඩුත් මඩුත් අසු අස්සෙන් ජල ධාරාවෝ තල් කඳ සා පොල් කඳ සා ව ආකාශයට ගවු දෙගවු උස නැගෙන්නට පටන් ගත්තාහු ය.
පූජාවලිය (පිටුව 227 ) වේරගොඩ අමරමෝලි නාහිමි, ශ්රී ලංකා ප්රකාශන සමාගම, කොළඹ
1961.01.01
දිව්ය නාගයෙක් මිනිස් වෙස් ගෙන පැවිදිව විහාරස්ථානයක වාසය කළේ ය. මිනිස් වෙස් ගත් නමුත් ඔවුන්ට ආහාර ගැනීමේදීත් නිදා ගැනීමේදීත් නාග වේශය ගත යුතු විය. දිනක් මෙම නාගයා දුටු හිමිනමක් බිය වූහ. එයින් පසු නාගයන් පැවිදි කිරීම බුදුරජාණන් වහන්සේ තහනම් කළහ.
දොණ බමුණා, සර්වඥයන් වහන්සේගේ ධාතූන් වහන්සේ බෙදන විට දකුණු දළදා වහන්සේ තම හිස කෙස් අතර සඟවා ගත්තේය. අනෙක් දකුණු දළදාව පයට සඟවා ගත්තේ ය. මෙම අවස්ථාවේ එහි පැමිණ සිටි නා ලොව ජයසේන නම් නා රජු එය දැක සෘද්ධියෙන් ගෙන ගොස් නාග පුර මැණික් සෑයක් කර එහි තැන්පත් කොට පූජා කළේ ය. සර්වඥධාතු බෙදීමේදී කෝලිය රජ දරුවන්ට ලැබුණ ධාතු කොටස ඔවුන් ගෙන ගොස් රාම ග්රාමයෙහි දා ගැබක් කොට එහි තැන්පත් කළේ ය. පසු කාලයේ දී එම දා ගැබ වතුරෙන් බිඳි ධාතු කරඬුව සමුදුර මැද රන්වැලි මත්තෙහි පිහිටියේ ය. එය මඤ්ජෙරික නාග භවනයේ නයින් විසින් දැක මහ කෙල නා රජුට දන්වන ලදී. එවිට නා රජු එහි පැමිණ දා කරඬුව වඩා ගෙන ගොස් නා ලොව දා ගැබක් කොට එහි තැන්පත් කර පුද සත්කාර කළේ ය.
දුටුගැමුණු රජතුමා විසින් මහා සෑයේ තැන්පත් කරන ලද්දේ එම ධාතූන් වහන්සේ ය. නා ලොවට වැඩ එය මෙහි ගෙන ආවේ සෝණුත්තර සාමණේරයන් විසිනි. සෝණුත්තර සාමණේරයන් වහන්සේ ධාතූන් වහන්සේ රැගෙන යාමට නා ලොව වැඩිය බව දැනගත් මහ කෙල නා රජු එය ආරක්ෂා කර ගැනීමට වාසුල දත්ත නම් සිය බෑණනුවන්ට දැන් වීය. වාසුල දත්ත ධාතු කරඬුව කුස රඳවාගෙන ආරක්ෂා කළේ ය. එය දුටු සෝණුත්තර සාමණේරයෝ සියුම් අතක් මවාගෙන ඔහුගේ කුස තුළ තිබුණ දා කරඬුව ගත්හ.
“මෙරු පා මුල නා කැලක් පිරිවරා වැදහොත් ඔහු ගේ බෑණා මුඛයට අත පොවා වදාරා දා කරඬුව ඇරැගෙන වදාරන සේක. නාග රාජය! අප ආ කාරිය සිද්ධ විය. තෙපි සිටුවයි වදාරා..... අවුත් තමන් වහන්සේ වැඩ හිඳිනා පුද පිරිවෙනැ පෙනුණු සේක.”
ථූපවංශය (පිටුව 100)
මකුළුදූවේ පියරතන නාහිමි සංශෝධනය, ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ – 1966
ථූප වංශයෙහි නාගයින් ගේ ස්වභාවය දක්වා ඇත්තේ මෙසේ ය. “ඉක්බිති නාග භවනයෙහි සියලු නයි රැස්ව ඉසැ කෙස් මුදා පිට මැද හෙළා ගෙන දෑතින් ළය වහල් කොටැ ගෙනැ...... දෑස් වලින් කඳුළු ධාරාවන් වගුරන්නා හු, නාග භවනයෙන් අවුත් සෝණුත්තර සාමණේරයන් වහන්සේගේ පුද පිරිවෙනට රැස්ව අඬන්නා හු මෙසේ කියා හැඬූහ... ඒ ස්වාමි දරුවන්ගේ ශරීරයෙන් විසිරුණු ශරීර ධාතූන් වහන්සේ අප විෂ ඝෝර විසින් අප ඇසට ගදාළ (හදාළ) වූ සේක් ද?........ අපිත් සසර නොසිටිය මෝද? මිනිසුන් දුක් පහකරම්හයි බුදු වූ බව මුත් නා ලොව නයින්ගේ දුක් පහ කරමි දැයි නොසිතූ සේක්ද?.... ඒ බුදුන් ගේ කරුණාව අප විෂඝෝර හෙයින් ඇකිළී අප කරා නොවන්නේ ද?... නුඹ වහන්සේ ධාතූන් වහන්සේ ඇරැගෙන ඊමෙන් පීඩාවට පැමිණියම්හ’යි සඟ මැදෑ අනෙක් කාරණා කියා ඒ නයි මේ සැටියේ ඇඬුයැ”
ථූපවංශය (පිටු 101 – 102
නාගයන් හැඬීම
සංඝමිත්තා තෙරණිය ශ්රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩමවා ගෙන එන විට එය ලබා ගැනීමට නාගයෝ තැත් කළහ. එහිදී තෙරණියෝ ගුරුළු වෙසක් ගෙන නාගයන් බිය කළහ. පසු නාගයෝ යාඥා කොට බෝධීන් වහන්සේ ලබාගෙන නා ලොවට ගෙන ගොස් සත් දිනක් පූජා කොට ගෙන ආහ. (වැඩි විස්තර සඳහා සිංහල බෝධි වංශයේ දුමින්දාගමන කථා 229 පිටුව බලන්න)
ලක්දිව
ලක්දිව නාගදීපයෙහි විසූ චූලෝදර, මහෝදර සහ කැලණියේ මණිඅක්ඛිත යන නා රජවරුන් පිළිබඳ තොරතුරු මහා වංශයේ සඳහන්. බුදුරජාණන් වහන්සේ මයියංගනයට වැඩම කළ අවස්ථාවේ මණි අක්ඛිත නා රජු එහි ගොස් බණ අසා බුදුරදුන් සරණ ගිය කෙනෙකි.
නාගදීපය
නාගදීපයට යාපනය ඇතුළු බටහිර වෙරළ තීරය අයත් විය. කැලණිය එහි ප්රධාන නගරයක් විය. “එකල්හි මහත් සෘද්ධි ඇති ඒ මහෝදර නම් නාග තෙමේ මුහුද පන්සියයක් යොදුන් අයමි. නාග භවනයෙහි රජ වී, 
මහා වංශය (පිටුව 04 )
හික්කඩුවේ සුමංගල හිමි, රත්නාකර පොත් සමාගම, කාළඹ – 1946 වර්තමාන කැලණියට හත් ගවුවක් දුරින් එකල මුහුද විය. කැලණිතිස්ස රජු දවස ඇති වවූ මුහුද ගොඩගැලීමෙන් ද ඊට පෙර ඇති වූ විපත් වලින් ද ගොඩබිම මුහුදට යටවිය. ඒ විශාල බිම් ප්රදේශය එකළ නාගදීපයට අයත් විය.
නාගදීපයේ මහෝදර නා රජුගේ සහෝදරිය කත් වඩ නම් පර්වතයෙහි විසූ නා රජුට පාවා දී තිබුණි. චූලෝදර ඔවුන්ගේ පුතණුවන්ය. එම විවාහයේ දී පිය රජු ඇයට මැණික් පුටුවක් තෑගි කළේ ය. මහෝදර නා රජුගේ සොහොයුරිය මිය ගිය පසු මහෝදර නා රජු එම පුටුව ආපසු ඉල්ලා සිටියේ ය. එය හේතු කරගෙන චූලෝදර සහ මහෝදර අතර යුද්ධයකට මඟ පෑදිණි. මහෝදර නා රජුගේ මාමා වූ කැලණියේ මණි අක්ඛිත නා රජු ද එම සටනට සහභාගි වීම සඳහා එහි ගොස් සිටියේ ය. මෙම මිණි පළඟ හේතු කරගෙන නාගයින් අතර සටනක් ඇතිවන බව දුටු බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩියහ. බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩි දෙවන අවස්ථාව මෙයයි. ඒ සමපත් සව්බෝධියෙන් පස්වන වසය. “නාගයන් ගේ මිණි පළඟ හේතු කොට එළඹියා වූ යුද්ධය දැක බක්මස අමාවක් පෝ දින උදය කාලයෙහිම උතුම් වූ පා සිවුරු ගෙන නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩිසේක.” මහාවංශය (පිටුව 04 )
මැණික් පුටුව (නාගදීපය)
බුදුරජාණන් වහන්සේ නයින් එළඹ සිටි යුද්ධය නතර කොට මිණි පළහ (මැණික් පුටුව) ඔවුන්ටම ප්රදානය කළසේක. “නාග රාජයෙනි, මාගේ පාරිභෝගික චෛත්යය වඳිමි. නාගයෙනි, එය තොපට වැඩ පිණිසද වන්නේය. මහාවංශය (පිටුව 5 ) එම මැණික් පුටුව නාගදීපයෙහි දාගැබක් කොට තැන්පත් කළේ ය. ඒ බව නාගදීප ථූප වන්දනා ගාථාවේ මෙසේ සඳහන් වෙයි.
භගිනි සුත මාතුලේහි දින්නේ – මණිපල්ලංකවරේ යහිං නිසින්නෝ
මුනි ධම්ම දේසයි පණීතං - සිරසා තංපණමාමි නාගදීපං
කැලණිය
යුද්ධයට සහභාගි වීම සඳහා පැමිණි සිටි මණි අක්ඛිත නා රජු එහි දී බුදුරජාණන් වහන්සේට තමන්ගේ වාසභූමියට වඩිනා ලෙස මෙසේ ආරාධනා කළේ ය. “ස්වාමීන් වහන්ස,! මේ තෙමේ නුඹ වහන්සේ විසින් අපට කරන ලද මහත් වූ අනුකම්පාවෙත නුඹ වහන්සේ මෙහි නොපැමිණියේ නම් අපි සියල්ලෝ අලු වම්හ. පුණ්යොදය ඇත්තා වූ තථාගතයන් වහන්ස! මා කෙරෙහි ද වෙන් වශයෙන් නුඹ වහන්සේගේ කරුණාව වේවා, නැවත මෙහි ආගමනයෙන් මා ගේ වාස භවනයට වඩිනා සේක්වයි කීයේ ය. (මහාවංශය – පිටුව 05 )
එයින් තුන්වෙනි වර්ෂයෙහි සම්යක් සම්බෝධියෙන් අටවෙනි වර්ෂයෙහි බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලක්දිවට වැඩියහ.
“භික්ෂූන් පන්සියයක් විසින් පිරිවරණ ලද්දේ දෙවෙනි දවස භක්ත කාලය ආරෝචන කළ කල්හි රම්ය වූ වෙසක් මස පෞණිවාසී තිථියෙහි එහිදීම සහල සිවුරු පොරවා පාත්රය (ශ්රී හස්තයෙන්) ගෙන ඒ කැලණි දෙස වූ මණි අක් (නාරජහු) නිවසෙට වැඩි සේක. (මහා වංශය – පිටුව 05)
එහි දී බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා මණි අක්ඛිත නා රජු විසින් කරවන ලද රත්ත මණ්ඩපයෙහි වැඩ සිටියහ. ‘කැලණි සෑය පිහිටිතන්හි කරන ලද රත්න මණ්ඩපයෙහි සංඝයා ද මා හැගි වූ පළෙඟහි තමන් වහන්සේ ද වැඩ උන් සේක.” (ම.වං. පිටුව 05 ) එය කැලණි චෛත්ය වන්දනා ගාථාවෙන් මනාව පැහැදිලි වේ.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X