සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

ගුණයට පිදිය යුතු කිමද යනු ඔබ දත යුතු

මොරවක 
සෝරත නා හිමි

ජීවිතය යනු කුමක්ද? කියල ඇහුවොත් ඔබ දෙන පිළිතුර මොනවගේ වේවිද? ජීවිතය යනු මේ ශරීරයයි කියල තමයි ලෝකයේ වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නෙ. ජීවිතය ජීවත් කරවීම කියල ඒ අය හිතන්නෙ පසිඳුරන් පිනවීමත් සඳහා වෙහෙසීමත් පමණයි. ලෝකයේ වෙළෙඳපොළක් හැදෙන්නෙ ඒ ඉඳුරන් පිනවීම පිණිස අවශ්‍ය කාම සම්පත් අලෙවි කිරීම පිණිසයි.
විද්‍යාත්මක ලෝකය පුරාම පර්යේෂණ කෙරෙන්නෙ එක්කො කාම සම්පත් ගැන,නැත්නම් කාමය ගොදුර කරගන්න ඉන්ද්‍රිය පංචකය ගැන. ඒ සියලු පර්යේෂණ ධර්මානුකූලව හඳුන්වන්න වෙන්නෙ අනාර්ය පර්යේෂණ කියල.
කෙනෙක් තව කෙනෙක් කෙරෙහි ප්‍රසාදයක් ඇතිකර ගෙන හිතවතෙක් කියල හඳුනා ගන්නෙ තමන්ට පංච කාමය සපුරා ගැනීම පිණිස ඔවුන්ගෙන් ලැබෙන ඍජු හෝ වක්‍රාකාර උදව් උපකාර නිසා ඒවට පුංචි හෝ බාධාවක් සිදුකරන කෙනෙක් හිටියොත් එයා කෙරෙහි ඇති වෙන්නෙ අප්‍රසාදයක්.
ඒත් ගත පෝෂණය කරන්න උදව් කරන කෙනාට වඩාහිත පෝෂණය කරගන්න උදව්’ කරන කෙනා තමයි සැබෑම කල්‍යාණ මිත්‍රය වෙන්නෙ. සිත පෝෂණය කරන්න අවශ්‍යම දේ ධර්මයයි. ඒ නිසා වටිනා දෙයක් කෙනෙකුට දෙන්න ඕනෙ නම් ඔහු කළ යුත්තේ ධර්මය දීමයි.
පෝෂණය වූ හිතක් තියෙන කෙනෙකුට නිරන්තර සතුටක් තියෙනවා. දුගති භය නැතිව යනව. දුක ජය ගන්නෙත් එවැනි අය. මේක මට හිතෙන විදිය නම් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රත්‍යක්ෂ ඤාණයෙන් අවබෝධ කරගෙන ලොවට හෙළි කළ දහම තුළ තියෙන විදිය.
සැරියුත් මුගලන් දෑ අගසව්වන් වහන්සේ දහසක් පමණ මහා සංඝයා පිරිවරාගෙන රජගහ නුවරට වැඩම කළා. මේ ආරංචිය ලැබුණූ බොහෝ පිරිසක් උන් වහන්සේලාට දන් පැන් පූජා කරල පින් රැස් කර ගත්ත. එවැනි දානයක් වැළඳූ එක අවස්ථාවක , සැරියුත් හාමුදුරුවො දානානිසංස දේශනාවේදී මෙහෙම පැහැදිලි කිරීමක් කළා.
තනිවම දන්දෙන අය භවභෝග සම්පත් විතරක් ලබනව. හැබැයි පරිවාර සම්පත් ලබන්නෙ නෑ. තමා දන් පින් නොකොට අන් අය ලවා පමණක් දන්පින් කරවන අය පරිවාර සම්පත් ලබනව. ඒත් භවභෝග ලබන්නෙ නෑ. තමනුත් දන්පින් නොකොට අනුන් ලවා කරවන්නෙත් නැති අය භවභෝග වගේම පිරිවර සම්පතත් නැතුවයි උපත ලබන්නෙ. පිරිවර එකතු කරගෙන දන් පැන් පූජා කරන අය භව භෝග සම්පත් වගේම උපනූපන් ජාතිවල පරිවාර සම්පත්තියත් ලබනව“
මේ දේශනාව ශ්‍රවණය කළ තරුණයෙක් එය හොඳින් ධාරණය කර ගත්ත. දහසක් වූ ඒ මහා සංඝයාට දානයක් පිළියෙල කළා. ඒ සඳහා මුළු ගමම දායක කරගන්න ඔහු ලොකු වෙහෙසක් දැරුව. තවත් එක් ව්‍යාපාරිකයෙක් කහවනු දහසක් වටිනා වස්ත්‍රයක් ගෙනැවිත් මේ තරුණයාට දීල කිව්ව .මේක අලෙවි කරල දානයේ අඩුපාඩු සපුරා ගන්න’ කියල . ඒත් දානයට අවශ්‍ය සියල්ල සම්පූර්ණයි. ඒ නිසා වස්ත්‍රය අලෙවි කරන්න අවශ්‍ය වුනේ නෑ.
දානය පූජා කළාට පස්සෙ මේ තරුණය ගම්වැසියන්ගෙන් ඇහුව,මේ වටිනා වස්ත්‍රය කාටද පූජා කරන්න සුදුසු කියල. ආධ්‍යාත්මික දියුණුව කැමති ටික දෙනෙක් කිව්ව. ඒක පූජා කළ යුත්තේ නිර්මල ධර්මයෙන් අපේ සිත් පෝෂණය කරන සැරියුත් හාමුදුරුවන්ට කියල. ඒත් වැඩි පිරිසක් තීරණය කළේ ‘අපේ මගුලට,අවමගුලට වගේම අනෙක් හැමදේටත් අප ළඟ ඉන්න දේවදත්ත හාමුදුරුවන්ටයි ඒක පිදිය යුත්තේ කියල.
ඒකෙන් අපට හඳුනා ගන්න පුළුවන් සැරියුත් හාමුදුරුවන්ගෙ මෙහෙවර වුනේ මොකක්ද? දේවදත්තගෙ මෙහෙවර වුනේ මොකක්ද? කියල. ඒ වගේම ව්‍යවහාරික ලෝකයේ වැඩි පිරිසක් වැඳුම් වගේම පිදුම් කරන්න කැමති වෙන්නෙ, තමන්ගේ කාමභෝගී ජීවිතයට උදව් කරන අයට, කොහොම වුනත් අන්තිමට වස්ත්‍රය පූජා කළේ දේවදත්තට.
දේවදත්ත මේ වටිනා වස්ත්‍රයෙන් සිවුරක් සකස් කර ගත්ත. ඒක පොරවගෙන උඩඟු සිත් ඇතිව ඒ මේ අතර සැරිසරන්න පටන් ගත්ත. බුද්ධිමත් සැදැහැති පිරිස් මේක දැකල කිව්වෙ ඇතුළත වටිනාකමක් නැති දේවදත්ත වගේ කෙනෙකුට මේ සිවුර ගැළපෙන්නෙ නෑ. ඒක ගැළපෙන්නෙ ඇතුළත වටිනාකම පිරුණු සැරියුත් හිමියන් වගේ උතුමෙකුට නේද කියල.
මේ අතර රජගහනුවර ඉඳල දෙව්රම් විහාරයට භික්ෂූන් වහන්සේ නමක් වැඩම කළා. උන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමඟ දැහැමි පිළිසඳර කතාවෙ යෙදෙන ගමන් මේ සිද්ධිය ගැනත් සැලකළා. ඒ වගේ වෙලාවට කුමක් හෝ දහම් කරුණක් කියාදීමත් බුදුහාමුදුරුවන්ගෙ සිරිතක්. සංසාර ගමනෙදී නොගැළපෙන ඇඳුම් ඇඳගෙන දේවදත්ත පව් කරගත්තු තවත් අවස්ථා තියෙනව. දේවදත්ත එක භවයක ඇත්තුන්ට මාරයෙක් වෙලා හිටිය. ඒ කියන්නෙ කැලේ සැඟවී ඉඳල, තනිවන ඇතුන් පසුපස ගිහින් උපක්‍රමශීලිව ඒ ඇතුන් මරල ඇත්දළ කපා ගන්නව. ඒව නාගරික වෙළඳපොළේ මිල කරල මහත් ධන සම්පත් උපයා ගන්නවා. ඔහු යැපුනෙත් අඹුදරුවන් පෝෂණය කළෙත් ඒ මුදල්වලින්.
දවසක් ඔහු කැලේදී අපූරු සිදුවීමක් දැක්ක.තුරු සෙවණක පසේබුදුවරයන් වහන්සේ නමක් වැඩ සිටිනව. එතැනින් යන අලි ඇතුන් එකා පසුපස පෙළට ඇවිත් උන් වහන්සේට දෙදණ නමා ගෞරව කොට පිටත්ව යනව. ඔහුට පසේබුදුරජාණන් වහන්සේ ගැන අවධානයක් හෝ පැහැදීමක් ඇති වුනේ නැහැ. දළ ඇතුන් දණ නමන හැටි විතරයි ආසාවෙන් බලා සිටියෙ.
ඔහුට මෙහෙම කල්පනාවක් ඇති වුණා. මේ ඇතුන් වන්දනා කරන්නෙ කසාවතට. මා වුනත් කහ වතක් පොරෝගෙන මේ විදියට ගහක් යට වාඩි වෙලා හිටියොත් මගේ ළඟත් මේ ඇත්තු දණ නමනව. එතකොට කරදර නොවීම අන්තිම ඇතා අල්ලගන්න පුළුවන්. ඒත් මම කොහොමද සිවුරක් හොයා ගන්නෙ’
දවසක් ඔහු දැක්ක වැවක් ළඟ ගහක් යට සිවුරක් තියෙනව. පසේබුදුවරයන් වහන්සේ නමක් වැවේ පැන් පහසු වෙනව. ඔහු සිවුර සොරකම් කළා. ඒ සිවුරත් පොරවගෙන තියුණු අවියකුත් සිවුර අස්සෙ සඟවාගෙන අතු ඉති විහිදුණූ ගහක් යට ඉඳගත්ත.
මේ කාලෙ අප මහා බෝසතාණන් වහන්සෙ ඇත් පරපුරක නායකත්වය දරමින් සිටිය. මේ ඇත් රංචුව ඇත්මරුවා සිටි ගහ අසලින් ඉදිරියට යද්දී සිවුර දැකල නතර වුනා. දෙදණ නමා වන්දනා කරල එකා පසුපස එකා ඉදිරියට ඇදෙන්න පටන් ගත්ත. ඇතුන් දෙස සොර සිතින් බලා සිටිය ඔහු අන්තිම ඇතා සියුම් විදියට මරා ගත්ත. දළ කපා ගෙන ගිහින් සුපුරුදු විදියට අලෙවි කළා. අරහත් ධජය පොරෝගෙන මේ උපාය ටික කලක් කරගෙන යන්න ඔහුට පිළිවන් වුණා.
ඇත් කුලේ නායක ඇතාට, තම රංචුවේ ඇතුන් එකිනෙකා අඩු වෙන බව දැනෙන්න පටන් ගත්තා. එක දවසක් ඇත් නායකයා සියලු ඇතුන්ට පසුපසින් කල්පනාකාරීව ගමන් කළා. එදා ඇත්මරුවාගෙ ඉලක්කයට බෝසත් ඇතා. විස පෙවූ සුපුරුදු අවිය අමෝරාගෙන පිටුපසින් තමාට සමීප වන ඇත්මරුවා දුටු ඇත් රජුන් ඉවතට පැනල ඔහුගේ පහරින් බේරුණා. සැණෙකින් සොඬ ඔසවාගෙන විදුලි වේගයෙන් ඇත්මරුව දෙසට හැරුණා. ඔහු තමා ළඟ තිබූ ගසක කඳට මුවා වුණත් බේරෙන්න බැරි වුණා. ඇත් රජු ගසත් සමගම සොඬින් උදුරා ගත් ඔහු ඉහළට ඔසවන විටම පැටලී තිබූ සිවුර ඇතා ඉදිරියෙ බිම වැටුණ. සිවුර දුටු සැණින් ඇත් රජුගේ සිත වෙනස් වුණා. ඉහළට එසවූ වේගය අඩු වුනා. හෙමිහිට බිම තිබ්බ. ඔහුට අනතුරක් නොකරම ඇත් රංචුව පිටුපසින් බෝසත් ඇතා ඉදිරියට ගමන් කළා. දේවදත්තට එදත් බෝසතාණන් වහන්සේගෙන් ජීවිත දානය ලැබුණ. “මහණෙනි දේවදත්ත නොගැළපෙන ඇඳුම් ඇඳගෙන එදත් කළේ වැරදි දේමයි. අද කරන්නෙත් වැරදි දේමයි”
මේ දළ කයම ජීවිතයයි කියල හිතාගෙන පංච කාමයට ගිජුවෙන සත්වයා කොතැන ඉපදුනත් ලැබෙන්නෙ ඔය ඉන්ද්‍රිය ටිකම තමයි. එදාට කරන්නෙත් දුක් විඳ ඒ ඉඳුරන් පිනවන්න වෙහෙසෙන එකම පමණයි. ඒත් සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන ඉන්ද්‍රිය ධර්ම වඩන කෙනා. මෙලොව සතුටත් සොයා ගන්නව. පරලොව දුගතියෙන් අතමිදෙන මගත් සොයා ගන්නව. සසරින් අත මිදෙන පිළිවෙළත් අවබෝධ කරගන්නව.
කහවත උතුම් වෙයි 
මහණ බමුණන් පෙරවයි 
තිලොවෙහිම වැඳුමයි 
නමින් අරහත් ධජය නම් වෙයි

කෙලෙසුන් පිරුණු සිත 
සංවර කමක් දෙනු නැත 
බොරුවෙන් අපරිමිත 
ගෙවන අය කහවතට හොඳ නැත

කෙලෙස් මළ සිඳලන 
සංවර කමින් සපිරුණ 
සිල් සුවඳ විහිදෙන 
අයට කහවත වටී නිතියෙන

සද්ධා විරිය සති 
සමාධිය ප්‍රඥා නිති 
වැඩූ ඉඳුරන් ඇති 
අයට කහවත හොඳින් ගැළපෙති

සත්පුරුෂයකු විය හැක්‌කේ ප්‍රඥවන්තයාට පමණි

බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ප්‍රඥවන්තයන් සඳහා බව 'පඤ්ඤවන්තස්‌සයං ධම්මො නායං ධම්මෝ දුප්පඤ්ඤස්‌ස්‌ යන දේශනාවෙන් පැහැදිලි වේ. සච්චක විසින් බුදුන්වහන්සේගෙන් අසන ලද 'කතං ජීවින් ජීවිතමාහු සෙට්‌ඨං' යන පැනයට බුදුන්වහන්සේ විසින් දෙන ලද පිළිතුර වූයේ 'පඤ්ඤජීවින් ජීවිතමාහු සෙට්‌ඨං' යන පිළිතුරයි. එනම් ප්‍රඥවන්ත ජීවිතයම ශ්‍රේෂ්ඨ බවයි මෙයින් පෙනෙන්නේ. බෞද්ධයා නිරන්තරයෙන්ම නුවණ මෙහෙයවා කටයුතු කරමින් ජීවත්විය යුතු බවය අංගුත්තර නිකායේ පත්තකම්ම වග්ගයේ පත්තකම්ම සූත්‍රයේ ප්‍රඥව විස්‌තර කරන්නේ 'දැඩි ලෝභය, ව්‍යාපාදය, ථීන මිද්ධය, උද්ධච්චකුක්‌කුක්‌චය, විචිකිච්චා, සිත කිළිටි කරන උපක්‌ලේෂයන් බවදැන එය ප්‍රහීන කිරීම' ලෙසයි. 
බුදුපියාණන් වහන්සේ බොහෝ අවස්‌ථාවල මිනිසත් බව ලැබීමේ දුර්ලභබව පිළිබඳ දේශනා කර ඇත. 'කිච්චෝ මනුස්‌ස පටිලාභෝ - කිච්චං මඡ්ජාන ජීවිතං' යනුවෙන් දේශනා කර ඇත්තේ මෙයයි. මිනිසත් බව ලැබීමේ දුර්ලභ බවත් ලැබූ මිනිසත් බව රැක ගනිමින් මිනිසකු ලෙස ජීවත්වීමේ දුර්ලභ බවත් පිළිබඳ මෙම දේශනාවෙන් පැහැදිලිකොට ඇත. අප මිනිසාගේ හා තිරිසනාගේ වෙනස තේරුම්ගත යුතුය. තිරිසන් සතෙකුට නැති විශේෂ හැකියා රැසක්‌ මිනිසකුට ඇත. මිනිසාට තම අධ්‍යාත්මය දියුණුකර ගත හැකිය. එනම් චිත්ත ශක්‌තිය, ජීවිත ශක්‌තිය, කර්ම ශක්‌තිය හා ප්‍රඥ ශක්‌තියයි. ප්‍රඥව දියුණු කර ගැනීමේ ශක්‌තිය ඇති එකම සත්වයා මිනිසා බව අප තේරුම්ගත යුතුය. මෙයින්ද පැහැදිලි වන්නේ ප්‍රඥවන්ත ජීවිතයක ඇති වටිනාකමයි.
සත්පුරුෂයකු විය හැක්‌කේත්, සත්පුරුෂයකු ඇසුරු කළ හැක්‌කේත් ප්‍රඥවන්තයකුට පමණක්‌ බව මෙයින් පැහැදිලි වේ. නුවණින් වැඩ කරන්නා හැමවිටම තමා සිතන, කරන, කියන දේවල් ධර්මයට අනුකූල විය යුතු දැයි විමසිය යුතුය. බුදුපියාණන් වහන්සේ අප ජීවත්වන සමාජයේ ඇසුරු කළ යුතු පුද්ගලයන් විවිධාකාරයෙන් හඳුන්වා ඇත. සත්පුරුෂයා - අසත්පුරුෂයා, බාලයා, පණ්‌ඩිතයා, කල්‍යාණමිත්‍රයා, පාප මිත්‍රයා ආදී වශයෙනි. මෙම පුද්ගලයන් ගෙන් එක්‌ කොටසක්‌ ඇසුරු කරන්නා පාපයට, අකුසලයට යොමුකරන බවත් තව කොටසක්‌ ඇසුරු කරන්නා පිනට කුසලයට යොමු කරන බවත් ඒ පිළිබඳ කරන ධර්මානුකූල විග්‍රහයකදී පෙනේ.
බුදුදහමේ විස්‌තර කරන සෝතාපත්ති අංග අතර පළමු වැන්න වන්නේ සත්පුරුෂ ඇසුරයි. 'සත්පුරුෂ සංසේවෝ' යනුවෙන් දැක්‌වෙන්නේ මෙයයි. මුළු බුදුදහම ම කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, සත්පුරුෂ ඇසුර මත රදාපවතින බව පෙනේ. වරක්‌ ආනන්ද තෙරුන් වහන්සේ 'ස්‌වාමීනි, බුද්ධ ශාසනයෙන් භාගයක්‌ම රැඳී ඇත්තේ සත්පුරුෂ ඇසුර මත බව බුදුන් වහන්සේට ප්‍රකාශ කළ විට, එසේ නොකියන ලෙසත් මුළු බුද්ධ ශාසනයම රැඳී ඇත්තේ සත්පුරුෂ ඇසුර මත බවත් දේශනා කර ඇත. එබඳු අය ඇසුරු කිරීම මත අපට පාපයෙන් මිදීමටත්, කාය, වචී, මනෝ සුචරිතය වර්ධනය කර ගැනීමටත් අවස්‌ථාව ලැබේ. එපමණක්‌ නොව මෙම භයානක සංසාර සාගරයෙන් මිදීමට අවශ්‍ය කරුණු දැන ගැනීමට හැකි වන්නේත්, සසරිස්‌ මිදීමට අවශ්‍ය මාර්ගයේ ගමන් කිරීමට අත හිත දෙන්නේත් සත්පුරුෂයකුමය. බුදුන් වහන්සේ දේශනා කළ පරිදි යමෙක්‌ ඇසුරු කිරීම නිසා අපේ සිත් තුළ කලින් නොතිබූ ශීල සම්පත්තියක්‌ ඇතිවෙනවා නම්, දැන් තිබෙන ශීල සම්පත්තිය තව තවත් වැඩිවෙනවා නම් , එය දිගටම නොකැඩී ගෙන යැමට පුqළුවන් නම්, ඔහු සත්පුරුෂයකු ලෙස හැඳින්විය හැකිය. එසේම යම් අයකු ඇසුරු කිරීමෙන් ශ්‍රද්ධාව වැඩිදියුණු වෙනවා නම්, එය දිගටම නොකැඩී ගෙනයාමට පුළුවන්නම්, ත්‍යාග සම්පත්තිය වැඩි දියුණු වෙනවා නම්, එය දිගටම නොකැඩී ගෙන යාමට පුළුවන්නම්, ප්‍රඥ සම්පත්තිය වැඩිදියුණු වෙනවා නම්, එය දිගටම ගෙනයැමට පුළුවන්නම්, ඒ තැනැත්තා අසුරු කළ යුතු සත්පුරුෂයකු ලෙස හැඳින්විය හැකිය.
මිනිසාගේ පරිහානියට හේතු කවරේදැයි විමසූ දෙවියන්ට පළමුවෙන්ම දේශනා කරන්නේ අසත්පුරුෂ ඇසුරට ප්‍රියකරන්නා පිරිහෙන බවයි.

අසන්තස්‌සපියා හෝතු - සන්ථෙන කුරුතෙ පියං
අසතං ධම්මං රෝවේති - තංපරාභව තෝමුඛං'

අසත්පුරුෂයෝ ඔහුට ප්‍රිය වෙති. හේ සත්පුරුෂයන් කෙරෙහි ප්‍රිය නොවන්නේය. අසත්පුරුෂයන්ගේ ධර්මයට කැමැති වෙති. මේ තුන පිරිහීමේ දොරටුව යනු මෙහි අදහසයි. මෙයින් පැහැදිලිවන්නේ අසත්පුරුෂයන් ඇසුරුකරන්නා මෙලොම හා පරලොව පිරිහෙන බවයි.
මේ අනුව අපට පැහැදිලි වෙන්නේ බුදුන්වහන්සේ වදාළ මඟ අනුගමනය කරන්නා තමාගේ ඇසුර සඳහා සත්පුරුෂයකුම තෝරාගත යුතු බවයි. මෙහිදී මතුවන ගැටලුව වන්නේ සත්පුරුෂයා හා අසත්පුරුෂයා හඳුනාගන්නේ කෙසේද යන්නයි. බුදුරජාණන් වහන්සේ සත්පුරුෂයා හා අසත්පුරුෂයාගේ ලක්‌ෂණ පිළිබඳ කරන ලද දේශනා ත්‍රිපිටකයේ බොහෝ ස්‌ථානවල හමුවේ. අංගුත්තර නිකායේ තික නිපාතයේ පළමු පන්නාසකයේ බාල වග්ගයේ සූත්‍රයක බාලයා පිළිබඳ සඳහන් වේ.
'බියක්‌ උවදුරක්‌ විපතක්‌ උපදී නම් බාලයාගෙන් ම උපදී, පණ්‌ඩිතයාගෙන් නූපදී. බාලයා හඳුනා ගත හැකි ධර්ම තුනකි. බාලයා කාය දුශ්චරිත, මනෝ දුශ්චරිත, වචී දුෂ්චරිත ඇත්තේ වෙයි. බාලයාගේ බාල ලක්‌ෂණ බාල නිමිති බාල චරිත තුනකි. බාලයා නරක සිතුවිලි සිතන්නෙක්‌ වෙයි. නරක කතා කරන්නෙක්‌ වෙයි. නරක දේ කරන්නෙක්‌ වෙයි. පණ්‌ඩිතයා හොඳ වචන කතා කරන්නෙක්‌ වෙයි. හොඳ සිතුවිලි සිතන්නෙක්‌ වෙයි.'
මෙයින් පැහැදිලි වන්නේ සිත, කය, වචනය යන තිදොර සංවර කරගත් පුද්ගලයා සත්පුරුෂයකු වන බවත්, තිදොර අසංවර කරගත් පුද්ගලයා අසත්පුරුෂයකු බවත්ය. සිත තුළ මතුවන ද්වේෂයෙන් හා මෝහයෙන් මත්ව පරපණ නසන්නා අසත්පුරුෂයකු බව අමුතුවෙන් කිව යුතු නැත. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරිදි බොරු කියන්නාට නොකළ හැකි වරදක්‌ නැත.
අංගුත්තර නිකායේ අසත්පුරුෂ වධකා සූත්‍රය සත්පුරුෂයා හා අසත්පුරුෂයා හඳුනා ගැනීමට බෞද්ධයකුට මහෝපකාරී වේ. එම සූත්‍රයේ මේ දෙදෙනා හඳුන්වන්නේ මෙසේය.
'කරුණු හතරකින් යුත් තැනැත්තා අසත්පුරුෂයා යෑයි දත යුතුය. අසත්පුරුෂයා නොඅසා ම අනුන්ගේ වැරැදි කියයි. ඇසුවොත් කවර කතා ද? ඇසුවත් අනුන් ගේ ගුණ තිබුණත් නොකියයි. ඇසුවොත් අඩු කොට වසංකොට ගුණ කියයි. ඇසුවත් තමාගේ අගුණ ඇතත් නොකියයි. ඇසූ විට අඩුකොට වසංකොට තමාගේ අඩුපාඩු කියයි. නොඇසුවත් තමාගේ ගුණ කියයි. ඇසුවාම වසං නොකොට විස්‌තර ඇතිව තමාගේ ගුණ කියයි. සත්පුරුෂයා ඇසුවත් අනුන්ගේ අගුණ හෙළි නොකරයි. නොඅසාම අනුන්ගේ ගුණ කියයි. තමාගේ අගුණ ඇත්නම් හෙළි කරයි. ඇසුවත් තමාගේ ගුණ නොකියයි.'
මෙබඳු උසස්‌ ගුණවලින් යුත් තැනැත්තා තමාටත්, අනුන්ටත් වැඩදායක සත්පුරුෂයකු බව අමුතුවෙන් විස්‌තර කළ යුතු නැත. අප ජීවත්වන සමාජයේ බොහෝ දෙනා වඩාත් ප්‍රියකරන්නේ අනුන්ගේ වැරැදි අඩුපාඩු සෙවීමටය. එම වැරැදි අඩුපාඩු කියන්නේද අදාළ පුද්ගලයා තමා අබියස නැති විටය. එසේ කීමෙන් ඔහු අනියමින් හඟවන්නේ තමා ඔහුට වඩා උසස්‌ බව නොවේද? බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ පුෂ්ප වග්ගයේදී දේශනා කර ඇත්තේ වඩා වැදගත් වන්නේ තමා පිළිබඳ සෙවීම බවයි.

'න පරේසං විලෝමානි - න පරේසං කථා කතං
අත්තනෝව අවෙක්‌ඛෙය - කතානි අකතානි ච'

අනුන්ගේ රළුපරළු කතාබස්‌ මෙනෙහි නොකරන්න. අනුන් කළ නොකළ දැ ගැන සොයා නොබලන්න. තමා විසින් කළ නොකළ දැ ගැන සොයා බලන්නේ නම් මැනවි යනු මෙහි අදහසයි. අනුන්ගේ නූගුණ සොයන්නා තුළ ද්වේෂය, මෝහය බඳු අකුසල මූලයන්හට ගන්නේ නොදැනුවත්මය. මෛත්‍රී සිතින් කිසි දිනක අනුන්ගේ වැරැදි අඩුපාඩු සෙවිය නොහැකිය. බෞද්ධයා හැමවිට ම තමා කරන කියන දේ පිළිබඳ එළැඹ සිටි සිටිය යුතු වන්නේ මේ නිසා ය.
බුදුපියාණන් වහන්සේ සත්පුරුෂයා හා අසත්පුරුෂයා පිsළිබඳ කළ අගනා දේශනාවක්‌ අංගුත්තර නිකායේ සත්පුරුෂ වග්ගයේ සත්පුරුෂ සූත්‍රයේ සඳහන් වේ. 
'මහණෙනි, මම ඔබලාට අසත්පුරුෂයාත්, අසත්පුරුෂයාට වැඩි අසත්පුරුෂයාත්, සත්පුරුෂයාත්, සත්පුරුෂයාට වැඩි සත්පුරුෂයාත් දේශනා කරමි. අසත්පුරුෂයා තමා පස්‌පව් කරයි. අනුන්ද කරවයි. සත්පුරුෂයා තමා පස්‌පවින් වළකී. අනුන්ද පස්‌පවින් වළකාලයි.
අංගුත්තර නිකායෙ දුතිය සත්පුරුෂ සූත්‍රයද අසත්පුරුෂයකු හා අසත්පුරුෂ ධර්ම හඳුනා ගැනීමට බෞද්ධයකුට මඟ පෙන්වයි. අසත්පුරුෂයා ශ්‍රද්ධා, ලැඡ්ජා, භය රහිත වන අතර අල්පශ්‍රැත හා කුසීත වන බවත් මේවායේ අනුන්ද සමාදන් කරවන බවත් එම සූත්‍රයේ සඳහන් වේ. එසේම සත්පුරුෂයා ශ්‍රද්ධා, ලැඡ්ජා-භය,බහුශ්‍රැත, ඇරඹූ වීර්ය ඇත්තෙක්‌ වෙයි. එසේම ඒවායේ අනුන්ද සමාදන් කරවයි. මෙහි ශ්‍රද්ධාව යනු බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පිළිගැනීම හා පිළිපැදීමයි. ලැඡ්ජා බය ලෝක පාලක ධර්ම ලෙස සඳහන් වන්නේ ද මිනිසාගේ හා සමාජයේද සදාචාර සම්පන්න පැවැත්ම සඳහා එය ඉවහල් වන නිසාය. ලැඡ්ජා බය නැත්තාට ලොව කළ නොහැකි වරදක්‌ නැත. කරන ලද වැරැදි ක්‍රියා පිළිබඳ තමා තුළින්ම නැගෙන දොaෂාරෝපණය අත්තානුවාද භය ලෙසද, සමාජයේ සෙසු අයගෙන් නැගෙන චෝදනා පිළිබඳ ඇති බිය පරානුවාද භය ලෙසද, කරන ලද වරදට ලැබෙන දඬුවම් පිළිබඳ ඇති භයදණ්‌ඩ භය ලෙසද, තමා විසින් කරන ලද කර්මවල විපාක වශයෙන් දුගතියේ විඳීමට සිදුවන දුක්‌ පිළිබඳ ඇති දුග්ගති භය ලෙසද විස්‌තර වේ. මෙම සිව් ආකාර බයෙන් තොර පුද්ගලයාට කළ නොහැකි වරදක්‌ නැති බව අමුතුවෙන් කිවයුතු නොවේ. සත්පුරුෂයා අවශ්‍යයෙන්ම බහුශ්‍රැතයකු වියයුතුය. මෙහි බහුශ්‍රැත යනු ශ්‍රී සද්ධර්මය පිළිබඳ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව මිස වෙනත් බාහිර විෂයන් පිළිබඳ දැනුම් ඇත්තකු නොවන බවය.
මෙතෙක්‌ දක්‌වන ලද කරුණුවලින් පැහැදිලිවන්නේ බෞද්ධයකුට මෙලොව පරලොව යහපත සලසා ගැනීමට නම් ඔහු සත්පුරුෂයකු වියයුතු බවයි. තමා සත්පුරුෂයකු වියයුතු අතර සත්පුරුෂයන් ඇසුරුකිරීමද එක සේ වැදගත් වේ.
ඩබ්ලිව්. කුලසිරි තානායම්ගොඩ
විශ්‍රාමලත් චිත්‍රකලා උපදේශක
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X