සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

නිවන් මඟ

නිවනට මඟ හෙළි කරගන්නා අන්දම සරල ලෙස පහදන පූජ්‍ය අජාන් චා තෙරණුවෝ ඒ සඳහා සිත පුහුණු කරන අන්දම මේ ලිපියෙන් පහදති.
අභිධර්මය හැදෑරීම ඔබට යහපත සලසනවා විය හැකියි. එහෙත් එය කළ යුත්තේ පොත්-පත්වලට ඇලීමෙන් නොවේ. ඒවා කියවන ඔබ සිතන්න ඕනෑ දුක වටහාගෙන එය අබිබවා යෑමටයි ඔබ එය ඉගෙනීමෙහි යෙදෙන්නේ යන්න. මේ කාලයේ විපස්සනා භාවනාව උගන්වන ගුරුවරු බොහෝය. විපස්සනා භාවනාවෙහි යෙදෙන ක්‍රමද එමටය. එහෙත් විපස්සනා පුහුණුව එතරම් පහසු නැත. ශීලය නමැති ශක්තිමත් අත්තිවාරම නොමැතිව හිටි-හැටියේ එය ආරම්භ කිරීම උගහටය.
ඔබ අත්හදා බලන්න. යහපත් පැවැත්ම, පුහුණුව පිළිබඳ නීති මාලාවන් හා හැසිරීම පිළිබඳ උපදෙස් විපස්සනා පුහුණුව පිළිබඳ වුවමනා කරනවා. ඔබේ ක්‍රියාවන් හා වචනය පුහුණුවෙන් තොර නම්, අසංවර නම්, ඔබගේ මග ඔබට පල ලබා දෙන්නේ නැහැ. ඇතැමුන් කියනවා සමථ භාවනාව වුවමනා නැහැ කියා. කෙළින්ම ඔබට විපස්සනාවට පිවිසිය හැකි වෙයි කියා. ඔවුන් කියන්නේ පුහුණුවට ශීලය අනවශ්‍ය බවයි. එහෙත් ශීලයේ පිහිටීම පහසු දෙයක් නොවේ. ඉබේ එය සිදු වන්නේ නැහැ. ශීලයේ නොපිහිටා ඔබට පුහුණු වන්නට ඕනෑ නම්, මුළු පුහුණුවම ඔබේ පහසුවට ඇති වූ අපහසුතාවක් ඇති වුව හොත් එය ගැන නොසලකා එය අමතක කිරීම කොතරම් පහසු දෙයක්ද? අපහසු දෑ අමතක කරන්නට අකැමැති වන්නේ කවුද?
එක්තරා පැවිද්දෙක් ඔහුට දහම් පුහුණුවේ යෙදෙන්නට ඕනෑය කියා මගේ ආශ්‍රමයේ සිටින්නට අවසර ඉල්ලුවා. ඔහු විපරම් කළා පැවිද්දන් අනුගමනය කළ යුතු, ඔවුන්ට බලපාන නීති-රීති. මා ඔහුට පැහැදිලි කළා අපි මෙම ආරාමයේ විනය නීති අනුගමනය කරනවා. එනිසා මිල-මුදල් හා පෞද්ගලික භාණ්ඩ තබාගැනීම තහනම් බව. ඔහු කියා සිටියා තමා නෑලීම පුහුණු කරන්නෙක්ය කියා. මා ඔහුට දුන් පිළිතුරක් නම් ලුණු රස නැති ලුණු ලබාගෙන එය පරිහරණය කළ හැක්කේ යම් සේද, ඒ අන්දමට මුදල්ද ඔහුට පරිහරණය කළ හැකි බව.
ඔහුට ඕනෑ කළේ වචනයෙන් අනුන් රැවටීමටයි. ඔහු වටිනාකමක් නැති ලෙස සලකන නීති මාලාවලින් බැඳී කල් ගත කිරීමට මැළි, වචනයෙන් පමණක් නෑලීම ගැන කථා කරන අයෙකි. ලුණු ගතිය නැති ලුණු ඔහුට සොයාගැනීමට හැකි වූවා නම් මට ඔහු කියන දෑ පිළිගන්නට ඉඩ තිබුණා. එවැනි ලුණු ඔහුට ලබාගන්නට හැකි වූවා නම් ඔහුට ඒවා ගොඩක් ගෙන රස බලන්නට ඉඩ තිබුණා. ඒවායේ ලුණු රස නොමැතිද? නෑලීම ගැන වචනවලින් පමණක් කතා කරන්නට හෝ එහි යථා තත්ත්වය දකින්නට පුළුවන්කමක් නැහැ. එය ඒ වගේ නොවේ. ඔහු පුහුණුව පිළිබඳ ඉහත කී අදහස් ප්‍රකාශ කොට සිටි කල්හි ඔහුට පැහැදිලි වූවා මෙහි රඳා සිටින්නට නොහැකි බව. ඒ නිසා ඔහු යන මඟ යන්නට ගියා.
ශීලය හා ධුතාංග පුහුණුවට ඔබ වෙහෙසෙන්න ඕනෑ. ගිහියන්ටත් එසේමයි. ඔබ ගිහියෙක් නම් අවම වශයෙන් පන්සිල් රක්ෂා කළ යුතුයි. ඔබගේ කය හා වචනය සංවර වන්නට ඕනෑ. එවිට ඔබේ පුහුණුව ක්‍රමයෙන් දියුණුව කරා යයි.
සමථ භාවනාව දියුණු කිරීමට ඔබ දිරි වඩා පල රහිත වූවායයි සිතමින් එය අත්හරින්නට හොඳ නැත. එසේ කිරීම වැරදියි. ඔබ කලක් එය පුහුණු කරන්නට ඕනෑ. ඇයි එසේ කාලයක් ගන්නේ? කල්පනා කර බලන්න. පුහුණුවේ නොයෙදී ඔබ කොපමණ කාලයක් ගත කර තිබේ ද? සිතිවිලි ඇති වී ඒවා ඔබ සිත එක පැත්තකට ඇදගෙන යන විට ඔබ ඒ දෙසට ගමන් කරනවා. සිතිවිලි ඔබේ සිත තවත් පැත්තකට යොමු කරන විට ඔබ ඒවා පසුපස ගමන් කරමින් සිතිවිලි පරම්පරාවන් බිහි කරනවා. මාස කීපයකින් එය කරන්නට බැහැ. මේ ගැන සිතා බලන්න.
ඔබේ සිත අත්දකින සිතිවිලිවලින් කම්පාවට පත් නොවී නිසලව සිත තබාගන්නට හැකි නම්, එවැනි සිතක් ඇති කරගැනීමට ඔබ කොපමණ වෙහෙස විය යුතුද යන්න කල්පනාවට නගන්න. ඔබ මුලින් පුහුණුවේ යෙදෙන විට සිත අරමුණක ගැටුණු වහාම කම්පනයට හා අවුලට පත් වෙනවා. ඊට හේතුව කුමක්ද? ඔබේ සිත තණ්හාවේ යටතට පත් ව තිබීමයි. ඔබේ ආශාව සිතේ සිතිවිලි නතර කරන්නයි. මෙම ආශාව තණ්හාවේ වෙන මුහුණුවරකි. එනම් විභව තණ්හාවයි. යම් කිසි සිදුවීමක් ඔබට සිදු නොවිය යුතුයි යන තණ්හාව ලෙසය මෙය හඳුන්වන්නේ. ඔබගේ සිතේ කම්පනය හා අවුල්බව නැති කිරීමට නම් ඔබ ආශා කරන්නේ, එම ආශාව තිබෙන තාක් කම්පනය හා සිතේ අවුල් බව ඔබව අත්හැර යන්නේ නැහැ.
 ඔබ කියනවා, “මට මෙවැනි කම්පනයක් හා අවුල් සිතිවිලි ඕනෑ නැහැ. ඇයි ඒවා පහළ වන්නේ? ඇයි මගේ සිත මේ වගේ අසහනයට පත් වන්නේ? ඇයි එසේ සිදු වන්නේ?” ඔබේ සිත ශාන්ත තත්ත්වයට පත් කිරීමටයි ඔබේ තණ්හාව. ඊට හේතුව ඔබේ සිත ගැන ඔබේ නොදැනීමයි. එය පිළිබඳ සිතිය යුත්තේ එපමණයි. සිතේ තිබෙන තණ්හාවට ඔබ යට වෙනවා, එහෙත් ඔබ එය වටහාගැනීමට හිතන්නත් බැරි තරම් දිගු කලක් ගත කරනවා. මේ ගැන ඔබ පැහැදිලිව කල්පනා කරනවා නම්, ඔබේ සිතේ කම්පනය හා නොසන්සුන් බව ඔබේ ආරාධනය මතයි ඇති වන්නේ. ඔබේ තණ්හාව සිත ශාන්ත කරන්නටයි, අසහනයෙන් හා කම්පනයෙන් මිදී. මෙය ඇත්තෙන්ම මුළුමනින්ම තණ්හාව ලෙස දකින්නට ඕනෑ.
ඒවා කුමක් වුවත් කම් නැත. ඔබේ පුහුණුව ඉදිරියටම ගෙනයන්නට ඕනෑ. සිතේ සිතිවිල්ලක් ඇති වූ විට එය කල්පනාවට ගෙන එහි අනිත්‍යභාවය, දුක් ගෙනදෙනසුලු බව, හා එය අනාත්ම නොහොත් තමාට හිමි නොවන බව ඔබ දකින්ට ඕනෑ. මනසට අරමුණක් පහළ වූ විට එය ඔබ දකින්නට ඕනෑ. මනසට අරමුණක් පහළ වූ විට එය සිතිවිලි ගොඩනගනවා. ඒ සිතේ අරමුණුවලට ලබා දෙන ප්‍රතිචාරයයි. සාමාන්‍ය සිතිවිලි හා ප්‍රඥාව මුල් කරගෙන ඇති වන සිතිවිලි එකිනෙකට වෙනස්. සාමාන්‍ය සිතිවිලි නැවතීමක් නැතිව වර්ධනය වෙනවා. මනසේ ඇති වන අරමුණු ඔබව ඔබ-මොබ දුවවනවා. ඔබ ඒවා මඟින් පාලනය වෙනවා.
ප්‍රඥාවෙන් යුත් සිත සිතිවිලි පරම්පරාවන් ගොඩනැංවීම වළක්වනවා. සිත නිසල කළ විට එහි දිවීම සිදු වන්නේ නැහැ. ඔබ ඔබේ සිතේ පහළ වන අරමුණක් දකිනවා පමණයි. ඔබේ සිත නොයෙක් අන්දමේ අරමුණු අත්දකින විට ඔබගේ හැඟීම්වල වෙනස්කම් ඇති කරනවා. එහෙත් ඒ සිතුවිලි ඔබ නුවණින් දැක බලාගෙන, ඇති වන සියලු සිතිවිලි හා සිතිවිලි පරම්පරාවන් හා ඒවා ගෙන දෙන දුක් හෝ සැප වේදනාවන් සියල්ල හිස්, යමෙකුගෙන් තොර ලෙස ඔබට දකින්නට හැකි වෙනවා.
ඒවා සියල්ල අනිත්‍ය, දුක් හා අනාත්ම ලෙසය, ඔබ වටහාගන්නේ. පුහුණුව ඇති කරගත යුත්තේ එවැනි සිතිවිලි පරම්පරාවන් ගොඩනැගෙනවාත් සමඟම ඉහත සඳහන් ලක්ෂණ තුන ඒවාට බලපාන බව කල්පනාවට ගැනීමෙනි. එසේ කිරීමෙන් එවැනි සිතිවිලි දුබල වී බල රහිත වෙනවා. ඉන් පසු ඔබ භාවනාවේ යෙදෙන විට ඔබේ සිතේ කම්පනය ඇති වුව හොත් එවැනි සිතිවිලි ඇති වීමෙන් එවිටද ඔබ පෙර මෙන් ඒවායේ අනිත්‍යභාවය, දුක් ගෙනදෙනසුලු බව හා අනාත්ම බව දැකිය යුතුයි.
උපමාවක් මඟින් මෙය පැහැදිලි කරනවා නම් එය හරියට මී හරකෙක් පාලනය කරනවා වගෙයි. මී හරකෙක් ඉන්නවා. ඌට හිමිකරුවෙක් ඉන්නවා. ගොයම් පැළද තිබෙනවා. ගොයම්පැළ කෑමට මී හරකුන් කැමැතියි. ඒවා ඔවුන්ගේ ආහාරයක්. ඔබේ සිත සමාන කළ හැකියි මී හරකාට. සිතට යොමු වන අරමුණු ගොයම් පැළවලට සමාන කළ හැක්කේය. ඔබේ සිතේ ප්‍රඥාව තිබෙන කොටස නොහොත් ‘දන්නා අය’ මී හරකාගේ හිමිකරුය.
ඔබගේ දහම් පුහුණුව මීට සමාන වෙනවා. කල්පනාවට ගන්න: ඔබ මී හරකෙක් පාලනය කරනවා නම් කුමක්ද කරන්නේ? ඌට ඔබ-මොබ නිදැල්ලේ යන්නට ඉඩ හැර ඌ පිළිබඳව කල්පනාකාරීව ඉන්නවා. ඌ ගොයම් පැළවලට කිට්ටු වෙනවාත් සමඟ කෑගසමින් ඌ ගොයම් පැළ කෑමෙන් වළක්වන්නට වෙහෙසෙනවා. ඔබේ කෑගැසීම නිසා ඌ ගොයම් පැළ දෙසට නොගොස් නතර වෙන්ට ඕනෑ. නැත් නම් ආපසු යන්න ඕනෑ. එහෙත් ඔබට නොසැලකිලිමත් වන්නට ඉඩක් නැහැ. ඌ ඔබේ කෑගැසීම නොසලකා ඉදිරියටම යන්නේ නම් කෙවිටක් ගෙන ඌට පහර දෙන්නට ඕනෑ. එවිට ඌ පැළ තිබෙන දෙසට ගමන් කරන්නේ නැහැ. ඔබ ගහක් යටට වී නිදිකිරන්නේ නම් ඌ ඔබේ ගොයම් පැළ කාදමනවා.
මේ වගේ තමා පුහුණුව. ඔබගේ සිත පිළිබඳව ඔබ පරීක්ෂාවෙන් ඉන්නවා නම් සිතේ ‘දන්නා අය’ යි එහි යෙදෙන්නේ. සිත කෙරෙහි අවධානයෙන් සිටින අය මාරයාගේ බන්ධනයෙන් නිදහස ලබයි. එහෙත් ඔබට ගැටලුවක් ඇති වන්නට ඉඩ තිබෙනවා. සිත කියන්නේ සිතටයි. එසේ නම් සිත පිළිබඳ අවධානය ඇති කරගන්නේ කවුද? සිත එකක්. සිත පිළිබඳව ‘දන්නා අය’ තව එකක්. එහෙත් එය දන්නා අය සිත තුළමයි බිහි වන්නේ. සිත පිළිබඳව දන්නා සිත ‘දන්නා අය’ ලෙස හැඳින්වේ. සිත අරමුණු ගන්නා විට ඒවා සිතෙන් වෙන් වෙන්ව දකින්නේ සිතේම කොටසක් වන ‘දන්නා අය’ යි. සිතේ මේ කොටස බුදු රදුන් හැඳින්වූයේ ‘දන්නා අය’ ලෙසයි.
‘දන්නා අය’ යි සිත පිළිබඳව අවධානය ඇති කරගන්නේ, ප්‍රඥාව බිහි කරනනේ මෙම අවධානයෙන්ය. සිත ලෙස හඳුන්වන්නේ සිතීම හා සිතිවිලිය. සිතට අරමුණුක් ලක් වුණ විට ඒ අරමුණු ඔස්සේ සිත දුවනවා. තවත් අරමුණක් ඇති වුවාම ඒ ඔස්සේ සිත දුවනවා. එය හරියටම අර මී හරකා වගේ ගොයම් පැළ කෑමට ඌ සැරසෙනවා. ඌ නිදැල්ලේ හැසිරුණාට හැමවෙලේම ඌ කෙරෙහි ඔබ ඇහැගහගෙන ඉන්නට ඕනෑ. ගොයම් පැළ දෙසට ඌ ගමන් කරන්නේ නම් ඔබ ඌට අනතුරු අඟවනවා. ඔබේ කෙවිට දික් කරමින් ඌව පුහුණු කිරීමට නම් ඌගේ ආශාවන් මුදුන්පත් කරගැනීමට ඉඩ නොදී ඌට දුක් දෙන්නට සිදු වෙනවා.
සිත පුහුණු කිරීමද මේ වගේ සාමාන්‍යයෙන් සිත අරමුණක් සමඟ ගැටුණාම එය ඩැහැගන්නවා. ‘දන්නා අය’ සිතට එවිට උගන්වන්නට ඕනෑ. සිතේ අරමුණු යහපත් හෝ අයහපත් යනුවෙන් වෙන්ව දකිමින් නුවණින් එය පරීක්ෂා කරන්නට ඕනෑ. සිත පි‍්‍රය කරන අරමුණු අත්දැකීමේදී සිත දුව ගොස් ඒවාට ඇල්ම කරනවා. ‘දන්නා අය’ එවිට සිත වරින් වර කරුණු පහදා දෙන්නට ඕනෑ. එවිටයි සිත ඒවා අත්හරින්නේ. මේ අන්දමින් සිත නිසල කිරීමට ඔබ වෙහෙසෙන්නට ඕනෑ. ඔබ ඇල්ම ඇති කරගන්නා අරමුණු සියල්ල ඇත්තෙන්ම අහිතකර ඒවාය. ඔබේ පුහුණුවේ ඵලය වන්නේ සිත තුළ සිතිවිලි පරම්පරාවන් ගොඩනැඟීම වහා නතර කිරීමයි. සිත එවිට ඒවා පසු පස දුවන්නේ නැහැ. ඊට හේතුව ‘දන්නා අය’ සි නිතරම විවේචනයට හා අවධානයට ලක් කිරීමයි. ඇත්තෙන්ම ඔබ, සිතට වද දෙන්නට ඕනෑ. ඔබේ හදවතට එම ඉගැන්වීම් එකතු වෙන තුරු එය සිදු වෙනවා. එමඟින් සිත පුහුණු කළ හැක්කේ.
මේ අන්දමට මා වනගත වූවාට පසු මගේ පුහුණුවේ යෙදුණේ. පැවිදි අයට මා උගන්වන විටද මා එසේය ඔවුන්ට කියා දුන්නේ. මට ඕනෑ කරන්නේ සත්‍යය ඔබටම දකින්නට සලස්වන්නටයි. පොතේ තිබෙන ඒවා පිළිබඳ දැනුම ලබා දීමට නොවෙයි. කෙලෙසුන් සහිත සිතිවිලිවලින් ඔබේ සිත නිදහස් වී නැද්ද යන්න ඔබේ මනස තුළම ඔබ දකින්නට ඕනෑ. කෙලෙසුන්වලින් ඔබේ සිත නිදහස් වී නැත් නම් නුවණින් ඔබ කල්පනා කොට සත්‍යය ඇති තතු දැනගන්නට ඕනෑ. ඔබට සිතිවිලි පිළිබඳ තියුණු දැකීම පහළ වී නම් ඒවායින් ඔබ්බට යෑම ඉබේම සිදු වන්නක්. වරින් වර කෙලෙස සිතිවිලි ඔබ තියුණු නුවණින් දැක ඒවා සියල්ල අබිබවා යන තෙක් ඔබේ පුහුණුව නතර කළ යුතු නැත. නැවත නැවතත් ඔබේ සිතට පැනයන්නට ඉඩ නොදී එය පුහුණු කරන්නට ඕනෑ. මේ අන්දමටය මගේ සිත මා පුහුණු කළේ. බුදු රදුන් ඉගැන්වූවා ‘පච්චත්තං වේදිතබ්බෝ විඤ්චඤූහි.’ තමාම අවබෝධය ලබාගත් අයය නැණවතුන් වනනේ මෙහි තේරුම් නම් ඔබේම පුහුණුවෙන් ඔබ තියුණු දැනීම ලබාගන්නට ඕනෑ. ඔබ වටහාගත යුත්තේ ඔබ පිළිබඳවයි.
ඔබට ඔබ කෙරෙහි විශ්වාසය තිබෙනවා නම්, ඔබ ඔබගේ සිත පිළිබඳව දන්නවා නම්, ඔබට අසහනයක් දැනෙන්නේ නැහැ. අන් අය ඔබව විවේචනය කරනවා නම්, එසේ නැත් නම් ඔබේ ගුණ කියනවා නම්, එවිටද ඔබේ සිත සැලෙන්නේ නැහැ. ඔවුන් කුමක් කීවත් ඔබේ සිත දුකට පත් නොවී එහි ඇති ශාන්තිය දකිනවා. ඇයි ඔබට එසේ කළ හැකි වන්නේ? ඔබ ඔබ ගැන දන්නා නිසයි. අන් අය ඔබගේ ගුණ කියන විට එවැනි ගුණ ඔබට නැත් නම් ඔබ ඒ අයව විශ්වාස කරනවාද? එසේ කරන්නේ නැහැ. ඔබේ පුහුණුව කරගෙන යෑමෙන් ඒ පිළිබඳව ඔබේම තීරණය ඔබ වැදගත් ලෙස සලකනවා. පුහුණුවේ පදනමක් නැති සමහරුන් පිළිබඳ ගුණ ඔවුන්ට අසන්නට ලැබුණාම ඔවුන් සතුටට පත් වෙනවා. ඔවුන්ගේ සිත එයින් මත් වෙනවා. ඔබට කෙනෙක් චෝදනා කළ විට ඔබේ සිත තුළට එබිකම් කොට විමසිලිවත්ව බලන්න ඕනෑ. ඔවුන් වරැදි වන්නට ඉඩ තියෙනවා.
ඔවුන් ඔබට දොස් පැවැරුවාට ඔබ නිදොස් විය හැකියි. එසේ නම් ඔබ තරහාගන්නට ඕනෑ නැහැ. ඔවුන් කියන්නේ ඇත්ත නොවේ. එහෙත් ඔවුන් කියන දෑ සත්‍ය නම්, ඇත්තෙන්ම ඔබ අත වරදක් නම්, ඔබට තරහ යන්නට කොහොමටත් හේතුවක් නැහැ. මේ අන්දමින් ඔබ කල්පනා කරන්නේ නම්, ඔබේ සිත නොසැලී සියල්ල ධර්මතාවන් ලෙස ඔබට දැකිය හැකියි, ඔබගේ කැමැත්ත හා තීරණවලට සිතට බලපාන්නට ඉඩ නොදී. මේ අන්දමින්ය මා පුහුණු වන්නේ. මේ තමා ඍජු, කෙටිම පුහුණුවේ මඟ. ඔබ මා වෙතට පැමිණ අභිධර්මයේ උගන්වන ඇතැම් කරුණු පිළිබඳ මා සමඟ වාදයට පැමිණිය හොත් මා ඊට සහභාගි වන්නේ නැහැ. එසේ නොකොට ඔබට මා කියනවා හේතු සාධක ඇතිව ඔබට මා කිව යුතු දෑ.
දහම් පුහුණුවේ හදවත වන්නේ අත්හැරදැමීමයි; ඇලීම නැති කිරීමයි. එය කළ යුත්තේ නොදැනීමෙන් නොව අවබෝධයෙන්ය. මී ගොනුන් හා දෙනුන් කිසිවක් ගැන උනන්දුවක් නොවන නිසා උන් දක්වන නෑලීම නොවේ ඔබේ නෑලීම හා අතහැරීම. එය හරි මඟ වන්නේ නැහැ. ඔබ කිසිවකට නෑලෙන්නේ සම්මුති හා සිතිවිලිවලින් පිරුණු ලොව පිළිබඳව ඔබට ඇති තියුණු දැකීම, නෑලීම පිළිබඳව ඔබේ ඇති ගැඹුරු අවබෝධය නිසාය.
මගේ පුහුණුවේදී ධර්මය අවබෝධ කරගැනීමට අනේකවිධ ආකාරයෙන් වෙහෙස මහන්සි වී උපරිම උත්සාහයෙන් ක්‍රියා කළා. එය කළ හැකි වූයේ දහම් මග පිළිබඳව, එම මගෙහි ගමන් කිරීමෙන් ලැබෙන ඵලය හා නිවන පිළිබඳව මා තුළ තිබූ අචල විශ්වාසය නිසයි. මා මගේ මුළු ජීවිතයම දහම් පුහුණුවට කැප කළා. ඇත්තෙන්ම දහම් මඟ, එහි ගමන් කිරීමෙන් ලැබෙන ඵලය හා එය කෙළවර වීමෙන් ලබන නිවන ප්‍රත්‍යක්ෂ දෑ ලෙස මා දකිනවා. බුදුදහමේ උගන්වන මේවා, ඔබ වෙහෙස මහන්සි වී පුහුණුවේ යෙදෙනවා නම්, ඔබට ළඟා කරගන්නට හැකි වෙනවා. කෙලෙසුන් පරදවාලීමට හා ඒවා පලවාහැරීමට ඔබගේ සිත තුළ ධෛර්යය තිබෙනවා නම් ධර්මය පිළිබඳ විමසිලිමත්ව ඔබගේ සිත හා දැකීම මුළුමනින්ම වෙනස් කිරීමට ඔබ මැළි නොවන්නේ නම්, නොබියව දහම් පුහුණුවේ යෙදෙන්නේ නම්, ඔබට මාර්ගය, ඵලය හා නිවන අත් වෙනවා.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X