සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

හදවතේ පිරිසුදු බව වචනයෙන් මනිනවා ද?

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක 
ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

සීලයෙන් පිරිපුන් ගුණ යහපත් මනුෂ්‍යයෝ බිතුසිතුවමක් සේ දුකේදීත්, සැපේදීත් අත් නොහැර, හදවතින්ම සමීපව කටයුතු කරන සද්පුරුෂයන් බව ඔබ දනී.
සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයට අයත් “සත්ත ජටිල” සූත්‍ර දේශනාව භාග්‍යවතුන් වහන්සේ විසින් පසේනදී කොසොල් රජතුමාට දේශනා කරමින්, පුද්ගලයා කෙසේ හඳුනාගත යුතු වන්නේ දැයි මේ ආකාරයෙන් දේශනා කරන ලදී. යම් කෙනෙක් සමඟ එක්ව වාසය කරනවා සේම මෙනෙහි කරන්නට තරම් චිත්ත ශක්තියක් පැවතිය යුතුයි. එසේම ඒ ගැන දකින්නට තරම් නුවණක් ද පැවතිය යුතුය. සද්පුරුෂ මනුෂ්‍යයන්ගේ සමහර සසරගත දුර්වලකම් හැසිරීමෙන් පැවතිය හැකියි. සමහර පුද්ගලයකුගේ කතාව ටිකක් තද හා සැර පරුෂ ලෙස පෙනිය හැකියි. එහෙත් ඔහු හදවතින් කරුණාවන්තය. දයාවන්තය. අන් අයට නපුරුකම් නොකරන, වෛර, ඊර්ෂ්‍යා වැනි දුර්ගුණ නොපවත්වා ගන්නා වූ, අන් අයට උදව්වක් ම උපකාරයක් ම කරන්නට කැමැති සද්පුරුෂයෙක් විය හැකිය.
චරිතයක පවතින හොඳ නරක තේරුම් ගැනීමට නුවණක් ද, යහපත් වූ ප්‍රඥාවක් ද පැවතිය යුතු බව ඒ අනුව පැහැදිලිය, ප්‍රඥාව ඇති කෙනා අන් අය නිකරුනේ සැක කරන්නේ නැත. චෝදනා කරන්නේද නැත. නින්දා, අපහාස, අවමන් කරන්නේද නැත.

එහෙත් ඥාන ශක්තියක් නොමැතිවීම නිසා බොහෝ දෙනා පවුල් පරිසරයේ, වෘත්තිය කරන ආයතනයේ, සාමාන්‍ය ජන සමාජයේ මනසින් දුක්විඳින බවත්, නොපවත්නා ගැටලු සිතින් මවාගෙන අන් අයටත් චෝදනා කරමින් මුළු පරිසරයට ම ගැටලු ඇතිකරන බවත් පැහැදිලියි. මේ නිසා කාලයක් එක්ව වාසය කරනවා සේ ම, මෙනෙහි කරනවා සේම, ප්‍රඥාවෙන් ද ඒ ගැන මෙනෙහි කළයුතු බව තේරුම් ගත යුතු වේ.
මීළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් පුද්ගලයෙක් මනා ලෙස දැන ගන්නට නම් ඒ අයගේ කතා ව්‍යවහාරය අනුව පවිත්‍ර බව ඒ අයගේ ගුණ යහපත් බව තේරුම්ගත යුතුයි. එයත් දිගු කාලයකින් විය යුතුයි. කෙටි කාලයකින් එසේ පිරිසුදු බව දැන ගැනීම අපහසුයි. මනාකොට මෙනෙහි කළ යුතුයි. එසේම ප්‍රඥාවෙන් මෙනෙහි කළ යුතුයි. දුෂ්ප්‍රාඥයකුට එනම් නුවණින් සිතා බලන්නට බැරි පුද්ගලයකුට, පුරුද්දක් නැති පුද්ගලයකුට, යම් පුද්ගලයකුගේ පවිත්‍ර බව, සිතෙහි පිරිසුදු බව අවංක බව තේරුම්ගත නොහැකිය. එහි අදහස කුමක් ද? පුද්ගලකුගේ පිරිසුදුකම, පවිත්‍ර බව කතා ව්‍යවහාරයෙන් කාලයක දී දැන ගත හැකියි. මුලින් සඳහන් කළා සේ යම් පුද්ගලයෙක් තමාගේ අරමුණ ඉටුවන තෙක් මිහිරි වචනයෙන්, බොහෝ පරිස්සමෙන්, පාලනයකින් යුතුව කතා කළ හැකියි. වචන හැසිරවිය හැකියි. සාමාන්‍ය ජන සමාජය පවසන්නේ හදවත ගලවා දෙන ආකාරයට හෝ තම ප්‍රාණය වූවත් පරිත්‍යාග කරන තරමට කතා කරන පුද්ගලයකු බවයි. යම් පුද්ගලයෙක් කුමන ආකාරයෙන් කතා කළත්, මිහිරි වචන කතා කළත්, තම ජීවිතය පරිත්‍යාග කරන ආකාරයෙන් කතා කළත්, උගතකු ලෙස කතා කළත්, මොන ආකාරයේ ස්වභාවයක් මවාගෙන කතා කළත්, දිගු කලක් ආශ්‍රය කරන විට යම් තැනකදී ඔහුගේ හෝ ඇයගේ හදවතේ සැබෑ ස්වභාවය වචනවලින්ම මතුවිය හැකිය. ඒ බව වඩාත් වැටහෙන්නේ සමීප ආශ්‍රයකට එන විටයි.
යම් පුද්ගලයෙක් තම තමන්ගේ අරමුණු ඉටුවෙන තුරු සංවරව හා මිහිරි ලෙස කතා කරයි. එහෙත් තම අරමුණු ඉටු නොවෙන විට යම් පුද්ගලයකුට බැන්නා, දොස් කිව්වා යැයි ඇසෙන විට හෝ තමන් කේන්ති ගත්තා යැයි කියන විට පවසන වදන් ඝෝර විය හැකියි. සැර පරුෂ විය හැකියි. යම් පුද්ගලයෙකුට අසාගෙන සිටිය නොහැකි තරමට කටුක විය හැකියි. මුලින් මධුභාෂක හෝ මධුභාෂිණී හැටියට මිහිරිම මී පැණි වැනි වචන කතා කළ අයෙක් හැටියට හැසිරුණු මේ පුද්ගලයා කේන්ති ගියා යැයි පවසමින් මේ පිට කරන වචන මොනතරම් අස්ලීල දැයි, මොනතරම් අසංවර දැයි, සැර පරුෂ දැයි නොහික්මුණු නොමනා වචන දැයි දැනෙන්නට පටන් ගනී. එසේ නම් ඔහුගේ හෝ ඇයගේ සිතෙහි පවිත්‍රතාවයක්, හදවතේ පිරිසුදු බවක් නැති බව ඉතාම පැහැදිලියි.
'කකචූපම' සූත්‍ර දේශනාවේ දී ‘කාලී’ නම් සේවිකාව ‘වේදහිකා’ නම් තම ස්වාමි දියණියගේ මනා වූ හැසිරීම සංවර බව පරික්ෂා කරනු ලැබූයේ වෙනදාට වඩා දවල් වන තෙක් නිදා සිටීමෙනි. දින කීපයක් එසේ වීමෙන් මුල දී සංවරව, මනා හැදුනුකමින් යුතු ස්වාමි දියණිය දොර පොල්ලගෙන සේවිකාවගේ හිසට පහරදීමෙන්, නපුරු වචන පැවසීමෙන් ඇයගේ බාහිරව මවාගෙන තිබූ සංවරකම, පෙනුම මෙසේ යැයි ලෝකයාට ම පැවසුවා. නුඹලා විසින් මනා ගුණ යහපත්, සංවර ස්වාමි දියණියක් යැයි පවසනු ලැබූ ඇය කේන්ති ගෙන නපුරු වදනින් බැන වැදී මගේ හිසට පහර දී තුවාල කළා යැයි මිදුලට පැමිණි කාලී නම් සේවිකාව අසල්වැසියන්ට කෑ ගසා සඳහන් කළා.
මෙවැනි සිදුවීම් සාමාන්‍ය පරිසරය තුළ ජන සමාජයය තුළ මොනතරම් පවතී ද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ එක්ව වාසය කිරීමෙන් සීලය දැන ගන්නවා සේම හැදුනුකම තේරුම් ගන්නවා සේම යම් පුද්ගලයකුගේ කතා ව්‍යවහාරයෙනුත් හදවතේ ඇති පවිත්‍ර බව තේරුම්ගත හැකි බවයි.
එමෙන් ම යම් පුද්ගලයෙක් රවටන ආකාරයෙන්, මුලා කරන ආකාරයෙන් කතා නොකළත් ඔහුගේ හෝ ඇයගේ කතාව අනුව හදවතේ ස්වභාවය මනාකොට තේරුම්ගත හැකියි. කොවුලාගේ හා කපුටාගේ සැබෑ ස්වභාවය හඬ නැගීමේ දී හඳුනාගන්නා සේ යම් මනුෂ්‍යයෙකුගේ කතාව ඔස්සේ ඒ පුද්ගලයා කවුරුන් දැයි තේරුම් ගත හැකියි.
යම් පුද්ගලයෙක් කතා නොකොට සිටින තාක් කල් යම් විටක බාහිර ලෝකයාට පෙනෙන්නේ සංවර අයෙක් හැටියටයි. ගුණයහපත් වූ සද්පුරුෂයෙක් හැටියටයි. යම් විටක උගතෙක් හැටියටයි. එහෙත් කතාව ආරම්භ කිරීමෙන් අනතුරුව උගතෙක් ද, නූගතෙක් ද, ගුණවතෙක් ද, නුගුණවතෙක් ද කියා හෝ සිල්වත් හෝ දුසිල්වන්තයෙක් ද කියා හෝ සංවර හෝ අසංවර කෙනෙක් ද කියා හෝ දැනගත හැකි වන්නේ ය. හදවතේ ඇති සැබෑ ස්වභාවය එනම් ඔහුගේ හෝ ඇයගේ සිතිවිලිවල සැබෑ ස්වභාවය ඒ කතා ව්‍යවහාරයෙන් මතුවන්නට පටන් ගනී. කාලයක් ආශ්‍රය කරන විට ඒ කතා ව්‍යවහාරයෙන් සිතෙහි පවිත්‍ර බව මනාව වැටහෙන්නට පටන් ගනී. දුෂ්ප්‍රාඥයකුට නොව ප්‍රඥාවන්තයකුට ඒ කතා ව්‍යවහාරය අනුව හදවතේ සැබෑ ස්වභාවය වැටහෙන්නට පටන් ගනී.
මුලින් සඳහන් කළා සේ යම් විටක කතා ව්‍යවහාරය ලෝකයා පිළිගත් පරිදි නොගැළපුණත් එහෙත් ඔහුගේ හදවත පිරිසුදු බව සිතිවිලි පිරිසුදු බව වැටහෙන්නට පටන් ගනී. මේ නිසා හදවතේ හෝ පුද්ගලයා හෝ පුද්ගලයාගේ පිරිසුදු බව මනාකොට තේරුම් ගැනීමට කතා ව්‍යවහාරයෙන් හැකි බව භාග්‍යවතුන් වහන්සේ මෙහි දී දේශනා කරන ලදී.

අසංඛත වූ නිවන නොතිබෙන්නට...


පූජ්‍ය කොටියාගල අනුරුද්ධ හිමි
බිබිල යක්‌කුඹුර, 
මො/ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණ

සත්ත්වයන්ගේ සිත් සතන් තුළින් ශෝක හුල් උදුරා දමන උත්තම ශල්‍ය වෛද්‍යවරයාණන් වහන්සේ ලෙස තුන්ලොවේ ගුණරාව පැතිර ගියේ අපගේ සම්බුදුරජාණන් වහන්සේ ගැනයි. එක්‌දිනක්‌ සම්බුදුහිමියන් සම්මුඛ වීමට පැමිණි තැනැත්තෙක්‌ උන්වහන්සේගෙන් මෙසේ විමසා සිටියා. ''මේ වේගයෙන් ගලායන සංසාරය නවතින්නේ කොතැනකද? ඇවිද ඇවිද යන සංසාර ගමන නවතින්නේ කොතැනකද? නාමයත්, රූපයත් ඉතිරි නැතිව නිරුද්ධ වන්නේ කොතැනද? යනුවෙනි.

සසර ගමනින් නිදහස්‌ නොවූ කෙනකු නම් මෙබඳු පැනයක්‌ කෙසේ විසඳන්නේද? එහෙත් ලෝ තතු මනාව දුටු අනාවරණ වූ ප්‍රඥ ඇති සම්බුදු හිමියෝ ඉහතින් විමසූ පැනයට මෙසේ පිළිතුරු දේශනාකොට වදාළ සේක.

යම් තැනක ආපෝ ධාතුවත්, පඨවි ධාතුවත්, තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් පිහිටන්නේ නැතිනම් අන්න එතැන තමයි වේගයෙන් ගලා බසින සංසාරය නවතින තැන. එතැන තමා ඇවිද, ඇවිද යන සංසාර ගමන නවතින තැන. එතැන තමයි නාමයත්, රූපයත් ඉතිරි නැතිවම නිරුද්ධ වන තැන. 

එමෙන්ම සංසාර ගමන තුළ දුක උරුම කරගෙන ගමන් කරන ලෝ සතුන්ට බුදුරජාණන් වහන්සේ විසින් ඒ අමා නිවන නම් වූ දුක්‌ බිය රහිත ක්‌ෂේම භූමිය 

පෙන්වා නොදුන්නා නම් කිසිවකුටත් මේ දුක්‌ත සංසාර කතරින් අත්මිදීමක්‌ නම් නැත්තේමය. 

අප සියලු දෙනා අද දැනගන්නේ සංසාරයේ දුක දැනුණු දිව්‍ය පුත්‍රයකුට දේව තිදේව වූ සම්බුදුහිමියන් වහන්සේ පිහිට වූ ආකාරයයි. ඒ දිව්‍ය පුත්‍රයාගේ නාමය සුබ්‍රහ්ම. සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා දිව්‍ය අප්සරාවන් දහසක්‌ පිරිවරාගෙන තව්තිසාවේ දිව්‍ය විමානයක සැප සේ කල් ගෙවමින් සිටියා. තව්තිසාවේ නන්දන උයනේ තිබෙන පරසතු වෘක්‌ෂයේ මල් පිපෙන කාලයයි මේ. දෙවිවරු සියලු දෙනා මල් පිපී ගිය පරසතු රුක්‌ සෙවණේ සන්තෝෂවීම පිණිස ඒ දිනවලදී නන්දන උයනට යනවා.

ඉතින් මේ සබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයාත් තම පිරිස පිරාවරාගෙන නන්දන උයනට සැපත් වෙනව. එක්‌ දිනක්‌ මේ ආකාරයෙන් තම දහසක්‌ වූ දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන නන්දන උයනේ පරසතු වෘක්‌ෂය ළඟට පැමිණරුකට පිටදී අසුන්ගෙන සිටියා. මේ පරසතු වෘක්‌ෂයේ ස්‌වභාවය තමයි යම් කෙනෙක්‌ මේ ගසෙහි මලක්‌ නෙළා ගැනීමට කැමති වේ නම් වෘක්‌ෂයේ ශාඛාවක්‌ බිමට නැමීමයි. එය සිදුවන්නේ ඉබේටමයි. එසේ වුණත් සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා ඇතුළු දිව්‍ය අප්සරාවන් කිහිප දෙනෙක්‌ මේ පරසතු වෘක්‌ෂයේ අතු දිගේ ඉහළටම නැග්ගා. නැගලා අතු සොළවන්නට පටන් ගත්තා. එවිට පරසතු මල් බිම වැටෙනවා. ඒ වැටුණු පරසතු මල් දිව්‍ය අප්සරාවන් එකතු කරගත්තා. ඇතැමෙකු එයින් මල්මාලා සැදුවා. තවත් අයෙක්‌ ඒ මාලා දාමයන් උරහිසෙහි රුවා ගත්තා. තවත් අය මල් වොටුණු සාදා සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයාගේ ගෙලෙහි පැලැන්දුවා.

එක්‌ වරම පරසතු වෘක්‌ෂයේ නැග සිටි දිව්‍ය අප්සරාවන්ගේ ශබ්දය නෑසී ගියා. පරසතු මල් ගසෙන් බිමට වැටෙන එකත් නතර වුණා. සුබ්‍රහ්ම දෙවියා කලබලයෙන් වගේ ඒ මේ අත බැලුවා. ක්‌ෂණයෙන් පරසතු ගස ලෙස බැලුවා. දිව්‍ය 

අප්සරාවන් පන්සිය දෙනකු නැහැ. කෝ මේ දිව්‍ය අප්සරාවන්? සුබ්‍රහ්ම දෙවියා පිරික්‌සා බලන්න වුණා.

මීට සුළු මොහොතකට පෙර දිව්‍යාලංකාරයෙන් කුල්මත්වී සිටි ඒ පන්සියයක්‌ අප්සරාවියන් අතරින් චුතවී නිරයේ ඉපදී සිටියා. නිරයේ ගිනිදැල් අතරින් වේදනාවෙන්, දුක්‌විඳින ඒ අප්සරාවියන් දුටු සුබ්‍රහ්ම දෙවියාට මහත් සංවේගයක්‌ ඇතිවුණා. මට තව කෙතරම් කාලයක්‌ මේ තවුතිසාවේ ඉන්නට 

හැකිවේද? යනුවෙන් හැඟී ඒ මොහොතේ ඔහු කල්පනා කළා. ඔහුට වැටහුණා අවශේෂ පන්සියය අප්සරාවියන් ද සමග තව සත් දිනකින් තමාටත් නිරයේ ඉපදීමට සිදුවන බව. ඔහුගේ සිත බියෙන් තැති ගැනීමෙන් ශෝකයෙන් දැවී ගියා. ඔහු විමසා බැලුවා මාගේ මේ ශෝකය නිවා දැමිය හැකි කෙනෙක්‌ මේ ලෝකයේ ඉන්නවාදැයි කියා. ඇත්තෙත්ම සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා වාසනාවන්තයෙක්‌. තුන් ලෝකයට අග්‍රවූ ශාන්තිනායක වූ සම්බුදුහිමියන් වහන්සේ ජීවමානව වැඩ සිටින බව ඔහු දැනගත්තා. ඉතින් මේ සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකීම පිණිස සැවැත්නුවර දෙව්රම් වෙහෙරට පැමිණියා.

බුදුරජාණන් වහන්සේට ආදරයෙන්, ගෞරවයෙන් යුතුව වන්දනා කළා. එකත්පසෙක සිටගත්තා. එසේ සිටි සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙසේ පවසා සිටියා.

නූපන් කරදර ගැනත්, ඇතිවෙලා තියෙන කරදර ගැනත් මේ සිත නිතර නිතර තැති ගන්නවා. මේ සිත නිතර නිතර බියට පත්වෙනවා. මම මේ අසන කරුණු නිසා දෙනු මැනවි. මේ සිතේ කිසි තැති ගැනීමක්‌ නැත්නම් ඒ ඇති වෙන්නේ කොහොමද? සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේගෙන් මේ විමසන්නේ නූපන් කරදර ගැන කිවවේ ඔහුට තව දින හතකින් නිරයේ ඉපදීමට තිබීම නිසා දුකක්‌ තිබෙනවා. ඇතිවෙලා තියෙන කරදර ගැන කියා කිව්වේ ඔහුගේ පිරිවර වූ පන්සියයක්‌ දිව්‍ය අප්සරාවියන් අහිමිවීමෙන් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ඔහුට තිබුණ නිසා. ඒ දුකට විසඳුමයි ඔහු විමසා සිටියේ. මහා කාරුණික සම්බුදුරජාණන් වහන්සේ ඔහුට ගාථාවකින් පිළිතුරු දේශනා කොට වදාළා.

නාඤ්ඤත්‍ර බොජ්ජධංගා තපසා

නාඤ්ඤත්‍ර ඉන්ද්‍රිය සංවරං

නාඤ්ඤත්‍ර සබ්බනිස්‌සග්ගා

සොත්ථිං පස්‌සාමි පාණිතන්ති

බොජ්ජධංග ධර්ම වැඩීමෙන් තොරව කෙලෙස්‌ තවන ජීවිතයෙන් තොරව තමනගේ ඉන්ද්‍රියයන් සංවර කර ගැනීමෙන් තොරව ඒ සියලු දුකින් නිදහස්‌ වූ අමා නිවන අවබෝධ කිරීමෙන් තොරව මේ සත්වයන්ට සෙතක්‌ මා නම් 

දකින්නේ නෑ. මේ සංසාර ගමනෙ ඉපදීම, ලෙඩවීම, වයසට යාම, මරණයට පත්වීම, ශෝකය, වැළපීම, දුක්‌-දොම්නස සුසුම් හෙලීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්‌වීම ආදිය වූ අනේක ප්‍රකාර වූ දුක උරුම කරගත් ලෝ සතුනට විශ්මිත සම්බුද්ධ නුවණින් අමා නිවන නම් වූ අමෘතය දායාද කර නොදෙන්නට මෙලොවේ දුකින් නිදහස්‌ වීමක්‌ නම් නැත'' ඒ බව මෙසේ පෙන්වා දුන් සේක.

බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරමින් පෙන්වා දෙන ලද්දේ සුබ්‍රහ්ම දෙවියා සෝවාන් පලයට පත්විය. සතර අපායෙන් සදහටම නිදහස්‌ වුණා. ඒකාන්තයෙන්ම ඒ අමා නිවන අත්දකින ශ්‍රාවකයෙක්‌ බවට පත්වුණා. අපත් සංසාරගත දුකින් නිදහස්‌ව ලබන ඒ උතුම් නිර්වාණය ලැබීම පිණිස කටයුතු සංවිධානය කර ගනිමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අපේ දර්ශනය විය යුත්තේ කුමක්‌ ද?

ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති
රාජකීය පණ්‌ඩිත, ශාස්‌ත්‍රපති පූජ්‍ය කොත්මලේ කුමාරකස්‌සප හිමි

මීට අවුරුදු ගණනාවකට කලින් අපේ ආරණ්‍යයේ අලුතින් කුටි හදපු දවස්‌වල කැළේ ඉන්න රිලව් ජනේලවල වීදුරු ළ`ගට ඇවිල්ල කෑගහනව, ඉස්‌සරහට ආපස්‌සට පනිනව. තව කෙනෙක්‌ වීදුරුව ඇතුළෙ ඉන්නව කියල හිතාගෙන ගහනව, ගොරවනව. එයාට පෙනෙන්නෙ ඇතුළෙ ඉන්න කෙනත් තමන් ගොරවනකොට ගොරවනව, එකක්‌ කහනකොට ගහනව කියල. ඉතින් මෙතන හරි කලබලයක්‌.
දැන් අවුරුදු 8 - 10ක්‌ විතර වෙලත් තවමත් ඒ ගොල්ල එතෙන්ට ආවම කෑගහනව, ගහනව, ගොරවනව, පනිනව. ඇයි? ඒගොල්ලො ඉන්නෙත් තව 
කෙනෙක්‌ ඉන්නව කියන අදහසින්. යන්නෙත් මෙතන කෙනෙක්‌ ඉන්නව කියන අදහසින්. පැත්තකට ගිහින් හිතන්නෙත් අරහෙ තව කෙනෙක්‌ ඉන්නව මං මෙහේ හිටියට කියන අදහසින් මයි. ඉතින් පැත්තකට ගියත් තව අවුරුදු දහයකටත් එයාට ආපහු ඒ ඉන්න කෙනා හොයාගෙන යන්න හේතුව තියෙනව මයි.


එද අපිට මේ රිලව කරන්නෙ මෝඩකමක්‌ කියල හිතුණට රිලවයි අපියි අතර වෙනසක්‌ නෑ. එක සමානයි. භූමියෙ මට්‌ටමින් අපි ඔක්‌කො ම එක ම මට්‌ටමේ. මේ පින්වතුන් ආවෙ 'තියෙන' ගෙදර ඉඳන්, ගෙදර 'තියෙන' තැනකයි හිටියෙ. තියෙනවයි කියන ගෙදර මයි ජීවත් වුණේ. අද මෙතනට ආවෙ 'ගෙදර එහෙ තියෙද්දි මම පන්සලට යනව' කියන හැ`ගීමෙන්. දැන් ඇවිල්ල ඉන්නෙත් ගෙදර එහෙ තියෙනව, මම මෙහේ කියන මානසික මට්‌ටමින්.

දැන් රිලවට වගේ ම ආපහු හොයාගෙන යන්න හේතු ටික ඒ විදියට ම තියෙනව. මෙතෙන්ට ආපු ඔය පින්වතුන්ට හේතු ටික තියෙනව ගෙදර කියන තැන බලන්න ආපහු යන්න. මොකද හැම වෙලාවක දි ම ගෙදර කියන එක රැස්‌ කරගෙන ඉන්නෙ. තියෙන දෙයක්‌, ඇති දෙයක්‌ හැටියට අපි රැස්‌ කරගෙනයි තියෙන්නෙ. ගියොත් බලන්න පුළුවන් කියන මට්‌ටමේ මයි.

නමුත් ගියාට අපේ හිතේ තියෙන ගෙදර ම බලන්න පුළුවන් වෙයි ද? ගියාට අපේ හිතේ තියෙන ගෙදර බලන්න පුළුවන්කමක්‌ ඇත්තෙ නැහැ. ගියොත් ඇස්‌ හමුවට එන රූපායතනය ම, වර්ණ සටහන ම ගැටීමක්‌ මිස තියෙන ගෙදරක්‌ දකින්න පුළුවන්කමක්‌ ඇත්තෙ නැහැ. (වර්ණ සටහන තුළ ගෙවල් නැති නිසා). රූපායතනය එනකොට ම මෙන්න අපේ ගෙදර තියෙනව කියල අපි රැවටෙන්නෙ නැද්ද? රැවටෙනව. වර්ණ සටහන එනකොට ම තියෙන ගෙදර දකිනව කියල අපේ හිතේ ගේ ගැන යම් සංඥා ටිකක්‌ තියෙනව නම් මේ තියෙන්නෙ අපේ ගෙදර නෙ කියන මට්‌ටමකින් රැවටෙනව මයි.

යම් විදියකින් ගෙදර වෙනස්‌කමක්‌ වෙලා තිබුණොතින් අපි ඒකත් රැස්‌ කරගන්නව. ගෙදර ඉස්‌සරහ ගහක්‌ තිබුණ. හුළ`ගක්‌ ඇවිල්ල ගහ කඩාගෙන වැටිල. අපි දැන් යනකොට ගහ නැහැ. දැන් ගහ නැති බවට රැස්‌ කරගත්ත. දැන් ඊළ`ග දවසෙ ඉඳන් ගහක්‌ ළ`ග නැති ගෙදරක්‌ තමයි අපි අරමුණු කරගෙන ඉන්නෙ. දැන් ගහ නැති බව ම අපි දකිනකොට 'ආ මේ තියෙන්නෙ අපේ ගෙදර' කියල ගහ නැති බවින් ම අරමුණු කරනව.

හැම වෙලාවක දි ම අපි කෙළෙස්‌ ධර්මතා ටික තමයි ඇසුරු කිරීම තුළ යාවත්කාලීන කරන්නෙ. අපි අවුරුදු දහයකින් (පිටරටක කෙනෙක්‌ නම් ලංකාවට ගිහිල්ල) අපේ අම්මව දැකල නැත්නම් දැන් අපි හිතාගෙන යන්නෙ අපේ හිතේ ඉන්න අමම්ව බලන්න. යනකොට අම්ම වෙනස්‌ වෙලා. හිතේ ඉන්න අම්ම නැහැ. අපි කියන්නෙ අම්ම සෑහෙන වයසට ගිහිල්ල, අම්ම වෙනස්‌ වෙලා, මහත් වෙලා, කෙට්‌ටු වෙලා කියල. හිතේ තියෙන එකට ගැලපෙන්නෙ නැහැ බාහිර රූපය. ඊට පස්‌සෙ අපි රැස්‌ කරගන්නව 'ආ දැන් මේ කෙනාගෙ ස්‌වරූපය මේකයි' කියල.

තව අවුරුදු දහයකට පස්‌සෙ ආපහු යනව. දැන් යන්නෙ එදා අර දෙවැනි වතාවෙ දැකපු සංඥාව මෙනෙහි කරගෙන. දැන් හිටියටත් වැඩිය වෙනස්‌ වෙල. ආපහු ඒකත් රැස්‌ කරගන්නව.

දැන් අපි මේ විදියට රැස්‌ කරගෙන තියෙන්නෙ වර්තමානය, ඇත්ත ඇති සැටියට පිරිසිඳ නො දන්නාකම නිසා. ඇහැ රූප චක්‌ඛු විඤ්ඤාණ තුන් දෙනා ගෙ එකතුව නිසා ඇති වන ස්‌පර්ශය කියන තැන පිරිසිඳ දකින්නෙ නැහැ. ස්‌පර්ශයට ඇහැ රූප දෙක විදියට බැඳලයි අද අපි ජීවත් වෙන්නෙ. ස්‌පර්ශය නිසා හටගත් වේදනා සංඥා දෙකටත් අපි ඇහැ රූප දෙක බැඳලයි ජීවත් වෙන්නෙ.

ජීවත් වෙන අපිට වේදනා සංඥා දෙකක්‌ ම විඳින වේදනා සංඥා ම දැනගන්න අපිට රූපය දැනගන්න පුළුවන් වෙලා ද? වේදනා සංඥා දෙක ම අරමුණු කරන අපට රූපය අරමුණක්‌ වෙලා. 

ඒකෙන් මම පැහැදිලි කළේ රූපාරම්මණංවා කියනකොට රූපය ආරම්මණයක්‌ වුණේ වේදනා සංඥා දෙකක්‌ විඳින අපිට. රූපය දැනගන්නව කියල දැනගන්න කෙළෙස්‌ සහිත මානසික මට්‌ටමකටයි අපිට රූපාරම්මණයක්‌ වුණේ. 

නැතිනම් යථාර්ථයක්‌ විදියට හිතට තව හිතක්‌ ම අරමුණු කරල දැනගන්න පුළුවන්කම මිසක කවදා වත් ම හිතට පුළුවන් වුණා ද රූපය දැනගන්න. හිතට පුළුවන් වුණේ නැහැ කවදා වත්, රූපය කියන එක දැනගන්න පුළුවන්කමක්‌ තිබුණේ නැහැ.

කවදා වත් දැකලත් නැති අහලත් නැති නො දන්නා දෙයක්‌ ඉස්‌සරහට ආවොත් අපිට පුළුවන් ද ඒක දැනගන්න? දැනගන්න පුළුවන්කමක්‌ ඇත්තෙ නැහැ. මොකද අපි ඒ ගැන දන්නෙ නැති නිසා. අපි දැනගන්නෙ අපේ හිතේ ම තියෙන දැනගැනීමක්‌. අපේ හිතේ ඒ ගැන දැනගන්නා බව මයි අපි දැනගන්නෙ.

එතකොට හිතන බව ම දැනගන්න, විඳින අපි හිතනව බාහිර රූපයක්‌ දැනගත්ත කියල. බාහිර රූපය දැනගත්ත කියන්නෙ සම්පූර්ණයෙන් ම කෙළෙස්‌වලින් ගෙන දුන්න මට්‌ටමක්‌. හැම වෙලාවක ම තිබුණු යථාර්ථය තමයි හිතෙන් හිතක්‌ ම උපද්දවල හිත ම වින්ද කියන කාරණය.

අද අපේ දර්ශනය වෙලා තියෙන්නෙ ඕන ඔය කියන කාරණාව පිරිසිඳ දැකල ඔන්න ඔය කියන කාරණාව ඇත්ත ඇති හැටියෙන් දැකල රූපය රූප පැත්තෙන් දැනගන්නත් නාම ධර්මතා ටික නාම ධර්මතා විදියට දැනගන්නත් නාම රූප පරිච්ඡේ¨දයක්‌ කරන්න. නැතිනම් නාම-රූප දෙක පිරිසිඳ දකිනව කියන මටටමක්‌ ඇති කරගන්නව කියන එකයි අද අපේ ජීවිතය විය යුත්තෙ, නැතිනම් දර්ශනය විය යුතු වන්නෙ.

අපි අද යම් භාවනාවක්‌ කරනවා නම් ඒ අපි අනුගමනය කරන ප්‍රතිපදාව තීරණය විය යුත්තේ සකස්‌ විය යුත්තේ ඔන්න ඔය කියන කාරණාව සාක්‌ෂාත් කරගන්න. 

ඒකටයි මේ ශාසනය සම්මා දිට්‌ඨි පුබ්බංගමා හොති. ආර්ය වූ සම්මා සමාධිය ඇති කරගන්නත් සමමා දිට්‌ඨිය තමයි පූර්වාංගම වෙන්නෙ. සම්මා දිට්‌ඨිය පෙරටු කරගෙන මයි සම්මා සමාධිය ඇති කරන්නෙ. 

එතකොට හැම වෙලාවක දි ම සම්මා දිට්‌ඨිය කියන දේ තමයි අපේ ජීවිතයෙ පෙරටු විය යුත්තෙ. අද අපි කරන භාවනාවකින් පවා අපට පෙනෙන්න තියෙන්න ඕන මේ දර්ශනය වැඩෙන බව. මේ ඇත්ත ඇති හැටියට දකින බවට උපකාර වන බව අපි කරන භාවනාව තුළ අපට ප්‍රකට ව තියෙන්න ඕන.

අද අපි යම් සීලයක්‌ සමාදන් වනව නම් මේ සමාදන් වන සීලය තුළ අපිට මේ කියන දර්ශනය වැඩෙන බව පෙනෙන්න තියෙන්න ඕන. එහෙම නැත්නම අපි වඩන සීලය ආර්ය සීලයක්‌ බවට, මේ ශාසනයෙ පනවන සීලයක්‌ බවට පත් වෙන්නෙ නැහැ. මොකද බුදුරජාණන් වහන්සෙ පහළ වෙන්න කලිනුත් ලෝකෙ ශික්‌ෂාපද තිබුණ. 

අද අපි සමාදන් වන සීලය තිසරණගත සීලයක්‌ නිසා කුසල සීලයක්‌ කියල කියන්න පුළුවන්. නමුත් ප්‍රතිපදාව වැඩෙන තැනට මේක යොමු වෙල නැත්නම් මේක සීලබ්බත පරාමාස ගණයෙන් මිදුණු සීලයක්‌ කියල කියන්න බැහැ. මේක සීලබ්බත පරාමාසයෙන් ස්‌පර්ශ කරන ලද සීලයක්‌ කියල තමයි අපිට කතා කරන්න වෙන්නෙ.

අද අපි වඩන සීලය තුළ අපිට මේ දර්ශනය සාක්‌ෂාත් වන බව ම තියෙන්න ඕන. අපි ගත්තොත් පාණාතිපාතා වෙරමණී සික්‌ඛාපදං සමාදියාමි - සතුන් මරන්නෙ නැහැ කියන ශික්‌ෂාපදය 

සමාදන් වන අපිට බාහිර ශාසනෙන් දකින්න තියෙන දෙයක්‌ තමයි සතෙක්‌ වැරදිලා මැරුණොත් ශික්‌ෂාව කැඩෙනව, ශික්‌ෂාව කැඩුණහම ඇවිල්ල සතුන් නො මරනව කියන මේ ශික්‌ෂාපදය ආපහු සමාදන් වන බව. මෙය අපිට බාහිර ශාසනය තුළත් දකින්න තියෙනව, මේ ශාසනය තුළත් දකින්න තියෙනව. ඒක නෙමෙයි වෙනස.

මේ ශාසනේ කෙනා සීලයත් දන්නව. සීලය කියන දේ නැති වෙන හැටිත් දන්නව. නැති වෙන බව නැති වෙන හැටිත් දන්නව. සීලය ඇති කරගන්න ප්‍රතිපදාවත් දන්නව කියන තැනකින් එයාට සීලය පනවන්න පුළුවන්කම තියෙනව.

එතකොට එයා සීලය ගැන දැනගන්නව. මේ දේ වුණොත් සීලය කැඩෙනව. සීලය සමාදන් වුණොත් රකිනව. සීලය කියන දේ නැවත පිහිටන්න පුළුවන් කියන මට්‌ටමින් සීලය ගැන දන්නව. සීලය කැඩුණොත් එයා දන්නව පාණාතිපාතා ශික්‌ෂාපදය කැඩුණොත් කැඩුණෙ මගෙ හිතේ තියෙන මේ තරහව නිසයි මේ ශික්‌ෂාපදය කැඩුණෙ. තරහ ඇති කළේ මොකක්‌ නිසා ද? ඉන්න කෙනෙක්‌, ඉන්න සතෙක්‌, ඉන්න පුද්ගලයෙක්‌ ගැනයි මට තරහ ඇති වුණෙ. එහෙනම් මට දැන් සීලය නො කැඩෙන මට්‌ටමට යන්න නම් මට සතා නො මර ඉන්නකොට ඉන්න සතා නො මරනව කියන මට්‌ටමින් මට සීලය නො කඩ ඉන්නව කියන දේ කරන්න පුළුවන්කමක්‌ ඇත්තෙ නැහැ.

මදුරුවත් ඉන්නව නම්, අතේ වේදනාවත් තියෙනව නම් අනිත් අත එතනට යනව කියන දේ නතර වෙන්නෙ නැහැ. අපි ඒක ආයාසයෙන් රකින දෙයක්‌ විතරයි. නමුත් මේ ශාසනයෙ සිල්වත් කියන කෙනා මේ ඥාන දර්ශනයත් එක්‌ක සීලය සමාදන් වන කෙනා දකිනව මදුරුව මරන්න මදුරුව ගැන තරහක්‌ ඇති කරගන්න හේතු වුණේ බාහිර මදුරවෙක්‌ ඉන්න නිසයි. මදුරුවට කන්න කියල මට අතක්‌ පයක්‌ තිබුණ නිසයි. 

එහෙනම් මම මදුරුව කියන තැනින් මිදෙන්න උත්සාහවත් වෙන්න ඕන. එයා සම්මා දිට්‌ඨියෙන් සීලය රකින්නෙ. එයා මදුරුව කියන තැනින් නිදහස්‌ වෙන්න හදනකොට එයාට තරහක්‌ ඇති කරගන්නයි කෙනෙක්‌ නැති වෙන්නෙ. එයා ඇත්ත ඇති හැටියට දකිනව බාහිර ඉන්න මදුරුවෙක්‌ ද තමන් හිතෙන් හදාගත්ත මදුරුවෙක්‌ ද කියන එක. 

එයාට මදුරුවෙක්‌ වත් මදුරුවට කන්න අතක්‌ වත් හම්බ වෙන්නෙ නැති වෙයි මේ ඥාන දර්ශනය තුළ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දෙවියන්ගේ ගැටලුවලට බුදුරදුන් දුන් පිළිතුරු

දිව්‍ය ලෝකවල වෙසෙන දෙවියන්ද මනුෂ්‍ය ලෝකයේ වෙසෙන මිනිසුන් මෙන් නොයෙක්‌ ප්‍රශ්න ගැටලු ගැන සාකච්ඡා කරනවා. නමුත් සමහර ගැටලු හා ප්‍රශ්නවලට නිසි පිළිතුරු ඔවුන් තීරණය කරන්නේ වැඩිදෙනාගේ සම්මතයෙන්. නමුත් ඒවා නියම පිළිතුරු නොවෙයි. බුදුරජාණන් වහන්සේ නමක්‌ ලොව පහළවූ විටයි, උන්වහන්සේවෙත එළඹ නියම පිළිතුරු දැනගන්නේ. මහාමංගල සූත්‍ර දේශනාව මෙයට කදිම නිදසුනක්‌ දිව්‍යලෝක වර්ෂවලින් වසර දහ අටක්‌ම මංගල කාරණා මොනවාද කියා තීරණයර ගැනීමට දෙවියන්ට නොහැකිවුණා. බුදුන් වහන්සේගෙන් තමයි නියම පිළිතුරු දැනගත්තේ. මෙවැනි අවස්‌ථා බොහොමයක්‌ බෞද්ධ සාහිත්‍යයේ ඇතුළත්ව තිබෙනවා.

මේ අයුරින් දෙවියන් අතරවූ සාකච්ඡාවකදී ප්‍රශ්න හතරක්‌ මතුවුණා. ඒවා නම්,

1. උඩට යන දේ අතර අග්‍ර දේ මොනවාද?

2.පහළට යන දේ අතර අග්‍ර දේ 

මොනවාද?

3. ඇවිදින අය අතර අග්‍ර වන්නේ කවුද?

4. කතා කරන අය අතර අග්‍රවන්නේ කවුද?

මේ ප්‍රශ්නවලට එක්‌ දිව්‍ය පුත්‍රයෙක්‌ හොඳට හිතාබලා පිළිතුරු හතරක්‌ ඉදිරිපත් කළා. වැඩි දෙනාගේ දැනුම හා අවබෝධය මත ඒ පිළිතුරු හතර සම්මත කර ගත්තා. 

1. උඩට යන දේ අතර අග්‍ර දේ බීජය හෙවත් පැළය.

2. පහළට යන දේ අතර අග්‍ර දේ වැහි බිංදු

3. ඇවිදින අය අතර අග්‍ර වන්නේ ගවයා

4. කතාකරන අය අතර අග්‍රවන්නේ පුතා.

බැලු බැල්මට මේ පිළිතුරු හතර නිවැරැදි යෑයි අපටත් හිතෙනවා. බීජය හෙවත් පැළය ක්‍රම ක්‍රමයෙන් ඉහළට ගොස්‌ වර්ධනය වී මල් හා පල ලබාදෙනවා. ඒවා සත්වයින්ට ඉමහත් ප්‍රයෝජනයක්‌ ලබාදෙනවා. ඒ වගේම උඩ සිට පහළට ඇද හැලෙන වැහි බිංදු හෙවත් වර්ෂාව නිසා පොළව සශ්‍රීක වෙනවා. ගංගා ඇළදොළ වැව් පොකුණු පිරී පරිසරය වගේම ජීවිත සාර්ථක කරනවා. සත්ව ප්‍රජාවගේ පැවැත්මට ජලය අත්‍යවශ්‍ය සාධකයක්‌. ඒ නිසා ඒ ප්‍රශ්නයට පිළිතුර හරි බව අපිටත් හිතෙනවා. දෙවියන්ද ඒ අනුව එය සම්මත කරගත්තා. ඇවිදින අය අතර අග්‍රය වන්නේ ගවයා බවට තීරණය කරගත්තේ ගවයා හැමතැනම ඇවිද හොඳ තණකොළ භුක්‌ති විඳ පස්‌ගෝරස ලබාදී ලොකු සේවයක්‌, කරන සතෙකි. කතාකරන අය අතර පුතා අග්‍ර බවට තීරණය කරගත්තේ ලෝක ප්‍රජාව ඉදිරියට පවත්වාගෙන ගෙනයැමට පරම්පරාව ඉදිරියට ගෙන යැමට මූලිකයා වන්නේ පුතා නිසා විය හැකියි. (පුත්තා වත්ථු මනුස්‌සානං ලෙස බුදුන් වහන්සේද දේශනා කර ඇත.)
කෙසේ වෙතත් මේ පිළිතුරු හතර පිsළිබඳව විවිධ මත භේද කතාබහ ඇතිවුණා. එක්‌ දෙවියෙක්‌ මේ පිළිතුරු හතර භාරගැනීම ප්‍රතික්‌ෂේප කළා. මෙසේ කාලයක්‌ ගතවෙද්දී බුදුරජාණන් වහන්සේ නමක්‌ මිනිස්‌ ලොව පහළවී ඇති බවත්, උන්වහන්සේ සියල්ල නිවැරැදිව දන්නා බවත් දිව්‍ය ලෝකවල පතළ වුණා. පෙරකී දිව්‍ය පුත්‍රයා සියල්ල දන්නා බුදුන්වහන්සේ වෙත තවත් දිව්‍ය පිරිසක්‌ සමග පැමිණියා.
එසේ පැමිණ දිව්‍ය පුත්‍රයා ඉහත ප්‍රශ්න හතර හා දිව්‍ය සභාව මගින් සම්මත කරගත් පිළිතුරු හතරත් ප්‍රකාශ කළා. ඒවා නිසි පිළිතුරුදැයි උන්වහන්සේගෙන් අසා සිටියා.
එහිදී බුදුරජාණන් වහන්සේ එම ප්‍රශ්නවලට නිසි පිළිතුරු ඒවා නොවන බව වදාරා නිසි පිළිතුරු දේශනා කළා.
''දිව්‍ය පුත්‍රය උඩට යන දේ අතර අග්‍රවන්නේ බීජය නොව විද්‍යාවයි. හෙවත් අවබෝධයයි. දැනුම වැඩිකර ගැනීම නිසා, බහුශ්‍රැතභාවය නිසා ඔවුන් ප්‍රඥවන්තයින් බවට පත්වෙනවා. ඒ නිසා ඔවුන් දිනෙන් දින ඉහළට යනවා. දියුණුවට යනවා. වීර්යය වඩනවා. අත්හළ යුතු දේවල් අත්හැර වැඩිය යුතු, පිළිපැදිය යුතු දේවල් ප්‍රගුණ කරනවා. ඒ මගින් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නවා. ඒ නිසා ඉහළම යන දේ අතර විද්‍යාව අග්‍රවෙනවා' යෑයි වදාළහ.
'සාදු, සාධු, බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේගේ පිළිතුර අපි භාරගන්නවා. හරි අගේ ඇති පිළිතුරක්‌. ඉතින් බුදුරජාණන් වහන්ස, පහළට යන දේ අතර අග්‍රවන්නේ කුමක්‌දැයි දැනගැනීමට සතුටුයි. එයත් පහදා දෙන සේක්‌වා''.
''පින්වත් දිව්‍ය පුත්‍රය, පහළට යන දේ අතර අග්‍රවන්නේ ඔබලා මෙතෙක්‌ කලක්‌ සම්මත කරගෙන සිටි වැහි බිංදුව නොවෙයි. අවිද්‍යාවයි. අවිද්‍යාව හෙවත් අනවබෝධය නිසා සත්වයින් දිනෙන් දින පහළට වැටෙනවා. පිරිහීමට පත්වෙනවා. මේ නිසා ක්‍රම ක්‍රමයෙන් තම දියුණුව නැතිකර ගන්නවා. අන්තිමේදී නිරයට වැටෙනවා. නිරයට වැටුණොත් නැවත ගොඩ ඒමට දුෂ්කරයි. කාලාන්තරයක්‌ නිරයේ ගතකිරීමට සිදුවෙනවා. ඒ නිසා අවිද්‍යාව දුරුකර ගැනීමට උත්සාහ ගත යුතුයි.
මේ පිළිතුරෙන් සතුටට පත් එම දිව්‍ය පුත්‍රයා ''භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඔබවහන්සේගේ පිළිතුර හා පැහැදිලි කිරීම හරිම ශ්‍රේෂ්ඨයි. දිව්‍යලෝකයේ උපත ලැබ සිටියත් අප මෙතෙක්‌ කලක්‌ හිටියේ අවිද්‍යාවේ ගැලී. අප දැරුවේ මිත්‍යා මත. ඉතින් බුදුරජාණන් වහන්ස, ඇවිදින අය අතර අග්‍රවන්නේ ගවයා හෙවත් හරකා කියලයි දෙව්ලොව පිරිස්‌ විශ්වාස කරන්නේ.මම නම් එ යපිළිගන්නේ නැහැ. නමුත් නියම පිළිතුර දන්නෙත් නැහැ. ඔබවහන්සේ එයටත් නිසි පිළිතුරක්‌ වදාරන සේක්‌වා''.
''පින්වත් දිව්‍ය පුත්‍රය, ඇවිදින අය අතර අග්‍රවන්නේ භික්‌ෂුන් වහන්සේලායි. මාගේ ශ්‍රාවක භික්‌ෂුන් වහන්සේලා නිතරම ගම් නියම්ගම් සිසාරා ඇවිදිමින්, දුකින් වෙලී සිටින සත්වයින්ට ධර්මය කියාදී, ධර්ම අවබෝධ කරදී ඉන් මුදවා ගන්නවා. එය ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්‌. භික්‌ෂුන් වහන්සේලා හැර වෙනත් කිසිවෙක්‌ අන් අයගේ යහපත, දියුණුව උදෙසා ඇවිදින්නේ නැහැ. බොහෝ දෙනාගේ හිත සුව පිණිස ගමන් කරන නිසයි ඇවිදින අය අතර භික්‌ෂුන් වහන්සේලා අග්‍රවන්නේ'' යෑයි වදාළහ.
'භාග්‍යවතුන් වහන්ස, මෙතෙක්‌ කලක්‌ අඳුරේ සිටි අපට ඔබවහන්සේ හොඳ ආලෝකයක්‌ ලබාදුන්නා. එසේ නම් කතාකරන අය අතර අග්‍රවන්නේ කවුරුන්දැයි ප්‍රකාශ කර වටහාදෙන සේක්‌වා''.
''පින්වත් දිව්‍ය පුත්‍රය, කතාකරන පිරිස්‌ ඕනෑතරම් සිටිනවා. එහෙත් ඒවා කෙනකුගේ දියුණුවට හේතුවන්නේ නැහැ. ඒ නිසා මෙලොව පරලොව දෙකේම දියුණුවට හේතුවන දේ කතාකරන බුදුරජාණන් වහන්සේ කතාකරන අය අතර අග්‍රවෙනවා. උන්වහන්සේලා කතාකරන දේ මිනිසුන් දෙවියන් වගේම බ්‍රහ්මයන්ද අහනවා. ඒ අනුව පිළිපදිනවා. එදා බුදුන්වහන්සේලා කතාකළ දේවල් අදත් පවතිනවා. එදා වගේම අදත් ඉන් ප්‍රයෝජන ලබනවා. ඒ දහම අකාලිකයි. එදා වැඩ සිටි බුදුරජාණන් වහන්සේලා කතා කළ දේවල් නිසයි සත්වයින් සැනසිල්ල ලැබුවේ. ලොව පහළවන සියලුම බුදුරජාණන් වහන්සේලා කතාකරන දේ හෙවත් දේශනා කරන දේ එකයි. දියුණුවන මග හෙවත් නිවන ගැනයි දේශනා කළේ. එයින් සැනසිල්ල ලැබූ පිරිස අනන්තයි. මේ නිසා කතාකරන අයර අතර බුදුන්වහන්සේලා අග්‍ර වෙනවා' යි වදාළහ.
'හරිම අගෙයි, හරිම අපූරුයි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස. හරිම ආශ්චර්යයි. ඔබවහන්සේ දේශනා කළ දේවල් මට හොඳට වැටහුණා. අද තමයි නියම අවබෝධයක්‌ ලැබුවේ. අන්ධකාරයට පහනක්‌ දැල්වුවා වගෙයි'' යනුවෙන් බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කර එම දිව්‍ය පිරිස බුදුන්වහන්සේට නමස්‌කාර කර අතුරුදන් වුණා.
ගුණපාල කාරියවසම්
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X