සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

රාගයෙන් ගිලන් වූ සිතට ඖෂධය විරාගී දහමය

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක 
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි

බක් අමාවක පෝදා (මැයි 06 වනදා) සිට සුපසන් ජීවිතයකට ධර්ම කතා පෙළෙහි අප කතා කරමින් පැමිණියේ ‘භාරද්වාජ සූත්‍ර’ දේශනාවයි. මේ සූත්‍ර දේශනාවෙන් පැවිදි ජීවිතයක් පිළිබඳව පෙන්වා දුන්න ද පෘතග්ජන වූ අශ්‍රැතවත් මුළු මනුෂ්‍ය සමාජයට ම මේ සූත්‍ර දේශනාව උතුම් දහම් අවවාදයක් ලෙස ලංකරගත හැකිය. ඒ පිළිබඳව අද දවසේ ද දහම් විවරණයක් කොට බලමු.
යම් විටක සංසාර ගමනේ පටන් අපේ ජීවිතවල පවත්වාගෙන එන කර්ම ශක්තීන්ට අනුව ආශාවත්, රාගයත්, ලෝභයත්, ද්වේෂයත් මේ ආදී කෙලෙස් පවතින්නට පුළුවනි.
ඒ වගේ ම යම් චරිත ලක්ෂණ අනුව ජීවිතවල දැඩි රාගය පවතින්නට පුළුවනි. ද්වේිෂය, මෝහය පවතින්නට පුළුවනි. තවත් තැනක ආශ්‍රය කරන පිරිස අනුව, යහළුවන් අනුව, ජීවත්වන පරිසරය අනුව, ඒ ඒ සිතිවිලි, ඒ ඒ චර්යාවන්ට පුරුදුවෙන්නට පුළුවනි. මනා වූ දෙමාපිය ආශ්‍රයක් නොලැබුණොත් මනා වූ ගුරු ආශ්‍රයක් නොලැබුණොත් මනා වූ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක් නොවුණොත් එවැනි අයගේ සිත්වල වඩාත් ම ප්‍රබල ලෙස රාගය, ද්වේෂය, මෝහය මතුවෙන්නට පුළුවණි. අන්න එවැනි චරිතවලට ජීවිතපවත්වන ලෝල ගති ඇති අයට මේ දහම් කතාව ඉතාම හොඳ ධර්ම ඖෂධයක්. රාගයෙන් ගිලන්වුනු සිත්වලට මෙන්න මේ විරාගී දහම් ඖෂධය උතුම්ම පානයක්, බෙහෙතක් වනු නොවුණුමානයි.
එනම් මොන පාටින් පේන්න හිටියත්, මොන ආකාරයේ ශරීර වර්ණයෙන් යුත් මුහුණකින් යුතු වූවත් මොන ආකාරයේ සුවඳවිලවුන්වලින් ආලේපකොට පැවතුණත් වස්ත්‍රාභරණ ආදියෙන් සැරසී සිටියත් පාදාන්තයේ පටන් හිස් මුදුන දක්වා ඔබගේත් මගේත් මේ කය පිළිබඳව සිහි නුවණින් විමසා බැලුවොත් යථාර්ථය දැකගත හැකියි. මෙහි සඳහන් කළ ආකාරයෙන් කෙස්, ලෝම, නිය, දත්, සම, මාංශ, ආදී වශයෙනුත් ශරීරයේ ඇතුළත පවත්නා වූ සෙම්, සොටු, මළ, මුත්‍රා ආදියෙන් පිරුණා වූ මේ ශරීරයේ වැරැදි ආකාරයෙන් ඇලෙන්නට බැඳෙන්නට ගැටෙන්නට සමීප කරගන්නට යමක් ඇත්තේදැයි නුවණින් විමසා බලන්න. ගුණබර ස්වාමි දියණියක් ස්වාමි පුත්‍රයෙක් ඔවුනොවුන් කෙරෙහි අවබෝධයෙන් ඇති කරගත්තා වූ ලෙන්ගතුකම ඔස්සේ ලොව පැවැත්ම පිණිස ජීවිත ස්වභාවය අනුව ඔවුන්ගේ ජීවිත පවත්වන බව සැබෑවකි. එහෙත් ජීවිතයේ වැරැද්දක් සිදුවන්නට ප්‍රබල වූ ආවේගයක් සිත තුළ ඇතිවිය යුතුමයි.

එහෙම නම් එවැනි වැරැද්දක් ඇතිවීමට අවස්ථාවක් ඇති වූ කල් හි මේ ධර්ම ඖෂධය මනා ලෙස යොදා ගත හැකියි. එනම් තමන්ගේ සිත තුළ මේ ඇතිවන්නා වූ රාගය කුමක් අරමුණු කරගෙන ද යම් වූ ශරීරයක් සිරුරක්, පාටක්, පැවැත්මක් වෙනුවෙන් නම් ඇතිවන්නේ ඒ ශරීරයේ ස්වභාවය ගැන නුවණින් සිහිපත් කළ හැකියි. මෙතෙක් සඳහන් කළාක් මෙන් මොන පාටින් පේන්න සිටියත්, එනම් කළු සුදු දුඹුරින් පේන්න සිටියත් ශරීරයේ පළමු සිවිය ඉවත් කළ විට ළූණු ගෙඩියක පළමු සිවිය ඉවත් කලාක් මෙන් අපවිත්‍ර ස්වභාවය පළමුවෙන් ම දැකගත හැකියි. නව දොරකින් එළියට ගලනා අපවිත්‍ර දැය බැහැරකොට ශරීරය පවිත්‍රව පවත්වාගන්නට මොනතරම් වෙහෙසෙන්නේ දැයි තමා තමාගේ ම ශරීරය දෙස සිහි නුවණින් මෙනෙහි කොට කල්පනා කර ගත යුතුයි. ඇවිදිනා වැසිකිලියක් බඳු යැයි උපමා කළ මේ ශරීරය කෙසේ නම් වරදවා පරිහරණය කරන්නට දැයි සිතා ගත යුතුමයි. මෙසේ සිහිපත් කරන විට විවාහක පවුල් පරිසරයක නම් ඔවුන්ගේ විවාහ ජීවිතය සුපසන්ව ගත කරන්නට මේ ධර්ම කොටස ආධාර විය හැකියි. විවාහ නොවුණත් තරුණ ජීවිත ගත කරන තරුණ දරුවන්ට වැරැදි ආකාරයෙන් ජීවිත පවත්වන්නට මේ දහම් පෙළ කිසිවිටකවත් උපකාර නොවන බව ඉතා පැහැදිලියි. සුසංහිත සිතක් හදාගෙන සකස්කරගෙන සියලු දෙනා කෙරෙහි ම කරුණාවෙන්, මෛත්‍රීයෙන් බලන්නටත් මුලින් සඳහන් කළාක් මෙන් අම්මා කෙනෙක්, සොහොයුරියක්, දරුවෙක් දෙස බලනවා වගේ සිත පවත්වාගන්නට ඉතාම පහසුයි.
බුදුරජාණන් වහන්සේ ධර්මයේ පැහැදිලි කළේ රාගය නම් ගින්නක් හා සමාන යනුවෙනි. අභාවිත සිතක් ඇති ඕනෑම කෙනෙකුට එනම් ලෝකයේ පවත්නා සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට දකින්නට පුරුදු නොකළ සිතක් ඇති ඕනෑම කෙනෙකුගේ සිත තුළ රාගය, ද්වේෂය, මෝහය පැන නැගිය හැකියි. මේ රාගය, ද්වේෂය ගින්දරක් මෙන් තමාත් දවා පුළුස්සා අන් අයත් දවා පුළුස්සමින් දෙපාර්ශයටම හානි පමුණුවන ආකාරය තේරුම්ගත හැකියි.
“නත්ථි රාග සමෝ අග්නි” – රාගයට සමාන තරම් තවත් ගින්දරක් තවත් නැති යැයි දේශනා කළේ ඒ නිසාය. මේ දහම් පරියාය නිතර නිතර මෙනෙහි කිරීමෙන් සුපසන් ජීවිත ගත කරන චරිතවත් ජීවිත ගත කරන ඕනෑම අයෙකුට තම සිත තවදුරටත් ඒ සමාහිත සිත, සුපසන් සිත, චරිතය, ඒ ආකාරයෙන් ම පවත්වාගත හැකියි. භික්ෂුවකට හෝ භික්ෂුණියකටත් එසේයි. ගෘහස්ත ජිවිතයක් ගත කරන ඔබ වැනි වූ අම්මා කෙනෙකුට, පියාණන් කෙනෙකුට ස්වාමි දියණියකට, ස්වාමි පුත්‍රයෙකුට, සොහොයුරෙකුට, සොහොයුරියකට හෝ මනුෂ්‍යයෙක් වූ හැම කෙනෙකුට ම සමාහිත සිතක් සුපසන් වූ සිතක් විරාගී චරිතයක් පවත්වා ගන්නට පුළුවන්කම ලැබේවි.
මේ දහම් පෙළ අසාගෙන සිටි උදේන රජතුමා භාරද්වාජ ස්වාමීන් වහන්සේගෙන් නැවතත් ප්‍රශ්න කරනවා. භාරද්වාජ ස්වාමීන් වහන්ස, වැඩූ කාය ගථා සතිය ඇති වැඩූ සීලය ඇති වැඩූ සිත් ඇති වැඩූ නුවණ ඇති යම්වේද භික්ෂූන් වෙත්නම් ඔවුන්ට එය දුෂ්කර නොවේ. නමුත් ස්වාමීන් වහන්ස, නොවැසූ කායගථා සතිය තියෙන නොවැඩූ සීලයක් ඇති, නොවැඩූ සිත් ඇති නොවැඩූ නුවණ ඇති යම් වේද භික්ෂූ ඇත්නම් ඔවුන්ට ඉහත සඳහන් කළ දහම් පෙළ අනුගමනය කිරීම ඉතාම දුෂ්කර වෙනවා. ස්වාමීන් වහන්ස, ඇතැම් දිනක අසුබ වශයෙන් මෙනෙහි කරන්නෙමුයි. සුබ වශයෙන් මෙනෙහි කිරීමට පැමිණෙනවා. භාරද්වාජ ස්වාමීන් වහන්ස, තරුණ මනා ඒ කළු කෙස් ඇති මේ තරුණ භික්ෂූහූ බ්‍රහ්මචාරී ජීවිතය ඉතාම හොඳින් ගත කරනවා නම් දිගු කලක් නොසිඳ ඒ සිල්වත් ජීවිතය පවත්වනවා නම් එයට අනෙකුත් හේතුවක් තියෙනවා දැයි උදේන රජතුමා භාරද්වාජ ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. ලෞකික ලෝකයේ සාමාන්‍ය ජීවිත ඇසුරු කරන උදේන රජතුමාගේ මේ ප්‍රශ්නයත් වර්තමානයේ පවා අපට ඉතා හොඳින් ගලපා ගන්නට පුළුවනි.
අශ්‍රැතවත් පෘතග්ජන ලෝකයේ මනුෂ්‍යයන්ගේ ජීවිත තුළින් ම ඒ ප්‍රශ්නය පිළිබඳව හොඳ අවබෝධයක් ඇතිකර ගන්නට පුළුවනි. එනම් කය පිළිබඳව මනා සේ වඩන ලද සිත් ඇති කෙනෙකුට එනම් විදර්ශනාවෙන් සිත පුරුදු කරන ලද කෙනෙකුට එනම් අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට කය ගැන දකින්නට පුරුදු කළ කෙනෙකුට අර ඉහත සඳහන් කළ ආකාරයෙන් ශරීරයේ දෙතිස් කුනූපයන් පිළිබඳව සිහිපත්කොට රාගය, ද්වේෂය, බැහැර කරගත හැකියි. ඒ වගේ ම මනා ලෙස සිල් ආරක්ෂා කරන කෙනෙකුට සීලය රකින කෙනෙකුට එය කළ හැකියි. ඒ වගේ ම සිත පිළිබඳව මැනවින් දැකල මේ සිත රාගයෙන් බැහැරකරගෙන විරාගයට හසු කරගන්නට පුරුද්දක් ඇති කෙනෙකුට එය කළ හැකියි. ඒ වගේ ම මනා වූ නුවණක් ඇති කෙනෙකුට විශේෂයෙන් විදර්ශනාව පුරුදු කළ කෙනෙකුට එය කළ හැකියි. නමුත් එසේ නොවන කෙනෙකුට ඉහත සඳහන් කළ දෙතිස් කුනූපයන් කල්පනා කොට රාගාදී කෙලෙසුන් බැහැර කර ගන්නට යැයි පැවසීම දුෂ්කර කටයුත්තක්, එයට හේතුව මේ වගෙයි. නොවැඩූ කායගථා සතිය ඇති නොවැඩූ සිල් ඇති නොවැඩුව සිත් ඇති නොවැඩූ විදර්ශනා නුවණැති යම් භික්ෂුවක් අසුබ වශයෙන් යම් කෙනෙක් ගැන යම් දෙයක් පිළිබඳව මෙනෙහි කළත් සිහිපත් කළත් යම් විටක ඔවුන්ට ඒක සුබ වශයෙන් මෙනෙහි කිරීමට පැමිණීමට පුළුවනි.
බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඇට සැකිල්ල කෙරෙහිත් වරදවා සිත් ඇති කරගෙන එනම් රාගාදි සිත් ඇති කර ගත් කතා පිළිබඳව අසන්නට ලැබෙනවා. පිණ්ඩපාතයේ වැඩම කළ යම් භික්ෂු යම් චරිත කෙරෙහි, කාන්තාවන් කෙරෙහි සිත් ඇතිකරගෙන ඔවුන් පැවිදි ජීවිතයේ අභිමථාර්ථවලින් බැහැර වූ අවස්ථා දකින්නට පවතිනවා. ගෘහස්ථ ජීවිතවල පවා මොනතරම් ශරීරයක ඇති අසුබ ස්වභාවය පෙන්නුම් කොට දෙන්නට උත්සාහ කළත් ඒ අසුබ ස්වභාවයෙන් බැහැර වී සුබ වශයෙන් ම ගෙන කාමාදී සිතිවිලි ඇති කර ගන්නා ආකාරය දැක ගන්නට සිතා ගන්නට පුළුවනි. මෙන්න මේ නිසයි මේ දහම් පෙළ වඩාත් මෙහි වැදගත් වන්නේ කලාතුරකින් සමහර තරුණ පුද්ගලයන් ඉතාම වැඩිහිටි වයස් ප්‍රමාණයේ එනම් මහලු වයසේ පසුවන මව්වරුන්ට පවා කරන ලද කරදර විපත් දැනගන්නට ලැබෙනවා.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X