සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

සිතේ දුබලකම් ඉබේ ඉවත් කර දෙන වැඩපිළිවෙළ

ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ 
ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි

ඉඩ ලැබෙන හැම වෙලාවකම බොඡ්ජධංග භාවනාවක්‌, නැත්නම් හිත බොහෝ ම ඉක්‌මනට එකඟ වන, සමාධිමත් වන කමහටහනක්‌ ගන්න. සීලයක පිහිටනවා, පන්සිල් හෝ ආජීවඅෂ්ඨමක සීලය හෝ උපෝසථ අෂ්ඨාංග සීලය හෝ පැවිදි සීලයක හෝ හැකි සීලයක පිsහිටනවා. ඉඩ ලැබෙන හැම වේලාවක ම චිත්ත සමථයක්‌ ඇති වෙන්න කටයුතු කරනවා. වැඩ කටයුත්තක්‌ අරඹන හැම වෙලාවක ම උපන් ආශ්‍රව ධර්ම දුරු වෙන විදියේ, නූපන් ආශ්‍රව ධර්ම නූපදින විදියේ චින්තනයක්‌, සිතුවිල්ලක්‌ සිත තුළ රඳවාගෙන කරනවා. 

මේ විදිහට කාලයක්‌ කළොත් මොකක්‌ ද වෙන්නේ කියලා බලන්න. අද මේ තියෙන මානසික මට්‌ටම සම්පූර්ණයෙන් ම වෙනස්‌ වෙනවා. 

නොබෝ දවසක්‌ යනකොට ඉස්‌සෙල්ලා ම කයේ දරද`ඩු ගතිය නැති වෙනවා. 

අද මේ පින්වතුන් සිතුවිලි උපදින්නේ නැත් ද කියලා බලන්න. යම් සිතුවිල්ලක්‌ තමන් හිතලා නො වෙයි ඉබේ මයි උපදින්නේ, නමුත් තමන් ගේ මනස තුළ ම උපදින සිතුවිලි නිසා තමන්ට ම පිච්චෙන, වෙහෙසෙන, සිතෙන සිතුවිලි උපදින්නේ නැත් ද කියලා බලන්න. කලින් ම නතර වෙන්නේ ඒ ටික. ඉස්‌සෙල්ලා ම ඒ මට්‌ටම නතර වෙනවා. 

තමන් ගේ ම සිතුවිලි නිසා තමන් හොඳට සතුටු වෙන බවක්‌ හම්බ වෙනවා නම් ඒකත් නතර වෙනවා. 

ඊට පස්‌සේ මේ හිතෙන් කථා කෙරෙන, ඉබේ ම සිහිවෙනකම ටික ටික අඩු වෙනවා.

යෝනිසෝමනසිකාරය හේතුවෙන් මේ පින්වතුන්ට එකතැනක ඉඳගෙන ඉන්නකොට හොඳ එකඟකමකින්, නො විසිරුණු කමකින් ඉන්න පුළුවන්කම ලැබෙනවා. එකතැනක ඉඳගෙන ඉන්නකොට ඇති කරගන්න චිත්ත සමාධිය මේ පින්වතුන්ට වැඩකටයුතු කරද්දී අකුසලයකට යන්නේ නැති, කුසල ධර්මයක්‌ තුළ ම මනස තබාගෙන කටයුතු කරන්න පුළුවන් හුරුව ගෙනත් දෙනවා. වැඩකටයුතු කරන කොට ඇති වෙන සිහිනුවණ දෙක සමාධියටත්, සමාධිය සිහිනුවණ දෙකටත් මේ පින්වතුන්ට උදව් වෙනවා. මේ පින්වතුන් ඉඳගෙන හිටියත් දහමක, වැඩකටයුතු කළත් දහමක.

මේ විදිහට මේක ටිකෙන් ටික, ටිකෙන් ටික වර්ධනය වෙනවා. හැබැයි හිතේ යට කොනක තියෙනවා මේ කරන්නේ මොකක්‌ සඳහා ද කියලා. මේ පඤ්චඋපාදාන ස්‌කන්ධය වර්තමාන හේතු ප්‍රත්‍යය බව, ඒ දුක්‌ වූ හේතු ටික පටිච්චසමුප්පන්න ධර්මතාවක්‌ බවත් තේරුම් කරගන්න, දකින තැනට මනස ගන්නයි මේ ටික කරන්නේ. 

ඒ නිසා මෙතැන යෙදෙනවා "අනඤ්ඤතඤ්ඤස්‌සාමිතින්ද්‍රිය. - තවම නො දැක්‌කා වූ දෙය දකින" තැනට යන්නයි මේ ප්‍රඥව තියෙන්නේ. ඒ ටික බලන්න. 

ඒත් තවම මේ දුක්‌ වූ ස්‌කන්ධ ටික එයා දකින්නේ නැහැ. තවම "මම" කියලමයි පෙනෙන්නේ. තවම පටිච්චසමුප්පාදයක්‌ කියලා පෙනෙන්නේ නැහැ. "මම" කියලමයි පෙනෙන්නේ. පුද්ගලයෙක්‌ ගේ ඉපදීම මයි පෙනෙන්නේ. පුද්ගලයෙක්‌ මැරිලා යනවා කියන තැනකින් මයි තේරෙන්නේ, පෙනෙන්නේ, හිත පිළිගන්නේ.

නමුත් කළ්‍යාණ මිත්‍ර ඇසුරෙන්, සද්ධර්ම ශ්‍රවණයෙන් අපි මෙහෙම දන්න තැනක, දකින තැනක ඇත්ත අහගෙන පැත්තකින් තියලා වර්තමානයේ එයා වැඩපිළිවෙළක්‌ කරනවා. - සීලයක පිහිටලා, කය වචන දෙකේ සංවරයක්‌ හදාගත්තා. ඉඩ ලැබෙන හැම මොහොතක ම විත්ත සමථයක්‌ ඇසුරු වෙන කමටහනක්‌ කරනවා. ඒ වගේ ම කුමන කටයුත්තකට ගියත් පෙර පසු මනස අහකට යන්න නො දී යෝනිසෝමනසිකාරය කියන තැනින් තබාගෙනයි කටයුතු කරන්නේ. 

මේ ධර්මතා ටික ජීවිතයේ අනවශ්‍ය පැවැත්ම අයින් කරනවා. මේ පින්වතුන්ට දැඩි ලෝභයක්‌, විෂම රාගයක්‌, දැඩිව ගැටෙනකමක්‌, අකැමැත්තක්‌ තියෙයි නම්, ඕනෑවට වඩා හිතේ මසුරුකමක්‌, දෙන්න නො හිතෙනකමක්‌, ලෝභකමක්‌ තියෙයි නම් ඒවා ගැන කලබල වෙන්න එපා. මේ පින්වතුන් අඛණ්‌ඩව මේ ටික කරන්න. ඒ සම්මාදිට්‌ඨයෙන් මේ පින්වතුන් ගේ දුබලකම අයින් කරයි. සම්මාදිට්ඨයටත් වැඩක්‌ තියෙන්න එපැයි. අසුචි ටික මේ පින්වතුන් අයින් කරන්න යන්න ඕනේ නැහැ. මේ පින්වතුන් වතුර පාහරක්‌ ගහන්න. වතුරටත් කරන්න වැඩක්‌ තියෙන්න එපැයි. වතුරෙන් අසුචි ටික අයින් කරයි. අසුචි ටිකක්‌ තියෙයි නම් ඒක අතින් අයින් කරන්න ගියොත් අතේ ගෑවෙයි. ඒ නිසා හොඳ වතුර බාල්දියක්‌ අරගෙන ගහන්න වේගයෙන්. එතකොට මේ පින්වතුන්ට තියෙන්නේ වතුර ටික ගහන එක. වතුර වැඩේ කරයි. - මොකක්‌ ද? - අර අසුචි ටික හෝදලා දමයි.

ඒ වගේ නිතර ම සීලයක පිහිටලා, චිත්ත සමථයක්‌ ඇති කරගෙන යෝනිසෝමනසිකාරයේ ඉන්නවා කියන මේ ධර්මය රකින්න. ධර්මයෙන් මේ පින්වතුන් ව රකියි. මේ කුසල ධර්මයක ඉන්න. ධර්මයෙන් කරයි ඒ වැඩේ. ජීවිතයේ තියෙන මසුරුකම, ඊර්ෂ්‍යාව, එකට එක කිරීම, වෛරය, පළිගැනීම, තරහව, අපි අකැමැති වුණත් අපේ අතින් කෙරෙනවා. අපි අතින් වෙන මේ ගති ටික, අපේ දුක්‌ ගොඩ ටිකෙන් ටික හදයි. එකෙන් එක ගෙවයි. ගෙවලා විෂම ලෝභය - විනෙය්‍ය ලෝකෙ අභිඡ්ජධා දොමනස්‌සං - දැඩි ලෝභය, දැඩි දේවේෂය කියන මේ ටික සම්පූර්ණයෙන් මනසින් තුරන් වෙන තැන් දක්‌වාම අරගෙන යනවා. 

ඔය ටික කළහම, කරන කොට, දැඩි ලෝභය, විෂම ලෝභය, ද්වේෂය මනසින් තුරන් වෙලා යයි කියලා කිව්වේ නීවරණ සහගත චිත්තය ගෙවෙන තැනක්‌ තියනවා, ගෙවෙන තැනට එනවා - සීල විසුද්ධි, චිත්ත විසුද්ධි මේ පැත්තේ (ඇතුළතින්) විසුද්ධි ටික වැඩ කරනවා නීවරණ ධර්ම දුරු වෙනවා. දුරු වෙනකොට අපි පුද්ගලයෙක්‌ කියලා ඉන්න තැනක, සත්ත්වයෙක්‌ කියලා ඉන්න තැනක තියෙන්නේ නාමරූප දෙකක්‌ නේ ද කියන "දිට්‌ඨ විසුද්ධිය" මේ පින්වතුන්ට පහළ මෙතැන තියෙන්නේ පඤ්චඋපාදනස්‌කන්ධයක්‌a, නැත්නම් නාමරූප දෙකක්‌ - හේතුප්‍රත්‍යයක්‌" කියන ටික පෙනෙයි.

පෙනෙනවත් එක්‌ක ම, ඒ නාමරූප දෙකට හේතුව පෙර අවිද්‍යා සංඛ්‍යාරයි, අද අවිද්‍යා සංඛර තිබුණොත් මෙබඳු වූ නාමරූප දෙකක්‌ මතුත් හදනවා කියලා පටිච්ච සමුප්පාද ධර්මයේ "කංඛාවිතාරණ විසුද්ධිය" මේ පින්වතුන්ට ලැබෙයි.

මේවා එකිනෙක ගන්න ඕනේ නැහැ. එකින් එකට, එකින් එකට බැඳිලා මේ පින්වතුන්ට හම්බ වෙන්නේ. වෙලාවල් බලලා, හොඳ තැන් බලලා, පටන්ගත යුතු ඒවා නෙවෙයි මේවා. එක දෙයයි මේ පින්වතුන් කරන්න ඕනේ. එක ම දෙයක්‌ කරන්න. කරන කොට හම්බ වෙන එකක්‌. මේ පින්වතුන්ට කරන්න තිබුණේ ම සීලයක පිහිටියා, චිත්ත සමාධිය ඇති වෙන විදිහට කටයුතු කළා, යෝනිසෝමනසිකාරය කළා. මම සමාධිය, සමථය ගැනත්, යෝනිසෝමනසිකාරය කරන හැටිත් ඉදිරියේ දී උගන්වන්නම්. ඉස්‌සෙල්ලා පෙළ, පරියාය උගන්නලා ඉන්න ඕනේ.

මේ ටිකේ ප්‍රතිඵලය වුණා නීවරණ ධර්ම දුරුවීම. දුරු වෙනකොට තමන්ට සුවපත් වෙච්ච බව තමන්ට පෙනෙන කොට, දුක්‌ වින්ද තමන් ගේ ජීවිතය දුකෙන් ගොඩ ආපු බව දකින කොට ප්‍රමෝදයක්‌ ඇති වෙනවා. 

බදුහාමුදුරුවෝ උපමාවක්‌ පෙන්වනවා - රෝගී වේචච කෙනෙක්‌ පහු කාලයේ නීරෝගී ව ඉන්න තමන්ව දකින කොට යම් සේ ප්‍රමුදිතභාවයක්‌ ඇති වන්නාක්‌ මෙන්, හිරේ හිටපු කෙනෙක්‌ හිරෙන් නිදහස්‌ වෙච්ච තමන් ව දකින කොට ප්‍රමෝදය ඇති වන්නාක්‌ මෙන්, අනුන් ගේ දාසභාවයේ වැඩකාර කෙනෙක්‌ වැඩකාරකමින් නිදහස්‌ වුණා දකිනවා වගේ, අනුන් ගෙන් ණයක්‌ ගත්ත කෙනෙක්‌ පහු කාලයේ ණය බේරලා ඉන්න තමන් ව දකිනවා වගේ, ආහාර පාන නැති කාන්තාරයකට ගිය කෙනෙක්‌ ආහාරපාන තියෙන ගම්පියසකට පැමිණියහම ඇති වන සතුට වගේ - රෝගය වගේ, දාස භාවය වගේ හිරගෙය වගේ, ණය වගේ, කාන්තාරයෙන් මිදුණා වගේ දකිනවා නීවරණයන් ගෙන් නිදහස්‌ වෙච්ච මනස, තමන් ගේ මනස.

මේ "පෙර-පසු" දෙපැත්ත දකින ඔහුට සිතේ ඔඳ තෙද වැඩුණු ගතියක්‌, ප්‍රමුදිත ගතියක්‌ ඇති වෙනවා. ප්‍රමෝදය නිසා ම ප්‍රීතිය, ප්‍රීතිය නිසා ම පස්‌සද්ධිය - සන්සිඳීම. සන්සිඳීම නිසා ම සැපය. හිතයි කයයි දෙක සැපසහගතයි. ඒ සැපයට දෙවියෝත් ඊර්ෂ්‍යයා කරනවා කියනවා. දෙවියන්ට වත් නැහැ ලු ඒ තරම් සැපයක්‌. ඒ ප්‍රීතියෙන්, සැපයෙන් මේ කයේ නො තෙමුණු තැනක්‌ නැහැ. හිත කය දෙක සැප සහගත කල්හි සිත සමාධි වෙනවා. 

පින්වතුනි, මෙච්චර කාලයක්‌ සිත සමාධි නො වුණේ අප සිත සැප හොය හොයා බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්‌ඨබ්බ, කියන අරමුණු ගානේ රස්‌තියාදු වෙවී හිටපු නිසා. හිතෙන් කථා කෙරෙනවා කියන්නේ මොකක්‌ ද? එයා ඇතුළෙන් සැපසහගත අරමුණු හොයනවා, දුක්‌සහගත අරමුණු ඉවත් කරන්න ගන්න උත්සාහයක්‌ තමයි ඔය හිතෙන් කථා කරනවා කියන්නේ. ගෝනි ගණන් ගොඩගහලා අපේ ගෙදර සිනී තියෙනවා නම්, සීනි ගේන්න අපි කඩේ යනව ද? නැහැ. මුළු සිත ම, මුළු කය ම එක ම සැප පිණ්‌ඩයක්‌ නම් ආයේ සැප සහගත රූප, ශබ්ද හොය හොයා මේ සිත රස්‌තියාදු වෙයි කියලා හිතනව ද? නැහැ. සැප සහගත තමා කෙරෙහි ම සිත බැඳී පවතිනවා. සිත, කය, දෙක සැපසහගත කල්හි සිත සමාධි වෙනවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X