සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

මියෑදෙන මාහට කුමක්‌ සිදුවේද?

ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි


සෙය්‍යථපි මහානාම, බලවා පුරිසෝ සප්පිකුම්භං වා තේල කුම්භං වා ගම්භීරං උදකරහදං ඔගාහෙත්වා හින්දෙය්‍ය, තත්‍ර යාස්‌ස සක්‌ඛරාවා කඨලාවාසා අධෝගාමි අස්‌ස යඤ්ච බවස්‌ස තත්‍ර සප්පිවාතේලං වා තං උද්ධංගාමි අස්‌ස විසේසගාමි'

'මහානාම, යම් සේ බලවත් පුරුෂයෙක්‌ ගිතෙල් කළයක්‌ හෝ තෙල් කළයක්‌ හෝ ගැඹුරු දියවිලකට බස්‌සවා බිඳින්නේද එහි යම් කැට කැබලිති වන්නේ නම් එය යටට යන්නේය. එහි ගිතෙල් හෝ තෙල් හෝ වන්නේ නම් එය උඩට අවුත් විශේෂත්ව වන්නේය'

ඉහත සඳහන් කරනු ලැබුවේ සංයුක්‌ත නිකායේ මහාවග්ගයේ, සොතාපත්ති සංයුත්තයේ සාරකානි වර්ගයට අයත් පළමු මහානාම සූත්‍රයේ සඳහන් ධර්ම පාඨයක්‌. එක්‌ කලෙක භාග්‍යවතුන් වහන්සේ සාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර සමීපයෙහි නිග්‍රෝධාරාමයෙහිවැඩ වාසය කරන සේක. දිනක්‌ මහානාම නම් ශාක්‍ය තෙමේ බදුරජාණන් වහන්සේ වෙතට පැමිණ වන්දනා කොට එකත් පසෙක හුන්නේය. එකත් පසෙක සිටි මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළේය. 

මේ කිඹුල්වත්නුවර ඉතාමත් සමෘද්ධියි. බොහෝම හිතවන්ත මිනිසුන්ගෙන් පිරුණු පාරවලින් යුක්‌තයි. භාග්‍යවතුන් වහන්ස උදේ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ හෝ කුසල් සිත වඩන භික්‌ෂුන් වහන්සේ නමක්‌ හෝ ආශ්‍රය කොට සවස්‌ කාලයෙහි කිඹුල්වත් නුවරට ගමන් කරමි. එහිදී මට හීලෑ නැති නොසන්සුන් ඇතෙක්‌ සමග එක්‌වෙන්නට සිදුවෙයි. නොසන්සුන් අශ්වයෙන් සමග එක්‌වෙන්නට සිදුවෙයි. නොසන්සුන්ව ගමන් කරන රථයක්‌ සමග එක්‌වෙන්නට සිදුවෙයි. නොසන්සුන්ව ගමන් කරන ගැලක්‌ සමග එක්‌වෙන්නට සිදුවෙයි. නොසන්සුන්ව හැසිරෙන පුරුෂයෙක්‌ සමග එක්‌වෙන්නට සිදුවෙයි. භාග්‍යවතුන් වහන්ස, මේ අවස්‌ථාවන්හිදී භාග්‍යවතුන් වහන්සේ කෙරේපැවතුණු මාගේ සන්සුන් සිත මුළාවෙයි. එනමු නොසන්සුන් වෙයි. ධර්මය කෙරේ පැවති සිත මුළාවෙයි. සංඝයා කෙරේ පැවැති සිත මුළාවෙයි. භාග්‍යවතුන් වහන්ස, මට මෙසේ සිතුවිල්ලක්‌ පහළ වී තිබේ. එවැනි මුළාවී සිටින වෙලාවක මා කළුරිය කළොත් මගේ ගතිය හෙවත් ඊළඟ උපත කුමක්‌ වෙයිද? පරලොව කුමක්‌ වන්නේද?

මෙම ප්‍රශ්නය ගෘහස්‌ථ ජීවිත කරන බොහෝ දෙනකුට ඇතිවිය හැකි ප්‍රශ්නයකි. සීල, සමාධි, ප්‍රඥ වඩන විට හෝ ආරම්භක පරිසරයේදී අපගේ සිත් ඉතාමත් සන්සුන්ව පවතී. ගෘහස්‌ථ ජීවිතයේදි ගේ දොර කටයුතු, අඹුදරු, ස්‌වාමි භාර්යාවන්ගේ කටයුතු, රැකියා කටයුතු හා සමාජ කටයුතු නිසා වරෙක සිත් නොසන්සුන් බවට පත්වේ. පුරුදු කරන ලද දහම, සමාදන් වූ සීලය බැහැරවී යන බවක්‌ද දැනේ. එවැනි වෙලාවක අප මියදුනොත් අපට කුමක්‌ සිදුවෙයිද? යනුවෙනි. බුදුරජාණන් වහන්සේ වදාළ පිළිතුර කුමක්‌වීද?

'මහානාම, බියවෙන්නට එපා. මහානාම බිය වෙන්නට එපා. නුඹගේ මරණය ළාමක 

නොවන්නේය. එනම් පාපී නොවන්නේය. කාලක්‍රියාව පාපී නොවන්නේය. මහානාම යම් කෙනකුගේ සිත දිගු කලක්‌ ශ්‍රද්ධාවෙන් හාත්පසින් වඩනා ලද්දේද, සිල සීලයෙන් හාත්පසින්ම වඩනා ලද්දේද, සිත ශ්‍රැතියෙන් හාත්පසින් වඩනා ලද්දේද, සිත ප්‍රඥවෙන් හාත්පසින් වඩනා ලද්දේද, එය උඩට යන සුළුවෙයි. එනම් ඉහළට ගමන් කරයි. විශේෂ බවකට පත්වෙයි. එනමුත් ඔහුගේ හෝ ඇයගේ රූපවත් ශරීරය සතර මහා භූතයන්ගෙන් හැදුනේ මවුපියන්ගේ සම්බන්ධය නිසා උපන්නේ, බත්වලින් හා බීජවලින් වැඩුණේ නිතර සෝදන පිරිසිදු කර, එනමුත් බිඳෙන 

වැනසෙන ස්‌වභාවයටම උරුම ඇත්තේ වේද, එම සිරුර මේ ලෝකයේම කවුඩෝ කති. ගිජුලිහිණියෝ හෝ කති. උකුස්‌සෝ හෝ කති. සුනඛයෝ හෝ කති. සිවල්ලු හෝ කති. නොයෙක්‌ ආකාරයේ ප්‍රාණීන් හෝ කති.'

'මහානාම, යම් සේ බලවත් පුරුෂයෙක්‌ ගිතෙල් කළයක්‌ හෝ තෙල් කළයක්‌ හෝ ගැඹුරු දියවිලකට දමා බිඳින්නේද එහි යම් කැට හෝ කැබැලිති හෝ වන්නේ නම් එය යටට යන සුළුවන්නේය. එම යම් ගිතෙල් හෝ තෙල් වන්නේ නම් එය උඩටම යන්නේ විශේෂත්ව පවතින්නේය. 

මහානාම ඒ ආකාරයෙන්ම යම්කිසිවකුගේ සිත දිගු කලක්‌ මුළුල්ලෙහි සැදැහැයෙන් හාත්පසින් වඩනා ලද්දේද, සිත දිගු කලක්‌ මුළුල්ලේ සීලයෙන් හාත්පසින් වඩනා ලද්දේද, සිත දිගුකලක්‌ මුළුල්ලෙහි ශ්‍රැතයෙන් හාත්පසින් වඩනා ලද්දේද, සිත දිගු කලක්‌ මුළුල්ලේ ත්‍යාගයෙන් හාත්පසින් වඩනා ලද්දේද, සිත දිගු කලක්‌ මුළුල්ලේ ප්‍රඥාවෙන් වඩනා ලද්දේද, එම සිත උඩටම එනම් සුගතියටම යන්නේය. විශේෂයකට යන්නේය. එනමුත් රූපවත් ශරීරය, සතර මහා භූතයන්ගෙන් සැදුනේ මවුපියන්ගේ සම්බන්ධය නිසා උපන්නේ. බත් හා බීජ හා වැඩුන, නිරතුරු සෝදන, පිරිමදින, වැනසෙන ස්‌වභාවයම උරුමකොට ඇත්තේ මෙලොවදීම කවුඩෝ හෝ කති. ගිජුලිහිණියෝ හෝ කති. උකුස්‌සෝ හෝ කති. සුනඛයෝ හෝ කති. සිවල්ලු හෝ කති. නොයෙක්‌ 

ආකාරයේ ප්‍රාණීහු හෝ කති. නුඹගේ මරණය පාපී නොවන්නේය. කාලක්‍රියාව පාපී නොවන්නේය යනුවෙනි.

අපගේ ජීවිතවල නිරතුරුව ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, වාග, ප්‍රඥ පුරුදු කරන්නේ නම් සිත ඒ අනුව හුරුවන්නේය. සිත ඒ දෙසටම නැඹුරුව පවතින්නේය. උපමාවකට සඳහන් කළොත් ගංගාවක්‌ හෝ මුහුද දෙසට නැමී තිබෙන ගසක්‌ මහා සුළඟකදී වුවද නැමී, හැරී තිබෙන ගංගාවක්‌ හෝ මුහුද දෙසට වැටෙන්නා සේය. යම් විටෙක, මහානාම ශාක්‍යයන් සඳහන් කා සේම ඔබගේ සිතද ගෘහස්‌ථ සහ සමාජ ජීවිතයේදී යම් යම් අවස්‌ථාවල නොසන්සුන් විය හැකිය. රාගයෙන්, ආලයෙන්. ද්වේෂයෙන්. වෛරයෙන්, ක්‍රෝධයෙන් සමන්විත වියහැකිය. ලෝභය ඉස්‌මතු වන අවස්‌ථා පැවැතිය හැකිය. 

එනමුත් ජීවිතයේදී වඩාත් පුරුදු කරන ලද ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, වාග, ප්‍රඥ ගුණ විසින් ඔබ වහා කුසල් මඟට සහ සන්සුන් ස්‌වභාවයට ගන්නවා ඇත. තමා බුද්ධ ශ්‍රාවකයෙක්‌ හෝ ශ්‍රාවිකාවක්‌ නොවේදැයි වහා මතක්‌ වන විට සිත සන්සිඳෙනවා ඇත. සිතේ හටගත් ලෝබ, දොaස, මෝහ ආදී කෙලෙස්‌වල පාපී බව සහ භයානක වූ විපාක ඇති බව සිහිවෙනවා ඇත. එවිට අකුසල් සිත මැඩ පවත්වාගෙන, ජීවිතයේ වඩාත් පුරුදු කරන කුසල සිත, බලවත් ලෙස ඉදිරියට පැමිණෙනවා ඇත. මතුවෙනවා ඇත. කර්මය පිළිබඳ විස්‌තරයේදී යම් පුද්ගලයෙක්‌ විසින් සිදුකළ හෝ සිදුකරන ආසන්නම කර්මය චුති චිත්තයට අරමුණුවීමෙන් ඊළඟ උපත සිදුවෙයි. එම විස්‌තරයට අනුව ඒ 

මොහොතේ සිදුකරන ලද පාප කර්මයක්‌ වේ නම් ආසන්න කර්මය ලෙස චුති චිත්තයට අරමණු විය හැකිය. 

ඒ අනුව ඊළඟ උපත පාපී හෙවත් දුගතියක ඉපදෙනවා ඇත. එනමුත් බලවත් ලෙස සිත ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, චාග, ප්‍රඥ ඔස්‌සේ පුරුදුකොට ඇත්තේ නම් 

ඉක්‌මනින්ම දුගතියෙන් අත්මිදීමට අවස්‌ථාව සැළසෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීම අනුව, අප විසින් මනා ලෙස ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, වාග, ප්‍රඥ පුරුදු කිරීම නිසා කවර නොසන්සුන් පරිසරයකදී වුවද, අපගේ මනස ශ්‍රද්ධා සීලාදී ගුණයන්ගෙන් බැහැරව යා නොදී පවත්වාගත හැකිවනු ඇත. සතර සතිපට්‌ඨානයෙන් උගන්වන්නේ එයයි. අනිච්ච, දුක්‌ඛ, අනත්ත නම්වූ ත්‍රිලක්‌ෂණ ධර්මය අවබෝධ කර ගැනීමෙන් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. නිවනින්ම නිවේවා.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X