සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

බුදුදහම සර්ව අශුභවාදීද?


දීගල්ලේ සෝමවංශ හිමි, 
නක්‌කාවත්ත ජාතික පාසල

සෞන්දර්ය යනු සුන්දරත්වයයි. මෙය කලාව ලෙසින්ද රසය ලෙසින්ද, හැඳින්විය හැකිය. සුන්දර බවට නිතැතින්ම අප නෙත සිත ඇදී බැඳී යන්නේය. යම් දෙයක්‌ සිත් ඇද බැඳ ගන්නේ නම් එය සුන්දරත්වය ලෙසින් සැලකිය හැකිය. සෞන්දර්ය ලෙස සංගීතය, කලාව, නාට්‍යය, නැටුම, ගීතය, ගායනය, කවි, මූර්තිය, කැටයම මෙන්ම පරිසරයේ සෑම දෙයක්‌ම සුන්දර වස්‌තුවක්‌ ලෙස ගත හැකිය. සුන්දරත්වයට මුල් තැනක්‌ ලබාදෙන යම් දෙයක්‌ වේ නම් එය සෞන්දර්ය අංගයක්‌ සේ සැලකිය හැකිය. සුන්දරත්වය කෙතරම් අගය කරන්නේද යත් සෑම මිනිසෙක්‌ම සෑම සත්වයෙක්‌ම සුන්දර පරිසරයට ගැබ්ව ඇති වස්‌තූන්වලට ඇලුම් කරති. අද අධ්‍යාපනය තුළද සෞන්දර්යය, කලා ලෙස වෙනමම විෂයක්‌ ලෙස කුඩා කල සිටම ප්‍රගුණ කළ යුතු බව අධ්‍යාපනඥයන් පවා පිළිගෙන ඇති කරුණකි.

ලොව ඇති සොඳුරු දේවල් පිළිබඳ අප ගත සිත ඇදී යන බව නොරහසකි. ඒකාකාරීව දිවි ගෙවන්නන් පවා ඉඳහිට තම දෛනික ජීවන රටාව මොහොතකට වෙනස්‌ කරමින් විනෝදාස්‌වාදය ලබන්නේද මෙබඳු සොඳුරු දසුන් නැරඹීම තුළිනි. සුන්දරත්වය විඳීමෙනි. මෙයට හේතු වන්නේද පුද්ගල සිත නිරන්තරයෙන්ම සුන්දරත්ව දෙසට ඇදී යාමයි.

සුන්දරත්වය එසේ වුවද බුදුදහම තුළ සුන්දරත්වය හෝ සුන්දරත්වය රස විඳීමක්‌ දැකිය නොහැකි බව විවිධ පෙරදිග මෙන්ම බටහිර වියතුන්ගේද මතයවී ඇත. තවදුරටත් ඔවුන් සඳහන් කරන්නේ බුදුදහම තුළ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ලක්‌ෂණ පිළිබඳ මෙනෙහි කරමින් පුද්ගලයාට දුක පිළිබඳවම පමණක්‌ ඉගැන්වෙන ලෝකයේ අසුබ ලක්‌ෂණ පළිබඳවම පෙන්වා දෙන බවයි. එම අදහස සමහර බෞද්ධයන් තුළද දැකිය හැකිය. බුදුදහම ගැඹුරින් අධ්‍යයනය නොකිරීමට බෞද්ධයන් නොපෙළඹීමට එය එක්‌ හේතුවක්‌ සේ සැලකිය හැකිය.

බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ නිවන හෙවත් නිවීම සඳහාය. නිවන යනු සියලු කෙළෙසුන්ගෙන් හෙවත් බැඳීම්වලින් මිදීමයි. එහිදී පුද්ගලයා එම මගට පිවිසිය යුතුය. ලොව යථාර්ථය නම් වෙනස්‌වීමයි. විනාශයයි. ජරාවට, ව්‍යාධියට, මරණයට පුද්ගලයා ගොදුරුවීමයි. එය ස්‌වභාවිකය. පුද්ගල සිරුර නිරන්තරයෙන්ම විනාශයට පත්වන්නකි.එම යථාර්ථය අවබෝධ නොකරගන්නා තාක්‌ මෙම දුකෙහිම ඇලී ගැලී ජීවත්වීමට සිදු වේ. එම දුකම දායාද කරගනියි. දුක වැඩිවනවා මිස දුකින් මිදීමක්‌ නම් නොමැත. බුදුදහම ප්‍රධාන වශයෙන්ම පුද්ගලයා යථාර්ථයට ගෙන යන දහමක්‌ බව වත්මන් මුළු ලොවම පිළිගෙන ඇති කරුණක්‌ය.

මිනිසාට යථාර්ථය කියාදෙන බුදුදහම සුන්දරත්වය හා රස වින්ඳනය පිsළිබඳවද දේශනය කොට ඇත. සුන්දරත්වයෙන් හා රස වින්දනයෙන් මිනිසා ඈත්කොට නොමැත. කෙටියෙන් පවසතොත් බුදුදහම යනු අතිශය සුන්දර දර්ශනයකි. ප්‍රතිපදාවකි. එම සුන්දරත්වය තුළින් නිවන කරා යොමු කෙරෙන දර්ශනයකි. බුදුදහම යනු අනිත්‍යය, දුක්‌ඛ, අනාත්ම යන ත්‍රිලක්‌ෂණයම පමණක්‌ වඩන පුද්ගලයා පුද්ගලයා දුකෙහිම ගිල්වා තබන පරාජිත, අකර්මණ්‍ය, දර්ශනයක්‌ සේ සමහරුන් සලකන්නේ ඔවුන්ගේ දැකීමේ හා දැනීමේ ප්‍රමාණය අනුවය. එසේ බුදුදහම දෙස බලන්නේ ඔවුන්ගේ නොදැනුවත්කම නිසාය. බුදුදහමේ මතුපිට කරුණු පමණක්‌ දැකීමෙන් නිගමනවලට එළඹෙන එබඳු පුද්ගලයන් හට කළයුත්තේ අනුකම්පා කිරීමයි. බුදුදහම ගැඹුරින් අධ්‍යයනය කරන්නකුට නම් බුදුදහමේ සුන්දරත්වය පිළිබඳ දැකගත හැකිය. බුදුදහම යනු සුන්දර දර්ශනයකි. බෞද්ධ දර්ශනය ගැඹුරින් අධ්‍යයනය කරන විට දැකගත හැකි වන්නේ බුදුදහම සුන්දරත්වයෙන් අනූන දර්ශනයක්‌ ලෙසයි.

එය එසේ තිබියදී බුදුදහම තුළ සුන්දරත්වය විවිධ අයුරින් වර්ණනා කර ඇති අවස්‌ථා දැකගත හැකිය. සුන්දරත්වය දැකීමට නම් හොඳ පිරිසිදු මනසක්‌ තිබිය යුතුය. දියුණු මනසක්‌ ඇතිකරගත යුතුය. උසස්‌ මානසිකත්වයක්‌ තුළින් සුන්දරත්වය විඳ ගැනීමේ ශක්‌තිය වැඩි වේ. සුන්දරත්වය උපරිම විඳින්නේ රහතුන් වහන්සේලාය.

බුදුරජාණන් වහන්සේ සුන්දරත්වය ආශ්වාදනය යථාර්ථය දැකීමට මඟ පාදා ඇත. ධම්මපද අටුවාවේ දැක්‌වෙන කදිම කතාවක්‌ ඇත. සැරියුත් හිමියන් තම ගෝලයා වන ස්‌වර්ණකාරක භික්‌ෂුවට කමටහන් ලබාදෙන අතර එම භික්‌ෂුවට කමටහන් වැඩීමෙන් ප්‍රතිඵල ලද නොහැකි වේ. කිහිප වතාවකදීම කමටහන් ලබාදෙන අතර එම කමටහන් තුළින් ප්‍රතිපල ලද නොහැකි වේ. ඉන්පසුව සැරියුත් හිමියන් තම ගෝලයා බුදුරජාණන් වහනසේ හමුවට රැගෙන යන අතර බුදුරජාණන් වහන්සේ ඔහුගේ ස්‌වභාවය දැනගෙන ඔහුව ඒ අසල ඇති පොකුණක්‌ අසලට යොමු කරවයි. එම පොකුණ අසලට යන එම භික්‌ෂුව පොකුණේ පිපී ඇති විසිතුරු නෙලුම් දෙස බලා සිටියි. ඒ අතර තිබූ පිපුණු නෙලුමකට සිත යොමුවන අතර එම නෙලුම්වල සුන්දරත්වයට සිත බැඳෙයි. එම නෙලුම දෙසම බලාසිටින විට එම නෙලුම පරවෙන අතර එම සුන්දරත්වය තුළින් ත්‍රිලක්‌ෂණය දකියි. නෙලුම පරවී ගියේ යම් සේද එලෙසම සිරුර ද විනාශ වන බව දකින එම භික්‌ෂුවට ලොව යථාර්ථය අවබෝධ වේ. එයම උන්වහන්සේට රහත්භාවය පිණිස හේතුවූ බව දැක්‌වේ.

මෙම කතා පුවත දෙස බලන විට බුදුදහම තුළින් සුන්දරත්වය බැහැරකර නොමැති බවත් සුන්දරත්වයට යොමු කරවමින් සුන්දරත්වය ආශ්වාදනය කරමින් එම සුන්දරත්වය තුළින්ම යථාර්ථයට යොමු කරන බව පැහැදිලි වේ. ඛේමා බිසව සුන්දරත්වය තුළින් යථාර්ථය දුටු තැනැත්තියකි. තම රූපය කෙරෙහි දැඩි ඇල්මෙන් සිටි ඇය බුදුන් කරා යැමද ප්‍රතික්‌ෂේප කරන්නේ බුදුරජාණන් වහන්සේ ඇයගේ රූපයට නිග්‍රහ කරන බවත්, ලෝකයේ අගුණ කියන නිසාත් යනු ඛේමාවගේ අදහසයි. ඇයගේ රූපය නිසා ඇය උඩඟු වී සිටි අතර කෙසේ හෝ ඇය බුදුරජාණන් වහන්සේ අභියසට යන අතර ඉතාමත් ලස්‌සන රුවක්‌ ඇති සුන්දර කාන්තාවක්‌ පවන් සලමින් සිටියි. එම ලස්‌සන රූපය දෙස ඇසිපිය නොහෙලා බලා සිටින අතර එම රූපය කෙමෙන් වෙනස්‌ වන රූපය දෙස සිත බැඳී යයි. ලොව යථාර්ථය තේරුම් ගනියි.

මෙයින් අපට පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ ඇස, කන, නාසය, දිව, සිරුර යන පංච ඉන්ද්‍රියයන් තුළින් භාවයන් ප්‍රකෝප කරවන අසංවර රසාස්‌වාදයන්ට පුද්ගලයා යොමු නොකරවන බවයි. බුදුදහම තුළින් භාවයන් සන්තර්පනය කරවන පුද්ගල සිත නිවන සෞන්දර්යයන් කරා යොමුකරවන බව දැකගත හැකි උදාහරණ මුළු ත්‍රිපිටක සූත්‍ර අධ්‍යයන කිරීමේදී දැගත හැකිය. 'රුණ්‌ණමිදං භික්‌ඛවේ අරියස්‌ස විනයෙ ගීතං, උම්මත්තකමිදං අරියස්‌ස විනයෙ නච්චං'

ගීතය යනුවෙන් හඳුන්වන්නේ හැඬීමක්‌ ලෙසත් නැටීම උමතු අයකුගේ ක්‍රියාදාමයක්‌ ලෙසත් දැක ඇත. බුදුදහමේ ප්‍රතිඵල ලබා ගැනීමට නම් ඒ තුළ සුන්දරත්වය තිබිය යුතුමය. සැබවින්ම බුදුදහම යනු ඉතා සුන්දර වූ දර්ශනයකි. මෙහිදී ලෞකික සුන්දරත්වය තුළින් මිනිසා අධ්‍යාත්මය කරා ගෙනයයි. සෞන්දර්යයේ කොටස්‌ දෙකක්‌ ඇත.

1. ආධ්‍යාත්මික දර්ශනය

2. භෞතික ලෝකයේ පවතින සුන්දරත්වය

සුන්දරත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේදී සම්බුද්ධත්වය යනු සුන්දරත්වයේ අග්‍රම ඵලයයි. මහා අභිනිෂ්ක්‍රමණය තුළින් සිදුහත් බෝසතාණන් තවුස්‌දම් රැකීම සඳහා තෝරාගත්තේද එබඳුම වූ සුන්දර ස්‌ථානයකි.

'රමණීයො එස භූමිභාගො, පාසාදිකො ච වනසණ්‍ෙඩො, නදී ච සන්දති. සේතකා සුපතිත්ථා රමණීයො'

මැනවින් වැඩුණු වන ලැහැබක්‌ ඇත. එම වනය මැදින් ගලාබසින නිල් ජලධාරාවකින් හා නදියකින් යුක්‌ත වන ගඟ දෙපස පිරිසිදු සුදෝසුදු වැලිතලාවෙන් වනාන්තරයේ ගස්‌වැල්වල පිපුණු කුසුමින් යුතුවන හෙයින් ඉතාමත් සිත්කළුය. වන ලැහැබේ සිටින සතුන්ගේද වනය මැදින් හමා යන සිසිල් සුළඟෙන්ද සිත පබුදු කරවන හෙයින් මෙය බවුන් වඩන යෝගාවචරයකුට නම් ඉතාමත් සුන්දර වූ ස්‌ථානයක්‌ බව සිතා එහිම නතරවූ බව මනි අරියපරියේසන සූත්‍රයේදී සඳහන් කොට ඇත.

යම් කලාවක්‌ සුන්දරත්වයක්‌ රසවින්දනය කරනුයේ තම තමන්ගේ සිතේ ඇති අත්දැකීම්වලට අනුව වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත.

'නතෙ කාමානි චිත්‍රානි ලොකෙ සංකප්ප රාගො පුරිසස්‌ස කාමො'

පුද්ගලයා යම් දෙයක්‌ දෙස බලා ඒ පිළිබඳව නිගමනය කරමින් රස වින්දනය කරන්නේ තම තමන්ගේ සිතේ තිබෙන රාගී ෙච්තනාව අනුව වන බවත් එම ෙච්තනාව පෙරටුකරගෙන බලන විට එම කලාවන් දෙස පෙනෙන්නේද, රාගී ලෙසයි. එය එම වස්‌තුව තුළ තිබෙන වරදක්‌ නොව පුද්ගලයා සිතන ආකාරයේ වරදක්‌ බව පෙන්වාදී ඇත.

එසේම සුන්දරත්වය උපරිමයෙන් වින්දනය කරන්නේ රහතුන්ය. උන්වහන්සේලා ඒ දෙස වීතරාගීව දකියි.

රමණීයානි අරඤ්ඤනී 

යත්ථ න රමතී ජනෝ

වීතරාගා රමෙස්‌සන්තී 

නතේ කාම ගවේසිනෝ

රමණීය වූ වනාන්තර ඇසුරු කරමින් එහි සුන්දරතවය වින්දනය කරමින් වනාන්තර ගහකොළ, ඇළ=දොළ, ඇසුරු කරමින් ඒ කෙරෙහි වීතරාගීව සිත් අලවා වාසය කරන්නේ රහතුන්ම වන බව ධම්මපදයේ අරහන්ත වග්ගයෙන් පැහැදිලි වේ.

බෞද්ධ දර්ශනය තුළ විවිධ දේශන තුළ සුන්දරත්වය ගැබ්වී ඇති දේශනාවක්‌ දැකගත හැකි වන අතර බුදුදහම යනු සුන්දරත්වයෙන් අනූන දර්ශයනකි. නමුත් බුදුදහමේ අරමුණ වන්නේ පුද්ගලයා සුන්දරත්ය තුළ අතරමං කරවීම නොව එම ලෞකික සුන්දරත්වයේ නිස්‌සාරත්වය අවබෝධ කොගෙන ඒතුළින් ලොකෝත්තර සුන්දරත්වය කරා පුද්ගලයා යොමු කරවීමයි.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X