සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

වස්සානයයි සිවුරේ කථාවයි

චීවර යනු පාලි වචනයයි. සිවුර යනු එහි සිංහල ව්‍යවහාරයයි. එය භික්ෂූන් වහන්සේලා පරිහරණය කළ විශේෂිත වූ වස්ත්‍රයයි. එහි අර්ථයට අනුව චීර යනු කැබැල්ලයි. ඒ අනුව කැබලි එකතු කර සකස් කර ගත් වස්ත්‍රය චීවර නමින් හඳුන්වයි
බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන් උදෙසා අනුමත කළ සිවුරු වර්ග තුනක් වේ.
1.පාංසුකූල චීවරය 
2. ගහපති චීවරය 
3. කඨික චීවරය
තැන් තැන්වල විසිකර දමා තිබෙන හෝ වැටී තිබෙන රෙදි කැබලි එකතු කොට සෝදා පිළිවෙළකට අමුණා මසාගත් සිවුරු පංසුකූල සිවුරු නමින් හඳුන්වයි. මුල් යුගයේ වැඩ විසූ භික්ෂූන් වහන්සේලා මෙම සිවුරු පරිහරණය කළහ.
ගිහියන් විසින් මසා පූජා කරන සිවුර හා නොමසා පුජා කරනලද රෙදිවලින් සකසාගත් සිවුරු මේ නමින් හඳුන්වයි.
භික්ෂුවක් වස් සමාදන් වී මහා පවාරණය කළ පසු තුන් සිවුරට අමතරව භාර ගැනීමට අනුමැතිය ලැබී ඇති සිවුරයි. මෙය පිළිබඳව ඊළඟ පරිච්ඡේදයෙහි කරුණු දැක්වෙන හෙයින් මෙහි සංක්ෂිප්තව තොරතුරු දක්වමු.
මහා වග්ගපාළියට අනුව බුදුරජාණන් වහන්සේත් භික්ෂු සංඝයාත් පාංසුකූලික වස්ත්‍ර සිවුරු වශයෙන් පරිභෝග කළ බව පෙනේ.
“භගවා භන්තේ,පංසුකූලිකො, භික්ඛු, සංඝොච”
මේ අනුව සිවුර පිළිබඳව කිසිදු හැඟීමක් නූපදවා හුදෙක්ම සිවුර පරිහරණයෙහි මූලික අරමුණ ගැන පමණක් අවධානය යොමු කරමින් පාංසුකූලික වස්ත්‍ර පරිහරණයට යොමු වූ බව පෙනේ. ලජ්ජා භය සහිත වූයෙන් විලිබිය වසාගනු සඳහා ද උෂ්ණයෙන් වන පීඩාවන් දුරුකිරීම සඳහාද සීතලෙන් වන පීඩා දුරු කිරීම සඳහා ද මැසි මදුරු ආදි සතුන්ගෙන් වන කරදර නසනු සඳහාද සිවුරු පරිභෝග කළහ. එමගින් කිසිසේත්ම ලෞකික අරමුණක් ප්‍රකට වූයේ නැත. එහෙත් කලියෙන්ම බුදුරජාණන් වහන්සේ ගහපති චීවරය අනුමත කළහ. දිනක් ජීවක කෝමාරභච්ච තෙමේ බුදුන් වහන්සේ වෙත පැමිණ වරයක් ඉල්ලුවේය. තමාගේ රෝගීන් සුවපත් කිරීමේ කුශලතාවය ඇගයීම සඳහා පරජ්ජෝන රජු විසින් සීවෙයචක වඩිනු යුගලයක් දෙන ලදී. එය බොහෝ වස්ත්‍රයන්ට ලක්ෂ ගණන් වස්ත්‍ර යුගලයන්ට වඩා අතිශයින් ශ්‍රේෂ්ඨ ද උතුම් ද වේ. එම වස්ත්‍ර යුගලය පිළිගන්න අනුමැතිය ලබා දෙන ලෙස ජීවක කෝමාරභච්ච විසින් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේය. එම කාරණය ගැන අවධානය යොමු කළ උන්වහන්සේ එය අනුමත කළහ.
“අනුජානාමි භික්ඛවේ, ගහපති චීවරං යො ඉච්ඡති පංසුකූලිකො
හොතු, යො ඉච්ඡති ගහපති චීවරං සාදියතු. යනුවෙන් බුදුන් වහන්සේ ගහපති චීවරය අනුමත කළහ. යමෙක් කැමැති නම් පංසූකූලික වේවා යමෙක් කැමති නම් ගහපති චීවරය ඉවසාවා, මහණෙනි, කුදු මහණ අගය ඇති යම් කිසිවකින් ලද දෙයම සතුටු වීම වර්ණනා කරම් යැයි තවදුරටත් පැහැදිලි කළහ. මෙයත් සමඟම භික්ෂූන් වහන්සේලාට ගහපති චීවර බහුලව ලැබුණේය. එයට අමතරව පොරෝණා සළු, පටපණු නූලෙන් කළ පොරෝණ, සළු හා කොඳු පලස් ආදියද ලැබුණේය.මෙසේ භික්ෂූන් වහන්සේලා තම රුචිකත්වය අනුව ගහපතී චීවර හෝ පංසුකූලික වස්ත්‍ර හෝ දැරීමට නිදහස ලැබුණේය. මෙම ප්‍රඥප්තින් සමඟ භික්ෂූන් වහන්සේට අගය ඇති නැති සිවුුරු ලැබුණේය. එසේම කවරක් සිවුරු භාග්‍යවතුන් වහන්සේ විසින් අනු දක්නා ලද කවර සිවුරු භාග්‍යවතුන් වහන්සේ විසින් නොඅනු දක්නා ලදැයි ගැටලුවක් ඇති විය. එම කරුණු බුදුරදුන් වහන්සේට දන්වන ලද අතර එහිදී සිවුරු වස්ත්‍ර හයක් අනුමාන කළහ.
”අනුජානාමි භික්ඛවෙ. ඛ්චීවරානි, ඛොමං තප්පාසිතං කොසෙය්‍යං කමබලං සාණං භංගං ති”
මෙම ශික්ෂාපදයට අනුව සිවුරු වස්ත්‍ර හය මෙසේය.
1.ඛොමං –කොමු පිළි
2.කප්පාසිකං – කපු පිළි
3.කොසෙය්‍යං –පට පිළි 
4.කමබලං – කම්බිලි 
5.සාණං – හණවැහැරී පිළි 
6. භංගං –මේ පස් නූලෙන් මුසු පිළි
මෙම වස්ත්‍ර වලින් කළ සිවුරු ද ගහපති සිවුරුද, පංසුකූල සිවුරුද වශයෙන් සිවුර වර්ග කිහිපයක් උපන්නේය. එහිදී උද්ගත වූ ගැටලුව වූයේ කවර සිවුරක් දැරීම උචිත ද නොඑසේ නම් යමෙක් සිවුර වර්ග දෙකක් පරිභෝග කිරීම ගැළපේද යන්නයි. ඒ අනුව බුදුන් වහන්සේ වදාළේ යමෙක් ගෘහපති චීවරය ඉවසන්නාහු විසින් පංසුකූල සිවුරු ඉවසන්නටද සුදුසු බවත් ඒ දෙකින්ම සතුටු වීම අනුමත කරන බවත්ය.
සිවුරේ සැකැසීම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ අවධානය යොමුවිය. ඒ අනුව දිනක් භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සිට දක්ෂිණාගිරිය දක්වා චාරිකාවෙහි වැඩියහ. ඒ අතරතුර මගධ ක්ෂේත්‍රය දුටහ. එහි ස්වභාවය සිවුරෙහි සැකැස්මට ඉතාම යෝග්‍ය වූයෙන් මෙබඳු ලක්ෂණයන්ගෙන් යුක්ත වූ හෙයිනි.
”අද්දසා ඛො භගවා මගධකේඛනහං අචවිබද්ධං පාලිබද්ධං මරියාදබද්ධං සිංඝාටකබද්ධං”
ඒ අනුව මගධ ක්ෂේත්‍රය ඝනරැස් ලියදි බැන්දා වු දිගින් හා පළලින් මහමියර බැන්දා වූ අතරතුර කුඩා මියර බැන්දා වු සතර හන්දි බැන්දා වූ එකක් විය.එය ආනන්ද තෙරුන්ට පෙන්නුවේය. ඒ අනුව සිවුරු කපා මැසීමට මෙසේ උපදෙස් දුන්හ.
“උස්සහසි ත්වං ආනන්ද, භික්ඛුනං එවරූපානි චීවරානි සංවිදහිතුනනි” උසස්හාමි භගවානි “
එසේම සිවුරක තිබිය යුතු විවිධ කොටස් ද තවදුරටත් මෙසේ පැහැදිලි කර ඇත.
”කුසිමපි නාම කරිස්සති, අඩඨකුසිටම්පි නාම කරිස්සති,මණ්ඩලමවි නාම කරිස්සති, අඩඨමණ්ඩලම්පි නාම කරිස්සති, විවට්ටමපි නාම කරිස්සති, අනුවිවට්ටම්පි නාම කරිස්සති, ගී වෙය්‍යකම්පි නාම කරිස්සති, ජඬෙඝය්‍යමකම්පි කරිස්සති, බාහන්තම්පි නාම කරිස්සති”
1 .දීගනුවාව -දිග් අතට ඇති සිවුරෙහි වාටිය 
2. කෙටිනුවාව – පහළට ඇති සිවුරෙහි වාටිය 
3. ලොකුකඩ – සිවුරෙහි ඇති විශාල කොටු 
4. කුඩා කඩ – සිවුරෙහි ඇති කුඩා කොටු 
5. වස් අන්ත – සිවුරෙහි මැද කොටස 
6. ඇළ අතු –වසා අන්තේ දෙපස ඇති කොටස් 
7. ගී වෙය්‍ය – ගෙළ පටි හෙවත් බෙල්ල ආසන්නව සිටින කොටස 
8. ජඩෙගය්‍ය – පාදයේ කෙණ්ඩා මත ගෑවෙන කොටසෙහි පිහිටි පටිය 
9. බාහන්න – නූවා අතු හෙවත් බාහුව මත සිටින කොටස

මෙසේ සිවුර සැකසීමේ අරමුණ කිහිපයක් දැක්විය හැකිය
1. ඡන්නකං – කැබලි වලට කැපීම 
2. සත්ථලුඛං – ආයුධයෙන් කැපු හෙයින් රළු වීම 
3. සමණසාරුප්පං – පැවිද්දන්ට සුදුසු වීම 
4. පච්චත්ථික්‍යාංච අනභිජක්ධිතං පසමිතුරන් විසින් නොපැතීම

මෙම කරුණු සතරින් ගම්‍යමාන වන්නේ සිවුරේ විවිධ කොටස් ඇතිව සකස් කරන ලද්දේ එහි ආරක්ෂාව සඳහා බවයි. කැබලිවලට වෙන් කිරීමෙන් එහි අගය හීන වේ. එමගින් සිවුර පරිහරණය කරන්නාට එහි ඇලීමක් ඇති නොවන අතර අන් අයකුට එයින් ප්‍රයෝජනයක් ගත නොහැකි වේ. සුවපහසු වස්ත්‍රයක් හැදීමෙන් භික්ෂූ ජීවිතයේ අරමුණට බාධා පැමිණේ. ආයුධයකින් කැපවීමෙන් වස්ත්‍රයෙහි සුව පහසුව නැති වීමෙන් එහි හුදෙක්ම රළු බව ඇතිවේ. මේ නිසා වස්ත්‍ර පරිභෝග කරන්නාට ඒ පිළිබඳව ආශාවක් ඇති නොවේ. එහෙයින්ම එම වස්ත්‍රය සියලු දුක් නැති කිරීමෙන් නිවන සාක්ෂාත් කරන භික්ෂුවට ඉතාමත් යෝග්‍යය. මෙය දැරිමෙන් එම ගමන තවදුරටත් වහා අවසන් කළ හැකිය.
භික්ෂූන් වහන්සේලාට බහුල වශයෙන් සිවුරු ලැබෙන්නට විය. මිනිස්සු සිවුරු ගෙන ආරාමවලට පැමිණියහ. එම සිවුරු පිළිගන්නෙකු නොවුයෙන් යළිත් සිවුරු රැගෙන නිවෙස්වලට ගියහ. ඒ නිසා සිවුරු පරිභෝගයන් සමඟ විවිධ තනතුරු ඇති විය. එය හුදෙක්ම සිවුරු පරිභෝගයේ ආරක්ෂාව සඳහා විය. එම විවිධ තනතුරු ස්ථාන හා ඒවායෙහි ස්වභාවය මෙසේ දැක්විය හැකිය.
1. චීවර පටිග්ගාහක
යම් භික්ෂුවක් ඡන්දයෙන් අගතියට නොයන්නේ ද ද්වේශයෙන් අගතියට නොයන්නේද මෝහයෙන් අගතියට නොයන්නේ ද බියෙන් අගතියට නොයන්නේද ගත් නොගත් දෙය දන්නේද එබඳු කරුණු පහකින් යුක්ත භික්ෂුව චීවර පටිග්ගාහක හෙවත් සිවුරු පිළිගන්නකු බවට පැමිණීම අනුකූලය.
2. චීවර නිදහකට
චීවර පටිග්ගාහක භික්ෂුව සිවුරු පිළිගෙන සිවුරු එහිම හැර දාම ගියේය. ඒවා තැන්පත් කිරීමක් නොවුයෙන් සිවුරු තැන්පත් කරන්නෙකු අනුමත කළ අතර ඔහුද කරුණු පහකින් යුක්ත විය යුතුය. ඔහුද ඡන්දයෙන් අගතියට නොයන්නේද ද්වේශයෙන් අගතියට නොයන්නේද, බියෙන් අගතියට නොයන්නේද මෝහයෙන් අගතියට නොයන්නේද තැන්පත් කළ නොකළ දෙය දන්නේද එබඳු වූ භික්ෂුව සිවුරු තැන්පත් කරන තනතුරට සුදුසුය.
3. භාණ්ඩාගාරයක් සම්මත කිරීම
සිවුරු තැන්පත් කරන භික්ෂුවට ඒ සඳහා යෝග්‍ය ස්ථානයක් නොවීය. ඒ නිසා භාරගත් සිවුරු මණ්ඩපවල , රුක් මුල්වල, අගුවල තැන්පත් කළ අතර ඒ නිසා එම සිවුරු වේයන්, මීයන් කෑහ. ඒ නිසා බුදුන් වහන්සේ වෙහෙරක්, අඩ පියසි ගෙයක් හෝ සිවුු ගෙයක් හෝ සඳලු සහිත ගෙයක් හෝ ගුහාවක් හෝ භාණ්ඩාගාරයක් වශයෙන් අනුමත කළහ.
4. භාණ්ඩාගාරික තනතුර
භාණ්ඩාගාරියෙහි සිවුරු ආරක්ෂිත නොවුයෙන් ඡන්ද දෝස භයාදි සතර අගතියට නොපැමිණි රකින නොරකින ලද දේ දන්නා වු භික්ෂුව භාණ්ඩාගාරික තනතුරට පත්විය. සමහර භික්ෂූහු භාණ්ඩාගාරිකයා පහ කළේය.යමෙක් ඔහු පහකරන්නේ ද එම භික්ෂුවට දුකුලා ඇවැත් වේ. මින් පසු ලැබූ සිවුරු බෙදාගන්නටද භාග්‍යවතුන් වහන්සේ අවකාශ ලබා දුන්හ.
5. චීවර භාජක තනතුර
එසේ භාණ්ඩාගාරයට ලැබුණූ සිවුරු බෙදීම සඳහා සතර අගතියට නොපැමිණි බෙදු නොබෙදු දෙය දන්නා වූ භික්ෂුව ඒ සිවුරු බෙදන්නකු හෙවත් චීවර භාජක තනතුරට සුදුසු බව දැක්වූහ. එකළ භික්ෂූන් වහන්සේලා තමාට ලැබුණු වස්ත්‍ර ගොම හා පඬු වර්ණ මැටියෙන් පඬු පෙවීමෙන් වහා දුර්වර්ණ වූයෙන් සිවුර සඳහා වර්ණයක් නියම කරන්නට සිදු විය. කැබලි එකතු කර සකස් කර ගත් සිවුර එකම පැහැයක් ගැන්වීම සඳහා එකම වර්ණයක් ගැන්වීම සඳහා පඬු පොවනු ලැබේ .සිවුර පඬු පෙවීම සඳහා පඬු වර්ග හයක් භාග්‍යවතුන් වහන්සේ අනුමත කර ඇත්තාහ.
“අනුජානාමි භික්ඛවෙ. ඛ් රජනානි, මූල රජනජ ඛන්ධරජනං 
නචරජනං පන්තරජනං,පුපථරජනජ, ඵලරජනං”
එනම්, 1.මුල් පඬු, 2. දඬු පඬු 3.පොතු පඬු 4. කොළ පඬු 54. මල් පඬු 6. ගෙඩි පඬු
එහෙත් ජබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා විවිධ වර්ණයෙන් යුතු සිවුරු පරිභෝග කළ හෙයින් පඬු පෙවීම සඳහා නොගත යුතු වර්ණ ද දැක්වේ.
1.නිල්, 2.දම් 3.කොළ 4. රෝස 5. කළු 6. තද රතු 7. තද කහ
මෙම වර්ණයන් සිවුරු පඬු පෙවීමට භාවිතා නොකරයි.සිවුරේ පැහැය විය යුත්තේ පඬු පැහැයයි. එය වීරාගි බවෙහි සංකේතයයි. සිවුර පඬු පෙවීමත් උපකරණ භික්ෂූන් වහන්සේලාගේ පරිහානියට යෝග්‍ය බව අනුමත කළහ.
1.පඬු පිසින උදුනක් 2. පඬු සැළියක් 3. පඬු කිණිස්සක් 4.පඬු හැන්දක් 5.පඬු කළයක් 6.පඬු ඔරුවක්
ආදිය වරින් වර අනුමත කළහ. මේ නිසා භික්ෂූන් වහන්සේලා පඬු පෙවු මගධ ක්ෂේත්‍රය මෙන් සැකසූ සිවුරු පරිභෝග කළහ.
මෙම පසුබිම යටතේ සිවුරු බහුලව පරිභෝග ද භික්ෂූන් තුළ අල්පේච්ඡ බව නැති වී ගොස් බහුභාණ්ඩ තත්වයට පැමිණියේය. ඒ නිසා සමහර භික්ෂූහු සිවුරු පොදි ඔසවාගත් හිසෙහිද සිවුරු විසි කොට කරෙහිද සිවුරු විසිකොට උකුළෙහි ද තබා ඒ ගමන් කරන භික්ෂූන් විශාලාවෙහි සිටින බව බුදුන් වහන්සේ දුටහ. ඒ නිසා සිවුරු පරිභෝජනයෙහි සීමා තබන්නට සිත් විය. එහෙයින් තුන් සිවුරක් මෙස් අනුමත කළහ.
“අනුජානාමි භික්ඛවෙ නිචීවරං දිග – ණං සංඝාමිං 
එකචචියං උත්තරාසංගං, එකවචියං අන්තරාවාසකං”
මහණෙනි, මම දෙපටක් ඇති සඟල සිවුරුද එක් පටක් ඇති උතුරු සඟළ සිවුරුද, එක් පටක් ඇති අඳනා සිවුරුද අනුදනිමි” යනුවෙන් වදාළහ. මෙය වරදවා වටහාගත් භික්ෂූන් වහන්සේලා එක් තුන් සිවුරකින්ම ආරාමවෙහිද නවතුන් සිවුරකින් ගමෙහිද,අනෙක් තුන් සිවුරකින් නෑමෙහිද යෙදීමෙන් ඔවුන්ගේ අල්පේච්ඡ බව ඉක්මවා ගොස් සංකීර්ණත්වය පැමිණියේය. එහෙයින් අතිරේක සිවුරු දැරීම අනුමත නොකළහ.
එසේම අවස්ථානුකූලව විවිධ වස්ත්‍රයෙන් කළ සිවුරු මෙසේ අනුමත කළහ.
1.අලුත් වස්ත්‍රයෙන් හා වරක් සේදු වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති සඟල සිවුර 
2.එක් පටක් ඇති උතුර සඟල සිවුර 
3. එක් පටක් ඇති අඳනා සිවුර 
4.පැරණි වස්ත්‍රයෙන් කළ සිවුපටක් ඇති සඟල සිවුර 
5.පැරණි වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති උතුර සඟළ සිවුර 
6.පැරණි වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති අඳනා සිවුර 
7.පාංසුකූලයෙහි කැමති පමණ පට ඇති සිවුර 
8.කඩපිලෙන් අවුළා ගත් වස්ත්‍රයෙන් කළ සිවුර එසේම සිවුරෙහි අණ්ඩලීම ක්‍රම කිහිපයක් වශයෙන් දැක්වීය.

1.අග්ගළං – අණ්ඩලිම 
2.තුන්නං – නූලෙන් එල්ලීම 
3.ඔවට්ටිකං – වැට් කොට මැසීම 
4.කණ්ඩුසතං – හෙවත් කෑලිපිට කෑලි ඇල්ලීම 
5.දැළහී කම්මං – දැඩි කිරීම

මෙසේ සිවුරු පරිහරණ කළ අතර එහෙත් ජබ්බග්ගිය භික්ෂූහු විවිධ වර්ණ වලින් යුතු සිවුරුවලට අමතරව විනය නීති ඉක්මවා ගිය වස්ත්‍ර ද දැරූහ. එනම්
1. නොසිඳු දාවලු ඇති සිවුරු දැරීම 
2. දික් දාවලු ඇති සිවුරු දැරීම 
3. මල්කම්කළ දාවලු ඇති සිවුරු දැරීම 
4. පෙණසේ ගෙතු දාවලු ඇති සිවුරු දැරීම 
5. සැට්ට දැරීම 
6. හිස් වෙළුම් දැරීම

මෙහිදි බුදුරජාණන් වහන්සේ පැනවීම වූයේ ඒ සියල්ල දැරීම දුකුලා ඇවැත් වන බවයි.
”න භික්ඛවෙ සබ්බනීලකානි චීවරානි ධාරෙනනබ්බානි . න
සබ්බපීනකානි චීවරානි ධාරෙනබ්බානි. න සබ්බලොහිතකානි චීවරානි ධාරෙනබ්බානි, න සබ්බමඤ්ජෙට්ඨකානි චීවරානි ධාරෙනබ්බානි, න සබ්බ කණහානි චීවරානි ධාරෙත ‘බානි. න සබ්බ මහාරධගරත්තානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බපමහානාමතේහානි චිවරානි ධාරෙතබ්බපානි, න සබ්බමහානාමතේහානි චිවරානි ධාරෙතබ්බානි, න අච්ඡින්නදසානි චීවරානි ධාරෙ තබ්බානි, න දීසදසානි චීවරානි ධාරෙනබ්බානි. න පුප්ඵදසානි චීවරානි ධාරෙතබ්බානි. න ඵණදසානි චීවරානි ධාරෙතබ්බානි, න කකුචුකං ධාරෙතබ්බං ,නිරීටකං ධාරෙතබ්බානි, න වෙඨනං ධාරෙතබ්බං,යො ධාරෙය්‍ය ආපන්හි දුක්කටස්ස”
මේ ශික්ෂාපදයට අනුව පහත දැක්වෙන සිවුරු නො දැරිය යුතුයි. එනම්
1.සියල්ල නිල්පැහැති සිවුරු නො දැරිය යුතුයි 
2.සියල්ල රන්වන් වූ සිවුරු නො දැරිය යුතුයි 
3.සියල්ල රතු පැහැති සිවුරු නො දැරිය යුතුයි 
4. සියල්ල මදටිය පැහැති සිවුර නො දැරිය යුතුයි 
5. සියල්ල කළු පැහැති සිවුරු නො දැරිය යුතුයි 
6. සියල්ල රන්මෑපිට පැහැති සිවුරු නොදැරිය යුතුයි 
7. සියල්ල මුසුපැහැති සිවුරු නො දැරිය යුතුයි 
8. නොසිඳී දාවලු ඇතිසිවුරු නො දැරිය යුතුයි 
9. දික් දාවලු ඇති සිවුරු නො දැරිය යුතුයි 
10. මල් දාවලු ඇති සිවුර නො දැරිය යුතුයි 
11ත. පෙණ දාවලු ඇති සිවුර නො දැරිය යුතුයි 
12.අඟිය නො දැරිය යුතියි 
13. සැට්ය නො දැරිය යුතුයි 
14. හිස් වෙළුම් නො දැරිය යුතුයි

යමේ මෙම නො දැරිය යුතු සිවුරු දරන්නේ නම් දුකුලා ඇවැත් සිදුවේ.
සිවුරු පරිහරණ වැදගත් අංගයක් වශයෙන් වැසි සළුව දැක්විය හැකිය. මුල් යුගයේ භික්ෂූන් අතර වැසි සළුව භාවිතා නොවු අතර විශාඛා උපාසිකාවගේ ඉල්ලීම පරිදි අනුමත කළහ. විශාඛාවගේ ඇරයුම මත දානයට වඩින්නට භික්ෂූන් සූදානම් වීමට බොහෝ වේලාවක් ගතවිය. එයට හේතුව වූයේ ජේතවනයට වසින්නා වූ වැස්සෙන් භික්ෂූන්ගේ කය තෙමීමයි. ඉන්පසු භික්ෂූන් වහන්සේලා පසුදින බැහැර කළ සිවුරු ඇතිව කය තෙමූහ. අවසන සිරුරු සිහිල්කොට සුවපත් වු සිරුර ඇති භික්ෂූන් වහන්සේලා තම තමන්ගේ විහාරවලට වැඩියහ. මෙම කාරණය දුටු විශාඛා උපාසිකාව දන් වළදා අවසන් වු බුදුරජාණන් වහන්සේගෙන් වර අට්ක ඉල්ලීය. එයින් එක් වරයක් වූයේ වැසි සළුව පරිහරණ අනුමැතිය ලැබීමයි.
මෙසේ සිවුරු භාවිත සිවුරු ප්‍රයෝජනයට ගත නොහැකි කල්හි ඒවා විවිධ අරමුණූ විෂයෙහි යෙදෙව්වේය
1. දිරාගිය සිවුරුවලින් ඇතිරිලි තනා ගැනීම 
2. දිරාගිය ඇතිලිරි වලින් බිසිඋර තනා ගැනීම 
3. දිරාගිය බිසිඋරවලින් බිමට අතුරන බුමුතුරුණු තනා ගැනීම.
4. දිරාගිය බුමුතුරුණුවලින් පාපිස්නා බිසි තනා ගැනීම 
5. දිරාගිය පාපිස්නාවලින් දුවිලි පිසදමයි
6.පොළොව පිස දැමූ රෙදි කැබලි මැටි හා මිශ්‍රකර බිත්තිවල ආලේප කරයි. මෙසේ විවිධ සංශෝධනවලින් යුක්තව භික්ෂූන් වහන්සේලා භාවිතා චීවරය විවිධාකාර සංවර්ධනය විය. එය භික්ෂූ ජීවිතේ මූලික අරමුණ ආරක්ෂා වන පරිදි අනන්‍යතාවය සුරැකෙන පරිදි විවිධ වෙනස්කම්වලට යොමු විය. නමුත් එය පරම්පරාවෙන් පරම්පරාවට නොවෙනස්ව පැවත එම විශේෂ ලක්ෂණයකි.

සාරිපුත්ත මහරහතන් වහන්සේ

මේ විශ්වයේ යම්තාක් සත්ත්වයෝ ඇත්ද, යම්තාක් භවාග්‍රයන් ඇත්ද ඒ සියල්ලටම වඩා ලෝකයේ අග්‍ර වන්නේත්, ශ්‍රේෂ්ඨ වන්නේත් රහතන් වහන්සේලා ය. සම්බුදු සසුනේ පහළ වූ රහතන් වහන්සේ ගණනින් ප්‍රමාණ කිරීමට නො හැක්කේ ය. ඒ අපගේ ගෞතම සම්බුදුරජාණෝ ජීවමාන කාලයේදීත්, පිරිනිවන් පෑමෙන් පසුවත් ජම්බුද්වීපයේත්, සිරි ලංකා ද්වීපයේත්, දහම්ඝොෂ පැතිරගොස් කෝටි ප්‍රකෝටි ගණනින් මහරහතුන් බිහිවූ සේක. සියලු කෙලෙස් නැසූ, ගුණ ධර්මයන්ගේ පූර්ණත්වයට පත් ඒ මහරහතන් වහන්සේලාගේ ගුණස්කන්ධය කෙසේනම් ප්‍රමාණ කරන්න ද?
ගෞතම බුදුසසුනේ පහළ වූ රහතන් වහන්සේලා ගැන සිහිපත් කරද්දී නිරායාසයෙන්ම අපට සිහිපත් වන මහෝත්තම රහතන් වහන්සේ නමක් වූ "සාරිපුත්ත" මහරහතන් වහන්සේ පිළිබඳවයි.
මින් අසංඛෙයි්‍ය කල්ප ගණනකට පෙර "අනෝමදස්සී" සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදාළා. එකල සාරිපුත්ත මහරහතන් වහන්සේ "සරද" නම් ජටිල තාපසයෙකුව සිටියා. හෙතෙමේ පුරා දින සතක් පුරා "අනෝමදස්සී" බුදුරදුන් ප්‍රමුඛ ශ්‍රාවක පිරිසට උපහාර දක්වා මහත්ඵල මහානිශංස කුසල් උපදවා ගත්තා. ගෞතම සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ ගෞතම සසුනේ අග්‍රශ්‍රාවක බව පිණිස ම පෙර ලද කුසල් බලයද සහිතව බ්‍රාහ්මණ මහාසාර කුලයේ "සාරි" නම් බැමිණියගේ පුතු ලෙස උපත ලැබුවා. තීක්ෂණ ප්‍රඥා මහිමයක් සහිත ඔහු "උපතිස්ස" නම් වුණා. තුරුණු වියට පත් ඔහු තමා මෙන්ම බුදුසසුන අග තනතුරු පිණිස පින් පුරන ලද "කෝලිත" නම් සුහද මිතුරා සමඟ සතුටු වීම පිණිස සැණකෙළියකට ගියා. එහි සියලුදෙනා සතුටු වෙද්දී මේ ප්‍රඥාවන්ත තරුණයින් දෙදෙනා කථා වුණා “පි‍්‍රය මිත්‍රය, හැම දෙනෙකුගේ ම ජීවිත දිරාපත් වී වයසට යනවා. දරුණු රෝගාබාධයන්ට ලක්වෙනවා. කිසිදු භේදයකින් තොරව සියලුදෙනාම මියයනවා. එබඳු ජීවිත සහිතව මේ බොලඳ වූ සතුටුවීම් වලින් ඇති ඵලයක් නැහැ. එනිසා විමුක්තියක් සෙවිය යුතුයි.
ඉන්පසු දෙමිතුරන් විමුක්තියක් සොයා නොයෙක් ශ්‍රමණ තවුසන් සොයා ගියා. අවසානයේ "සංජය" නම් පරිබ්‍රාජකයාගේ ආශ්‍රයේ දී විමුක්ති මඟ සොයමින් වෙහෙසන අතරතුර, එක්තරා දිනයක "උපතිස්ස" තරුණයාට මාවතේ පිඬුපිණිස හැසිරුණු "අස්සජී" මහරහතන් වහන්සේගෙන් සම්බුදු රජුන්ගේ ශ්‍රී සද්ධර්මය සැකෙවින් අසන්නට ලැබුණා.
“යේ ධම්මා හේතුප්පභවා
තේසං හේතු තථාගතෝ ආහ
තේසංඛයෝ නිරෝධෝ
ඒවං වාදී මහා සමණෝ”
“හේතුන්ගෙන් හටගත් යම්තාක් දේ ඇද්ද, එම හේතුන්ද තථාගතයාණෝ අවබෝධ කළ සේක. හේතු නිරුද්ධ වීමෙන් ඒ සියල්ල නිරුද්ධ වී යයි. ඒ මහා ශ්‍රමණයාණෝ මෙබඳු දහමක් පවසයි.” නුවණැති උපතිස්ස තරුණයාට මේ සතරපද ගාථාව අසද්දීම දහම් ඇස පහළ වුණා. කෝලිත මිත්‍රයාටත් සංජය පරිබ්‍රාජක ආරාමයේ ශිෂ්‍ය වූ දෙසියපනහක් පිරිසටත් ඒ දහම පැවසූ උපතිස්ස තරුණයා ඒ පිරිසද කැටුව භාග්‍යවතුන් වහන්සේ සොයා ගියා.

බුදුරජාණන් වහන්සේ වදාළා “පින්වත් මහණෙනි, අර පැමිණෙන පිරිසේ මුලින්ම එන උපතිස්සයන් මාගේ සසුනෙහි සාරිපුත්ත ලෙස සහ ඒ අසලින්ම පැමිණෙන කාලවර්ණ කෝලිතයන් මාගේ අගසව් දෙනම බවට පත්වෙනවා.
දිනක් භාග්‍යවතුන් වහන්සේ හමුවට "දීඝනඛ" නම් තවුසෙක් පැමිණ වේදනාව ගැන දහම් සංවාදයක යෙදුණා. ඒ මොහොතේ සාරිපුත්තයන් වහන්සේ වැඩිසිටියේ භාග්‍යවතුන් වහන්සේ අසල පවන් සලමිනුයි. ඒ දෙසුම අවසන් වෙද්දී සාරිපුත්තයන් වහන්සේ සියලු කෙලෙස් නසා උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත්වුණා. අරහත්වයට පත් වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂු සංඝයා හට ධර්මාවබෝධයට බෙහෙවින් උපකාර සැලසුවා. භාග්‍යවතුන් වහන්සේ වදාළේ “මහණෙනි, මේ සාරිපුත්තයන් දරුවන් වදනා මෑණියන් වගෙයි” “සාරිපුත්තයන් භික්ෂූන් හට දහම් ඇස උපදවා සෝතාපන්න ඵලයේ හික්මීමට අතිශයින්ම දක්ෂයි” කියාය.
භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාළේ මේ බුදුසසුනේ පැවිදිබව ලබන භික්ෂූන් හට මිණුම් දණ්ඩ වන්නේ සාරිපුත්ත, මොග්ගල්ලාන යන රහතුන් දෙනම බවයි.
භික්ෂුවකගේ ජීවිතයට ආදර්ශවත්ම සම්බුදු ශ්‍රාවකයාණෝ ඒ මහරහතුන් දෙනම වහන්සේලා ය. සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් භික්ෂුව යනු කවරෙක් දැයි මෙසේ පෙන්වා වදාළ සේක.
ඔහු සිල්වත් කෙනෙක් නම්, ඉතා හොඳට සිහිය පවත්වනවා නම්, සිතුවිලි දමනය කර ධ්‍යාන වඩනවා නම්, අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා නම්, භාවනාවේ ඇලී වසනවා නම්, සමාධිමත් සිතින් යුතු නම්, හුදෙකලා ජීවිතයෙන් සතුටු වෙයි නම් ඔහු තමයි “භික්ෂුව“ කියා කියන්නේ.
භික්ෂුවකට සුදුසු අල්පේච්ඡ ජීවිතය ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් මේ අයුරින් පෙන්වා දී වදාළා.

අල්ලාං සුඛංවා භූඤ්ඡන්තු – න බාළ්හං සුහිතෝ සියා
ඌනෝදරෝ මිතාහාරෝ - සතෝ භික්ඛු පරිබ්බජේ
වළඳන දේ තෙත දෙයක් වෙන්ට පුළුවනි. වේලිච්ච දෙයක් වෙන්ටත් පුළුවනි. පමණ ඉක්මවා ගන්නේ නැහැ. කුසේ ඉඩ තියා ගන්නවා. භික්ෂුවක් වාසය කරන්න ඕන ඒ විදියටයි. ප්‍රමාණයකට දානය අරගෙන නුවණින් යුක්තවම යි.

චත්තාරෝ පඤ්ච ආලෝපේ - අඟුත්වා උදකං පිවේ
අලං රාඝ්‍රවිහාරාය - පහිතත්තස්ස භික්ඛුනෝ
සතර පස් පිඬක් නො වළඳා ඒ වෙනුවට පැන් වළඳන්ට ඕන. නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවකට ඒක හරි පහසුවක්.

කප්පියං තං චේ ඡාදේති – චීවරං ඉදමත්ථිතං
අලං ථාසුවිහාරාය – පහිතත්තස්ස භික්ඛුනෝ
සිරුරේ වසාගත යුතු තැන් තිබෙනවා. එය වසා ගැනීම පිණිස කැප විදියට ලැබෙන සිවුරක් තිබීම, නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවට හරී පහසුවක්.

පල්ලංකේන නිසින්නස්ස - ජණ්ණුකේ නාභිවස්සති
අලං ථාසුවිහාරාය – පහිතත්තස්ස භික්ඛුනො
භාවනාවට වාඩි වුණාට පස්සේ දණහිස් දෙක වැස්සට තෙමෙන්නේ නැතිනම්, අන්න ඒ විදියේ කුටියක් වුණත් නිවනට යොමුකළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවට හරි පහසුවක්.
මේ අයුරින් ගෞතම බුදුසසුනේ පැවිදිබව ලැබූ සඟ පිරිසට සාරිපුත්ත මහරහතන් වහන්සේ අප්‍රමාණ මඟපෙන්වීම් කළා. වරක් ශාස්තෘන් වහන්සේ වදාළා. “පින්වත් මහණෙනි, මේ සාරිපුත්තයන් තථාගතයන් වහන්සේ වගේමයි චතුරාර්ය සත්‍යය ධර්මය පවසන්නේ. මේ සියලු සඟ පිරිස අතරේ සාරිපුත්තයන්ගේ ප්‍රඥාව දෙවැනි වන්නේ තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවට පමණයි” කියා.
සාරිපුත්ත හා මොග්ගල්ලාන අගසව් දෙනම වහන්සේලාම භාග්‍යවතුන් වහන්සේට පෙර පිරිනිවන් පා වදාළා. දිනක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා අමතා වදාළා, පින්වත් මහණෙනි, සාරිපුත්ත මොග්ගල්ලානයන් නැති මේ සඟ පිරිසේ මට දැන් හිස් බවක් දැනෙන්නේ. මහණෙනි, සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම යම් දිශාවක වැඩසිටියාද ඒ දිශාව ගැන මට අවධානය යොමු කළ යුතු නැහැ. ඒ අයුරින් බුදුසසුන සෝභමානත්වයෙන් බැබළ වූ මහාශ්‍රාවක වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ අවවාදයන් කොතරම් අරුත්බර ද?

උභයෙ නමිදං මරණමේව – නාමරණං පච්ඡාවා පුරේචා
පටිපජ්ජථ මා විනස්සථ – ඛණෝ වෝ මා උපච්චගා
ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් දෙපැත්තෙන්ම තියෙන්නෙ මරණය මිසක් නොමැරී සිටීමක් නොවේ. ඒ නිසා ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි පිළිපදින්නට ඕන. වැනසී යන්නට නම් එපා! මේ උතුම් අවස්ථාව මඟ හැරගන්නට ඉඩ දෙන්ට එපා.

නගරං යථා පච්චන්තං - ගුත්තං සන්තර බාහිරං
ඒවං ගෝපේථ අත්තානං - ඛණෝ වෝ මා උපච්චයා
ඛණාත්තාහි සෝචන්ති – නිරයම් හි සමප්පිතා
ජීවිතය ධර්මය තුළින් ආරක්ෂා කරගන්ට ඕන. ඇතුළතිනුත් පිටතිනුත් හොඳින් ආරක්ෂා සංවිධානය කළ නගරයක් වගේයි. මේ උතුම් අවස්ථාව මඟ හැරෙන්ට ඉඩ දෙන්නට එපා. මේ අවස්ථාව අහිමි කරගත්තු බොහෝ දෙනෙක් නිරයේ ඉපදිලා දුක් විඳිනවා.
කෙනෙකුට මේ ලැබූ ජීවිතය ආරක්ෂා කරගන්නට නම් උපකාර වන්නේ ධර්මයේ හැසිරීම පමණ යි. එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම යි. මේ ලෝකයේ ඇති එක සෘජු මඟ ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. එය අමානිවන නම් වූ බිය රහිත දිශාවට යොමු වී පවතින මාර්ගය යි. කාන්තාර ගමනක යන කෙනෙකුට මනාකොට රුක්ෂයන්ගෙන්, පොකුණුවලින්, පලතුරුවලින් සපිරි ක්ෂේම භූමියකට යන මාර්ගය හමුවුණා වගෙයි. ඝෝර සසරේ සුගති දුගති වල හැසිරෙමින් පැමිණ නිවන කරා යන ආර්ය අෂ්ඨාංගික මාර්ගය හමුවීම ඒ නිසාම පිරිනිවන් පෑමට සුූළු මොහොතකට පෙර සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ උතුම් ගාථාව වදාළේ.

සම්පාදේථප්පමාදේන – ඒසා මේ අනුසාසනී
හන්දාහං පරිනිබ්බිස්සං - විප්පමුත්තෝම්හි සබ්බධී
අප්‍රමාදීව ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්න. මට කියන්නට තිබෙන්නේ එපමණයි. සියලු භවයෙන් නිදහස් වුණු මම දැන් පිරිනිවන් පාන්ටයි යන්නේ.
ඒ සොඳුුරු ආර්ය අෂ්ඨාංගික මඟ පුරුදු කොට අමාමහ නිවන් සුව ස්පර්ශ කළ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රමුඛ ගණනින් ගුණයෙන් අපරිමිත වූ මහෝත්තමයන් වහන්සේලාටත්, මාර්ගඵල ලාභී ශ්‍රාවක මහා සංඝරත්නයටත් නමස්කාර වේවා.!
නයනා නිල්මිණි

ගුණයට පිදිය යුතු කිමද යනු ඔබ දත යුතු

මොරවක 
සෝරත නා හිමි

ජීවිතය යනු කුමක්ද? කියල ඇහුවොත් ඔබ දෙන පිළිතුර මොනවගේ වේවිද? ජීවිතය යනු මේ ශරීරයයි කියල තමයි ලෝකයේ වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නෙ. ජීවිතය ජීවත් කරවීම කියල ඒ අය හිතන්නෙ පසිඳුරන් පිනවීමත් සඳහා වෙහෙසීමත් පමණයි. ලෝකයේ වෙළෙඳපොළක් හැදෙන්නෙ ඒ ඉඳුරන් පිනවීම පිණිස අවශ්‍ය කාම සම්පත් අලෙවි කිරීම පිණිසයි.
විද්‍යාත්මක ලෝකය පුරාම පර්යේෂණ කෙරෙන්නෙ එක්කො කාම සම්පත් ගැන,නැත්නම් කාමය ගොදුර කරගන්න ඉන්ද්‍රිය පංචකය ගැන. ඒ සියලු පර්යේෂණ ධර්මානුකූලව හඳුන්වන්න වෙන්නෙ අනාර්ය පර්යේෂණ කියල.
කෙනෙක් තව කෙනෙක් කෙරෙහි ප්‍රසාදයක් ඇතිකර ගෙන හිතවතෙක් කියල හඳුනා ගන්නෙ තමන්ට පංච කාමය සපුරා ගැනීම පිණිස ඔවුන්ගෙන් ලැබෙන ඍජු හෝ වක්‍රාකාර උදව් උපකාර නිසා ඒවට පුංචි හෝ බාධාවක් සිදුකරන කෙනෙක් හිටියොත් එයා කෙරෙහි ඇති වෙන්නෙ අප්‍රසාදයක්.
ඒත් ගත පෝෂණය කරන්න උදව් කරන කෙනාට වඩාහිත පෝෂණය කරගන්න උදව්’ කරන කෙනා තමයි සැබෑම කල්‍යාණ මිත්‍රය වෙන්නෙ. සිත පෝෂණය කරන්න අවශ්‍යම දේ ධර්මයයි. ඒ නිසා වටිනා දෙයක් කෙනෙකුට දෙන්න ඕනෙ නම් ඔහු කළ යුත්තේ ධර්මය දීමයි.
පෝෂණය වූ හිතක් තියෙන කෙනෙකුට නිරන්තර සතුටක් තියෙනවා. දුගති භය නැතිව යනව. දුක ජය ගන්නෙත් එවැනි අය. මේක මට හිතෙන විදිය නම් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රත්‍යක්ෂ ඤාණයෙන් අවබෝධ කරගෙන ලොවට හෙළි කළ දහම තුළ තියෙන විදිය.
සැරියුත් මුගලන් දෑ අගසව්වන් වහන්සේ දහසක් පමණ මහා සංඝයා පිරිවරාගෙන රජගහ නුවරට වැඩම කළා. මේ ආරංචිය ලැබුණූ බොහෝ පිරිසක් උන් වහන්සේලාට දන් පැන් පූජා කරල පින් රැස් කර ගත්ත. එවැනි දානයක් වැළඳූ එක අවස්ථාවක , සැරියුත් හාමුදුරුවො දානානිසංස දේශනාවේදී මෙහෙම පැහැදිලි කිරීමක් කළා.
තනිවම දන්දෙන අය භවභෝග සම්පත් විතරක් ලබනව. හැබැයි පරිවාර සම්පත් ලබන්නෙ නෑ. තමා දන් පින් නොකොට අන් අය ලවා පමණක් දන්පින් කරවන අය පරිවාර සම්පත් ලබනව. ඒත් භවභෝග ලබන්නෙ නෑ. තමනුත් දන්පින් නොකොට අනුන් ලවා කරවන්නෙත් නැති අය භවභෝග වගේම පිරිවර සම්පතත් නැතුවයි උපත ලබන්නෙ. පිරිවර එකතු කරගෙන දන් පැන් පූජා කරන අය භව භෝග සම්පත් වගේම උපනූපන් ජාතිවල පරිවාර සම්පත්තියත් ලබනව“
මේ දේශනාව ශ්‍රවණය කළ තරුණයෙක් එය හොඳින් ධාරණය කර ගත්ත. දහසක් වූ ඒ මහා සංඝයාට දානයක් පිළියෙල කළා. ඒ සඳහා මුළු ගමම දායක කරගන්න ඔහු ලොකු වෙහෙසක් දැරුව. තවත් එක් ව්‍යාපාරිකයෙක් කහවනු දහසක් වටිනා වස්ත්‍රයක් ගෙනැවිත් මේ තරුණයාට දීල කිව්ව .මේක අලෙවි කරල දානයේ අඩුපාඩු සපුරා ගන්න’ කියල . ඒත් දානයට අවශ්‍ය සියල්ල සම්පූර්ණයි. ඒ නිසා වස්ත්‍රය අලෙවි කරන්න අවශ්‍ය වුනේ නෑ.
දානය පූජා කළාට පස්සෙ මේ තරුණය ගම්වැසියන්ගෙන් ඇහුව,මේ වටිනා වස්ත්‍රය කාටද පූජා කරන්න සුදුසු කියල. ආධ්‍යාත්මික දියුණුව කැමති ටික දෙනෙක් කිව්ව. ඒක පූජා කළ යුත්තේ නිර්මල ධර්මයෙන් අපේ සිත් පෝෂණය කරන සැරියුත් හාමුදුරුවන්ට කියල. ඒත් වැඩි පිරිසක් තීරණය කළේ ‘අපේ මගුලට,අවමගුලට වගේම අනෙක් හැමදේටත් අප ළඟ ඉන්න දේවදත්ත හාමුදුරුවන්ටයි ඒක පිදිය යුත්තේ කියල.
ඒකෙන් අපට හඳුනා ගන්න පුළුවන් සැරියුත් හාමුදුරුවන්ගෙ මෙහෙවර වුනේ මොකක්ද? දේවදත්තගෙ මෙහෙවර වුනේ මොකක්ද? කියල. ඒ වගේම ව්‍යවහාරික ලෝකයේ වැඩි පිරිසක් වැඳුම් වගේම පිදුම් කරන්න කැමති වෙන්නෙ, තමන්ගේ කාමභෝගී ජීවිතයට උදව් කරන අයට, කොහොම වුනත් අන්තිමට වස්ත්‍රය පූජා කළේ දේවදත්තට.
දේවදත්ත මේ වටිනා වස්ත්‍රයෙන් සිවුරක් සකස් කර ගත්ත. ඒක පොරවගෙන උඩඟු සිත් ඇතිව ඒ මේ අතර සැරිසරන්න පටන් ගත්ත. බුද්ධිමත් සැදැහැති පිරිස් මේක දැකල කිව්වෙ ඇතුළත වටිනාකමක් නැති දේවදත්ත වගේ කෙනෙකුට මේ සිවුර ගැළපෙන්නෙ නෑ. ඒක ගැළපෙන්නෙ ඇතුළත වටිනාකම පිරුණු සැරියුත් හිමියන් වගේ උතුමෙකුට නේද කියල.
මේ අතර රජගහනුවර ඉඳල දෙව්රම් විහාරයට භික්ෂූන් වහන්සේ නමක් වැඩම කළා. උන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමඟ දැහැමි පිළිසඳර කතාවෙ යෙදෙන ගමන් මේ සිද්ධිය ගැනත් සැලකළා. ඒ වගේ වෙලාවට කුමක් හෝ දහම් කරුණක් කියාදීමත් බුදුහාමුදුරුවන්ගෙ සිරිතක්. සංසාර ගමනෙදී නොගැළපෙන ඇඳුම් ඇඳගෙන දේවදත්ත පව් කරගත්තු තවත් අවස්ථා තියෙනව. දේවදත්ත එක භවයක ඇත්තුන්ට මාරයෙක් වෙලා හිටිය. ඒ කියන්නෙ කැලේ සැඟවී ඉඳල, තනිවන ඇතුන් පසුපස ගිහින් උපක්‍රමශීලිව ඒ ඇතුන් මරල ඇත්දළ කපා ගන්නව. ඒව නාගරික වෙළඳපොළේ මිල කරල මහත් ධන සම්පත් උපයා ගන්නවා. ඔහු යැපුනෙත් අඹුදරුවන් පෝෂණය කළෙත් ඒ මුදල්වලින්.
දවසක් ඔහු කැලේදී අපූරු සිදුවීමක් දැක්ක.තුරු සෙවණක පසේබුදුවරයන් වහන්සේ නමක් වැඩ සිටිනව. එතැනින් යන අලි ඇතුන් එකා පසුපස පෙළට ඇවිත් උන් වහන්සේට දෙදණ නමා ගෞරව කොට පිටත්ව යනව. ඔහුට පසේබුදුරජාණන් වහන්සේ ගැන අවධානයක් හෝ පැහැදීමක් ඇති වුනේ නැහැ. දළ ඇතුන් දණ නමන හැටි විතරයි ආසාවෙන් බලා සිටියෙ.
ඔහුට මෙහෙම කල්පනාවක් ඇති වුණා. මේ ඇතුන් වන්දනා කරන්නෙ කසාවතට. මා වුනත් කහ වතක් පොරෝගෙන මේ විදියට ගහක් යට වාඩි වෙලා හිටියොත් මගේ ළඟත් මේ ඇත්තු දණ නමනව. එතකොට කරදර නොවීම අන්තිම ඇතා අල්ලගන්න පුළුවන්. ඒත් මම කොහොමද සිවුරක් හොයා ගන්නෙ’
දවසක් ඔහු දැක්ක වැවක් ළඟ ගහක් යට සිවුරක් තියෙනව. පසේබුදුවරයන් වහන්සේ නමක් වැවේ පැන් පහසු වෙනව. ඔහු සිවුර සොරකම් කළා. ඒ සිවුරත් පොරවගෙන තියුණු අවියකුත් සිවුර අස්සෙ සඟවාගෙන අතු ඉති විහිදුණූ ගහක් යට ඉඳගත්ත.
මේ කාලෙ අප මහා බෝසතාණන් වහන්සෙ ඇත් පරපුරක නායකත්වය දරමින් සිටිය. මේ ඇත් රංචුව ඇත්මරුවා සිටි ගහ අසලින් ඉදිරියට යද්දී සිවුර දැකල නතර වුනා. දෙදණ නමා වන්දනා කරල එකා පසුපස එකා ඉදිරියට ඇදෙන්න පටන් ගත්ත. ඇතුන් දෙස සොර සිතින් බලා සිටිය ඔහු අන්තිම ඇතා සියුම් විදියට මරා ගත්ත. දළ කපා ගෙන ගිහින් සුපුරුදු විදියට අලෙවි කළා. අරහත් ධජය පොරෝගෙන මේ උපාය ටික කලක් කරගෙන යන්න ඔහුට පිළිවන් වුණා.
ඇත් කුලේ නායක ඇතාට, තම රංචුවේ ඇතුන් එකිනෙකා අඩු වෙන බව දැනෙන්න පටන් ගත්තා. එක දවසක් ඇත් නායකයා සියලු ඇතුන්ට පසුපසින් කල්පනාකාරීව ගමන් කළා. එදා ඇත්මරුවාගෙ ඉලක්කයට බෝසත් ඇතා. විස පෙවූ සුපුරුදු අවිය අමෝරාගෙන පිටුපසින් තමාට සමීප වන ඇත්මරුවා දුටු ඇත් රජුන් ඉවතට පැනල ඔහුගේ පහරින් බේරුණා. සැණෙකින් සොඬ ඔසවාගෙන විදුලි වේගයෙන් ඇත්මරුව දෙසට හැරුණා. ඔහු තමා ළඟ තිබූ ගසක කඳට මුවා වුණත් බේරෙන්න බැරි වුණා. ඇත් රජු ගසත් සමගම සොඬින් උදුරා ගත් ඔහු ඉහළට ඔසවන විටම පැටලී තිබූ සිවුර ඇතා ඉදිරියෙ බිම වැටුණ. සිවුර දුටු සැණින් ඇත් රජුගේ සිත වෙනස් වුණා. ඉහළට එසවූ වේගය අඩු වුනා. හෙමිහිට බිම තිබ්බ. ඔහුට අනතුරක් නොකරම ඇත් රංචුව පිටුපසින් බෝසත් ඇතා ඉදිරියට ගමන් කළා. දේවදත්තට එදත් බෝසතාණන් වහන්සේගෙන් ජීවිත දානය ලැබුණ. “මහණෙනි දේවදත්ත නොගැළපෙන ඇඳුම් ඇඳගෙන එදත් කළේ වැරදි දේමයි. අද කරන්නෙත් වැරදි දේමයි”
මේ දළ කයම ජීවිතයයි කියල හිතාගෙන පංච කාමයට ගිජුවෙන සත්වයා කොතැන ඉපදුනත් ලැබෙන්නෙ ඔය ඉන්ද්‍රිය ටිකම තමයි. එදාට කරන්නෙත් දුක් විඳ ඒ ඉඳුරන් පිනවන්න වෙහෙසෙන එකම පමණයි. ඒත් සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන ඉන්ද්‍රිය ධර්ම වඩන කෙනා. මෙලොව සතුටත් සොයා ගන්නව. පරලොව දුගතියෙන් අතමිදෙන මගත් සොයා ගන්නව. සසරින් අත මිදෙන පිළිවෙළත් අවබෝධ කරගන්නව.
කහවත උතුම් වෙයි 
මහණ බමුණන් පෙරවයි 
තිලොවෙහිම වැඳුමයි 
නමින් අරහත් ධජය නම් වෙයි

කෙලෙසුන් පිරුණු සිත 
සංවර කමක් දෙනු නැත 
බොරුවෙන් අපරිමිත 
ගෙවන අය කහවතට හොඳ නැත

කෙලෙස් මළ සිඳලන 
සංවර කමින් සපිරුණ 
සිල් සුවඳ විහිදෙන 
අයට කහවත වටී නිතියෙන

සද්ධා විරිය සති 
සමාධිය ප්‍රඥා නිති 
වැඩූ ඉඳුරන් ඇති 
අයට කහවත හොඳින් ගැළපෙති

සත්පුරුෂයකු විය හැක්‌කේ ප්‍රඥවන්තයාට පමණි

බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ප්‍රඥවන්තයන් සඳහා බව 'පඤ්ඤවන්තස්‌සයං ධම්මො නායං ධම්මෝ දුප්පඤ්ඤස්‌ස්‌ යන දේශනාවෙන් පැහැදිලි වේ. සච්චක විසින් බුදුන්වහන්සේගෙන් අසන ලද 'කතං ජීවින් ජීවිතමාහු සෙට්‌ඨං' යන පැනයට බුදුන්වහන්සේ විසින් දෙන ලද පිළිතුර වූයේ 'පඤ්ඤජීවින් ජීවිතමාහු සෙට්‌ඨං' යන පිළිතුරයි. එනම් ප්‍රඥවන්ත ජීවිතයම ශ්‍රේෂ්ඨ බවයි මෙයින් පෙනෙන්නේ. බෞද්ධයා නිරන්තරයෙන්ම නුවණ මෙහෙයවා කටයුතු කරමින් ජීවත්විය යුතු බවය අංගුත්තර නිකායේ පත්තකම්ම වග්ගයේ පත්තකම්ම සූත්‍රයේ ප්‍රඥව විස්‌තර කරන්නේ 'දැඩි ලෝභය, ව්‍යාපාදය, ථීන මිද්ධය, උද්ධච්චකුක්‌කුක්‌චය, විචිකිච්චා, සිත කිළිටි කරන උපක්‌ලේෂයන් බවදැන එය ප්‍රහීන කිරීම' ලෙසයි. 
බුදුපියාණන් වහන්සේ බොහෝ අවස්‌ථාවල මිනිසත් බව ලැබීමේ දුර්ලභබව පිළිබඳ දේශනා කර ඇත. 'කිච්චෝ මනුස්‌ස පටිලාභෝ - කිච්චං මඡ්ජාන ජීවිතං' යනුවෙන් දේශනා කර ඇත්තේ මෙයයි. මිනිසත් බව ලැබීමේ දුර්ලභ බවත් ලැබූ මිනිසත් බව රැක ගනිමින් මිනිසකු ලෙස ජීවත්වීමේ දුර්ලභ බවත් පිළිබඳ මෙම දේශනාවෙන් පැහැදිලිකොට ඇත. අප මිනිසාගේ හා තිරිසනාගේ වෙනස තේරුම්ගත යුතුය. තිරිසන් සතෙකුට නැති විශේෂ හැකියා රැසක්‌ මිනිසකුට ඇත. මිනිසාට තම අධ්‍යාත්මය දියුණුකර ගත හැකිය. එනම් චිත්ත ශක්‌තිය, ජීවිත ශක්‌තිය, කර්ම ශක්‌තිය හා ප්‍රඥ ශක්‌තියයි. ප්‍රඥව දියුණු කර ගැනීමේ ශක්‌තිය ඇති එකම සත්වයා මිනිසා බව අප තේරුම්ගත යුතුය. මෙයින්ද පැහැදිලි වන්නේ ප්‍රඥවන්ත ජීවිතයක ඇති වටිනාකමයි.
සත්පුරුෂයකු විය හැක්‌කේත්, සත්පුරුෂයකු ඇසුරු කළ හැක්‌කේත් ප්‍රඥවන්තයකුට පමණක්‌ බව මෙයින් පැහැදිලි වේ. නුවණින් වැඩ කරන්නා හැමවිටම තමා සිතන, කරන, කියන දේවල් ධර්මයට අනුකූල විය යුතු දැයි විමසිය යුතුය. බුදුපියාණන් වහන්සේ අප ජීවත්වන සමාජයේ ඇසුරු කළ යුතු පුද්ගලයන් විවිධාකාරයෙන් හඳුන්වා ඇත. සත්පුරුෂයා - අසත්පුරුෂයා, බාලයා, පණ්‌ඩිතයා, කල්‍යාණමිත්‍රයා, පාප මිත්‍රයා ආදී වශයෙනි. මෙම පුද්ගලයන් ගෙන් එක්‌ කොටසක්‌ ඇසුරු කරන්නා පාපයට, අකුසලයට යොමුකරන බවත් තව කොටසක්‌ ඇසුරු කරන්නා පිනට කුසලයට යොමු කරන බවත් ඒ පිළිබඳ කරන ධර්මානුකූල විග්‍රහයකදී පෙනේ.
බුදුදහමේ විස්‌තර කරන සෝතාපත්ති අංග අතර පළමු වැන්න වන්නේ සත්පුරුෂ ඇසුරයි. 'සත්පුරුෂ සංසේවෝ' යනුවෙන් දැක්‌වෙන්නේ මෙයයි. මුළු බුදුදහම ම කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, සත්පුරුෂ ඇසුර මත රදාපවතින බව පෙනේ. වරක්‌ ආනන්ද තෙරුන් වහන්සේ 'ස්‌වාමීනි, බුද්ධ ශාසනයෙන් භාගයක්‌ම රැඳී ඇත්තේ සත්පුරුෂ ඇසුර මත බව බුදුන් වහන්සේට ප්‍රකාශ කළ විට, එසේ නොකියන ලෙසත් මුළු බුද්ධ ශාසනයම රැඳී ඇත්තේ සත්පුරුෂ ඇසුර මත බවත් දේශනා කර ඇත. එබඳු අය ඇසුරු කිරීම මත අපට පාපයෙන් මිදීමටත්, කාය, වචී, මනෝ සුචරිතය වර්ධනය කර ගැනීමටත් අවස්‌ථාව ලැබේ. එපමණක්‌ නොව මෙම භයානක සංසාර සාගරයෙන් මිදීමට අවශ්‍ය කරුණු දැන ගැනීමට හැකි වන්නේත්, සසරිස්‌ මිදීමට අවශ්‍ය මාර්ගයේ ගමන් කිරීමට අත හිත දෙන්නේත් සත්පුරුෂයකුමය. බුදුන් වහන්සේ දේශනා කළ පරිදි යමෙක්‌ ඇසුරු කිරීම නිසා අපේ සිත් තුළ කලින් නොතිබූ ශීල සම්පත්තියක්‌ ඇතිවෙනවා නම්, දැන් තිබෙන ශීල සම්පත්තිය තව තවත් වැඩිවෙනවා නම් , එය දිගටම නොකැඩී ගෙන යැමට පුqළුවන් නම්, ඔහු සත්පුරුෂයකු ලෙස හැඳින්විය හැකිය. එසේම යම් අයකු ඇසුරු කිරීමෙන් ශ්‍රද්ධාව වැඩිදියුණු වෙනවා නම්, එය දිගටම නොකැඩී ගෙනයාමට පුළුවන්නම්, ත්‍යාග සම්පත්තිය වැඩි දියුණු වෙනවා නම්, එය දිගටම නොකැඩී ගෙන යාමට පුළුවන්නම්, ප්‍රඥ සම්පත්තිය වැඩිදියුණු වෙනවා නම්, එය දිගටම ගෙනයැමට පුළුවන්නම්, ඒ තැනැත්තා අසුරු කළ යුතු සත්පුරුෂයකු ලෙස හැඳින්විය හැකිය.
මිනිසාගේ පරිහානියට හේතු කවරේදැයි විමසූ දෙවියන්ට පළමුවෙන්ම දේශනා කරන්නේ අසත්පුරුෂ ඇසුරට ප්‍රියකරන්නා පිරිහෙන බවයි.

අසන්තස්‌සපියා හෝතු - සන්ථෙන කුරුතෙ පියං
අසතං ධම්මං රෝවේති - තංපරාභව තෝමුඛං'

අසත්පුරුෂයෝ ඔහුට ප්‍රිය වෙති. හේ සත්පුරුෂයන් කෙරෙහි ප්‍රිය නොවන්නේය. අසත්පුරුෂයන්ගේ ධර්මයට කැමැති වෙති. මේ තුන පිරිහීමේ දොරටුව යනු මෙහි අදහසයි. මෙයින් පැහැදිලිවන්නේ අසත්පුරුෂයන් ඇසුරුකරන්නා මෙලොම හා පරලොව පිරිහෙන බවයි.
මේ අනුව අපට පැහැදිලි වෙන්නේ බුදුන්වහන්සේ වදාළ මඟ අනුගමනය කරන්නා තමාගේ ඇසුර සඳහා සත්පුරුෂයකුම තෝරාගත යුතු බවයි. මෙහිදී මතුවන ගැටලුව වන්නේ සත්පුරුෂයා හා අසත්පුරුෂයා හඳුනාගන්නේ කෙසේද යන්නයි. බුදුරජාණන් වහන්සේ සත්පුරුෂයා හා අසත්පුරුෂයාගේ ලක්‌ෂණ පිළිබඳ කරන ලද දේශනා ත්‍රිපිටකයේ බොහෝ ස්‌ථානවල හමුවේ. අංගුත්තර නිකායේ තික නිපාතයේ පළමු පන්නාසකයේ බාල වග්ගයේ සූත්‍රයක බාලයා පිළිබඳ සඳහන් වේ.
'බියක්‌ උවදුරක්‌ විපතක්‌ උපදී නම් බාලයාගෙන් ම උපදී, පණ්‌ඩිතයාගෙන් නූපදී. බාලයා හඳුනා ගත හැකි ධර්ම තුනකි. බාලයා කාය දුශ්චරිත, මනෝ දුශ්චරිත, වචී දුෂ්චරිත ඇත්තේ වෙයි. බාලයාගේ බාල ලක්‌ෂණ බාල නිමිති බාල චරිත තුනකි. බාලයා නරක සිතුවිලි සිතන්නෙක්‌ වෙයි. නරක කතා කරන්නෙක්‌ වෙයි. නරක දේ කරන්නෙක්‌ වෙයි. පණ්‌ඩිතයා හොඳ වචන කතා කරන්නෙක්‌ වෙයි. හොඳ සිතුවිලි සිතන්නෙක්‌ වෙයි.'
මෙයින් පැහැදිලි වන්නේ සිත, කය, වචනය යන තිදොර සංවර කරගත් පුද්ගලයා සත්පුරුෂයකු වන බවත්, තිදොර අසංවර කරගත් පුද්ගලයා අසත්පුරුෂයකු බවත්ය. සිත තුළ මතුවන ද්වේෂයෙන් හා මෝහයෙන් මත්ව පරපණ නසන්නා අසත්පුරුෂයකු බව අමුතුවෙන් කිව යුතු නැත. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරිදි බොරු කියන්නාට නොකළ හැකි වරදක්‌ නැත.
අංගුත්තර නිකායේ අසත්පුරුෂ වධකා සූත්‍රය සත්පුරුෂයා හා අසත්පුරුෂයා හඳුනා ගැනීමට බෞද්ධයකුට මහෝපකාරී වේ. එම සූත්‍රයේ මේ දෙදෙනා හඳුන්වන්නේ මෙසේය.
'කරුණු හතරකින් යුත් තැනැත්තා අසත්පුරුෂයා යෑයි දත යුතුය. අසත්පුරුෂයා නොඅසා ම අනුන්ගේ වැරැදි කියයි. ඇසුවොත් කවර කතා ද? ඇසුවත් අනුන් ගේ ගුණ තිබුණත් නොකියයි. ඇසුවොත් අඩු කොට වසංකොට ගුණ කියයි. ඇසුවත් තමාගේ අගුණ ඇතත් නොකියයි. ඇසූ විට අඩුකොට වසංකොට තමාගේ අඩුපාඩු කියයි. නොඇසුවත් තමාගේ ගුණ කියයි. ඇසුවාම වසං නොකොට විස්‌තර ඇතිව තමාගේ ගුණ කියයි. සත්පුරුෂයා ඇසුවත් අනුන්ගේ අගුණ හෙළි නොකරයි. නොඅසාම අනුන්ගේ ගුණ කියයි. තමාගේ අගුණ ඇත්නම් හෙළි කරයි. ඇසුවත් තමාගේ ගුණ නොකියයි.'
මෙබඳු උසස්‌ ගුණවලින් යුත් තැනැත්තා තමාටත්, අනුන්ටත් වැඩදායක සත්පුරුෂයකු බව අමුතුවෙන් විස්‌තර කළ යුතු නැත. අප ජීවත්වන සමාජයේ බොහෝ දෙනා වඩාත් ප්‍රියකරන්නේ අනුන්ගේ වැරැදි අඩුපාඩු සෙවීමටය. එම වැරැදි අඩුපාඩු කියන්නේද අදාළ පුද්ගලයා තමා අබියස නැති විටය. එසේ කීමෙන් ඔහු අනියමින් හඟවන්නේ තමා ඔහුට වඩා උසස්‌ බව නොවේද? බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ පුෂ්ප වග්ගයේදී දේශනා කර ඇත්තේ වඩා වැදගත් වන්නේ තමා පිළිබඳ සෙවීම බවයි.

'න පරේසං විලෝමානි - න පරේසං කථා කතං
අත්තනෝව අවෙක්‌ඛෙය - කතානි අකතානි ච'

අනුන්ගේ රළුපරළු කතාබස්‌ මෙනෙහි නොකරන්න. අනුන් කළ නොකළ දැ ගැන සොයා නොබලන්න. තමා විසින් කළ නොකළ දැ ගැන සොයා බලන්නේ නම් මැනවි යනු මෙහි අදහසයි. අනුන්ගේ නූගුණ සොයන්නා තුළ ද්වේෂය, මෝහය බඳු අකුසල මූලයන්හට ගන්නේ නොදැනුවත්මය. මෛත්‍රී සිතින් කිසි දිනක අනුන්ගේ වැරැදි අඩුපාඩු සෙවිය නොහැකිය. බෞද්ධයා හැමවිට ම තමා කරන කියන දේ පිළිබඳ එළැඹ සිටි සිටිය යුතු වන්නේ මේ නිසා ය.
බුදුපියාණන් වහන්සේ සත්පුරුෂයා හා අසත්පුරුෂයා පිsළිබඳ කළ අගනා දේශනාවක්‌ අංගුත්තර නිකායේ සත්පුරුෂ වග්ගයේ සත්පුරුෂ සූත්‍රයේ සඳහන් වේ. 
'මහණෙනි, මම ඔබලාට අසත්පුරුෂයාත්, අසත්පුරුෂයාට වැඩි අසත්පුරුෂයාත්, සත්පුරුෂයාත්, සත්පුරුෂයාට වැඩි සත්පුරුෂයාත් දේශනා කරමි. අසත්පුරුෂයා තමා පස්‌පව් කරයි. අනුන්ද කරවයි. සත්පුරුෂයා තමා පස්‌පවින් වළකී. අනුන්ද පස්‌පවින් වළකාලයි.
අංගුත්තර නිකායෙ දුතිය සත්පුරුෂ සූත්‍රයද අසත්පුරුෂයකු හා අසත්පුරුෂ ධර්ම හඳුනා ගැනීමට බෞද්ධයකුට මඟ පෙන්වයි. අසත්පුරුෂයා ශ්‍රද්ධා, ලැඡ්ජා, භය රහිත වන අතර අල්පශ්‍රැත හා කුසීත වන බවත් මේවායේ අනුන්ද සමාදන් කරවන බවත් එම සූත්‍රයේ සඳහන් වේ. එසේම සත්පුරුෂයා ශ්‍රද්ධා, ලැඡ්ජා-භය,බහුශ්‍රැත, ඇරඹූ වීර්ය ඇත්තෙක්‌ වෙයි. එසේම ඒවායේ අනුන්ද සමාදන් කරවයි. මෙහි ශ්‍රද්ධාව යනු බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පිළිගැනීම හා පිළිපැදීමයි. ලැඡ්ජා බය ලෝක පාලක ධර්ම ලෙස සඳහන් වන්නේ ද මිනිසාගේ හා සමාජයේද සදාචාර සම්පන්න පැවැත්ම සඳහා එය ඉවහල් වන නිසාය. ලැඡ්ජා බය නැත්තාට ලොව කළ නොහැකි වරදක්‌ නැත. කරන ලද වැරැදි ක්‍රියා පිළිබඳ තමා තුළින්ම නැගෙන දොaෂාරෝපණය අත්තානුවාද භය ලෙසද, සමාජයේ සෙසු අයගෙන් නැගෙන චෝදනා පිළිබඳ ඇති බිය පරානුවාද භය ලෙසද, කරන ලද වරදට ලැබෙන දඬුවම් පිළිබඳ ඇති භයදණ්‌ඩ භය ලෙසද, තමා විසින් කරන ලද කර්මවල විපාක වශයෙන් දුගතියේ විඳීමට සිදුවන දුක්‌ පිළිබඳ ඇති දුග්ගති භය ලෙසද විස්‌තර වේ. මෙම සිව් ආකාර බයෙන් තොර පුද්ගලයාට කළ නොහැකි වරදක්‌ නැති බව අමුතුවෙන් කිවයුතු නොවේ. සත්පුරුෂයා අවශ්‍යයෙන්ම බහුශ්‍රැතයකු වියයුතුය. මෙහි බහුශ්‍රැත යනු ශ්‍රී සද්ධර්මය පිළිබඳ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව මිස වෙනත් බාහිර විෂයන් පිළිබඳ දැනුම් ඇත්තකු නොවන බවය.
මෙතෙක්‌ දක්‌වන ලද කරුණුවලින් පැහැදිලිවන්නේ බෞද්ධයකුට මෙලොව පරලොව යහපත සලසා ගැනීමට නම් ඔහු සත්පුරුෂයකු වියයුතු බවයි. තමා සත්පුරුෂයකු වියයුතු අතර සත්පුරුෂයන් ඇසුරුකිරීමද එක සේ වැදගත් වේ.
ඩබ්ලිව්. කුලසිරි තානායම්ගොඩ
විශ්‍රාමලත් චිත්‍රකලා උපදේශක
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X