සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

සාරිපුත්ත මහරහතන් වහන්සේ

මේ විශ්වයේ යම්තාක් සත්ත්වයෝ ඇත්ද, යම්තාක් භවාග්‍රයන් ඇත්ද ඒ සියල්ලටම වඩා ලෝකයේ අග්‍ර වන්නේත්, ශ්‍රේෂ්ඨ වන්නේත් රහතන් වහන්සේලා ය. සම්බුදු සසුනේ පහළ වූ රහතන් වහන්සේ ගණනින් ප්‍රමාණ කිරීමට නො හැක්කේ ය. ඒ අපගේ ගෞතම සම්බුදුරජාණෝ ජීවමාන කාලයේදීත්, පිරිනිවන් පෑමෙන් පසුවත් ජම්බුද්වීපයේත්, සිරි ලංකා ද්වීපයේත්, දහම්ඝොෂ පැතිරගොස් කෝටි ප්‍රකෝටි ගණනින් මහරහතුන් බිහිවූ සේක. සියලු කෙලෙස් නැසූ, ගුණ ධර්මයන්ගේ පූර්ණත්වයට පත් ඒ මහරහතන් වහන්සේලාගේ ගුණස්කන්ධය කෙසේනම් ප්‍රමාණ කරන්න ද?
ගෞතම බුදුසසුනේ පහළ වූ රහතන් වහන්සේලා ගැන සිහිපත් කරද්දී නිරායාසයෙන්ම අපට සිහිපත් වන මහෝත්තම රහතන් වහන්සේ නමක් වූ "සාරිපුත්ත" මහරහතන් වහන්සේ පිළිබඳවයි.
මින් අසංඛෙයි්‍ය කල්ප ගණනකට පෙර "අනෝමදස්සී" සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදාළා. එකල සාරිපුත්ත මහරහතන් වහන්සේ "සරද" නම් ජටිල තාපසයෙකුව සිටියා. හෙතෙමේ පුරා දින සතක් පුරා "අනෝමදස්සී" බුදුරදුන් ප්‍රමුඛ ශ්‍රාවක පිරිසට උපහාර දක්වා මහත්ඵල මහානිශංස කුසල් උපදවා ගත්තා. ගෞතම සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ ගෞතම සසුනේ අග්‍රශ්‍රාවක බව පිණිස ම පෙර ලද කුසල් බලයද සහිතව බ්‍රාහ්මණ මහාසාර කුලයේ "සාරි" නම් බැමිණියගේ පුතු ලෙස උපත ලැබුවා. තීක්ෂණ ප්‍රඥා මහිමයක් සහිත ඔහු "උපතිස්ස" නම් වුණා. තුරුණු වියට පත් ඔහු තමා මෙන්ම බුදුසසුන අග තනතුරු පිණිස පින් පුරන ලද "කෝලිත" නම් සුහද මිතුරා සමඟ සතුටු වීම පිණිස සැණකෙළියකට ගියා. එහි සියලුදෙනා සතුටු වෙද්දී මේ ප්‍රඥාවන්ත තරුණයින් දෙදෙනා කථා වුණා “පි‍්‍රය මිත්‍රය, හැම දෙනෙකුගේ ම ජීවිත දිරාපත් වී වයසට යනවා. දරුණු රෝගාබාධයන්ට ලක්වෙනවා. කිසිදු භේදයකින් තොරව සියලුදෙනාම මියයනවා. එබඳු ජීවිත සහිතව මේ බොලඳ වූ සතුටුවීම් වලින් ඇති ඵලයක් නැහැ. එනිසා විමුක්තියක් සෙවිය යුතුයි.
ඉන්පසු දෙමිතුරන් විමුක්තියක් සොයා නොයෙක් ශ්‍රමණ තවුසන් සොයා ගියා. අවසානයේ "සංජය" නම් පරිබ්‍රාජකයාගේ ආශ්‍රයේ දී විමුක්ති මඟ සොයමින් වෙහෙසන අතරතුර, එක්තරා දිනයක "උපතිස්ස" තරුණයාට මාවතේ පිඬුපිණිස හැසිරුණු "අස්සජී" මහරහතන් වහන්සේගෙන් සම්බුදු රජුන්ගේ ශ්‍රී සද්ධර්මය සැකෙවින් අසන්නට ලැබුණා.
“යේ ධම්මා හේතුප්පභවා
තේසං හේතු තථාගතෝ ආහ
තේසංඛයෝ නිරෝධෝ
ඒවං වාදී මහා සමණෝ”
“හේතුන්ගෙන් හටගත් යම්තාක් දේ ඇද්ද, එම හේතුන්ද තථාගතයාණෝ අවබෝධ කළ සේක. හේතු නිරුද්ධ වීමෙන් ඒ සියල්ල නිරුද්ධ වී යයි. ඒ මහා ශ්‍රමණයාණෝ මෙබඳු දහමක් පවසයි.” නුවණැති උපතිස්ස තරුණයාට මේ සතරපද ගාථාව අසද්දීම දහම් ඇස පහළ වුණා. කෝලිත මිත්‍රයාටත් සංජය පරිබ්‍රාජක ආරාමයේ ශිෂ්‍ය වූ දෙසියපනහක් පිරිසටත් ඒ දහම පැවසූ උපතිස්ස තරුණයා ඒ පිරිසද කැටුව භාග්‍යවතුන් වහන්සේ සොයා ගියා.

බුදුරජාණන් වහන්සේ වදාළා “පින්වත් මහණෙනි, අර පැමිණෙන පිරිසේ මුලින්ම එන උපතිස්සයන් මාගේ සසුනෙහි සාරිපුත්ත ලෙස සහ ඒ අසලින්ම පැමිණෙන කාලවර්ණ කෝලිතයන් මාගේ අගසව් දෙනම බවට පත්වෙනවා.
දිනක් භාග්‍යවතුන් වහන්සේ හමුවට "දීඝනඛ" නම් තවුසෙක් පැමිණ වේදනාව ගැන දහම් සංවාදයක යෙදුණා. ඒ මොහොතේ සාරිපුත්තයන් වහන්සේ වැඩිසිටියේ භාග්‍යවතුන් වහන්සේ අසල පවන් සලමිනුයි. ඒ දෙසුම අවසන් වෙද්දී සාරිපුත්තයන් වහන්සේ සියලු කෙලෙස් නසා උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත්වුණා. අරහත්වයට පත් වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂු සංඝයා හට ධර්මාවබෝධයට බෙහෙවින් උපකාර සැලසුවා. භාග්‍යවතුන් වහන්සේ වදාළේ “මහණෙනි, මේ සාරිපුත්තයන් දරුවන් වදනා මෑණියන් වගෙයි” “සාරිපුත්තයන් භික්ෂූන් හට දහම් ඇස උපදවා සෝතාපන්න ඵලයේ හික්මීමට අතිශයින්ම දක්ෂයි” කියාය.
භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාළේ මේ බුදුසසුනේ පැවිදිබව ලබන භික්ෂූන් හට මිණුම් දණ්ඩ වන්නේ සාරිපුත්ත, මොග්ගල්ලාන යන රහතුන් දෙනම බවයි.
භික්ෂුවකගේ ජීවිතයට ආදර්ශවත්ම සම්බුදු ශ්‍රාවකයාණෝ ඒ මහරහතුන් දෙනම වහන්සේලා ය. සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් භික්ෂුව යනු කවරෙක් දැයි මෙසේ පෙන්වා වදාළ සේක.
ඔහු සිල්වත් කෙනෙක් නම්, ඉතා හොඳට සිහිය පවත්වනවා නම්, සිතුවිලි දමනය කර ධ්‍යාන වඩනවා නම්, අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා නම්, භාවනාවේ ඇලී වසනවා නම්, සමාධිමත් සිතින් යුතු නම්, හුදෙකලා ජීවිතයෙන් සතුටු වෙයි නම් ඔහු තමයි “භික්ෂුව“ කියා කියන්නේ.
භික්ෂුවකට සුදුසු අල්පේච්ඡ ජීවිතය ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් මේ අයුරින් පෙන්වා දී වදාළා.

අල්ලාං සුඛංවා භූඤ්ඡන්තු – න බාළ්හං සුහිතෝ සියා
ඌනෝදරෝ මිතාහාරෝ - සතෝ භික්ඛු පරිබ්බජේ
වළඳන දේ තෙත දෙයක් වෙන්ට පුළුවනි. වේලිච්ච දෙයක් වෙන්ටත් පුළුවනි. පමණ ඉක්මවා ගන්නේ නැහැ. කුසේ ඉඩ තියා ගන්නවා. භික්ෂුවක් වාසය කරන්න ඕන ඒ විදියටයි. ප්‍රමාණයකට දානය අරගෙන නුවණින් යුක්තවම යි.

චත්තාරෝ පඤ්ච ආලෝපේ - අඟුත්වා උදකං පිවේ
අලං රාඝ්‍රවිහාරාය - පහිතත්තස්ස භික්ඛුනෝ
සතර පස් පිඬක් නො වළඳා ඒ වෙනුවට පැන් වළඳන්ට ඕන. නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවකට ඒක හරි පහසුවක්.

කප්පියං තං චේ ඡාදේති – චීවරං ඉදමත්ථිතං
අලං ථාසුවිහාරාය – පහිතත්තස්ස භික්ඛුනෝ
සිරුරේ වසාගත යුතු තැන් තිබෙනවා. එය වසා ගැනීම පිණිස කැප විදියට ලැබෙන සිවුරක් තිබීම, නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවට හරී පහසුවක්.

පල්ලංකේන නිසින්නස්ස - ජණ්ණුකේ නාභිවස්සති
අලං ථාසුවිහාරාය – පහිතත්තස්ස භික්ඛුනො
භාවනාවට වාඩි වුණාට පස්සේ දණහිස් දෙක වැස්සට තෙමෙන්නේ නැතිනම්, අන්න ඒ විදියේ කුටියක් වුණත් නිවනට යොමුකළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවට හරි පහසුවක්.
මේ අයුරින් ගෞතම බුදුසසුනේ පැවිදිබව ලැබූ සඟ පිරිසට සාරිපුත්ත මහරහතන් වහන්සේ අප්‍රමාණ මඟපෙන්වීම් කළා. වරක් ශාස්තෘන් වහන්සේ වදාළා. “පින්වත් මහණෙනි, මේ සාරිපුත්තයන් තථාගතයන් වහන්සේ වගේමයි චතුරාර්ය සත්‍යය ධර්මය පවසන්නේ. මේ සියලු සඟ පිරිස අතරේ සාරිපුත්තයන්ගේ ප්‍රඥාව දෙවැනි වන්නේ තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවට පමණයි” කියා.
සාරිපුත්ත හා මොග්ගල්ලාන අගසව් දෙනම වහන්සේලාම භාග්‍යවතුන් වහන්සේට පෙර පිරිනිවන් පා වදාළා. දිනක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා අමතා වදාළා, පින්වත් මහණෙනි, සාරිපුත්ත මොග්ගල්ලානයන් නැති මේ සඟ පිරිසේ මට දැන් හිස් බවක් දැනෙන්නේ. මහණෙනි, සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම යම් දිශාවක වැඩසිටියාද ඒ දිශාව ගැන මට අවධානය යොමු කළ යුතු නැහැ. ඒ අයුරින් බුදුසසුන සෝභමානත්වයෙන් බැබළ වූ මහාශ්‍රාවක වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ අවවාදයන් කොතරම් අරුත්බර ද?

උභයෙ නමිදං මරණමේව – නාමරණං පච්ඡාවා පුරේචා
පටිපජ්ජථ මා විනස්සථ – ඛණෝ වෝ මා උපච්චගා
ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් දෙපැත්තෙන්ම තියෙන්නෙ මරණය මිසක් නොමැරී සිටීමක් නොවේ. ඒ නිසා ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි පිළිපදින්නට ඕන. වැනසී යන්නට නම් එපා! මේ උතුම් අවස්ථාව මඟ හැරගන්නට ඉඩ දෙන්ට එපා.

නගරං යථා පච්චන්තං - ගුත්තං සන්තර බාහිරං
ඒවං ගෝපේථ අත්තානං - ඛණෝ වෝ මා උපච්චයා
ඛණාත්තාහි සෝචන්ති – නිරයම් හි සමප්පිතා
ජීවිතය ධර්මය තුළින් ආරක්ෂා කරගන්ට ඕන. ඇතුළතිනුත් පිටතිනුත් හොඳින් ආරක්ෂා සංවිධානය කළ නගරයක් වගේයි. මේ උතුම් අවස්ථාව මඟ හැරෙන්ට ඉඩ දෙන්නට එපා. මේ අවස්ථාව අහිමි කරගත්තු බොහෝ දෙනෙක් නිරයේ ඉපදිලා දුක් විඳිනවා.
කෙනෙකුට මේ ලැබූ ජීවිතය ආරක්ෂා කරගන්නට නම් උපකාර වන්නේ ධර්මයේ හැසිරීම පමණ යි. එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම යි. මේ ලෝකයේ ඇති එක සෘජු මඟ ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. එය අමානිවන නම් වූ බිය රහිත දිශාවට යොමු වී පවතින මාර්ගය යි. කාන්තාර ගමනක යන කෙනෙකුට මනාකොට රුක්ෂයන්ගෙන්, පොකුණුවලින්, පලතුරුවලින් සපිරි ක්ෂේම භූමියකට යන මාර්ගය හමුවුණා වගෙයි. ඝෝර සසරේ සුගති දුගති වල හැසිරෙමින් පැමිණ නිවන කරා යන ආර්ය අෂ්ඨාංගික මාර්ගය හමුවීම ඒ නිසාම පිරිනිවන් පෑමට සුූළු මොහොතකට පෙර සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ උතුම් ගාථාව වදාළේ.

සම්පාදේථප්පමාදේන – ඒසා මේ අනුසාසනී
හන්දාහං පරිනිබ්බිස්සං - විප්පමුත්තෝම්හි සබ්බධී
අප්‍රමාදීව ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්න. මට කියන්නට තිබෙන්නේ එපමණයි. සියලු භවයෙන් නිදහස් වුණු මම දැන් පිරිනිවන් පාන්ටයි යන්නේ.
ඒ සොඳුුරු ආර්ය අෂ්ඨාංගික මඟ පුරුදු කොට අමාමහ නිවන් සුව ස්පර්ශ කළ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රමුඛ ගණනින් ගුණයෙන් අපරිමිත වූ මහෝත්තමයන් වහන්සේලාටත්, මාර්ගඵල ලාභී ශ්‍රාවක මහා සංඝරත්නයටත් නමස්කාර වේවා.!
නයනා නිල්මිණි
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X