සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

අටපිරිකර හා දොළොස් පිරිකර

වඩාත් ආනිසංස දායක වන දානය ලෙස හඳුන්වා ඇත්තේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දෙන්නා වූ දානයයි. මේ අයුරින් සිදුකරන්නා වූ දානමය පුණ්‍ය ක්‍රියා අවස්ථාවන්හිදී පිළිගන්වන ආහාරපානවලට අමතරව පරිෂ්කාර පූජාව ද සිදුකිරීම මුල් කාලයේ පටන් ම සිදු කරනු ලබයි. මින් වඩාත් විශේෂත්වයක් ගනු ලබන්නේ් අට පිරිකර පූජාව හා දොළොස් පිරිකර පූජාවයි
ඈත අතීතයේ පටන් ම මිනිසා විසින් දන්දීම, සිල් රැකීම, භාවනා කිරීම, පින්දීම, පින් අනුමෝදන් කිරීම, වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම, දැකීම නිවැරැදි කර ගැනීම යන දසවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදුකරගෙන එනු ලබයි. ඒවා අතරින් බොහෝ දෙනෙක් වැඩි නැඹුරුතාවක් දක්වා ඇත්තේ ද දන්දීම කෙරෙහිය. එයට හේතු වශයෙන් පෙන්වා දිය හැක්කේ දන්දීමට බොහෝ දෙනා දක්වන රුචිකත්වයයි. එහෙත් දන්දීම සෑම පුද්ගලයකුට ම සිදුකළ නොහැකිය. සසරේ දන්දී පුරුදු පුහුණු වූ අයට එසේ දන්දීම සිදුකළ හැකිය. ‘දානය’ යන්නෙන් කියවෙන්නේ දීම, පරිත්‍යාගය අත්හැරීම යනාදී තේරුම් ය. කෙනකු විසින් දන්දිය යුත්තේ තමන්ට වඩා ගුණ නුවණින් වැඩි සිල්වත් පුද්ගලයකුටය. දුගී මගී යාචකයන්ට මෙන් ම සතුන්ට දෙන්නා වූ ආහාර පාන වස්ත්‍ර ආදිය ද දානයක් බව කිව හැකිය. එහෙත් මෙවැනි දාන වර්ග එම පුද්ගලයන් කෙරෙහි හෝ සතුන් කෙරෙහි අනුකම්පාවෙන් දෙන්නා වූ දානයක් වන්නේය. එවැනි දාන බුදු දහමේ පෙන්වා දී ඇත්තේ අනුග්‍රහ බුද්ධියෙන් දෙන්නා වූ දානයන් හැටියටය. මෙසේ දෙන්නා වූ දානයට වඩා සිල්වත්, ගුණවත් කෙනකුට දෙන්නා වූ දානය උසස් වන්නේය. ආනිසංස දායක වන්නේ ය. බුදු දහම තුළ මෙවැනි දාන පූජා බුද්ධියෙන් දෙන්නා වූ දාන ලෙස හඳුන්වා තිබේ. පූජා බුද්ධියෙන් දානයක් දෙන විට දෙන තැනැත්තා කෙරෙහි යටහත් පහත් භාවය දැක්වීම, වැඳුම් පිඳුම් කිරීම කරමින් එම දානය පිළිගන්වයි. කෙසේ වෙතත් දානයක් පූජා කිරීමෙන් අනතුරුව අප විසින් අපට වාසිදායක අන්දමින් කිසිවක් බලාපොරොත්තු නොවිය යුතුය. එසේ බලාපොරොත්තු වන්නේ නම් විය යුත්තේ එයින් ලැබෙන ආනිසංස මොනවාද යන්න පිළිබඳ ව සිතීම පමණි. එසේ නොවන්නේ්නම් එය දානයකට වඩා මුදලාලිකමක් වන බව කිව හැකිය. මුදලාලි කෙනෙක් අපට යම් දෙයක් දෙන්නේ අපෙන් මුදල් රැගෙනය.
මජ්ඣිම නිකායේ විභංග වග්ගයේ දක්ඛිණා විභංග සූත්‍රයේ දාන වර්ග 14 ක් පිළිබඳ පෙන්වා දෙන අතර එයිනුත් වඩාත් ආනිසංස දායක වන දානය ලෙස හඳුන්වා ඇත්තේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දෙන්නා වූ දානයයි. මේ අයුරින් සිදුකරන්නා වූ දානමය පුණ්‍ය ක්‍රියා අවස්ථාවන්හිදී පිළිගන්වන ආහාරපානවලට අමතරව පරිෂ්කාර පූජාව ද සිදුකිරීම මුල් කාලයේ පටන් ම සිදු කරනු ලබයි. මින් වඩාත් විශේෂත්වයක් ගනු ලබන්නේ අට පිරිකර පූජාව හා දොළොස් පිරිකර පූජාවයි. බොහෝ අවස්ථාවලදී අටපිරිකර පූජාව පමණක් සිදුකරන අවස්ථාවන්ද දක්නට ලැබේ. දොළොස් පිරිකර පූජාව ද ඇතැම් අවස්ථාවන්වලදී සිදු කරන අයුරු දක්නට ලැබේ. කෙසේ වෙතත් මෙම අටපිරිකර හා දොළොස් පිරිකරට අයත් වන්නේ මොනවාද යන්න පිළිබඳ ව නිසියාකාරව නොදන්නා වූ පිරිස් ද වෙති. ඒ අනුව මෙහිදී අටපිරිකර හා දොළොස් පිරිකර මොනවාද යන්න විමසා බලමු.
තීණි චීචරානි, පත්තෝ, දන්තකට්ඨච්ඡේදනවාසි, ඒකාසූචි, කාය බන්ධනං, පරිස්සාවනන්ති.
මෙහි ‘තීණි චීවරානි’ යනු තුන් සිවුරයි. තුන් සිවුර යනුවෙන් හඳුන්වනු ලබන්නේ දෙපට සිවුර, තනිපට සිවුර හා අඳන කඩයයි. චීවරය හෙවත් සිවුර මැසිය යුතු ආකාරය බුදුන් විසින් අනුදැන වදාරා තිබේ. ගිජ්ජකූට පර්වතයට නැඟ මගධ ක්‍ෂේත්‍රය දිස්වන්නේ යම් ආකාරයකටද ඒ අයුරින් සිවුර නිර්මාණ විය යුතු බව පෙන්වා දී තිබේ. දෙපට සිවුර සාදා නිමකර ඇත්තේ සිවුරු දෙකක් නියමානුකූලව ගෙන එකක් වන සේ මැසීමෙනි. එය භික්ෂූන් පරිහරණය කරනු ලබන්නේ උතුරු සළුව වශයෙනි. තනිපට සිවුර ඒකාංශ කොට හෝ දෙවුර වැසෙන සේ පෙරවීම සඳහා යොදාගනු ලබයි. අඳනකඩය දෙදණ වැසෙන සේ ඉනවටා පෙරවීම සඳහා යොදාගනු ලබයි. ඒ අනුව මෙම තුන් සිවුර පිණ්ඩපාත චාරිකාවේ වඩින විට හා උපසම්පදා, පොහොය කිරීම් ආදි විනය කර්ම සිදු කරන අවස්ථාවන්හි පෙරවීමට ගන්නා අතර එම අවස්ථාවන්හිදී තුන් සිවුරෙන් යුක්ත වියයුතු බව ද පෙන්වා දී තිබේ. ඒ අනුව අටපිරිකරට අයත් පූජා භාණ්ඩ අතරින් තුනක් මෙයින් කියවේ.
‘පත්තෝ’ යනු පාත්‍රයයි. පාත්‍රය භික්ෂූන්ගේ පරිහරණයට ගනු ලබන්නේ පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන අවස්ථාවේ පිඬු ලබාගෙන ඒවා වැළඳීම සඳහාය. පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන විට ඉහතින් සඳහන් කළ තුන් සිවුර මෙන් ම පාත්‍රය ද රැගෙන යා යුතුය. එසේම උපසම්පදා විනය කර්ම සිදු කිරීමේදී ද පාත්‍රය අනිවාර්ය භාණ්ඩයක් වෙයි. අටපිරිකරෙහි අඩංගු සියලු දෑ එම අවස්ථාවට ද අවශ්‍ය නිසා පාත්‍රය සුදු රෙදි කඩකින් ඔතා නොගැලවෙන සේ නූල් වලින් වියා එය උපසම්පදාපේක්ෂකයාගේ කර වටා ගැටගසා විනය කර්මය සිදු කරයි.
‘දන්තකට්ඨ’ යනුවෙන් ගැනෙන පාලි වචනයේ සිංහල තේරුම වන්නේ දත් මදින දැහැට්ට යන්නයි. ‘ඡේදනවාසි’ යනු සිඳින හෙවත් කපන වෑය හෙවත් පිහිය යන්නයි. අංගුත්තර නිකායේ අට්ඨක වග්ගයේ සඳහන් වන අන්දමට මුල් කාලයේ මෙබඳු උපකරණයක් අටපිරිකරයට ඇතුළත් වී ඇති බව පැහැදිලි වේ. දත් මැදීම සඳහා වර්තමානයේ මෙන් නවීන උපකරණ නොමැති වීම නිසා දැහැටි කූරු සාදා ගැනීම පිණිස මෙවැනි උපකරණයක අවශ්‍යතාව තිබූ නිසා මෙය අටපිරිකරයට ඇතුළත් කර ඇතැයි සිතිය හැකිය. එහෙත් වර්මතානයේ දක්නට ලැබෙන අටපිරි කෙරෙහි ඇත්තේ දැලි පිහියකි. එය භික්ෂූන්ගේ හිස රැවුල් බෑම සඳහා උපකාරි වේ. ඒ අනුව මුල් කාලයේ තිබූ එම උපකරණය හිස රැවුල් බෑම සඳහා ද උපයෝගි කර ගන්නට ඇතැයි සිතිය හැකිය. දැලි පිහියද නිර්මාණය වී ඇත්තේ සුදු යකඩයක් තියුණු ආකාරයෙන් මුවහත් තැබීමෙනි. එහෙත් වර්තමානයේ දක්නට ලැබෙන අටපිරිකරවල දක්නට ලැබෙන්නේ තලයක් පමණි. එය ප්‍රයෝජනයට ගතහැකි නොවන අයුරින් සකසා තිබීම ද කනගාටුවට කරුණකි.
‘එකාසූචි’ යනු එක් ඉදිකට්ටක් යන තේරුම දෙන වචනයයි. අද දක්නට ලැබෙන අටපිරිකරය තුළ ඉදිකට්ට මෙන්ම නූල් පන්දුවක් ද තිබේ. මුල් කාලයේ මේ සඳහා භාවිතා කර ඇත්තේ නොයෙක් වර්ගයේ කෙඳිය. ඒවා තමන්ට අවශ්‍ය පරිදි සපයා ගත් බැවින් මුල් යුගයේ තිබූ අටපිරිකරවලට එය ඇතුළත් වී නොමැති බව කිව හැකිය.
‘කාය බන්ධනං’ යනු අඳනකඩය ඇඳ එය ලිහිල් නොවන සේ ඉනවටා බැඳීමට ගන්නා වූ රෙදි කැබැල්ලය. මෙය ද සිවුරු පටියකින් නිමවා තිබේ. ඒ අනුව වර්තමානයේ භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය සඳහා විවිධ පටි වර්ග දක්නට ලැබුණත් අටපිරිකර තුළ ඉනවටා බැඳීමට ගන්නා පටිය තවමත් සිවුරු කැබැල්ලකින් සකස් වී ඇති සැටි දැක ගත හැකිය.‘පරිස්සාවන’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ පෙරහන් කඩයයි. මෙය භික්ෂූන්ගේ පරිහරණයට යෝග්‍ය වන්නේ තමන් පානය කිරීමට ගන්නා වූ පැන් පළමුවෙන් පෙරා ගැනීමටය. ජලයේ ඇසට නොපෙනෙන නොයෙක් ජීවි සත්තු සිටිති. එම සතුන් පැන් සමග පෙවීම නැතිකර ගැනීම සඳහා පෙරහන් කඩයක් පාවිච්චි කළ යුතු බව බුදුරජුන් විසින් ද අනුදැන වදාරා ඇත.
මෙයින් ප්‍රතිඵල දෙකක් අත්වේ. එකක් නම් කුඩා ජීවින් ශරීර තුළට නොයාම නිසා තමාගේ සෞඛ්‍ය ආරක්ෂාව යහපත් වීමය. අනෙක් කරුණ වන්නේ එම ජීවින්ගේ ප්‍රාණය තොර නොවීමෙන් ප්‍රාණඝාත අකුසලය ඇති නොවීමය. ඉහතින් සඳහන් වූ පිරිකර අටෙහි වැදගත්කම මේ ආකාරයෙන් වුවත් දීඝ නිකාය අටුවාව වන සුමංගල විලාසිනියේ සඳහන් වන අන්දමට මෙයින් ප්‍රයෝජන දෙකක් අත්වන බව කියවෙයි. මෙම පිරිකර අට ම ශරීරයේ ආරක්ෂාවට මෙන්ම කුසෙහි ආරක්ෂාව පිණිස ද වෙයි. ඒ කෙසේද යත් තුන් සිවුර හැඳ පොරවා හැසිරෙන කාලයේ ශරීරය ආරක්ෂා කරයි. තමා ළඟ පෙරහන්කඩය නැති විටෙක සිවුරු කොණින් පැන් පෙරා පානය කිරීමෙන් කුස ආරක්ෂා කෙරෙයි.
පාත්‍රය, නාන අවස්ථාවේ පැන් උඩට ඔසවා ගැනීමට උපකාරී වීමෙන් ශරීරය පෝෂණය කරයි. ආහාර ගෙන වළදන අවස්ථාවේ කුස පෝෂණය කරයි. වෑය දත් මදින වේලාවේ මෙන් ම ඇඳ පුටු ආදි හිඳිනා අසුන් සකස් කිරීමේදී ශරීරයට පහසුවක් වෙයි. උක් ආදී ආහාර සුද්දකර කෑමට ගැනීමෙන් කුස පෝෂණය වෙයි. ඉදිකට්ට සිවුර මසන වේලේ ශරීර පහසුව පිණිස වෙයි. කැවුම් හා කුඩා ඇට වර්ග ඇති පලතුරු විද ආහාරයට ගැනීමේ දී ඉදිකට්ට අවශ්‍ය වෙයි. එය කුසට ආහාරයක් වීම නිසා කුස පෝෂණය වේ. ඉණ බඳින පටිය බැඳගත් පසු ශරීරයට පහසුවක් වෙයි. එයම කෑමට ගන්නා උක් බැඳගැනීම සඳහා ද ගත හැකිය. පෙරහන් කඩය පැන් පෙරන අවස්ථාවේ ශරීර පෝෂණයත් බොන අවස්ථාවේ කුසෙහි පෝෂණයත් ඇතිවේ. මෙය අටුවා කරු විසින් දක්වා ඇති පරිදි අටපිරිකරෙහි ඇති ප්‍රයෝජනයන්ය. මෙම පිරිකර අටෙහි එකතුවෙන් සකස් කරන ලද අටපිරිකර දන් දෙන බොහෝ අවස්ථාවලදී පිළිගන්වන අයුරු දක්නට ලැබේ. එහෙත් දොළොස් පිරිකරට අයත් වන පූජා භාණ්ඩ පිරිනැමීම දක්නට ලැබෙන්නේ මඳ වශයෙනි. කෙසේ වෙතත් ඒ පිළිබඳව ද දැනගෙන සිටීම ඉතා අගනේ ය. ඒ අනුව දොළොස් පිරිකරට අයත් පූජා භාණ්ඩ නව පිරිකර, දස පිරිකර, එකොළොස් පිරිකර හා දොළොස් පිරිකර වශයෙන් වෙන් වෙන් වශයෙන් දක්වා තිබේ.
.
▬▬▬▬▬ නව පිරිකර ▬▬▬▬▬

‘නව පරික්ඛාරිකස්ස පන සෙය්‍යං පවිසන්තස්ස තත්‍රට්ඨක පච්චත්ථරණං වා කුණ්ඩිකා වා වට්ටති’ දීඝ නිකාය අටුවාවේ ඉහතින් සඳහන් වන පාඨයට අනුව කියවෙන්නේ ‘නව පිරිකරවලට සැතපීම සඳහා යහනට පිවිසෙන්නා වූ භික්ෂුවට ඇඳෙහි එළා ගැනීමට ‘ඇතිරිල්ලක්’ හෝ කෙණ්ඩියක් සුදුසු බවය. මෙහිදී කෙණ්ඩිය මුල් කාලයේ තාපසයන්ගේ් අතෙහි නිතර රැඳුන එකක් නිසා භික්ෂුවගේ පරිහරණය සඳහා ද මෙය සුදුසු බව පෙන්වා දී තිබේ. එයින් පැන් ගෙනවිත් තබාගෙන පරිහරණයට ගත හැකිය. එහෙත් නවීන සමාජය තුළ මෙවැනි භාණ්ඩයක් භික්ෂූන්ගේ් පරිහරණයෙහි නැත. එහෙත් භාවනානුයෝගීව වැඩ සිටින අය මෙය පරිහරණය කරන බව ද දැක හැකිය.
.
▬▬▬▬▬ දස පිරිකර ▬▬▬▬▬

‘දස පරික්ඛාරිකස්ස නිසීදස චම්මකණ්ඩං වට්ටති’ දස වැදෑරුම් පිරිකරවලට භික්ෂූන් වහන්සේ හිඳ ගැනීමට සම් කඩක් පූජා කළ යුතුය. මෙය වර්තමානයේ භික්ෂූන් වහන්සේලා පරිහරණය කරනු ලබන පත්කඩයයි. එය වන්දනාමාන කිරීමේදී හා භාවනායෝගීව එක්තැන් ව සිටින අවස්ථාවන්වලදී බිම එළා ගැනීම සඳහා භාවිත කරයි.
.
▬▬▬▬▬ එකොළොස් පිරිකර ▬▬▬▬▬

‘එකාදස පරික්ඛාරිකස්ස කත්තර යට්ඨි වා තෙළනාලිකා වා වට්ටති’ එකොළොස් පිරිකරයට සැරයටියක් හෝ තෙල් බෝතලයක් හෝ සුදුසුය. මෙහි සැරයටියේ වුවමනාව කුමක් ද යන්න පැහැදිලිය. මුල් යුගයේ සිටි ඇතැම් තාපසයන් මෙන් ම පසුකාලීනව ඉන්දියාවේ සිටි හින්දු පූජකයෝද මෙවැනි සැරයටියක් සකසාගෙන ගමන් කරති. හින්දු පූජකයන් බොහෝ වේලාවට මේ සඳහා යොදා ගත්තේ ඔවුනගේ ආගමික සංකේතයක් වන ත්‍රිශුලයයි. භික්ෂුන්ගේ් පරිහරණය වූයේ ලීයකින් සකස් කරගත් සැරයටියකි. එය අද වෛවර්ණ වී ඇති අයුරු දැකගත හැකිය. තෙල් බෝතලයක් ඇතුළත් වූයේ කුමන අරමුණකින් ද යන්න පැහැදිලි නැත. එහෙත් ඉන්දියාවේ දැඩි සීතල ඇති කාලවලදී ඇතැමුන් තෙල් ඇඟෙහි තවරාගෙන සීතල දුරුකර ගන්නා අයුරු අද ද දක්නට ලැබේ. ඒ අනුව මෙයද දොළොස් පිරිකරට ඇතුළත් වූයේ ඒ අරමුණින් ම විය හැකිය.
.
▬▬▬▬▬ දොළොස් පිරිකර ▬▬▬▬▬

‘ද්වාදස පරික්ඛාරිකස්ස ඡත්තං වා උපාහණං වා වට්ටති’ දොළොස් පිරිකරයට කුඩයක් හෝ පාවහන් යුවලක් සුදුසුය. කුඩය අව්වෙන් හා වැස්සෙන් ආවරණය වීම සඳහා යොදා ගැනේ. පාවහන් පැළඳගෙන යාමක් මුල් කාලයේ නොතිබුණත් පසුකාලීනව එහි අවශ්‍යතාව පැණ නැගුණු බැවින් දොළොස් පිරිකරට මෙය ද සුදුසු වන්නේ යැයි පසුකාලීනව සිටි භික්ෂූන් සිතන්නට ඇත.
මේ ආකාරයට දන් දෙන අවස්ථාවේ පූජා කරන්නා වූ අටපිරිකරට හා දොළොස් පිරිකරට අයත් පූජා ද්‍රව්‍ය මෙනම් යැයි පෙන්වා දිය හැකිය.
.
.
බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ
සහකාර කථිකාචාර්ය, රාජකීය පණ්ඩිත
වැලිවිට සොරත හිමි

බුදු දහමෙහි අපාය සංකල්පය

ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත 
මහරැඹෑවැවේ පාලිත හිමි
"අපාය" යන පදය බුදු දහමෙහි බොහෝ තැන්වල විස්තර වන්නේ තනි පදයක් ලෙස නොවේ. තවත් පද කිහිපයක් සමගිනි. එනම් ‘අපායං දුග්ගතිං විනිපාතං නිරයං’ යනුවෙනි. මෙහි දී ‘අපායං’ යන පදය හා ‘දුග්ගතිං විනිපාතං’ යනු සෙසු පදත් නිරය, යන්නට විශේෂණ පද ලෙස යෙදී ඇත. ඒ අනුව බලන විට අපාය යන්න මෙහි දී විස්තර වන්නේ නිරය යන්නට විශේෂණ පදයක් ලෙසය. ‘අපායං’ යන්නෙහි තේරුම වන්නේ සැපයක් නැති (අ+පායං) තැන යන්නයි.
බෞද්ධයින් වශයෙන් අප කාටත් අපාය යන වචනය ඇසෙත් ම බිය මුසු අකැමැති ස්වභාවයක් අප සිතට නැගෙයි. ඊට හේතුව ‘පව් කරන අය අපායේ යති’ යන මේ සංකල්පය කුඩා කල සිට ම අප කාගේත් සිත් තුළ පැළ පැදියම් වී ඇති බැවිනි. කුඩාකල අප පාපයෙන් වැළැක්වීම පිණිස මෑණියන් අපට අවවාද දෙන්නේ ‘පව් වැඩ කරන්න එපා. පව් කරන අය අපායේ යනවා’ යන වදනින් ය. කුඩා කල අපාය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? යන්න අපට ප්‍රශ්නයක් වූව ද අපට අපේ මෑණියන් කියාදෙන අපායේ ඇති ගිනිදැල්, ලෝදිය, කටුඉඹුල වැනි දේ කිසිදා අමතක නොවෙයි. මේ නිසා ම අප බොහෝ දෙනෙක් පාපයන්ගෙන් වැළකීමට හෙවත් අයහපත් දේ නොකිරීමට යම් තරමකට පෙළඹවීමක් ලබා දෙයි.
දහම් පාසල තුළින් ද පාසල තුළින් ද ප්‍රාථමික අධ්‍යාපනයත් සමඟ අපට පන්සිල්වල වටිනාකම තේරුම් කිරීමට උත්සාහ කරන්නේ ‘සතුන් මරන්න එපා අපායේ යනවා. අනුන්ගේ දේවල් ගන්න එපා අපායේ යනවා. කාමයේ වරදවා හැසිරෙන්න එපා අපායේ යනවා. බොරු කියන්න එපා අපායේ යනවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා අපායේ යනවා’ යන අවවාද වලිනි.
මේ නිසා අපාය යන සංකල්පයට ඇති බිය නිසාම පන්සිල්වල නියම අර්ථය නොදැන ගත්ත ද ඒවා ආරක්ෂා කිරීමට අප පුංචි කාලයේ සිට ම හුරු පුරුදු වෙයි. එයින් අප නොදැනුවත්ව ම අපේ ජීවිතවලට යම් සදාචාරාත්මක හරයක් එකතුකර ගනියි. එබැවින් අප පාපයෙන් වැළැක්වීම පිණිස අපාය යන සංකල්පය ඍජුවම අපේ ජීවිතයට බල පා ඇති බව මෙයින් පැහැදිළි වෙයි. අප පව් නොකළ යුත්තේ අපායට ඇති බිය නිසා ද? එසේ නැතිනම් එයින් අප ජීවිතයට යම් අගතියක් වීමට ඉඩ ඇති නිසා ද? එසේත් නැතිනම් අපේ ආගමට දහමට ඇති ගෞරවය නිසා ද යන්න අවබෝධයෙන් තේරුම් ගත යුත්තකි.
මේ කරුණු සලකා බලන විට ‘අපාය’ යනු පව්කම්වල නිරතවන සියලු දෙනා මතු භවයන් හි දී ඔවුන් කළ අකුසල කර්මයන්ට අනුව විපාක ලබා දෙන ස්ථානයක් බව දහම පිළිබඳ සුළු හෝ දැනුමක් ඇති කාට වුව ද පැහැදිලි වෙයි. මේ නිසාමය අප කවුරුත් අපාය යන වචනයට අකැමැත්තක්, බිය මුසු ස්වරූපයක් මෙන් ම පිළිකුල් හැඟීමක් ඇති කරගනු ලබන්නේ.
බුදු දහමෙහි නරකය – තිරිසන් - ප්‍රේත – අසුර යනුවෙන් සතර අපායක් පිළිබඳ කරුණු ඉදිරිපත් කොට ඇත. නරකය යනුවෙන් අදහස් කරන්නේ නිරයෙහි අනන්ත දුක් විඳින සත්ත්වයන් ය. තිරිසන් යනුවෙන් අදහස් කරන්නේ තිරස් අතට හෙවත් හරහට යන සතුන් ය. එනම් අලියා ඇතාගේ සිට සියලු සිව් පා සතුන් මෙම වර්ගීකරණයට ඇතුළත් වෙයි. ප්‍රේත යනු නිසි පරිදි ආහාර - පාන, වස්ත්‍ර - වාසස්ථානාදිය නොලබා දුකසේ ජීවත්වන එමෙන් ම අප්‍රසන්න හා විරූපී ශරීරයන්ගෙන් යුතුව දිවිගෙවන පිරිසකි. අසුර යනු දෙවින්යන්ට පරාජය වූ දෙවියන්ගේ පිළිකුලට භාජනය වූ දෙවියන්ගේ සතුරු පිරිසකි. මේ සතර අපාය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මතු ලිපිවල පළ කිරීමට බලාපොරොත්තු වෙමු.
අපාය යන පදය බුදු දහමෙහි බොහෝ තැන්වල විස්තර වන්නේ තනි පදයක් ලෙස නොවේ. තවත් පද කිහිපයක් සමගිනි. එනම් ‘අපායං දුග්ගතිං විනිපාතං නිරයං’ යනුවෙනි. මෙහි දී ‘අපායං’ යන පදය හා ‘දුග්ගතිං විනිපාතං’ යනු සෙසු පදත් නිරය, යන්නට විශේෂණ පද ලෙස යෙදී ඇත. ඒ අනුව බලන විට අපාය යන්න මෙහි දී විස්තර වන්නේ නිරය යන්නට විශේෂණ පදයක් ලෙසය. ‘අපායං’ යන්නෙහි තේරුම වන්නේ සැපයක් නැති (අ+පායං) තැන යන්නයි. ‘දුග්ගතිං’ යන්නෙහි තේරුම නපුරු ගති පැවතුම් ඇති තැන යන්නයි. ‘විනිපාතං’ යන්නෙහි අදහස නපුරු හා දරුණු වැටීම් හෙවත් පතිතවීම් ඇති තැන යන්නයි. ‘නිරයං’ යනු නරකය හෙවත් පව් කළ අය උපදින ස්ථානය යන්නයි. ඒ අනුව මේ පද හතරෙහි තේරුම ‘සැපයක් නැති, නපුරු ගතිපැවතුම්, ඇති නපුරු හා දරුණු වැටීම් හෙවත් පතිතවීම් ඇති පව් කළ අය උපදින ස්ථානය’ යනුවෙන් අර්ථ දැක්විය හැක.
සත්තං කායදුච්චරිතෙන සමන්නාගතා වචිදුද’දරිතෙන සමන්නාගතා
මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා
මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරං මරණා අපා යං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා
ඉහත සූත්‍ර පාඨයෙන් පැහැදිළි වන්නේ කයෙන් දුසිරිතෙහි යෙදුණු වචනයෙන් දුසිරිතහෙි යෙදුණු මනසින් දුසිරිතෙහි යෙදුණු ආර්ය ධර්මයට නිගරු කරන වැරදි වැටහීම් ඇති වැරැදි කර්මයන්හි යෙදුණු පුද්ගලයින් සිරුරේ බිඳීමෙන් හෙවත් මරණින් පසු සැපයක් නැති, නපුරු ගතිපැවතුම් ඇති නපුරු හා දරුණු වැටීම් හෙවත් පතිතවීම් ඇති නිරයෙහි උපදින බවයි.
පෙළ දහමෙහි අපට වැඩි වශයෙන් හමුවන්නේ 'නිරය' යන වචනයයි. එමෙන් ම ‘නේරයිකා සත්තා’ යන වචනය ද අපට හමුවෙයි. නේරයිකා යන වචනයෙහි තේරුම නිරයෙහි උපන් යන අදහසයි. ඒ අනුව නේරයිකා සත්තා යන්නෙන් නිරයෙහි උපන් සත්වයෝ යන අදහස එයි. එසේ වූව ද අප දෛනික ව්‍යවහාරයේ දී බොහෝ සෙයින් භාවිත කරන්නේ අපාය හෝ දුගතිය යන වචනයන් ය. ඒ සියල්ලන්ගේ ම එකම අදහසක් ඇති බව පැහැදිලි වෙයි. එනම් ‘සැපයෙන් තොර දුක් සහිත ස්ථානයක උපන් අය’ යන්නයි.
සත්ත්වයින්ගේ උප්පත්තිය සිදුවන ක්‍රම හතරක් පිළිබඳව මජ්ක්‍ධිම නිකායේ මහා සීහනාද සූත්‍රයේ විස්තර වෙයි. එනම්, අණ්ඩජ, ජලාබුජ, සංසේදජ හා ඕපපාතික වශයෙනි. මෙයින් හතරවන තැනට විස්තර වන ඕපපාතික යන්නෙහි අදහස ඉබේ පහළවන යන්නයි. ඒ අනුව ඉබේ පහළවන සත්ත්වයන් මෙසේ ය. දෙවියන්, නිරයේ උපදින අය, ඇතැම් මිනිසුන්, දුක්විදින ඇතැම් ප්‍රේතාදීන් යන මේ පිරිස් ඕපපාතික ගණයට අයත් වෙයි.
කතමා ච, සාරිපුත්ත , ඕපපාතිකා යොනි? දෙවා, නොරයිකා, එකච්චෙ ව මනුස්සා, එකච්චෙ ච 
විනිපාතිකා අයං වුව්වති, සාරිපුත්ත, ඕපපාතිකා යොනි,
මජ්ක්‍ධිම නිකාය – මහා සීහනාද සූත්‍රය
මෙහි දී අපායෙහි හෙවත් නිරයෙහි උපදින සත්ත්වයන් ලෙස ‘නෙරයිකා’ හා ‘විනිපාතිකා’ යන වර්ගීකරණයන්ට අයත් සත්ත්වයන් හඳුනාගත හැකිය. ඒ අනුව අපායෙහි හෙවත් දුගතියෙහි පහළවීම හෙවත් හටගැනීම සිදුවන්නේ තමා කළ අකුසල කර්මයේ විපාකය අනුව බව මෙයින් පැහැදිලි වෙයි. නිරයේ හෙවත් අපායෙහි විවිධ වර්ගීකරණයන් ඇත. එමෙන් ම ඒ ඒ නිරයන්හි ප්‍රමාණයන් මෙන් ම ඒ ඒ නිරයන්හි දී පමුණුවන දඬුවම හා ආයුෂ ප්‍රමාණ ආදියෙහි විවිධ වෙනස්කම් ඇත. ඒ පිළිබඳ ඉදිරි ලිපිවල දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

සම්මුති මුසාව සහ ආර්ය මුසාව

පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි
ආර්ය නිකේතනය - කන්නිමහර-වතුරුගම.

සාමාන්‍ය ජීවිතයේදී මුසාවාදය ලෙස සලකනුයේ තමන්ට යම් දෙයක්‌ හෝ කෙනෙක්‌ අත්පත්කර ගැනීමට, තමන්ගේ සහ තමන්ගේ කුලයේ ගෞරවය ආරක්‌ෂා කරගැනීමට, තව කෙනෙකුට නින්දා අපහාස කිරීමට, තව අයෙකුගෙන් පළිගැනීමට, තමන් රැස්‌කරගත් හෝ ගොඩනඟාගත් දේ ආරක්‌ෂා කිරීමට, තව අයකු රැවටීමට, තව අයෙකුට සමච්චල් කිරීමට, උසුළු විසුළු කරමින් සිනහා ගැන්වීම් ආදිය සඳහා සිදුකරන්නා වූ අසත්‍ය ප්‍රකාශයන්ය. 

සමහරු තමන්ට නැති සම්පත් දේපල ආදිය ඇතැයි කියා බොරු කියයි. සමහරු තමන්ට ඇති සම්පත් නැතැයි කියා බොරු කියයි. සමහරු සමත් නොවූ විභාග සමත් වූවා යෑයි බොරු කියයි. සමහරු හොරකම් වංචා ආදී වැරදි වැඩ කර ඒවා නොකළ බවට බොරු කියයි. සමහරු තමන්ගේ කුලය, බලය, වයස යනා දී දේ ගැන බොරු කියයි. මේවා සම්මුතිය තුළ සිදුකරන මුසාවන්ය. බුදුපියාණන් වහන්සේ විහිළුවකටවත් බොරුවක්‌ නොකියන ලෙස දේශනා කර ඇත. 

අප මහ බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබීමෙන් පසු කිසිවිටක බොරුවක්‌ කියා නැත. එක්‌ ආත්මයක බෝධිසත්වයන් වහන්සේ පංච අභිඥා සහ අෂ්ඨ සමාපත්ති සහිතව හරිත්තච නම් තාපසයෙක්‌ වශයෙන් සිටින අවස්‌ථාවේ බරණැස්‌ රජුගේ ආරාධනයෙන් රාජ උයනේ වස්‌ වසන ලදී. දිනක්‌ අහසින් රාජ මාලිගයට පිණ්‌ඩපාත වඩින තාපසයාට වස්‌ත්‍ර ඉවත් වූ රාජ දේවිය දැක යටපත් වූ කාමරාගය ඉස්‌මතු වී දේවිය සමඟ කාමයේ හැසිරිණි. එතැන් පටන් දිගටම මෙම ක්‍රියාවලිය සිදුවිය. සටනක නිරත වන රජතුමාට මේ බව සැලවිය. නමුත් විශ්වාස නොකළේය. නැවත රාජධානියට පැමිණ දේවියගෙන් සහ හරිත්තච තාපසයාගෙන් මේ බව විමසන විට ලැබුණේ එකම පිළිතුරකි. එනම් 'එසේ සිදුවිය' යන සත්‍යයි. නුවණැති රජතුමා සත්‍ය දැනගත් බැවින් හරිත්තච තාපසයා කෙරෙහි නො කිපිණ. පසුව නැවත ධ්‍යාන වඩා තාපසයා වනගත විය. එනම් ගෞතම බුදුපියාණන් වහන්සේ තමා බෝධිසත්වයන් වශයෙන් සිටියදී පවා කොතරම් සත්‍යයට ගරුකර ඇත්දැයි යන්න මෙම කථා වස්‌තුවෙන් ප්‍රකට වේ. 

යම් අයෙක්‌ ලෝකයේ පවතින දේවල් මගේ කරගෙන උපාදානය කරගෙන ඇත්නම් ඔහුට හෝ ඇයට බොරු කීමට සිදුවේ. මන්ද ලෝකයේ පවතින දේවල් නිත්‍යයි, සුඛයි, ආත්මයි කියා ගත් නිසාය. නමුත් ලෝකයේ යථාර්ථය හෙවත් සත්‍ය අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ලෙස ගත් කෙනාට ලෝකයේ 

රැස්‌කර ගැනීමට දෙයක්‌ නොමැත. ඔහු හෝ ඇය කරනුයේ මගේ කරගත් ලෝකය අතහැරීමයි. එනම් යමක්‌ මගේ කරගත්ත කෙනාට බොරු කියන්න සිදුවෙනවා. ලෝකයේ කිසිවක්‌ තමන්ට අයිති නොවේ. ස්‌වභාව ධර්මයේ ක්‍රියාවලියක්‌ කිසිසේත්ම මගේ කරගත නොහැක. 

ලෝකය තුළ සැප සොයන පුද්ගලයා මුසාවන් හතරක්‌ තුළ නිරත වෙමින් රැස්‌කිරීම සිදුකරයි. ඒවා ආර්ය මුසාවන්ය. මේවා සම්මුතිය තුළ මුසාවන් ලෙස නොගනී. මෙම වැරදි වැටහීම් තුළින් මුසාවන් සිදුකරනුයේ විපරීත සිතකිනි. එබැවින් ඒවා විපල්ලාස ලෙස ද සැලකේ. මෙම විපරීත සිතින් ඇතිකරගන්නා මුසාවන් තුළ සංඥාවක්‌, විත්තයක්‌, සහ දෘෂ්ටියක්‌ පවතී. යම්කිසි අයෙකු රහත්වන තුරාවටම මෙම මුසාවන් සිදුකරයි.

- අසුබ දේ සුබයි කියන මුසාව - අසුභෙ සුභන්ති විපල්ලාසො

අප කන බොන ආහාරයත් එම 

ආහාරයෙන් සෑදුන ශරීරයත් කබලිංකාර ආහාරය ලෙස හඳුන්වයි. මනවඩනා රූපය ලෙස සලකන්නේ ද කබලිංකාර ආහාරයයි. පළමු මුසාව වන්නේ එම අසූචිවලින් පිරුණ කයත්, කාලා අසූචි පිටකරන කන බොන ආහාරයත්, හොඳයි, ලස්‌සනයි, මැනවයි, අත්පත් කරගන්න ඇත්නම් හොඳයි, යනාදී වශයෙන් අසුබ දෙය සුබ වශයෙන් ප්‍රකාශ කිරීමයි.

මෙසේ අසුබ දේ සුබ වශයෙන් ගැනීමෙන් කාමයන් දැඩිව අල්වාගැනීම හෙවත් කාම උපාදානය ඇති වේ. එම උපාදානය වූ කාමයන්වල යෙදීමෙන් සසරට ගැට ගැසීමක්‌ හෙවත් කාමයෝගය ඇති වේ. එසේ ගැටගැසුණ දේ එකතුවීම දැඩි ලෝබයේ ගැටගැසීම හෙවත් අභිඡ්Cධාකායගන්ථො ලෙස හැඳින්වේ. මෙසේ පොතක්‌ මෙන් ගැටගැසුණ කාමයන්ගේ පල්වීමක්‌ හෙවත් කාම ආශ්‍රවයන් ඇති වී කාම සැඩපහරට හෙවත් කාම ඕඝයට හසුවේ. ඒ තුළින් රාගය නැමති හුල හෙවත් රාග සල්ලය ක්‍රියාත්මක වී විඥනය රූපයේ බැසගනී. (රූපූපගං විඤ්ඤාණං තිට්‌ඨති). එම හේතුවෙන් අසූචි ගොඩක්‌ අත්පත් කර ගැනීමේ කැමැත්තෙන් අගති ගමනක්‌ හෙවත් ඡන්දයෙන් අගති ගමනක්‌ ගොස්‌ නැවත නැවත දුක හදාගෙන ගමන් කරයි.

- දුක්‌ දේ සැපයි කියන මුසාව - දුක්‌බෙ සුඛන්ති විපල්ලාසො

ජීවිත පැවැත්මේ ඇත්තේ දුක්‌ ගොඩකි. ජාති, ජරා, ව්‍යාධි, මරණ සියල්ල දුකකි. ගෙදරදොර වැඩකටයුතු, රාජකාරී වැඩකයුතු, අධ්‍යාපන කටයුතු, ගොවිතැන් කටයුතු, යුතුකම් වගකීම් මේ සියල්ල මහ දුකකි. අනික්‌ කෙනා අභිභවා මෙම දුක, සැප ලෙස සෙවීමට උදේ සිටන් රෑ වෙනකම් රෑ සිටන් එළිවෙනකම් මහා උපායාසයක යෙදෙයි. නමුත් මේ සියල්ල තමා සැපයි කියා ගනියි. එනම් දුක්‌ දේ සැපයි කියා ගැනීම දෙවන බොරුවයි.

තමන්ගේ ජීවන පැවැත්මේ නිතරම ස්‌පර්ශ වන දුක සැපක්‌ ලෙස ගැනීම සඳහා විවිධ සීල-ව්‍රත ආදියෙහි ඇලී සිටියි. මෙහිදී අනාගත භවය දැඩිව ගැනීම තුළින් සීලබ්බත උපාදානය ඇතිවේ. අනාගතයේ වෛද්‍යවරයා වීම සඳහා කෙනකු දැඩි ලෙස පාඩම් කරන්නේ ද මෙම උපාදානය හේතුවෙනි. මෙසේ භවය පැවැත්විය හැකි යෑයි කල්පනා කිරීම භව යෝගයයි. මෙහිදී අපේක්‌ෂා කරන සැපය නොව සත්‍ය වශයෙන්ම ස්‌පර්ශ වන්නේ දුක බව දැනෙනවාත් සමඟම ව්‍යාපාදයෙහි ගැටගැසේ. මෙය ඛ්‍යාපාදකායගන්ථො ලෙස හැඳින්වේ. මෙලෙස භවය පැවැත්වීමේ දී භව ආශ්‍රවය ඇති වී භවය නමැති සැඩපහරට හෙවත් භව ඕඝයට හසුවේ. මෙහිදී දුක දේ සැප ලෙස ස්‌පර්ශ වන නිසා ද්වේශ හුලක්‌ හෙවත් ද්වේශ සල්ලය තමන්ට එල්ල වේ. මෙහි දී පෙර වේදනාව නැවත පතයි. එහි දී විඥනය වේදනාව තුළ බැසගනී. (වෙදනූපගං විඤ්ඤාණං තිට්‌ඨති). දුක්‌ඛය ම ස්‌පර්ශ වන නිසා තමන් ද්වේශයෙන් අගති ගමනක්‌ යැම සිදුවේ.

- මම නොවන දේ මගේ යෑයි ගැනීමේ මුසාව - අනත්තනි අත්තාති විපල්ලාසො 

මගේ කය, මගේ ස්‌වාමියා, මගේ බිරිඳ, මගේ දරුවන්, මාගේ දේපළ, මගේ වාහනය, මගේ රැකියාව ලෙස සියල්ල මගේ කියා ගත්ත ද ඒවා මගේ නොවන දේවල්ය. එසේ මගේ නොවන දේ මගේ කියා ගැනීම තෙවන බොරුවයි.

ඇස, කණ ආදී ඉන්ද්‍රියන්ට ස්‌පර්ශ වන රූප සහ ඒ තුළින් හටගන්නා වේදනා නැවත නැවත ස්‌පර්ශ කරමින් මගේ නොවන දේ මගේ වශයෙන් දෘෂ්ටිගත වී දිට්‌ඨි උපාදානය සිදු වේ. එම දෘෂ්ටියෙහි ම නැවත නැවත යෙදීම නිසා දිට්‌ඨි යෝගය ඇති වේ. මෙසේ මගේ නොවන දේ මගේ ලෙස වරදවා වටහා ගැනීම නිසාත් එම සංස්‌කාරයන්වලට ඇලීම නිසාත් එම දෘෂ්ටියෙහි ගැට ගැසීමක්‌ තුළින් පරාමාසකායගන්ථො වේ. එබැවින් එම දෘෂ්ටිය තුළ පල්වීමක්‌ හෙවත් දෘෂ්ටි ආශ්‍රවය ඇති වී දිට්‌ඨියේ සැඩපහරට හෙවත් දෘෂ්ටි ඕඝයට හසු වේ. දැන් මගේ නොවන දේ මගේ යෑයි වන දෘෂ්ටි හුලක්‌ හෙවත් ඊතලයක්‌ තමන්ට වදී. එය දෘෂ්ටි සල්ලයයි. එහි දී විඥනය සංඥාවෙන් සාදන චේතනා අල්ලාගෙන (සඤ්ඣදූපගං විඤ්ඤාණං තිට්‌ඨති) කැමැත්තෙන් සාදාගත් චිත්ත සංඛාර බිඳෙයි යෑයි බියකින් අගතිගමනක්‌ (භයා අගතිගමනං) යයි.

- අනිත්‍ය දේ නිත්‍යයි ලෙස ප්‍රකාශ කරන බොරුව - අනිච්චෙ නිච්චන්ති විපල්ලාසො

ගේදොර ඉඩකඩම්, තමන්ගේ කය ඒවගේම සිත ආදී සෑම දේම වෙනස්‌ වේ. එනම් ඇතිවෙමින් නැතිවෙමින් ප්‍රවර්ථනය වේ. නමුත් තමන් මේවා වෙනස්‌වන දේවල් වෙනස්‌ නොවන ලෙස අල්ලා ගනී. එනම් අනිත්‍ය දේ නිත්‍ය යෑයි ලෙස ගැනීම සිවුවන බොරුවයි.

මෙසේ වෙනස්‌වන දේ මගේ යෑයි දෘෂ්ටිගත වීම නිසා අත්තවාද උපාදානය ඇති වේ. මෙම සත්‍ය නොදන්නා නිසා අවිද්‍යාව තුළ යෙදෙයි. එය අවිද්‍යා යෝගය යි. අසත්‍ය දේ සත්‍ය වශයෙන්ම ගැටගැසීම නිසා ඉදංසච්චාභිනිවෙසො කායගන්ථො වෙයි. ඒ තුළින් ඇතිවන පල්වීම හේතුවෙන් අවිද්‍යා ආශ්‍රවය ඇතිවේ. එම නිසා අවිද්‍යා සැඩ පහරට හසු වී ගසාගෙන යයි. එය අවිද්‍යා ඕඝයයි. මෙම අවිද්‍යාව නිසා අනිත්‍ය දෙයක්‌ නිත්‍ය වශයෙන් මුලාව නැමති හුලක්‌ හෙවත් මෝහ සල්ලයක්‌ තමන්ට වදී. එහිදී සංස්‌කාර අල්ලාගෙන විඥනය පවතින අතර (සඬඛාරූපගං විඤ්ඤාණං තිට්‌ඨති) ඒ තුළින් මෝහයෙන් අගති ගමනක්‌ (මොහා අගතිගමනං) යයි.

මෙලෙස සිදුකරන සම්මුති මුසාවෙන් වෙන්ව එමෙන්ම ආර්ය මුසාවෙන් ද වෙන්ව සිට පිරිනිsවෙන රහතන් වහන්සේ නමක්‌ බවට පත්වීමට අධිෂ්ඨානයෙන් ඉදිරියට යැමට සත්‍යම අවබෝධ කර ගනිමු.

මහායාන සම්ප්‍රදායෙහි බෝධි සත්ත්ව සංකල්පය විදහා දක්‌වන දස භූමි න්‍යාය

බුදුන්වහන්සේ ජීවමානව වැඩ සිටි කාලසීමාවේදී මෙන්ම ඉන් පසුකාලීනව ද බුද්ධ භාෂිත ඉගැන්වීම් පිළිබඳ විවිධ මතවාද ඇතිවිය. මේ සඳහා ශාසනික වශයෙන් වැදගත් තොරතුරු රැසක්‌ පෙළ සාහිත්‍යයෙන් සපයා ගත හැකිය. ඒ අතර දේවදත්ත තෙරුන්ගේ ක්‍රියාකලාපය, සුදින්න තෙරුන්ගේ ක්‍රියාකලාපය, උදායි තෙරුන්ගේ ක්‍රියාකලාපය ආදිය ප්‍රධාන වේ. බුදුදහමෙහි මූලික හර පද්ධතියට පටහැනි මත දැරීම මෙහි ප්‍රාථමික අවස්‌ථාවයි. ඒ අනුව මුල් බුදු සමයේ ඇතුළත් ඇතැම් නිරවද්‍ය ධර්ම කරුණු සාවද්‍ය කොට ඉදිරිපත් කිරීමක්‌ මෙහිදී දක්‌නට ලැබේ. ප්‍රකෘති ධර්ම කරුණු විකෘති කොට දැක්‌වීම ක්‍රම ක්‍රමයෙන් වර්ධනයවී විකාශනය වීමට ශතවර්ෂ ගණනක්‌ ගතවන්නට ඇත. මෙම තත්ත්වය හමුවේ ලොව ඇති කිසිදු ආගමක්‌ හෝ දර්ශනයක්‌ හෝ පවතින ආකාරයෙන් පවත්නේ යෑයි අනුමාන කළ නොහැකිය. මේ අනුව කාලීන අවශ්‍යතා සපුරා ගැනීමේදී ආගමික සංකල්පයන්ගේ යම් යම් වෙනස්‌කම් සිදුවීම සුලබය. 

බුදුරජාණන් වහන්සේ උත්තරීතර මිනිසකු වශයෙන් පිළිගන්නා ථෙරවාදීන් බුද්ධ භාෂිතාගත තෙවළා දහම තම මුල් ගුරුවරයා ලෙස සලකයි. බුදුන්වහන්සේ යනු උතුම් මිනිසකු බවත් මිනිසත්බව ඉක්‌මවූ තත්ත්වයට පත්වූ බවක්‌ ථෙරවාදීන් පිළිගනී. එහෙත් බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ සියයකට පසු උන්වහන්සේ පිළිබඳ මෙන්ම උන්වහන්සේගේ ධර්මය පිළිබඳ විවිධ මතභේද හා මතවාද බෙහොමයක්‌ හට ගැනුණි. ද්වතීය ධර්ම සංගායනාවෙන් පසු ඇතිවූ මහා සාංඝික නිකාය එබඳු මතවාද දැරූ පිරිසකගෙන් යුක්‌ත විය. පුද්ගලයා තුළ ආධ්‍යාත්මික ශික්‌ෂණයක්‌ ඇතිකොට විදර්ශනා ප්‍රඥාවෙන් පරිපූර්ණ පුද්ගලයකු බවට පත් කරවීමට මුල් බුදුසමය උත්සාහ ගනී. මෙයම මුල් බුදුසමයෙහි පරම නිශ්ඨාව ලෙස සැලකේ. මුල් බුදුසමය මෙම පදනම මත සකස්‌ වුවද රහතන් වහන්සේ පිළිබඳ අර්ථ නිරුපණය මතභේදාත්මක විය. ඒ අනුව මෙහි අවසන් ප්‍රතිඵලය රහත් බව හා රහතන් වහන්සේ පිsළිබඳ භික්‌ෂු සමාජය තුළ ඇතිවූ මතභේදාත්මක විචාරයයි. කථාවස්‌තුප්‍රකරණය හා එහි අට්‌ඨකතාව විස්‌තර කරන්නේ මහායාන සම්ප්‍රදාය බිහිවීමට මෙම ගැටලුව හේතුවූ බවයි. මේ හේතුවෙන් මතභේද සහිත රහත් බව හා රහතන් වහන්සේ පිළිබඳ සංකල්පය පසෙකින් තබා ඒ වෙනුවට බෝධිසත්ත්ව සංකල්පය කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු විය. ඒ අනුව බෝධිසත්ත්ව සංකල්පය මහායාන මූල සිද්ධාන්තය විය. කණිෂ්ක සංගීතියෙන් පසු ස්‌ථාවර තත්ත්වයකට පත් මහායාන සම්ප්‍රදාය පසුකාලීනව ප්‍රබල තත්ත්වයකට පත්ව ඇත.

මානසික වශයෙන් හා භෞතික වශයෙන් මනුෂ්‍යත්වය ඉක්‌මවූ රහතන් වහන්සේ වෙනුවට හිත සුව සලසන බෝධිසත්ත්ව වන්දනයට බොහෝදෙනා ක්‍රම ක්‍රමයෙන් නැඹුරු විය. එමෙන්ම රහත් බවට පත්වීම දුෂ්කර කාර්යයක්‌ බවත් බෝධිසත්ත්ව තත්ත්වයට පත්වීම එතරම් දුෂ්කර කාර්යයක්‌ නොවන බවත් මහායානිකයන්ගේ අදහස විය. ඔවුන් බුදුන් වහන්සේද බෝධි සත්ත්වවරයකුට සමාන කොට දැක්‌වීමට තරම් පසුබට නොවීය. එමෙන්ම මහායාන සංකල්පය මත පදනම්ව ඇති න්‍යායයන් කිහිපයක්‌ මහායාන දර්ශනයෙහි දක්‌නට ලැබේ- බෝධිසත්ත්ව සංකල්පය

- සමස්‌ත ජනතාවගේ යහපත උදෙසා සියල්ලෝම කටයුතු කිරීම

- පැවිද්දෙහි පරමාර්ථය තමන් පමණක්‌ දුක්‌ දුරු කිරීමෙන් පමණක්‌ නොව බෝසත් බවෙන් සමස්‌ත ප්‍රජාවගේ දුක්‌ දුරු කිරීමට කටයුතු කිරීම

- බෝසත් බවට පත්ව ලබන බුදුබව අලෞකික තත්ත්වයක්‌ බවත් බුද්ධකාය සදාතනික බවත් අවබෝධ කර ගැනීම

- ත්‍රිකාය සම්පත්තිවාදය විශ්වාස කිරීම

- පාරමිතාවාදය, දස භූමි වාදය විශ්වාස කිරීම

බුද්ධත්වයේ ප්‍රාථමික අවස්‌ථාව ලෙස සැලකෙන බෝසත් අවධිය පිළිබඳ ථෙරවාදීන්ට වඩා විශේෂ උනන්දුවක්‌ දක්‌වන්නේ මහායානිකයන්ය. ඔවුන් පිළිගත් මතය නම් උත්තරීතරයාගේ (බෝසත්වරයාගේ) පරම යුතුකම විය යුත්තේ මානව සමාජයට සේවය කිරීමයි. මෙහිදී දයානුකම්පිත හැඟීමෙන් බුදුවරුන් ඉදිරියෙහි සපථ වන බෝධිසත්ත්වවරයා දස භූමීහු අතික්‍රමණය කොට බුද්ධත්වයට පත්වෙති. මෙම දස භූමීන් උත්තරීත්වය උදෙසා බෝධි සත්ත්ව සන්තානයෙහි හටගන්නා ගුණධර්මයන් වීමද විශේෂිතය. මෙම දස භූමීන් පුද්ගලයකු ලබන එක්‌තරා අධිගම තත්ත්ව සමූහයකි. දස භූමිකා සූත්‍රයේදී බෝධි සත්ත්වවරයකු විසින් බුද්ධත්වය ලබාගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු දස භූමීන් ප්‍රමාණකොට දක්‌වා තිබේ.

01. ප්‍රමුදිතා

බෝධිසත්ත්ව සංකල්පයට අයත් දස භූමීන් අතර පළමුවැන්න ප්‍රමුදිතාවයි. ඈත දුර සිටින්නකු බොහෝ කලකට පසු දැකීමෙන් ඇතිවන සතුටක්‌ මෙන් ධර්මකාය සෙවීමෙන් ඇතිවන ආධ්‍යාත්මික සතුට ප්‍රමුදිතාවයි. මෙහිදී පුද්ගලයා විසින් බුදුබව ලබන්නෙමියි යන ඉතා දැඩි අධිෂ්ඨානය ඇතිකර ගැනීම අපේක්‌ෂිතය. මේ සඳහා උසස්‌ පුද්ගලයන්ගෙ ඇසුර ද ලබාගත හැකිය. මෙවැනි ඇසුරක්‌ ලබන්නෝද, ඇසුරට ලක්‌වන්නෝද බෝසත්වරුන් ලෙස හඳුනාගත හැකිය. බෝසත්වරයකුගේ සිත කරුණාව, මෛත්‍රිය, භක්‌තිය, භය, ලඡ්ජාව ආදී ගුණාංගයන්ගෙන් අනූන වන අතර පරෝපකාරී බෝසත්වරයා සුපුරුදු දිනචරියාවකින් කාලය ගත කරයි.

පළමුවන අවස්‌ථාව - සතර දිශාවෙහි සිටින බුදුවරුන්ට වන්දනාමාන කිරීම.

දෙවැනි අවස්‌ථාව - බුදුවරුන්ගේ ශික්‌ෂා පද ආරක්‌ෂා කිරීම

තෙවැනි අවස්‌ථාව - තුසිත දිව්‍ය ලෝකයේ සිට මනුෂ්‍ය ලෝකයෙහි ඉපිද නිර්වාණය අවබෝධ කරගන්නා තෙක්‌ හමුවන සෑම බුදුවරයකුම දැකීම

සිව්වන අවස්‌ථාව - සියලු පාරමිතාවන් හා සියු ගුණාංගයන් දියුණු කර ගැනීම සඳහා ඊට අවශ්‍ය අවබෝධය ලබාගැනීම

පස්‌වැනි අවස්‌ථාව - සෑම සත්ත්වයකුම බුදුබවට පත්කිරීම

සයවන අවස්‌ථාව - සෑම දෙයක්‌ පිළිබඳ විශේෂ දැනීමක්‌ ලබාගැනීම

සත්වන අවස්‌ථාව - සෑම සත්ත්වයකුම ප්‍රීතියට පත්කිරීම

අටවන අවස්‌ථාව - එක හා සමාන භාවනා ක්‍රම පුරුදු කිරීම

නවවන අවස්‌ථාව - බෝසත් ධ්‍යාන ගුණ දියුණු කිරීම

දසවස අවස්‌ථාව - බුදුබව ලබාගැනීමට අවශ්‍ය කරන සියලු ධර්ම හා සියලු ගතිගුණ ප්‍රගුණ කිරීම

2. විමලා 

තුන්දොරින් හා දස අකුසලයෙන් මිදී ලබන පවිත්‍රත්වය විමලා නම් වේ. අවංක, ක්‍රියාශීලී, කීකරු, අනතිමානී ගුණාංගයන්ගේ ප්‍රතිබිම්බය විමලාවයි. එමෙන්ම මෙහිදී බෝසත්වරයා සතර සංග්‍රහ වස්‌තුවට අයත් ප්‍රිය වචනය පුරුදු කිරීමට විශේෂ උනන්දුවක්‌ දක්‌වයි.

3. ප්‍රභාකරි

අෂ්ට සමාධි, චතුර්විධ බ්‍රහ්ම විහාර සම්පූර්ණත්වය මෙමගින් උදාකරයි. මෙහිදී බෝසත්වරයා සියලු ධර්මයන් අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ආදී ලක්‌ෂණයන්ගෙන් යුක්‌ත බවත් ඒවා විනාශයෙන් කෙළවර වන බවත් අවබෝධ කරගනී. ඉපදෙමින්-මැරෙමින්, මැරෙමින්-ඉපදෙමින් ගෙවන සසර දුක්‌ ගිනි නිවා ප්‍රඥව උපදවා ගැනීමේ කැමැත්තත් ප්‍රභාකරි භූමියේදී ඇති කරවයි.

4. අර්චිස්‌මති 

මෙහිදී සතර සතිපට්‌ඨානය (කායානුපස්‌සනා, වේනදානුපස්‌සනා, චිත්තානුපස්‌සනා, ධම්මානුපස්‌සනා), සතර සම්‍යක්‌ ප්‍රධාන (නූපන් කුසල් ඉපදවීමට උත්සාහ කිරීම, නූපන් අකුස්‌ නොඉපදවීමට උත්සාහ කිරීම, උපන් අකුසල් දුරු කිරීමට උත්සාහ කිරීම, උපන් කුසල් වර්ධනය කිරීමට උත්සාහ කිරීම), සතර සෘද්ධි පාද (ඡන්ද, චිත්ත, විරිය, විමංසා) පංච ඉන්ද්‍රිය (චක්‌ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය), ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආදී ගුණධර්මයන් වර්ධනය කර ගැනීමට බෝසත්වරයා පෙළඹෙයි. තවද මෙහිදී බෝසත්වරයාට අධිෂ්ඨාන සම්පන්නවීමේ අවශ්‍යතාවද පැනනඟී. බෝසත්වරයාගේ සිතෙහි ඇතිවන ප්‍රාණවත් බව හේතුකොට ගෙන ලෝකයෙහි යථා තත්ත්වය (උප්පාද, ඨිති, භංග) පිළිබඳ තත්ත්වාබෝධයක්‌ ඇති කර ගනී. එමගින් ලෝකය පිළිබඳ මෙන්ම තමා පිළිබඳවත් යම් අවබෝධයක්‌ ඇති වේ.


5. සුදුර්ජයා


අර්චිස්‌මති භූමියේදී පුරුදු පුහුණු කළ බෝසත් ගුණ ධර්ම පිළිබඳ ගැඹුරු අවබෝධයක්‌ ලබාගැනීමට සුදුර්ජයා භූමිය උපකාරී වේ. මෙහිදී බෝසත්වරයා තම සිත පාලනය කර ගැනීමට මෙන්ම අන්‍යයන්ගේ සිත් පුහුණු කිරීමටත් උත්සුක වෙයි. සුදුර්ජයා භූමියේදී බෝසත් සිතෙහි ඇතිවන පාපී සිතුවිලි යම් ප්‍රමාණයකට හෝ යටපත් කිරීම වැදගත් කොට සලකා තිබේ. එසේ නොකරන්නේ නම් බෝධිය පිළිබඳ ආලෝකයක්‌ හෙවත් අවබෝධයක්‌ බෝසත්වරයාට නොලැබේ.

6.අභිමු

ඉදිරියෙහි සිටීම යන අර්ථයෙන් සත්ත්වයාගේ පුනරුප්පත්තිය හා නිර්වාණය පිළිබඳ දැනීම අභිමු නම් වෙයි. මෙහිදී සසර දුක්‌ විඳින සත්ත්වයන් පිsළිබඳ නියම තත්ත්වය (අවිද්‍යාව, සංස්‌කාර, නාමරූප, දුක්‌ඛ, වේදනා, තෘෂ්ණාව, ජාති, ජරා, මරණ) වටහා ගැනීමට බෝසත්වරයාට අවස්‌ථාව හිමිවෙයි.

7. දූරංගමා 

තිදොර සංවරව උසස්‌ තත්ත්වයටද පත්ව බොහෝ දුර ගිය සිතැත්තේ අවබෝධයෙන් පසු සර්වඥතා ඥානය ලබයි. එහෙත් මේ වනවිට බෝසත්වරයා නිවන ළඟා කරගෙන නොමැති අතර කෙලෙස්‌ සම්පූර්ණයෙන් දුරු වූ බවක්‌ද නොපෙනේ.8. අචලා

ලෝකය හා සත්ත්වයා පිළිබඳ යථා තත්ත්වය අවබෝධ කොට ගෙන ලෝකෝත්තර තත්ත්වයට පත්වීම අචලා නම් වෙයි. මෙහිදී ලෝකය කිසිවකුගේ නිර්මාණයක්‌ නොවන බවත් එය සහේතුකව හටගත් දෙයක්‌ බවත් ඇතිවූ සියල්ල නැතිවීම ස්‌වභාවකොට ඇති බවත් බෝසත්වරයා අවබෝධ කර ගනී. නිර්වාණය ලබා ගැනීමට අවශ්‍ය කෙලෙස්‌ නැසී ම සම්පූර්ණයෙන්ම ඉටු කළ තත්ත්වයට පත්වන අතර බෝසත්වරයා පාරිශුද්ධත්වයේ කෙළ පැමිණි පුද්ගලයකු බවටද පත් වෙයි.

9. සාධුමති

මෙහිදී බෝසත්වරයා ධ්‍යාන, මාර්ග, මාර්ග ඵල ඥනය පිsළිබඳ අවබෝධයක්‌ ලබා සම්‍යක්‌ සම්බුද්ධත්වයට පත්වෙයි.

10. ධර්ම මේඝා

ඉතා අපහසුවෙන් අවබෝධ කරගත් ධර්මකාය අන්‍ය සත්ත්වයාට පැහැදිලි කර දීම හා එම සත්ත්වයන් සුමඟට යොමුකිරීම බෝසත්වරයාගේ යුතුකමකි. වගකීමකි. දැවෙන සත්ත්වයන්ගේ සිත් නිවාලීම ධර්ම මේඝා භූමියේදී සිදුවේ.

මහායාන සම්ප්‍රදායට අනුව බෝධි සත්ත්වයකු විසින් ධර්මාවබෝධය ලබන අවස්‌ථා ගණන දහයකි. එම අවස්‌ථාවන් දස භූමි න්‍යාය ලෙස හැඳින්වේ. පාරමිතා නමින් හඳුන්වන්නේ ද දස භූමීන්ය. ථෙරවාද සම්ප්‍රදායට අනුව බුද්ධත්වයට පත්වන බෝසත්වරයකු විසින් පූරණය කළ යුතු පාරමිතා ගණන දහසකි. එම පාරමිතාවන් දස පාරමිතා නමින් හැඳින්වේ. මේ අනුව ථෙරවාද හා මහායාන සම්ප්‍රදාද්වයට අනුව බුද්ධත්වය ලබන බෝසත්වරයකු විසින් සම්පූර්ණ කළ යුතු ගුණාංග ගණන ගණනින් සමානය. එහෙත් සංකල්ප වශයෙන් ගත් කල එකිනෙකට වෙනස්‌ය. එහෙත් මෙම තත්ත්වයන් සම්පූර්ණ කිරීමෙන් බෝධි සත්ත්ව භූමියෙන් මිදීම හා උතුම් අධිගමයට පත්වීමට හැකි බව ථෙරවාදීන්ගේ හා මහායානිකයන්ගේ අදහසයි.

බී.එම්.ඒ.ඡේ.බී. කරුණාරත්න, 
සිව්වන වසර (විශේෂවේදී), 
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X