සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

දිට්‌ඨිය නිවීම පිණිස නොවේ...

හිඟුල බෝධිමළු විහාරාධිකාරී, බෙලිගම්මන 
විද්‍යාභිවර්ධන, පරිවේණාධිපති ශාස්‌ත්‍රපති
පූජ්‍ය හීනාබෝවේ විමලකිත්ති හිමි

බුදුදහම මගින් පෙන්වා දෙන ආකාරයට දෘෂ්ටිය යන වචනය විවිධ සන්දර්භයන්හි විග්‍රහ කෙරේ. පාලි භාෂාව අනුව දිට්‌ඨි යනුවෙන්ද සංස්‌කෘත භාෂාවේදී දෘෂ්ටි වශයෙන්ද විග්‍රහ කෙරෙන අතර සිංහල වහරේදී දුටු දර්ශනය යනුවෙන් නිර්වචනය කෙරේ. මෙහිදී දෘෂ්ටි යනු දැකීම අර්ථවත් වන අතර එය කොටස්‌ දෙකකට බෙදේ. එනම් දැකීම නිවරදි හා වැරදි විය හැකිය. බුදු දහමට අනුව විමසා බැලීමේදී සම්මා දිට්‌ඨි හා මිච්ඡා දිට්‌ඨි යන්නයි. මෙහිදී දෘෂ්ටියක්‌ මුල්බැස ගැනීම සඳහා පුද්ගල කේන්ද්‍රීයාවය මුල්වේ. එය පුද්ගල මනසේ ගොඩනගා ගන්නා වූ සංකීර්ණ වූ ක්‍රියාවලියක්‌ ලෙස දැකිය හැකිය. විචාරශීලි බවේ හෙවත් බුද්ධියේ අවදිකමක්‌ නොමැති විටෙක දෘෂ්ටියට මඟ පෑදේ.

මිනිසා දුකට පමුණුවන ප්‍රබල සාධකයක්‌ ලෙස පෙන්වා දිය හැක්‌කේ උපාදානයයි. එම උපාදානය බොහෝ විට දෘෂ්ටියට මඟ පාදයි. තමා සමීපකර ගන්නා. දැඩිව එල්බ ගන්නා මතයක පිහිටා ක්‍රියාත්මක වීම මගින් දෘෂ්ටියට මග විවරවේ. මෙය මිනිසා දුකට පමුණුවන ප්‍රබල සාධකයක්‌ ලෙස බුදුදහම දකින්නේ අනුසයයි. එනම් මානසික සිතිවිලි නිදා සිටින අවස්‌ථාවයි. කරණීය මෙත්ත සූත්‍රය මගින් ''දිට්‌ඨිංච අනූපගම්ම සීලවා දස්‌සනෙන සම්පනෝ' යන විග්‍රහ පාඨය මගින් එය අවධාරණය කරයි. මිසදිටු බවට නොපැමිණ සිල්වත් වූයේ සම්‍යග් දර්ශන සම්පත්තියෙන් යුක්‌ත යහපත් පුද්ගලයකු ලෙස ජීවත්විය යුතු බවයි.

බුදුන් වහන්සේ සුත්ත නිපාතයේදී අට්‌ඨක පාරායන වග්ගවලදී පෙන්වාදුන් පරිදි සමකාලීන දෘෂ්ටි අරගලයන් තදින් මුල්බැස නොපැවතිණ. ඒවා විස්‌තර කර දෙන බුදුසමය මගින් ශාස්‌වත උච්ඡේද යන සියලු අන්තවාදයන් බැහැර කොට ඇත.

දෘෂ්ටිගතිකයාගේ ලක්‍ෂණය වන්නේ තමා එල්බගත් මතය කුමක්‌ වුවද එම මතයෙහිම පිහිටා ක්‍රියාකිරීමයි.අන් අයගේ අදහස්‌ වලට සවන් නොදෙයි. එහිදී සිදුවන්නේ විචාර පූර්වක බුද්ධිය අහෝසි වී යැමයි.

බුදුන් වහන්සේ අග්ගිවඡ්චගොත්තයනට වදාළේ වච්ඡය ලෝකය ශ්‍රාස්‌වතය යන මෙය දෘෂ්ටිගතයකි. දෘෂ්ටියෙහි එල්බ ගැනීමෙකි. දිට්‌ඨි සත්කාරයකි. දිට්‌ඨි සංයෝජනයකි. දුක්‌ සහගතය පීඩා සහිතය, ආයාස සහිතය, පරිදාන සහිතය, සසර දුකින් එතෙර වීම පිණිස හේතු නොවේ. භව නිරෝධය සඳහා හේතු නොවන අතරම සංස්‌කාරයන්හි නියම ස්‌වරූපය අවබෝධ කොට ගත නොහැකිය. නිවීම පිණිස හේතු නොවේ. උතුම් සම්මා සම්බෝධිය ලැබීමට හේතු නොවන්නකි. මෙය ඇසුරින් බුදුන් වහන්සේ අග්ගි වච්ඡගොත්තයනට පෙන්වා වදාළේ වච්ඡය මම මෙම ආදීනව දකිමින් සර්වප්‍රකාර ලෙස දෘෂ්ටිගතයන්ට නොපැමිණියේ වෙමි. එහිදී අග්ගිවච්ඡගොත්ත පිරිවැජියා බුදුන්වහන්සේගෙන් නැවත විමසා සිටියේ තවත් ගෞතමයන්ට නිසි දෘෂ්ටිගයක්‌ ඇත්ද යනුයි. බුදුන් වහන්සේ එහිදී තමන් වහන්සේ තුළ එවන් දෘෂ්ටියක්‌ නොවන බව පෙන්වා දුන්හ.

ම. ම. චූල මාලුඛක්‍යපුත්ත සූත්‍රයේදී චූල මාලුඛක්‍යපුත්‍රයන් ඇසූ දස අව්‍යාගත ප්‍රශ්න මගින්ද එහි ඇති අර්ථශූන්‍ය බව පැහැදිලි කරදී ඇත. ලෝකය සදාකාලිකද නැත්ද, ලෝකයේ කෙළවරක්‌ තිබේද නැත්ද, ශරීරයත් ජීවයත් එකමද නැත්ද? නැත්නම් දෙකක්‌ද? සත්වයා මරණින් පසු ඇතිවන්නේද නැත්ද? උපදින්නේද? නූපදින්නේද? යන්න බුදුන් වහන්සේගෙන් ඇසූ අවස්‌ථාවේදී බුදුන් වහන්සේ වදාළේ මාලුක්‍ය පුත්ත මා විසින් නොකියන ලද දෙය නොවිසඳන ලද දේ නොකියන ලදැයි සිහි තබා ගත යුතුයි.

කිනම් හෙයින් නොකියන ලද ද ලෝකය ශාස්‌වත යෑයි මවිසින් නොකියන ලදී. එපමණක්‌ නොව ලෝකය අශාස්‌වතයෑයිද මවිසින් නොකියන ලදී.

දෘෂ්ටියක එල්බගත් පුද්ගලයාගේ ස්‌වභාවය වන්නේ ස්‌වකීය මතය. ඉස්‌මතු කොට හුවා දක්‌වා පරමතය ගැරහීමත්ය. බුදුන් වහන්සේ දෘෂ්ටි ග්‍රහණයෙහි එල්බගැනීමෙන් ඇතිවන විවිධ හේතු ප්‍රත්‍යයන් විජානනය කරගත්හ. එහි ආදීනව සියලු අන්තවාදයන් නිස්‌සරණය කිරීම සඳහා මැදුම් පිළිවෙත් මාර්ගය අනුගමනය කළහ. සියලු දෘෂ්ටිවාදයන්හි සමුදය, අත්ථංගමය, අසසාදය ආදීනව, නිස්‌සරණය යථා පරිදි අවබෝධකොට ගත්හ. යමක හටගැනීම, අභාවය, දෘෂ්ටිවාදයන්හි එල්බ ගැනීමෙන් ලබන ප්‍රීතිය සුඛාස්‌වාදය එහි ඇති අනිත්‍ය, අසාර බව දෘෂ්ටිය මගින් සිදුවන අවැඩ ආදීනවය පෙන්වා වාදාළහ. එයින් මිදී ලබන සැපය නිස්‌සරණය පෙන්වා දුන්හ. අධ්‍යාත්ම සුභසිද්ධිය පිණිස ඉවහල් වන දැක්‌ම සම්‍යයක්‌ දැක්‌ම ලෙස දැක්‌වූ අතර ඊට හිතකර නොවූ දැක්‌ම මිථ්‍යා දැක්‌ම ලෙස පෙන්වා දුන්හ.

දෘෂ්ටි කෝෂ්ටාගාරයෙහි උපත ලෙස පෙන්වා දෙන මූලාශ්‍රය දී. නි. බ්‍රහ්මජාල සූත්‍රයයි. එහි දෘෂ්ටි දෙසැටක්‌ (62) ක්‌ ඉගැන්වේ. සර්ව දෘෂ්ටි ප්‍රදාහය සඳහා පෙන්වාදුන් තවත් මූලාශ්‍රයෙනි. නි. අලග දදූපම සූත්‍රය. එහි සඳහන්.

''ඉමං ච තුමෙහ භික්‌ඛවේ දිට්‌ඨං ඒවං පරිසුද්ධං

ඒවං පරියෝදාතං න අල්ලියෙථ න යොලොයෙථ

න ධනාටෙථ න මටායෙධ අපි නූ තුමෙහි

භික්‌ඛවේ කුල්ලුපමං ධම්මං දෙසිතං

අජානෙයථ නිථරණථාය

නො ගහණත්ථායනි''

එම විග්‍රහ පාඨය මගින් සඳහන් වන පරිදි එදිනෙදා ජීවිතයේදී බුදු දහම වුවද ප්‍රායෝගිකව උපයෝගී කොට නොගෙන දහම කෙරෙහි මමායනයක්‌ ඇතිකර ගෙන කටයුතු කිරීම සාවද්‍ය බවයි. ඒ අනුව අන්නුබෝදයෙහි පිහිටයි. දහමෙහි පවා නොඇලිය යුතුය. ගිජුකොට නොසිතය යුතුය. ධනයක්‌ කොට නොසිතිය යුතුය. මමායනය නොකළ යුතුය. එය අවබෝධාත්මක ප්‍රතිපාදන මාර්ගයක්‌ ලෙස ප්‍රයෝජන ගත යුතුය.

බුදුන් වහන්සේගේ අදහස වන්නේ මෝඩ මිනිසුන් ගේ ස්‌වභාවය ධර්මය ඉගෙන සමූහ වශයෙන් එක්‌රැස්‌ව වාද විවාද කරමින් කටයුතු කරන බවයි. අනෙක්‌ දහම් පහත්කොට තම මතවාදයම හුවා දක්‌වන බවයි. එය උපමා කොට ඇත්තේ සර්පයකු වැරදි ලෙස අල්ලා ගැනීම සමානවයි. වැරදි ලෙස අල්ලාගත් සර්පයා ආපසු හැරී එම පුද්ගලයාටම දෂ්ට කිරීමේ සම්භාවිතාවක්‌ ලෙසයි. එපරිදි දෘෂ්ටියෙහි තදින් එල්බගත් පුද්ගලයා එම දෘෂ්ටිවාදයෙන් මිදීගත නොහැකිව වැරදි අන්තයට වැටී විනාශ වෙයි.

විමසුමට ලක්‌ කළ යුතු මීළඟ කාරණය වනුයේ දාර්ශනික හා මනෝවිද්‍යාත්මක සාධකය දෘෂ්ටිය උද්ගතවන ක්‍රමවේදය සොයා බැලීමේදී මිනිසා තුළ ඇතිවන තණ්‌හාව ප්‍රධාන වෙයි. තණ්‌හාව නිසා ඇලීම් ඇතිකර ගනියි. මමත්වය තහවුරු කර ගනියි.

ඉධමේව සච්චං මෝස මඤ්ඤං

මෙයට සත්‍යයය අනෙක්‌වා අසත්‍යය. යන සංකල්පය ඔහු තුළ හටගනියි. තවද දෘෂ්ටියට හේතුව සංඥවේ බැඳීමයි.සංඥ විරන්තස්‌ස නසන්ති ගන්ථා යනුවෙන් බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ සංඥවේ නොබැඳුනසුළු වැළකුණාවූ බැඳීමක්‌ නොමැති බවයි.

තෙ ඝට්‌ට යන්තා විචරන්ති ලොකේ සංඥාවෙන් ග්‍රහණය කිරීම ගැටලුවලට මඟපාදයි.

පපංච සංඥ සමුදා චරන්ති

සියලු ගැටුම්කාරී ක්‍රියාවලට මූල හේතුව කෙළෙස්‌ය.

බුදුන් වහන්සේ පෙන්වා වදාළේ තමන් වහන්සේ කිසිම විටෙක ලෝකයා සමග වාද විවාද නොකරන බවයි. නමුත් ලෝකයා තමන් සමග වාද විවාද කරන බව පෙන්වා දුන්හ.

නාහං භික්‌ඛවේ ලෝකේන විවදාමි

ලෝකොච භික්‌ඛවේ මයා විවාදතී

යන විග්‍රහය මගින් ජීවිතයේ යථාර්ථය අවබෝධ කොට ගැනීමට මග හසර පෙන්වා දෙයි. මේ අනුව සර්ව දෘෂ්ටි ප්‍රහාණය සඳහා බුදු දහම මගින් අනුපූර්ව ප්‍රතිපදා ශික්‍ෂණ මාර්ගය ප්‍රගුණ කළ යුතු බව පෙන්වා දෙයි.

බුදුරදුන් පිළිතුරු නොදුන් ප්‍රශ්න දහය

මහාචාර්ය
විලේගොඩ අරියදේව හිමි

බුදුරජාණන් වහන්සේ ලොව සියල්ල අතැඹුලක්සේ දුටුවාහ. උන්වහන්සේ දතයුතු සියල්ල දත්තාහ. උන්වහන්සේගේ ඥාන සීමාව ඉක්මගිය ඥාන පථයක් නොමැත්තේ ය.
බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයේ කිසිදු තැනක පැටලීමක් හෝ පැකිලීමක් නැත්තේ ය.ඒ නිසා බුදුරදුන්ගේ ඥාන විෂය ආචින්තනීය වන අතර උන්වහන්සේ දුටු ලෝකය ද, උන්වහන්සේ දුටු පරිදි සත්ව විෂය ද, කර්ම විෂය ද ලෝක විෂය ද සිතා කෙළවරක් කළ නොහැකි අචින්තනීය දේය. මේ අචින්තනීය ලෝක විෂය සත්ව විෂය කර්ම විෂය බුදුරජාණන් වහන්සේ තතු පරිදි සර්වඥතා ඥානයෙන් දුටු නිසා පුහුදුන් මිනිසාට ඇතැම් කරුණු අවිෂය නිසා එබඳු ප්‍රශ්න නඟනවිට උන්වහන්සේ නිශ්ශබ්ද වූහ. ඒ බුදුරදුන් මුනිවතරැකි අව්‍යාකත නම් වූ ප්‍රශ්න දහය පිළිබඳව කිසියම් අවබෝධයක් ඇති කර ගැනීම මෙහිලා වැදගත් වනු ඇත.

එම ප්‍රශ්න දහය මෙසේ ය.
1. ලෝකය සදාකාලිකද? (ශාශ්වතද?) 
2. ලෝකය සදාකාලික නොවේද? (උච්ඡේදද?) 
3. ලෝකයේ කෙළවරක් තිබේද? (අත්තවත්ද) 
4. ලෝකයේ කෙළවරක් නැතිද? (අනන්තවත්ද?) 
5. මනස හා ශරීරය එක්ව පවතීද? 
6. මනස හා ශරීරය වෙන් වෙන්ව පවතීද? 
7. තථාගතයන් මරණින් පසු සිටීද? 
8. තථාගතයන් මරණින් පසු නොසිටීද? 
9. තථාගතයන් මරණින් පසු සිටී හා නොසිටින තත්ත්වයක්ද? 
10. තථාගතයන් මරණින් පසු සිටින්නේත් නොව නොසිටින්නේත් වේද?

මෙකී ප්‍රශ්න දහයට අප බුදුන්වහන්සේ (එකාංශික) එකහෙලා පිළිතරක් නොදුන්නේ, ඔව් හෝ නැත යනුවෙන් පිළිතුරක් නොදුන්නේ ඇයිද යන්න පිළිබඳව උගත්තු විවිධ මත දක්වති. රාධ ක්‍රිෂ්ණන් හා කීත් වැනි උගතුන් කියන්නේ බුදුන්වහන්සේ මේ සඳහා පිළිතුරු නොදත් නිසා නිහඬ වූ බවයි. එය අඥෙය වාදිය නම් වූ දර්ශනා පථයට අයත් වෙයි. ඒ අනුව බුදුරදුන් මේ ප්‍රශ්න කෙරෙහි අඥයවාදී ස්වභාවයක් දරන, බව ඔවුන්ගේ හැඟීමයි. කොන්යේ හා ටී. ආර්.වී. මූර්ති වැනි උගතුන් දක්වන්නේ මීට වඩා වෙනස් අදහසකි. බුදුරදුන් මේ ප්‍රශ්නවලට පිළිතුරු දැන සිටියහ. එහෙත් මේ ප්‍රශ්නවලට පිලිතුරුදීම තුළින් අසන්නා තවත් අවුලකට පත් වෙයි. එසේම මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයායාම පුද්ගලයාගේ සසර දුකින් නිදහස්වීම සඳහා කිසිසේත්ම අදාළ නොවේ. ඒ නිසා බුදුන් වහන්සේ මෙකී ප්‍රශ්න දහය අව්‍යාකත ප්‍රශ්න ලෙස සලකා පිළිතුරුදීම ප්‍රතික්ෂේප කළහ. මෙම අව්‍යාකත ප්‍රශ්නවලට තවත් නමක් නම් “ඨපනීය ප්‍රශ්න” යන්නයි.

බුදුරජාණන් වහන්සේ කෙනෙකු අසන ප්‍රශ්නයන්ට දෙන විසඳුම් ක්‍රම සතරකි. ඒ මෙසේ ය.
1. ඇසූවිට එකවර පිළිතුරු දෙන ප්‍රශ්න 
2. ප්‍රශ්නයක් ඇසූවිට බුදුන්වහන්සේ ද ප්‍රශ්නයක් නඟා පිළිතුරු දීම. 
3. ප්‍රශ්නයකට විග්‍රහකොට පිළිතුරුදීම. 
4. පිළිතුරු නොදී අතහරින ප්‍රශ්න.

1. එකංග ව්‍යයකරණීය, 
2. පටිපුච්චා ව්‍යාකරණීය, 
3. විභජ්ජව්‍යාකරණීය, 
4. ධපනීය යනුවෙන් බුදුරදුන් දස කෙනෙක් අසන ප්‍රශ්නයේ ස්වභාවයට අනුව පිළිතුරු දුන් බව මෙයින් පෙනේ.

ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නවලට පිළිතුරු එකහෙළා නොදී බැහැරකළේ ඇයි ද යන්න විමසිය යුතු ය. එය උගතුන් දක්වන පරිදි නිවනට අදාළ නොවන නිසාද නැතිනම් ලෝක විෂයේ අචින්තනීය බව සලකා බුදුරදුන් එහි ආරම්භය හා කෙළවර නොදත් නිසාද? නැතහොත් මේ ප්‍රශ්න වැරැදි ලෙස නැඟූ ප්‍රශ්න නිසා ඒ පිළිතුරුවලින් තවත් මිථ්‍යා දෘෂ්ටිවලට වැටෙන නිසාද? එසේත් නැතිනම් වෙනත් හේතුවක් නිසා මේ ප්‍රශ්නවලට ඔව් හෝ නැත යනුවෙන් පිළිතුරක් නොදුන්නාද යන්න විමසා බලමු.
බුදුරදුන් දුටු ලෝක විෂය කෙනෙකුගෙන් අසා දැනගත් දේ නොව ස්වයං ප්‍රත්‍යක්ෂයෙන් දුටු දෙයකි. භෞතික ලෝකයේත්, සත්ව ලෝකයේත් මූල ධාතූන් පිළිබඳව එහි හටගැනීම, පැවැත්ම හා අභාවයට පත්වීමත් අන්තය අනන්තය පිළිබඳව මිනිසා තුළ ඇතිවන දෘෂ්ටි වාදවලට හේතුවත් බුදුරදුන් මැනවින් දුටු නිසා උන්වහන්සේ ලෝකවිදූ නම් වන්නාහ. එබඳු ලෝකවිදූ බුදුකෙනෙක් මේ ප්‍රශ්නවලට පිළිතුරුදීම අත්හළේ ඇයි ද යන්න පැහැදිලි වේ.
පුහුදුන් ලෝකවාසීහු හැමවිටම ඇත හා නැත යන අන්ත දෙකට ඇදීයති. තථාගතයන් වහන්සේ මේ අන්ත දෙකෙන් බැහැරට මධ්‍යම තත්ත්වයේ සිට දහම් දේශනා කරති. “ මේ ප්‍රකාශය තුළින් පැහැදිලි කෙරෙන්නේ ලෝකයා අන්තවාදී දෘෂ්ටි දෙකක ගැලී සිටියදී බුදුරදුන් ඒ දෘෂ්ටිවලින් බැහැරව ලෝකය සාපේක්ෂකව දක්නා බවයි. ආත්මයක් ඇත යනු එක ප්‍රශ්නයකි. ආත්මයක් නැත යනු තව අන්තයකි. මනස හා ශරීරය එකට පවතී යනු එක අන්තයකි. මනස හා ශරීරය වෙන්ව පවතී යනු අනෙක් අන්තයයි. ලෝකය අන්ත යනු එක් අන්තයකි. ලෝකය අනන්තවත්ය යනු අනෙක් අන්තයයි. මෙලෙස එකිනෙකට විරුද්ධ අන්ත දෙක පුද්ගලයා ගැලී සිටීමට හේතු විවරණය කොට දැක්වූහ. බුදුරදුන් මේ අව්‍යාකත ප්‍රශ්න ඉහත කී අන්ත දෙක භාජනය කරන නිසා එම අන්ත දෙකෙන් බැහැරවූ මාධ්‍යමික ධර්මයක පිහිටා සිටියහ. ඒ මාධ්‍යමික තත්ත්වය යනු සියලු අන්තවාදී දෘෂ්ටිවලින් බැහැරවීම මිස එහි මැද සිටීම නොවේ. බුදුරදුන් සියලු හැට දෙකක් දෘෂ්ටි මෙසේ ප්‍රතික්ෂේප කළත් හැට තුන්වෙනි දෘෂ්ටියක් පිහිටවූයේ නැත.
බුදුරජාණන් වහන්සේ ලෝක විෂය ගැන නොදැන මේ ප්‍රශ්නවලට පිළිතුරු නොදුන්නා නොවේ. උන්වහන්සේගේ ලෝක විෂය පිළිබඳව ලෝක ධාතු පිළිබඳව කළ විවරණය නූතන විද්‍යාව අභිභවා යන තරම්ය. ඉරු දහසකින් සමන්විත කුඩා ප්‍රමාණයේ ලෝක ධාතුන්ගෙන් සමන්විත මූල නිකා ලෝක ධාතුවත් එබඳු චූලනිකා ලෝක ධාතුන් දහසක් ගුණ කිරීමෙන් යුත් මධ්‍යම ලෝක ධාතුන් පිළිබඳවත් එය දහසකින් ගුණ කිරීමේ ප්‍රමාණයකින් යුත් මහා සහස්සී ලෝක ධාතූන් පිළිබඳ කළ විවරණ විශ්මය ජනකය. මේ විශ්වයේ අවකාශය කොතරම් අචින්තනීයද යන්න බුදුරදුන් දැන හා දැක ප්‍රකාශ කළ බැවින් බුදුරදුන් මේ ප්‍රශ්නයට පිළිතුරු දැන සිටි බව පෙනේ. නමුත් ඒ පිළිතුර අසන්නට සත්‍ය ද අසත්‍යද යන්න පරීක්ෂා කර බැලීමට නොහැකි නිසා බුදුරදුන් එයට ඒකාංගික පිළිතුරක් නොදුන්නාහ. මක් නිසාදයත් බුදුරදුන් හැමවිටම යමක් පැහැදිලි කළේ කෙනෙකුට ඉන්ද්‍රිය ඥානයෙන් හෝ අභිභ්‍රමනින් ප්‍රත්‍යක්ෂ කළ හැකි දේ නම් පමණි. මේ නිසා ලෝකයේ අන්තය අනන්තය පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු බුදුරදුන් දේශනා කළත් ශ්‍රාවකයාට එය තම ඉන්ද්‍රියන්ගෙන් ප්‍රත්‍යක්ෂ කළ නොහැකි නිසා උන්වහන්සේ පිළිතුරු නොදී නිහඬවූහ.
“චූල මාලුංක්‍ය” සූත්‍රයෙහි දැක්වෙන පරිදි දිනක් මාලුංක්‍ය පුත්ත නම් භික්ෂුවක් බුදුරදුන් හමුවට පැමිණ මේ ඉහතකී ප්‍රශ්න දහයට බුදුන් වහන්සේගෙන් පැහැදිලි පිළිතුරක් නොලැබේනම් තමන් සිවුරු හැරයන බව අවධාරණය කළේ ය. එවිට බුදුන් වහන්සේ මාලුංක්‍ය පුත්තට පැහැදිලි කළේ ඔබට මා විසින් මේ ප්‍රශ්න දහයට පිළිතුරක් දෙන්නේ ය යන පොරොන්දුව පිට පැවිදි වූවා නම් එසේ සිවුරු හැරයාම සාධාරණයි. මා එබඳු පොරොන්දුවක් නොවූ නිසා එයට පිළිතුරුදීමට මම බැඳී නැති බව උන්වහන්සේ පැවසූහ. ඔබ පැවිදි වූයේ සසර දුක නැතිකර ගැනීමේ අරමුණින් නම් මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා යාම ඊට කිසිසේත් අදාළ නොවන බව බුදුරජාණන් වහන්සේ මාලුංක්‍ය පුත්තට උදාහරණයක් මඟින් පැහැදිලි කළහ.
මාලුංක්‍ය පුත්ත යම් පුද්ගලයෙක් දිනක් කිසිවකු විසින් විදින ලද ඊතලයකින් පහර කෑවේ ය. හේ අතිශය වේදනාවෙන් කෑගසමින් සිටින විට ඔහුගේ නෑහිත මිතුරන් වහා ඔහුව වෛද්‍යවරයකු කරා ගෙනයාමට සූදානම් වෙති. එවිට මේ තුවාල ලැබූ තැනැත්තා එය වළකාලමින් “ මේ ඊතලය විද්දේ කවුරුන්ද?” ඔහු ජාතිය කුමක්ද? ඊතලය තැනුවේ කවුරුන්ද? කුමන ලෝහයකින් එය තැනුවාද? එහි දුන්න සාදා ඇත්තේ කුමකින්ද, දුන්නේ දුනුදියට යොදාගෙන ඇත්තේ මොනවාද? මේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනතුරු මම වෛද්‍යවරයා වෙත නොයමියි, මෙසේ නෑයන් වළක්වන්නේ නම් ඔහු එයින් ජීවිතක්ෂයට පත්වන්නේ ය. මෙම උපමා කථාවෙන් අව්‍යාකත ප්‍රශ්නවලට බුදුරදුන් පිළිතුරු නොදුන්නේ, පැහැදිලිවම එය නිවනට අදාළ නොවන බව පැහැදිලි වේ. ඹපොට්ඨපාද සූත්‍රයට අනුව අව්‍යාකත ප්‍රශ්න කිසිදු ප්‍රයෝජනයක් නැති එසේම ධර්මයට අනුකූල නොවූ ලෝකයේ යථා ස්වභාවයට අනුකූල නොවූ මිනිසා උත්තම චර්යාව හෙවත් බ්‍රහ්ම චර්යාවටද අදාළ නොවන බවත් මෙසේ “න අත්ථ සංහිතං න ධම්ම සංහිතං, නාදි බ්‍රහ්මචරියකං” යනුවෙන් පැහැදිලි කර ඇත.
මජ්ක්‍ධිම නිකායේ පංචත්තය යනුවෙන් හා සංයුක්ත නිකායේ ගද්දූලබද්ධ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ මේ ඇත, නැත, අන්ත, අනන්ත, ශාශ්වත, අශාශ්වත, ජීවය හා ශරීරය, එකක්ය. දෙකක්ය. යන මෙකී සියලු විවාද බිහිවන්නේ සක්කාය දිට්ඨිය වූ පංචස්කන්ධයෙහි ඇලී ගැලී සිටීම නිසා බවයි. මෙම කරුණු අපූරු උදාහරණයක් මඟින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ. “සුනඛයෙකු කණුවක බැඳ තැබූ අවස්ථාවේ සුනඛයා කඹය දිග තිබෙන ප්‍රමාණයට ඇවිදිමින් කණුව වටේම ගමන් කරයි. එහි ලැග සිටියි. එයින් පිටට ඌට ගමන් කිරීමක් හැකියාවක් නැත. මෙලෙස දස අව්‍යාකත ප්‍රශ්න අප රවුමක් ලෙස ඇඳ මැද කණුවක් සලකුණු කර එහි ගැට ගැසූ සුනඛයාද චිත්‍රයට නඟා බලමු. සුනඛයන් වරක් එක් අන්තයකටත් තවත් වරෙක අනෙක් අන්තයට ගමන් කරන බව පෙනේ. බුදුරජාණන් වහන්සේ දැක්වූ පරිදි සුනඛයා කණුවට බැඳ සිටින්නා සේ පෘථජ්ජන මිනිසා සක්කායදිට්ඨිය නම් වූ කණුවෙහි බැඳී ඒ අන්තයටත් මේ අන්තයටත් ගමන් කරයි. මෙසේ මිනිසා ලෝකය හා සත්වයා, සදාකාලිකය ආත්මය සදාකාලිකය යනුවෙන් ගැනෙන ශාශ්වත වාදයටත්, මරණින් මතු සියල්ල අවසන් වේ. ලෝකය සදාකාලික නොවේ යන උච්ඡේද වාදයටත් ගමන් කරයි. ලෝකයේ කෙළවරක් පිළිබඳවත් අන්තය අනන්තය පිළිබඳව නිගමනයටත් මිනිසා එළඹෙන්නේ තමන් කේන්ද්‍ර කරගෙනය. සත්වයා හා ලෝකය නිරන්තරයෙන් හේතු ප්‍රත්‍ය ධර්මයන්ගෙන් සකස්වෙමින් හැමවිටම ගලායන ප්‍රවාහයක් ලෙස පවත්නා භවයක මෙසේ ලෝකය පිළිබඳ එළඹෙන්නේ රූප, වේදනාව, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධය නිත්‍යයයි, මමයයි මගේ යයි සලකන සක්කාය දිට්ඨිය නිසාවෙනි.
මේ නිසා අව්‍යාකත ප්‍රශ්න හා එමඟින් එළැඹෙන දෘෂ්ටිවලින් මිනිසා දෘෂ්ටි ග්‍රහනයක යෙදෙයි. බුදුන් වහන්සේ පුහුදුන් ලෝකයාට මේ ප්‍රශ්නවලට ඒකාංගිකව පිළිතුරු නොදුන්නේ ඔහු ඇත, නැත යනුවෙන් සැලකෙන අන්ත දෙකෙහි ස්වභාවයෙන්ම ගැලී ඒ අනුව සිතන නිසාය. සක්කායදිට්ඨිය ප්‍රහීන වූ පුද්ගලයාට මේ අව්‍යාකත ප්‍රශ්න කිසිවක් පැන නොනඟී. මේ අනුව බුදුරදුන් මේ ප්‍රශ්නවලට පිළිතුරු නොදීමට හේතු ගණනාවක් තිබූ බව පැහැදිලි වේ.

භවය හා භව දුක්ඛය

කැලණිය විශ්වවිද්‍යාලයේ 
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ 

මහාචාර්ය 
මකුරුප්පේ ධම්මානන්ද හිමි

බුදුදහමේ මූලික අරමුණ වූයේ භවගත සත්වයාගේ දුක නැති කිරීමේ ක්‍රමවේදය ඔවුනට පැහැදිලි කර දීමයි. නිවන යනුවෙන් හඳුන්වනු ලබන්නේ ද මෙම දුක නැති කිරීමයි. එනිසා නිර්වාණයට දුක්ඛක්ඛය යනු තවත් නමකි. එය මොක්ඛ යනුවෙන් හඳුන්වනු ලබන්නේ ද දුකෙන් මිදීම යන අර්ථයෙන් වන අතර නිරෝධ යනු ද දුක්ඛ නිරෝධයම වේ. අනික් අතින් නිවන සැපක් ලෙස සලකනුයේ ද එහි දුක නැති නිසා ය.
බුදුන් වහන්සේ තම පළමු දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් හෙළි පෙහෙළි කරන ලද්දේ ද විශ්වයේ සත්වයා විඳින දුක නමැති අත්දැකීම පිළිබඳව සහ එය හට ගැනීමට හේතුවත් එයින් මිඳීම හා ඒ සඳහා වූ ඒකායන මාර්ගයත් පිළිබඳවය. බුදුදහම දුක පිළිබඳව මෙබඳු දැඩි අවධානයක් යොමු කොට ඇත්තේ දුක හා සැප නමැති මායාවේ සත්වයා මුළා වී ඇති නිසා ය. අනෙක් අතින් භවගත වූ සත්වයා දුකම විඳිමින් දුකෙහිම නිමග්නව දුකටම ශාප කරමින් දුක් ඇති දෙයක්ම සොයමින් අනාර්ය වූ පර්යේෂණයක නිරතව සිටී. මේ නිසා ඔවුනට තමා සිටින තැන එනම් භවයත්, එම භවයේ සනාතනික ධර්මතාව වන දුක ජය ගන්නා ආකාරයත් පැහැදිලි කළ යුතු වේ.

භවගත වූ සත්වයෙකුට මුහුණපෑමට සිදුවන දුක භව දුක්ඛය හෙවත් භව දුක නමින් හැඳින්වේ. මෙම භව දුක හඳුනා ගැනීම සඳහා “භව“ යන්නෙන් අදහස් වන්නේ කුමක්දැයි පැහැදිලි කර ගැනීම අවශ්‍යය. භවය යන පදයත් සමඟ දුක යන අත්දැකීම ද එකට බැඳී ඇත. එකක් අනෙකෙන් වෙන්කොට විග්‍රහ කළ නොහැකි ය. අනෙක් අතින් භවය හා ජාතිය (ඉපදීම) යන පද දෙකෙන් ජාති දුක්ඛය තේරුම් ගැනීම පහසු වන අතර භව දුක්ඛය තේරුම් ගැනීම එතරම් පහසු නැත. එහෙයින්ම ‘භවදුක්ඛ’ යන යෙදුම බුද්ධ දේශනාවේ බහුලව යෙදී නැත. ඒ වෙනුවට භවතණ්හා, භවනෙත්ති යනාදී පදවලින් භවය විස්තර කොට දුක්ඛ යන තනි පදයෙන් සමස්ත භවයම දුකක් බව පෙන්වා දී ඇත. ඉන් එක් අවස්ථාවක් ලෙස “ මහණෙනි, ස්වල්පමාත්‍ර වූ ද අශුචි දුගඳ වේ, මහණෙනි, මෙබඳු වූ භවය ස්වල්ප මාත්‍රයක් වත්, ඇසිල්ලක් තරම් කාලයක්වත් වර්ණනා නො කරමි” යනුවෙන් බුදුරදුන් විසින් කරන ලද ප්‍රකාශය දැක්විය හැකිය. භවය දුකක් වන්නේ කෙසේදැයි ආගමික දාර්ශනික හා මනෝවිද්‍යාත්මක ආදී පසුබිම් ඔස්සේ පරීක්ෂා කිරීමෙන් අවබෝධ කර ගත හැකි ය.
වාග්විද්‍යාත්මක ක්‍රමයට ‘භවො (භවය) යන පදය භූ ධාතුවෙන් සෑදුණකි. වීම ( to be) , පැවතීම (to exist) , හට ගනීම (to behave) , යන අර්ථ මෙහි ඇත. භවො යන්න කර්තෘකාරක හෝ කර්මකාරක පදයක් නොවේ. මෙය ව්‍යාකරණානුකූලව භාවකාරක පදයකි. එහෙයින් යමක අස්තිත්වයක් මෙයින් ප්‍රකාශ නොවේ. එනිසාම ජාති යන්නෙන් කියැවෙන පුද්ගලයෙකුගේ නැතහොත් සත්වයෙකුගේ ඉපදීම යන අර්ථය භව යන්නෙහි නැත. ඒ අනුව භව හා ජාති යන දෙකෙහි සියුම් වෙනස පැහැදිලි ය. මේ පද දෙකෙන් අදහස් වන්නේ සත්වයෙකුගේ සංසාර චක්‍රයෙහි අවස්ථා දෙකක් බව කිව යුතු ය. මේ අනුව ශබ්ද විද්‍යාත්මක ලක්ෂණ විසින් සැලකීමේ දී මෙහි දී වඩාත් වැදගත් කරුණ වන්නේ එය භාව කාරකයෙන් යෙදීමයි. මේ අනුව සත්වයෙකු වශයෙන් පෙනී සිටීමට පෙර අවස්ථාවක් ලෙස භවයන්න හැඳින්විය හැකිය. වෙනත් විධියකින් කිවහොත් භවයක් ලැබීම යනු ඉපදීම නොවේ. ඉපදීමට තැනක් ලැබීමයි. මේ නිසා භවය යනු ඉපදෙන තැන යනුවෙන් තේරුම් ගැනීම සුදුසු ය.
අටුවාකථාචාර්යවරු ද භවය යන්න විවිධ නිරුක්තිකථන මගින් විවරණය කිරීමට උත්සාහ දරා ඇත. මහානිද්දේස අට්ඨකථාවෙහි “ භවොති සම්පත්ති අභවොති විපත්ති, තථා භවොති වුද්ධි අභවොති හානි” යනුවෙන් දක්වා ඇත. ඒ අනුව භව යන්නෙන් සම්පත්තිය ද අභව යන්නෙන් විපත්තිය ද අදහස් වේ. මේ අනුව භව යන්නෙහි සම්පත්තිය හා වැඩීම යන අදහස ගැබ්වේ. භවගාමී සත්වයා සසර වැඩීමට ඉවහල් වන පරිදි කර්ම රැස් කරමින් තෘෂ්ණා මාන දෘෂ්ටි හා බැඳුණු සම්පත් භුක්ති විඳී. (භවන්ති වඩ්ඪන්ති සත්තා එතෙනාති භවො) භවය සුබ සුඛ වශයෙන් ගෙන ක්‍රියා කිරීම භවගාමී වූවෙකුගේ ලක්ෂණයයි. එය භවදිට්ඨි යන නමින් හැඳින්වේ. මෙයට ප්‍රතිවිරුද්ධ පදය වන්නේ අභවදිට්ඨි යන්නයි. එනම් මරණින් මතු ඉපදීමක් නැත. එහෙයින් මෙම භවයේ දී කම්සැප වළඳමින් ජීවත්වීම යෙහෙක යන දෘෂ්ටිය ඇති වේ. මෙය උච්ඡේද දෘෂ්ටියට වැටේ. මේ අනුව ශබ්ද විද්‍යාත්මක ලක්ෂණ පරීක්ෂා කිරීමේ දී භවය යනු තවත් දෙයක ඵලයකි. එම ඵලයේ හේතුව උපාදානය බව එහි දාර්ශනික පසුබිම විමසීමෙන් පැහැදිලි වේ.

භවත්‍රය

ත්‍රිපිටකයේ නොයෙක් තැන්වල භව යන්නෙහි දාර්ශනික විග්‍රහය විවරණය කොට ඇත. බුද්ධ දේශනාව අනුව 1. කාමභව, 2. රූප භව, 3. අරූපභව යනුවෙන් භවත්‍රයක් වේ. මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක සය හා අපාය සතර යන ලෝක එකොළහ කාමභව නම් වේ. රූප භවය නම් රූපාවචර බ්‍රහ්ම ලෝක දහසය වන අතර අරූපාවචර බ්‍රහ්මලෝක සතර අරූපභව නම් වේ. තවද සඤ්ඤීභව, අසඤ්ඤීභව හා නෙවසඤ්ඤීනාසඤ්ඤීභව යනුවෙන් භව තුනක් ගැන ද අභිධර්මයේ කියැවේ. එසේම භව ගතිය සත්වයන්ගේ වාසස්ථාන නවයක් නව සත්තාවාස නමින් බුදුදහමෙහි ඉගැන්වේ. සම්පූර්ණයෙන් ක්ලේශයන් ප්‍රහාණය නො කළ සත්වයාට විශ්වයේ කවර හෝ තැනක කර්මානුරූපව ලැබුණු ඉහත කී මනුෂ්‍ය දිව්‍ය අසුර ප්‍රේත තිරශ්චීන ආදී කවර ස්වරූපයකින් හෝ පෙනී සිටීමට සිදුවේ. සමහර විට මොවුහු හස්ති අශ්ව ආදි මහත් රූප වශයෙන් පෙනී සිටින අතර තවත් විටෙක පියෙවි ඇසට නොපෙනෙන සූක්ෂ්ම භූත කොටස් ලෙස පෙනී සිටිති. භවය යන්නෙන් අදහස් කෙරෙනුයේ කුමක්ද යන්න එක පදයකින් පැහැදිලි කිරීම අපහසු හෙයින් අර්ථකතාකරුවන් ඒ පිළිබඳ විග්‍රාහාත්මක අර්ථකථනය රුචි කළ බව පෙනේ. නොයෙක් අරුත් අතර භව යන්නෙහි පින, අවකාශය, ස්කන්ධය යනා දී විවිධ අරුත් දක්නා ලැබේ. සියලු අරුත් සලකා බැලූ කල්හි තෘෂ්ණා මාන දෘෂ්ටි සහිතව සංසාරයෙහි වීම හෝ පැවතීම භව යන්නෙහි අන්තර්ගත වන බව පෙනේ. මෙය සංසාරය ලෙස නම් කිරීමෙහි ද වරදක් නැත.
භවය වූ කලි කර්මභවය හා උප්පත්ති භවය යනුවෙන් දෙවැදෑරුම් වේ. මෙහි කර්මයම භවයක් වීම කර්ම භවය නම් වන අතර උප්්පත්තිය එහි සිදුවන හෙයින් උප්්පත්ති භවය නම් ද වේ. භවයට කර්මය සාධනීය කරණයක් වන නිසා කර්ම භවය නමින් හැඳින්වේ. කර්මය සුඛය වන නිසා බුදුවරුන්ගේ උපත සුඛයක් ලෙස “ සුඛො බුද්ධානං උප්පාදො” යනුවෙන් දක්වා ඇත. නො එසේ නම් ඉපදීම යන්න දුකක්ය සනාතනික සත්‍යයකි. උප්්පත්තිය සිදුවන හෙයින් උප්්පත්ති භවය ලෙස සැලකේ. කර්මයත් උපතත් යන දෙකේ අඛණ්ඩ පැවැත්ම සංසාරය ලෙස සැලකේ. මේ නිසා භව යන්නෙහි සංසාරය යන අදහස ද විද්‍යාමාන වන බව සාම්ප්‍රදායික අර්ථකථනවල දක්නා ලැබේ.
“ ඛන්ධානං පටිපාටි, ධාතු ආයතනානි ච
අබ්හොච්ජින්නං වත්තමානා - සංසාරොති පවුච්චතීති” චුත්තලක්ඛණො සංසාරොපි භවො, භවෙ දුක්ඛං භව දුක්ඛං, භවෙ සංසරන්තො ති ඉමානෙතස්සත්ථස්ස සාදකානි වචනානි” යනුවෙන් ස්කන්ධ ධාතු ආයතනයන්ගේ නොසිඳී පැවැත්ම සංසාරය නම් වන බවත් එකී ලක්ෂණ ඇති සංසාරයද භවය නම් වන බවත් භවයෙහි දුක භව දුක්ඛ නම් වන බවත් එම පාඨයෙන් කියැවේ. මෙය වැඩිදුරටත් විග්‍රහ කරන අටුවාකරු සංසාරයට භවය යන යෙදුම යෝග්‍ය වන්නේ කවර හෙයින්දැයි ප්‍රශ්න නගා පිළිතුරු දෙයි. එනම් රෑප වේදනා සඤ්ඤා සංඛාරා, විඤ්ඤාණ යන ස්කන්ධයන්ගේ හා ධාතු ආයතනාදීන්ගේ සමවායෙන් සිදුවන සම්මුති ප්‍රඥප්තියක් වන සත්වයාගේ පහළවීම මෙහි සිදුවන නිසා මෙම සංසාරයට භවය යැයි කීම ද සුදුසු ය.
භවදුක
මීළඟට විමසිය යුතු ප්‍රශ්නය වන්නේ භවය දුකක් ද යන්නයි. එසේ දුකක් නම් කාම භවය මෙන්ම රූප හා අරූප භව ද දුකක් විය යුතු ය. ජාති ජරා ව්‍යාධි මරණ දුක් විමසීමෙන් මෙය පැහැදිලිව තේරුම් ගත හැකි වුවත් ජාතිය හා භවය දෙකක් වශයෙන් සැලකීම වඩා ධර්මානුකූල හෙයින් කාම රූප හා අරූප භවයන්ගේ දුක්ඛය විමසීම සුදුසු යැයි හැඟේ.
කාම භවය ගත් කල්හී එයට අපාය සතර ද, මනුෂ්‍ය ලෝකය ද, දිව්‍ය ලෝක සය ද අයත් වේ. නරක, තිරිසන්, පේත, අසුර යන සතර සතර අපායයි. අපාය ද එක්සිය සතියකට බෙදා ඇත්තේ ය. මෙම අපායෙහි ඉපදීම වූ කලී අතිශය භයංකර වූ ආදීනව ඇත්තේ ය. “පුඤ්ඤසම්මතා අයා යෙභුය්‍යෙන අපගතොති අපායො” යනුවෙන් එන විග්‍රහය අනුව යම් තැනක් පුණ්‍යය හෙවත් පවිත්‍ර යැයි කියන ලද අභිවෘද්ධියෙන් පහ වූයේ නම් එය අපායයි. කෙටියෙන් කිවහොත් සැපයෙන් පහවූ තැන අපායයි. සතර අපා අතුරෙන් නරකය සංජීවය, කාලසූත්‍රය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය යනුවෙන් අට වැදෑරුම් වේ.
ඉතිරි කොටස ජූලි 19 වනදා පත්‍රයේ පළවේ

බ්‍රහ්මචර්යාව පිරීම යනු නිවන් මඟට පිවිසීමයි

අනුරාධපුර 
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි

බ්‍රහ්මචර්යාව යන මේ වචනයේ සරල තේරුම නම් උසස් හැසිරීම යන්නයි. අප කවුරුත් උසස් හැසිරීමක් ඇතිව ජීවත් වෙන එක සමාජයට බොහොම වැදගත් වෙනවා. සැබෑවට ම මේ බ්‍රහ්ම චර්යාව යන වචනයෙන් අදහස් වන්නේ ඒ සාමාන්‍ය අර්ථයට වඩා එහා ගිය වැඩිමනත් දෙයක් යන්න මෙහිදී සිතට ගත යුතු වෙනවා. අප බෞද්ධයන් වශයෙන් පුරුදු වී සිටින වැදගත් දෙයක් තමා සෑම වැදගත් කටයුත්තක් ම ආරම්භ කරන්නට පෙර පන්සිල් සමාදන් වීම.
මේ අනුව සමහර විට එක ම දවසේ වුණත් වැදගත් කටයුතු දෙකතුනක් ම යෙදී තිබෙනවා නම් ඒ හැම අවස්ථාවකදීම මුලදී අනුගමනය කෙරෙන චාරිත්‍රය තමා පිරිස පන්සිල් සමාදන් වීම. එයින් අදහස් කරන්නේ එවැනි සෑම කටයුත්තක් ම සිල්වත්ව නිවැරදිව ධාර්මිකව සිට එම කාර්යයට මුල පිරීමයි. මේ අනුව සමහර දෙනෙක් කියන කරුණක් නම් සිල්පද පහ කැඩෙන්නේ නැතිව අප ජීවත් වෙනවා නම් මොකට ද නිතර නිතර පන්සිල් සමාදන් වන්නේ කියලා. සත්‍ය වශයෙන් ම කියනවා නම් අපි අපේ ජීවිත හොඳ සිහි බුද්ධියෙන් පවත්වා ගෙන යමින් සිල් පද පහෙන් එකක්වත් කැඩෙන්නට ඉඩ නොදී ජීවත් වෙනවා නම් එහෙම නිතර නිතර පන්සිල් කියවමින් සමාදන් වීම අවශ්‍ය වන්නේ නැහැ. එසේ වුවත් නොයෙක් ගැටලු ප්‍රශ්නවලින් කැකෑරෙමින් අරුම පුදුම දේ නිතර සිදුවන වර්තමාන ලෝකයේ ජීවිත ගත කරන උදවියට දවසේ කටයුතු කරගෙන යන කොට එකම අරමුණක සිහිය පිහිටුවා ගැනීමේ හැකියාව අඩු වෙනවා. මෙවැනි අවස්ථාවල සිල්පද එකක්, දෙකක් ඉබේටම සිහියෙන් ගිලිහී ගොස් තමා නොදැනුවත්වම එවැනි සිල්පද කැඩෙන්නට, බිදෙන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා නිතර පන්සිල් පද කියා සමාදන් වෙනවා නම් ඒ තත්ත්වය මඟ හැරෙනවා. එයට හේතුව තමා සිල්පද හැමවිටම හැම වැඩක් කරන්නට පෙර සිහිපත් වීම. ඒ නිසා පන්සිල් නිතර සමාදන් වෙනවා යන්නෙන් අප අදහස් කළ යුතු වන්නේ ඒ ඒ එක් එක් සිල්පදය එසේත් නැතිනම් එයින් කියැවෙන අදහස සිහියට නගා ගෙන ම දවස ගත කිරීමයි. එහෙම වුණත් මේ කොපමණ වතාවක් සිල්පද පහ කීවත් එයත් හොඳ සිහියෙන් කීවේ නැතිනම් එයින් ද පලක් වන්නේත් නැහැ. සිල්පද පහේ තිබෙන තෙවැනි සිල් පදය රැකීම මගින් සාමාන්‍යයෙන් අදහස් වන්නේ පර පුරුෂ පර ස්ත්‍රී සේවනයෙන් වැළකීම අනුගමනය කරනවා කියන එකයි. එහෙත් එයට වඩා තවදුරටත් එහා ගිය පුළුල් අදහස් එහි තිබෙනවා. එම සිල්පදය ගැන මෙහි විස්තර කිරීමට අදහස් කරන්නේ නැහැ.

එය එසේ වුවත් පන්සිල් සමාදානයෙන් එහා ගිය අටසිල් සමාදානයේ දී හෝ දසසිල් සමාදානයේ දී පන්සිල් පද අතර ඇති තෙවන සිල්පදය වූ “ කාමෙසු මිච්ඡාචාරා වෙරමණි සික්ඛාපදං සමාදියාමි” යන්න වෙනුවට සඳහන් වන්නේ “ අබ්‍රහ්මචරියා වෙරමණී සික්ඛා පදං සමාදියාමි” යන සිල්පදයයි. මෙම සිල්පදය අටසිල්, ගිහි දසසිල්, සමාදානයේ දීත්, සාමණේර දසසිල් සමාදානයේදීත් ඒ විදියට ම සඳහන් වෙනවා. මෙහි එන බ්‍රහ්මචරියාව හෙවත් අබ්‍රහ්මචරියාවෙන් වැළකීම යන්නෙන් වඩාත් පුළුල් අර්ථයක් දැක්වෙනවා. එය සාමාන්‍ය කතාබහේ දී බ්‍රහ්මචරියාව යන්නෙන් ඉදිරිපත් වන අර්ථයට වඩා වෙනස් වූ අර්ථයක්. උපසම්පන්න භික්ෂූන් වහන්සේගේ බ්‍රහ්මචර්යාව මෙයටත් වඩා දැඩි වූවක් වෙනවා.
වරක් ජේතවනාරාමයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ හමුවීමට ජානුස්සෝණි නම් වූ බමුණා පැමිණියේ උන්වහන්සේගෙන් මේ බ්‍රහ්මචර්යාව පිළිබඳ ප්‍රශ්නයක් අසා විමසා දැන ගැනීමටයි. බමුණා උන්වහන්සේ සමඟ සතුටු සාමිචි කතාබහක යෙදිලා අසා සිටිනවා මෙන්න මේ වාගේ ප්‍රශ්නයක්. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්ස, “ ඔබවහන්සේත් තමන්වහන්සේ බ්‍රහ්මචාරී වූවෙක් වෙමියි” කියා ප්‍රතිඥා දෙනවා නේද? කියලා. මෙයට බුදුරජාණන් වහන්සේ විසින් දෙනු ලබන පිළිතුරෙන් තේරුම් ගත හැකි වෙනවා. උන්වහන්සේ එහිදී ප්‍රකාශ කරනවා ‘බමුණ, යම්කිසි අයෙක් යම් පුද්ගලයෙකු ගැන කැඩීමක් නැතිව, කබර වැනි අඩුපාඩු නැතිව, චරිතය පිළිබඳ වෙනත් පැල්ලම් නැතිව, නොකැළැල් වූ පරිපූර්ණ, පිරිසුදු, බ්‍රහ්මචර්යාව රකිනවා කියා කියයි නම් ඒ අන්කිසිවෙකු ගැන නොව මා ගැනමයි” යන පිළිතුර. මෙයින් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ හැම අතින් ම අංගසම්පූර්ණ වූ උතුම් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරනවා කියන අදහසයි. මෙම පිළිතුරත් සමඟ ආරම්භ වන සාකච්ඡාව තුළින් පැහැදිලි වෙනවා මෙම ‘බ්‍රහ්මචාරී’ යන වචනය මොනතරම් පුළුල් අර්ථයක් ගන්නවා ද කියලා. මේ අවස්ථාවේ දී බමුණා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. “ භවත් ගෞතමයන් වහන්ස, එසේ නම් එම කැඩීමක් නැතිව, සිදුරක් සොයා ගත හැකි හෙවත් අඩුපාඩුවක් නැතිව, කබර වැනි තත්ත්වයක් නැතිව, චරිතය පිළිබඳ වෙනත් පැල්ලම් නැතිව නොකැළැල් වූ පරිපූර්ණ, පිරිසුදු බ්‍රහ්මචර්යාව කුමක්ද? යන්න මට එහෙමනම් පැහැදිලි කර දෙන්න” කියා. එහිදී බුදුරජාණන් වහන්සේ මෙම බ්‍රහ්මචර්යාව විස්තර විභාග වශයෙන් පැහැදිලි කර දෙන ආකාරය අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සඳහන් සත්තමෙථුන සූත්‍රයෙන් අපට දැක ගත හැකි වෙනවා.
මෙම සූත්‍රදේශනාව අනුව බ්‍රහ්මචර්යාව අංග සම්පූර්ණ වීමට නම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට පියවර හතක් දුරට, ඈතට තවදුරටත් පුරුදු පුහුණු කළ යුතු වෙනවා. සාමාන්‍යයෙන් පොදුවේ තේරුම් ගෙන ඇති පරිදි බ්‍රහ්මචර්යාවෙන් අදහස් කරන්නේ මුලින් ම පෙන්වා දුන් ආකාරයේ සාමාන්‍ය අර්ථයට එහා ගිය වඩාත් පුළුල් අර්ථයක්.
“යම්කිසි අයෙක් ඉහත සඳහන් ආකාරයට මෙම බ්‍රහ්මචර්යාව අනුගමනය කරමින් ස්ත්‍රී පුරුෂ සම්භෝගයක් නොමැතිව, එහි කැඩීමක් නැතිව, සිදුරක් සොයා ගත හැකි හෙවත් අඩුපාඩුවක් නැතිව, කෙනෙකුගේ පැහැපත් සමක් මතුපිට ඇති වන කබර වැනි පලුද්දක් වැනි තත්ත්වයක් නැතිව, චරිතය පිළිබඳ වෙනත් පැල්ලම් නොකැළැල් වූ පරිපූර්ණ, පිරිසුදු බ්‍රහ්මචර්යාව ආරක්ෂා කර ගෙන ජීවත් වන විට ඔහු මෙම බ්‍රහ්මචර්යාව අනුගමනය කරන අයෙක් කියා අපට ප්‍රකාශ කළ හැකි ය. ඒත් ජානුස්සෝණී බමුණ, මේ තත්ත්වය බ්‍රහ්මචර්යාවේ එක් පියවරක් පමණයි.” යනුවෙන් බුදුරජාණන් වහන්සේ මෙයින් පැහැදිලි කරන අදහස නම් එපමණකින් ම බ්‍රහ්මචර්යාව සම්පූර්ණ නොවෙනවා කියන එකයි.
දෙවනුව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දෙනවා යම් අයෙක් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරම්යි කියා කිසියම් ප්‍රතිඥාවක් දී එසේ එවැනි ස්ත්‍රී පුරුෂ වශයෙන් සම්භෝගයක් ඇති වෙන්නේත් නැහැ. එසේ වුවත් ස්ත්‍රියක් ලවා තම ශරීරය ඉළීම, පිරිමැදීම, නැහැවීම, අත්පා මිරිකීම ආදී කිසිවෙකුත් නො කළත් ස්ත්‍රියක් සමඟ අනවශ්‍ය ලෙස සිනාසෙමින්, උකුලු මුකුලු කරමින්, අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින් නොයෙක් විනෝද ජනක ක්‍රීඩා කරමින් මහහඬින් කාලය ගෙවයි නම් එයින් බ්‍රහ්මචර්යාව ආරක්ෂා වෙන්නෙත් නැහැ කියා.
තෙවැනි අවස්ථාව ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මුලදී පෙන්වා දුන් තත්ත්වයකට වුවත් පත් නොවී බ්‍රහ්මචර්යාව ගත කරන බවට ප්‍රතිඥා දුන් අයෙක් ස්ත්‍රියක් දෙස මහත් ඕනකමින් බලයි නම් එයිනුත් බ්‍රහ්මචර්යාව ආරක්ෂා වන්නේ නැහැ.
සතරවැනි අවස්ථාව ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ස්ත්‍රියක් පිළිබඳ මෙතෙක් කී කිසිදු ක්‍රමයක් අනුගමනය නො කළත් ස්ත්‍රියක් ප්‍රාකාරයකින් හෝ බිත්තියකින් හෝ පිටත සිට හෝ නොපෙනෙන තැනක වූවත් සිට සිනාසෙන, අඬන, ගී ගයන හඬ අසමින් තෘප්තියක් ලබනවා නම් එයිනුත් බ්‍රහ්මචර්යාව ආරක්ෂා වන්නේ නැහැ.
පස්වැනි අවස්ථාව ලෙස මෙතෙක් කියූ හැම අවස්ථාවකින් ම බ්‍රහ්මචර්යාව රැකගෙන සිටියත් මුලින් පැහැදිලි කරලා දුන් ආකාරයට බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දුන් අය මීට පෙර යම් අවස්ථාවක මුලින් කී ආකාරයට නොපෙනෙන තැනක සිට සිනාසෙන, අඩන, ගී ගයන හඬ අසමින් තමන් කාලය ගත කළ අයුරු නැවත සිහි කරමින් කාලය ගත කරයි නම් එයිනුත් බ්‍රහ්මචර්යාව ආරක්ෂා වෙන්නේ නැහැ කියා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා.
සයවැනි අවස්ථාව ගතහොත් මෙතෙක් කී කිසිදු අඩුපාඩුවක් නැතිව බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන බවට ප්‍රතිඥාවක් දුන් යම් අයෙක් පස්කම් සැපයට (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ) ගොදුරු වූ එයින් ම සතුටට පත්ව හුදු විනෝදයෙන්, ඊට ගිජුකමින් ජීවත් වන ගිහි ජීවිතයක් ගත කරන ස්ත්‍රියක හෝ පුරුෂයෙකු දැක ඒ පිළිබඳ සතුටක් ඇති කර ගනී නම් එයිනුත් බ්‍රහ්මචර්යාව ආරක්ෂා වුණා කියලා කියන්ට බැහැ.
අවසාන හෙවත් හත්වන අවස්ථාව වශයෙන් බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මචර්යාව ආරක්ෂා වීමට අවශ්‍ය කාරණයක් පෙන්වා දෙනවා. එය නම් යම්කිසි අයෙක් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන බවට ප්‍රතිඥාවක් දී මෙතෙක් විස්තර කළ සෑම අවස්ථාවකින් ම සම්පූර්ණ වුවත්, තමා ඒ විදියට බඹසර ආරක්ෂා කරගෙන ප්‍රසිද්ධ හෝ අප්‍රසිද්ධ දෙවියෙකු බවට පත්වීමේ ප්‍රාර්ථනාව ඇති කර ගන්නවා නම් එයින් ද බ්‍රහ්මචර්යාව ආරක්ෂා නොවන බව.
මෙතෙක් විස්තර කළ අවස්ථා හත දෙස බලන විට පෙනී යන ඉතා වැදගත් කාරණය වන්නේ සාමාන්‍ය මිනිස් හැසිරීම ඉක්මවා උසස් හැසිරීමක් ඇති බ්‍රහ්මචර්යාව ආරක්ෂා කිරීම ඉතා සියුම් සුවිශේෂ ප්‍රතිපත්තියක් පිරීම බවයි. අෂ්ටාංග සීලය ද ඇතුළුව ඊටත් ඉහළ යන සීලමය ප්‍රතිපදාවක් පිරීමට ගිවිස ගන්නා සෑම ගිහිපැවිදි අයෙක් ම මෙම ශික්ෂාපදය සමාදන්වීම තුළින් බුදුදහමේ ඉගැන්වෙන අවසාන විමුක්තිය වන නිර්වාණය අරමුණු කොට අපේ සිතට එන කෙලෙස් කසට නිසා එම විමුක්තියට බාධාවක් වන රාගය නමැති සිතිවිල්ල මූලික වශයෙන් යටපත් කරවීම මෙයින් බලාපොරොත්තු වන අරමුණ බවයි. ඒ හැරුණු විට එම රාගය තවදුරටත් වර්ධනය වීමකට ඉඩ නොතබා රාගාදී කෙලෙස් යටපත් කිරීමට මේ බ්‍රහ්මචාර්යාව පුරුදු පුහුණු කිරීම හේතු වන බව මෙයින් පැහැදිලි කර දෙනවා.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X