සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

සොවින් නොතැවීමට නම්...

වේවැල්දෙණිය, පහළගම
සමථ – විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ
ප්‍රධාන අනුශාසක
පොල්ගහවෙල මිතභාණි හිමි

දිනක් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා අමතා මෙසේ දේශනා කොට වදාළ සේක. මහණෙනි, තෘෂ්ණාව රෝගයෙකි. තෘෂ්ණාව හුලෙකි. මෙහි ගම්භීරත්වය කෙබඳු වන්නේ දැයි ඔබට වැටහේද?
සිතෙහි ස්වභාවය අරමුණු ගිල ගැනීමයි. තෘෂ්ණාවට දාස වීමයි. එය ද්වරායන්ගේ ක්‍රම වේදයට පැහැදිලි කළොත් සය ආකාරයි. රූප, තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා, ආදී නම් වේ.
පුහුදුන් සිතේ ක්‍රියාකාරිත්වය නිරන්තරයෙන්ම පවතින්නේ නැති දෙයක් ඇතැයි ආශ්වාදයෙන් යුතුව විශ්වාස කිරීමයි. එහි දෘෂ්ටියට වැටීමයි. මේ තුළින් සිතේ හටගනු ලබන්නේ සක්කාය දෘෂ්ටි නිර්මාණ වීමයි. මෙයට පංචඋපාදානස්කන්ධය ලෙස හැදින්වීම නිවැරදි වන්නේ ය. මෙම බැඳිම්වල බියකරුභාවය පුහුදුන් සත්ත්වයාට අවබෝධ නොවන්නේ ය. ඒතාක් සතර අපාදි දුගතියට යැවෙන වාර ගණන ගණනින් විස්තර කළ නොහැකිය. එම නිසයි තණ්හාවට දාසවෙමින් කර්ම රැස් කරන සිත යෝනිසෝමනසිකාරයෙන් යුතුව සංරක්‍ෂණය කරගැනීම උත්සාහවන්තවීම ඉතා වැදගත් කොට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ. තණ්හාවට නිරතුරු බැඳෙන සිත තුළ හටගන්නේම ශෝකය සහ භය වේ. එහි සැපයක් කෙසේ නම් වන්නේ ද?

තණ්හාය ජායතී සෝකෝ 
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස 
නත්ථි සෝකෝ කුතෝ භයං”

අධික ආශාව (ලෝභකම) හේතු කොටගෙන සෝකයම ඇතිවේ. එයින් සිතේ බිය හට ගනී. නැසෙන බිඳෙන යමක් කෙරෙහි හෝ යම් පුද්ගලයෙක් කෙරෙහි ආශාව දුර කළ තැනැත්තාට සෝක වීමෙක් නැත. බියක් නැත්තේමය.

රතියා ජායතී සෝකෝ
රතියා ජායතී භයං
රතියා විප්පමුත්තස්ස
නත්ථි සෝකෝ කුතො භයං”

ඇල්ම නිසා (කම් සැපයෙහි ගිජුවීම) ශෝකවීම හටගනී. එම වස්තු අන් සතු වෙයිද? තමා වසඟයෙන් පවත්වාගැනීමට නොහැකි වෙයිද? ස්ථිර නොවෙයිද? එයින් බිය හට ගනී. යමෙක් ඇලීමෙන් තම සිත මුදවා ගනීද, ඔහුට ශෝකවීයි බියක් නොවන්නේ මය.
ඇල්මෙහි ඇතිවෙන සෝ තැවුල් සහ බිය පහත සඳහන් කරුණු කාරණා තුළින් තේරුම් ගනිමු. දිනක් විසාලා මහනුවර ලිච්ඡවි රජදරුවන් උත්සවයක් සඳහා විසිතුරු ආභරණින් සැරසී උයන් කෙළි සඳහා පිටත්ව යති. ඒ වේලෙහි බුදුන්වහන්සේද තම භික්ෂු සංඝයා සමඟ ඇතුළු නුවරට වඩින සේක. සැරසී යන ලිච්ඡවි රජදරුවන් දැක, මහණෙනි, තව්තිසා වැසි දෙවියන් දැන නැත්නම් මේ ලිච්ඡවි දරුවන් දැක බලා ගන්නැ’යි වදාළහ. උයන් කෙළියට යන ඔවුහු මනහර ලෙස හැඳ පැලඳ යන රුවින් පියකරු සිත් වඩන (කාමයෙන් යුතු) වෙසඟනක් කැටිව ගියහ. සියල්ලෝම ඒ වෙසඟන කෙරෙහි ලොල් වූවාය. කාම රතියෙන් මුසපත් විය. එකිනෙකා තමා වසඟයෙහි ඇය අත්පත් කරගැනීමට ඇන කොටා ගන්නට වූහ. බලවත් වූ කෝපය වර්ධනය විය. දරුණු විය. කලහය තුළින් සිරුරු තුවාල විය. ලේ ගලන්නට විය. අත් පා සිඳගැනීම්වලට ලක්විය. සැරසීගත් වස්ත්‍ර ලේ වලින් තෙත් විය. සිත් සතන් කෙලෙස් වලින් තෙත් විය. වේදනාවෙන් පීඩා විඳින රජදරුවන්ට පිළියම් පිණිස ජනයා ඔවුන් නුවරට ඔසවාගෙන යන්නට විය. සිත උමතු කරවා ජීවිත විනාශයට පමුණුවන්නේය.
මේ මොහොතේ ඇතුළු නුවර සිට නැවැත භික්‍ෂූන්වහන්සේලා සමඟ ලොව්තුරා බුදුන් වහන්සේ මඟ වඩින සේක. රූපවත් වෙසඟන කෙරෙහි ලොල් වූ රජදරුවන් තමා වසඟයට පත්කර ගැනීමට එකිනෙකා ඇනකොටගෙන සෝක වේදනා සහිත ලේ සැලෙන තුවාල ඇතිව බියට පත්වූ ආකාරය සැළකළහ. ඇලීමෙහි ආදීනවයන් දැක කෙලෙස් මරු වසඟයෙන් මිදුණු රහත් උතුමන්ට සෝකවීමක් බියක් නැතැයි වදාළ සේක.
උපතත් සමඟ වයසින් වැඩෙන ළදරුවාගේ පටන් මරණය තෙක් සත් කැල තණ්හාව දාස වී සීමාවන් ඉක්මවා සිත දුර්වර්ණ කරගෙන (පංච නීවරණයන්ගෙන්) දූෂිත භාවයට පමුණුවාගෙන කටයුතු කිරීමෙන් අතිමහත් දුක්වේදනාවක් විඳ සැපයෙන් පහ වූ දුක්ඛිත සතර අපායට වැටී දීර්ඝ කාලීනව සෝතැවුල් විඳින්නේය. එතරම් වත්ථුකාම,ක්ලේස කාමයන්ට ගොදුරු මත්භාවයට පත්වීම දොලොව තැවීමට හේතුª වන්නේය. කාමයන් කෙරෙහි දිවයන සිතෙහි සෝක බිය වැඩිවීමක් මිස අඩුවීමක් නොවන්නේය. කොපමණ භෞතික වශයෙන් දියුණුවක් වුවත්, ඒ හැම වෙනස්වන බව, විපරිණාමයට පත්වෙන බව නුවණින් විමසා ආධ්‍යාත්මික සහනය ඔබ තුළින් නිර්මාණය කරගැනීමට අපොහොසත් වුවහොත්, සංස්කාරයන්ගේ යථාස්වභාවය අවබෝධ නොකර ගැනීමෙන්, ඔබටත් සෝක තැවුල් බොහෝ කොට ඇතිවන්නේය. එයින් සිත ගිලන් වන්නේය. එමනිසා අධික තෘෂ්ණාවටම පත්වීම මානසික රෝග වැඩීමට හේතු සාධක වන්නේ ය. ආර්යභාවයෙන් දුරස්ථ වූ සත්කැල රෝගීන්ම වන්නේ ය. එසේ වන්නේ තෘෂ්ණාවට දාස වීම රෝගයක් මවන නිසාවෙනි.
දිනක් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් වවහන්සේලා අමතා මෙසේ දේශනා කොට වදාළ සේක. මහණෙනි, තෘෂ්ණාව රෝගයෙකි. තෘෂ්ණාව හුලෙකි. මෙහි ගම්භීරත්වය කෙබඳු වන්නේ දැයි ඔබට වැටහේද? මහණෙනි, තථාගතයන් වහන්සේ තෘෂ්ණා රහිත ව පහ වූ හුල් ඇති විහරණය කෙරෙයි (වාසය කරයි). ඉදින්, මහණ ඔබ සැමද තෘෂ්ණා රහිතව, හුල් රහිතව වාසය කිරීමට කැමැති වන්නේ නම් මෙම සිත කෙසේ හික්මවා ගත යුතු වේද? මහණෙනි, ඇස ආත්මය යි නොගත යුතු වන්නේය.
ඇසෙහි ආත්මය ඇතැයි නොගත යුතු ය.
ඇසෙන් බැහැර ආත්මය ඇතැයි නොගත යුතු ය.
ඇස මාගේ් යැයි නොගත යුතු වන්නේ ය.
සෙනෙහස , ආදරය, ආලය, සෝකවීමට, බියට හේතු වන්නේ කෙසේද? ඔබේ සිත හා සංසන්දය කර බලා දවසේ කටයුතු පහසු විහරණයෙන් (තණ්හාවට දාසනොවීමෙන්) කරගැනීමටත් සැනසීමටත් පහත සඳහන් කරුණු කාරණා උපයෝගීවනු ඇත. සැවැත්නුවර ඉසුරුමත් කුලයක අනිත්ථිගන්ධ නම් කුමරෙක් වාසය කරන්නේ ය. සිප් සතරෙහි මනා දැනුම් ඇත්තෙකි. සැමට කීකරුව ගුණනුවණින් සංවරව කටයුතු කරයි. අකුසල් (පවට) කිරීමෙන් වැළකී දැහැමි ජීවත් වෙයි. ස්ත්‍රීහු දැකීමට පවා මැලිකමක් දක්වයි. කාන්තාවන්ගේ ඇසුරට බොහෝ සෙයින් අකමැති ව ජීවත් වෙයි. දිනක් තම මාපියන් තම දරුවාට මෙසේ යෝජනාවක් ගෙන එයි.
මවුපියෝ : දරුව! කුමරියක් සරණපාවා ගන්න.
කුමරු : මට වුවමනා නැත. මම කරදරවලට භාජනය වීමට අකැමැත්තෙමි.
මවුපියෝ : පුත එසේ නොකියන්න. අප කියන්නේ යහපතක්ම සඳහාමය.
කුමරු - මට අවශ්‍ය නැත. කරදර පීඩා විඳින්න මා කැමැති නැත.
මවුපියෝ - දරුව! සරණ බැඳුමක් නොවුවොත් අප කුලය ඉදිරියට නොපවති. ධනයද අන්සතු වෙයි. අප රැකගෙන ධනයද ආරක්ෂා කරගෙන බිරිඳ සමඟ ජීවත්වන්න.
කුමරු : නිහඬ විය.
මවුපියෝ : ඔබට රන්රුවන් වැනි කුමරියක් සරණ කොට දෙන්නෙමු’යි තම වසඟයට හරවා ගනු ලැබුයේ වෙයි.
දඹදිව සිසාරා පිරික්සා බලා මදුරට සාගල නුවර රන්රුවන් වැනි කුමරියක් සොයා ගන්නා ලදි. ඒ කුමරියගේ රූ සපුව අසා ස්ත්‍රීහු දක්නට පවා අකැමැති වූ කුමරු මහත් වූ ඇල්මක් කුමරිය කෙරෙහි ඇතිකර ගත්තේය. සරණ මංගල උත්සවය සඳහා සැරසි එන අතරමඟ කුමරිය මරු වසඟයට පත් වූවා ය. ඒ පුවත ඇසූ මොහොතේ කාමරාගයෙන් යුතු කුමරු සොවින් තැවුනේය. දහනයට පත්විය. බියට පත්විය. සෙනෙහස, ආදරය, තෘෂ්ණාව ආදී ක්ලේශයන් රෝගයක් බව දැන් ඔබට මනා ලෙස අවබෝධ කරගැනීමට මෙයින් හැකියාව සැලසෙනු ඇත. සසර විදර්ශනා ඥානය (පස් කඳෙහි) වාගෙන ආ පින්වත් කුමරෙක් බව ලොව්තුරා බුදුන්වහන්සේ දැනගත් බැවින් නිවසට වැඩ දහම් දේශනා කළ සේක. කාමයෙහි ආදීනවය දක්වා එයින් මිදුනු තැනැත්තාට ශෝකවීමෙන් බියක් නැතැයි පහත සඳහන් ගාථාවෙන් අනුශාසනා කරන විට කුමරු සෝවාන් ඵලයට පත්විය.
කාමතො ජායති සොකො 
කාමතො ජායතී භයං
කාමතො විප්පමුත්තස්ස
නත්ථි සොකෝ කුතො භයං
කාමයන් ඇරැඹ සොවිම තැවීම උපදී. කාමයෙන් මිදුනු තැනැත්තාට සොවිමත් බියක්නැත.” මෙලෙස ඉන්ද්‍රිය අරමුණු නිමිති වශයෙන් නොගෙන සාරය මෙනෙහිකොට සංසාර රෝගයෙන් මිදීමට උත්සාහවන්න. එවිට තෘෂ්ණාව නමැති රෝගය, හුල ගණ්ඩය කෙලෙස් ප්‍රහීණවීමෙන් ශාන්තිය අත්පත් කර ගැනීමට හැකියාව සැලසෙනු ඇත.

ආර්ය උපෝසථ ශීලය


වේවැල්දෙණිය, පහළගම
සමථ – විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ
ප්‍රධාන අනුශාසක
පොල්ගහවෙල මිතභාණි හිමි

මිනිසත්භාවයක් ලද ක්ෂණය තුළ සසර දුකින් මිදීමට අප්‍රමාදව කටයුතු කරගත යුතු බව තථාගතයන් වහන්සේ ලෝකයාට මහා කරුණාවෙන් යුතුව දේශනා කර වදාළ සේක. එසේ දේශනා කිරීමට හේතුවන්නේ ප්‍රමාදය එතරම්ම බියකරු නිසාමය. ප්‍රමාදවූවන් සතර අපායට වැටී විඳින්නා වූ දුක් ගැහැට සම්මා සම්බුදුපියාණන්වහන්සේ දකින නිසාවෙනි.
වත්මන් සමාජයේ බොහොමයක් කුඩා, තරුණ, මැද සහ මහලු යන වියේ උවැසි උවැසියෝ සිල් සමාදන්ව කටයුතු කරති. සිල් සමාදන් වීම යහපත් කටයුත්තකි. එහෙත් එහි පරමාර්ථය කෙබඳුද යන්න විමසා බැලිය යුතුයි. ඇතැම් විට පවුලේ සියල්ලෝම පොහොය දින පෙහෙවස් සමාදන් වෙති. ස්වාමි දියණිය පමණක් සමහරවිට සිල්සමාදන් වෙයි. ස්වාමිපුරුෂයා සහ බිරිඳ දෙදෙනාමත් කලාතුරකින් එසේ සිල් සමාදන් වෙති. එසේ නොවී, කෙනකු සිල් සමාදන් වෙනවට විරුද්ධව කටයුතු කරමින් යහපත වළකන අයද සමාජයේ ජීවත් වෙති. උදාහරණයක් ගතහොත්, ස්වාමි දියණිය පෙහෙවස් සමාදන් වනවාට ස්වාමිපුරුෂයා විරුද්ධකම්පායි. නැතිනම්, ස්වාමිපුරුෂයා පෙහෙවස් සමාදන්වනවිට ස්වාමිදියණිය විරසක වන්නීය. දරුවන් පෙහෙවස් සමාදන් වන විට මහණ වේ යයි බියට සමහර මව්පියෝ ඔවුන් ඉන් වළකති. එදිනට බාහිර අමතර පන්තියකට හෝ යැවීමට කටයුතු කරති. එසේ නැත්නම්, සිල් සමාදන්වීමට තවකල් තිබෙනවායි පවසමින් සාරය අසාරය කොටගෙන අසාරය සාරය කොටගෙන ප්‍රමාද විහරණයේ යෙදෙති. ඒ කෙසේ වෙතත් ලොව ජනයා සම්බුදු ශාසනවලත්, බාහිරවත්, පෙහෙවස් සමාදන් වෙති. අතීතයේ එසේ සමාදන් වී තිබේ. අනාගතයටත් සිද්ධ වේ.
ලොව්තුරා බුදුපියාණන් වහන්සේ වැඩවසන දවස සැවැත්නුවර පන්සියයක් පමණ උවැසියෝ (බාල, තරුණ, මැදවිය, වයස්ගත) පොහොය දින සිල්සමාදන්ව වෙහෙර සිටියහ. ඒ පිරිස් අතරට විශාඛා මහ උවැසි තොමෝ පැමිණ පෙහෙවස් සමාදන්වීමට කාරණා කවරේදැයි විමසුවාය. එය දැන ගැනීම කාහටත් වැදගත් වනු ඇත.
විශාඛා මහා උවැසිය – (වයස්ගත උවැසියන් වෙත පැමිණ) මෑණිවරුනි, ඔබ පෙහෙවස් සමාදන් වූයේ කුමක් පතාද?

මහලු උවැසියෝ – අපි මහලුබවට පත්වූයෙමු. දෙව් සැප පතා සිල් සමාදන් වූයෙමු.
විශාඛා මහ උවැසිය - (මැද වයස් පිරිස වෙත පැමිණ) නැඟණියනි, කුමක් පතා සිල්සමාදන් වූයේ ද?
මැදිවයස් උවැසියන් - සැමියාගේ අන් බිරිඳන් කෙරෙහි පවත්නා කෝපයෙන් මිදීම පිණිස සිල්සමාදන් වූයෙමු.
විශාඛා මහ උවැසිය – (තරුණ වයස් උවැසියන් වෙත පැමිණ) කුමක් පතා සිල් සමාදන් වූයේද?
තරුණ උවැසියන් – කුළුඳුල් පිරිමි පුතුන් ලබනු පිණිස සිල් සමාදන් වූයෙමු.
විශාඛා මහ උවැසිය – (බාලවයස් උවැසියන් වෙත පැමිණ) කුමක් පතා සිල් සමාදන් වූයේ ද?
බාලවයස් උවැසියන් – වැඩි වයසට නොපැමිණ කුඩා වියේදීම සරණයෑම සඳහා සිල් සමාදන් වූයෙමු.
සිල් රැකීමේ පරමාර්ථය (උතුම්බව) නොදත් සතර පිරිසම බුදුන්වහන්සේ වෙත පමුණුවා ඔවුන්ගේ අදහස් දන්වා සිටියා ය. පුහුදුන් සත්වයා කුමක් පිණිස සිල් රකින්නේ ද යන අදහස නොදන්නාතාක් මුළාවෙන් යුතුව ජරා මරණය කරා පැමිණෙන බව පහත සඳහන් ගාථා රත්නයෙන් වදාළ සේක.
යථා දණ්ඩෙන ගොපාලො
ගාවො පාචෙති ගොචරං
ඒවං ජරා ච මච්චු ච
ආයුං පාචෙන්ති පාණිනං

“ගවයන් බලන ගොපලුන් දණ්ඩක් රැගෙන ගවයන් තණබිම් කරා දක්කන්නේ යම් සේද, නිවන පිළිබඳ නොදන්නා සත්කැලද නොයෙක් බලාපොරොත්තු සහිත ව දුකසේම ජරා මරණ කරා නිරන්තරයෙන්ම ආයු ගෙවමින් ඇදී යති.”
දිනක් භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පූර්වාරාමයෙහි (විශාඛා මහ උපාසිකාව විසින් කරවන ලද) වැඩ වසන සේක. පෙහෙවස් සමාදන් වී මිගාර මාතාව වු විශාඛා මහ උපාසිකාව භාග්‍යවතුන්වහන්සේ වෙත එළැඹ වැඳ එකස්පසක සිටියා ය. එතුමියට පෙහෙවස් සමාදන් වීම පිළිබඳ මෙසේ දේශනා කළ සේක. “විශාඛාවෙනි, පෙහෙවස් තුනකි. ඒ කවරේද?
1. ගොපාල උපෝසථය
2. නිගන්ඨ උපෝසථය
3. ආර්ය උපෝසථය

විශාඛාවෙනි, ගවයන් බලන ගොපලුන්, දවස පුරා ගවයන් තණ බිම් කරා දක්කා සවස් කල ගව හිමියාට ගවයන් බාරදෙයි. එසේ දී මෙසේ සිතයි. අද දින ගවයෝ අසවල් අසවල් තැන තණ කෑහ. අසවල් තැනින් බීමට වතුර සලසාදුනි. හෙට දවස අසවල් අසවල් ප්‍රදේශයෙන් තණ කෑමට සලසනවා අසවල් බිම් ප්‍රදේශයෙන් වතුර බීමට සලසනවා. එපරිදිම විශාඛාවෙනි මෙලොව කිසිවෙක් පෙහෙවස් ඇතියේ මෙසේ සලකති. මම අද මේ මේ රස දේ කෑවෙමි.රසවත් දේ බීවෙමි. භොජ්‍ය අනුභව කෙළෙමි. හෙට දවසත් රසවත් ආහාර අනුභව කරන්නෙමි. ප්‍රණීත වූ පානය බොන්නෙමි. මෙසේ ලෝභයෙන් (අභිධ්‍යාසහගත සිතින්) කෑදරකමින් දවස ගෙවයි. මෙය ‘ගොපලු පෙහෙවස’ වෙයි. විශාඛාවෙනි, මේ පෙහෙවස මහත්ඵල නොවෙයි. මහානිශංස නොවෙයි. මහද්ගත නොවෙයි. මහාවිස්ථාර ද නොවෙයි. මෙසේ මතු සංකල්පනාවෙන් යුතුනම් ඔබත් සමාදන් වී ඇත්තේ ගොපලු උපෝසථය බව සැලකිය යුතු යි. රසයට ගිජුව කාම සිතිවිලි සිතන්නේ නම්, හෙට දවසත් රසයට ගිජුව වාසය කරන්නේ නම් සමාදන් වී ඇති පෙහෙවස හරයක් ඇති දෙයක් නොවේ. සැනසිල්ලක් විවේකයක් සන්සිඳීමක් මහත්ඵල අනිශංස ඔබට අත්පත් කර ගැනීමට හැකියාව නැත්තේ ය.
විශාඛාවෙනි, නිගණ්ඨ නම් මහණ පිරිසක් ඇත. එම පිරිස තම සව්වන් මෙසේ සමාදන් කරවති. එම්බා පුරුෂය, එව, තොප මෙසේ ප්‍රාණින්ට දයාව අනුකම්පාව පිණිස සමාදන් විය යුතු යි. ඒ කෙසේද? නැ‍ෙගනහිරින් යොදුන් සියයක් මෙපිට යම් ප්‍රාණීන් ඇත්ද ඔවුන් කෙරෙහි දඬු බහා තබවු. උතුරු දෙසින්, බටහිර දෙසින්, දකුණු දෙසින්, ප්‍රාණින් කෙරෙහි දඬු බහා තබවු. මෙසේ ඇතැම් සත්වයන්ට (ප්‍රාණීන්ට) දයා පිණිස, අනුකම්පා පිණිස සමාදන් වෙති. ඇතැම් ප්‍රාණීන්ට දයා පිණිස අනුකම්පා පිණිස සමාදන් නොවෙති. තවද මෙසේ සමාදන් කරවයි. එම්බා පුරුෂය, සියලු වස්ත්‍ර ගලවා (හැඳි පිළි) මෙසේ කියව. ‘මම කිසිතැනෙක්හිදි කිසිවෙකුගේ පළිබෝධයෙක් නොවෙමි. මාගේ ඇතුළත සහ පිටත කිසිදු තැනක පිරිකරෙක (වස්ත්‍රාභරණ) පළිබෝධකයක් ද නැත. එහෙත් තම මවුපියෝ මේ අපගේ පුතා වෙයි, හෙතෙමේද මෙ මගේ මවුපියන් වෙයි, දරුවෝද මේ අපගේ පියා යයිද, හෙතෙමේද මේ මගේ අඹු දරුවන් යයිද හඳුනාගනිති. දැසි දස් කම්කරුවෝ ද මේ අපගේ ස්වාමිපුත්‍රයායයිද, හේද මේ මාගේ දස්කම්කරුවන් යයිද දනිති. මෙලෙස සත්‍යයෙහි සමාදන් විය යුතුද එහෙත් අසත්‍යයෙහි සමාදන් කරවති. මෙය ඔහුගේ මුසාවයි කියමි. හෙතෙම ඒ රෑ ඉක්ම යෑමෙන් හොර රහසේ ඒ භෝග වළඳයි. මේ පෙහෙවස විශාකාවෙනි ‘නිවට පෙහෙවස’ (නිගණ්ඪුපෝසථය) වන්නේ වෙයි. මෙයද මහත්ඵල නොවෙයිමහත් අනුසස් නොවෙයි. බැබළීමක් නොවෙයි. මහද්ගත නොවෙයි.”
විශාඛාවෙනි, අරියුපෝසථය කවරේද? කෙලෙස් වලින් පිරී ගිය දුර්වර්ණ වූ සිත ක්‍රම ක්‍රමයෙන් පිරිසුදු භාවයට පැමිණෙයි. කෙසේ නම් වේද? බුදු සසුනෙහි ආර්ය ශ්‍රාවකතෙම තථාගතයන් වහන්සේ මෙසේ සිහිපත් කරයි (අනුස්මරණය කරයි). මාගේ ස්වාමි වූ ලොව්තුරා බුදුන් වහන්සේ මේ කාරණයෙන් අරහත් නම් වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විද්‍යාචරණ නම් වන සේක. සුගත නම් වන සේක. ලෝක විදූ නම් වන සේක. අනුත්තර පුරිස දම්ම සාරථි නම් වන සේක. දෙව් මිනිසුන්ට ශාස්තෘ නම් වන සේක. බුද්ධ නම් වන සේක. භාග්‍යවත් නම් වන සේක. මෙසේ නව අරහාදී බුදුගුණ සිහි නුවණින් යුතුව මෙනෙහි කරයි.
මෙසේ සිහිපත් කිරීම අනුස්මරණය කරන දේ අතුරින් ශ්‍රේෂ්ඨතම අනුත්තරිය ධර්මය වේ. රාගාදි කෙලෙස්වලින් බරිත වූ අය සිහිපත් කිරීමෙන් තවදුරටත් තම සිත අපිරිසුදු භාවයට පැමිණෙයි. ලොව්තුරා බුදු ගුණ සිහිපත් කිරීම, එයට අනුගතවීම සිතේ පහන්භාවය පිණිස පවතියි. පී‍්‍රති ප්‍රමෝදය පිණිස පවතියි. චිත්තයාගේ උපක්ලේශයෝ ද ප්‍රහීණ වෙති. සිත මුදුතර වෙයි. ක්‍රම ක්‍රමයෙන් කිලිටි සිත පිරිසුදු භාවයට පැමිණෙයි.
බොහෝ කලක් අපිරිසුදු වූ හිසෙහි (කෙස් කළඹ) ඇඹුල් කල්කය, බෙහෙත් ඖෂධ ද ගොනුකර මහත් උත්සාහයෙන් දියමුසු යොදා ක්‍රමිකව පිරිසුදු බව ඇති කරන්නේ ද, එසේ නීවරණ ආදි කෙලෙස්වලින් දහනය වූ තෙත් වූ දුර්වර්ණ වූ සිත වීතරාගී වූ ගුණස්කන්ධය ගුණ සාගරය සිහිපත් කරනවිට අතිශය පිරිසුදු භාවයට පත්වෙයි. ශාන්තවෙයි. දමනය වෙයි. සමාහිත වෙයි. විවේකයට පත්වෙයි.

පවින් වැළකීම නම් වූ හෘද සාක්‌ෂියට කතා කිරීම


පවින් ජීවිතය සැනසුමක්‌ ලෙස පවත්වා ගැනීමට බොහෝ සෙයින් උපකාරී වන උතුම් මානුෂීය කරුණු මංගල සූත්‍ර දහම්හි පෙන්වා දෙන අතර අප විසින් එක්‌ කරුණක්‌ මෙහි සාකච්ඡා කරනු ලැබේ. මානුෂීය කරුණු යෑයි සඳහන් කළේ මනුෂ්‍යයන්ට අනුගමනය කළ හැකි සහ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිසත් බව ලැබූ අය මනුෂ්‍යයන් බවට පත් කිරීමට මෙම මංගල කරුණු හේතුවන බැවිනි. මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ දහනවවැනි මංගල කරුණ වන 'ආරති විරති පාපා' නම් වූ පාපයන්ගෙන් වැළකීම උතුම් මංගල කරුණකි යන්නය.


මෙහිදී පාපයන් යනුවෙන් පස්‌පව් සහ දස අකුසල් ප්‍රධාන වශයෙන් ගැනේ. මෙම පස්‌පව් සහ දස අකුසල් විග්‍රහ කිරීමේදී සිත,කය,වචනය නම් වූ අවස්‌ථා තුනෙන්ම පාපයන්ගෙන් වැළකිය යුතු බව අදහස්‌ කෙරේ. පස්‌පව් නම් ප්‍රාණඝාතය, සොරකම, කාමයෙහි වරදවා හැසිරීම, බොරුකීම සහ මදයට හා ප්‍රමාදයට හේතු වන මත්වතුර, මත්ද්‍රව්‍ය භාවිතයයි. දස අකුසල් නම් ප්‍රාණඝාතය, සොරකම, කාමයෙහි වරදවා හැසිරීම, බොරුකීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස්‌ වචන කතාකිරීම, අභිද්‍යාව නම් වූ විෂය වූ ලෝභය, ව්‍යාපාදය නම් වූ තරහව සහ මිථ්‍යා දෘෂ්ටියයි. මෙම පස්‌පව් සහ දස අකුසල්වලින් මුළුමනින්ම බැහැරවිය හැකිද? හෝ සමාන්‍ය සමාජයෙහි එසේ බැහැරවූ අය සිටිත්දැයි ඔබට ඔබෙන්ම ප්‍රශ්න කිරීමට පුලුවන. අපගේ ධර්මානුකූල පිළිතුර නම් මෙම පාපයන්ගෙන් මුළුමනින්ම බැහැරවීමට හැකිය කියාය. සැබෑවටම මෙම පස්‌පව් සහ දස අකුසලයන්ගෙන් බැහැර වූ සත්පුරුෂ මනුෂ්‍යයෝ බොහොමයක්‌ද අප රටේ සිටිති. එවැනි සත්පුරුෂ මනුෂ්‍යයෝ ගුණයන්ගෙන් හිස්‌ මිනිසුන් මෙන් ඝෝෂා නොකරති. බාහිර ආටෝපයට කැමැති නොවෙති. මම 'සිල්වතා' යෑයි ව්‍යංගයෙන් හෝ කියාපාන්නට උත්සාහ නොගනිති. පස්‌පව්වලින් වැළකී පඤ්චශීලය ආරක්‌ෂා කරන පිරිස්‌ ඕනෑ තරම් සිටිති. වර්තමානයේ සමහරු සමාජය ඉදිරියේ සිල්වතුන් සේ පෙන්වා රහසේ පව් කරතියි මෙය කියවන ඔබ සිතිය හැකිය. එක්‌ ආකාරයකින් එය අසත්‍යයක්‌ද නොවේ. එනමුත් අප විසින් කළ යුත්තේ එවැනි පිරිස්‌ ගැන සිතා එවැනි දැ තමන්ගේ වාසියට නොගෙන යහපත් වූ මාර්ගය අනුගමනය කිරීමට හැකි තරම් උත්සාහ කිරීමය.

වර්තමානයේ දෘශ්‍ය සහ ශ්‍රව්‍ය බොහෝ මාධ්‍යයන්ගෙන් සමාජයට ලබාදෙන පණිවුඩය එතරම් සුබදායක එකක්‌ නොවේ. සමහර නාට්‍ය හා චිත්‍රපට ව්‍යංගයෙන් පවසන්නේ රහසේ පව් කළාට වරදක්‌ නොවේ යන අදහසකි. මෙය බලන හෝ අසන අයද 'ඒ වගේ අයත් එහෙම කරන්නේ නම් මම කළාම මොකද වෙන්නේ' යෑයි තමාගේ රාග, ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් පීඩිත සිතට වාසියක්‌ කරගනිති. එසේ රහසේ පව් කරද්දී මානසිකව ඇතිවන බිය, අසහනය, දුක්‌ඛ දෝමනස්‌ස, සැකය, ආත්ම වංචනය මෙපමණකැයි කියා පැවැසිය නොහැකිය. එය එසේ නොවී පස්‌පව් සහ දස අකුසල්වලින් වැළකී යහපත් ලෙස ජීවිත ගතකරන මිනිසුන්ගේ කතාවන් වැඩි වැඩියෙන් සමාජයට ඉදිරිපත් කළ හැකි වන්නේ නම් එය කෙතරම් අගනේද? ප්‍රේක්‌ෂකයන්ට මෙසේ සිතෙන්නේ නම් කොපමණ යහපත්ද? මා රහසින් සිදු කරන ආත්ම වංචනය බැහැරකොට මේ වගේ යහමාර්ගයට පැමිණිය යුතුය යන අදහසය.

තවත් පිරිසක්‌ පවසන අදහසක්‌ මෙහි සටහන් කරන්නේ මෙම පාප ධර්මයන්ගෙන් කෙසේ හෝ ඉවත්වීමට කටයුතු කළ යුතුය යන අදහස ඔබට පවසන්නටය. 'අද සමාජය බොරුවෙන් සහ වංචාවෙන් පිරිලා' යනුවෙන් සමහරු පවසති. මෙසේ පවසන්නට හේතුව කුමක්‌ද? යමක්‌ කරවා ගැනීමට අල්ලස්‌ දීම හෝ කොමිස්‌ මුදල් දීම සාමාන්‍ය සිදු වීමක්‌ බවට පත්ව ඇතැයි පෙනෙන්නට තිබෙන නිසාය. පාසලකට දරුවෙක්‌ ඇතුළත් කරන්න ගන්නා උත්සාහයෙන් ආරම්භ වන මෙම 'බොරු - වංචා' ඉහළම ගමන් කරනා බව පෙනේ. මෙහි ආදීනව රැසකි. බොහෝ දෙනා ඔවුනොවුන් රවටමින් වංචා කරගන්නා අතර තරහව, වෛරය, අමනාපය සහ ඊර්ෂ්‍යාවද මනුෂ්‍ය සන්තානයන්හි වපුරති. මෙය කියවන ඔබට මෙසේ සිතෙන්නේ නැතිද? අපි කොහොමද මෙම 'මඩ ගොහොරුවෙන්' අත්මිදෙන්නේ? අප විසින් පළමුව කළ යුත්තේ යහපත් වූ අදහස්‌ තිබෙන දෙතුන් දෙනෙක්‌ හෝ ආශ්‍රය කිරීමයි. තමන්ගේ කටයුතුවලදී සම්බන්ධ කර ගැනීමයි. 'අහස උසට මාලිගා තනන්නට'සිහින මවන්නේ නැතිව චාම් වූද සරල වූද, පොළොවේ පයගසා ජීවත්විය හැකි ජීවන ක්‍රමයකට හුරුපුරුදු වීමයි. යම් විටෙක දැනටමත් ඔබට සැහෙන පමණක ධනයක්‌ ඇති අයෙක්‌ විය හැකිය. එනමුත් මහිච්චාතා නම්වූ කොපමණ ලැබුණත් මදි යෑයි පවසන ගොඩටම නොවැටී 'යථා ලාභ සන්තුට්‌ඨි' නම්වූ මෙපමණකින් මම සතුටුයි යන වදනින් සැනසෙන්නට පුළුවන් නම් එයම ඔබට මානසික සුවයකි. දහමින් පවසන අයුරින් ආධ්‍යාත්මික සුවයකි.

දස අකුසල්වල අවසාන කරුණු තුන වන්නේ විෂම වූ ලෝභයත්. තරහව සහ මිථ්‍යා දෘෂ්ටිය හෙවත් වැරැදි දැක්‌මයි. තරහව ක්‌ලේශයකි. අකුසලයකි. එමෙන්ම විෂම වූ ලෝභය නම් වූ අන්සතු වස්‌තුව කෙරේ පවා තෘෂ්ණාවක්‌ ඇතිකර ගැනීමද ක්‌ලේශයකි. අකුසලයකි. මේවා බලවත් අකුසල බවට පත්වන්නේ වචනයෙන් සහ ක්‍රියාවෙන් සම්බන්ධ වන විටය. මේ නිසා සිතෙහි තරහව හෝ විෂමලෝභී සිතුවිsලි පහළ වූ විට ඒවාහි ඇති නරක්‌ වූද, තමන්ටත් අන් අයටත් සිදුවන අවැඩ පිළිබඳ මෙනෙහි කරමින් එම සිතුවිලි සිතින් ඉවත් කිරීමට හැකියාවක්‌ අප සතු විය යුතුය. තරහව වචනයෙන් සහ ක්‍රියාවෙන් පිටතට පැමිණි විට සිදු වන හානිය සියලුදෙනාම දනිති. අන්සතු වස්‌තුවට ආශා කරන්නාට සුව නින්දක්‌වත් නොලැබෙනු ඇත. මෙම විෂම වූ ලෝභය, සොරකම, ඊර්ෂ්‍යාව, වෛරය ආදී අකුසලවලට මාර්ගය සලසනු ඇත. 'අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන්නට එපා' යෑයි පවසන්නට සිදු වන්නේ මේ අවස්‌ථාවේදීය.

මිථ්‍යා දෘෂ්ටිය නම් දන්දීමෙහි හෝ පරිත්‍යාගයෙහි යහපත් වූ විපාක නැත ආදී වශයෙන් ඇතිකරගන්නා වූ වැරැදි දැක්‌මයි. බුදුදහමෙහි දස වස්‌තුක මිථ්‍යා දෘෂ්ටියක්‌ පෙන්වා දේ. එනම් 1. දානයෙහි විපාක නැත 2. යාග හෙවත් සිරිත් විරිත්වල විපාක නැත 3. සත්කාරයෙහි විපාක නැත 4. හොඳ නරක කර්මයන්ගේ විපාක නැත 5. මෙලොවක්‌ නැත 6. පරලොවක්‌ නැත 7. විශේෂයෙන් සැලකිය යුතු මවෙක්‌ කියා අයෙක්‌ නැත 8. එවැනි පියෙක්‌ නැත 9. දෙවියන් බඹුන් වැනි ඕපපාතික සත්ත්වයෝ නැත 10. විශිෂ්ට ඥනයෙන් මෙලොව පරලොව දන්නා ශ්‍රමණයන් වහන්සේලා නැත.

මේ දහයම මෙහි සාකච්ඡා කරන්නට අවස්‌ථාව නැත. කරුණු කීපයක්‌ ගැන පමණක්‌ සිතා බලන්න. වඩාත්ම පාපයට බරවී සමාජයට කරදරයක්‌ සහ පිළිලයක්‌ ලෙස ජීවත්වන මිනිසුන් ගැන පවසන වචන ඔබ හොඳින් අසා ඇත. 'මෙලොවක්‌ පරලොවක්‌ විශ්වාස නොකරන මහ පව්කාර මිනිස්‌සු' වර්තමානයේ ස්‌වල්ප නමුත් යම් පිරිසක්‌ හැසිරෙන ආකාරය ගැන ඔබට සිතෙන්නේ කුමක්‌ද? අහිංසක පුංචි දරුවන්ට, තරුණ දියණිවරුන්ට, වැඩිහිටි මවුවරුන්ට පවා කරදර කරන සහ මරාදමන මනුෂ්‍ය නාමයෙන් පෙනී සිටින පුද්ගලයන් ගැන ඔබට සිතෙන්නේ කුමක්‌ද? 'මෙලොවක්‌ පරලොවක්‌ නැහැ, සියල්ල තිබෙන්නේ මේ ලෝකයේ තමයි, සල්ලි තමයි ඕනකරන්නේ' යනුවෙන් පවසන පාපකාරී සිත් මේවාට යම් ආකාරයකින් දායක වී ඇත. මව පියා කියා විශේෂයෙන් සැලකිය යුතු දෙදෙනකු නැත යනුවෙන් සමහර අය සිතන සිතුවිල්ල ඔබේ පවුලට ආදේශ හෝ ගැළපුණොත් ඔබේ පවුලේ ඇතිවන තත්ත්වය ඔබම සිතා බලන්න. ඔබ ගුණබර අම්මා කෙනෙක්‌ නම් සත්පුරුෂ මනුෂ්‍යයෙක්‌ නම් ඔබගේ සිතට මැනවින් දැනේවි, තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ දහම් පද කීපයකින් මෙම ලිපිය අවසන් කරමි.

'මධුවා මඤ්ඤතී බාලෝ යාව පාපං න පඤ්ඤති
යදා ච පච්චතී පාපං අථ බාලෝ දුක්‌ඛං නිගච්ඡති'

'අඥන තැනැත්තා පාපය විපාක දෙන තෙක්‌ එය මිහිරි කොට සිතයි. යම් දිනෙක පාපය විපාක දේද එදිනට අඥන තැනැත්තා බලවත් වූ දුකට පැමිණෙයි.'

'අකුසලං භික්‌ඛවේ පජහථ, සක්‌කා භික්‌ඛවේ අකුසලං පඡහිතුං, නෝ චෙ සක්‌කා අභවිස්‌සු අකුසලා පජහිතුං අහං ඒවං න වදාමිs අකුසලං පජහථාති' 'අකුසල් අත්හරින්න. යම් විදියකින් අකුසල් අත්හරින්නට නොපිළිවන්නේ නම් මම අකුසල් අත්හරින්නැයි නොකියමි. අකුසල් අත්හරින්නට පුළුවන් නිසාම අකුසල් අත්හරින්න යෑයි කියමි. එසේම අකුසල් අත්හැරීමෙන් ඔවුන්ට අයහපතක්‌ වේ නම්, එවිටද මම අකුසල් අත්හරින්නැයි නොකියමි. (බුදුරජාණන් වහන්සේ) පුහුදුන් සිතේ පාපී සිතුවිලි පහළ වීම ස්‌වාභාවිකය. එනමුත් ඒවා පාලනය කරගෙන ප්‍රහානය පිණිසම උත්සාහ ගැනීම තමාටම සැප පිණිසය. උතුම් තුනුරුවන් සරණයි.


ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

සේඛ බල ඇතිකර ගනිමු


මේ සිත පිරිසිදු කිරීම අපි හිතන තරම් පහසු කටයුත්තක්‌ නම් නොවේ. එය ඉතා ම අමාරු, ඉතා ම දුෂ්කර වූ කටයුත්තක්‌. අපට මේ සිතේ තිබෙන කිළිටි ස්‌වභාවය බැහැර කරගෙන, සිත පිරිසිදු දෙයක්‌ බවට පත් කරගන්න විශාල ශක්‌තියක්‌, විශාල බලයක්‌ වුවමනා කරනවා. සිත පිරිසිදු කරගන්න යම් බලයක්‌ නැතුව ඒක කරන්න පුලුවන් කමක්‌ ලැබෙන්නේ නැහැ. ඒ ලෙසට ධර්මය පුරුදු කිරීම පිණිස අපි උපදවාගත යුතු ඒ බලයන්ට කියනවා සේඛ බල කියල. ධර්මය පුරුදු කරන කෙනා සේඛ ශ්‍රාවකයා. ඒ සේඛ පුද්ගලයාට ධර්මය පුරුදු කරගැනීම පිණිස තිබෙන බල, සේඛ බල වශයෙන් හඳුන්වා දෙනවා. 

භාග්‍යවතුන් වහන්සේ විසින් අපට සේඛ බල පහක්‌ පෙන්වා දුන්නා. ඒවා තමයි ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීරිය බලය, ප්‍රති බලය. ධර්මය පුරුදු කරමින් ජීවිතය යහ මඟට ගන්න කල්පනා කරන අය විසින් මේ උතුම් සේඛ බලයන් උපදවා ගත යුතු ම යි. මේ සේඛ ධර්මයන් උපදවා ගන්නෙ නැතිව අපට ධර්මයෙන් පිහිටක්‌ පිළිසරණක්‌ ලබන්න පුළුවන් කම ලැබෙන්නෙ නැහැ. මේ සේඛ බල උපදවා ගැනීම මගින් තමයි ධර්මයෙන් පිහිට ලබන්න, ධර්මයෙන් උපකාර ලබන්න අපට බලයක්‌ ලබා දෙන්නේ. ඒ නිසා මේ උතුම් සේඛ ධර්ම ගැන අපි ඉගෙන ගෙන මේ සේඛ ධර්ම ක්‍රම ක්‍රමයෙන් පුරුදු කරගෙන ඒ සේඛ ධර්ම බලවත් බවට පත් කරගන්න කල්පනා කළ යුතු යි. 

එවිට මේ ධර්මය පුරුදු කරන කෙනා තුළ උපදවා ගත යුතු පළමුවැනි සේඛ බලය ශ්‍රද්ධා බලයයි. ශ්‍රද්ධා බලය කියන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම යි. ඒ කියන්නෙ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වනසේක, විඡ්ජාචරණ සම්පන්න වනසේක, සුගත වනසේක, ලෝකවිදූ වනසේක අනුත්තරෝ පුරිසදම්ම සාරථී වනසේක, සත්ථාදේවමනුස්‌සානං වනසේක, බුද්ධ වනසේක, භගවා වන සේක යෑයි ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමයි ශ්‍රද්ධාව කියන්නෙ. යම් කෙනෙකුට පුළුවන් වුනොත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ හොඳින් සිහි කරමින්, ඒ බුදු ගුණ දරාගෙන, ඒ බුදු ගුණ අදහාගෙන වාසය කරන්න, එපමණකින් ම එයාට ශ්‍රද්ධා බලය උපදවාගන්ට හැකියාව ලැබෙනවා. ඒ ලෙසට ශ්‍රද්ධාව උපදවා ගත්තොත් ඒ උපදවාගත්ත ශ්‍රද්ධාව අකුසල් ප්‍රහාණය කරන්නත්, කුසල් උපදවාගෙන වාසය කරන්නත් අපට උපකාර වෙනවා. ඒ සදහා ඒ ශ්‍රද්ධාව බලයක්‌ බවට පත් වෙනවා. ශ්‍රද්ධාව නැත්නම් අපේ හිතේ තිබෙන අකුසල් ප්‍රහාණය කරගන්න අපට පුලුවන්කම ලැබෙන්නේ නැහැ, ඒ වගේ ම කුසල් උපදවාගෙන කුසල් බලවත් කරගන්න අපට පුළුවන්කම ලැබෙන්නෙත් නැහැ. ශ්‍රද්ධාව තිබෙන කෙනාට ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන හිතට බලයක්‌ ලැබෙනවා, හිතට හයියක්‌ ලැබෙනවා අකුසලය බැහැර කරගන්නත් කුසල් උපදවා ගන්නත්. ඒකයි ශ්‍රද්ධාව බලයක්‌ කියන්නෙ. 

ඒ ලෙසට යම් කෙනෙක්‌ භාග්‍යවතුන් වහන්සේ සරණ ගිහන් භාග්‍යවතුන් වහන්සේගේ ගුණ දැනගෙන ඒ ගුණ සිහි කරමින් වාසය කරද්දී එයාට ලැබෙන තවත් ලාභයක්‌ වන්නේ පාපී ක්‍රියා පිළිබඳව ලැඡ්ජාව. එහෙම නැතිනම් හිරි බලය උපදවාගන්ට පුළුවන්කම. ශ්‍රද්ධාව තිබෙන කෙනාට දුෂ්චරිතය ගැන ලැඡ්ජාව උපදවාගන්න පුළුවන්කමක්‌ තිබෙනවා. ඒකට කියනවා පවට ලැඡ්ජාව කියල. කායික දුෂ්චරිතය ගැන ලැඡ්ජාව, වාචසික දුෂ්චරිතය ගැන ලැඡ්ජාව, මානසික දුෂ්චරිතය ගැන ලැඡ්ජාව උපදවා ගන්නවාට තමයි පවට ලැඡ්ජාව කියන්නේ. එවිට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක්‌ නැත්නම් අපට ඒ පාපී ක්‍රියාවන් කෙරෙහි ලැඡ්ජාව උපදවා ගන්න පුළුවන්කමක්‌ ලැබෙන්නේ නැහැ. යම් කෙනෙක්‌ භාග්‍යවතුන් වහන්සේ පිළිබදව හොඳ පැහැදීමක්‌ ඇතිකරගෙන භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහි කරමින් වාසය කරන්ට පුරුදු වෙලා හිටියොත් එයාට හැකියි පාපී ක්‍රිsයාවන් පිළිබඳව ලැඡ්ජාව උපදවා ගන්න. එයා පවට ලැඡ්ජාව කියන ගුණයෙන් යුක්‌තව ඉන්න කෙනෙක්‌ බවට පත් වෙනවා. එවිට එයාට ශ්‍රද්ධාව තිබෙනවා. පවට ලැඡ්ජාව තිබෙනවා.

ඒ වගේ මයි භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනව 'මේ මේ විදිහේ පාපයක්‌ කළොත්, ඒකට මේ මේ විදිහේ විපාක විඳින්න සදු වෙනවා' කියල. භාග්‍යවතුන් වහන්සෙගේ ශ්‍රවකයා ඒ ධර්මය ශ්‍රද්ධාවෙන් ඉගෙන ගන්නවා. ඒ ගැන ධර්මයට අනුව කල්පනා කරනවා. ඊට පස්‌සෙ දුෂ්චරිතයේ විපාකයට භය උපදවා ගන්නවා. ඒ ලෙසින් දුෂ්චරිතයේ විපාකයට භය උපදවා ගන්න කෙනා ඒ දුෂ්චරිතයෙන් නිදහස්‌ වෙන්න කල්පනා කරනවා. එවිට ශ්‍රද්ධාව තිබෙන කෙනා ශ්‍රද්ධා බලයෙන් යුක්‌ත වෙනවා, පවට ලැඡ්ජාවෙන් යුක්‌ත වෙනවා, පවට බය ඒ කියන්නේ ඔත්තප්ප බලය උපදවා ගන්නවා. 

මේ ආකාරයට ශ්‍රද්ධාවත් ලැඡ්ජා බයෙනුත් යුක්‌තව වාසය කරද්දී එයාට පාපී ක්‍රියාවලින් නිදහස්‌වීමට වීරිය උපදවාගන්ට පුළුවන්කමක්‌ තිබෙනව. එයා පාපී ක්‍රියාවට ලැඡ්ජා බය තිබෙන නිසා පාපී ක්‍රියා කරන්න අකමැති යි. ඒ අකමැත්ත මුල් වී පවෙන් නිදහස්‌ වෙන්න එයා කැමතියි. ඒ පවෙන් නිදහස්‌ වෙන්න තිබෙන කැමැත්ත මුල් වී පාපී ක්‍රියා අතහරින්න එයා වෑයම් කරනවා. පාපී ක්‍රියා අතහරින්න එයා වෑයම් කරද්දී ඒ අකුසලයෙන් නිදහස්‌ වෙන්න, අකුසල් අතහරින්න වීරිය ඉපදෙනවා. එවිට එයා උපන් අකුසල් බැහැර කරන්ට වීරිය උපදවා ගත්ත කෙනෙක්‌ බවට පත් වෙලා. ඒ විදිහට උපන් අකුසල් බැහැර කරන්න වීරියෙන් යුක්‌තව කටයුතු කරද්දී එයා නූපන් අකුසල් උපදවාගන්නේ නැතුව තියා ගන්නත් කැමති වෙනවා, ඒ සඳහා වෑයම් කර වීරිය උපදවා ගන්නවා. එවිට එයා නූපන් අකුසල් නූපදවා තියාගන්න වීර්යයෙන් යුක්‌ත යි. දැන් එයා අකුසල් බැහැර කිරීමේ වීරියෙන් යුක්‌තව වාසය කරන කෙනෙක්‌. දැන් ඒ වගේ ම කුසල් උපදවා ගන්නත්, ඉපදුණු කුසල් බලවත් කරගන්නත් එයාට කැමැත්ත තිබෙනව. ඒ විදිහට වාසය කරද්දී එයා වීරිය බලය තිබෙන කෙනෙක්‌ බවට පත් වෙලා. 

දැන් කල්පනා කරන්න එයා තුළ ශ්‍රද්ධාව තිබුණා. ශ්‍රද්ධාව මුල් වෙලා පවට ලැඡ්ජාව ඉපදුණා, ඒ වගේ ම එයාට පවට බය ඉපදුණා. ඒ පවට ලැඡ්ජාවත් බයත් මුල් වෙලා අකුසල් ප්‍රහාණය කරන්ටත්, කුසල් උපදවාගෙන පරිපූර්ණ කරගන්ටත් වීරිය ඉපදුණා. දැන් එයා ශ්‍රද්ධාවෙන් යුක්‌තයි. ලැඡ්ජා බයෙන් යුක්‌තයි. වීරියෙන් යුක්‌ත යි. 

මේ ලෙසින් වාසය කරන්නාට, භාග්‍යවතුන් වහන්සේ වදාළ විදිහට ජීවිතය ගැන කල්පනා කරන කෙනාට 'මේ ලෝකයේ හටගත් දේ, නැසිල යන ස්‌වභාවයෙන් යුක්‌ත' බව හට ගැනීමත් නැසෙන ස්‌වභාවයත් පිළිබඳ යථාභූත අවබෝධය, ප්‍රර්ව උපදවාගන්ට පුළුවන්කමක්‌ ලැබෙනවා. එවිට එයා ප්‍රඥවෙන් යුක්‌ත කෙනෙක්‌ බවට පත් වෙනවා. මේ විදිහට යම් කෙනෙක්‌ ශ්‍රද්ධාව ඇති කරගත්තොත්, පවට ලැඡ්ජාව ඇති කරගත්තොත්, පවට බය ඇති කරගත්තොත්, අකුසල් ප්‍රහාණය කරගන්ටත් කුසල් උපදවා ගන්ටත් වීරිය ඇති කරගත්තොත්, මේ ලෝකයේ හටගැනීම නැතිවීම ගැන නුවණ උපදවා ගත්තොත්, සංස්‌කාර වල අනිත්‍ය ස්‌වභාවය වටහාගැනීම පිළිබඳ නුවණ උපදවා ගත්තොත් එයා ප්‍රඥවෙනුත් යුක්‌ත වෙනවා. අන්න එයා තුළ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට තමාගේ සිතින් ම සිත පිරිසිදු කරගැනීම පිණිස වුවමණා බලයෙන් යුක්‌ත කෙනෙක්‌ බවට එයා පත් වෙනවා. 

මේ උතුම් සේඛ බල යම් කෙනෙක්‌ උපදවා ගත්තොත්, එයාට ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ලෙසින් සිල්වත් ජීවිතයක්‌ ඇති කරගෙන, ඒ සීලයේ පිහිටා සිත පිරිසිදු කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන්ට පුළුවන් කම ලැබෙනවා. ඒ නිසා ඒ උතුම් සේඛ බල උපදවාගෙන පරිපූර්ණ කරගැනීම පිණිස සියලු දෙනාට ම දුර්ලභ වූ භාග්‍යය උදාවේවා...!!!

පූජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමි
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X