සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

අසිරිමත් ධර්මය මහා ඖෂධයකි

මාලබේ අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති 
කථිකාචාර්ය, දර්ශනපති 
රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි

ජීවිතය කියන්නේ ගලන ගඟක් වගේ. කන්දක් උඩින් ගඟ ආරම්භ වෙන්නේ පුංචි දිය උල්පතක් ලෙස. ඒ වගේම පුංචි දොළක්, ඇලක්, මහා ගඟක් ලෙස බලවත් වෙලයි ඒ ගඟ මුහුදට වැටෙන්නේ. මේ ගඟ මුහුදට වැටෙද්දී අත්දැකීම් බලකායක් ලැබෙනවා. මේ ගඟ උඩ සිට ගලන විට ගඟ දන්නේ නැහැ ගඟට මොකද්ද වෙන්නේ කියා. විටක ගඟ උඩ සිට පහළට කඩාගෙන වැටෙනවා. තවත් විටෙක ගඟ මහා ගල් පර්වතවල හැපෙනවා. අපේ ජීවිතයත් ඒ වගේ. ජීවිතය කෙසේ ගතවුවත් එක ආකාරයටම ගමන් කරන්නේ නැහැ. විටෙක මහා ප්‍රපාතයකට කඩාගෙන වැටෙනවා. විවිධ කරදර බාධකවලට මුහුණ දෙනවා.
මේ නිසා මේ ජීවිතය ගැඹුරින් තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අසිරිමත් ධර්මය මහා ඖෂධයක් බවට පත්වෙනවා. වටින දේ වටිනා දේ ලෙසත්, සාරවත් දේ සාරවත් ලෙසත් දැකිය යුතුයි. මේ භයානක සසර සිඳබිඳගෙන සසර කෙටිකර ගැනීමට ආලෝකයක් කරා ගමන් කළ යුතු වෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාළා මේ කෙලෙස් බරිත පේ‍්‍රත, භූත අපායට ඇදවැටෙන මිනිසුන්ට ධර්මය, ධර්මය ලෙස පෙනෙන්නේ නැහැ. සාර දේ සාර ලෙස පෙනෙන්නේ නැහැ. බොහෝම වැදගම්මක් නැති දේ සාරවත් දේ ලෙස දකිනවා. සාරවත් දේ අසාර ලෙස පෙනෙනවා. ධර්යේ කිසිදු වටිනාකමක් නැහැ. ධර්මය පිළිපැද කාටද හරිගියේ කියා කියන අය සිටිනවා. ඒ වගේම වැරැදි මිථ්‍යා දෘෂ්ඨික අදහස්වලින් ජීවත්වන අයට මේ ජීවිතයෙන් ආලෝකය සුවපත්භාවය කරා යන්නට බැහැ. ජීවිතයේ අභිවෘද්ධිය සලසා ගන්නට නොහැකි වන බව බුද්ධ දේශනාවයි. එය නොවරදින සංකල්පනාවක් බවට, නොවරදින මාර්ගයක් බවට පත්කර ගන්නේ කෙසේද? බුදුරජාණන් වහන්සේ වදාළා සසර සුවපත්වන ඇත්තෝ තමා ළඟ තිබෙන වටිනාම බීජය වන අරහත් බීජය මෝදුකර ගන්නට කැමැති වෙනවා. සාරවත් දේ සාරවත් ලෙස දකිනවා. නිසරු දේ නිසරු ලෙසම දකිනවා. ඒ අය ධර්මය තුළින් වටිනා ගමනක් යනවා. සිත තුළ නිවැරැදි මිථ්‍යාදෘෂ්ඨික නොවන අදහස් වලින් සිත පුරවාගන්නවා.

අප අද කතා කරන්නේ “අසීසක සූත්‍රයයි”. අසීසක කියන්නේ හිසක් නැහැ කියන එකයි. අද සමාජයේ සිටින බොහෝ අයත් ජීවත් වුණාට හිසක් නැති ලෙස ජීවත් වන නිසා හිසක් නැති ආකාරයට වැඩ කරන නිසා අසීසක සූත්‍රය කථා කරන්න අප කල්පනා කළා.
දිනක් මහා සෘද්ධි බලයෙන් මහා විස්කම් පෑ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සහ ලක්ඛණ මහරහතන් වහන්සේ දෙනම වේළුවනාරාමයේ පසු පස්සේ සිට ගිජුකුළු පර්වතයේ පැත්තට පිණ්ඩපාතයේ වැඩියා. පිණ්ඩපාතය වඩින ගමන් ගිජුකුළු පර්වතයේ ඉහළින් ඇති අහස බලා මහාමොග්ගල්ලාන ස්වාමින් වහන්සේ සිනාවක් පහළ කළා. ඒ අවස්ථාවේ ලක්ඛණ මහරහතන් වහන්සේ ඉහළ බලන්නේ මුන්වහන්සේ සිනහ වෙන්නේ කා සමඟද කියා සිතමින්. නමුත් කිසිවක් පෙනුනේ නැහැ. ලක්ඛණ මහරහතන් වහන්සේ අසනවා ස්වාමිනි, ඔබ වහන්සේ සිනාපහළ කළේ ඇයි? මුගලන් මහරහතන් වහන්සේ වදාළා මෙය එයට අවස්ථාව නොවේ. සවස් කාලයේ බුදුරජාණන් වහන්සේ අසලදී එය අසන්න කියලා. සවස දම්සභා මණ්ඩපයේදී ලක්ඛණ මහරහතන් වහන්සේ අසන්නේ අද දවල් මහමොග්ගල්ලන මහරහතන් වහන්සේ ගිජුකුළු පර්වතය මුදුනේදී සිනාවක් පහළ කළා. ඒ ඇයි කියා විමසා සිටියා. ඒ අවස්ථාවේ මුගලන් මහරහතන් වහන්සේ වදාළා ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ගිජුකුළු පව්ව අසලින් වඩිද්දී මම අරුමපුදුම සත්ත්වයෙක් දුටුවා. පාවෙමින් සිටින, හිසක් නැති සත්ත්වයෙක්. සත්ත්වයෙක් කීවාට ඇටසැකිල්ලක්. ඒ පේ‍්‍රතයාට හිසක් නැති නිසා ඇස්,කන්, කට, නාසා පිහිටා තිබෙන්නේ පපුවේ. මේ ඇටසැකිල්ල ආකාසයේ පාවෙනවා. ගිජුලිහිණියෝ ඇවිත් ඇටසැකිල්ලේ තිබෙන ඇටලොඳ කන්න කොටනවා. බලවත් වේදනාවෙන් අනෙක් පැත්තට පාවෙනවා. ඒ පැත්තෙන් උකුස්සන් කොටනවා. අනෙක් පැත්තට පා වෙද්දී කවුඩන් කොටනවා. මහා විපත්තියට පත්ව මේ හිස නැති ඒ පේ‍්‍රතයා දැක මට සිනාවක් පහළ වුණේ, බුද්ධ ශාසනයක් තිබෙන අවස්ථාවේදීත් ඔහු ජීවිතය වරද්දවා ගත් නිසානේ කියා සිතුණා නිසා යැයි දම්සභා මණ්ඩපයේදී වදාළා. බුදුරජාණන් වහන්සේ වදාළා මොග්ගල්ලාන ඔබ පැහැදිලි කරන්න මේ සත්ත්වයාට මෙහෙම වුණේ මොකද කියා. ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මේ සත්ත්වයා කල්ප ගණනකට පෙර මනුස්ස ලෝකයේ ජීවත් වුණේ. ඔහු කළ රැකියාව රාජ්‍ය වධකයා ලෙස කටයුතු කිරීමයි. වැරැදි කළ මිනිසුන්ගේ හිස ගසා දැමීම සිදුකළේ ඔහු. එය රැකියාව වුවත් මහා භයානක පාපයක්. ඔහු නිරයේ අපා දුක් විඳ දැන් මේ පේ‍්‍රත ලෝකයේ ඉපදුනා. නමුත් ඔහුට හිස අහිමියි. අහසෙහි පා වෙන ඇටසැකිල්ලක් කර්මානුරූපව ලැබෙන බව වදාළා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වදාළා මමත් මේ සත්ත්වයා දුටුවා. නමුත් එය නොවදාළා සිටියේ බුද්ධ වචනය පිළිබඳව මිනිසුන් සැක පහළ කරන නිසායි. බුද්ධ වචනය පිළිබඳව සැක පහළ කරන්නා මිථ්‍යාදෘෂ්ඨියට අයත් වෙයි. ඔහු මිනිස් ලොවින් පහළට වැටෙනවා. භූත, පේ‍්‍රත ලෝකවල උපදී. ඔවුන්ට අනුකම්පා නිසයි මම මේ පිළිබඳව කථා නොකළේ කියා තථාගතයන් වහන්සේ වදාළා.
බුදුරජාණන් වහන්සේ මේ අසීසක සූත්‍රය තුළින් පැහැදිලි කරනවා භූතයෝ, පේ‍්‍රතයෝ, යක්ෂ ස්වභාවයෙන් හිස නැතුව පාවෙවී සිටින ජීවිත ලැබෙන්නේ තම තමන්ගේ කර්ම ශක්තිය අනුව බව. මෙසේ මහා විපත්තියට පත්වීමට විශේෂ හේතු තිබෙනවා. ඒවානම් අධම රාගය, විෂම ලෝභය, මිථ්‍යා දෘෂ්ඨිය. අධම රාගය කියන්නේ අධික රාග සිතිවිල්ලයි. විෂම ලෝභය කියන්නේ දැඩි ලෝභයයි. මිථ්‍යා දෘෂ්ඨි කියන්නේ වැරැදි දැක්මයි. ඒවානම් මව කියා විශේෂ කෙනෙක් නැත, පියා කියා විශේෂ කෙනෙක් නැත, මෙලොව නැත, පරලොව, නැත, ඕපපාතික සත්ත්වයාගේ පහළවීමක් නැත, පින් පව්, නැත, හොඳ නරක වල විපාක නැත ආදී වශයෙන් ධර්මය සැක කළොත් වැරැදි දේ අල්ලා ගතහොත් පේ‍්‍රත භූත අපායට වැටෙන්න පුළුවන්. එසේ වැටුන කෙනෙක් පිළිබඳවයි අසීසක සූත්‍රයෙන් පැහැදිලි වෙන්නේ.
මේ සූත්‍රයේදී අවධාරණය කළයුතු කරුණක් තිබෙනවා. මේ අසීසක ප්‍රේතයා මේ විපත්තියට වැටී තිබෙන්නේ තමන්ගේ රැකියාව නිසායි. රාජ්‍ය වධකයා ලෙස මිනිසුන්ගේ හිස ගසා දැමීමයි. එය රැකියාව ලෙස කළත්, විශාල අකුසලයක්. සසේචන ක්‍රියාවක් නිසා කර්ම රැස්වෙනවා. චේතනාව මුල් වෙලා කර්මය සිදුවෙනවා. කයින්, වචනයෙන්, සිතින් මේ පින් පව් දෙකම සිදුවෙන්න පුළුවන්. හොඳ නරක වශයෙන් දොරටු තුනයි. ඒ නිසා ඔබට විටෙක සිතයි මම මේ පාප ක්‍රියාව කරන්නේ මෙසේ සතුන් මරන්නේ රැකියාව නිසා නේ කියා. නමුත් ලැබෙන ප්‍රතිවිපාක බාර ගන්න ඔබ හැර වෙන කිසිම කෙනෙක් නැත.
පේ‍්‍රතයන් වර්ග හතරයි. 1). නිතරම ශරීරය පිච්චෙන මහ ගින්නකින් ඇවිලෙන කොටස පළමු කොටසයි ඔවුන්ගේ කර්මය අවසන් වනතුරු ඒ ගින්න නිවෙන්නේ නැහැ. 2) කොටස කිසිම දිනක කුසගින්නට හෝ පිපාසයට වතුර හෝ කෑම ලැබෙන්නේ නැහැ. ආහාර ඇසට පේන්න තිබෙනවා. නමුත් කටට දාගන්න බැහැ. ඇසට පෙනෙන්න වතුර ලස්සනට තිබෙනවා. නමුත් බොන්න යනවිට වතුර නැහැ. 3). මොවුන් අනුන් දෙන පිනකින් සුවපත් වන කොටසක්. 4) පස්ගොඩවල්, අපිරිසුදු තැන්වල අසුචි වලවල්වල අරක් ගන්න කොටස හතර වැනියයි.
එනිසා ධර්මය ලෙස අධර්මය අල්ලාගෙන සිටින අයට මඟ කියා දීම සද්පුරුෂ කටයුත්තක්. සද්පුරුෂයා කියන්නේ හොඳ දෙයට යොමු කරන අය, නොදන්නා දහම් කරුණු පැහැදිලි කරල ජීවිතය අභිවෘද්ධිය කරා මෙලොව පරලොව ජය ගන්න මඟ කියන උදව් කරන අය. එහෙම අය බොහෝ අඩුයි.
මේ ලෝකයේ තිබෙන සඳුන් බොහෝම සීතලයි. සිසිලස ගෙන දෙනවා. ඔය සඳුන් වලට වඩා සීතල බොහෝම සිසිලසක් සඳ කිරණ විසින් ගෙනත් දෙනවා. මේ සඳ කිරණටත් වඩා, සඳුන් සිසිලසටත් වඩා සීතලයි සද්පුරුෂයාගේ සිසිල් බව. සද්පුරුෂයාගේ ඇසුර සඳ කිරණටත් වඩා, සඳුන් සිසිලසටත් වඩා ජීවිතය සිසිල් කරන්නට මාර්ගය හෙළිපෙහෙළි කරන කාරණයක් බව කියවෙනවා. ඒ නිසා ඔබ හිතන්න මේ ජීවිතය බොහෝම දුක්ඛ සහගතයි. අසීසක සූත්‍රයේදී අසීසක පේ‍්‍රතයා හිසක් නැති ඇස්, කන්, කට නාසය පපුවේ පිහිටා තිබෙන අහසේ පා වෙන, ගිජුලිහිනියන්ගෙන්, උකුස්සන්ගෙන් විඩාවට පත්වෙන යටිගිරියෙන් කෑ ගසන ඒ අරුම පුදුම සත්ත්වයා ගැන සිතන්න. මෙවැනි තත්ත්වයට අපේ ජීවිතත් වැටෙන්න පුළුවන්.
මේ සාංසාරික ලෝකයේ ගමන් කරද්දී අප අස්ථිරත්වයට පත්වෙනවා. මහා බලයක්, මහා ධනයක් සමඟ ජීවත් වෙද්දී තමන් දිනුවා කියා සිතන ධර්මයට පිටුපාන අය සිටිනවා. ධනය පස්සේ ගමන් කරනවා මිස ධර්මයට කිසිදු ඉඩක් නොදෙන අය සිටිනවා. කිසිම කෙනෙකුට කිසිම දෙයක් දෙන්නේ නැහැ. නමුත් ඒ අය දත යුතුයි මොනවා තිබුණත් මේ අපේ ජීවිතය, ගෙවල් දොරවල්, යාන වාහන සියල්ලම නැසෙන සුළුයි. අනිත්‍යයි. ටික ටික දිරනවා. ස්ථිරසාර නැහැ.
එනිසා මේ ලෝකයේ අප විඳින දුකක්. ඒ දුක දැන ගත්විට සුවපත් මාවත වන ධර්ම මාර්ගයේ ගමන් කරන්න අපේ සිත යොමු වෙනවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සියල්ල සිදුවන්නේ කර්මය අනුවද?

ශාස්ත්‍රපති - රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි

කර්මය නම් යමක් කිරීමයි. කළ දෙයින් ලැබෙන ඵලය කර්ම විපාකය යි. ලෝකයා කර්මය වශයෙන් සලකන ගොවිකම, වෙළෙඳාම, වෙදකම ආදිය මෙහි කර්ම වශයෙන් නො සැළකේ. බුදුදහම කර්මය යනුවෙන් දක්වන්නේ සත්ත්වයා විසින් රැස් කරනු ලබන පින් හෝ පවය. හොඳ හෝ නරක සිතින් කරනු ලබන ක්‍රියාකාරකම් ය. ඒවාට මුල් වන්නේ චේතනාවන් ය. හැඟීමක් සිතිවිල්ලක් නැතිව කරන හෝ කෙරෙන ක්‍රියාවන්ගේ විපාකයක් නැත. ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මූල තුන මුල් වී සිතින්,කයින් හෝ වචනයෙන් සිදුකරනු ලබන හොඳ හෝ නරක ක්‍රියාකාරකම් කර්ම වශයෙන් දැක්වේ. ඒ අනුව කර්මයක් සැකැසීමේදී ලෝභ, ද්වේශ, මෝහය යන සිතිවිලි තුන ප්‍රධාන වන බවත් ඒ චේතනාව ම කර්ම වශයෙන් ද දක්වා ඇත.

පුද්ගලයෙක් නොමැති නම් කර්ම විපාක විඳින්නේ කවරෙක්ද?

පුද්ගලයෙක් නැතිනම් කර්ම විපාක විඳින්නේ කවරෙක්දැයි සාමාන්‍ය කෙනෙකුට ප්‍රශ්නයක් ඇතිවිය හැකිය. පුද්ගලවාදයක් නැති තැන කර්මවාදයක් ද නැත. පරමාර්ථ වශයෙන් ගන්නා ධාතු ආයතන, ස්කන්ධ පව් කරනවා, පින් කරනවා යැයි පැවසීමෙන් තේරුමක් නැත. පුද්ගලවාදයෙන් තොරව කර්ම විපාක පිළිබඳව කරුණු පැහැදිලි කිරීම පහසු නැත. ඒනිසා කර්මවාදය තේරුම් ගැනීමේ දී සම්මුතියේ පිහිටා පුද්ගලයෙකු සිටිනවාය යන හැඟීම් පදනම් කරගෙන කටයුතු කළ යුතුය. බුදුරජාණන් වහන්සේගේ විවිධ දේශනාවලදී පුද්ගලයෙකු පින් පව් කරන බව හැඟෙන ප්‍රකාශ තිබෙන බව දක්නට ඇත.

පුඤ්ඤං චේ පුරිසෝ කයිරා - කයිරාථෙතං පුනප්පුනං 
තම්හි ඡන්දං කයිරාථ - සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ

අයෙක් යම් පිනක් කරන්නේ නම් ඔහු විසින් ඒ පින නැවත නැවත කළ යුතුය. එසේ කිරීමට අවකාශ නැතිනම් අවම වශයෙන් ඒ කෙරෙහි වන ඇල්ම හෝ තබාගත යුතුය. එයට හේතුව පින් රැස් කිරීම සැපයට හේතුව වන නිසාවෙනි.
මේ ආදී විවිධ ප්‍රකාශයන් තුළින් බුදුරජාණන් වහන්සේ තරම් විපාක විග්‍රහ කර ඇත්තේ සම්මුතියෙහි පිහිටා පුද්ගලයෙකු සිටිනවාය යන හැඟීමෙන් බව අපට වටහා ගත හැකිය. සත්ත්වයා කර්මය ස්වකීය කොට ඇත්තේය. කර්මය දායාද කොට ඇත්තේය යන ප්‍රකාශ තුළ ද ඒ අදහස විද්‍යාමාන වේ.

සියල්ල සිදුවන්නේ පෙර කළ කර්මය අනුවද?

සබ්බං පුබ්බේකතහේතුවාදය හෙවත් සියල්ල පෙර කරන ලද කර්මවලට අනුව සිදුවෙනවාය යන අදහස බුදුදහම පිළි නොගනී. සෙම්ප්‍රතිශ්‍යාව, උණක් වැළඳුණත් එය ද පුර්ව කර්මයක විපාකයක් ලෙස සිතන සියල්ල කර්මයටම භාර කරන අයද සිටිති. කෙනෙක් මනුෂ්‍ය ලෝකයෙහි උපදින්නේ පෙර කරන ලද කර්මයක්, විපාකයක් නිසා බව සත්‍යයකි. එහෙත් ඒ තැනැත්තා ඉපදී ජීවත්වීමට නම් සිව්පසය සම්පාදනය කරගත යුතුය. මේ ලොව උපදින කිසිවෙකුට ආහාරපානාදිය නැතිව අතීත කර්මයෙන් ම ජීවිත් විය නොහැකිය. ආහාර පානාදිය සොයා ගැනීමේදී තමන්ගේ වෙහෙසීම, කැපවීම බෙහෙවින් අවශ්‍ය වේ. තමන්ගේ පැවැත්මට අවශ්‍ය සියල්ල අතීත කර්ම විපාක ලෙසින් ලැබෙනතුරු බලා සිටින්නෝ කුසීතයෝ ය. තම ශරීරයට ලෙඩක් රෝගයක් වැළඳුන විටත් එයද කර්මයට භාර කරන අය සිටිති. ගිරිමානන්ද සූත්‍රයට අනුව ලෙඩරෝග විවිධ හේතුන් නිසා වැළැඳේ. පිත්තසමුට්ඨානා ආබාධා, සෙම්හ සමුට්ඨානා ආබාධා, වාත සමුඨානා ආබාධා, උතුපරිණාමජා ආබාධා ආදී වශයෙන් දක්වා ඇත්තේ එයයි. එහි කම්මවිපාකජා ආබාධා යනුවෙන් ද ලෙඩ වර්ගයක් දක්වා ඇත්තේ කලින් සඳහන් කළ කිසිඳු රෝගයකට හසු නොවන රෝග දක්වනු පිණිසයි. එසේ ම බුදුදහම නියාම ධර්ම පහක් දක්වා ඇත. බීජ නියාම, උතු නියාම, චිත්ත නියාම, කම්ම නියාම, ධම්ම නියාම වශයෙන් දක්වා ඇත්තේ එයයි. ඒවායි එහි ද කර්මය එකක් පමණි. සියල්ල නොවේ. නමුත් මෙහි දී අප අවබෝධ කරගත යුත්තක් වන්නේ මේ නියාම ධර්මයන්ගෙන් කර්ම නියාමය අන් නියාම ධර්ම හමුවේ ප්‍රබලව නැඟෙන අවස්ථාව ඇති බවයි.

කර්මය විපාක දෙන හැටි

කර්මයක් කළ විගසම එය විපාක ලැබෙන්නේ නැත. එය පැසී මෝරා විපාකදීමට කාලයක් ගත වේ. කළා වූ පාප කර්මය ගව දෙනගේ තනය ඇල්ලූ විගස කිරි නික්මෙන්නාක් මෙන් එකණෙහි විපාක නොදේ. එම කර්මය ඔහු දවමින් අලුවලින් වැසුණු ගිනි අඟුරක් සේ ඔහු පසුපස්සේ ගමන් කෙරේ. කුඹුරක් වපුරන ලද මිනිසාට එහි අස්වැන්න ක්ෂණිකව ලබාගත නොහැකිය. ඒ සඳහා මාස ගණන් ගත වෙයි. එලෙසින් ම සෑම කර්මයක ම විපාක එසැණෙකින් නොලැබේ. එහෙත් ඇතැම් කර්ම විපාක කළ විගසින් ලැබී ඇති බවද අප අමතක කළ යුතු නොවේ. විංචාමානවිකාව පොළොව පළාගෙන ගියේද එවන් කර්ම විපාකයක් ලෙසින් බව වටහා ගත යුතුය. බොහෝ දෙනා හොඳ කර්මයක් කළ සැනෙකින් එහි විපාක එකෙණෙහි ම බලාපොරොත්තු වෙති. නරක කර්මයක් කළ විට විපාක නො පතති. නොසිතූ වෙලාවක නරක කර්මයක් විපාක දුන් විට තමන් කළ හොඳ කර්ම මතක් කොට අප කොපමණ හොඳ කලත් වැඩක් නැත. අපටමයි කරදර වන්නේ ආදී වශයෙන් සිතා දුකට පත්වන්නේ මේ කර්ම විපාකයෙහි වැටහීමක් නැති නිසාය.
කර්මය පින් සහ පව් වශයෙන් කොටස් දෙකකි. කාය කර්ම, වාග් කර්ම සහ මනෝ කර්ම වශයෙන් කොටස් තුනකි. නැවත කයින් කරන හොඳ කර්ම, වචනයෙන් කරන හොඳ කර්ම, සිතින් කරන හොඳ කර්ම වශයෙන් ද, කයින් කරන නරක කර්ම, වචනයෙන් කරන නරක කර්ම, සිතින් කරන නරක කර්ම වශයෙන් සය ආකාරයකට ද බෙදේ.

දශවිධ අකුසල කර්ම

කයින්, වචනයෙන් සහ සිතින් සිදුකරන නරක කර්ම හෙවත් පව් දශවිධ අකුසල කර්ම වශයෙන් ධර්මයෙහි දක්වා ඇත. එනම් ප්‍රාණඝාතය, හොරකම, කාමමිථ්‍යාචාරය, බොරුකීම, කේලාම්කීම, ඵරුෂවචන කීම, හිස් වචනකීම, විෂම ලෝභය, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ඨිය යි. මෙහිදී ප්‍රාණඝාතය පිළිබඳව මෙසේ ඔබ දැනුවත් කරමු.

ප්‍රාණඝාතය

සත්ත්වයෙකුගේ දිවි තොර කිරීම ප්‍රාණඝාතය නම් වේ. උපන් ලෝකයේ හැටියට සත්ත්වයෙකුට තම ජීවිතින්ද්‍රිය පවත්වන්නට නියමිත කාලය තිබියදී ජීවිතින්ද්‍රිය හෙවත් ජීවිතය පවත්වන්නට ඉඩ නොදී කිසියම් උපක්‍රමයකින් අතරතුර දී ජීවිතින්ද්‍රිය වනසා දැමීම ප්‍රාණඝාතය යි. ප්‍රාණඝාතයක් වීමට කරුණු පහක් සම්පූර්ණ විය යුතුය.
1). පණ ඇති සතෙකු වීම,
2). සතාට පණ ඇති බව මරණ කෙනා දැන සිටීම,
3). මරණ චේතනාව,
4). මරනු පිණිස උපක්‍රම භාවිතා කිරීම,
5). එම උපක්‍රමය කරණ කොට ගෙන සතා මරණයට
පත්වීම.
කිසියම් පාප කර්මයක් සිදුවීමේ දී ඒ ක්‍රියාව හා යෙදෙන චේතනාවේ ප්‍රබලභාවය අනුව සැකැසෙන කර්ම විපාකය ද ප්‍රබලත්වයට පැමිණේ. උදාහරණයක් ලෙසින් මරණ චේතනාව ප්‍රබල වෙන තරමට එයින් ලැබෙන කර්ම විපාකය ද දරුණු විපාක සහිත එකක් වන්නේය. මරණ චේතනාව දුර්වල වෙත තරමට එයින් ලැබෙන කර්ම විපාකය ද දුර්වල විපාකය ද දුර්වල විපාක සහිත වූ එකක වන්නේ ය. මෙම චේතනාව ම අභිප්‍රාය වශයෙන් දැක්විය හැකිය.
ඇතැම් කෙනෙක් නිවැරැදි මඟට ගැනීමේ අදහසින් යම් පුද්ගලයෙක් වරදක් කරන විට තදින් දොස් කිව හැකිය. එසේ දොස් කියන විට ඒ තැනැත්තාගේ සිත තුළ ද්වේශය නම් වූ අකුසල මූලය ඇති වේ. ඒ ද්වේශය මුල් කර ගෙන කරනු ලබන වචීකර්ම නිසා ඵරුෂ වචන නම් වූ පාපකර්මය සිදු වූවත් එය ප්‍රබල පවක් නොවන්නේ ඒ බැණීම සිදුකරන තැනැත්තාගේ අභිප්‍රාය වූයේ සැබැවින් ම වරද කළ තැනැත්තාට බැණ ඔහු අපහසුතාවට පත්කිරීම නොව ඔහු වරදින් මුදවා ගැනීමයි. එහිදී ඒ තැනැත්තාට පවක් සිදු වුවත් එය ප්‍රබල පවක් නොවන්නේ දොස් කීමේ චේතනාව අභිප්‍රාය හොඳ වූ බැවිනි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සිදුකළොත් ආනන්තරිය පාපය ගෙන දේ කල්පයක් විපාකය

ශාස්ත්‍රපති
රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි

මේ ජීවිතය මියගිය පසු ඒකාන්තයෙන් ම විපාක දෙන අකුසල කර්ම ආනන්තරීය කර්ම වශයෙන් හැඳින්වේ. ආනන්තරීය යන නම මෙහිදී යොදා ඇත්තේ කර්මයේ ස්වභාවය සලකාගෙන නොව කර්ම විපාකයේ ස්වභාවය සලකා ගෙනය. ආනන්තරීය කර්මයේ විශේෂය වන්නේ එයට ම ආවේණික වූ කර්ම විපාකයක් ඒකාන්ත වශයෙන් ම ලැබීමයි. එය ධර්ම නියාමතාවයකි.
ඒ අනුව යමෙක් මේ භවයෙහි දී ආනන්තරීය කර්මයක් සිදුකළේ නම් ඒ තැනැත්තාගේ ඊළඟ භවය ඒකාන්තයෙන් ම දුගතියකි. එම කර්ම විපාකය ඒකාන්තයෙන් ම ඊළඟ භවයේ දී විපාක දේ. කර්මය සිදුකළ භවයේදී මාර්ග ඵලාවබෝධයට පත්විය නොහැකිය. එසේ ම මාර්ග අවබෝධයට පත් කිසිවෙකුත් කිසිදා ආනන්තරීය පාපකර්ම සිදු කරන්නේ ද නැත. ආනන්තරීය පාප කර්ම පහකි. 1). තම මව මැරිම, 2). තම පියා මැරීම, 3). රහත් උතුමෙකු මැරීම, 4). බුදුරජුන්ගේ ශරීරයේ ලේ වෛරී සිතින් සෙළවීම, 5) . සංඝ භේදය සිදුකිරීම

කර්ම විපාක වශයෙන් බලන කල ආනන්තරීය පාප කර්ම නියත මිථ්‍යාදෘෂ්ටික වූවෙක් තම මරණයට පෙර ඒ දෘෂ්ඨිය අත හැරියේ නම්, ඔහුට මාර්ගඵලාවබෝධයට එම අතීත මිථ්‍යාදෘෂ්ටික භාවය බාධාවක් වන්නේ නැත. එහෙත් ආනන්තරීය පාප කර්මය කළවුන් හට කවර ක්‍රමයකින්වත් එම කර්මය සිදු කළ ආත්ම භවයෙහිදී මාර්ගඵලාවබෝධය සිදු කිරීමට හැකියාව ලැබෙන්නේ නැත. එසේ ම මරණින් මතු අපායගාමි වීමෙන් වැළැකිය හැක්කේ ද නැත. නියත මිථ්‍යාදෘෂ්ටිකයා මරණයට පළමු සිය මිථ්‍යාදෘෂ්ටිය අත්හළහොත්, ඉන්පසු කුසලයෙහි යෙදුණොත් මඟඵල අවබෝධ කර ගත හැකි සේම මරණින් පසු සුගතියෙහි ද ඉපදීමට අවස්ථාව ඇත. නමුත් ආනන්තරීය පාප කර්ම සිදුකළ තැනැත්තා මියගිය මොහොතේම ඒකාන්තයෙන් ම එම කර්ම විපාකවලට මුහුණ දිය යුතු වේ. එයට අදාළ කර්ම විපාකය නම් මරණින් මතු අවිචී මහා නරකයෙහි ඉපිද දුක් විඳීන්නට සිදුවීමයි. ආනන්තරීය පාප කර්මයේ විපාක අතිශයින්ම ප්‍රබලය.
යමෙක් ආනන්තරීය පාප කර්මවල විපාක වළකන අදහසින් මේ විශ්වයේ පවතින සෑම සක්වලක ම මහා සෑයවන් ස්වර්ණ ස්තූප කරවූවත්, සක්වල පුරා වැඩ සිටින මහා සංඝරත්නය එක්තැන් කොට මහා දානයක් පිදුවත්, එසේ ම බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොනක් අල්වාගෙන මැරෙන තුරාවට මෙය නම් අත් නො හරිමියි කියා බුදුරජාණන් වහන්සේ පිටුපසින් ගමන් කළත්, මරණින් මතු නිරයේ ඉපදීම ඒකාන්ත බව අටුවාවෙහි සඳහන්.

ආනන්තරිය පාප කර්මය සිදුවන - සිදු නොවන ආකාරය

ආනන්තරීය පාප කර්ම සිදුකළ හැක්කේ මනුෂ්‍ය ලෝකයෙහි සිටිනා මිනිසුන්ට ය. අයෙක් තම මිනිස් මව, පියා හෝ රහතන් වහන්සේ නමක් ඝාතනය කළේ ද, ඒ තැනැත්තාට ආනන්තරීය පාප කර්මය සිදු වේ. මෙහිදී අපගේ අවධානයට ගතයුතු දෙයක් ඇත. මාතෘ ඝාතක, පිතෘ ඝාතක, හෝ අරහන්ත ඝාතකයි. ආනන්තරීය පාප කර්මයේදී මරණයට පත්වෙන තැනැත්තා ගැන දැනුවත්වීමක් අවශ්‍ය වන්නේ නැත. මරණ චේතනාව තිබේනම්, මරන්නේ කිසියම් හෝ ප්‍රාණියෙකු බව දනීනම්, ඒ දැනුවත්කමින් යුතුව ඝාතනය සිදුකරයි නම්, එහිදී ආනන්තරීය පාප කර්මය සිදුවේ. ඇතැම් කර්ම විපාක සත්ත්වයාගේ ගුණ මහාත්වය අනුවත්, ඇතැම් කර්ම විපාක චේතනා මහාත්වය අනුවත් තීරණය වේ. මෙහිදී මරණ චේතනාව සුළු වශයෙන් හෝ තිබිය යුතු අතර, මවට, පියාට මහරහතන් වහන්සේට ආවේණික වු ගුණ තිබෙන නිසා ඒ ගුණය අනුව කර්ම විපාකය තිරණය වේ. කර්මයකින් විපාක සැකැසෙන්නට කර්මයට ගොදුරු වන තැනැත්තාගේ ස්වභාවය අත්‍යාවශ්‍ය නොවේ. උදාහරණයක් ලෙස නිරෝධ සමාපත්තියෙන් නැඟිසිටි මහරහතන් වහන්සේම පූජා කරන දානය දිට්ඨධම්මවේදනීය කර්මයක් ලෙසින් ඒ භවයේදීම සුව විපාක උදාරක දෙයි. එය ආවේණික විපාකයකි. ධර්මතාවයකි. දානය පිරිනමන පුද්ගලයා තමන් දානය පුදන්නේ රහතන් වහන්සේ නමකට ය යන දැනුවත්කම ඇතත්, නැතත් ඒ දානයට අනුරූපී කර්ම විපාකය සැකැසේ. එලෙසින් තමන් වෙතින් මිය යන්නේ තම මවද, පියාද, මහරහතන් වහන්සේ නමක්ද යන්න දැන සිටියත්, නොසිටියත්, ඒ පණ ඇති සත්ත්වයෙක් බව දන්නේ නම්, සත්ත්ව ඝාතන චේතනාව පවතින්නේ නම්, එහිදී ආනන්තරීය පාප කර්මය සිදුවේ. ධර්මතාව එයයි. තවද තිරිසන් ලෝකය, පේ‍්‍රත ලෝකය හා අනෙක් සුගතීන්හි ඉපිද සිටින සත්ත්වයන්ට ආනන්තරීය පාප කර්ම සිදුකළ නොහැකියි. තිරිසන් සතෙක් තම මව හෝ පියා මරණයට පත් කළාට ආනන්තරීය පාප කර්මයක් සිදු නොවේ. මහාසාවද්‍ය පාප කර්මයක් පමණක් සිදුවේ. තමන්ගේ මව හෝ පියා බව නොදැන සිදුකරනු ලබන මනුෂ්‍ය ඝාතනයෙන් ද ආනන්තරීය පාප කර්මය සිදුනොවේ.

කරුණාව වේශයෙන් - ඝාතන චේතනාව

ඇතැම් අය අනුන් කෙරෙහි කරුණා සිත් උපදවා ගෙන ඔවුන් දුකින් මුදවාලීමේ අදහසින් පරපණ නසන්නට පෙළඹෙති. විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වී වසර ගණනාවක් ඇඳ මත හොවිමින් සිටින අය දෙස බලා “අනේ මේ තැනැත්තා මේ දුකින් මිදෙනවානම් හොඳය” යැයි සිතා එම තැනැත්තාගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ජීවිතය තොර කිරීමට පෙළඹෙති. එයද ප්‍රාණ ඝාතයකි. එසේ ජීවිතය අහිමි වන්නේ කිසියම් මවකට නම් පියෙකුට නම්, ඔවුන්ගේ ජීවිතය අහිමි කිරීමට මුල් වූ දරුවන්ට එහිදී ආනන්තරීය පාප කර්මය සිදුවේ. කෙතරම් දුක් වින්ඳත් මේ ලොව සිටින සියලු සත්ත්වයෝ ජීවත්වීමට කැමැතිය. මරණයට අකැමැති ය. කරුණාවේ වේශයෙන් ක්‍රියාත්මක වෙන ද්වේශය නිසාද මරණය නම් අකුසලය සිදුකළ හැකිය. දුක් විඳින සත්ත්වයන් දුකින් මුදවාලීම කරුණාව වුවත්, ඒ සඳහා ගනු ලබන ක්‍රියා මාර්ගයෙන් කෙනෙකුගේ ජීවිතය විනාශ වේ නම්, එය පාප කර්මයකි. මෙවන් අවස්ථාවලදී බොහෝ විට සිදුවන්නේ ලෙඩ දුක්වලට ගොදුරු වී සිටින පුද්ගලයා දෙස බලා සිටීමට ඇති අකැමැත්ත, අපහසුව නිසා ඔහු හෝ ඇය මරණයට පත්කිරීමයි.
විවිධ රෝගාබාධවලට ගොදුරු වී මාස ගණන් රෝහල් ගත ව සිහි විසඥව සිටින, යන්ත්‍රෝපකරණ ආධාරයෙන් පණ නළ රැඳී තිබෙන, මැරුණා යැයි සහතික නොකළ, ඇතැම් මාපියන් එම යන්ත්‍රයෙන් ඉවත් කිරීමෙන් මරණයට පත්වේ. තදබල ද්වේශ චේතනාවක් නැතිවුවද, ඒ ක්‍රියාව නිසා තම මව හෝ පියා මරණයට පත්වෙන බව දැනීමක් එම දරුවන්ට ඇත. එය දැනුවත් ම එම ක්‍රියාව සිදු කිරීමන් එම දරුවන් ආනන්තරීය පාප කර්මයට හසුවේ. තම දරුවන් එම කර්මයෙන් මුදවාලීමට නම්, දෙමාපියන් කල් ඇතිව ම තමන් එවන් තදබල රෝගී අවස්ථාවකට පත්වුවහොත් එවන් යන්ත්‍රවලට නොදමන ලෙස දන්වා තැබිය යුතුය. එසේ නොමැති මාපියන්ගේ ජීවිත ගැන වෛද්‍යවරුන්ට තීරණය කරන්නට ඉඩ දී සිටීමෙන් දරුවන්ට එම කර්මයෙන් වැළැකිය හැකිය.

ලෝහිතුප්පාදක පාප කර්මය

බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ සෙළවීම “ලෝහිතූප්පාදක” නම් ආනන්තරීය පාප කර්මය ලෙස දක්වා ඇත. බුදුරජාණන් වහන්සේගේ ශරීරය කිසිවෙකුට හෝ කැඩිය, බිඳිය නොහැකිය. අභේද්‍ය එකකි. තද පහරක් ගැසුවද බුදු සිරුර තුවාල නොවේ. ලේ කැටි ගැසීමක් පමණක් සිදුවේ. දේවදත්ත හිමියන් උන්වහන්සේට ගිජ්ඣකූට පර්වතයේදී පෙරළෙන ලෙස ගලින් ගැලවී ගිය ගල් පතුර වැදීමෙන් ද සිදුවූයේ බුදු සිරි පා තුළ ලේ කැටි ගැසීමක් පමණි. ඒ බුද්ධානුභාවය යි. අටුවා ඉගැන්වීමට අනුව යමෙක් චෛත්‍ය බිඳී නම්, බෝධින් වහන්සේ කපා දමයි නම්, බුද්ධ මන්දිර ධාතු මන්දිර, බුදුපිළිම විනාශ කරයි නම්, ඔහුද ආනන්තරීය පාප කර්මයකට හා සමාන මහාසාවද්‍ය පාප කර්මයක් සිදු කර ගන්නෙක් වෙයි.

සංඝභේද පාප කර්මය

සංඝ භේද කර්මය ආනන්තරීය පාප කර්මවලින් වඩාත් බලවත් කර්මයක් ලෙසින් දක්වා ඇත. එය කල්පස්ථායී අකුසල කර්මයක් ලෙස දක්වා තිබේ. සංඝ භේද පාප කර්මය ගිහියන්ට අදාළ නොවේ. උපසම්පදා භික්ෂුූන්ට පමණි. එය සාමාන්‍ය භික්ෂූන් වහන්සේ දෙනමක් අතර ඇති වන අමනාපයක් නොව වෙන් ව විනය කර්ම සිදු කරන්නට යාම තරම් ප්‍රබල භේදක් විය යුතුය. උපසම්පදා ස්වාමින් වහන්සේ අවම වශයෙන් නව දෙනෙක් සිටින තැනක ඇති කරනු ලබන භේදය මෙහිදී සංඝ භේදයක් ලෙස දක්වා ඇත.
ආනන්තරීය පාප කර්ම පහෙන් සංඝ භේදය වාග් කර්මයකි. අනෙක් කර්ම හතරම කාය කර්මයෝ ය. නමුත් වාග් කර්මය අණකිරීම් හා ප්‍රයෝග යෙදීම වශයෙන් භාවිත වේ. ආනන්තරීය පාප කර්මයක් බවට පත් වන්නේ කාය කර්මය සිදු වූ පසුවයි. කයින් සිදු කරනු ලබන ආනන්තරීය පාප කර්ම කල්පස්ථායී කර්මයෝ නොවෙති.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සිත විසිතුරුය විසකුරුය

මාලබේ අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති 
කථිකාචාර්ය, 
දර්ශනපති 
රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි

මේ ප්‍රභාශ්වර සිත උඩ සිටින දෙවියකු නොවේ අපිරිසුදු කරන්නේ. පරිසරයේ තිබෙන ගහකොළ, ඇළදොළ ගංගා නොවෙයි අපිරිසුදු කරන්නේ. එය තම තමන් විසින්ම කර ගන්නා දෙයක්. අපේ සිත තුළ තිබෙන ගිජුකම මත සිතට එල්ල වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස නිසා සිත අපිරිසුදු වෙනවා. ඒවාට යට නොවී මේ සිත ආරක්ෂා කර ගත්විට සිතේ දියුණුවක් ඇතිවෙනවා.
ස්වාමින් වහන්ස, අප කරන,කියන, සිතන සියලුම දේටම බලපාන්නේ අපේ සිතයි. සිත හදාගන්න පුළුවන්නම් අප කරන කියන දේත් යහපත් වෙනවා. ඉක්මණින් කිලුටුවන, දූෂිතවන මේ සිත ආරක්ෂාකරගත යුත්තේ කෙසේද?
බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තමන්ට පුළුවන් නම් තමන්ටම පහනක්, ආලෝකයක් වෙන්න එය ඉතා වැදගත් බව. මේ සිත ප්‍රභාශ්වර සිතක් ලෙස ආලෝකයක් සොයායන ගමනකට එකතුකර ගන්න හැකියාව ඇත්නම්, එතැනමයි ශාන්තිය තිබෙන්නේ. අපේ ජීවිතය, අපේ සිත නිවැරැදි මාර්ගයට ගැනීමට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉතාමත් වැදගත් වෙනවා. නිවැරැදි මාර්ගයට ගත් සිත අපටම පිළිසරණ වෙනවා. වෙනත් බාහිර පිළිසරණක් ඇත්තේම නැහැ. මේ සිත හදාගන්න අප අපටම දූපතක්ම වෙන්න, අප අපටම පහනක් වෙන්න, අපට අවශ්‍ය කරන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ධර්ම මාර්ගයේ ගමන් කිරීම යි.

ධර්මයේ සඳහන් වෙනවා චිත්ත කියා වචනයක්. චිත්ත කියන්නේ සිත විසිතුරු නිසයි. අපේ සිත ප්‍රභාශ්වරයි. විසිතුරුයි. විසිතුරු සිත විසකූරු සිතක් ලෙස පත්වන්නට වැඩි වෙලාවක් යන්නේ නැහැ. විසිතුරු සිත විසකූරු සිතක් ලෙසට පත්වුණොත් එතැන ජීවිත ගිනි ගන්නා ස්වභාවයට පත්වෙනවා. මේ විසිතුරු සිත විසකූරු බවට පත්වන්න ප්‍රධාන කාරණා තුනක් බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ
1). අවිද්‍යාව,
2). ව්‍යාපාදය
3). මිත්‍යාදෘෂ්ඨිය.
අවිද්‍යාව කියන්නේ දැඩි ආශාවයි. මේ සිතෙහි නො සන්සිඳුනු ආශාවක් තිබෙනවා නම් සිත කිළුටු වෙනවා. අස්ථිර ලෝකයේ බොහෝ පැතුමන් වලින් සිත පුරවාගෙන ඉන්නවා නම්, ඔහුට සැනසීමක් නැහැ. ගැටුම්, ප්‍රශ්න, කරදරමයි ඇතිවෙන්නේ. ව්‍යාපාදය නම් – අනුන් වැනසීමට, නැසීමට, පෙළන්නටමයි, සිත දුවන්නේ. එවැනි සිතක් තිබෙන පුද්ගලයාට සැනසීමක් නැහැ. ජීවිතයේ සතුටක් නැහැ. විඳවීම පමණයි තිබෙන්නේ. ඒ නිසා ව්‍යාපාදය භයානකයි. මිත්‍යාදෘෂ්ඨිය නම්- වැරැදි දැකීම සහ වැරැදි අවබෝධය මෙයට අයත්. වැරැදි අවබෝධය නිසා ධර්මය අධර්මය කර ගන්නවා. අධර්මය ධර්මය ලෙස පටලවා ගන්නවා. සාර දේ අසාර ලෙසත්, අසාර දේ සාර ලෙසත් දකිනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා ප්‍රභාශ්වර සිත, විසිතුරු සිත, ආලෝකමත්, පින්වන්ත සිත ආරක්ෂා කර ගන්න කියා. අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යාදෘෂ්ඨිය වගේ භයානක පාපී අකුසල සිත අපේ සිතින් ටිකෙන් ටික හඳුනාගෙන මේ සිත ප්‍රභාශ්වර ලෙස තබා ගැනීමට නම්, ධර්ම මාර්ගයට සමීප විය යුතුමයි.
මේ ප්‍රභාශ්වර සිත උඩ සිටින දෙවියකු නොවේ අපිරිසුදු කරන්නේ. පරිසරයේ තිබෙන ගහකොළ, ඇළදොළ ගංගා නොවෙයි අපිරිසුදු කරන්නේ. එය තම තමන් විසින්ම කර ගන්නා දෙයක්. අපේ සිත තුළ තිබෙන ගිජුකම මත සිතට එල්ල වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස නිසා සිත අපිරිසුදු වෙනවා. ඒවාට යට නොවී මේ සිත ආරක්ෂා කර ගත්විට සිතේ දියුණුවක් ඇතිවෙනවා. නිවෙන, සැනසෙන පුද්ගලයෙකු විය හැක්කේ එවිටයි.
එදිනෙදා ජීවිතයේදී අප කවුරුත් කේනිති ගන්නවා. විටක එය යටපත් වෙනවා. යටපත් නොකර ගන්නා කේන්තිය තුළින් විශාල විනාශයක් වුවද සිදුවිය හැකියි. මේ කේන්තිය යටපත් කර ගත හැක්කේ, පාලනය කර ගත හැක්කේ කෙසේද?
බුදුරජරාණන් වහන්සේ අපට නිතර කියන්නේ සිත පාලනය කර ගන්නා ලෙසයි. සිත අවනත කර ගන්නා ලෙසයි. සිත හදා ගන්නා ලෙසයි. කෝපයට වෛරයට, පටිඝයට, දුවන සිත පාලනය කරගත යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ සඳහාමයි අප මෙසේ ධර්මය සාකච්ඡා කරන්නේ, භාවනා කරන්නේ, දන් දෙන්නේ, සිල් සමාදන් වෙන්නේ. මේ හැම දෙයක් තුළම සිත හදන වැඩපිළිවෙලකුයි තිබෙන්නේ. සිත දමනය කිරීම තුළින් පමණයි අපට සැපය උරුම කරගත හැක්කේ.

අපගේ සිතට යම් කේන්තියක් ආ විට එය යටපත් කරන එක හොඳයි. නමුත් ඊට වඩා නිවැරැදි වන්නේ ඒ කේන්තිය එතැනින් ඉවත් කර අමතක කර දැමීමයි. ඔබ දන්නවා රබර් බෝලයක් වතුර යට යම් බරක් තබා රැදෙව්වාට ඒ බර ටිකක් හෝ එහාට මෙහාට වුණොත් ඒ රබර් බෝලය නැවත උඩට එනවා. ඒ වගේ යම් කේන්තියක් සිතට ආවිට එය යට කරනවා. නමුත් ඒ කේන්තිය නැවත ඒ ක්ෂණයෙන්ම මතුවෙන්න පුළුවන්. එය භයානකයි.
අංගුත්තර නිකයේ දේශනාවක මෙසේ සඳහන් වෙනවා. තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ යම් ස්ථානයක වැඩ සිටින විට එතැනින් විසකූරු සර්පයෙක් ගමන් කළා. එදා දේශනාවට මේ සර්පයා උපමා වුණා. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, මෙතැනින් ගිය සර්පයා දුටුවාද? එහෙමයි ස්වාමිනි, මහණෙනි, ඔය විසකූරු සර්පයන් කොටස් හතරකට බෙදන්න පුළුවන්.
1) දෂ්ඨ කළ විට යම් විෂක් දැනෙනවා. ඊට පසු ඒ විෂ දැනෙන්නේම නැහැ.
2) දෂ්ඨ කළ ගමන් ඒ විෂ දැනෙන්නේ නැහැ. නමුත් ටික වෙලාවක් ගියපසු විෂ දැනෙන්න පටන් ගන්නවා.
3) දෂ්ඨ කරන විටත්, ඉන් පසුවත් එකසේම විෂයි.
4) දෂ්ඨ කළවිටත් විෂ නැහැ. පසුවත් විෂ නැහැ.
තථාගතයන් වහන්සේ වදාළා මේ මිනිසුන්ගේ සිත මේ ආකාරයට ක්‍රම හතරකට බෙදෙනවා. පළමු පුද්ගලයාගේ සිතට යම් තරහක් ආ විට ඒ තරහ සිතිවිල්ල හඳුනාගෙන එය යටපත් කරනවා. පසුව එය අමතක කර දමනවා. දෙවැන්නා යම් කරුණකට තරහ ගන්නවා. ඒත් මුහුණට කියනවා ආ, කමක් නැහැ ඒක අමතක කරන්න කියා. නමුත් සිත යට ඒ තරහ සිතිවිල්ල තබා ගෙන අවශ්‍ය අවස්ථාව ආ විට පළිගන්න පසුබට වෙන්නේ නැහැ. ඔහු භයානකයි. තුන්වැන්නා දෂ්ඨ කළවිටත්, ඉන්පසුත් ඉතා විෂයි. ඒක මේ වගේ. සමහර අය තරහ ගිය මොහොතෙත් වෛරයෙන් කටයුතු කරනවා. ඉන් පසුවත් ඒ වෛර පෝෂණය කරමින් කටයුතු කරනවා. හතර වැනි සර්පයා දෂ්ඨ කරන විට විෂ නැහැ. දෂ්ඨකළ පසුවත් විස නැහැ. ඒ වගේ අපේ සිතට ගැටීමක් ආ විට ඒ මොහොතේම කේන්ති ගන්නේ නැත්නම්, පසුවත් කේන්ති ගන්නේ නැත්නම් ඒ සිත තමයි දියුණුව කරා යන්නේ. ඔහුයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කළා වෙන්නේ.
ඒ නිසා ඔබ උත්සාහ කළ යුත්තේ දෂ්ඨ කළවිටත්, ඉන් පසුවත් විෂ ගෙන දෙන දේ නොවේ. නැත්නම් ඒ මොහොතේ විෂ නැතිව පසුවට විෂ පැතිරෙන දේත් නොවේ. ඔබ උත්සාහ කළ යුත්තේ දෂ්ඨ කළ මොහොතේත් ඉන් පසුවත් විෂ නොමැති වාගේ ඒ මොහොතේත් වෛර නොබඳින, පසුවත් වෛර නොබඳින කෙනෙකුª වන්නට උත්සාහ කිරීමයි. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ දේශනා ශ්‍රවණය කිරීම, කියවීම වගේම භාවනා තුළින් සිත යහපත් කර ගන්නට පුළුවන්නම් එය ජීවිතය යහපත් කිරීමට උපකාර වෙනවා.
ඒ නිසා මේ සිත තේරුම් ගෙන සාංසාරික ක්‍රෝධය, වෛරය, පළිගැනීම් දුරු කොට සිත රැකගත් විට සිත වර්තමානයේ ජීවත් කිරීම විශාල පහසුවක් වෙනවා. ඒ වගේම අනාගතයේදීත් දියුණුව කරා ගෙනයාමට පහසුවක් වෙනවා. ඒ සඳහා උත්සාහ කරන්න ඔබට ශක්තිය, ධෛර්ය ලැබේවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X