සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

මනසේ සහ කයේ ස්වභාවය

වල්පොල ගෝතම හිමි

ප්‍රඥාවට අප ආලෝකය කියා කියනවා. ආලෝකය කියන්නේ අඳුරක් නසන්න තිබෙන දෙයක්. අප දන්නවා යම් තැන ආලෝකයක් දැල්ලුවොත් පමණයි අඳුර දුරු වෙන්නේ. එසේ නැතුව අපට කවදාවත් අඳුර උස්සලා තියන්න බැහැ. අඳුර අයින් කරන්නට නම් ආලෝකයක් තිබෙන්න ඕන.ප්‍රඥාව ආලෝකයක් කිවුවේ ප්‍රඥාව අලෝකයක් ලෙස යම්කිසි අඳුරක් නසනවා. නසන්නේ අවිද්‍යා අඳුරයි.
අවිද්‍යාව කියන්නේ අනවබෝධය යි. මේ ලෝකය ගැන අපට යම් අනවබෝධයක් තිබෙනවානම් ඒ අනවබෝධය නසන්න තමා මේ ප්‍රඥා ලෝකය උපකාරි වෙන්නේ. අවිද්‍යාව නසන්නයි තණ්හාව ඇතිවෙන්නේ. ඔබ දන්නවා පටිච්චසමුප්පාදය මුලින් තිබෙන්නේ අවිද්‍යාව. තණ්හාව තිබෙන්නේ මැද. එසේනම් මුල තිබෙන අවිද්‍යාව නැසුවොත් තමා ඒ අවිද්‍යාව නිසා හට ගන්නා තණ්හාව නැතිවෙන්නේ. එසේනම් තණ්හාව නසන්න අපට කෘතිම ආකාරයට එක එක දේ කරමින් මට එපා කියා ඈත් කළාට ඒක කරන්න බැහැ. තණ්හාව නසන්නනම් අප කළයුත්තේ අවිද්‍යාව නැසීමයි. අවිද්‍යාව නසන්නනම් ප්‍රඥාවම දියුණු කළ යුතුයි. ඒ ප්‍රඥාව දියුණු කරන්න කෙනෙක් උත්සහා කරනවානම් ඔහු මේ ධර්මයට අනුව නුවණින් විමසීමම යි කළ යුත්තේ. ඒ අනුව සිහිය පැවැත්වීමයි කරන්න ඕන.අද අප සාකච්ඡා කරනවා මනස තුළ ඇතිවෙන සිතුවිලිවලට, මනෝභාවයට අනුව යම් කෙනෙකු කොහොමද කය තුළ සකස් වෙලා තිබෙන සතරමහ ධාතු තමන් සිතන ආකාරයත් සමඟ වෙනස් වෙන්නේ කියා. ඒ ස්වභාවය නිසා පුද්ගල සංඥාවක් ඇතිවෙලා තිබෙන්නේ. අප විමසමු මේ ධාතුන්ට ඒ ධාතු කොතරම් එකතු ද කියා.බුදුරජාණන් වහන්සේ වදාළා ධාතුවල පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු මහා ධාතුයි. මේ මහ ධාතු ඉඩ අරගෙන තිබෙන්නේ අවකාස ධාතුවෙන්. ඕනෑම හතරමහ ධාතුන්ගෙන් හටගත් දෙයට ඉඩක් ඕන. යම් තැනක ආකාස ධාතුව නැත්නම් එතැන පඨවි ආපෝ, තෝජෝ වායෝ ධාතුන්ගෙන් ඉඩක් ලැබෙන්නේ නැහැ. එසේනම් මේ කය මහ ධාතුන්ට අමතරව ආකාස ධාතුවකුත් තිබෙනවා. හිස් අවකාශයක් මේ කය තුළ පවත්වනවා ඒ අවකාශය ආකාස ධාතුවටමයි අයිති. කණ් සිදුරු ආමාශයේ තිබෙන ඉඩ, ගලනාල ආදි නොයෙක් තැන්වල හිස් අවකාශයක් තිබෙනවා. මේවා තමා ආකාස ධාතුව කියන්නේ. මේවා සියල්ලට කැමැතිවීමක් කරන්නේ විඤ්ඤාණ ධාතුව විසින්. විඤ්ඤාණ ධාතුවට පුළුවන් මේ ධාතුන් තමන්ට ඕන ඕන ආකාරයට හසුරුවා ගන්න.
විඤ්ඤාණය කියන්නේ යම්කිසි දෙයක් දැන ගැනීමයි. ඒ විඤ්ඤාණය බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ යමක් වෙන්කරලා දැන ගන්නවානම් ඒ වෙන්කර දැන ගැනීම තමා විඤ්ඤාණය කියන්නේ. ඔබ පුවත්පතක් බලනවිට ඒ පුවත්පතේ මුල් පිටුවේ තිබෙනවා ප්‍රවෘත්ති රාශියක්. ඒ ප්‍රවෘත්ති වලින් එක එක ප්‍රවෘත්තිය කියවනවා. ඒ ප්‍රවෘත්තිය කියවන විට ඒ අවට තිබෙන තවත් ප්‍රවෘත්ති ගොඩක් තිබුණත් අප ඒවා දැන ගන්නේ නැහැ. අනෙක් ප්‍රවෘත්ති සියල්ලෙන්ම එක ප්‍රවෘත්තියක් වෙන්කරලා තෝරාගෙන එය පමණක් දැන ගන්නවා. ඒ ආකාරයට මනැසින් අප යම් වෙන් කිරීමක් කර ඇසින් රූප බලන්නේ. මනැසින් යම් වෙන් කිරීමක් කරලයි කනින් ශබ්ද අසන්නේ. ශබ්ද ඕන තරම් ඇසෙන්න තියෙයි. නමුත් අප අසන්නේ එක ශබ්දය යි. කෙනෙක් හොඳින් ධර්ම දේශනාවකට සවන් දීගෙන ඉන්නවිට එතැන විදුලි පංකාවේ ශබ්ද ඔරලෝසු තත්පර කට්ටේ සද්ද, නොයෙක් ආකාරයේ අවට ශබ්ද තිබෙන්න පුළුවන්. නමුත් ධර්ම දේශනාවටම කන් දීගෙන ඉන්නවිට අර ඇසුන ශබ්ද කෙරෙහි අවධානයක් නැහැ. එසේ වෙන්කරලා දැන ගැනීමේ ගතියක් තිබෙනවා. ශබ්ද, ගඳ සුවඳ, රස, පහස, සිතේ අරමුණු දැන ගැනීම මේ ස්වභාවය තමා විඤ්ඤාණය කියන්නේ. මේ විඤ්ඤාණයෙන් යමක් දැන ගන්නේ කයේ ධාතු වෙනස් වීමෙන්. ඒ කයේ ධාතු වෙනස්වන අයුරු හොඳින් විමසීමෙන් සිටියොත් ඔබට තේරුම් ගන්න පුළුවන්.
යම් කෙනෙකුට තද සිතක් එනවිට ඔහුගේ සිතේ මේ බාහිරව ඇති වූ දේ පිළිබඳව අභ්‍යන්තරයේ තරහක් මතුවෙන විට කයේ තද ගතියක් ඇතිවෙනවා. හිසේ දහඩිය ගතියක් ඇතිවෙනවා. ඇඟේ පිපිරුම් දීමක් ඇතිවෙනවා. තරහක් ඇතිවන විට තද වෙනවා. ඒ තදවීම කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතුන්ගේ යම් තදවීමක් ඇතිවෙනවා. ඝනවීමක් වෙනවා. ඒ ඝනබව තරහ දුරුවූ ගමන් ටික ටික අඩුවෙනවා. ඊට පස්සේ සැහැල්ලු කයක් වෙනවා. සැහැල්ලුව මෛත්‍රී සංඥාව ආදි හොඳට පුරුදු කරලා මේ මනැස සම්ූර්ණයෙන්ම එයට යොමුකරන විට සැහැල්ලුව ඇතිවෙනවා. කෙලෙස් තරහ ආදියත් සමඟ එකට ඉන්න කොට තිබෙන්නේ තද ගතියක්. ඒකයි තරහ ආවිට අප කියන්නේ මට තදවුණා කියලා. ඒ තද ගතියට එනවිට ඔබට සමහර වෙලාවට අතමිිට මොළවා ගන්නවා. මේ හැම දෙයකින්ම කෙරෙන්නේ තදකර ගැනීමක්. මේ සතරමහ ධාතුන් හටගත් කය අභ්‍යන්තරයේ තදවීමට අමතරව බාහිර ඉරියවු වශයෙන් අප තදකර ගන්නවා. මේ සියල්ලම වෙන්නේ විඤ්ඤාණ ධාතුවේ ක්‍රියාකාරීත්වය සමඟයි. එහෙනම් තරහ ඇතිවීමත් සමඟ එන ධාතු තදවීමට අමතරව එහි වර්ණයත් වෙනස් වෙනවා අප දන්නවා සමහර කෙනෙකුට තරහ ආවාම මූණ රතුවෙනවා. කේන්තියෙන් පුපුර පුුපුර ඉන්නවා. එහෙම නැත්නම් මුදු කයේ ස්වභාවය ටිකක් තද ගතියට අඳුරු ගතියට හුරුවුණේ ඇයි? ඒ අඳුරු ගතියට එන්නේ තරහ කියන කෙලෙස් මනැසේ ඇති වෙන්නේ කයේ තිබෙන ලේ ධාතුව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.
ලේවල පැහැය අඳුරු වෙන බව අටුවාවේ තිබෙනවා. ශරීරයේ ධාතුව සම්පූර්ණයෙන් මනැසේ විඤ්ඤාණ ධාතුවත් සමඟ ක්‍රියාකාරිවෙලා විඤ්ඤාණ ධාතුවෙන් දැකපු අහපු දේ ආදිය තුළින් ඇතිවූ තරහ ආපෝ ධාතුවට බලපානවා. තරහ කියන දේ සමඟ ඔබට කායිකව වෙනසක් ඇතිවෙද්දීම ධාතු වශයෙන් මෙනෙහි කිරීමේදී ඒ මෙනෙහි කිරීමේදී තරහ දුරු කරගන්න පුළුවන්. මෙතැන ධාතු ස්වභාවය විමසලා තරහ එන්න දුන් ගතිය වගේම මෛත්‍රීයක් සමඟ සැහැල්ලුවක් ඇතිවෙනවා. ඒ වගේම තරහ ඇති වුණාම මුහුණ තද ගතියෙන් අව පැහයක් ආවත් මෛත්‍රී සහගතයේදී මුහණ පැහැපත් වෙනවා. ඒකයි මෛත්‍රීය හොඳට පුරුදු කරන කෙනෙකුගේ මුහුණ පැහැපත් වෙන්නේ. මෙත්තානි සූත්‍රයේදී සඳහන් වෙනවා මෙත්සිත ඇති වෙද්දී ආපෝ ධාතුව සහිත ලේ ධාතුවේ පැහැය සම්පූර්ණයෙන් ප්‍රසන්න පැහැයට හැරෙනවා. ඒ ලේ තරහ සිතක් ඇතිවෙද්දී අඳුරු වෙන්නත්, මෛත්‍රී සහගත වෙද්දී ප්‍රසන්න වෙන්නත් හේතු වෙනවානම් ලේ මගේ ද? මගේ නම් මම කැමැතියි නිතරම ප්‍රසන්නව තිබෙනවානම්. තරහ සිතක් ඇතිවෙද්දීත් අඳුරු වෙන්න එපා. ප්‍රසන්නව තිබේවා කියා සිතුවත් ඔබට එහෙම කරන්න බැහැ. තරහ සිත ඇතිවෙන විට ලේ අඳුරු ස්වභාවය ගන්නවාම යි. එහෙනම් ලේ ඔබේ නොවේ. දකින්න ඒක ඔබේ දෙයක් නොවන විදිහට. එවිට වැඩෙන්නේ අනාත්ම සංඥාව. එක එක වෙලාවට එක එක ස්වභාවයට වෙනස්වෙනවා නම් එහි අනිතය බව තේරෙනවා. මේ ධාතු මනසිකාරයක් සමඟ එහි අනිත්‍ය දකිමින් අනාත්මය දකිමින් දුකක් වශයෙන් විමසන්න ඔබට පුළුවන්නම් මේ මනසේ ස්වභාවයට අනුව කය වෙනස් වෙන හැටි. කයේ ස්වභාවය මානසික ස්වභාවය කොතරම් කිට්ටු සම්බන්ධයක් තිබෙනවාද? කියා විමසිය හැකියි. ඔබ දන්නවා තරහ ගියාම නින්ද යන්නේ නැහැ. ඇයි එහෙම නින්ද නො යන්නේ. නින්දක් ඇති වෙන්න සම්පූර්ණයෙන් කයේ ස්වභාවය සැහැල්ලුව තිබෙන්න ඕන. අප නිදාගන්න ගියාට පස්සේ කිටි කිටියේ හිර වූ ස්වභාවයෙන් නින්දට යන්නේ නැහැ බොහෝම සැහැල්ලුවෙන් තමා ඇඳේ ඉන්නේ. එහෙම සැහැල්ලු බව තිබෙද්දී නින්ද යනවානම් තරහ ඇති වූ වෙලාවේදී ඇයි නින්ද නො යන්නේ? ඒ බර නිසයි. කෙලෙස් සහිත හැම තැනම බරයි. බර තිබෙද්දී නින්ද යන්නේ නැහැ. ඒ වගේම ඔබ දන්නවා අප චිත්‍රපටියක් බලද්දී නින්ද යන්නේ නැහැ. පැය පහක් හයක් හරි එය බලා ගෙන ඉන්නවා. නමුත් බණ භාවනා කරද්දී නින්ද යනවා. සමහර අය හරි කැමැත්තෙන් මේ ධර්ම මාර්ගයට එකතු වෙන අය ඉන්නවා. හැබැයි කෙතරම් කැමැත්තෙන් ආවත් නින්ද යනවා. මෙතැන දී එහෙනම් තවත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ භාවනා කරද්දී සැහැල්ලු බවත් එනවා. චිත්‍රපටියක් බලද්දී තරහෙන් ඉද්දී ඇඟේ බර ගතියක් එනවා නම් කෙලෙස් එක්ක බරයි නම් ඒ නිසයි නින්ද යන්නේ නැත්තේ. චිත්‍රපටියක් බලද්දී ඔබේ සිතේ බරක් හට ගන්නේ. බර වැඩිවෙන්න වැඩි වෙන්න නින්ද යන්නේ නැහැ. භාවනා කරනකොට ධර්මය අසනවිට සැහැල්ලු වෙනවා. ඒ සැහැල්ලුව තමාට මධ්‍යස්ථව පාලනය කරගන්න බැරි වුණොත් නින්ද යනවා. එහෙනම් කෙලෙස්, සිතේ ඇතිවෙනවිට කය සැහැල්ලු වෙනවා වගේම බර වැඩිවෙනවා කියා තේරුම් ගන්න ඕන. පැහැය වෙනස් වෙනවා වගේම බර ගතිය හැදෙන එකෙනුත් ඔබට තේරෙන්න ඕන තමන් කොතරම් කැමැති වුවත් තරහ සිතක් ඇතිවෙලා තිබෙද්දී මේ ඇඟ බර වෙන්න එපා සැහැල්ලු වෙන්න කියා සිතුවාට එහෙම වෙන්නේ නැහැ. ඒ ඔබේ නොවේ නිසා. තරහ සිත ඇතිවෙනවිට විඤ්ඤාණ ධාතුවට අනුව මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ අනුව රූප ධාතු සම්පූර්ණයෙන්ම ඒවට අනුව බර වෙනවා. ඒක අපට අවශ්‍ය ආකාරයට සිදුවෙන්නේ නැහැ.

අප කැමැති වුවත් අකැමැති වුවත් මේ ක්‍රියාවලිය එහෙමම වෙනවා. මෙතැන තිබෙන සම්බන්ධය අනාත්මයි. එහෙනම් මනසට එන රාග, ද්වේශ, මෝහය ආදි සිතුවිලිවලින් කය වෙනස් වෙනවානම් ඔබට කැමැති කැමැති ආකාරය සිදුවෙන්නේ නැත්නම් ඒක කයක්ද, නැත්නම් අනිත්‍ය වූ වෙනස්වන කයක්ද කියා බලන්න. එක සිතුවිල්ලකදී එක විදිහකට අනෙක් සිතුවිල්ලදී තව විදිහකටනම් මේ එක එක සිතුවිල්ලට කය වෙනස්වෙනවා නම් කය අනිත්‍යය යි. මෙසේ විමසනවිට ධාතු මනසිකාරය ඔස්සේ අනිත්‍ය දකින්න, දුකක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් දකිමින් මේ ධාතු මනසිකාරය පුරුදු කරගෙන තමන්ගේ ජීවිත අවබෝධය ඇතිකර ගන්න.
ඔබට මේ උතුම් සද්ධර්මය අවබෝධ කරගෙන තව තවත් ධාතු වශයෙන් විමසමිින් ධාතු මනසිකාරය විමසමින් ප්‍රඥා ලෝකයෙන් අවිද්‍යා අන්ධකාරය දුරුකර ගන්නට භාග්‍ය සැලසේවා කියා ප්‍රාර්ථනා කරනවා.

ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය නොකළ යුතු වෙළඳාම් තුළ ගැබ්ව ඇත්ද?


ආචාර්ය පූජ්‍ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි
සභාපති - ශ්‍රී ලංකා අවිහිංසාවාදී භික්‌ෂු මහසභාව

කලින් පළවූ ලිපියේදී අප පෙන්වා දුන්නේ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශ යෑයි දෙයකින් පානාතිපාතා සූත්‍රය අනුව ප්‍රථම සිල්පදය විනාශවී යන අයුරු සහ 'දිට්‌ඨං සුතං පරිසංකිතං' සම්බුද්ධ දේශිත සූත්‍රය අනුව මොහොතක්‌ මොහොතක්‌ පාසා කුණුවී ජරාවට පත්වී යන නවදොරින් ජරාව වැගිරෙන දෙතිස්‌ කුණුප කොටස්‌ ඇති සත්ව මළ සිරුරක්‌ කෝටි තුන් වතාවක්‌ පිරිසිදු නොවන බවයි. එවැන්නක්‌ ලේඛනගතකොට ඇත්තේ විකෘති මනස්‌ ඇති තෘෂ්ණාභරිත ආත්මවාදී අටුවාකාරයින් බව තාර්කිකව ඔප්පුකොට පෙන්වා දුනිමු.

ඇතැම් පැවිදි උතුමන්ලා පෙන්වාදෙන පරිදි ත්‍රිකෝටික පාරිශුද්ධ වූ මාංශ වෙළඳපළෙන් මිලදීගත හැකිය. ඒවා තමන් වහන්සේලා වෙනුවෙන් මරන ලද සතුන්ගේ මංශ නොවේය. ඒවා ත්‍රිකෝටික පරීක්‌ෂණ තුනෙන්ම සමත්වූ මාංශය. එනම් දැකීමෙන් අසා දැන ගැනීමෙන් සහ සැකයක්‌ ඇතිවීමෙන්ද පිරිසිදු බවට පත්වූ මළකුණුය. වැළඳීමේ දොaෂයක්‌ නැත යන්න ඔවුනගේ බොළඳ තර්කයන්ය. කන්න සිතුණාම කබරගොයා තලගොයා බවට පත්වන මෙවන් බෞද්ධ සමාජයක ඔවුන්ගේ මනසට නොපෙනුනේ සම්බුදුරදුන් නොකළයුතු වෙළඳාම් වශයෙන් ප්‍රකාශයට පත්කළ ප්‍රථමය මාංශ වෙළඳාම සහ දෙවනුව සතුන් වෙළඳාමය බවය.

නොකළ යුතු වෙළඳාම් පහෙන් එනම් මාංශ සත්ව, ආයුධ, වසවිස සහ මත්ද්‍රව්‍යවලින් සිදුවන්නේ ඒකාන්තයෙන්ම සත්ව සහ මනුෂ්‍ය ජීවිත විනාශය බව සම්බුදුපියාණන් ඒකාන්තයෙන්ම දේශනාකොට ඇති බවත් ඒවායින් ප්‍රථමය මාංශ වෙළඳාම බවත් මාංශ වෙළඳාම යනු ඉල්ලුමට සැපයුම න්‍යාය පරිදි මිලදී ගැනීමෙන් තව තව සතුන් නිරපරාදේ මරණයට පත්කිරීම බවත් දැන තේරුම් ගැනීමට අමුතු නුවණක්‌ අවශ්‍ය නැත. ඒ අනුව නොකළයුතු වෙළඳාමක්‌ තුළින් පැමිණෙන මරණ දුක්‌ අඳෝනාව කෝටි තුන් වතාවක්‌ පිරිසිදු පින් කන්දක්‌ යෑයි පිළිගැනේ නම් එම වෙළඳාමෙහි නිරත සත්ව ඝාතනවලට මුදල් යොදන වෙළෙන්දාද රැකියාව පිණිස සතුන් මරණ ඝාතකයාද අතිශය පුණ්‍යවන්ත පුද්ගලයින් බවද සැලකුව මනාය.

මෙකී පුණ්‍යවන්ත ඝාතකයන්ගේ පින්වන්ත ඝාතන හේතුකොටගෙන දාන පාත්‍රයට මාංශ වඩින බැවින් එම පුණ්‍යවන්තයාටද නොඅඩුව පිං අනුමෝදන් කළ යුතුය. එහෙත් එය කිසිදා කිසිවකු නොකරන්නේ ඔවුන්ගේ කරුමය නිසා වන්නට ඇත. එහෙත් නොකළ යුතු වෙළඳාමකින් මාංශ මිලදී ගෙන උයාපිහා දානය සකස්‌කර එම දුර්දාන්ත මල අඳෝනා පාත්‍රයට බෙදන උත්තම දායකයන්ට සහ ඔවුන්ගේ මළගිය ප්‍රාණකාරයන්ට නොඅඩුව පිං අනුමෝදන් වේ. අප නම් අදහස්‌ කරන්නේ එවන් ත්‍රිකෝටික පුණ්‍යවන්ත මාංශ ලැබෙන්නේ ඝාතකයාගේ පිහිකොටයේ පිහිටෙන් නිසා එම පිහිකොටයද දාන මේසය උඩ තබාගෙන අනිමිසලෝචන පූජාවෙන් ඒ දෙසද ඇසිපිය නොහෙලා බලාසිටිය යුතු බවය. බොළඳ අටුවාකාරයින්ගේ ත්‍රිකෝටික සිහිනය සම්පූර්ණවන්නේ එවිට බව සිතාගනු මැනවි.

තවද තමන් වහන්සේලා වෙනුවෙන් නොවේ යෑයි ප්‍රථම සික්‌ෂාපදය සිඳ බිඳ ලෑමට එකී පරීක්‌ෂණ තුනෙන්ම ත්‍රිකෝටික පාරිශුද්ධිය සමත් නම් එකී ත්‍රිකෝටික පාරිශුද්ධිය අනෙක්‌ සිල්පදවලටද අදාළ විය යුතුමය. සම්බුදුවරයෙක්‌ කිසිදා ප්‍රධාන ශික්‌ෂාපදය වෙනුවෙන් මුක්‌තියක්‌ නොදෙනු ඇත. ඒ සම්බුද්ධ ඥනයට තෘෂ්ණාවට මගපාදන මුක්‌තියක්‌ කිසිසේත් සම්ප්‍රාප්ත නොවන නිසාය.

අප දැන් මේ අයුරින්ම දෙවැනි සිල්පදය වන මම අන් සතු දෙයක්‌ සොරකම් නොකරමි, පැහැර නොගනිමි, නොගන්වමි, අනුබල සහ අනුමතද නොකරමි යන්න විග්‍රහයට ගනිමු. සොරකම් කරන ලද පිරිකරක්‌ භික්‌ෂුන්ට පූජා කිරීමට ගෙනවිත් ඇත. හදිසියෙන්ම දානනිවසට පැමිනුණේ ආරාධිත භික්‌ෂුන් නොවන අතර ඒ වෙනුවට නායක ස්‌වාමීන් වහන්සේ විසින් එවන ලද වෙනත් භික්‌ෂුන් වහන්සේය. කෙසේ හෝ උන්වහන්සේලාගේ දෙසවනට අසන්නට ලැබුණේ සොරකම් කරන ලද පිරිකර පූජා භාණ්‌ඩ ගෙනවුත් ඇති බවයි. ත්‍රිකෝටික මාංශ තමන් වහන්සේලා වෙනුවෙන් නොවේ යෑයි ඇවැත් නැතැයි සිතන, ඒ අනුව ක්‍රියාකරන පුණ්‍යවන්තයින් මේ අවස්‌ථාවේදීද ත්‍රිකෝටික පරීක්‌ෂණ තුන ගැන විමසිලිමත් වනු ඇත. මෙම සොරකම සිදුකර ඇත්තේ තමන් වහන්සේලා වෙනුවෙන් නොවේය. මෙතැනට පැමිණීමට නියමිතව තිබුණේ වෙනත් භික්‌ෂුන් වහන්සේලාය. එහෙත් ඒ වෙනුවට අප සහභාගි වී ඇත. එමනිසා මෙය ත්‍රිකෝටික පාරිශුද්ධ සොරකමකි. ත්‍රිකෝටික පාරිශුද්ධ සොරබඩුය. අප වෙනුවෙන් නොවේමය, සැකයකුදු නොමැත.එසේ නම් මෙම ත්‍රිsකෝටික පාරිශුද්ධ හොරබඩු වූ පිරිකර පිං අනුමෝදන් කර ලබාගත්තාට කිසිදු ඇවතක්‌ සිදුනොවේ. මෙසේ දෙවැනි සිල්පදයද ත්‍රිකෝටික මුක්‌තියෙන් ගැලවී ඇත.

එසේම අප තුන්වැනි සිල්පදයද මෙලෙසම විග්‍රහ කරමු. දායකයන් හෝ වෙනත් අයකු සුන්දරිකාවක ගෙනවුත් ඇත. ඒ ද විශේෂිත අයෙක්‌ වෙනුවෙන් නොවේ. මිල ගෙවන ඕනෑම අයකුටය. ත්‍රිකෝටික පරීක්‌ෂණ තුනෙන්ම සමත්ව ඇත. පරිභෝජනය කළාට වරදක්‌ නැත. තුන්වැනි ශික්‌ෂාපදය මුක්‌තියෙන් රැකෙනු ඇත.

තවද සතරවැනි ශික්‌ෂාපදයට ත්‍රිකෝටික පාරිශුද්ධය අනුගත කර බලමු. බොරු මුසා පවසා මුදල් වංචාකර ඇත. එම මුදල් ගෙන ආවේ සෙනසුනේ අලුත්වැඩියා කටයුතු සඳහාය. තමන් වහන්සේ වෙනුවෙන් පුද්ගලිකව නොවේය. මේ අනුව ත්‍රිකෝටික පාරිශුද්ධ මුසාවද තමන් වහන්සේලා වෙනුවෙන් නොවේ නම් එය කැපය. මුසාකී තැනැත්තාට මිස තමන් එයදැන කියාගත්තද තමන්ට ඇවැත් නැත යනුවෙන් ත්‍රිකෝටික පාරිශුද්ධ මුසාවද මෙසේ අනුමත කළ හැකි විය යුතුය.

එසේම නොකළ යුතු වෙළඳාම් පහෙන් අවසාන පස්‌වැන්න වන මත්පැන්වලටද ත්‍රිකෝටිකය පිහිටට ගත හැකිය. මත්පැන් පෙරනවා තමන් වහන්සේලා දුටුවේද නැත. සොයා බැලීමේදීද තමන් වෙනුවෙන් පුද්ගලිකව නොවේමය. මිලදී ගන්නා ඕනෑම කෙනකුටය. කිසිදු සැකයකුත්නැත. දිට්‌ඨං සුතං පරිසංතිතං යන විකෘති අටුවන්ගේ දහම අනුව පරීක්‌ෂණ තුනෙන්ම සමත්ය. අනිවාර්යයෙන්ම ත්‍රිකෝටික පාරිශුද්ධ මත්පැන්ය. දායකයකු ලවා ගෙන්වා ගෙන හෝ තමන්ම වෙළඳසැලට ගොස්‌ තමන් වෙනුවෙන් නොවේයෑයි සැකහැර දැනගෙන නොකළ යුතු වෙළඳාමට උඩගෙඩි දී ත්‍රිකෝටික බෝතලක්‌ මිලදී ගත හැකිය. පරිභෝජනය කළ හැකිය. ඇවැත් නැත. ඒ ළඟම තිබෙන කුකුල් කඩයෙන් ත්‍රිකෝටික පාරිශුද්ධ කුකුලකුද මිලදී ගත හැකිය. ඇවැත් නැත. සියල්ල ත්‍රිකෝටිකය. තමන් වහන්සේ බේරී ඇත.

මෙම විග්‍රහ අනුව පංචශීලය පමණක්‌ නොව අෂ්ඨාංග ශීලය, දස ශීලය, අධිශීලය, කෝටියක්‌ සංවර ශීලයද තමන් වහන්සේ වෙනුවෙන් නොවන බව සිතා සිඳබිඳ ලෑම දහමට අනුගතකරගත හැක.

සුදනනිෘ සුදන සාධුනිෘෘ දැන් අපට පවසන්න ප්‍රථම සිල්පදයට පමණක්‌ ත්‍රිකෝටික පාරිශුද්ධ මුක්‌තිය දිය යුතුද? දිය හැකිද? සම්බුදුවරයකු එසේ දේශනා කරාවිද? ඇයිද ඔබ ඒහි පස්‌සිකෝ න්‍යායෙන් සත්‍යය නොසොයන්නේ. අඳුරු වළාවෙන් ඔබ සිත් මෝහනයට පත්වෙලාද? එසේ නම් දැන්වත් අඳුරින් එළියට වඩින්න සුදන සාධුනිෘ

බොළඳ අනුවණ අටුවාචාරීන්ට වැරැදී ඇත්තේ ඔවුන්ගේ තෘෂ්ණාභරිත සිත් ඔවුන්ටම මුදාගන්නට නොහැකිවූ නිසාය. ප්‍රථම ශික්‌ෂාපදය සිඳලීමට පමණක්‌ මුක්‌තියක්‌ දී ඇත්තේ එම නිසාය. කෙනකු කී පමණින්, ලියූ පමණින් ඒවා සම්බුද්ධ දේශනා නොවේ. කාලාම බමුණාට කාලාම සූත්‍රයෙන් බුදුරදුන් නොහෙලා පැවැසූ දෙය යළි යළි සිහිපත්කර ගනු වටී. අප මේ පවසන, ලියන දෙයටද කාලාම සූත්‍රය අදාළය. එසේ විය හැකිද? මෙසේ විය හැකිද? යනුවෙන් තම තම නැණ පරිදි තාර්කිකවන්න.

ඔබේ සිත ඔබටම සුවපත්කර ගත හැකිය. සුදනනි! සුදන සාදුනි!!

මහාබෝධි සංස්කෘතිය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය

හඟුරන්කෙත ධීරානන්ද හිමි

සංඝමිත්තා තෙරණියගේ ලංකාගමනය හා ශ්‍රී මහාබෝධියේ දක්ෂිණ ශාඛාව බුද්ධ වර්ෂ 236 දී උඳුවප් පුරපසළොස්වක් දින ලක්දිවට වැඩම කිරීම මෙරට ශාසන ඉතිහාසය තුළ මෙන්ම දේශයේ ඉතිහාසයේ තුළ ද සුවිශේෂ සිද්ධියක් ලෙසින් දිගු කලක් මුළුල්ලේ මෙරට වැසි ජනතාව මහත් හරසරින් හා ගෞරවයෙන් යුතුව සිහිපත් කෙරේ.
මීට පදනම් වූ සාධක කීපයකි. බුදුරදුන්ගේ පාරිභෝගික චෛත්‍යයක් ලෙසින් මහාබෝධිය ශ්‍රී ලංකාවට වැඩම කිරීම හා අනුරාධපුර මහමෙවුනාවේ රෝපණය කිරීම කෙටිකලක් තුළ බෞද්ධාගම මෙරට ස්ථාවරත්වයට පදනම් වූ එක් කරුණකි. එමෙන්ම බෝධිය පදනම් කරගත් සංස්කෘතියක් ඇතිවීම හා එමඟින් දේශීය සංස්කෘතියේ දියුණුවට ඇති වූ බලපෑමත් ජනතාව හා බෝධිය අතර සම්බන්ධතා වර්ධනයට හේතුවක් විය. මහාබෝධියේ රෝපණ උත්සවය සඳහා විවිධ ජන කණ්ඩායම් පැමිණීම හා මහාබෝධි ශාඛාවන් ඒ ඒ ප්‍රදේශයන්හි රෝපණය කිරීමත් නිසා පාලනමය වශයෙන් ප්‍රාදේශීය බෙදීම් වලින් දුරස්තව විසූ ජන කොටස් අතර සමඟිය තහවුරු කොට එක්සත් බෞද්ධ සංස්කෘතික පරිසරයක් යටතට පත්කරලීම උදෙසා ඇති කළ බලපෑම ද මහත් ය.

මහ බෝධිය වැඩම වීම

ජම්බුද්වීපයේ සිට ජම්බුකොළපට්ටනයට පැමිණි සඟමිත් තෙරණිය ප්‍රමුඛ දුත පිරිස හා මහාබෝධිය මහත් හරසරින් දේවානම් පියතිස්ස රජු විසින් පිළිගනු ලැබූ අතර ප්‍රථමයෙන් නාගදීපයේ පශ්චමාරාමයෙහි බෝධි ශාඛාව තැන්පත් කරමින් සිය ගරුත්වය දක්වා රාජ්‍යයෙන් ඊට පූජෝපාහාරයන් දක්වා ඇත. මෙම අවස්ථාව ශ්‍රී ලාංකේය පාලකයෙකු මහාබෝධිය විෂයෙහි රාජ්‍යය පූජා කළ ප්‍රථම අවස්ථාව වන අතර රාජ්‍යය හා ආගම අඛණ්ඩව සම්බන්ධතාවයක් ගොඩනැඟීම කෙරෙහි මෙම ක්‍රියාදාමය ද එක් අතකින් බලපෑ බව පැහැදිලි කරුණකි. අනතුරුව මහත් සේ අලංකාරවත් වූ පෙරහරකින් තිවක්ක වැනි බ්‍රහ්මණ ග්‍රාමයන් පසු කරමින් අනුරාධපුරයට මහාබෝධිය වැඩම කරවා ඇත. මෙසේ වැඩමවනු ලැබූ මහාබෝධි ශාඛාව අනුරාධපුරයේ මහාමේඝවනෝද්‍යානයේ රෝපණය කළ අතර එම මහා උත්සවය තිවක්ක බ්‍රාහ්මණ ග්‍රාමයේ පිරිස් කාජරගාමයේ හා චන්දන ග්‍රාමයන්හි ක්ෂත්‍රීය පිරිස් වැනි උතුරු දකුණු ප්‍රදේශ වැසි ප්‍රභූ කණ්ඩායම් රැසකගෙන් හා මෙරට වැසි බොහෝ ජනයාගේ සහභාගීත්වයෙන් සිදු කළ බව වංසකතාවෝ සඳහන් කරති. මෙම අවස්ථාව වසර දෙදහස් තුන්සිය ගණනක් පැරණි මහාබෝධි සංස්කෘතියේ ආරම්භක අවධිය ලෙසින් හා ජාතියේ සමගිය ආගමික පදනම මත ඉස්මතු කළ අවස්ථාව සේ දැක්වීම වඩාත් උචිතය.
දැනට හඳුනාගෙන ඇති අභිලේඛන සාක්ෂිවලට අනුව ක්‍රි.පූ. දෙවැනි සියවසට පූර්ව අවධියේ ප්‍රාදේශීයව ස්ථානගත වූ ස්වාධීන නායකත්වයක් යටතේ කටයුතු කළ පාලන ඒකක තිහක් පමණ දැනට ඉතිහාසඥයින් විසින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ ආශි‍්‍රතයෙන් හඳුනාගෙන තිබේ. යාපනය වැනි ප්‍රදේශවල අභිලේඛන සාක්ෂි නොමැතිවීම නිසා එම කලාපය පිළිබඳ නිශ්චිතව නිගමනයන් කිරීම අසිරු වුව ද ශ්‍රී ලංකාවේ අනෙකුත් සෑම පළාතකම පාහේ මෙවැනි පාලන ඒකක පැවැති බවට අභිලේඛන සාක්ෂි හමුවේ. උතුරු මැද පළාතේ පෙරියපුලියන්කුළම, නැට්ටුකන්ද, ඔච්චප්පුකල්ලු, මිහින්තලේ, මුතුගල හා දිඹුලාගල වැනි ස්ථානවල ඇති ක්‍රි.පූ යුගයට අයත් ලෙන් ලිපි කීපයකින් එබඳු ප්‍රාදේශීය නායකයන් ගැන හා පාලක පවුල් පිළිබඳ තොරතුරු ලැබේ. එමෙන්ම වයඹ පළාතේ රන්ගිරමඩ, නුවරකන්ද, පතහාමුල්ල හා තිත්තවෙලත් බස්නාහිර පළාතේ කොරතොටත් දකුණු පළාතේ බෝවත්තේගල, සිතුල්පව්ව හා කොට්ටදැමුහෙළත් නැඟෙනහිර පළාතේ කුසලාන්කන්ද, මෝට්ටයකල්ලු, කොල්ලදෙණියත් සබරගමුව පළාතේ කිරිමකුල්ගොල්ල බලහුරුකන්ද, යාන්ලෙන ලෙනගලත් මධ්‍යම පළාතේ බඹරගල, ගෝනවත්ත, ඇඹුල්අඹේ හා පිදුරංගල යන ස්ථානවල ඇති අභිලේඛන වලින් ද ශ්‍රී ලංකාවේ ඒ ඒ පළාත්වල ස්ථානගතව පැවැති ප්‍රාදේශීය ස්වාධීන පාලක පිරිස් පිළිබඳ පැහැදිලි සාක්ෂි ඉස්මතු කර ගත හැකි වේ. ඒ අනුව වංසකතා දක්වන ආකාරයට අනුරාධපුරය මුල් කරගත් එක් පාලන සංවිධානයක් මුල් අවධියේ සිටම පැවතියේය යන්න සිතීම දුෂ්කරය. අභිලේඛන සාක්ෂි හා සාහිත්‍ය මූලාශ්‍ර එකිනෙක සංසන්දනාත්මකව අධ්‍යයනයෙන් මෙම අදහස තවදුරටත් තහවුරු වේ. එසේම මෙසේ විසූ ප්‍රාදේශීය පාලක පිරිස් අතරින් දකුණේ කාජරගාමය මුල් කරගෙන විසූ දසබාතික පාලක පිරිස් ප්‍රබලත්වයකින් යුතු බව ධාතුවංසය දක්වන පුවත් වලින් සනාථ වේ. ශ්‍රී ලංකාවේ එවකට විසූ ප්‍රබල දේශපාලන නායකයන් හා ලක්දිව බොහෝ ජනයන් බෝධි රෝපණ උත්සවය පිණිස අනුරාධපුරයට පැමිණි බව සාහිත්‍ය මූලාශ්‍රයෝ පෙන්වා දෙති. සංස්කෘතික ක්‍රියාදාමයක් අරබයා විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි පිරිස් එක් ස්ථානයකට එක අරමුණකින් එක් තැන්වීම එක්සත් ජාතියක්, එක්සත් දේශයක් යන ආකල්පය ඉස්මතු වන පළමු අවස්ථාවක් එමඟින් නිරූපණය කිරීමක් වූ අතරම ජාතික සමඟියට අවශ්‍ය පදනමක් නිර්මාණයට අවශ්‍ය වාතාවරණයකට අවකාශය සැලසිනි.

අෂ්ටඵල බෝධි

මහාබෝධි ශාඛාවෙන් හටගත් ප්‍රථම

අෂ්ටඵල බෝධි අංකුර ශ්‍රී ලංකාවේ උතුරු දකුණ ඇතුළු අනෙකුත් ප්‍රදේශවල රෝපණය කිරීම පිණිස කටයුතු යෙදීමත් සමඟ ඒකීය ආගමික සංකේතයක් ඔස්සේ එක්සත් ජාතික අනන්‍යතාවයක් වෙත ප්‍රවේශගතවීමට ඉඩකඩක් විවර විණි. එම ක්‍රියාවලිය බෞද්ධ සංස්කෘතියක් යටතේ එක්සත් ශ්‍රී ලාංකේය සමාජයක් ගොඩනැඟීම පිණිස තැබූ තවත් පියවරක් ලෙසින් දැක්වීම නිවැරදිය. බෝවත්තේගල හා කොට්ටදැමුහෙළ වැනි දක්ෂිණ ශ්‍රී ලංකාවේ පිහිටි ක්‍රිස්තු පූර්ව තෙවැනි, දෙවැනි සියවස්වලට අයත් අභිලේඛන ඇසුරෙන් හෙළි දැක්වෙන ආකාරයට හා ධාතුවංසයෙන් පෙන්වා දෙන ආකාරයටත් ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට පෙර අවධිය ශ්‍රී ලංකාවේ දකුණ හා නැඟෙනහිර ප්‍රදේශ දසභාතික ක්ෂත්‍රිය පිරිසකගේ නායකත්වය යටතේ පාලනය වූ බව පැහැදිලි කරුණකි. අෂ්ටඵල වලින් දෙකක් දකුණේ කාජරගාමයේ හා චන්දනගාමයේ රෝපණය කිරීම පිණිස ලබාදීමෙන් අනුරාධපුර පාලකයා හා දකුණේ පාලක පිරිස් අතර පමණක් නොව ජනතාව අතර ද සංස්කෘතික සම්බන්ධතාවක් මතින් ප්‍රාදේශීය දුරස්ත බව අවම කරමින් එක්සත් චින්තනයක් වෙත ප්‍රවේශගතවීමට මං විවර කෙරිණි.
පරියපුලියන්කුළම ලෙන් ලිපි දක්වන ආකාරයට අනුරාධපුරයෙන් උතුරු ප්‍රදේශය ද ස්වාධීන ප්‍රාදේශීය පාලකයන් යටතේ පැවැති බව සනාථ වේ. එමෙන්ම අනුරාධපුරයට උතුරින් තිවක්ක බ්‍රාහ්මණ ග්‍රාමය පිහිටා තිබෙන්නට ඇති අතර ඔවුන් ද එම අවධියේ එම කලාපය තුළ දේශපාලන හා සමාජමය බලයක් හිමිකරගත් පිරිසක් සේ හඳුනාගැනීම වඩාත් උචිතය. එවැනි දේශපාලන හා සමාජමය බලයක් හිමිකරගෙන සිටි පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව අනුරාධපුර පාලකයා විසින් මහාබෝධිය මහාමෙවුනාවේ රෝපණය කිරීමත් ඉන් හටගත් අෂ්ටඵලයන් ඒ ඒ ප්‍රදේශ වෙත රෝපණය කිරීම පිණිස ලබාදීමත් නිසා එම ප්‍රදේශ අතර සංස්කෘතිකමය හා දේශපාලන සම්බන්ධතා වර්ධනයවීම කෙරෙහි සෘජුව හා වක්‍රාකාරයෙන් බලපෑ බව පැහැදිලි කරුණකි. උතුරු ජම්බුකොළ පට්ටනයේ ද තව එක් ශාඛාවක් රෝපණය කිරීමට පියවර ගැනීම තුළින් උතුර හා දකුණේ ජන කොටස් අතර සංස්කෘතික සම්බන්ධතාවය තහවුරුකර ගැනීමට තැබූ වැදගත් පියවරක් සේ දැක්වීම නිවැරදිය. මේ තුළින් පැහැදිලි වනුයේ ප්‍රාදේශීයව ජන කණ්ඩායම් අතර පැවැති දුරස්ත බව අවම කරගැනීමට මෙන්ම ජනතාව අතර බෞද්ධාගමින් හා බෞද්ධ සංස්කෘතියෙන් මේවනවිට ඇති කරමින් තිබූ එක්සත් සමාජ පසුබිම තවදුරටත් ජනතාවට හරවත් ලෙසින් හා දැකිය හැකි ලෙසින් සංකේතාත්මකව මහාබෝධියෙන් හා මහා බෝධියේ ශාඛාවන් තුළින් ඉටු වූ බවකි.
එමෙන්ම මහාබෝධියේ හටගත් දෙතිස් ඵලයන් ද ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ අතර බෙදා හැරීම පිණිස කටයුතු කිරීම මඟින් සමාජ සම්බන්ධතාවය තවදුරටත් තහවුරු කොට ඇත. එම ස්ථාන නාමයන් දෙස බලන විට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශයන් ආවරණය වන ආකාරයට එම දෙතිස් ඵලයන් ගෙන් හටගත් බෝධි අංකුරයන් බෙදාහැර ඇති බවක් පෙනේ. ඒ මඟින් බුදුන් වහන්සේගේ පාරිභෝගික චෛත්‍යයක් තම ප්‍රදේශයට ලැබුණාක් මෙන්ම සංකේතාත්මකව උන්වහන්සේ එම ප්‍රදේශය තුළ වැඩ වෙසෙන බවක් ද ඒ මඟින් ව්‍යාංගාර්ථවත්ව නිරූපණය කෙරේ. එම නිසා බෝධිය වනාහි සාමයේ හා බෞද්ධ සංස්කෘතියේ සංකේතයක් ලෙසින් එක්සත් ජාතියක් හා එක්සත් දේශයක් බවට පත්කරලීමට පදනම සකස් කළ බවක් පැහැදිලි කරුණකි. ක්‍රි.පූ. දෙවැනි සියවසේ දී දේශපාලනික වශයෙන් එක්සත් බවක් ඇති කිරීමෙහි ලා කටයුතු කළ දුට්ඨගාමණිගේ ක්‍රියාදාමය සාර්ථකවීම කෙරෙහි දේවානම්පියතිස්ස රජු විසින් ඇති කළ මෙම සංස්කෘතික හා දේශපාලන පසුබිම මහත් ශක්තියක් හා ආශිර්වාදයක් ද විය.

උත්සව හා සිරිත් විරිත්

මහාබෝධිය ශ්‍රී ලංකාවට වැඩම කිරීමත් සමඟ විවිධ කුල හා ශිල්පීය කණ්ඩායම් නියෝජනය කළ කාර්මික පිරිස් ද පැමිණීම මෙරට සංස්කෘතියේ විවිධ ක්ෂේත්‍ර හා සබැදි කාර්මික, කෘෂිකාර්මික හා නිර්මාණකරණය වැනි අංශයන්හි උන්නතියක් ඇතිවීම කෙරෙහි සෘජුවම බලපෑ කරුණකි. වංසකතාව මෙන්ම අට්ඨකතාව ද දක්වන පරිදි මහාබෝධියේ කටයුතු සඳහා මෙන්ම මහාබෝධියේ ආරක්ෂාව පිණිස ද දේව, ඇමැති, බ්‍රාහ්මණ, කුටුම්බික, ගෝපක, තරච්ඡ, කුම්බකාර හා පෙසකාර වැනි කුල අට බැඟින් දහඅට කුලීන පිරිසක් ජම්බුද්වීපයේ සිට මෙරටට එවා ඇත.
මහාබෝධි වංශය දක්වන ආකාරයට සිත්තරුන් මෙන්ම භාණ්ඩ නිෂ්පාදනය කළ පිරිස් හා විවිධ තේවා කටයුතුවල නිරත වූ වාද්‍ය හා නර්තන මෙන්ම අනෙකුත් වෘත්තින් පිළිබඳ ප්‍රාගුණ්‍යයක් ලබා සිටි පිරිස් ද පැමිණි ශිල්පීය කණ්ඩායම් අතර වූහ. මෙසේ පැමිණි පිරිස් ඉන්දියාවේ දී ලබාගත් තාක්ෂණික දැනුම මත වාස්තු විද්‍යාත්මක හා නිර්මාණශීලී දැනුම හා තාක්ෂණික ක්‍රමොපක්‍රමයන් ගෙන් පිරිපුන් පිරිසක් වූ බැවින් ඔවුනගේ දායකත්වය දේශීය නිර්මාණ ක්ෂේත්‍රයේ නව පිබිදීමකට අතිශයින් හිතකර සාධකයක් වූ බව පැහැදිලිය. ඒ අනුව එම ශිල්පීය සබඳතාවය ශ්‍රී ලංකාවේ පැවැති එම ක්ෂේත්‍රයන්හි දියුණුවට මඟ හෙළි කිරීමක් වූවා පමණක් නොව එම දැනුම ද පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවටම ආවේණික වූ නව සංස්කෘතියක් හා නිර්මාණශීලිත්වයක් ගොඩනඟා ගැනීමට ද තව අතකින් බලපෑමක් වූ බව ද කිය හැකි ය. මෙම නව නිර්මාණකරණ සමීපදායන් ශ්‍රී ලංකාවට පොදු වූ අතරම එමඟින් ගොනැඟෙන සංස්කෘතික ස්ථරායනය ජනතාවගේ එක්සත් චින්තන රාමුවේ වර්ධනයටත් ප්‍රාදේශීය දුරස්ත බව අවම කරලීමට මෙන්ම ජනතාව අතර සුහදත්වය හා මිත්‍රත්වය තහවුරු කරලීමට ද මං හෙළි කිරීමක් ද විය.
එසේම බෝධිය පදනම් කොටගත් උත්සව හා සිරිත් විරිත් සම්ප්‍රදායක් ගොඩනැඟීම ද ජනතාව ආගමික අංශය කෙරෙහි නැඹුරු කිරීමට බලපෑ තවත් කරුණක් සේ පෙන්වාදිය හැකිය. භික්ෂුණී ශාසනය පිහිටුවීමත් සමඟ කාන්තාවට සමාජය තුළ සුවිශේෂත්වයක් හිමිවීමත් සමඟ සියලු ක්ෂේත්‍රයන් පෙරට පැමිණීමට මං විවරවීමක් වූ අතර දේශයේ එක්සත් බව ගොඩනැංවීමෙහිල පෙරමුණ ගත් විහාරමහාදේවි වැනි කාන්තා පිරිස්වලට සමාජය තුළ මහත් භූමිකාවක් ඉටු කිරීමට අවකාශ සැලසිනි.
මෙනිසා මහාබෝධිය වැඩම කළ මුල් අවධියේ සිට මහනුවර රාජධානි සමයෙන් කෙළවර වූ සිංහල රාජ පරම්පරාවේ බොහෝ පාලක පිරිස් රාජ්‍යය සංකේතයක් ලෙසින් මහාබෝධියට සිය ගරුත්වය දක්වමින් මහාබෝධියේ අනුග්‍රහයක් බවට පත්ව ක්‍රියා කොට ඇත.

ධර්මය අවබෝධ කරගැනීමට උපදෙස්‌ මාලාවක්‌

පූජ්‍ය වල්පොල ධම්මානන්ද 
පොඩි හාමුදුරුවෝ 
ශ්‍රී වර්ධනාරාමය, ගිනිපෙන්ද, කළුගමුව

බුද්ධ ධර්මය තුළින් ඉදිරිපත් කරන්නේ ලෝකයේ සැමට ව්‍යවහාරික ඥානයෙන් යුතු අයුතුකම් වටහා ගත හැකි සැමට මෙන්ම මේ ධර්මතාවද සත්‍යය දකින ඕනෑම ලොකු කුඩා කාටත් වටහාගත හැකිය. බුද්ධ දේශනාවේ මෙලෙස සඳහන් වේ.

"පඤ්ඤවතො අයං භික්‌ඛවෙ ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්‌ස"

එනම් " මේ ධර්මය නුවණ ඇත්තාට මිස නුවණ නැත්තාට නොවෙයි.

විවෘත මනසක්‌ ඇති නුවණැත්තාට මෙම කටයුත්ත අමාරු නොවෙයි. මෙහිදී නුවණැත්තා නොහොත් ප්‍රඥාවන්තයා යනුවෙන් ධර්මයේ සඳහන් වන්නේ යෝනිසෝ මනසිකාරයෙන් යුත් සසර දුක්‌ කෙළවර කිරීමට අවශ්‍ය ප්‍රඥාව වන සත්ත්වයා පිළිබඳ ප්‍රත්‍ය ධර්මයන්ගේ සමුදය නිරෝධය දක්‌නා ප්‍රඥාවයි.

ඔබට ධර්මය අවබෝධ කරගැනීමට නම් ධර්මය දැනගත යුතු වනවාමයි. දැනගැනීමට නම් ඇසීම හා කියවීම නොහොත් ගවේෂණ ශීලිත්වය හා විමර්ශනශීලිත්වය ඔබ තුළ තිබිය යුතුය. එපමණක්‌ද නොවේ, බුදු සසුනෙහි ධර්මය ඇසීමේදී පුද්ගලයා තුළ තිබිය යුතු ස්‌වභාවයන්ද වේ. එනම් දහම් ඇසීම සිදු විය යුත්තේ කපටි නොවන, ව්‍යාජ භාවයෙන් තොරව අවංක ස්‌වභාවයකිනි. ඇතැම් සූත්‍ර දේශනාවන්හි ඇතුළත් වන තවත් කරුණු බොහෝමයක්‌ වෙති. එනම් සද්ධර්මයට සවන්දීමෙන් සදහම් මගට පිවිසීමට අවකාශ ලැබෙන සාධකයි.

ධර්ම කථිකයාට පරිභව නොකරන සුලු පුද්ගලයා ධර්මය තේරුම් ගැනීමෙහි සමත් වේ. ඒ කෙසේද යත් දොස්‌ සෙවීම අරමුණු නොකරන බැවිනි. (න. කථං පරිභොති)

ධර්ම කථිකයාට පරිභව කිරීමේ අදහසක්‌ නොමැති පුද්ගලයා ධර්මය තේරුම් ගැනීමෙහි සමත් වේ. මෙහිදී කථිකයා පිළිබඳව ගැටෙන සිතක්‌ නොමැති බැවින් අවබෝධයටම සිත නැඹුරු වේ. (න කථිකං පරිභෝති)

තමාට පරිභව නොකර ගෙන තමා ධර්මය තේරුම් ගැනීමට යෝග්‍ය පුද්ගලයෙකු ලෙස තමාගේ අගය දැක දහම් ආසන පුද්ගලයා අවබෝධයට පැමිණෙයි. (නඅත්තානං පරිභොති)

දහම් අසන්නා සංසුන් නොවිසුරුණු සිතකින් දහම් අසයිද ඔහු දහම අවබෝධ කරයි. ඒ ඔහු දුශ්ප්‍රාඥ නොවන අයෙකු බැවිනි. (අවික්‌ත්තචිත්තො ධම්මං සුණාති)

නුවණින් මෙනෙහි කරමින් දහම් අසන්නා ධර්මය තේරුම් ගැනීමෙහි සමත් වේ. (යෝනිසෝ ච මනසිකාරොති) 

අනුන්ගේ ගුණ නොනසන, ගුණ නසන සිතින් නොමැඬුණු අයකු ලෙස දහම් අසයිද ඔහු ධර්මය දකී.

(අමක්‌‚ ධම්මං සුණාති න මක්‌ඛපරියුට්‌ඨිතො)

වාදාරෝපණය කරන සිතින් අඩුපාඩු සොයන සුලු අයෙකු නොවී දහම් අසයිද ඔහු ද ධර්මය දකී. (අනුපාරම්භ චිත්තෝ ධම්මං සුණාති න රන්ධ ගවෙසී)

ධර්ම දේශකයා කෙරෙහි නො ගැටුණු සිතින් තද බවින් තොරව දහම් අසයිද ඔහු ධර්මාවබෝධයට පැමිණෙයි. (ධම්ම දෙසකෙ අනාහත චිත්තො හොති අල ජාතො)

දහම් අසන්නා ජඩ නොවූ කෙළතොලු නොවූ අයෙකු ලෙස දහම් අසයිද ඔහුද දහම් තේරුම් ගැනීමට සමත් වේ. (පඤ්ඤවා හොති අජළො අනෙළ මූගො)

නොදන්නා දේ පිළිබඳව "දනිමි" යන මානයෙන් තොරව දහම් අසයිද ඔහුද ධර්මය අවබෝධ කරගනි. (න අනඤ්ඤාතො අඤ්ඤාතමානී හොති)

දැන් ඔබ දැනගත් මේ කාරණාවලින් ධර්මය ශ්‍රවණය කිරීමට සුදුසුකම් තිබුණාද? ඔබ මෙතෙක්‌ කල් ධර්මය ශ්‍රවණය කළේ කෙසේද?

ඔබ මෙවන් ගුණයන්ගෙන් සමන්විතව දහම් ඇසුවා නම් ආර්ය මාර්ගය නම් වූ කුශලයට බැස ගැනීමට සුදුස්‌සෙකු වී හමාරය.

ඔබ නිතර සිහිපත් කරන ස්‌වාක්‌ඛාතෝ පාඨයෙන් ධර්මයේ ගුණ හයක්‌ කිය වෙන බව ඔබ දන්නවාද? ඒ ගුණ මෙසේය.

ස්‌වාක්‌ඛාත ධර්මය මුල මැද අග පිරිසිදුව මැනවින් දේශනා වූ ධර්මයක්‌ නිසා ස්‌වාක්‌ඛාත නම් වේ.

සංදිට්‌ඨික - මේ ධර්මය යමෙක්‌ අනුගමනය කරන්නේද ඒ තැනැත්තාට මෙලොවදීම එහි ප්‍රතිඵල ලබාදෙන බැවිනි.

අකාලිකො අතීත, අනාගත, වර්තමාන යන කාල තුනටම යෝග්‍ය වු බැවින් ද මෙම ධර්මය අනුගමනය කරන්නාට කල් නොයවා විපාක ලබාදෙන බැවිනි.

එහි පස්‌සිකෝ ඕනෑම අයෙකුට ඇවිත් බලන්න යෑයි කිවහැකි තරම් ප්‍රායෝගික වූ ධර්මයන් බැවින් එහි පස්‌සිකෝ නමි

ඕපනයිකො ධර්මය බුද්ධිගෝචර නිසාත් අනුගමනය කරන තැනැත්තා නිවනට පමුණුවන නිසාත් ඕපනයික වේ.

පච්චත්තං වේදිතබ්බෝ විඤ්ªහීති - තම තම නැණ පමණින් අවබෝධ කරගත හැකි ධර්මයක්‌ නිසා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති නම් වෙති.

මේ කරුණුවලට අනුව ඔබ සිතන්න. බුදුරජාණන් වහන්සේට අනුන් උදෙසා කළ හැක්‌කේ මග කියාදීම පමණි. පෙන්වා දෙන මාවතේ ගමන් කිරීම ශ්‍රාවකයාගේ වගකීමයි. වීර්යය ඇති කරගත් ශ්‍රාවකයා තම වගකීම ඉටු කළ හොත් මාරබන්ධනයෙන් මිදී නිවන අවබෝධ කරගනි.

මෙම කාරණය ධම්මපදයේ මග්ගවග්ගයේ මෙලෙස දැක්‌වෙයි.

තුම්මෙහි කිච්චං ආතප්පං -අක්‌ඛාතාරො තථාගතා 

පටිපන්නා පාමොක්‌ඛන්ති - ජධායිනො මාර බන්ධනා

ඔබ ශ්‍රද්ධාව මූලික කොටගෙන ප්‍රඥාව මහෙයවා ධර්මයේ ගාම්භීරත්වය වටහාගෙන ධර්මය අවබෝධ කරගැනීමට සිත මෙහෙය වීමට ප්‍රඥාව ළඟා කරගැනීමට මාගේ මේ කෙටි කරුණු දැක්‌වීම ඔබ සැමට මහෝපකාරී වේවා.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X